Pages

Sunday, November 1, 2009

කඩේ යාම සහ කඩේ යැවීම

කාලෙකින් ලියන්නත් බැරි වුණු එක ගැන හිතටත් දුකයි. ඒත් මොනවා කරන්නද, කැම්පස් ගියානම් ඉතින් වැඩ කරන්නත් එපැයි. දැන් අපි කැම්පස් ගොහින් මාස තුනකට ටිකක් වැඩියි. මේ කාලය තුළ ලබපු අත්දැකීම් ප්‍රමාණය අප්‍රමාණයි. හොඳ, නරක, ප්‍රියජනක, අප්‍රියජනක, ආතල්, චාටර් ඔක්කොම විදි වල අත්දැකීම් අති විශාල ප්‍රමාණයක් එක පිට එක ලැබුණු මේ කාලය මගේ ජීවිතයේ ඉතාමත් සුවිශේෂී එකක්.

මේ කාලයේ අපි කරපු වැඩ ගැන කියන්නත් එක්ක අපි බ්ලොග් එකකුත් පටන්ගත්තා. තාමත් වැඩ කටයුතු අවසන් නැති වුණත් ඒ වියුණ කියෙව්වොතින් ඔබට අපි ගෙවන ජීවිතය ගැන හොඳ අදහසක් ලබාගන්න පුලුවන් වෙයි. අනිත් හැමදෙනා වගේම අපිත් සරසවි ජීවිතය පටන්ගත්තෙ හරිම කලබලකාරී විදියකට. ඒ මොකක් නිසාද කියලා දන්නවා නේ? මේ කලබලයට විරුද්ධව මා කලින් ලියපු ලිපි දැකලා ඇතැමුන්ගේ හිත් ගොඩාක් රිදුණා. නමුත් ඒ ගැන මට කරන්න දෙයක් නැහැ. ඒ කාලයේ මම ලිව්ව "සරසවිය, මම සහ අපි" කියන ලිපියට ලැබුණු ප්‍රතිචාර කියවනකොට දැන් මටම හිනා.

අපි විශ්ව විද්‍යාලය තුළ ගතකරපු මාස තුනකට අධික කාලය තුළ අපි කළ දේවල් වලින් වඩාත්ම ආඩම්බර වන කරුණ මොකද්ද කියා විමසුවොත් කියන්නට තිබෙන දේ තමයි "නවක වදයට එරෙහිව ප්‍රබල මතයක සිට, ඍජුව කටයුතු කිරීම" යන්න. මේ මතය වෙනුවෙන් පෙනී සිටීම ඉතාම අමාරු වැඩක්. ඒකට දැඩි අධිෂ්ඨානයක් වගේම ප්‍රබල කැපවීමකුත් තියෙන්න ඕනෙ. මොකද නිකන් සුළඟට අහුවෙලා ගහගෙන යන කොළයක් වගේ පිරිස යන අතට යන්නට මෙහිදී අපට ඉඩ නොලැබෙන නිසා.

ආපහු පරණ කතන්දරයමයි, වෙනසක් නෑ.

නවක වදය කියන්නෙ මාසෙකට දෙකකට විතරක් සීමා වන දෙයක් කියලයි මම මුලින්ම හිතාගෙන හිටියෙ. ඒත් ගැඹුරින් බලද්දි ඒක එහෙම නෑ. රැග කියන්නෙ විශ්ව විද්‍යාලයේ ගෙවන අවුරුදු හතර පුරාවටම ක්‍රමිකව ලක්වන කායික මානසික අපයෝජනයක්. ඒක වෙන්නෙ කොහොමද? ඒකට උදාහරණයක් තමයි පහුගිය බදාදා (28-10-2009) කොළඹදී පැවති ශිෂ්‍ය උද්ඝෝෂණය. පා ගමනින් අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිවරයා අතට සංදේශයක් බාරදීමට කියා සංවිධානය කෙරුණු මෙහි පරම අභිප්‍රාය වුණේ නාවල දේශීය වෛද්‍ය ආයතනයට පැන රජයේ දේපළ වලට අලාභ හානි කිරීම වෙනුවෙන් අත් අඩංගුවට ගැනුණු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්නට කඩේ යාම. මේ ක්‍රියාදාමය සිදු වූ ඔක්තෝබර් 28 වැනිදාට පෙර දිනත් එදින උදයේත් අප විශ්ව විද්‍යාලයේ සිදු වූ ජවනිකා මාලාවත් ඉතා හාස්‍යජනකයි.

