.: චමිතගේ සිහින කොදෙව්ව :.

THE VIEW OF A BIRD'S EYE - උකුසු ඇසින් විශ්වය දෙස බලමු...

කාලෙකින් ලියන්නත් බැරි වුණු එක ගැන හිතටත් දුකයි. ඒත් මොනවා කරන්නද, කැම්පස් ගියානම් ඉතින් වැඩ කරන්නත් එපැයි. දැන් අපි කැම්පස් ගොහින් මාස තුනකට ටිකක් වැඩියි. මේ කාලය තුළ ලබපු අත්දැකීම් ප්‍රමාණය අප්‍රමාණයි. හොඳ, නරක, ප්‍රියජනක, අප්‍රියජනක, ආතල්, චාටර් ඔක්කොම විදි වල අත්දැකීම් අති විශාල ප්‍රමාණයක් එක පිට එක ලැබුණු මේ කාලය මගේ ජීවිතයේ ඉතාමත් සුවිශේෂී එකක්.

මේ කාලයේ අපි කරපු වැඩ ගැන කියන්නත් එක්ක අපි බ්ලොග් එකකුත් පටන්ගත්තා. තාමත් වැඩ කටයුතු අවසන් නැති වුණත් ඒ වියුණ කියෙව්වොතින් ඔබට අපි ගෙවන ජීවිතය ගැන හොඳ අදහසක් ලබාගන්න පුලුවන් වෙයි. අනිත් හැමදෙනා වගේම අපිත් සරසවි ජීවිතය පටන්ගත්තෙ හරිම කලබලකාරී විදියකට. ඒ මොකක් නිසාද කියලා දන්නවා නේ? මේ කලබලයට විරුද්ධව මා කලින් ලියපු ලිපි දැකලා ඇතැමුන්ගේ හිත් ගොඩාක් රිදුණා. නමුත් ඒ ගැන මට කරන්න දෙයක් නැහැ. ඒ කාලයේ මම ලිව්ව "සරසවිය, මම සහ අපි" කියන ලිපියට ලැබුණු ප්‍රතිචාර කියවනකොට දැන් මටම හිනා.

අපි විශ්ව විද්‍යාලය තුළ ගතකරපු මාස තුනකට අධික කාලය තුළ අපි කළ දේවල් වලින් වඩාත්ම ආඩම්බර වන කරුණ මොකද්ද කියා විමසුවොත් කියන්නට තිබෙන දේ තමයි "නවක වදයට එරෙහිව ප්‍රබල මතයක සිට, ඍජුව කටයුතු කිරීම" යන්න. මේ මතය වෙනුවෙන් පෙනී සිටීම ඉතාම අමාරු වැඩක්. ඒකට දැඩි අධිෂ්ඨානයක් වගේම ප්‍රබල කැපවීමකුත් තියෙන්න ඕනෙ. මොකද නිකන් සුළඟට අහුවෙලා ගහගෙන යන කොළයක් වගේ පිරිස යන අතට යන්නට මෙහිදී අපට ඉඩ නොලැබෙන නිසා.

ආපහු පරණ කතන්දරයමයි, වෙනසක් නෑ.

නවක වදය කියන්නෙ මාසෙකට දෙකකට විතරක් සීමා වන දෙයක් කියලයි මම මුලින්ම හිතාගෙන හිටියෙ. ඒත් ගැඹුරින් බලද්දි ඒක එහෙම නෑ. රැග කියන්නෙ විශ්ව විද්‍යාලයේ ගෙවන අවුරුදු හතර පුරාවටම ක්‍රමිකව ලක්වන කායික මානසික අපයෝජනයක්. ඒක වෙන්නෙ කොහොමද? ඒකට උදාහරණයක් තමයි පහුගිය බදාදා (28-10-2009) කොළඹදී පැවති ශිෂ්‍ය උද්ඝෝෂණය. පා ගමනින් අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිවරයා අතට සංදේශයක් බාරදීමට කියා සංවිධානය කෙරුණු මෙහි පරම අභිප්‍රාය වුණේ නාවල දේශීය වෛද්‍ය ආයතනයට පැන රජයේ දේපළ වලට අලාභ හානි කිරීම වෙනුවෙන් අත් අඩංගුවට ගැනුණු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්නට කඩේ යාම. මේ ක්‍රියාදාමය සිදු වූ ඔක්තෝබර් 28 වැනිදාට පෙර දිනත් එදින උදයේත් අප විශ්ව විද්‍යාලයේ සිදු වූ ජවනිකා මාලාවත් ඉතා හාස්‍යජනකයි.

