Pages

Friday, June 26, 2009

බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොටස)

මෙතෙක් සාකච්ඡාවට බඳුන් කළ කරුණු ඉතා දීර්ඝ වූයේ ඒවායේ මතභේදාත්මක අංශ කිහිපයක්ම අන්තර්ගත වූ බැවිනි. නමුත් දැන් බිඳහෙළීමට යන තර්ක කිහිපය එතරම් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම අවශ්‍ය නොවෙතැයි මා සිතන්නේ ඒවා බොහෝ දුරට බුදු දහම පිළිබඳ අනවබෝධයෙන් හෝ හිතා මතාම ඊට පහර ගැසීම පිණිස ඉදිරිපත් කළ තර්කයන් වන බැවිනි.

තර්කය 3: බුදු දහමේ එන ප්‍රධාන ඉගැන්වීම් 2කි චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය. චතුරාර්ය සත්‍යයේ එන තෙවන කරුණ නම් දුකින් මිදෙන මඟ තණ්හාව දුරු කිරීම යන්නයි. සිව්වන සත්‍යය වන්නේ දුක දුරු කිරීමට මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්නයි. නමුත් එය අනුගමනය කිරීමට නම් එම මාර්ගය පිළිබඳ ආශාවක්/තණ්හාවක් ඇතිකරගත යුතු වේ. එබැවින් එම තර්කය තුළ ම බුදු දහමේ ප්‍රධානම ඉගැන්වීම වන චතුරාර්ය සත්‍යයේ වලංගු භාවය බිඳවැටේ. මන්ද මෙම කරුණු දෙක ස්ව-ප්‍රතිවිරුද්ධ (Self-Contradictory) වන නිසා ය. (මෙම තර්කය නගා තිබුණේ Dr. Zakir Naik නැමැත්තෙකු විසින් වෙනත් වෙබ් අඩවියක ය)

මගේ පිළිතුර: මෙය දුටු විට මා තුළ ද විස්මයක් හටගත්තේ බුදුදහමේ ගැඹුරුම සංකල්ප දෙකක් මෙසේ අභියෝගයට ලක්කර තිබුණු බැවිනි. ඇත්ත වශයෙන් ම කිවහොත් බොහෝ බෞද්ධයන් පවා බුදු දහමේ එන මෙම සංකල්ප ගැන සිතීමට නොවෙහෙසෙනුයේ ඒවායේ ගැඹුරු බව නිසාවෙනි. එවන් තත්ත්වයක් තුළ අන්‍යාගමිකයෙකු මේවා හදාරා (කුහක අදහසකින් හෝ) ගැටලුවක් මතුකිරීමට කටයුතු කිරීම ගැන මගේ ප්‍රසාදය හිමි වේ.

බැලූ බැල්මට ඉතා බලවත් ස්වභාවයක් ගත්ත ද මෙය කරුණු වටහාගැනීමේ දුර්වලතාවය මත නැගුණු ගැටලුවක් බව මම මුලින්ම සඳහන් කරමි. මුලින්ම ආර්ය චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු මොනවාදැයි සලකා බැලීම වටී. චතුරාර්ය සත්‍යය යනු,
  1. දුක්ඛ ආර්ය සත්‍යය: මෙලොව පවතින සෑම දෙයක් ම දුක් ය. කුමක් සැපදායකයි යැයි සිතුව ද එයත් අවසානයේ දුකක් ම පමණි. 'දුක' යන්න මෙතරම් වැදගත් කරුණක් වන්නේ 'දුක' කියා යමක් ඇතැයි ඇතැමුන් නොදන්නා බැවිනි. තවත් ඇතැමුන් සිතා සිටින්නේ "ජීවිතය එක් වෙලාවකට සැපයි; තව වෙලාවකට දුකයි" කියාය. අති බහුතරයක් වූ බෞද්ධ අබෞද්ධ ජනයා සිතා සිටින්නේ මෙලෙස ය. මෙයත් මිථ්‍යාවකි. සැපයි කියා සිතන හැම දේම ද ගැඹුරින් විමසා බලන කල දුක් ම බව පෙනේ. මෙම උතුම් වූ සත්‍යය නියමාකාරයෙන් හඳුනා නොගන්නා තාක් බුදුරජාණන්වහන්සේ දේශනා කළ ගැඹුරු ධර්මයෙන් ඇති කිසිදු ප්‍රයෝජනයක් නැත.
  2. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය: දුකට හේතුව තණ්හාවයි. බෞද්ධයන්ට මෙය සරල කරුණක් ලෙස පෙනුණ ද සැබැවින්ම එසේ නැත. බුදු දහම හැර වෙනත් කිසිදු දහමක දුකට හේතුව තණ්හාව බව ඉගැන්වෙන්නේ නැති අතර ඔවුන් සෑම දුකකටම හේතුව ලෙස කියන්නේ 'දෙවියන්ගේ කැමැත්ත', නැතහොත් 'තමා කළ පවුකම්' කියා ය. නමුත් බුදු දහමට අනුව දුක යනු කරුණු 12කින් සමන්විත චක්‍රයක ප්‍රතිඵලයකි. එම චක්‍රය හැඳින්වෙන්නේ පටිච්චසමුප්පාදය කියා ය. දුක ඇතිකරවන ගාමක බලවේගය නම් තෘෂ්ණාවයි. පටිච්චසමුප්පාදය:
    ඉංග්‍රීසි පාඨ සංස්කෘත පාඨ
    With Ignorance as condition, Mental Formations arise අවිද්‍යා පච්ච සංඛාර
    With Mental Formations as condition, Consciousness arises සංඛාර පච්ච විඤ්ඤාණ
    With Consciousness as condition, Name and Form arise විඤ්ඤාණ පච්ච නාමරූප
    With Name & Form as condition, Sense Gates arise නාමරූප පච්ච සළායතන
    With Sense Gates as condition, Contact arises සළායතන පච්ච ඵස්ස (ස්පර්ෂ)
    With Contact as condition, Feeling arises ඵස්ස (ස්පර්ෂ) පච්ච වේදනා
    With Feeling as condition, Craving arises වේදනා පච්ච තෘෂ්ණා
    With Craving as condition, Clinging arises තෘෂ්ණා පච්ච උපාදාන
    With Clinging as condition, Becoming arises උපාදාන පච්ච භව
    With Becoming as a condition, Birth arises භව පච්ච ජාති
    With Birth as condition, Aging and Dying arise ජාති පච්ච ජරාමරණ
  3. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය: දුක නැතිකිරීමට මාර්ගයක් ඇත. එය අනුගමය කිරීමේ වැදගත්කම මින් පහදා දේ.
  4. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය: දුක නැතිකිරීමට මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය බව මින් පැහැදිලි කර දේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නම්,
  • සම්මා දිට්ථි (නිවැරදි දෘෂ්ටිය)
  • සම්මා සංකප්ප (නිවැරදි කල්පනාව)
  • සම්මා වාචා (නිවැරදි වචනය)
  • සම්මා කම්මන්ත (නිවැරදි ක්‍රියාව)
  • සම්මා ආජීව (නිවැරදිව ජීවත් වීම) සම්මා වායාම (නිවැරදි උත්සාහය)
  • සම්මා සති (නිවැරදි සිහිය)
  • සම්මා සමාධි (නිවැරදි සමාධිය - නිවැරදි ලෙස ප්‍රතිපදාව පිරීම)
මෙය කියවූ විට ඔබට එක් කරුණක් වැටහිය යුතු ය. එනම් මෙම ප්‍රතිපත්තිය ආශාවෙන් පුරණවා ය යන්න අර්ථ විරහිත බවයි. මෙම කරුණු සියල්ල අවශ්‍ය වන්නේ තෘෂ්ණාව දුරු කිරීමට ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු තෘෂ්ණාව දුරු කිරීමට ඇති එකම මාර්ගය වන අතර තෘෂ්ණාව ප්‍රහාණය කිරීමට පුරණ මාර්ගය තෘෂ්ණාවෙන් පිරිය යුතුය යැයි කියන්නා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම තකතිරුවෙකි (Dumbass). එය හරියට සතුන් මැරීමෙන් වැළකීම මහත් ආශාවෙන් කළ යුතු යැයි කීම වැනි ය. මන්ද යත් සතුන් මැරීමට මිස මැරීමෙන් වැළකීමට කිසිවෙකුත් ආශාවක් ඇතිකර නොගන්නා බැවිනි. සතුන් මැරීමෙන් වැළකීම යනු පුද්ගලයාගේ චිත්ත අභ්‍යන්තරය තුළ හටගන්නා ප්‍රතිපත්තියකි. ප්‍රතිපත්තියක් පිරීම යනු ප්‍රතිපත්තියකට අනුව ජීවත් වීමයි. ඒ අනුව සතුන් නොමරා සිටීම ප්‍රතිපත්තියක් වන අතර ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුව ජීවත් වීම ද ප්‍රතිපත්තියකි.

තර්කය 4: බෞද්ධයෝ අජීවී බුද්ධ ප්‍රතිමාවකට වැඳ ඉන් පිහිටක් බලාපොරොත්තු වෙති.

මගේ පිළිතුර: සම්පූර්
ණ වැරදි තර්කයකි. කිසිදු බෞද්ධයෙකු බුද්ධ ප්‍රතිමාවකින් පිහිටක් බලාපොරොත්තු වන්නේ නැත. බෞද්ධයන් බුද්ධ ප්‍රතිමාවට වන්දනාමාන කරන්නේ බුදුරජාණන් වහන්සේට ඇති ගෞරවය ප්‍රකාශ කිරීමක් ලෙස ය. මෙය බුදු දහම හා එහි වත් පිළිවෙත් නොදැනීම නිසා නගන තර්කයකි. (Buddhism is NOT an idolatrous religion).

තර්කය 5: බුදු දහම දේවවාදය ප්‍රතික්ෂේප කරන දහමක් වුවද ඒ තුළ බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ දෙවියෙකු ලෙසයි.

මගේ පිළිතුර:
නැවතත් මේ පුද්ගලයා පොට පටලවාගෙන ඇත. බුදු දහමේ කිසිම තැනක බුදුන් වහන්සේ දෙවියෙකුට සමාන කරන්නේ නැත.
මේ බව නොදැන අද්නන් ඔක්ටාර් තවත් කරුණක් කියයි. එනම් අල්ලාහ් දෙවියන්ට වෙනත් කිසිවෙකුමාන කිරීම ඉතා බරපතල පාපයක් වන බවයි. ඔහුට අනුව සියලු බෞද්ධයන් බුදුන් වහන්සේ අදහන්නේ (ඔහු කියන ආකාරයට), අල්ලාහ් දෙවියන් වෙනුවට වන අතර එම නිසා සෑම බෞද්ධයෙකුම මහා පවුකාරයෙකු වේ.
God does not forgive anything being associated with Him, but He forgives whoever He wills for anything other than that. Anyone who associates something with God has committed a terrible crime.
Al-Qur'an 4: 48
ඇෆ්ඝනිස්ථානය, ඉරානය, සෞදි අරාබිය, යේමනය හා සුඩානය යන රටව
දෙවියන්ගේ වචනයක් අවිශ්වාස කිරීම (Apostasy) හෝ බුද්ධ රූපයකට වැඳුම් පිදුම් කිරීම මරණීය දණ්ඩනය හිමිවන වරදකි. දෙවියන් නොඅදහන අන් සියලු දෙනා මිථ්‍යාදෘෂ්ටිකයන් යැයි කුරාණය සඳහන් කරන්නේ මෙලෙස යි.
"Say: 'God is a sufficient witness between me and you'. He knows everything in the heavens and the Earth. Those who believe in falsehood and reject God, they are losers."
Al-Qu'ran 29:52
මීට සමගාමීව කලින් තැනක සඳහන් කළ බුද්ධ ධර්මයේ එන කාලාම සූත්‍රය සසඳා බලන ලෙස මම ඉල්ලා සිටිමි. එමගින් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ කෙතරම් සාධාරණ, අනුකම්පා සහගත ශාස්තෘන්වහන්සේ නමකදැයි ඔබට වැටහෙනු ඇත.

මේ පිළිබඳව තවත් කරුණු
කීම අනවශ්‍ය යැයි සිතේ.

තර්කය 6: බෞද්ධයන් සිතන ආකාරයට වැඩි දුකක් දරා සිටින විට වඩා ඉක්මනින් නිවනට සමීප විය හැක.

මගේ පිළිතුර: මෙවන් ප්‍රශ්න වලට පිළිතුරු දීම කිසිසේත් ඇවැසි නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේවා තනිකරම දැනුමේ ඌනතාවය හෝ කුහක භාවය නිසා නගන පැන වේ. බුදුන් වහන්සේ කිසි දිනෙක නිවනට මඟ, වැඩි වැඩියෙන් දුක් දැරීම බව කීවේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ වසර 6ක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් සොයාගත්තේ නිවනට මඟ දුක් විඳීම නොවන අතර මධ්‍යම ප්‍රතිපදාව පමණක් වන බව ය.

මේ ආකාරයේ විශාල විවේචන, චෝදනා සංඛ්‍යාවක් මේ ආකාරයේ වෙබ් පිටු පරිශීලනය කරමින් යන විට හමුවේ. ඒ අතරින් වැදගත් වේ යැයි සිතෙන තර්කයන් කිහිපයක් පමණක් මෙසේ, පිළිතුරු දීම පිණිස මම තෝරාගතිමි. අනෙ
ක් සියල්ලම බුදු දහම පිළිබඳ ඔවුන් දරන පටු ආකල්ප නිසා ඇති වූ ඒවා බව පැහැදිලිව පෙනී යයි. එබැවින් ඒ සියල්ලටම පිළිතුරු දීමට යාම ඔබේත් මගේත් කාලය අපතේ හැරීමක් ලෙස හැඟේ.


- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොටස) සමාප්තයි -

කලින් ලිපිය: බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කොටස)

බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කොටස)

තර්කය 2: බුදු දහම මැවුම්කාර දෙවියන් පිළිබඳ සංකල්පය පිළි නොගනී. එම නිසා එයට විශ්වය ශුන්‍යත්වයකින් ආරම්භ වූයේ කෙසේ දැයි යන්න ගැන නිසි පිළිතුරක් දිය නොහැක.

මගේ පිළිතුර: බුදු දහම තුළ විශ්වයෙහි පැවැත්ම පිළිබඳ ස්ථාවර මතයක් තිබේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි විශ්වයට ආරම්භයක් හෝ අවසානයක් නැත. විශ්වය කාලයක් පිම්බීමට (Expansion) භාජනය වන අතර තවත් කාලයක් හැකිළීමට (Contraction) භාජනය වේ. මෙම ක්‍රියාවලිය චක්‍රයක් මෙන් නැවත නැවත අවසානයක් නැතිව සිදුවේ. අවසානයක් නැති බැවින් ආරම්භයක් ගැන ද කතා කිරීම නිශ්ඵල ය.

නූතන විශ්ව න්‍යායවේදය (Cosmology)ට අනුව විශ්වය යනු පිම්බීමකට ලක් වෙමින් පවතින පද්ධතියකි. මෙය සොයාගැනීමට පදනම වැටුණේ 1915-1918 අතර කාලයේ එඩ්වින් හබල් ඇතුලු විද්‍යාඥයින් සොයාගන්නට යෙදුණු විශ්වයේ ඈත මන්දාකිණි වල රක්ත විස්ථාපනය (Red Shift)යි. එමගින් එම මන්දාකිණි නිරන්තරයෙන්ම අපෙන් ඈත් වෙමින් පවතින බව නිගමනය කළ හැකි විය. ඒ අනුව නොවැරදීම විද්‍යාඥයන්ට තේරුම්ගත හැකි වූයේ අප ජීවත් වන විශ්වය පිම්බීමකට ලක් වන බවයි.

යමක් පිම්බීමකට ලක්වන බව කී සැණින් ඔබේ සිහියට ආ යුතු සරලම කරුණ වන්නේ එය යම් දිනෙක ඉතා කුඩා දෙයක්ව පැවතී පිම්බීමට ලක් වීමට පටන්ගත් බවයි. විද්‍යාඥයෝ ද එම කරුණ සැළකිල්ලට ගත්හ. විශ්වය යම් දිනෙක ඒකීයත්වයකින්/ශූන්‍යත්වකකින් (Singularity/Nothingness) පටන්ගෙන ප්‍රසාරණයට ලක්වෙමින් අද දක්වා පැවත එන බව විද්‍යාඥයෝ නිර්ණය කළ හ. නූතන විද්‍යාව එල්ල කරන අභියෝග හමුවේ අන්ත අසරණව සිටින පුහු දේව වාදීන්ට මෙය අනගි අවස්ථාවක් විය. ඔවුහු මේ ශූන්‍යත්වයකින් විශ්වය ආරම්භ වීමේ න්‍යායට දෙවියන් වහන්සේ ද ඈඳා ගත්හ. ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මඟුල් ලු කියන්නේ මෙවැනි දේටයි!

තම දේව දර්ශනයන්හි අහළකවත් නොතිබූ සංකල්පයක් තමන්ට වාසිදායක වන විට තමන්ගේ කරගැනීමට මොවුහු දැඩි වෙහෙසක් ගනිති. මොවුන් කියන්නේ ශූන්‍යත්වයකින් විශ්වය ප්‍රසාරණය වීම ඇරඹුවේ දෙවියන් වහන්සේ ලු! මොවුන්ගේ හාස්‍යජනක තර්කය මඳකට පසෙකින් තබා නැවතත් විද්‍යාත්මක කරුණු වෙත යොමු වෙමු.