පසුදින තමන් කොළඹට දක්කාගෙන යන බව දන්නා වාත පිරිස, පසුදින නවක වද විරෝධී සිසුන් වන අප, දේශන වලට යාම නිසා තමන්ට සිදුවන හානිය මඟහරවාගැනීම පිණිස, අප සමඟ චාටුවෙන් කතාකොට අප ද දේශන වලට යාම නවත්වාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවා. "අපි මචං කැම්පස් එකේ තියන ප්‍රශ්න ගැන තමයි කොළඹ ගිහින් උද්ඝෝෂණේ කරන්නෙ. අපි ටෝකන් එකක් ඉල්ලලා තියෙන්නෙ. උඹලත් ලෙක්චර්ස් යන්න එපා හොඳේ?" කියා, පෙරදින රාත්‍රියේ කතාකොට ඔවුන් අප හා කීවා. ඔවුන් ඇදබාන බොරුව ගැන මනා වැටහීමක් තිබුණු අප ඊට එකඟ වූයේ නැහැ. පසුදින අප විශ්ව විද්‍යාලයට යන බවත් ඔවුනගේ හේතුව ගැන වැඩිදුරටත් කතා කොට තීරණයක් ගන්නා බවත් අප ඔවුනට පැවසුවා.

පසුදින විශ්ව විද්‍යාලයේ කටයුතු ආරම්භ වීමට පෙරාතුව පැමිණි වාත ශිෂ්‍යයන්, කලින් අපට තග නොදැමූ විලසින් අප හා කතා කරන්නට පටන්ගත්තා. අප විශ්ව විද්‍යාලයේ ආපන ශාලා නිදහසේ පරිහරණය කිරීමට විරුද්ධව, වරක් කුණුහරුප කියාගෙන පැමිණ මහත් කලබැගෑනියක් ඇතිකිරීමට වෙරදැරූ එක්තරා ශිෂ්‍යයෙක් මෙවර "අඩේ මචං" කියාගෙන පැමිණ මහත් වගකීමෙන් සංවාදයක් ඇරඹීමට උත්සාහ දැරුවා. තග දමන විට ද, චාටුවෙන් කතාකරන විට ද යන දෙ අවස්ථාවේදී ම මොවුන් කරන රඟපෑම ගැන හොඳින් දන්නා අප ද සාවධානව ඔවුන් කියන දේට ඇහුම්කන් දුන්නා.
"මචං, අපි මේ උද්ඝෝෂණය කරන්නෙ අරමුණු 3ක් ඇතුව. ඒව තමයි,
1. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය වසා දැමීමට විරෝධතාව පළකිරීමට,
2. ක්‍රීඩා පිටියක් පරිහරණය කිරීම සඳහා වරක් රු.1500 ක මුදලක් අයකිරීමට එරෙහිව
3. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව.
ඔය අරමුණු පමණයි අපිට තියෙන්නේ. වෙන කිසිම සැඟවුණු අරමුණක් නෑ"
"ඔය පිකට් එක කරන්නෙ උදුල්ට කඩේ යන්න නෙවෙයිද?" කියා ඇසූ හැම විටම ඔවුන් ප්‍රකාශ කළේ "අපි උදුල්ට කඩේ යන්නෙ නෑ" යන්නයි. කලින් වාරයක් ද සංවිධානය කොට අසාර්ථක වූ උදුලට කඩේ යාමේ පිකැට්ටුවට තමන් සහභාගී නොවූ බව පවසා අප මුලා කිරීමේ අසාර්ථක උත්සාහයක නිරත වූ මේ පිරිස ඉදිරිපත් කළ අනෙක් සටන් පාඨ ද බිඳ දැමීමට අපට ගත වූයේ විනාඩි 10කටත් අඩු කාලයක්. ඔවුන් ඉදිරිපත් කළ සම සෞඛ්‍ය විද්‍යා පීඨ පැනය කලින් ද ඇති තරම් කතා කොට තිබූ එකක් වූ අතර, පසුව එතැනට පැමිණි වාතයෙකු ගේ මුවින්, "මේ පිකට් එකට AHS ප්‍රශ්නය අදාළ නෑ" කියා කියැවීමත් සමඟ බළලා මල්ලෙන් එළියට පැන බොරුව අතේ පත්තු වී මහත් අකරතැබ්බයකට මුහුණදීමට වාත පිරිසට සිදු වූවා. ඔවුනගේ දෙවැනි හේතුවටත් අත් වූයේ එවැනිම ඉරණමක්. පේරාදෙණියේ ක්‍රීඩාංගණ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන ඒකකය හෝ උපකුලපතිවරයා සමඟ සාකච්ඡා නොකොට ජනාධිපතිවරයා වෙත ගොස් සංදේශයක් බාරදීමේ පදනම කුමක්දැයි විමසී විට ඔවුනට දීමට උත්තරයක් තිබුණේ නැහැ. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම නැමැති සිය දහස් වර පට්ටගැසූ සටන්පාඨය පෙරට දාගත් විට සියල්ල හරි යැයි සිතන මේ පිරිසට, අප නැගූ ප්‍රශ්න හමුවේ දීමට පිළිතුරක් තිබුණේ නැහැ.