පසුදින තමන් කොළඹට දක්කාගෙන යන බව දන්නා වාත පිරිස, පසුදින නවක වද විරෝධී සිසුන් වන අප, දේශන වලට යාම නිසා තමන්ට සිදුවන හානිය මඟහරවාගැනීම පිණිස, අප සමඟ චාටුවෙන් කතාකොට අප ද දේශන වලට යාම නවත්වාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවා. "අපි මචං කැම්පස් එකේ තියන ප්‍රශ්න ගැන තමයි කොළඹ ගිහින් උද්ඝෝෂණේ කරන්නෙ. අපි ටෝකන් එකක් ඉල්ලලා තියෙන්නෙ. උඹලත් ලෙක්චර්ස් යන්න එපා හොඳේ?" කියා, පෙරදින රාත්‍රියේ කතාකොට ඔවුන් අප හා කීවා. ඔවුන් ඇදබාන බොරුව ගැන මනා වැටහීමක් තිබුණු අප ඊට එකඟ වූයේ නැහැ. පසුදින අප විශ්ව විද්‍යාලයට යන බවත් ඔවුනගේ හේතුව ගැන වැඩිදුරටත් කතා කොට තීරණයක් ගන්නා බවත් අප ඔවුනට පැවසුවා.

පසුදින විශ්ව විද්‍යාලයේ කටයුතු ආරම්භ වීමට පෙරාතුව පැමිණි වාත ශිෂ්‍යයන්, කලින් අපට තග නොදැමූ විලසින් අප හා කතා කරන්නට පටන්ගත්තා. අප විශ්ව විද්‍යාලයේ ආපන ශාලා නිදහසේ පරිහරණය කිරීමට විරුද්ධව, වරක් කුණුහරුප කියාගෙන පැමිණ මහත් කලබැගෑනියක් ඇතිකිරීමට වෙරදැරූ එක්තරා ශිෂ්‍යයෙක් මෙවර "අඩේ මචං" කියාගෙන පැමිණ මහත් වගකීමෙන් සංවාදයක් ඇරඹීමට උත්සාහ දැරුවා. තග දමන විට ද, චාටුවෙන් කතාකරන විට ද යන දෙ අවස්ථාවේදී ම මොවුන් කරන රඟපෑම ගැන හොඳින් දන්නා අප ද සාවධානව ඔවුන් කියන දේට ඇහුම්කන් දුන්නා.
"මචං, අපි මේ උද්ඝෝෂණය කරන්නෙ අරමුණු 3ක් ඇතුව. ඒව තමයි,
1. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය වසා දැමීමට විරෝධතාව පළකිරීමට,
2. ක්‍රීඩා පිටියක් පරිහරණය කිරීම සඳහා වරක් රු.1500 ක මුදලක් අයකිරීමට එරෙහිව
3. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව.
ඔය අරමුණු පමණයි අපිට තියෙන්නේ. වෙන කිසිම සැඟවුණු අරමුණක් නෑ"
"ඔය පිකට් එක කරන්නෙ උදුල්ට කඩේ යන්න නෙවෙයිද?" කියා ඇසූ හැම විටම ඔවුන් ප්‍රකාශ කළේ "අපි උදුල්ට කඩේ යන්නෙ නෑ" යන්නයි. කලින් වාරයක් ද සංවිධානය කොට අසාර්ථක වූ උදුලට කඩේ යාමේ පිකැට්ටුවට තමන් සහභාගී නොවූ බව පවසා අප මුලා කිරීමේ අසාර්ථක උත්සාහයක නිරත වූ මේ පිරිස ඉදිරිපත් කළ අනෙක් සටන් පාඨ ද බිඳ දැමීමට අපට ගත වූයේ විනාඩි 10කටත් අඩු කාලයක්. ඔවුන් ඉදිරිපත් කළ සම සෞඛ්‍ය විද්‍යා පීඨ පැනය කලින් ද ඇති තරම් කතා කොට තිබූ එකක් වූ අතර, පසුව එතැනට පැමිණි වාතයෙකු ගේ මුවින්, "මේ පිකට් එකට AHS ප්‍රශ්නය අදාළ නෑ" කියා කියැවීමත් සමඟ බළලා මල්ලෙන් එළියට පැන බොරුව අතේ පත්තු වී මහත් අකරතැබ්බයකට මුහුණදීමට වාත පිරිසට සිදු වූවා. ඔවුනගේ දෙවැනි හේතුවටත් අත් වූයේ එවැනිම ඉරණමක්. පේරාදෙණියේ ක්‍රීඩාංගණ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන ඒකකය හෝ උපකුලපතිවරයා සමඟ සාකච්ඡා නොකොට ජනාධිපතිවරයා වෙත ගොස් සංදේශයක් බාරදීමේ පදනම කුමක්දැයි විමසී විට ඔවුනට දීමට උත්තරයක් තිබුණේ නැහැ. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම නැමැති සිය දහස් වර පට්ටගැසූ සටන්පාඨය පෙරට දාගත් විට සියල්ල හරි යැයි සිතන මේ පිරිසට, අප නැගූ ප්‍රශ්න හමුවේ දීමට පිළිතුරක් තිබුණේ නැහැ.