විශ්වය ශුන්‍යත්වයකින් ආරම්භ වීම හෙවත් මහා පිපුරුම් වාදය (Big Bang Theory) නූතන විශ්ව න්‍යායවේදයේ එන වැදගත්ම සංකල්පයයි. නමුත් එය සර්ව සම්පූර්ණ න්‍යායක් නොවේ. තවත් විශාල වැඩ කොටසක් සම්පූර්ණ කිරීමට ඉතිරි වී තිබේ. එමෙන්ම නූතන විශ්ව න්‍යාය විද්‍යාඥයන්ගෙන් අති බහුතරයක් මෙම න්‍යායෙහි යම් වැරැද්දක් ඇති බව පිළිගනිති. ඊට මූලිකම හේතුව නම් විශ්වය නිර්මාණය වන පිපුරුම සිදුවීමට පෙර පැවති අධි ශක්ති, අධි ඝනත්ව (Ultra high energy ultra high dense) අවස්ථාවයි. සරලව කිවහොත් විශ්වය පිපිරෙන මොහොතේ විශ්වයේ ශක්ති ඝනත්වය සහ උෂ්ණත්වය අනන්තයකි. මෙවන් අවස්ථාවක් ස්වභාවයේ පැවතීම ඉතාම උගහට බව විද්‍යාඥයෝ එකහෙළා පිළිගනිති. එමෙන්ම ඔවුන් අවුලෙන් අවුලට හෙළන ප්‍රධානතම කරුණ නම් මෙම න්‍යායේ ඇති පරීක්ෂා කළ නොහැකි ස්වභාවයයි. නූතව විද්‍යාවෙහි අනිවාර්ය අංගය නම් පරීක්ෂාවයි (Testing). සැකෙවින් කිවහොත් යම් න්‍යායකට පිළිගැනීමක් ලැබෙන්නේ එමගින් කරනු ලබන පෙරැයීමක් (Assumption) පරීක්ෂණයකින් සත්‍ය වුවහොත් පමණි. එතෙක්, කොතරම් ප්‍රබල මතයකට වුවත් පිළිගැනීමක් ලැබෙන්නේ නැත. මහා පිපිරුම් වාදයට පිළිගැනීමක් ලැබීමට එහි පෙරැයීම් 2ක් නිවැරදි වීම හේතු විය. ඒවා නම් ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය (Cosmic Microwave Background Radiation) සහ මහා පිපිරුම් නියුක්ලියෝසංස්ලේශනය (Big Bang Nucleosynthesis) යන ඒවායි. මහා පිපුරුම් නියුක්ලොයෝසංස්ලේශනය සිදු වූයේ මහා පිපුරුමෙන් මිනිත්තු 3ත් 20ත් අතර කාලයේදී ය. එහිදී ප්‍රාථමික හයිඩ්‍රජන්-1 (ප්‍රෝටෝන එකක් පමණක් ඇති හයිඩ්‍රජන් පරමාණු) විලයනයට භාජනයවීමෙන් වඩා බරැති පරමාණු නිර්මාණය වේ. එමගින් පෙරැයන ආකාරයට මුල් විශ්වයේ ස්කන්ධයෙන් 75%ක් හයිඩ්‍රජන්-1 ද, 25%ක් පමණ හීලියම්-4 ද, 0.01%ක් ඩියුටීරියම් (හයිඩ්‍රජන්-2) ද, 10-10%ක් වෙනත් පරමාණු (ලිතියම්, බෙරිලියම් වැනි) තිබිය යුතුය. මීට හරියටම සමාන නොවන නමුත් ආසන්න වශයෙන් සමාන ප්‍රතිශත වලින් නූතන විශ්වයේ පදාර්ථයන් පවතින බව පර්යේෂණයන්ගෙන් හෙළි වී ඇත. නමුත් මෙය මහා පිපුරුම සිදුවූ බවට අවසාන සාක්ෂිය නොවේ. වක්‍රාකාරයෙන් ඊට අනුබල දීමක් පමණි මින් සිදුවන්නේ. අනෙක් සාධකය නම් පසුබිම් විකිරණයයි. මහා පිපිරුමෙන් වසර 380 000ක් ගතවන තැන, විශ්වයේ ඝනත්වය අඩුවීම නිසා ආලෝක ෆෝටෝන වලට ආසන්නව ඇති පරමාණු වල න්‍යෂ්ටික බලපෑම් (Strong and Weak Nuclear Forces) වලින් තොරව නිදහසේ ගමන්කිරීමට හැකියාව ලැබෙන බව මින් කියැවේ. එනම් විශ්වය විද්‍යුත් චුම්බක තරාංග වලට පාරදෘශ්‍ය (Transparent) වන්නේ මේ අවධියෙන් පසුවයි. විශ්වය ඇතිවීමට වසර 380 000 කට පෙර කාලයේ විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රගමනයට (Progression) නිදහසක් නොතිබූ නිසා අද පවත්නා කිසිදු දුරේක්ෂ වර්ගයකින් ඊට පෙර කාල පරිච්ඡේදය ගැන කරුණු සෙවූම විද්‍යාඥය
න්ට කළ නොහැක. මහා පිපුරුම් වාදයේ වාසියට තිබෙන කරුණම එය නිවැරදි න්‍යායක් ලෙස ස්ථාපිත වීමට එරෙහිව කටයුතු කරන්නේ මේ ආකාරයෙනි.

විශ්වය බිහි වූ මුල් අවධියේ තත්ත්වයන් පෘථිවිය මත නිර්මාණය කිරීමට ද විද්‍යාඥයෝ උත්සාහ දරති. ඊට ඔවුන් භාවිතා කරන්නේ අංශු ත්වරකයි (Particle Accelerators). නමුත් එම අවස්ථාවේ පැවති අවකාශයේ ශක්තිය කිසිදු අංශු ත්වරකයකින් නිපදවිය හැකි ශක්තියකට වඩා ඉතා ඉහළ අගයක් ගනී. උදාහරණයක් වශයෙන් අද ලෝකයේ ඇති ශක්තිය ඉහළම අංශු ත්වරකය න්‍යෂ්ටික පර්යේෂණය පිළිබඳ යුරෝපා ආයතනය (Organisation Européen pour la Recherche Nucléaire) හෙවත් CERN ට අයත් Large Hadron Collider (LHC) වේ. එහි ශක්තිය වන 7 TeV කින් විශ්වයේ මුල් තත්පර කිහිපය තුළ පැවති අධි ශක්ති අවස්ථාවන්හි ආසන්නයට වත් යා නොහැක. මේ අනුව පැහැදිලි වන්නේ විශ්වය පිළිබඳ නූතන විද්‍යාතමක මතය සර්ව සම්පූර්ණත්වයට බොහෝ මෙපිටින් පවතින බව ය.

නමුත් 2007 තරම් මෑත කාල
යකදී මෙම ක්ෂේත්‍රය සම්බන්ධ නවතම විද්‍යාත්මක මත කරළියට ඒමට පටන් ගැනුණි. ඒ පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේ (Pennsylvania State University) මහාචාර්ය මාටින් බොජොවාල්ඩ් (Martin Bojowald) ඉදිරිපත්කළ මහා පොළාපැනුම් න්‍යායේ (Big Bounse Theory) නවතම විවරණය සමඟිනි. විශ්වක කාලයක් තිස්සේ ප්‍රසාරණයට ලක්ව නැවත සංකෝචනය වන බව බටහිර විද්‍යාඥයන් සිතා සිටියේ මීට බොහෝ කාලයකට පෙර සිට ය. නමුත් ඊට එරෙහිවන ගැටලු රාශියක් තිබුණු නිසා මේ මතය කාලයක් තිස්සේ පසුගාමී තත්ත්වයක පැවතිණි. නමුත් දැනට වසර 2කට පමණ පෙර සිට මෙය නැවතත් පෙරළිකාර මතයක් ලෙස පර්යේෂණ ක්ෂේත්‍රයට පැමිණ තිබේ. මහා පොළාපැනුම් න්‍යාය පදනම් වී ඇත්තේ 1986 දී පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේම මහාචාර්ය ඇබේ අෂ්ටෙකාර් (Abhey Ashtekar) විසින් ඉදිරිපත් කළ වළලු ක්වොන්ටම් ගුරුත්ව න්‍යාය (Loop Quantum Gravity) මතයි.

මේ ආකාරයේ විශ්වය පිළිබඳ චක්‍රීය ආකෘති වලට නූතන තාරකා භෞතික විද්‍යාඥයන් හා විශ්ව න්‍යායවේදීන් මේ වනවිට වැඩි තැනක් දෙමින් සිටිති. ඊට ඇත්තේ එකම එක හේතුව නම් විශ්වය ආරම්භ වීමට පෙර පැවතියේ කුමක්දැයි යන ද්විකෝටිකයට (Dilemma) පිළිගත හැකි පිළිතුරක් කිසිවෙකුට සැපයිය නොහැකි වී ඇති බැවිනි. එසේම විශ්වයට නිශ්චිත ආරම්භයක් පැවති අතර යම් දිනෙක එය අවසාන වනු ඇත යන මතය කිසිසේත් බුද්ධිගෝචර නොවේ. අනෙක් ප්‍රතිවිරෝධතාව නම් කාලයයි. කාලය හා අවකාශය නම් සංකල්ප වල සබැඳියාව ගැන ද මෙම පුහු දේව වාදීන්ට දිය හැකි පිළිතුරක් නැත. විශ්වය තුළ කාලය ආරම්භ වීද යන්න හා අවකාශය මගින් කාලය සීමා වීද යන්න 1781දී පළ කළ 'ශුද්ධ හේතුව පිළිබඳ විවේචන' (Critique of Pure Reason) යන ග්‍රන්ථය තුළින් සුප්‍රකට දාර්ශනික ඉම්මෑනුවල් කාන්ට් (Immanuel Kant) විමසූ පැනයන් ය. මේවාට නිසි පිළිතුරු කිසිදු දේවවාදී ආගමක් තුළ නැත. ඔවුන්ට සැමවිටම එසවීමට ඇත්තේ "දේව භාෂිතය ප්‍රශ්න නොකරනු!", යන තර්ජනාංගුලිය පමණි.

වරක් එක්තරා පුද්ගලයෙක් "විශ්වය නිර්මාණය කිරීමට පෙර දෙවියන් වහන්සේ කරමින් සිටියේ කුමක්දැ"යි පූජකයෙකුගෙන් ඇසුවේ ය. පූජකයාගේ ක්ෂණික පිළිතුර වූයේ "ඔය ආකාරයේ ප්‍රශ්න අසන්නන් යැවීමට දෙවියන් වහන්සේ අපායක් නිර්මාණය කරමින් සිටියේ ය" යන්නයි. එම කතාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වුවද චින්තනයේ නිදහස සහ විශ්වය පිළිබඳ දේව මතය එමගින් අපූරුවට සාරාංශගතකොට දැක්වේ.

දැන් මා එම ප්‍රශ්නය අසන බැවින් ද ලොව සියලුම විද්‍යාඥයන් එම ප්‍රශ්නයම අසන බැවින් ද අප සියලුදෙනා අපායේ දොරගුලු විවර කරගෙන ඇති බවට සැකයක් නැත...!!

නවීන විද්‍යාවේ දියුණුව හමුවේ අද්නන් ඔක්ටාර් ලා අදහන දේවවාදී ආගම් වැටී සිටින මහත් අපහසුතාව පිළිබඳ අමුතුවෙන් සඳහන් කළයුතු නැත. එම ආගම් සියල්ලටම එරෙහිව නැගී සිටින එක් බලගතු පුද්ගලයෙකු සිටී. ඒ අන් කිසිවෙකු නොව චාල්ස් ඩාවින් ය. චාල්ස් ඩාවින් යන පුද්ගලයා ඉතිහාස පොතෙන් මකා දැමීම තරමට දේවවාදීන්ට ආශ්වාදය ගෙනදෙන වෙනත් කරුණක් තිබිය නොහැක. චාල්ස් ඩාවින් නම් මිනිසා තම පරිණාම වාදය තුළින් දේවවාදයට එල්ල කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මරු පහරකි.

දෙවියන් වහන්සේ නිර්මාණය කළ සත්ත්වයා ස්වභාව ධර්මය මගින් විනාශකර දමන්නේ ඇයිදැයි යන පැනයට කිසිදු සාර්ථක පිළිතුරක් තවමත් ලැබී නැත. එපමණක් නොව බයිබලයට අනුව පෘථිවියේ වයස වසර 10 000ක් පමණි. ඊට අනුව පුරාණ පලස්තීනයේ 'ජෙරිකෝ' (Jericho) ග්‍රාමයට පෙර මිනිස් හෝ සත්ත්ව ප්‍රජාවක් පැවතී නැත.

කොතරම් ආශ්චර්යයක්ද? නූතන භූ ගර්භ විද්‍යාවට අනුව පෘථිවියේ වයස අවුරුදු බිලියන 4.6කි. ඩයිනසෝරයන්ගේ පොසිල සොයාගැනීමත් සමඟ දේව වාදය තුළ ඇතිවූ වියවුල වචනයෙන් ප්‍රකාශ කළ නොහැක. නමුත් පුදුමයකට මෙන් අද්නන් ඔක්ටාර් ලා උමතුවෙන් මෙන් බොරු යැයි ඔප්පු කිරීමට සැරසෙන බුදු දහමට මේ කිසිදු චෝදනාවක් බලපාන්නේ නැත. මන්ද සමස්ත බුදු දහමම පරිණාමවාදය පිළිබඳ දහමක් බැවිනි. කාලයත් සමඟ සිදුවන වෙනස්කම් වලට අනුව සත්ත්ව වර්ගයා පරිසරයට හැඩගැසෙන හා විවිධ ව්‍යුහාත්මක වෙනස්කම් වලට භාජනය වන බව බුදු සමය පැහැදිලිවම ප්‍රකාශ කර සිටී. පෘථිවිය මත ජීවය ඇතිවීම සහ ජීවයේ විකාශනය පිළිබඳ අපූරු ඉගැන්වීමක් අග්ගඤ්ඤ සූත්‍රය විමර්ශනයෙන් දත හැකි ය. එහෙත් බුදු දහම, නූතන තාරකා ජීවවිද්‍යාවට එරෙහිව යන තවත් තැනක් ද මෙම අග්ගඤ්ඤ සූත්‍රයෙහි අඩංගු ය.

මෙම කරුණ බුදු දහම විවේචනය කරන ඇත්තන්ගේ උකුසු ඇස් වලින් ගිලිහී ගොස් තිබුණත් ලිපියේ මධ්‍යස්ථභාවය තකා එය ද මම විවේචන ගොන්නට එකතු කරමි.

නූතන විද්‍යාවෙන් කියවෙන්නේ පෘථිවිය මත ජීවය ඇති වූයේ ජලය, පොළොවේ ඛනිජ, විදුලි කෙටීම් යනාදී අනේකවිධ භෞතික ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ "ප්‍රාථමික සූපය" (Primordial Soup) මගින් බවයි. මෙම සූපය තුළ ජීවයට අත්‍යාවශ්‍ය වන ඇමයිනෝ අම්ල අඩංගු වූ අතර වසර බිලියනයක පමණ කාලයක් තුළ සිදු වූ අනේකවිධ ප්‍රතික්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ මුල්ල ඒක සෛලික ජීවීන් ඇති විය. නමුත් මේ සියල්ල අතරේ නූතන ජීව විද්‍යාඥයින් ඒකමතිකව පිළිගන්නා එක් කරුණක් තිබේ. එනම් අජීවී මූලද්‍රව්‍ය කිහිපයක් එකතු වී ජීවී සෛලයක් නිර්මාණය වීම ඉතාමත්ම ඉතාමත්ම අහඹු සිදුවීමක් බවයි. එපමණක් නොව මෙසේ ඉතා කලාතුරකින් බිහිවූ සෛලය සුරැකිව පැවතී ඉන් දුහිතෘ සෛලයක් බිහිවීම ඊටත් වඩා අහඹු සිදුවීමක් බවයි. මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවී ජීවී ප්‍රජාවක් බිහිවීම ඊටත් වඩා අහඹු දෙයක් වන බව කිව යුතු නොවේ. මේ සමස්ත ක්‍රියාවලියම එකවර සිදුවීමේ සම්භාවිතාව කොතරම් අඩු ද යත් එය පෘථිවිය මත සිදු වූවා යැයි පිළිගැනීම ඉතාමත් උගහට බව ඇතැම් විද්‍යාඥයෝ තර්ක
කරති. (මෙම මතයේ එක් නියමුවෙකු වන්නේ DNA අණුවේ ව්‍යුහය සොයාගැනීමට දායක වූ සුප්‍රකට විද්‍යාඥ සර් ෆ්‍රැන්සිස් ක්‍රීක් - Sir Francis Crick - ය. එසේම සුප්‍රකට තාරකා භෞතික විද්‍යාඥයන් වන ෆ්‍රෙඩ් හොයිල් - Fred Hoyle - සහ චන්ද්‍රා වික්‍රමසිංහ - Chandra Wickramasinghe - ද මේ වෙනුවෙන් පෙනී සිටිති). පෘථිවිය මත ජීවය බිහි නොවූවා නම් සිදුවිය හැකි එකම සිදුවීම වන්නේ වෙනත් ග්‍රහ වස්තුවකින් එසේ ඉතාම කලාතුරකින් බිහි වූ ජීවී සෛලයක කොටසක් පෘථිවියට පැමිණීමයි. අන්තර්තාරීය අවකාශයේ ඇති අධික දුර ප්‍රමාණයනුත් අභ්‍යාවකාශයේ රුදුරු තත්ත්වයනුත් සළකාබලන කල එසේ ජීවය පැතිරීමත් ඉතා උගහට වන බැවින් විද්‍යාඥයන් එම මතය මුළුමනින් ම පිළිගන්නේ නැත.