ඔවුන් දිගින් දිගටම කීවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම වැරදි බවත්, රජයේ විශ්ව විද්‍යාල වලින් පරිබාහිරව වෙනත් කිසිදු විශ්ව විද්‍යාලයක් රට තුළ තිබීම වැරදි බවත්. නමුත් එසේ කියන ඔවුන් කිසිවෙකුත්, වසරකට 7000කට අධික ශ්‍රී ලාංකික සිසුන් පිරිසක්, ලංකාවේ උසස් අධ්‍යාපනය ලැබීමට වරම් නොමැතිකමින් විදේශගත වන බවත් ඉන් ශ්‍රී ලංකාවට වසරකට බිලියන 5ක පමණ මුදලක් අහිමි වන බවත් දැන සිටියේ නැහැ. නිදහස් අධ්‍යාපන රටාවට හානියක් නොවන අයුරින් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ආරම්ඹ කිරීමට අප එකඟ බව පෙන්වා දීමෙන් පසුන කීමට දෙයක් නොමැතිකමින් සංවාදය අවසන් වී ඔවුන් ආපසු ගියා. එහෙත් සංවාදය අවසන් වන තෙක්ම තමන් උදුල් ප්‍රේමරත්නට කඩේ යන බැව් පිළිගැනීමට ඔවුන් කැමති වූයේ නැහැ. අවසානයේ අපි දේශන වලට ගියා. හිට්ලර් යුදෙව්වන් ප්‍රවාහනය කළ අන්දමින්, බස් රථ වලට නංවා කොළඹට ප්‍රවාහනය කෙරුණු මොවුන් එදින කොළඹ නගරයේ කළ හදිය රාත්‍රියේ රූපවාහිනියෙන් මුළු රටටම විකාශය කෙරුණා. "ශිෂ්‍ය උද්ඝෝෂණය අසාර්ථකයි" යන්න එදින විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ට ප්‍රධාන පුවතක් වුණා.