නමුත් බුදු දහමේ එන අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පෘථිවියට ජීවිය පැමිණියේ පිටත ග්‍රහ වස්තුවකිනි. මෙය බුදු දහම නූතන විද්‍යාවට එරෙහි වන තවත් තැනකි. නමුත් විද්‍යාඥයන් එම මතය බැහැර කරන්නේ ද නැත. ඒ සඳහා තාරකා ජීව විද්‍යාඥයෝ අදත් වෙහෙසෙමින් සිටිති. ඒ සඳහා වන මූලිකම ක්‍රමවේදය වන්නේ පෘථිවිය මතට කඩා වැටුණු ග්‍රහක කොටස් අධ්‍යයනයයි. එසේම පෘථිවිය මත ඇති විවිධ ජීවී සෛල අභ්‍යාපකාශයේ තත්ත්වයන්ට ලක් කර ඒවායේ පැවැත්මේ හැකියාව ද විශ්ලේෂනය කර ඇත. ජපානයේදී කළ පර්යේෂණයන්ට අනුව ඇතැම් බැසිලස් ඒක සෛලික ජීවීන්ට අභ්‍යාවකාශයේ ඇති නිර්වායු, අධි විකිරණ තත්ත්වයන් යටතේ පවා වසර 250කට ද අධික කාලයක් නොමැරී පැවැත්මේ හැකියාව ඇති බව තහවුරු වී ඇත. මේ පිළිබඳව නූතන අධ්‍යයනයන් විශිෂ්ට ප්‍රතිඵල අත්කර දී ඇත. (
වැඩිදුර කියවීම්: Tough Earth bug may be from Mars - New Scientist, Sugar-Packing Asteroids May Have Seeded Life on Earth - Space.com)

මෙම පැනයටත් සාර්ථක පිළිතුරක් මෙහි ඇතැයි මම විශ්වාස කරමි. විද්‍යාත්මක සොයාගැනීම් භාවිත කොට බුදු දහම විවේචනය කිරීමට යාම මෙම විවේචකයන් කරගන්නා විශාලතම මෝඩකමයි. මන්ද යත් විද්‍යාතමක සොයාගැනීම් අති බහුතරයක් බුදු දහමේ වාසියට දැනටමත් හැරී ඇති බැවිනි. සාපේක්ෂතා වාදය හා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව යනු එන් දෙකක් පමණි. සාපේක්ෂතාවාදය, බුදු දහම සමඟ බැඳෙන අයුරු මගේ මෙම ලිපියේ
සටහන් වී ඇත.

නූතන විද්‍යාව මේ ආකාරයට දිගින් දිගටම බුදු දහමේ සත්‍යතාව තහවුරු කරන ආකාරය උක්ත සඳහන් කළ දේව වාදීන් දකින්නේ මහත් ඊර්ෂ්‍යාවෙනි. බුදු දහමට පහර ගැසීමට සෑම දේවවාදියෙකුම අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින්නේ මේ නිසා ය. නමුත් ඒ සඳහා අද්නන් ඔක්ටාර් වැන්නවුන්ගේ බුද්ධිය මෝරා මදි ය. පුදුමයකට මෙන් 16 වැනි බෙනබික්ට් පාප් වහන්සේ වීමට පෙර ජෝෂප් රැට්සිඟර් කාඩිනල් තුමා ද අපූරු කතාවක් කීවෝ ය. එනම් කිතු දහමේ ප්‍රබලතම ප්‍රතිවාදියා ලෙසට සමාජවාදයට අත්ව තිබූ තැන නුදුරු අනාගතයේදී ම බුදු දහම හිමිකරගනු ඇතිය යන්නයි.



- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කොටස) සමාප්තයි -

මීළඟ ලිපිය : බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොටස)
කලින් ලිපිය: බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොටස)

බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොටස)

මාගේ කලින් ලිපියට එල්ල වූ විවේචන, චෝදනා හා ප්‍රශංසා විමසා බැලූ කල අද සමාජය මෙම ආගම/දර්ශනය යන සංකල්පය තුළ වැටී සිටින්නා වූ මහා වියවුල මොනවට පැහැදිලි වේ. ආගම/දර්ශනය පිළිබඳ නූතන සමාජයේ දැක්ම අරභයා ලිපියක් ලිවීම අනාගතයට ඉතිරි කරන අතර පළමුව ඊටත් වඩා වැදගත් කර්තව්‍යයකට අත ගැසීමට මම සූදානම් වෙමි. මාගේ පළමු ලිපිය කියවූ එක්තරා සොහොයුරෙක් මට වැදගත් කතාවක් කීවේ ය. එනම් "ඔබ අනෙකුත් ආගම් වල මූලාරම්භය/පැවැත්ම පිළිබඳව චෝදනා මුඛයෙන් කතා කළ ද ඔබ පිළිගන්නා බුදු දහම ද පිටතට පෙනෙන තරම් සුපිරිසිදු හා අංග සම්පූර්ණ දහමක් නොවේ."

පළමුව සඳහන් කළ යුතු කරුණ නම් උක්ත සඳහන් ලිපිය මාගේම නිර්මාණයක් නොවන අතර එය බටහිර විචාරකයන් විසින්ම කිතු දහමට එල්ල කළ අභියෝගයක් පමණක් බවයි. දෙවන කරුණ නම් "මොනවද මේ බුදු දහමට එල්ල වන චෝදනා?" යන
ගැටලුවයි. උක්ත සඳහන් සොයුරාගෙන් ඊට නිසි පිළිතුරක් නොලැබුණෙන් කුතුහලයෙන් දිරිගත් මම එය තනිවම එය සොයාබැලීමට පියවර ගතිමි. ඒ අනුව විවිධ වෙබ් අඩවි පරීක්ෂා කරමින් ගිය මට විවිධාකාර පුද්ගලයන් විසින් බුදු දහම අරභයා ඉදිරිපත් කළ චෝදනා, මතවාද දක්නට ලැබුණි. ඉන් බොහෝමයක් එල්ල වී තිබුණේ අන්‍යාගමිකයන්, විශේෂයෙන්ම ඉස්ලාම් මූලධර්මවාදීන් අතරිනි. මෙම ඇතැම් කරුණු වල කිසිදු සත්‍යතාවක් නොමැති අතර බොහෝ ඒවා නූතන විද්‍යාව හමුවේ බුදු දහමට හිමිව ඇති අග්‍රගණ්‍ය ස්ථානය දැක ඒ කෙරෙහි ද්වේශයෙන් ගොතන ලද බව මාගේ අදහසයි. එම තර්ක අතර එකක් හෝ දෙකක් යම්තාක් දුරකට සාධාරණ ඒවා ලෙස ද මම දුටිමි.

ඇතැමුන් තම ආගම/දර්ශනයට එල්ල වන චෝදනා හමුවේ බියෙන් සැලෙන හෝ "ආගම/දහමේ අරමුණ වෙනත් එකක්, අපට ඔය විවේචනයන්ට පිළිතුරු සැපයීමේ අවශ්‍යතාවක් නැහැ" කියා මඟහැර යන තත්ත්වයක් තුළ මෙම චෝදනාවන්හි ඇත්ත නැත්ත පිළිබඳව මගේ අදහස ලියා තැබීම යෙහෙකැ යි සිතුණි. ඊට හේතුව නම් අනාගතයේ ඉතිරි වන්නේ තර්ජනයන්ට මුහුණදිය හැකි දර්ශනයන් පමණක් බවට ලකුණු නූතන සමාජය අධ්‍යයනය කිරීමෙන් ඉඳුරා පසක් වන බැවිනි. එසේම ජීව විද්‍යාවේ එන "උචිතෝන්නතිය" - Survival of the Fittest - නැමැති සංකල්පය ආගම/දහම කෙරෙහිත් එක ලෙස සත්‍ය වන බව මම තරයේ විශ්වාස කරමි!
බුදු දහම තරයේ විවේචනය කර තිබූ ස්ථාන ලෙස "අද්නන් ඔක්ටාර්" හෙවත් "හරුන් යහා" විසින් රචිත "Islam and Buddhism" නම් ග්‍රන්ථයත් තවත් වෙබ් අඩවි කිහිපයකුත් මම හඳුනාගතිමි. ඊට අමතරව තවත් විවේචන වූ අතර ඒවායේ එන බොහෝ කරුණු එකම ආකාරයේ ඒවා බව විශ්ලේෂනයෙන් පැහැදිලි වේ. ඒවාට තම දැනුම් ප්‍රමාණයෙන් පිළිතුරු සැපයීම මාගේ වගකීමකැයි සිතේ. මෙතැනින් පසුව මෙම ලිපි පෙළේ එන්නේ ඔවුන් ගෙන එන තර්කත් ඒවාට මා ඉදිරිපත් කරන පිළිතුරුත් වේ.

තර්කය 1: වර්තමානයේ ඇති බුදු දහම, බුදුන් වහන්සේ විසින් දේශිත නියම බුදු දහම නොවේ. එය කාලයත් සමඟ විවිධ වෙනස්කම් වලට භාජනය වී ඇත. එසේම බුදු දහම ග්‍රන්ථාරූඪ කිරීම සිදු වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 400 කට පමණ පසුව වන අතර එම කාලය තුළ බුදු දහම විකාශනය වූයේ මුඛ පරම්පරාගතව ය. එබැවින් වත්මන් බුදු දහම පිළිගත නොහැක.

මගේ පිළිතුර: බුදු දහම විවේචනය කරන සෑම පුද්ගලයෙකුගේ ම, පොතකම ප්‍රධාන තර්කය වන්නේ මෙයයි. නමුත් එයට මුලින්ම පිළිතුරු දීමට මා පසුබට නොවන්නේ ඊට නිවැරදි පිළිතුරක් බුදු සමය තුළ ඇති නිසා ය.

සම්බුද්ධ පරිනිර්වාණය සිදුවී අවසාන වනවිට මේ තත්ත්වය එවකට වැඩසිටි ප්‍රධානතම ථෙරවරුන් වන ශාරිපුත්‍ර, මහා කාශ්‍යප, ආනන්ද, අනුරුද්ධ, උපාලි යන රහතන් වහන්සේලා තේරුම් ගත්හ. කිසිදු දහමකට කාලයත් සමඟ එය මුලින් පැවති සුපිරිසිදු තත්ත්වයේ ම පැවතිය නොහැක. මන්ද විවිධ පුද්ගලයින් ඊට තමතමන්ගේ මතවාද එක් කරන බැවිනි. මේ ගැටලුවට එම මහ ථෙරවරු අපූරු ප්‍රතිකර්මයක් යෙදුවෝ ය. එනම් කාලයෙන් කාලයට, එවිට ලෝකයේ සිටින ප්‍රධානතම ථෙරවරුන් එක්ව ධර්මය සාකච්ඡා කිරීම යි. "ධර්ම සංගායනා" නැතහොත් "ධර්ම සංගීති" යනුවෙන් හැඳින්වෙන්නේ මේවායි. ගත වූ වසර 2553 තුළ පැවති ප්‍රධාන ධර්ම සංගායනා ගණන 6කි. ඒවා නම්,
  1. සම්බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කට පසුව අජාසත් රජුගේ අනුග්‍රගයෙන් දඹදිව රජගහ නුවර පැවති ප්‍රථම මහා ධර්ම සංගානයාව.
  2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් හරියටම වසර 100කට පසුව කාලාශෝක රජුගේ අනුග්‍රහයෙන් දඹදිව විශාලා මහනුවර පැවති දෙවන මහා ධර්ම සංගායනාව.
  3. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 283 කට පසුව ධර්මාශෝක රජුගේ අනුග්‍රහයෙන් දඹදිව පාටලීපුත්‍රයේ පැවති තෙවන මහා ධර්ම සංගායනාව.
  4. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 400 කට පසුව වළගම්බා රජුගේ අනුග්‍රහයෙන් මාතලේ අලුවිහාරයේ පැවති සිව්වන මහා ධර්ම සංගායනාව. බුදු දහම ග්‍රන්ථාරූඪ කෙරුණේ මෙහිදී ය.
  5. මහා පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහයෙන් ක්‍රි.ව. 1151 දී පැවති ධර්ම සංගායනාව. මෙය ප්‍රධාන ධර්ම සංගායනා අතරට නොගැණේ.
  6. ක්‍රි.ව.1871දී බුරුමයේ මින්ඩොන් මහ රජුගේ අනුග්‍රහයෙන් බුරුමයේ මැණ්ඩලේ හි පැවති පස්වන මහා ධර්ම සංගායනාව.
  7. ක්‍රි. ව. 1954දී බුරුම රජයේ අග්‍රාමාත්‍ය යූ නූ ගේ ආරාධනයෙන් රැන්ගුන් හි කාබා ආයේ හි පැවති සයවන මහා ධර්ම සංගායනාව.
බොහෝ දෙනා සිතා සිටින්නේ ධර්ම සංගීතියක් යනු භික්ෂූන් වහන්සේලා සමූහයක් එක්ව ධර්මය සඣ්ඣායනා කරන අවස්ථාවක් කියා ය. මෙය මුළුමනින්ම වැරදි මතයකි. ධර්ම සංගීතියකදී සිදුවන්නේ එවකට පැවතගෙන එන ධර්මයේ (සූත්‍ර, විනය, අභිධර්ම පිටක වල) වචනයෙන් වචනය ගෙන සාකච්ඡා කිරීමයි. එහිදී එම ථෙරවරුන් අතර එම වචනයන්හි තේරුම් පිළිබඳව වාද විවාද ඇතිවේ. බොහෝ වචන පිළිබඳව සැක මතු නොවුණද සියලු දෙනාට එක සේ එකඟවිය නොහැකි ස්ථානයක් වෙතොත් ඒ ගැන ඉතා ගැඹුරට සාකච්ඡා වීම සිදුවේ. සංගායනාව අවසන් වන්නේ සෑම වචනයක් පිළිබඳව ම පොදු එකඟතාවක් ථෙරවරුන් අතර ඇති වූ විට පමණි.

මේ අතරින් ඉතාම මෑතකදී බුරුමයේ පැවති සයවන මහා ධර්ම සංගායනාවේදී එසේ විවාදයට ලක් වූ කරුණු බොහොමයකි. පාරාජිකාපාලියේ වේරඤ්ජා කාණ්ඩයේ එන 'පත්ථ පත්ථ පුලකං' යන පාඨය ඉන් එකකි. එම සංගායනාවේදී ශ්‍රී ලාංකේය භික්ෂු සමාජය නියෝජනය කළ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි ඇතුලු භික්ෂු පිරිස කියා සිටියේ මෙම පාඨය නිවැරදි බවයි. නමුත් බුරුමයේ පොත්පත් වල සහ පස්වන ධර්ම සංගායනාවෙන් අනතුරුව ශිලා ලේඛනගත කළ පාරාජිකා කාණ්ඩ වල තිබුණේ 'පත්ථ පත්ථ මුලකං' කියා යි. එබැවින් මේ 'මුලකං' යන පාඨය වැරදි යැයි පිළිගැනීමට බුරුමයේ මහථෙරවරුන් කැමති වූයේ නැත. හලායුධ කෝෂාදී පැරණි සංස්කෘත ශබ්දකෝෂ වලට අනුව 'පුලාක' යනු 'යවසාල්' යන්නයි. (යවසාල් යනු අශ්වයන්ට ආහාරයට දෙන ධාන්‍ය වර්ගයකි). 'මුලක' යනු විෂ මුල් වර්ගයකි. නමුත් අවසානයේ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් ශුද්ධ මාගධී, අර්ධ මාගධී සංස්කෘත සහ ප්‍රාකෘත භාෂා වලින් උදාහරණ ගෙනහැර දක්වමින් මෙම පාඨය පැහැදිලි කිරීම නිසා සියලුම හිමිවරුන්ට, නිවැරදි කුමක්ද යන්න පිළිබඳ මනා අවබෝධයක් ලැබිණි. එම මහ ථෙරවරුන් මෙවන් සුලු කරුණු පිළිබඳව ද ඉතා ගැඹුරු ලෙස සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීම නිසා දැනට ලෝකයේ පවතින නිර්මල ථෙරවාදී ත්‍රිපිටක ග්‍රන්ථ, සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ වචන ම බවට කිසිදු සැකයකින් තොරව ඕනෑම කෙනෙකුට පිළිගත හැක....

අද්නන් ඔක්ටාර් වැනි බක පණ්ඩිතයන්ගේ නොදියුණු මොළ වලට තේරුම්ගත නොහැකි සත්‍යය එයයි...! (අවාසනාවකට මෙන් නූතන බෞද්ධයන්ගෙන් ද ඇතැමෙකු අයත් වන්නේ මෙම ගණයටම ය).