කොළඹ නගරය පුරා වීදි සංචාරය කොට, නගරය පුරා දැවැන්ත වාහන තදබදයක් ඇතිකොට, සාමාන්‍ය ජන ජීවිතයට මහත් හානියක් සිදුකොට, කෝටි ගණනක ඉන්ධන හා මුදල් නාස්ති කොට අසාර්ථක උද්ඝෝෂණයක් වෙනුවෙන් පේරාදෙණිය ඇතුලු සෑම විශ්ව විද්‍යාලයකම වාතයන් තම ජීවිතයෙන් දිනක් කැප කළා. මේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් එදින රාත්‍රියේ සෑම ප්‍රවෘත්ති ප්‍රකාශයකම දැඩි අප්‍රසාදය පළ වුණා. ජනපතිවරයාට සංදේශයක් බාරදීමට පැමිණි පිරිසට අරලියගහ මන්දිරය දෙසට අඩියක් වත් තැබීමට ඉඩ ලැබුණේ නැහැ. සංවිධාන ශක්තියේ දුර්වලතාව ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස අඩියෙන් අඩියට හැලෙන්නට වුණා. අවසානයේ අරලියගහ මන්දිරයට යාමට පොලීයිය අවසරය රැගෙන එන විට උද්ඝෝෂණයට සහභාගි වී පොලිස් බැරියර් බිඳ දැමීමට ලෑස්තිව සිටියවුන්ගෙන් එක් අයෙකු වත් ඉතිරිව සිටියේ නැති ලු!

විශ්ව විද්‍යාලයට ඉතා දුකසේ ඇතුළත්ව කරන්නේ මෙය දැයි සෑම මාධ්‍යයක්ම එදින විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගෙන් විමසුවා. "...අවසානයේ ශිෂ්‍ය නියෝජිතයන්ට සිදු වූයේ තම පටු දේශපාලන අදහස් තම සගයන්ටම දේශනා කොට විසිර යාමටයි" ලයිව් ඇට් 8 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් උද්ඝෝෂකයන්ට කණේ පහරක් ලබා දුන්නා. "තම සගයා වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමට පැමිණි" කියා විශේෂණ පදයක් ද එදින උද්ඝෝෂණයට පැමිණි සිසුනට හිමි වුණා. තමන් කිසි විටෙක උදුල් ප්‍රේමරත්නට කඩේ නොයන බැව් පැවසූ අපේ වාත සොයුරන්ට දැන් කීමට ඇත්තේ කුමක්ද?

ඒවාට පිළිතුරු ලැබෙනු ඇත්දැයි අවිනිශ්චිතයි...

අතළොස්සකගේ අමනෝඥ ක්‍රියාවන් හේතුවෙන් අවසානයේ අහක සිටි අපට ද නින්දාවන්ට මුහුණදීමට සිදුවුණා. පසුදින බස් රථයේ එන විට, උද්ඝෝෂණය සම්බන්ධයෙන් මහජනතාව දරන අදහස් ගුවන් විදුලියේ විකාශය වුණා. සරසවි සිසුන් හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් සෑම දෙනාගේම බලවත් අප්‍රසාදය හා කළකිරීම ප්‍රකට වුණා. බස් රථයේ සිටි බොහෝ දෙනා, විශ්ව විද්‍යාල සිසුන් ලෙස පහසුවෙන් හඳුනාගත හැකි අප දෙස පුදුමයෙන් මෙන් බලන්නට වුණා. අපට සිදු වූයේ කිසිවක් නොදන්නවාක් මෙන් වටපිට බැලීමටයි. කිහිප දෙකෙකුගේ අතකොළු බවට පත්ව ඇති වාතයන්ගේ මෙවන් දුර්ජන ක්‍රියාවන් හේතුවෙන් අවසානයේ අපහසුතාවයන්ට පත් වන්නේ විශ්ව විද්‍යාලය නියෝජනය කරන අප සැමයි.

මේක තනිකරම සිසුන් බලහත්කාරයෙන් ඇදගෙන ගිහින් කරපු උද්ඝෝෂණයක් බව හෙළිවුණේ පහුවදා, ඊට සහභාගි වූවන් අප හා කළ කතාබහෙනුයි. කලින් දා සිදු වී සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ වාත ශිෂ්‍යයන් අතරත් තිබුණේ බලවත් අප්‍රසාදයක්. ප්‍රතික්ෂේප කළ නොහැකි මට්ටමේ දැඩි බලපෑමක් ඉහළින් එල්ල වන නිසා නොවන්නට මෙවන් කාලකණ්ණි පිකැට් වලට කිසිවෙක් සහභාගි වන්නේ නෑ. ඒ බව ඔවුන් කෙළින්ම කීවා. රැග් එක යන්න අවුරුදු 4 පුරාවටම විඳින්න සිදුවන වද බන්ධනයක් කියා මම කියන්නේ මෙවන් පදනමක් තුළ ඉඳගෙනයි.