ධර්ම සංගායනා යනු බෞද්ධ දර්ශනයට පමණක් ආවේණික සංකල්පයකි. වෙනත් ආගම් වල ශාස්තෘවරයන් විසින් දේශිත ධර්මය නැවත සාකච්ඡාවට වරම් නැත. එම ආගම් වල දෙවියන්ගේ ධර්මය නැවත විචාරා සිටීම මහා පවකි. නමුත් බුදුරජාණන් වහන්සේ තම ධර්මය විචාරයෙන් තොරය පිළිනොගන්නා ලෙසට සෑම බුද්ධ ශ්‍රාවකයෙකුටම දේශනා කළේ මෙසේ ය.
“මහණෙනි, දක්ෂ රන්කරුවකු උණූ කිරීමෙන් හා උරගලෙහි ඇතිල්ලීමේන් රන්වල නියම ස්භාවය දැනගන්නා පරිද්දෙන් විචාරාත්මක පරීක්ෂාවෙන් මිස මා කෙරෙහි ඇති ගෞරවය නිසා මාගේ ධර්මය පිළිනොගත යුතුය.”
බුදු දහමේ එන, විමර්ශනයේ වැදගත්කම හෙළිකරන තවත් මහඟු ධර්ම කොටසක් නම් නම් "කාලාම සූත්‍රය"යි. කාලාම නම් ජනපදයේ වැසියන් පැමිණ ඉදිරිපත් කළ ගැටලුවකට පිළිතුරක් ලෙස බුදුරජාණන්වහන්සේ මෙය දේශාකර වදාළ සේක. එම ගැටලුව මෙයයි.
"බුදුරජාණන් වහන්ස, නොයෙක් කාලයන් වල නානාප්‍රකාර ශාස්තෘන් වහන්සේලා පැමිණ අපට නානාප්‍රකාර ධර්ම දේශනා කර යති. නමුත් මෙම සිය ගණනක් වූ ධර්මයන් අතරින් නිවැරදි කුමක්දැයි අප නිර්ණය කරන්නේ කෙසේද?"
ලොව මෙතෙක් පහළ වූ අනෙක් සෑම ශාස්තෘන් වහන්සේ නමක්ම මෙවන් අවස්ථා වලදී දුන් පිළිතුර නම් තමා දේශනා කරන ධර්මය පමණක්ම නිවැරදි බවත් අනෙක් ධර්මයන්ට සවන්දීම වත් නොකරන්න යන්න ය. වෙනත් ධර්මයන්ට සවන්දීම පමණක් නොව සිතීම ද පාපයක් ලෙසයි ඔවුන් ප්‍රකාශකර සිටියේ. බුදුරජාණන්වහන්සේට ද කාලාම වැසියන් තමාට අවනත කරගනු පිණිස තම ධර්මය පමණක් නිවැරදි යැයි කියා සිටිය හැකි වුවද උන්වහන්සේ එසේ නොකළේ ය. ඒ වෙනුවට උන්වහන්සේ ඉහත පැනයට දේශනා කොට වදාළ පිළිතුර අන් සෑම ආගමික ශාස්තෘන්වහන්සේ නමකටම ආදර්ශයකි. එනම්,
කාලාමයෙනි,
යම් දහමක් ඇසූ පමණින් පිළි නොගන්න.
පරම්පරාවෙන් පැවත එන නිසා (දෙමාපිය, නෑදෑයන් ඇදහූ නිසා) පිළි නොගන්න.
පොත්පත් වල තිබූ පමණින් පිළි නොගන්න.
වඩාත් තර්කානුකූල වූ පමණින් (ප්‍රබලම තර්කය ඉදිරිපත් කළ පමණින්) පිළි නොගන්න.
නමුත්,
තම බුද්ධි ප්‍රමාණයෙන් ගැඹුරින් සළකා බලා බුද්ධියට ගෝචර වේ නම් පමණක් පිළිගන්න........
ඉදින් බුදු දහම තුළ චින්තනයට, පරීක්ෂණයට ලබාදී ඇති නිදහස ගැන තවදුරටත් කතාකරනු කිම?
නමුත් එම කරුණම සම්බන්ධයෙන් බයිබලයේ එන පාඨය මෙයයි.
"යමක් ඒ (බයිබලයේ) වචන වලට යමක් එකතු කරන්නේ නම් දෙවියන් වහන්සේ, මේ පොතෙහි (බයිබලයේ) එන පීඩා ඔහුට එකතු කරන සේක. යමෙක් මේ අනාගත වාක්‍ය පොතේ වචන වලින් යමක් අහක් කරන්නේ නම් මේ පොතෙහි ලියා තිබෙන ජීවන වෘක්ෂයෙන් ද, ශුද්ධ නුවරින් ද, දෙවියන් වහන්සේ ඔහුගේ කොටස අහක් කරන සේක."
-ශුද්ධ වූ යොහාන්. හෙළිදරව්ව 22:18
පවතින ධර්මය නිවැරදි දැයි සෙවීම මේ අනුව කිතු දහමට අනුව සපුරා තහනම් වේ. මන්ද වැරදි මතවාද ඉවත්කිරීමෙනුත්, කාලයත් සමඟ මුල් දහමෙන් හැලී ගිය මතවාද යළි එක් කිරීමෙනුත් තොරව ධර්මය විචාරා සිටීමේ කිසිදු හැකියාවක් නැති බැවිනි. මේ සඳහන් කළේ කිතු දහම පිළිබඳවයි. කිතු දහමේ නිදහස් චින්තනයට යම් හෝ ඉඩක් තිබේ ද අද්නන් ඔක්ටාර් ලා අදහන ඉස්ලාම් දහමේ ධර්ම විචාරයට ඉන් දශමයක වත් ඉඩකඩක් නොමැති බව ඔබ නොදන්නේ යැයි මම නොසිතමි. මන්ද යත් ඉස්ලාම් දමට අනුව ශුද්ධ වූ කුරාණය පරීක්ෂාවට භාජනය කිරීම මරණීය දණ්ඩනය හිමිවන වරදක් බැවිනි. පහත දැක්වෙනුයේ ඉස්ලාම් දහම විශ්වාස නොකරන සියලු දෙනාට එරෙහිව සටන්වැද දඬුවම් දෙන ලෙස ශුද්ධ වූ කුරාණය නියෝග කරන පාඨයයි.

009.012
YUSUFALI: But if they violate their oaths after their covenant, and taunt you for your Faith,- fight ye the chiefs of Unfaith: for their oaths are nothing to them: that thus they may be restrained.
PICKTHAL: And if they break their pledges after their treaty (hath been m
ade with you) and assail your religion, then fight the heads of disbelief - Lo! they have no binding oaths - in order that they may desist.
SHAKIR: And if they break their oaths after their agreement and (openly) revile your religion, then fight the leaders of unbelief-- surely their oaths are nothing-- so that they may desist.

009.013
YUSUFALI: Will ye not fight people who violated their oaths, plotted to expel the Messenger, and took the aggressive by being the first (to assault) you? Do ye fear them? Nay, it is Allah Whom ye should more justly fear, if ye believe!
PICKTHAL: Will ye not fight a folk who broke their solemn pledges, and purposed to drive out the messenger and did attack you first? What! Fear ye them? Now Allah hath more right that ye should fear Him, if ye are believers
SHAKIR: What! will you not fight a people who broke their oaths and aimed at the expulsion of the Messenger, and they attacked you first; do you fear them? But Allah is most deserving that you should fear Him, if you are believers.

009.014
YUSUFALI: Fight them, and Allah will punish them by your hands, cover them with shame, help you (to victory) over them, heal the breasts of Believers,
PICKTHAL: Fight them! Allah will chastise them at your hands, and He will lay them low and give you victory over them, and He will heal the breasts of folk who are believers.
SHAKIR: Fight them, Allah will punish them by your hands and bring them to disgrace, and assist you against them and heal the hearts of a believing people.

Al-Qu'ran 9:12, 9:13, 9:14

එබැවින් වසර දහස් ගණනක් තිස්සේ එම ආගම් වලට එකතු වූ දුර්මත ඉවත් කිරීමේ කිසිදු හැකියාවක්, එම දහම් වල මූලික නීති බිඳදැමීමෙන් තොරව සිදුකළ නොහැක. එබැවින් එවන් මත දරා සිටින්නෙකු චින්තනයේ නිදහස ගැන කතාකිරීම පවා හාස්‍යජනක වේ.

ඔවුන්ගේ අනෙක් තර්කය නම් වසර 400ක් යනතුරු ධර්මය පැවතීගෙන ආවේ මුඛ පරම්පරාගතව බවත් එම කාලය තුළ ධර්මය විකෘති වලට ලක් වූ බවත් ය.

වළගම්බා රජ සමයේ 'බැමිණිතියාසාය' පැමිණ බුදු දහමේ මුඛ පරම්පරාගත ආචාර්ය පරම්පරාවන්හි පැවැත්මට තර්ජනයක් එල්ල වනතුරු කිසිවෙකුත් බුදුදහම ලේඛනගත නොකළ බව සත්‍යයකි. ඔහු කියන හාස්‍යය උපදවනසුලු කතාව නම් බුදුන් වහන්සේ තම ධර්මයෙන් බිඳක් වත් ලියා නොතැබූ බවයි. තවද එම කාලයේ විසූ කිසිවෙකුත් ධර්මය ලියා තැබුවේ නැති ලු. කොතරම් පුදුමයක් ද? මෙතරම් ජනාදරයට ලක් වූ ශාස්තෘන් වහන්සේ නමකටත් තමා යන යන තැන පසුපසින් ගොස් දේශනා කරන සියල්ල ලියා තැබීමට පෞද්ගලික ලේකම්වරයෙකු නොසිටි හැටි...!!

ලොව කිසිදු ශාස්තෘන්වහන්සේ නමක් තම ධර්මය ලියා නොතැබූ බව මේ තැනැත්තා දන්නේ නැත. සෑම ශාස්තෘන් වහන්සේ නමකගේම ධර්මය ග්‍රන්ථාරූඪ වූයේ උන්වහන්සේලාගේ මරණින් පසුව ය. උදාහරණයක් වශයෙන් බයිබලයේ ශුභාරංචිකරුවන් (Gospels) වන මාක්, ලූක්, මැතිව් සහ ජෝන් තම සටහන් තබන්නට පටන්ගන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් වසර 35 ත් 65 ත් අතර කාලයේ ය. එපමණක් නොව, ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුරාණය පවා ලියැවෙන්නේ මොහොමඩ් නබිතුමාගේ මරණින් පසුවයි. නබිතුමා පවා තම අනුගාමිකයන්ට අදහස් ප්‍රකාශ කළේ වචනයෙන් විනා ලේඛනයෙන් නොවේ. (නබිතුමා ක්‍රි.ව. 632 දී මියගිය අතර කුරාණය ලියැවෙන්නේ ක්‍රි.ව. 633 දී ය. නමුත් එය ඉස්ලාම් භක්තිකයන්ගේ භාවිතයට ගැණෙන්නේ ක්‍රි.ව. 653 තරම් පසු කාලයක ය).

දැන් කෙනෙකුට තවත් ගැටලුවක් පැන නැගිය හැක. බුදු දහම ග්‍රන්ථාරූඪ කිරීමට වසර 400ක් තරම් කාලයක් ගත වූයේ ඇයි? ඊට හේතුව නම් බුදු සමය බිහිවන ඉන්දියාවේ ලේඛන කලාව එතරම් ප්‍රචලිතව නොපැවතීමයි. එබැවින් එම සමාජ ක්‍රමයේ නොතිබූ යමක් හඳුන්වා දෙමින් බුදු දහම ලේඛනගත කිරීමට මහරහත් ථෙරවරුන්ට හැකියාවක් තිබුණේ නැත. නමුත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු එළඹෙන කාලයේදී ලේඛන කලාව ප්‍රචලිත වේ. පුරාතන ග්‍රීසියේ ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැනි සුප්‍රකට ලේඛකයන් පහළ වේ. එය ලෝකයේ සෑම දෙසට ම පැතිරගොස් ක්‍රි.ව. යුගය වන විට ආගමික ග්‍රන්ථ ද බිහිවේ. බුදු දහම මෙන්ම කිතු දහම ද ග්‍රන්ථාරූඪ වන්නේ එකම කාල පරිච්ඡේදයක ය. (එනම් ක්‍රි.ව 65-100 අතරයි. වළගම්බා රජු රාජ්‍යත්වයට පැමිණෙන්නේ ක්‍රි.ව. 66 දී ය). ඊට කලින් ද බුදු දහමේ ඇතැම් කොටස් ශිලා ලේඛනගත කර තිබූ බව සළකනු මැනවි.

නමුත් රචනා කිරීමෙන් පසුව ත්‍රිපිටකය හැරුණු විට එකම ආගමික ග්‍රන්ථයක් වත් නැවත සංශෝධනය කර නැත. මනාව ලියූ ග්‍රන්ථයක් නැවත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව කුමක් දැයි මෙහිදී කෙනෙකුට ගැටලුවක් පැන නැගිය හැක. ඊට හේතුව මෙයයි. මෙම ග්‍රන්ථ ලියවෙන අවධිය වන විට මුද්‍රණ යන්ත්‍ර බිහි වී තිබුණේ නැත. එබැවින් එකම ග්‍රන්ථයක් වෙනත් තැනකට පිටපත් කිරීම සිදුකළ යුතු වූවා නම් එය සිදුකළ යුතු වූයේ අතිනි. එසේම එකම ග්‍රන්ථයක එක් පිටපතක් පමණක් තිබීමත් ආරක්ෂා සහිත නොවේ. එබැවින් අඩුතරමින් පිටපත් 5ක් වත් තබාගැනීමට සිදු වූවාට සැකයක් නැත. මේ සියල්ල පිටපත් කිරීම සිදුකළයුතු වූයේ අතිනි. ඉදින් ත්‍රිපිටකය, බයිබලය, කුරාණය වැනි දැවැන්ත ග්‍රන්ථ වල අත් පිටපත් ලිවීමේදී කොතරම් වැරදි සිදුවන්නට ඇත්ද?

එම පිටපත් කිරීමේ දෝෂ කාලයත් සමඟ නිවැරදි කිරීම හෝ විනාශ වී ගිය ලේඛන කොටස් නැවත පිරවීම බයිබලය හා කුරාණය විෂයෙහ් සිදු වී නැත. මේ පිළිබඳ ප්‍රබල විවේචන මතුවී තිබේ.
එපමණක් ද නොවේ. බයිබලයේ හා කුරාණයේ එන ඇතැම් කරුණු වල සමාජමය නොගැළපීම් රාශියක් ඉතිහාසඥයන් විසින් හඳුනාගෙන ඇත. බයිබලයේ එන නොගැළපීම් දෙකක් මෙසේ සඳහන් කළ හැක.
  1. ශුභාරංචිකරුවන් සමහර ප්‍රකාශ කරන්නේ ජේසුස් වහන්සේ ජීවත් වූ පලස්තීනයේ භූගෝලීය කරුණු පිළිබඳව හෝ දැනීමකින් තොරවය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තීර් (Tyre) වලින් පිටත්ව සිඩෝනය (Sidon) හරහා දෙකපොලිසයේ (Decapolis) සීමා මැදින් ගැලීලිහි මුහුද (Sea of Galilee) ළඟට ගමන් කළ බව මාක් කියයි. (මාක් 7.31)*1*. ජේසුස් වහන්සේ ජීවත් වූ කාලයේ සිඩෝනය හරහා ගැලීලි දක්වා ගමන් මාවතක් තිබී නැත. තත් කාලීන පලස්තීන සිතියම පරීක්ෂාකරන විට මාක් පවසන යේසුස් වහන්සේගේ ගමන වටෙන් නහය ඇල්ලීමකට සමාන බව පෙනේ.
  2. මාක්ට භූගෝලීය කරුණු පමණක් නොව යුදෙව් නීතිය ගැන හෝ දැනුමක් නොවූ බව පැහැදිලි වන අවස්ථා බයිබලයේ තිබේ. “කාන්තාවක් තම ස්වාමියාගෙන් දික්කසාද වී වෙනත් පුරුෂයකු සමඟ විවාහ වුවහොත් ඇය පරදාර සේවනය කල තැනැත්තියක ලෙස වරදකාරියක වේ” යයි මාක් කියයි. (මාක් 10.12)*2*. මෙය යුදෙව් සමාජයේ ජීවත් නොවූ අයකු කළ ප්‍රකාශයකි. යුදෙව් සමාජයේ කාන්තාවන්ට දික්කසාද වීමට පවා හැකියාවක් නොවිණි!
(වැඩිදුර කියවීම්: Biblical Criticism , Criticism of the Qur'an, යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ)

නමුත් ත්‍රිපිටකය කාලයෙන් කාලයට සංස්කරණය වූ නිසා පිටපත් කිරීම් වලදී වැරදුණු තැන් සොයාගැනීමට හැකියාව ලැබිණි. ඊට හොඳම උදාහරණය නම් මා කලින් සඳහන් කළ සයවන ධර්ම සංගායනාවේදී ඇති වූ 'පුලක' යන වචනය සම්බන්ධ ගැටලුවයි. මෙම වචනය සම්බන්ධ ගැටලුව නිර්මාණය වූයේ ඉන් බොහෝ කලකට පෙර ලංකාවෙන් බුරුමයට උපසම්පදාව ගෙනයද්දී ඡ්ප්පද (ඡප්පට) තෙරුන් ප්‍රධාන සංඝයාවහන්සේ ලංකාවේ පුස්කොළ පොත්වලින් පිටපත් කරගෙන ගිය පෙළ අටුවා ටීකා යනාදියෙහි සිදු වූ අත්වැරදීම් වලින්. කාලයකට පසුව හෝ ඒවා නිවැරදි නොකරන්නට එම වැරදි තවමත් ත්‍රිපිටක ධර්මයෙහි පවතිනවා නොවේද? එසේ නම් සියවස් ගණනාවක් විමසීමකින් තොරව පිටපත් වෙමින් එන ග්‍රන්ථ වල තත්ත්වය කෙබඳු වනු ඇත්ද?

මම සිතෙන හැටියට බුදු දහමට එරෙහිව එල්ල වූ ප්‍රධානතම විවේචනයට සාර්ථක පිළිතුරක් මෙතැන තිබේ. (ඔබට මුල් පැනය කුමක්දැ යි මතක නැතිනම් නැවත කියවා බැලීම යෙහෙකි). අවසාන වශයෙන් කීමට තිබෙන්නේ මෙවන් අභියෝග හමුවේ බුදු දහම සලිත නොවන අතර මතුවන සෑම ගැටලුවකට ම පිළිතුරක් බුදු දහම තුළ ම ගැබ්ව තිබෙන බවයි. එසේම මෙවන් ගැටලු වලට බෞද්ධයන් වන අප පිළිතුරු දීමට යන විට නිතැතින්ම සිදුවන්නේ ගැටලුව බූමරංගයක් මෙන් කැරකී උක්ත විවේචකයන්ගේ ම ආගම් වල සාධාරණත්වය ප්‍රශ්නාර්ථයකට ලක් කිරීම සිහිපත් කර සිටීම වටී.


- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොටස) සමාප්තයි -

මීළඟ ලිපිය: බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කොටස)

Monday, June 22, 2009

ලොව මහා ධන කුවේරයෝ දුප්පත් වෙති

ලෝකය පසුගිය කාලයේ ගොඩක් දුප්පත් වුණා. ලෝකයත් හරියට අපි වගේමයි. ගොඩක් වෙලාවට දුප්පත් වෙන කාලෙට හැමෝම එක සැරේ දුප්පත් වෙනවා. පොහොසත් වෙන කාලෙට හැමෝම ටික ටික හරි පොහොසත් වෙනවා. මම කියන්නෙ ආර්ථික අංශය ගැන විතරයි. වෙනත් අංශ වලින් ඒ වගේ සම්බන්ධයක් දකින්න අමාරුයි. නැත්තෙමත් නැහැ. නමුත් ගෝලීයකරණයේ බලපෑම දැනෙන ප්‍රමුඛතම අංශය වන්නේ ආර්ථිකය. ඒකෙ සැකයක් නැහැ.

පසුගිය කාලයේ ලෝකය ප්‍රබල ආර්ථික අර්බුදයකට මුහුණපෑවා. තවමත් ඒකෙ බලපෑම අවසන් නැහැ. ඕවා ගැන හොය හොය ඉන්න වෙලාවක මටත් අපූරු කරුණු පෙළක් කියවන්න ලැබුණා. ඒ තමයි ලෝකයේ ප්‍රමුඛ පෙළේ ධන කුවේරයන් ගැන. බටහිර ලෝකය මහා ධන කුවේරයෙක් කියා අර්ථ දක්වන්නෙ සමස්ත වත්කම ඇමරිකන් ඩොලර් බිලියනය ඉක්මවන පුද්ගයෙකුව. ඇ.ඩො. බිලියනයක් කියන්නෙ එසේ මෙසේ ගානක් නෙවෙයි. ගානෙ ලොකුකම නිසා අපි ගොඩක් දෙනෙක්ට මේ කොපමණ මුදලක්ද කියල එතරම්ම වැටහීමක් නෑ. ඒ නිසා උදාහරණයකින් කියන්නම්. අද දවසේ අපේ රටේ මුලු වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 32 යි. අවම වශයෙන් මේ වත්කම ඉක්මවන පුද්ගලයන් 3න් දෙනෙකු වත් අද ලෝකයේ ඉන්නවා. මයික්‍රොසොෆ්ට් ලොක්කා, අපේ බිල් අයියා ඉන් එක්කෙනෙක් පමණයි. (ලෝකයේ මෙතෙක් බිහිවූ ධනවත්ම පුද්ගලයා ලෙස හැඳින්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ
John D. Rockefeller. ඔහුගේ මුලු වත්කම අද මුදලින් ඇමරිකන් ඩොලර් බිලියන 318.3ක්. ලෝකයේ, නාමිකව මුලු වත්කම ඇ.ඩො. බිලියනය ඉක්මවා ගිය ප්‍රථම පුද්ගලයාත් ඔහුයි. ඉහත අගය ගණනය කර තිබෙන්නේ මුදලේ අගය හීන වීමත් සැළකිල්ලට ගෙනයි. අද ලෝකයේ ජීවත්වන, තම ජීවිත කාලය තුළ ඇමරිකන් ඩොලර් බිලියන 100කට වඩා ඉපැයූ එකම පුද්ගලයා - centibillionaire - බිල් ගේට්ස්. ඔහු ඉපැයූ මුදල ඇ.ඩො. බිලියන 101ක්. නමුත් ඔහුටත් ලොව බිහිවූ අති සුපිරි ධන කුවේරයන්ගේ ලැයිස්තුවේ හිමිවන්නේ 20 වන ස්ථානය!)

ඒ කියන්නෙ ඔවුන්ට අපේ රටේ සියලුම දේපළ වුණත් මිලදීගන්න පුලුවන් කියන එක නෙවෙයිද? හිතලා බලන්න ලොකයේ ජනගහණයෙන් ආසන්න වශයෙන් 15%ක් ජීවත් වෙන්නෙ දවසකට ඇ.ඩො. 1කට වඩා අඩු මුදලක් ඉපැයීමෙන්. ඇ.ඩො 2කට වඩා දිනකට උපයන පිරිස 40%ක්. මේ දත්ත දිහා බැලීමෙන් ඔබට තේරෙන්න ඕනෙ පවත්නා ක්‍රමයේ තියන ආදායම් බෙදී යාමේ විෂමතාව. මේක ගැන පසුවට තවත් ලියන්න තමයි මගේ බලාපොරොත්තුව. නමුත් අද මම සූදානම් වෙන්නෙ වෙනත් කරුණක් ගැන කියන්න. ඒ තමයි ගෝලීය ආර්ථික අර්බුදය මේ සුපිරි ධන කුවේරයන්ට බලපාපු අන්දම!

2008 වසරේ ලෝකයේ හිටපු billionairesලා ගණන 1125ක් (බිලියන 2.7ක් දවසකට ඩොලර් 2කට අඩුයි!) නමුත් 2009ට එද්දි මේ ලැයිස්තුවේ ඉතිරි වෙලා හිටියේ 793ක් විතරයි. 393ක් ධනකුවේරයන්ගේ රේඛාවෙන් පහළට ඇද වැටුණා. ඉන් 355ක් ඉවතට විසි වුණේ ආදායම පහළ බැසීමෙන්. 18 දෙනෙක් මේ වසර ඇතුළත මියගියා. කොහොම වුණත් 38 දෙනෙක් මේ ලැයිස්තුවට අලුතෙන් එකතු වෙනත් සමත්වුණා. මේ 38 දෙනාගෙන් 10ක් කලින් ලැයිස්තුවෙන් කැපිලා ගිහින් ආපහු එකතු වුණු අය. කොහොම වුණත් අවසාන ප්‍රතිඵලය නම් සමස්ත පුද්ගල නම් ගණන 30%කින් අඩු වුණා. 2003 වසරෙන් පසුව තමයි මේ වගේ පහත බැසීමක් සිදුවුණේ. ඒකෙන් පෙනෙන්නෙ ගිය වසර කාට කොහොම වුණත් ධන කුවේරයන්ට නම් ඉතාම අපල වසරක් වූ බව. අද වන විට මේ 793 දෙනාට අයත් මුලු වත්කම ඇ.ඩො. ට්‍රිලියන 2.4ක්. ඒකත් ගිය වසරේ සිට ඇ.ඩො. ට්‍රිලියන 2කින් පමණ අඩු වෙලා තිබෙනවා. මේ ලැයිස්තුව තුළ තවදුරටත් එල්ලිලා ඉන්න සමත් වෙච්ච පිරිසගෙ වුණත් වත්කම් ප්‍රබල ලෙස අඩු වුණා. ඒ අතරින් ලැයිස්තුව උඩම හිටපු දෙනාට වෙච්ච වින්නැහිය බරපතළයි.

උදාහරණයක් ලෙස බිල් ගේට්ස් ලොක්කගෙ විතරක් වටිනාකම ඇ.ඩො. බිලියන 18කින් අඩු වුණා. නමුත් මේ බරපතල ආර්ථික අවපාතය ඔහුට එක හොඳක් කළා. අවුරුදු 14ක් තිස්සෙ ලෝකයේ අංක එකේ ධනවතා වෙලා හිටපු ඔහුගෙ තැන 2008 දි අහිමි වීමෙන් අනතුරුව ඒ නැතිවුණු කිරුළ ආපහු ඔහුගෙ ඔලුවෙ පළඳවන්න මේ සිද්ධි දාමය සමත්වුණා. ඒ ඔහුව තුන්වැනි තැනට දාපු වොරන් බුෆේ ගේ සහ කාලෝ ස්ලිම්ගේ වත්කම් ඔහුටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වීම. මේ දෙන්නගෙම වත්කම් ඇ.ඩො. බිලියන 25 බැගින් අඩු වුණා. නමුත් පසුගිය වසාරෙ ලෝකෙ අවාසනාවන්තම ධනවතුන් දෙන්නා ඔවුන් නෙවෙයි. ඒ තමයි ඉන්දියාවේ අනිල් අම්බානි- මුකේෂ් අම්බානිගෙ සොහොයුරා. ඔහුගෙ වත්කම් එම වසර තුළ පමණක් ඇ.ඩො. බිලියන 32 කින් (76% කින්) අඩු වුණා (අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතය!).

මේ වගේ මහා පරිමාණ අගයන් වලින් එකවරම වත්කම් අඩුවෙන්න හේතුව මොකක්ද කියල කෙනෙකුට ගැටලුවක් ඇතෙවෙන්න පුලුවන්. ඒක තමයි ඔවුන්ගේ වත්කම් බොහෝ දුරට කොටස් වෙළඳපොලේ හැසිරීම මත රඳාපැවතීම. ඔවුන්ගෙ සමාගම් වල කොටස් මිල අඩුවෙන්න පටන්ගත්තම ඒක ඍජුවම ඔවුන්ගෙ වත්කමට බලපානවා. ඔවුන්ගෙ වත්කමයි කොටස් වෙළඳපොළයි කියන්නෙ එකම කාසියේ දෙපැත්ත වගේ!

දැනට ඉන්දියාවෙ ඉන්න මුලු billionairesලා ගණන 24ක්. එය පසුගිය වසරට වඩා 29ක අඩුවීමක්. ඉන්දියාවේ මේ ඇදවැටීමත් සමඟ ආසියාවේ වැඩිම සියක් කෝටිපතියන් සිටින රට වීමේ ගෞරවය චීනයට හිමි වෙලා තියනවා. හිතන්න, ලෝකයේ ලොකුම සමාජවාදී රාජ්‍යය
චීනය ලු! (අපේ සමාජවාදී මිතුරන් මට බනින්න එපා. ඕක තමයි තිත්ත ඇත්ත). ඒ විතරක් නෙවෙයි. ලෝකයේ වැඩිම billionairesලා ඉන්නා නගරය වීමේ ගෞරවය, මොස්කව් නුවර පරදවමින් නැවතත් දිනාගැනීමට නිව්යෝක් නගරය සමත් වී තිබෙනවා. 2008 දී මොස්කව් වුවර සිටි සුපිරි ධන කුවේරයන් ගණන 74ක්. නිව්යෝක් නගරයේ 71. එය මේ වසර වන විට මොස්කව් 27ක් සහ නිව්යෝක් 55ක් දක්වා පල්ලම් බැස තිබෙනවා. සමාජවාදයේ තිඹිරිගෙය ධනවාදය පසුපස හඹා යමින් ඉන්න හැටියි ඒ!

සුපුරුදු පරිදි වැඩිම ධන කුවේරයන් පිරිසකට නිජබිම වෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදය. නමුත් ඒ ප්‍රමාණයත් පසුගිය වසර තුළ 110 කින් අඩු වී තිබෙනවා.

ලෝක ආර්ථිකය මේ වගේ දරුණු අගාධයකට වැටෙමින් තිබෙන මොහොතක එම උවදුරෙන් ගොඩ ඒමට ධනවතුන්ට මඟක් තිබෙනවාද? පසුගිය වසර තුළ තම ධනය වැඩිකරගත් පුද්ගලයින් ගැන අධ්‍යයනය කිරීමෙන් ඒ ගැන යම් අදහසක් ලබාගත හැකියි. එක් අයෙකු තමයි මෙක්සිකෝවේ Joaquín Guzmán Loera. ඇමරිකාවේ කොකේන් සැපයුම්කරුවන්ගෙන් ප්‍රධාන තැනක් හිමිවන්නේ ඔහුට. තවත් පුද්ගලයෙක් තමයි ඇමරිකානු ජාතික John Paul Dejoria. ඇමරිකාවේ ප්‍රධානතම tequila නිෂ්පාදන සමාගමක් වන Patrón Tequila හි හිමිකරු ඔහුයි.

ලෝකය ගමන් කරමින් පවතින දිශාව නිර්ණය කිරීම ඔබට බාරයි..............

ඇසුර: Forbes

Thursday, June 18, 2009

මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?

මෙම ලිපියට හේතුපාදක වන්නේ අධ්‍යාපනික විශ්ලේෂනයක් (Academic Analysis), නැතහොත් තර්කයක් (Argument) විනා කිසිවෙකුගේ විශ්වාස හෝ ඇදහීම් වලට අගෞරව කිරීමේ යටි අරමුණක් නොවන බව කරුණාවෙන් සලකන්න......

මෙම ලිපිය ලිවීමට මා යොමු කළේ මෑතකදී නරඹන්නට යෙදුණු එක්තරා වීඩියෝ දර්ශන පෙළකි. මේ ලිපිය අවසානයට අමුණා ඇති ඒවා ඉතා වධානයෙන් නරඹන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිමි. නැරඹීමට කලින් ඒවා කුමක් සම්බන්ධවදැයි දැන සිටීම වැදගත් වේ යැයි සිතිය හැක.

මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ ක්‍රිස්තියානි දහමේ උපත සහ අරමුණයි. ක්‍රිස්තියානිය යනු ඒක දේවවාදී ආගමක් (Monotheism) ව
න අතර එයට අනුව දෙවියන්ගේ පණිවුඩය මෙලොවට රැගෙන ආවේ එක් දූතයෙකු විසිනි. එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. මෙය බයිබලයේ එන කතාවයි. බොහෝ දෙනා මෙය නැවත විමසීමකින් තොරව පිළිගනිති.

නමුත් ගැඹුරට අධ්‍යයනය කරන කල මතුපිටින් පෙනෙන දෙයට වඩා ඉතා ගැඹුරු යමක් මෙහි ගැබ්ව ඇති බව පෙනේ. විශේෂයෙන්ම මෙහිදී
සංවාදයට බඳුන් වන්නේ "ජේසුස්" (Jesus) යන චරිතයේ පැවැත්මයි (එතුමන්ගේ ඉගැන්වීම් නොවේ). සැබැවින්ම දෙවියන්වහන්සේගේ පණිවුඩය රැගෙන ජේසුස් ක්‍රිස්තුස් (Jesus Christ) කියා කෙනෙකු මෙලොව පහළ වූවාද?

ඉදිරිපත් වී ඇති සාක්ෂි සහ සාධක අනුව පැහැදිලිව පෙනෙන කරුණ නම් එවන් කෙනෙකු කිසි දිනෙක මෙලොව වාසය කළේ නැති අතර එම චරිතය හුදෙක් පුරාණ ඊජිත්තු මිථ්‍යා කතා (Egypt Mythology) සහ ජ්‍යොතිෂ්‍යය මත පදනම් වූවක් බවයි....!

එසේ නම් මෙම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ යන චරිතය එන්නේ කොහෙන්ද? විශ්වාස කිරීමට අපහසු වුවත් අධ්‍යයනයන්ගෙන් හෙළිවන කරුණ නම් ඒ අන් කිසිවක් නොව සූර්යයා හෙවත් "හිරු දෙවියන්" බවයි. දැන් අපි ඍජුවම මාතෘකාවට පිවිසෙමු.