උද්ඝෝෂණය වෙනුවෙන් "ටෝකන් එකක්" ඉල්ලා ඇති බව ඔවුන් කීවේ කලින් දිනයේ සියමයි. මෙම වාතයන් ඉල්ලන "ටෝකන්" වලට විශ්ව විද්‍යාල පාලනාධිකාරියෙන් ලැබෙන ප්‍රතිචාරය ප්‍රකට වූයේ එදින, ඉංජිනේරු පීඨ පීඨාධිපතිතුමා ම කළ නියෝගයකින්මයි. ඒ තමයි එදිනට නියමිතව තිබූ විභාගයක් එදින අනිවාර්යයෙන්ම පවත්වන ලෙස ඔහු කළ නියෝගයකින්. යම් හෙයකින් එදින යම් ශිෂ්‍යයෙකු නොපැමිණියේ නම් වෛද්‍ය සහතිකයක් රහිතව ඔහුට නැවත විභාගයට පෙනී සිටීම තහනම් කර තිබුණා. බොහෝ සිසුන් එදින් පැමිණ නොසිටි නිසා විභාගය පැවැත්වීම සුදුසු නොවන බව අප ආචාර්යවරුන් සමඟ සාකච්ඡා කර ප්‍රකාශ කළත් පීඨාධිපතිතුමාගේ නියෝගයට පිටින් යාමට ඔවුනට හැකියාව තිබුණේ නැහැ. අවසානයේ අපට එම විභාගයට ඉදිරිපත් වීමට සිදු වූයේ එදින ඊට ඉදිරිපත් නොවීමෙන් පත්විය හැකි අපහසුතාව සැලකිල්ලට ගෙනයි. පසුදින මෙය ඇසූ එක් වාත ශිෂ්‍යයෙකුගේ මුවින් පිට වූයේ "ඕන් බලපන්, ටෝකන් එකක් ඉල්ලලා අපිට වෙච්ච දේ...."

උදුල්ට කඩේ යාම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය හා පාලනාධිකාරියේ ප්‍රතිචාරයයි ඒ...

ඇතැමුන්ගේ නොහොබිනා ක්‍රියාවන් නිසා අප සැමගේ නම විනාශ වීමත්, මෙම නොහොබිනා ක්‍රියාවන්ට අනුබල නොදෙන, ඊට විරුද්ධ වන පිරිසක් සිටින බව බොහෝ සාමාන්‍ය ජනයා නොදැන සිටීමත් ගැන මට නම් තියෙන්නේ බලවත් කණගාටුවක්. අද (31-10-2009) දිනයේ ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් බස් රථ කිහිපයකට පහර දී අලාභ හානි සිදුකර තිබෙනවා. විද්‍යුත් මාධ්‍ය වල සිරස්තල ලෙස පළවන මෙම ප්‍රවෘත්ති ගැන අප කතාකිරීමත් ඇතැමුන්ට අනුව වැරැද්දක්. මෙවන් කරුණු නිර්දය ලෙස විවේචනය කිරීමෙන් හෝ නිවැරදි කරගැනීමට හැකියාවක් ඇත්තම් එය ඉතා වටිනා කර්තව්‍යයක්.

මා සමඟ මූණු පොතේදී වාදයට පැටලුණු එක්තරා වාතයෙක් වරක් ප්‍රකාශ කර සිටියේ විශ්ව විද්‍යාල මාණවකයෙකු වීමට අපට ශක්තියක් නොමැති බවයි. ඔහුට අනුව, විශ්ව විද්‍යාල මාණවකයෙකු වීමට ඇති එකම සුදුසුකම නම් නවක වදය නැමැති කායික, මානසික අපයෝජනයට ලක්වීමයි. මීට මාසයකට පෙර අතවරයට, අපයෝජනයට හා ලිංගික හිංසනයට ලක් වූවෙකු ලෙස ඔහු එවැන්නක් ප්‍රකාශ කිරීමත් ඉතා හාස්‍යජනකයි. සිංහලයා යනු දවස් 7ක් යන්නට මත්තෙන් සියල්ල අමතක වන්නෙකු ලෙස මීට මාස කිහිපයකට උඩදී මිය පරලොව ගිය වේලුපිල්ලේ ප්‍රභාකරන් දී තිබූ නිර්වචනය එම වාතයා විසින් සත්‍යාපනය කර පෙන්වූවා. ඔහුට එදා මම දුන්න පිළිතුර මම අද එලෙසින්ම මෙහි පළකරන්නම්:
උඹ කියනවා මම කැම්පස් කල්චර් එක දන්නෙ නෑලු. උඹ කියන කල්චර් එක රැග් එක නම් මම කෙළින්ම කියනවා, මම ඔය කල්චර් එකට අනුගත වෙන්නෙ නෑ. මම ඕකට ප්‍රබල විදියට විරුද්ධයි. රැග් සංකල්පය සෛද්ධාන්තිකවම වැරදියි. මම ඒ බව මම ලියපු ලිපි වල පෙන්නා දීලා තියනවා. කියවලා ඇති නොවැ? මතක නැත්තම් ආපහු කියවන්න. උඹ කියනවා මම විශ්ව විද්‍යාල මානවකයෙක් නොවෙයිලු. උඹ කියන විශ්ව විද්‍යාල මානවකයා සාමාන්‍ය පිළිගත් මානව සම්ප්‍රදායන් කඩකරන, මූලික මිනිස් අයිතිවාසිකම් වලට නිගරු කරන, කාගෙවත් කීමට බෝඩ් ලෑල්ලක් උස්සාගෙන ගිහිල්ලා ලිප්ටන් වටරවුමෙ කෑගහන අන්තවාදී දේශපාලන අතකොලුවක් නම් මම කෙළින්ම කියනවා මම විශ්ව විද්‍යාල මානවකයෙක් නොවෙයි. මට සාමාන්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වුණාම හොඳටම ඇති. තවත් එක දෙයක් කියන්න තියනවා. උඹල සහ අපි අතර තියෙන්නෙ වෙනස්කම් දෙකයි. ඒවා තමයි,
  1. අපි කවදාවත් රැග් වෙන්නෙ නෑ
  2. අපි කවදාවත් රැග් කරන්නෙ නෑ
ඔය දෙක හැරුණුවිට වෙන කිසිම වෙනසක් අපි අතර නැහැ. උඹලා ගොඩනගාගෙන තියන අනිත් හැම දෙයක්ම හුදු මනස්ගාත. ඒ ගැන අපිට කරන්න දෙයක් නෑ.
මම හිතන්නෙ මට කියන්න තිබෙන හැම දෙයක්ම ඒ තුළ තිබෙනවා. ඒ වගේම තවත් දෙයක්. ඔහු නැවතත් විමසුවා මට කලින් ලිපි ලියන්නට පාදක වුණු මූලාශ්‍ර මොනවාද කියා. ඉන් පෙනෙන්නේ විනිවිද පෙනෙන සත්‍යය හමුවේ ඔවුන් පත්ව තිබූ අපහසුතාවයි.

ඔන්න ඔහොමයි ඉතින් ඔවුන්ගෙ තත්ත්වය.

තවත් කියන්න දේවල් ගොඩක් තිබුණත් එක්වරම හැමදේම කියන්න විදියක් නෑ නොවැ. පුලු පුලුවන් වෙලාවට සටහනක් දෙකක් ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ. එහෙනම් අදට සමුගන්න අවසරයි...

ආ.. ආයෙත් කියන්න ඕනෙ මේක. අපි කරපු දේවල් දකින්න නම් මේ අඩවියට පිවිසෙන්න.