පුරාණ ඊජිත්තු ශිෂ්ඨාචාරය දේව වන්දනාව ඉතා බහුලව සිදු වූ තැනකි. එහි ආරම්භය ක්‍රි.පූ 3150 තරම් ඈත අතීතය දක්වා දිවයයි. පුදුමයකට මෙන් පුරාණ ජ්‍යොතිෂ්‍යයේ ආරම්භය ද සනිටුහන් වන්නේ එම කාලයේ ය. ඊජිත්තු මිථ්‍යා කතා වලට අනුව එහි හිරු දෙවියා "හෝරස්" නම් වේ. හෝරස්ගේ ප්‍රධාන විරුද්ධවාදියා සෙට් (Set) ය. සෙට් යනු අන්ධකාරයයි. මිථ්‍යා කතා ලෝකයේ අද්විතීයම අරගලය වන්නේ ආලෝකය (හිරු) ට එරෙහිව අන්ධකාරය, නැතහොත් හොඳ ට එරෙහිව නරක යි. මේ අනුව "හෝරස්" නියෝජනය කරන්නේ යහපතයි. හෝරස්ගේ චරිතයේ එන වැදගත් ලක්ෂණ කිහිපයක් මෙසේ ය.
  1. කන්‍යාවකට (Virgin) දාව උපත ලබයි.
  2. උපත ලබන්නේ දෙසැම්බර් 25ට අනුරූප දිනකදී ය.
  3. ඔහු උපත ලබන මොහොතේ නැගෙනහිර අහසේ දීප්තිමත් තරුවක් පායා තිබුණේය.
  4. උපත ලැබූ විගස රජවරු තිදෙනෙක් පැමිණ ඔහුට සත්කාර කළෝය.
  5. අවුරුදු 12ක් වන විට ඔහු ගුරුවරයෙකි.
  6. වයස 30 දී ඔහු ශුද්ධ වූ තත්ත්වයට පැමිණිනි (Baptized).
  7. ප්‍රධාන අනුගාමිකයන් ගණන 12කි.
  8. ජීවිත කාලය මුළුල්ලේ විශාල වශයෙන් අරුම පුදුම දෑ (මායා බලයෙන් ලෙඩ සුවකිරීම වැනි) කළේය.
  9. පාවාදීමකින් අනතුරුව කුරුසියේ තබා ඇණ ගසන ලදී (Crucified).
  10. මරණයෙන් අනතුරුව නැවත නැගිට සිටියේ ය (Resurrected).
මිථ්‍යා කතා වල ලක්ෂණයක් වන විවිධ අර්ථදැක්වීම් පැවතීම මෙහිදී ද දක්නට ලැබුණද ඉහත අවස්ථා, "හෝරස්"ගේ ජීවිතයේ සන්ධිස්ථාන ලෙස ගැනේ. මේ ලැයිස්තුව කියවාගෙන යන විට ඔබට මතක් වන්නේ කුමක්ද? වැරදීමකින් තොරවම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයයි. පුදුමයකට මෙන් මෙම සමානතාවන් හෝරස්ගේ හා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයන්ට පමණක් සීමා නොවේ. ග්‍රීක මිථ්‍යා කතාවන්හි එන "ඇටිස්" නැමැති දෙවියා (ක්‍රි.පූ 1200), ඉන්දියාවේ ක්‍රිෂ්ණ දෙවිඳුන් (ක්‍රි.පූ. 900), ග්‍රීසියේ ඩයනයිසිස් (ක්‍රි.පූ.500), පර්සියාවේ මිත්‍රා (ක්‍රි.පූ 1200) යන චරිත ද මේවාට අඩු වැඩි වශයෙන් සමානකම් දක්වයි. නමුත් ඒ සියල්ලේ පොදු මූලය නම් ඊජිත්තුවේ "හෝරස්" ය.

දැන් මතුවන ගැටලුව නම් මේ සියල්ල මෙසේ සමානකමක් දැරීමට හේතුව කුමක්ද යන්නයි. මේ අරුම පුදුම සිදුවීම් අනුපිළිවෙලේ මේ තරමට තිබෙන වැදගත්කම කුමක්ද?

පුදුමයකට මෙන් ඊට හේතුව සැඟවී තිබෙන්නේ සූර්යයාගේ චලිතය තුළයි. තවත් සැකෙවින් කිවහොත් ජ්‍යොතිශාස්ත්‍රය තුළයි. ජ්‍යොතිෂ්‍යය යනු මුලුමනින්ම සූර්යයා හා ඒ වටා පිහිටි ග්‍රහයන්ගේ චලිතය මත පදනම් වූ සිද්ධාන්තයකි (සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත්!). ඊජිත්තු ශිෂ්ඨාචාරය ජනිත වී හෝරස් චරිතය බිහිවන විට ඊජිත්තු ජ්‍යොතිශාස්ත්‍රඥයන් (නැතහොත් තාරකා විද්‍යාඥයන්. එම කාලය වනවිට ජ්‍යොතිශාස්ත්‍රය සහ තාරකා විද්‍යාව යනු එකකි) අහස නිරීක්ෂණය කරමින් අගනා අධ්‍යයනයක නිරත වී සිටියහ. ඒ අනුව ඔවුනට සූර්යයාගේ හා ග්‍රහ චලිතයේ අපූරු සබඳතා රැසක් හඳුනාගත හැකිවිය.

ඔවුන් "හෝරස්" චරිතයට පණ පෙව්වේ එම ලක්ෂණ සියල්ල අන්තර්ගත කරමිනි. එනම් මෙසේ ය.
  1. ඉපදෙන මොහොතේ (දෙසැම්බර් 25) නැගෙනහිර අහසේ ඇති දීප්තිමත් තරුවක් දිස්වේ. තරුව "සීරියස්" ය. සීරියස් (Sirius) යනු අපේ අහසේ දක්නට ලැබෙන දීප්තිමත්ම තරුවයි.
  2. දෙසැම්බර් මස 25 වන දිනයේදී මහ බල්ලා (Canis Major) තාරකා රාශියේ සීරියස් තාරකාව, ඔරායන් රාශියේ බඳපටියේ තරු තුන (ඇල්නිටැක් - Alnitak, ඇල්නිලම් - Alnilam, මින්ටාකා - Mintaka) සමඟ හරි කෙලින් පිහිටයි. එක පෙළට පිහිටි මෙම තරු තුන රජ තුන්කට්ටුව (The Three Kings) ලෙස හැඳින්වේ. ඊජිත්තුවේ මහා පිරමීඩ තුන ද ගොඩනගා ඇත්තේ මෙම තරු තුනට සාපේක්ෂව ය.
  3. දෙසැම්බර් 25 වන දින මෙම තරු 4 ඔස්සේ නැගෙනහිර ක්ෂිතිජය දෙස බලාගෙන ගිය විට ක්ෂිතිජය ඡේදනය වන ලක්ෂ්‍යය එම දිනයේ හිරු උදාවන ස්ථානයයි. රජවරුන් තිදෙනා හිරු (ජේසු බිළිඳා) සොයා එන්නේ යැයි කියන්නේ මේ නිසා ය.
  4. මේ මොහොතේ අහසේ ඇති තවත් වැදගත් රාශියක් නම් කන්‍යාවක් නිරූපණය කරන කන්‍යා (Virgo) රාශියයි. Virgo යන පදයේ තවත් අර්ථයක් නම් House of Bread ය. එමෙන්ම ක්‍රිස්තුස් වහන්සේ උපත ලද බෙත්ලෙහෙම් නගරයේ තවත් අර්ථයක් ද House of Bread ය. මේරි මව් තුමිය බෙත්ලෙහෙමේදී ජේසු බිළිඳාට උපත ලබාදෙන්නේ ඒ අනුවයි.
  5. සිසිර නිවෘත්තිය (Winter Solstice) එළඹෙන්නේ දෙසැම්බර් 21-22 යන දින දෙක තුළ ය. මෙසේ එළඹුණු සිසිර නිවෘත්තිය සමඟ ඉතා වැදගත් සංසිද්ධියක් දකුණුදිග අහසේ සිදුවේ. මාස 6ක් තිස්සේ අහසේ දකුණු දෙසට ගමන් කරමින් පැවති සූර්යයා නැවතත් උතුරු දෙසට ගමන් කිරීම අරඹයි. නමුත් ඒ එක වරම නොවේ. දෙසැම්බර් 22-23-24 යන දින තුනේ දකුණු කුරුසිය (Crux හෙවත් Southern Cross) තරු රාශිය ආශ්‍රිතව නිසලව මෙන් (දෘෂ්ටි මායාවක් පමණි) පැවතී දෙසැම්බර් 25 වන දින නැවතත් අහසේ උතුරු දෙසට ගමන් කිරීම අරඹයි. ක්‍රිස්තුස් වසන්සේ "කුරුසියේ" දී මියගොස් දින 3කට අනතුරුව මරණයෙන් නැගිටීම යනු මෙයයි. මරණයෙන් නැගිටීම නැතහොත් සූර්යයා නැවත ඉහළට ගමන් කිරීම ඇරඹීම වසන්තයේ හෙවත් සෞභාග්‍යයේ ඇරඹුම සනිටුහන් කරයි.
  6. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැගිටීම සැබැවින්ම සිදුවන්නේ දෙසැම්බර් මාසයේ නොව මාර්තු මාසය ආශ්‍රිතව ය. මන්ද සැබැවින්ම වසන්ත ඍතුව උදාවන්නේ මාර්තු 21 නිසා ය. එම නිසා එම දිනය ආශ්‍රිතව Easter සමරනු ලැබේ. සශ්‍රීකත්වයේ උදාව තෙක් මරණයෙන් නැගිටීම පසුපසට ගෙන ඇත්තේ එබැවිනි.
මෙය සැබැවින්ම "පිස්සු හැදෙන" තර්කයකි. මෙය ඇසූ මුල් අවස්ථාවේම මාගේ ඇඟ කිළිපොළා ගියේය. මෙය සැබෑවක් නම් ඉන් අදහස් වන්නේ කුමක්ද? සමස්ත ක්‍රිස්තියානි දහම ම පදනම් වී ඇත්තේ පුරාතන මිථ්‍යා විශ්වාසයන් මත යන්න නොවේද? මෙම විශිෂ්ට නිර්මාණයේ සැබෑ හිමිකරුවන් වන්නේ පුරාණ ඊජිත්තු පූජකයන් ය. ජ්‍යොතිශාස්ත්‍රඥයන් මෙන්ම ආගමික මිථ්‍යා කතාවන්හි කර්තෘත්වය හිමිවන්නේ ඔවුන්ට ය. ක්‍රිස්තියානි පූජකයන් විසින් පසු කලෙක ආදර්ශයට ගෙන, නැතහොත් "කොපි කර" ඇත්තේ ඔවුන්ගේ බුද්ධිමය දේපළ වේ!

ක්‍රිස්තියානියේ සහ මිථ්‍යා විශ්වාසයන්ගේ සමානතාවන් මෙතෙකින් ද කෙළවර නොවේ. එය දැනගැනීම සඳහා මෙය නැරඹිය යුතු ය.

මෙම මතයට පොහොර දමන තවත් තර්කයක් වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පැවැත්ම තහවුරු කෙරෙන ඓතිහාසික ලේඛන වල දැඩි හිඟතාවයයි. කොටින්ම කියතොත් ක්‍රිස්තුස් වහන්සේ කියා කෙනෙකු ගැන හරියට කියවෙන්නේ බයිබලයේ පමණි. ක්‍රි.ව. 1 වන සියවසේ ක්‍රිස්තුස් වහන්සේ වාසය කළ සමයේ එම ප්‍රදේශය ආශ්‍රිතව සිටි පුරාතන ඉතිහාසකරුවන් ගණන හැට ඉක්මවයි. නමුත් ඉන් ක්‍රිස්තුස් වහන්සේ ගැන සඳහන් කර ඇත්තේ 4 දෙනෙකු පමණි. ඉන් තිදෙනෙකුගේ සටහන් වල ක්‍රිස්තුස් වහන්සේ ගැන සඳහන වචනයකට හෝ පේළි කීපයකට සීමා වන අතර අනෙක් පුද්ගලයාගේ සටහන ව්‍යාජ එකක් බව පැහැදිලිවම ඔප්පු වී ඇත. මුලින් සඳහන් කළ තිදෙනාගේ සටහන් වල "ක්‍රයිස්ට්" (Christ) යන වදන ලියැවී ඇත්තේ වෙනත් අර්ථයකින් බව අධ්‍යයනයන්ගෙන් පෙනී යයි. එම අර්ථය නම් "The Anointed One" (දෙවියන්ගේ සේවයට කැපවූ පුද්ගලයා) යන්නයි.

එසේ නම් දැන් අප පිවිසෙන්නේ කොතැනකටද?

ආගමික විශ්වාසය යනු ප්‍රබල මානසික අවියකි. ඒ හරහා කොතරම් දැඩි මනසකින් යුතු පුද්ගලයෙකු වුවද පාලනය කළ හැක. එසේම ආගමික මතවාදය යනු දේශපාලනික උපකරණයක් ද වේ. "ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් මතුවට" (බයිබලයේ එන පරිදි) එළඹුණු යුගය ආගමික හිංසනයේ සහ දේශපාලනික කෲරත්වයේ උච්චතම අවධියකි. එතැන් පටන් 15 වන සියවසෙ මැද කොටස දක්වා මුලුමහත් යුරෝපයම තිබුණේ අඳුරේ ය. The Dark Ages යනුවෙන් එම කාලය ඉතිහාසඥයන් හඳුන්වන්නේ පල්ලිය විසින් එකල සියලුම ජනයා දඬු අඬුවෙන් බැඳදමා සිටි කාලයක් ලෙසට එය සටහන් වී ඇති නිසා ය. 15 වන සියවසෙන් පසුව එළඹෙන පුනරුද (Renaissance) යුගයේදී ඩා වින්සි ලා, කොපර්නිකස් ලා, ගැලීලියෝ ලා සම්ප්‍රදායෙන් බැහැරව, පල්ලියට විරුද්ධව, බයිබලයට පටහැනිව සිතන්නට ආරම්භ නොකළේ නම් යුරෝපය හා සමස්ත බටහිරම
තවමත් අඳුරේ තිබෙනවා විය නොහැකිද?





Tuesday, June 16, 2009

ඊශ්‍රායලය, යුද අපරාධ සහ සුදු පොස්පරස්

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා තවමත් අවසන් නැත. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට එල්ල කළ තවත් එක් අභූත චෝදනාවක් වූයේ රසායනික අවි ප්‍රහාර, විශේෂයෙන්ම සුදු පොස්පරස් යුද කටයුතු වලට යොදාගන්නා බවයි. අවසානයේ සැබැවින්ම ඒවා භාවිතා කළේ කවුදැයි හෙළි විය. නමුත් දඬුවම් දෙන්නට දැන් LTTEයක් ඉතිරිව නැති නිසා එම චෝදනා ඉබේටම අහෝසිව යනු ඇත.

නමුත් තවමත් සුදු පොස්පරස් යුද කටයුතු සඳහා යොදාගැනේ. ඒ ගාසා තීරයේ ය. මේ දැක්වෙන්නේ ගාසා තීරයේ පලස්තීනයට අයත් කොටසේ පාසලකට එල්ලවූ ඊශ්‍රායල සුදු පොස්පරස් ප්‍රහාරයකි. සැබැවින්ම එය මල්වෙඩි සංදර්ශනයක් තරමට අලංකාර ය. නමුත් ප්‍රතිඵලය සංදර්ශනය තරමට සුන්දර නැත. පාසල් ළමුන් රාශියක් මෙහිදී මරුමුවට පත්වේ. දැන් අපට අසන්නට තිබෙන්නේ ඇත්තේ එකම පැනයකි. එනම් 'ලෝක පොලිස්කාරයා' හෙවත් ඇමරිකා එක්සත් ජනපදය හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ සුපැහැදිලි යුද අපරාධකරුවන්ට එරෙහිව කළ හැක්කේ කුමක්ද යන්නයි...........


පුදුමයකට මෙන් ඊශ්‍රායලය මෑතකදී ලංකාවේ යුද අපරාධ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතුයැයි කියා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව ඡන්දය දුනි..........

බ්ලොග්කරුවනි, කරුණාකර මේ ගැනත් සිතන්න!

බ්ලොග්කරණය, සයිබර් අවකාශය තුළ තමාගේ 'හඬ' අවදි කිරීමට ප්‍රියකරන බොහෝදෙනාගේ ප්‍රියතම විනෝදාංශයකි. එය අප රට තුළ තවමත් පුළුල් ලෙස ව්‍යාප්තව නැතත් ව්‍යාප්ත වීගෙන එන පෙරමඟ ලකුණු මනාව දක්නට ලැබේ. බ්ලොග් සටහනක් ලිවීම සඳහා කෙනෙකුටම උවමනා ම වන, ආදේශක නොමැති මෙවලම නම් 'වර්ඩ්ප්‍රෙස්' වත් 'බ්ලොගර්' වත් නොව 'භාෂාව'යි. අන්තර්ජාලයේ ප්‍රධානතම භාෂාව ඉංග්‍රීසිය වුවද උපතින් ඉංග්‍රීසි කතා නොකරන රටවල ඉපදුණු අප වැනි බොහෝ දෙනා, ඉංග්‍රීසි දතත්, තවමත් ප්‍රිය කරන්නේ අපේ හුරුපුරුදු මවු භාෂාවෙන් ලිවීමටයි; කියැවීමටයි. එය සිංහලයන් තුළ උපතින්ම පිහිටි ගුණාංගයක් බව විදේශයන්හි සිට ද සිංහල බ්ලොග්කරණයේ යෙදෙන අපේ සහෝදර සහෝදරියන් දෙස බැලීමෙන් මනාව ප්‍රකට වේ.

අද මාගේ අරමුණ සිංහල බ්ලොග්කරණයේ වැදගත්කම ගැන කීමටවත්, එය අගය කිරීමටවත් නොව සිංහලෙන් බ්ලොග් ලියන්නන් තුළ භාෂාව පිළිබඳ යම් හැඟීමක් ඇතිකිරීමයි. මීට හේතුව නම් ඇතැම් බ්ලොග්කරුවන් භාෂාව කෙරෙහි දක්වන දැඩි නොසැලකිල්ලයි. (මෙය අදාළ වන්නේ සුලු පිරිසකට බව සැලකුව මනාය). ඇතැමුන් බ්ලොග් සටහන් ලියන්නේ සිංහල භාෂාවේ භාෂා රීති පිළිබඳ අබමල් රේණුවක හෝ අවබෝධයෙන් නොවන බව එම බ්ලොග් කියවීමෙන් මනාව පැහැදිලි වේ. මා හට අදත් එවන් බ්ලොගයක් හමුවූ අතර කලින් ද එවන් සටහන් කිහිපයක්ම කියවා ඇත. මුලින්ම එම පුද්ගලයාට ඒ බව දන්වා සිටීමට සිතුනත් ඔහු අධෛර්යයට පත්වීමට හෝ වැරදි වැටහීමක් ඇතිකරගැනීමට ඉඩ තිබූ නිසා එසේ නොකියා පොදුවේ කීම යෝග්‍ය යැයි මම අදහස් කළෙමි.

මෙහිදී මතුකළ යුතු එකම කරුණ නම් බ්ලොගයක් ලිවීමට ඔබ භාෂා විශාරදයෙකු වීමට අවශ්‍ය නොවන බව ය. කළ යුත්තේ පාඨකයාට එය කියවිය හැකි පරිදි ලිවීම පමණි. මෙම සටහන ලියන මා ද සාමාන්‍ය පෙළ පන්තියට පසු සිංහල උගෙන නොමැත. එබැවින් මාගේ සටහන් කියවූ විට ද වැරදි සොයාගත හැකි අතර එවන් දෑ මටම හමුවී ද ඇත. නමුත් සමස්තයක් වශයෙන් ඒවා කියවිය නොහැකි තත්වයේ නැතැයි මම උපකල්පනය කරමි.

පාඨකයාට 'කියවිය හැකි පරිදි' ලිවීමට නම් ලේඛකයා භාෂා රීති, ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාසය ගැන මඳක් හෝ අවධානය යොමු කළ යුතුය. කියවන්නාට අමු අමුවේ පෙනෙන වැරදි බහුලව ඇති විට කොතරම් වැදගත් ලිපියක් වුවද කියවීමට සිත් නොදේ. සිංහල, තරමක් සංකීර්ණ භාෂාවක් වී ඇත්තේ එහි ලේඛණ ව්‍යවහාරය හා සාමාන්‍ය ව්‍යවහාරය යනුවෙන් භාවිතයන් දෙකක් ඇති බැවිනි. බ්ලොගයක් ලිවීමේදී මෙම රීති දෙකම භාවිත කළ හැක. සෑම විටම ලේඛන ව්‍යවහාරය භාවිතා කිරීම සුදුසු නොවන්නේ එවිට සටහන පාඨකයාට නීරස වීමට ඉඩකඩ ඇති බැවිනි. පාඨකයාට වඩාත් සමීප ස්වභාවයක් ගන්නා බැවින්, එතරම් ගැඹුරු නොවන
ලිපියක් (උදා: චිත්‍රපට විචාරයක් හෝ පෞද්ගලික අත්දැකීමක් වැනි යමක්) සාමාන්‍ය ව්‍යවහාරයෙන් ලිවීම උචිත වේ. නමුත් එහිදී ද භාෂා රීති ගැන සැලකිළිමත් වීම අවශ්‍ය ය. පළමුව කී, අමු අමුවේ භාෂාව වරදවා භාවිත කරන කිහිප දෙනා අමතක කරන කරුණ නම් භාෂා රීති උල්ලංඝණය නොකර සාමාන්‍ය ව්‍යවහාරයෙන් ලිපියක් ලිවිය හැකි බවයි. උක්ත ආඛ්‍යාත පද අතර සරල සම්බන්ධය ගැන සාමාන්‍ය ව්‍යවහාරයෙන් ලිපිය ලිවීමේදී ද සැලකිළිමත් විය හැකි නම් මේ ගැටලුව මතු නොවේ. එහි වරද තේරුම් ගැනීමට නම් ඔබ ලියූ ලිපිය මුල සිට සිතෙන් කියවාගෙන යා යුතුය. එවිට එහි නොගැළපෙන තැන් ඉතාම පහසුවෙන් හඳුනාගත හැකිය.

අනෙක් වරද නම් අක්ෂර වින්‍යාසයයි. අවම වශයෙන් අවුරුදු 11ක් සිංහල භාෂාව ඉගෙනගත් ඔබේ නෙතට "ලමයා" යන වදන අප්‍රියජනක විය යුතුය. සමහර විට වැරැද්ද කොතැනදැයි හරියටම හඳුනාගැනීම අපහසු වුවද කොතැනක හෝ වරදක් ඇති බව තේරුම් ගැනීමට ඔබේ නෙතට හැකියාව ඇත.

නමුත් මේ සරල දේ ගැන අවධානය යොමු නොකරන බ්ලොග්කරුවන් කිහිප දෙනෙකු තවමත් දැකිය හැක. ඔවුන් තම වැරදි වහ වහා නිවැරදි කරගත යුත්තේ ඔබ සහ අප සහ 'ඔවුන්', විශ්ව පවුලේ සිංහලයට ඇති උරුමය නියෝජනය කරන්නන් වන බැවිනි.

Saturday, June 13, 2009

ක්‍රිකට් මැච් සහ වෙළඳ දැන්වීම්

දැන් ඉතින් යුද්දෙත් ඉවර නිසා හැමෝගෙම කතාව ක්‍රිකට්. ඒකත් එක්තරා ආකාරයකින් වැරැද්දක් නෑ. මොකද මනුෂ්‍යයා කියන්නෙ හැම දේටම ඔලුව දාන, නිකං ඉන්න බැරි සතෙක් නේ? ඒක නිසා ඔහුට හැම වෙලේම යම් කාර්යයක යෙදිල ඉන්න අවශ්‍යයි. ඒකෙන් අදහස් කරන්නේ කය වෙහෙසා කරන වැඩක්ම නොවෙයි, මනස යම් කාර්යයක යෙදවීමක්!

ක්‍රිකට් මැච් කියන්නෙ ඔය කටයුත්තට නියමෙට ගැළපෙන මෙවලමක්. දැන් T20 ලෝක කුසලාන තරඟාවලියත් පැවැත්වෙනවානෙ. අපේ කට්ටියත් දිනාගෙන යනවා. ඉතින් හැමෝගෙම අවධානය ඒ අතට යොමු වෙන එක පුදුමයක් නොවෙයි. නමුත් මම අද යන්නෙ ක්‍රිකට් ගැන කතාකරන්න නොවෙයි. ක්‍රිකට් තරඟ ප්‍රචාරය කරන අපේ මාධ්‍ය මහතුන්ට චෝදනාවක් එල්ල කරන්න!

ඒක තමයි වෙළඳ දැන්වීම්.

ප්‍රචාරණය සහ වෙළඳ දැන්වීම් කියන්නෙ විද්‍යුත් මාධ්‍යයට නැතුවම බැරි දෙයක්. විශේෂයෙන්ම ක්‍රිකට් තරඟ කියන්නෙ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරගන්න අනගි අවස්ථාවක්. නමුත් මේවා, තරඟය නරඹන්නන්ට බාධාවක් වනවා නම්?

කොතරම් අප්‍රියජනක වුවත් වෙන්නේ එයම තමයි. දැනට විකාශය වන T20 තරඟාවලියේ තත්ත්වය තවත් දරුණුයි. ප්‍රේක්ෂකයාට නිදහසේ තරඟය නරඹන්නට ඉඩක් ලැබෙන්නේ නැති තරම්. බොහෝ විට පන්දු ඕවරයක අවසාන පන්දුව යවා පිතිකරුවා පහර එල්ල කර අවසන් වන විටම විකාශය වන්නේ වෙළඳ දැන්වීමක්. අඩු තරමින් පන්දුව ගියේ කොහේටද වත් කියා ප්‍රේක්ෂකයාට බලාගැනීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. එසේම දැවීයාමක වැනි වැදගත් අවස්ථාවක replay එකක් යන විටම එන්නේත් වෙළඳ දැන්වීමක්.

වෙළඳ දැන්වීම් වල හිමිකම තියන සමාගම් සහ ප්‍රචාරය කරන මාධ්‍ය ආයතන තදින් මතක තබාගතයුතු කරුණක් නම් ප්‍රේක්ෂකයන් රූපවාහිනිය අසල රැඳී සිටින්නේ ක්‍රිකට් තරඟය නැරඹීමට මිසක් වෙළඳ දැන්වීම් නැරඹීමට නොවන බව. නරඹන තරඟයට බාධා වන ලෙස කොපමණ අලංකාර වෙළඳ දැන්වීමක් වුවද ප්‍රචාරය වනවා නම් ප්‍රේක්ෂකයාගේ සිත තුළ ඇතිවන්නේ කෝපයක්. ඉන් සිදුවන්නේ ප්‍රචාරණය කරගැනීමට බලාපොරොත්තු වන වෙළඳ භාණ්ඩය කෙරෙහිත් නරඹන්නාගේ සිතේ කෝපයක් හටගැනීම. ඒ අනුව ක්‍රිකට් තරඟයක් අරමුණු කරගෙන දිගට හරහට වෙළඳ දැන්වීම් දැමීම හරහා සිතන තරම් ජනප්‍රියත්වයක් වෙළෙඳ භාණ්ඩයකට හිමිවන්නේ නැහැ. ඇතැම් විට එය වෛරයක් තරමට දුරදිග යා හැකියි!

මට නම් පෙනෙන හැටියට දැන්වීම ප්‍රචාරය කරන ආයතනය කරන්නේ තරඟය විකාශය වෙන කාල සීමාව තුල
තමන්ට ලබාදී ඇති දැන්වීම් ප්‍රමාණය "ඔබාගැනීම" සඳහා කාලයත් සමඟ සටනක නිරත වීම. කෙසේ නමුත් භාණ්ඩයේ නිෂ්පාදකයා සහ ප්‍රචාරය කරන ආයතනය යන දෙකම මේ වැරැද්දට වගකිව යුතුයි...

Friday, June 12, 2009

ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු රැකීම ක්‍රිකට් නීති පොත අලුත් කරයි

පසුගිය බදාදා දින (10-06-2009) පැවති පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරඟයේදී එක් සුවිශේෂීය පන්දු රැකීමක් දක්නට ලැබිණි. ඊට දායක වූයේ ශ්‍රී ලංකා පිලේ තරුණ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ය. හතරේ සීමාව අසලදී සිදුවූ එම සිදුවීම පැහැදිලි කිරීමට මෙතෙක් කල් ක්‍රිකට් නීති පොතේ නීති තිබුණේ නැත. සැකෙවින් එය මෙසේය.
  1. පන්දුව හතරේ සීමාවට මඳක් එපිටින් වැටී හයේ පහරක් සළකුණු වීමට නියමිත අවස්ථාවක හතරේ සීමාවට මෙපිටින් සිටින පන්දු රකින්නාගේ අතේ වැදී පන්දුව ඉහළ යයි.
  2. පන්දු රකින්නා හතරේ සීමාවෙන් පිටතට ගොස්, උඩ පැන පන්දුවට පහරක් එල්ල කොට එය නැවතත් සීමාවෙන් ඇතුළට දමයි.
  3. නැවතත් ක්‍රීඩකයා හතරේ සීමාවෙන් මෙපිටට පැමිණ පන්දුව කඩුළු රකින්නා වෙත යොමු කරයි.
මේ තිබෙන්නේ එම සිද්ධියයි. පුදුමයකට මෙන් මෙවන් දෙයක් මීට කලින් ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවී නැත.



මගේ මතකයේ හැටියට වරක් සිම්බාබ්වේ පිලේ හීත් ස්ට්‍රීක් ද හතරේ සීමාව අසලදී උඩපන්දුවක් රැකගෙන, සමබරතාව නැතිව ගොස් බිම වැටෙන්නට යන විට පන්දුව ඉහළට විසිකර, හතරේ සීමාවෙන් එළියට පය තබා, නැවතත් ඇතුළට පැමිණ පන්දුව රැකගත්තේය. එම අවස්ථාවේදී ද එය සළකුණු වූයේ දැවීයාමක් ලෙස ය.

ද මීට බොහෝ සමාන වන නමුත් එහිදී ක්‍රීඩකයා මේ තරම් දුරක් හතරේ සීමාවෙන් පිටත ඇවිදගෙන ගොස් පන්දු රැකීම සිදු කළේ නැත. මෙය සැබැවින්ම අග්‍රගණ්‍ය මොහොතකි. ක්‍රීඩාවේ කලාතුරකින් දක්නට ලැබෙන සිදුවීමක් මෙසේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අතින් සිදුවීම සැබැවින්ම අපට අභිමානය ගෙන දෙන කරුණකි.

එහෙත් පන්දුව රැකගැනීමෙන් පසුව ඇති වූ ගැටලුව වූයේ මෙය හයේ පහරක්ද නැද්ද යන්නයි. මෙය ක්‍රිකට් නීතියේ පැහැදිලිවම සඳහන් වී නැත. ඒ වෙනුවට නීතියේ ඇත්තේ මෙවන් දෙයකි.
Law 19.3 (a) (ii) states: A boundary shall be scored and signalled by the umpire at the bowler's end whenever, while the ball is in play, in his opinion - a fielder, with some part of his person in contact with the ball, touches the boundary or has some part of his person grounded beyond the boundary.
ඒ අනුව ක්‍රීඩකයාගේ ශරීරයේ කොටසක් පන්දුවේ ද තවත් කොටසක් හතරේ සීමාවෙන් එපිට ද එකවර ස්පර්ශ වී නැති ඕනෑම අවස්ථාවක හතරේ හෝ හයේ පහරක් බවට එය පත් නොවේ. ඒ නැතත් මෙවන් සුවිශේෂී පන්දු රැකීමකදී එහි ගෞරවය, රැකගත් ක්‍රීඩකයාට හිමිවිය යුතු බව හැමෝම එකඟවන කරුණකි. එබැවින් පිටියේ විනිසුරුවරුන් වන සයිමන් ටෝෆල් හා බිලී බව්ඩන් ගත් තීරණය ඉතාමත් නිවැරදි ය.

දැන් එහෙත් තවත් ගැටලුවක් මතුවේ. එනම් පන්දුවක් හතරේ සීමාවෙන් පිටත වැටෙන්නට මෙන් එන බව හතරේ සීමාව අසල සිටින ක්‍රීඩකයාටේ හැඟෙන්නේ නම් වහාම සීමාවෙන් පිටතට දුවගෙන ගොස් උඩ පැන පන්දුව අල්ලා සීමාවෙන් මෙපිටට විසිකළ නොහැකිද යන්නයි. කියන තරම් පහසුවෙන් කළ නොහැකි වුවද එය නොකළ හැක්කක් නොවේ. තාමත් එවැන්නක් දක්නට නොහැකි වුවද අනාගතයේදී දක්නට නොලැබෙතැයි සිතීම අපහසු ය.

කෙසේ වෙතත් ක්‍රිකට් ලොවට නව නීතියක් හඳුන්වා දුන් ඇන්ජලෝ මැතිව්ස්ට අපගේ උපහාරය..!!

Saturday, June 6, 2009

යුද අපරාධ කියල නේද කිව්වෙ? එතකොට මේවා මොනවද?

ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට කැසකවන බොහෝ බටහිරයන්ට තිබෙන්නේ යුද අපරාධ ගැන අපූරු ලිපි ගොනු ය. මේ ඉතිහාසය නැවත හාරා අවුස්සා බැලීමට දැන් කාලය එළඹ තිබේ. සුවිශේෂීම කරුණ වන්නේ අමු අමුවේ මේ අපරාධයන්ට වග කිව යුතු, ඒ බව පැහැදිලිවම ඔප්පු වි තිබෙන රාජ්‍යයන් කිසිදු පරීක්ෂණයකට යටත් නොවී, දඬුවමක් නොලැබ නිදැල්ලේ සිටීම ය.
  • ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් වල එකමුතුවෙන් 2003 දී ඉරාකය ආක්‍රමණය කළේ එහි රසායනික අවි ඇතැයි යන එකම චෝදනාව එල්ල කරමිනි. නමුත් අවසානයේ ඉරාකයෙන් හමුවූ එකම රසායනික අවියක් වත් නැත. මෙසේ අභූත චෝදනාවක් එල්ල කරමින් රටකට ඇතුලු වී එරට විනාශ කිරීම කිසිම ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි බරපතල ගණයේ වරදකි. මේ පිළිබඳව ඒ රටවල් වලට දඬුවමක් දීමට මෙතෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමත් වී නැත.
  • ඉරාකය ආක්‍රමණය කිරීම ඇරඹූ 2003 මාර්තු 20 වනදා සිට අද දක්වා පැහැදිලිවම වාර්තා වී ඇති, මියගිය සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව 92 146 ත් 100 604 ත් අතර අගයක් ගනී (මූලාශ්‍රය: Iraq Body Count). නමුත් බ්‍රිතාන්‍ය Lancet වෛද්‍ය ජර්නලයට අනුව එය 654 965 ක් තරම් දැවැන්ත අගයකි (නූතන ඉතිහාසයේ මේ අගය ඉක්මවා යන්නේ රුවන්ඩා ජන සංහාරය පමණි). මේ පිළිබඳව කිසිදු පියවරක් ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමත් වී නැත. (වැඩිදුරටත්).
  • 2001 වසරේ ඇමරිකාවේ ඇෆ්ඝන් ආක්‍රමණය සමඟ ඒ හේතුවෙන් ඍජුවම මියගිය සිවිල් වැසියන් ගණන 7 760ත් 10 557ත් අතර වේ. වක්‍රාකාරව මියගිය ගණන 19 886කි. (මූලාශ්‍රය: Unknown News). ඍජු හා වක්‍ර මුලු මරණ සංඛ්‍යාව, විකිපීඩියා විශ්වකෝෂයට අනුව 10 960ත් 30 557ත් අතර වේ. මෑතකදී ද ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 140කට අධික පිරිසක් මියගිය අතර අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සමාව අයැද නිහඬ විය.
  • කෙන්යාවේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව ඇති වූ කැරැල්ලේ දී මියගිය කෙන්යානු ජාතිකයන් සංඛාව 10 173කි. කිකුයු ගොත්‍රික ජනතාව 70 000ක් අත් අඩංගුවට ගැනිණි. පරීක්ෂණ පවත්වා නැත.
  • පිලිපීනයේ ඇමරිකානු පාලනයට විරුද්ධව හටගත් කැරැල්ලේදී මියගිය පිලිපීන ජනයා සංඛ්‍යාව 200 000කි. මෙහිදී ඇමරිකානුවන් වෙනුවෙන් වැඩ කිරීමට විරුද්ධ, අවුරුදු 10ට වැඩි ඕනෑම කෙනෙකුට වෙඩි තැබීමට ඇමරිකානු හමුදාවට නියෝග ලැබී තිබිණි. මේ යුද අපරාධ ගැන කිසිවෙකුත් දඬුවම් ලබා නැත.
  • 1994 අප්‍රේල් 6 වනදා සිට ආසන්න වශයෙන් දින 100ක් මුළුල්ලේ පැවති රුවන්ඩා මානව සංහාරය. මෙහිදී රුවන්ඩාවේ මධ්‍යස්ථ හුටු, ටුට්සි ගෝත්‍රික ජනතාව අවම වශයෙන් 800 000ක් මියගිය අතර (ඇතැම් සංඛ්‍යාලේඛන වලට අනුව 1 000 000 ද ඉක්මවා යයි) එය වැළැක්වීමට එරට නිදහසට පෙර පාලනය කළ බෙල්ජියම ඇතුලු බටහිර රටවල් කිසිවක් කළේ නැත. හුටු, ටුට්සි ගෝත්‍රික වෛරය බටහිර රාජ්‍යයන්ගේ නිර්මාණයකි.
  • බොස්නියානු, කාම්බෝජ හා ජපාන නැන්කින් මානව සංහාර.
  • ජපානයේ හිරෝෂිමා, නාගසාකි නගර වලට හෙලූ පරමාණු බෝම්බ. හිරෝෂිමාවේදී සිවිල් වැසියන් 140 000ක් ද, නාගසාකි හිදී සිවිල් වැසියන් 80 000ක් ද මිය හියහ. එසේම ජර්මනියේ ඩ්‍රෙස්ඩන් නගරට හෙලූ 700 000ක් වූ පොස්පරස් බෝම්බ වලින් එහි වැසියන් 40 000ක් මරුමුවට පත්විය. තවද යුද සමයෙදී කිසිදු පරීක්ෂණයකින් තොරව ඇමරිකාවේ විසූ ජපාන ජාතිකයන්ගෙන් 2/3ක්, එනම් 120 000ක් සිරගත කරන ලදී. ඉන් වසර 50 කට ද පසුව ඒ වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සමාව අයැද සිටියේය. නමුත් කිසිවෙකුට දඬුවම් පැමිණවීමක් හෝ නඩු විභාගයක් ගැන කතා කර නැත.

දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසාන දින කිහිපයේ සිදු වුණා යැයි කියන සිවිල් වැසියන්ගේ මරණ සම්බන්ධව විශාල කතිකාවක් ජ්‍යාත්‍යන්තරය තුල ගොඩනැගී තිබේ. ඊයේ දිනයේ ද මේ ගැටලුව නැවතත් නවතම මුහුණුවරකින් කරලියට පැමිණිනි. ඒ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 'නිල නොවන' අවසානයේ, එහි මහ ලේකම් පැවසූ කරුණක් නිසා ය. අවතැන් වූවන්ගේ තත්ත්වය හොඳ අතට පැමිණෙමින් පැවතීම ගැන සතුට පළකරන අතරම සිදු වූවා යැයි කියන යුද අපරාධ ගැන විධිමත් පරීක්ෂණයක් කළ යුතු යැයි ද ඔහු සඳහන් කළේ ය. නමුත් ඊට සතියකට පෙර එවන් පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි කියා තීරණයකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේම මානව හිමිකම් කවුන්සිලය තීරණයකට එළඹිණි. මේ තීරණය මානව හිමිකම් ගැන උමතුවෙන් මෙන් කෑගසන බටහිර රටවල් වලට මහත් කණගාටුදායක වනවාට කිසිදු සැකයක් නැත.

ඒ නිසා එතැන දී කරගැනීමට නොහැකි වූ කාරිය වෙනයම් ආකාරයකින් හෝ කරගැනීමට ඔවුන් වෙර දරන බව කීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් යනු ඔවුනගේ තවත් ඒජන්තවරයෙකු යැයි කීම අතිශයෝක්තියක් විය හැකි වුවත් ඔහුගේ ප්‍රකාශය උක්ත බටහිර හිවලුන් ප්‍රමුඛ හියුමන් රයිට්ස් වොච් සහ ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් (ක්ෂමා) සංවිධාන යුගලයට කොළ එළි දැල්වීමක් වනු නියත ය.

නමුත් මානව හිමිකම් කවුන්සිලයේදී ලැබූ ජයග්‍රහණයත් සමඟ නිතැතින්ම ශ්‍රී ලංකාවට මේ කිසිදු අණකට හිස නොනමා ඍජුව සිටගැනීමේ වරම ලැබී තිබේ. එහිදී ලංකාව ලැබූ අති උත්කෘෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදයේ යෝධ පිම්මකි. ඒ බව මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා රටවල් අකැමැත්තෙන් වුව ද පිළිගත යුතු ය. එය සැබැවින්ම 1948 දී බටහිරයන්ගේ ග්‍රහණයෙන් අප ලැබූ නිදහසට සමාන ය. ලංකාව ලැබූ ජයග්‍රහණයේ තරම කියාපෑමට පහත කරුණ පමණක් වුව ද සෑහේ. ලංකාව වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ රටවල් 29 හි වෙසෙන මුලු ජනගහනය බිලියන 4කි. ඊට සාපේක්ෂව ලංකාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ රටවල් 12හි මුලු ජනගහනය බිලියන 0.5කි. ඉතින් තවත් කුමන කතාද?

විරුද්ධ පක්ෂයට වඩා 8 ගුණයක, එනම් 89%ක ජන බලයක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ. මහින්ද රාජපක්ෂගේ විශිෂ්ටතම මැතිවරණ ජයග්‍රහණය එය බවට කිසිදු සැකයක් නැත.

එසේම ඊයේ මාධ්‍ය හමුවේදී
බෑන් තවත් දෙයක් ප්‍රකාශ කර තිබේ. එනම් ජයග්‍රහණය සැමරීම නවතා ඇතිවූ තුවාල සුවපත් කරගැනීමට කටයුතු කරන ලෙස ය. තුවාල සුවපත් කරගැනීමට කටයුතු නොකර ජය සමරනවා නම් මෙසේ කීවාට කමක් නැත. නමුත් ශ්‍රී ලංකාව විපතට පත්වූවන්ගේ සුබසිද්ධිය උදෙසා ඉතා උවමනාවෙන් හා කැපවීමෙන් කටයුතු කරමින් පවතී. 280 000ක් වූ පිරිසකගේ සියලු අවශ්‍යතා එක් දිනකින් හෝ එක් සතියකින් ඉටු කළ නොහැක. ඒ සඳහා තරමක කාලයක් අවශ්‍ය වේ. ඊට ඇවැසි කාලය ලබා දෙන අතරම ආධාර කිරීම ජාත්‍යන්තරයේ යුතුකමකි. මන්ද සුලු තුවාලයක්ව පැවති මේ ප්‍රශ්නය මහත් වණයක් බවට පත් කිරීමට දායක වූවේ ඔවුන් වන නිසා ය.

නමුත් ඒ බව කියමින් ජයග්‍රහණය සැමරීමට නිදහස් ශ්‍රී ලාංකිකයාට ඇති අයිතිය අහිමි කිරීමට ඔවුන්ට හැකියාවක් නැත. ජය සැමරීම යනු අනිවාර්යයෙන්ම ජයග්‍රාහකයාගේ අයිතියකි. "ලෝක ඉතිහාසය නිර්මාණය වී තිබෙන්නේ ජයග්‍රාහකයින්ගෙනි, පරාජිතයින්ගෙන් නොවේ". අතීත රජවරුන් ජයග්‍රහණය සැමරූ අන්දම නැවත ඉතිහාස පොත් පෙරළා ඉගෙන ගන්නා මෙන් බෑන් ට සිහිපත් කළ යුතු ය. නූතන ඉතිහාසයේ මෙවන් සුපිරි ජයග්‍රහණයක් කිසිදු රටක් තනිවම ලබා නැත. එබැවින් අන් සියලු රටවල් තුල මේ පිළිබඳව සුලු හෝ ඊර්ෂ්‍යාවක් නොපැවතිය නොහැක.

එබැවින් අප ඔවුනට අනුකම්පා කළ යුතුය. එසේම අනුකම්පාවෙන් ඔවුනට දන්වා සිටිය යුත්තේ දැන් වත් අපේ පාඩුවේ වැඩක් කරගැනීමට අපට ඉඩ දෙන ලෙස ය.

Friday, June 5, 2009

මෙන්න නියම මියුසික් ඇල්බම් එකක්: Outta Here (2009)

අද නම් ලියන්න වෙන මුකුත් මතක් වුණේ නැති නිසාමයි මේක ලියන්නෙ.

මේ මම මේ දවස් වල වැඩිපුරම අහ අහා ඉන්න music album එක, Esmee Denters ගෙ Outta Here (2009). වැඩියම ප්‍රසිද්ධ ගායිකාවක් නොවුණට ඇයගෙ ගීත නම් ඉතාම අලංකාරයි. දැනුත් මම අහ අහ ඉන්නෙ, 50 වෙනි වතාවටද කියන්න බෑ. හික් හික්...

ඇය ගැන කියනව නම්, ඉපදිල තියෙන්නෙ නෙදර්ලන්තෙ. වයස අවුරුදු 20යි (මළා, මගෙ වයසෙ). තාම out කරල තියෙන්නෙ මේ Outta Here කියන එක album විතරයි. බලාපොරොත්තු වෙමු අනාගතේදිත් මේ වගේ විශිෂ්ට නිර්මාණ කරන්න පුලුවන් වෙයි කියල. (අර Britneyට වගේ වෙන්නෙ නැතුව). හෙ හේ...

මෙතනින් පුලුවන් ඔයගොල්ලොන්ට Outta Here බාගත කරගන්න.

Tuesday, June 2, 2009

වීර කතා අතර තවත් අග්‍රගණ්‍ය සිනමා පටයක් : 300 (2006)

අතීත වීර කතා නිරන්තරයෙන්ම සිනමාවට නැගෙන්නේ ඒවායේ ඇති අපූරු චමත්කාරජනක බව නිසා ය. මේවා අතර ඉතා විශිෂ්ට ගණයේ චිත්‍රපට ලෙස Gladiator, Alexander, Troy වැනි ඒවා හඳුන්වන්න පුලුවන්. මේ ගණයටම අයත් වන තවත් එක් සුවිශේෂී නිර්මාණයක් තමයි 300. මෙය මේ පුරාණ වීර කතාව හොලිවුඩ් චිත්‍රපටයකට නැගුණු මුල් අවස්ථාව නොවෙයි. ඇත්තටම එය ප්‍රථම වරට ලෝකය ඉදිරියට පැමිණියේ 1962 තිරගත වූ The 300 Spartans නම් චිත්‍රපටයෙන්. නමුත් මම කියන්නට යන 300 චිත්‍රපටය වර්ෂ 2006 දී නිෂ්පාදිත එකක්.

මෙම චිත්‍රපටය පුරාවටම ඇති අති විශිෂ්ට යුධමය දර්ශන නරඹන්නාගේ සිත තුලට ගෙන එන්නේ Lord of The Rings: Return of the King හි අවසන් යුද්ධයයි.

මීට පාදක වී ඇත්තේ ක්‍රි.පූ 480 දී ග්‍රීක ස්පාර්ටාවරුන් හා පර්සියානුවන් අතර සිදු වූ තර්මොපයිලේ යුද්ධයයි. ස්පාර්ටා යනු පුරාණ ග්‍රීසියේ එක් නගර රාජ්‍යයක්. ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම රණකාමීන් සිටියා යැයි සැලකෙන්නේ මෙහි යි. නමුත් පර්සියානුවන් පෙරදිග රාජ්‍ය විශාල ගණනක් තම යටතට ගනිමින් ස්පාර්ටාවත් ආක්‍රමණය කිරීමට පැමිණෙනවා ලක්ෂයක හමුදාවකුත් රැගෙන. ඒ සෙනඟට මුහුණදීමට තරම් ස්පාර්ටාවරුන් ශක්තිමත් නෑ. ඒ අතරම ස්පාර්ටා පූජකයන් ද අනුමාන කරනවා පර්සියානුවන් සමඟ යුද්ධයට ගියහොත් ස්පාර්ටාව පරදින බව. නමුත් පර්සියානුවන්ට තම රට පාවාදී තම වැසියන් වහලුන් කිරීමට එහි රජු වන ලියොනිඩස් කැමති නැහැ. නමුත් ඔහුට පූජකයන්ට එරෙහිව යන්න බැහැ. ඒ නිසා තම හමුදාව රැගෙන සටනට යන්න ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එබැවින් 300ක් වූ ස්පාර්ටාවේ විශිෂ්ටතම රණකාමීන් පිරිස රැගෙන ලියොනිඩස් තර්මොපයිලේ කඳු ශිඛරයට යනවා පර්සියානුවන්ගේ මඟ ඇහිරීමට.

මේ සෑම සොල්දාදුවෙකුගේ ඇඟ තුළම දුවන්නේ හර්කියුලීස් පරපුරෙන් පැවත් එන ලේ. ඔවුන් උපන්නේ යුද්ධයට; ඔවුන් මැරෙන්නේත් යුද්ධය වෙනුවෙන්. ඒ තම රට ආරක්ෂා කරගැනීමේ පරම අහිප්‍රාය වෙනුවෙන්.....

තර්මොපයිලේ පසුකර ඒමට නම් කඳු දෙකක් අතර වූ කපොල්ලක ඇති කුඩා අඩි පාරකින් පර්සියානු හමුදාව පැමිණිය යුතුයි. මේ හරහා ඔවුනට පැමිණීමට ඉඩ නොදීමට ස්පාර්ටාවරුන් අදිටන් කරගන්නවා. සැබැවින්ම එය පර්සියානුවන්ගේ මරු කපොල්ල වනවා. ඒ හරහා පැමිණීමට ගිය දහස් සංඛ්‍යාත පර්සියානුවන් එකා පිට එකා මැරී වැටෙනවා. ඒ ලොව මෙතෙක් සිදු වූ අති බිහිසුණම සංග්‍රාමයයි. දින 10ක් පුරාවට ලියොනිඩස්ගේ 300ක හමුදාව, ලක්ෂයකට වැඩි
පර්සියානු හමුදාවට අඩියක් හොල්ලන්න බැරි ලෙස රඳවා තබාගන්නවා. නමුත් මේ අතර එෆියාල්ට්ස් නම් ස්පාර්ටා හමුදාවෙන් පන්නා දැමූ විකෘති මිනිසෙක් පර්සියානු රජු වන ක්සර්ක්ස් හමුවට යනවා. ඔහු එළුවන් ගමන් ගැනීමෙන් සෑදුණු කුඩා අඩිපාරක් ක්සර්ක් පෙන්වා දෙනවා. ඒ ඔස්සේ ගමන් කිරීමෙන් ස්පාර්ටාවරුන්ට පිටිපසින් පහරදීමට පර්සියානුවන් සමත් වෙනවා. ලියොනිඩස් රජු ඇතුලු ස්පාර්ටාවරුන් 300 දෙනා වීරයන් ලෙස මිය යනවා. නමුත් අවසන් මොහොත වනතුරුත් මේ වීරයන් බේරාගැනීමට අතිරේක හමුදා එවීමට ස්පාර්ටා කවුන්සිලය සමත් වන්නේ නෑ. ලියොනිඩස්ගේ සටන නිවැරදි බව ස්පාර්ටාවේ කුහක කවුන්සිල සාමාජිකයන්ට අවබෝධ කරදීමට ඔහුගේ රැජිණ ගෝර්ගෝට හුදකලා සටනක නිරත වෙන්න සිද්ධ වෙනවා. අවසානයේ ඇය ජයගන්නවා. නමුත් ඒ වනවිට ලියොනිඩස් ඇතුලු රණකාමීන්, ස්පාර්ටා දේශය වෙනුවෙන් දිවි පුදා අවසන්.

කතාව ඔන්න ඔහොමයි. සමස්ත චිත්‍රපටයේම කැමරාකරණය මා සිත ඇද බැඳ ගැනීමට සමත් වුණා. කැමරා කෝණ විතරක් නොවෙයි, චිත්‍රපටයේ වර්ණ පවා ඉතාම සිත්ගන්නාසුලුයි. ඒ කොතෙක්ද කියනවා නම් පැය 1යි විනාඩි 56ක් පුරාවට තිරයෙන් ඇස් ඉවතට නොගෙන ඒ දෙස බලා ඉන්නට තරම් ආසාවක් ඔබට මෙය නරඹද්දී ඇති වෙනවා.

මේ අතිරමණීය පුරාණ වීර කාව්‍යය ඔබේ සිත වසඟයට ගත්තෙ නැත්තම් පුදුමයක් තමයි.