ඔවුන් දිගින් දිගටම කීවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම වැරදි බවත්, රජයේ විශ්ව විද්‍යාල වලින් පරිබාහිරව වෙනත් කිසිදු විශ්ව විද්‍යාලයක් රට තුළ තිබීම වැරදි බවත්. නමුත් එසේ කියන ඔවුන් කිසිවෙකුත්, වසරකට 7000කට අධික ශ්‍රී ලාංකික සිසුන් පිරිසක්, ලංකාවේ උසස් අධ්‍යාපනය ලැබීමට වරම් නොමැතිකමින් විදේශගත වන බවත් ඉන් ශ්‍රී ලංකාවට වසරකට බිලියන 5ක පමණ මුදලක් අහිමි වන බවත් දැන සිටියේ නැහැ. නිදහස් අධ්‍යාපන රටාවට හානියක් නොවන අයුරින් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ආරම්ඹ කිරීමට අප එකඟ බව පෙන්වා දීමෙන් පසුන කීමට දෙයක් නොමැතිකමින් සංවාදය අවසන් වී ඔවුන් ආපසු ගියා. එහෙත් සංවාදය අවසන් වන තෙක්ම තමන් උදුල් ප්‍රේමරත්නට කඩේ යන බැව් පිළිගැනීමට ඔවුන් කැමති වූයේ නැහැ. අවසානයේ අපි දේශන වලට ගියා. හිට්ලර් යුදෙව්වන් ප්‍රවාහනය කළ අන්දමින්, බස් රථ වලට නංවා කොළඹට ප්‍රවාහනය කෙරුණු මොවුන් එදින කොළඹ නගරයේ කළ හදිය රාත්‍රියේ රූපවාහිනියෙන් මුළු රටටම විකාශය කෙරුණා. "ශිෂ්‍ය උද්ඝෝෂණය අසාර්ථකයි" යන්න එදින විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ට ප්‍රධාන පුවතක් වුණා.

කොළඹ නගරය පුරා වීදි සංචාරය කොට, නගරය පුරා දැවැන්ත වාහන තදබදයක් ඇතිකොට, සාමාන්‍ය ජන ජීවිතයට මහත් හානියක් සිදුකොට, කෝටි ගණනක ඉන්ධන හා මුදල් නාස්ති කොට අසාර්ථක උද්ඝෝෂණයක් වෙනුවෙන් පේරාදෙණිය ඇතුලු සෑම විශ්ව විද්‍යාලයකම වාතයන් තම ජීවිතයෙන් දිනක් කැප කළා. මේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් එදින රාත්‍රියේ සෑම ප්‍රවෘත්ති ප්‍රකාශයකම දැඩි අප්‍රසාදය පළ වුණා. ජනපතිවරයාට සංදේශයක් බාරදීමට පැමිණි පිරිසට අරලියගහ මන්දිරය දෙසට අඩියක් වත් තැබීමට ඉඩ ලැබුණේ නැහැ. සංවිධාන ශක්තියේ දුර්වලතාව ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස අඩියෙන් අඩියට හැලෙන්නට වුණා. අවසානයේ අරලියගහ මන්දිරයට යාමට පොලීයිය අවසරය රැගෙන එන විට උද්ඝෝෂණයට සහභාගි වී පොලිස් බැරියර් බිඳ දැමීමට ලෑස්තිව සිටියවුන්ගෙන් එක් අයෙකු වත් ඉතිරිව සිටියේ නැති ලු!

විශ්ව විද්‍යාලයට ඉතා දුකසේ ඇතුළත්ව කරන්නේ මෙය දැයි සෑම මාධ්‍යයක්ම එදින විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගෙන් විමසුවා. "...අවසානයේ ශිෂ්‍ය නියෝජිතයන්ට සිදු වූයේ තම පටු දේශපාලන අදහස් තම සගයන්ටම දේශනා කොට විසිර යාමටයි" ලයිව් ඇට් 8 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් උද්ඝෝෂකයන්ට කණේ පහරක් ලබා දුන්නා. "තම සගයා වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමට පැමිණි" කියා විශේෂණ පදයක් ද එදින උද්ඝෝෂණයට පැමිණි සිසුනට හිමි වුණා. තමන් කිසි විටෙක උදුල් ප්‍රේමරත්නට කඩේ නොයන බැව් පැවසූ අපේ වාත සොයුරන්ට දැන් කීමට ඇත්තේ කුමක්ද?

ඒවාට පිළිතුරු ලැබෙනු ඇත්දැයි අවිනිශ්චිතයි...

අතළොස්සකගේ අමනෝඥ ක්‍රියාවන් හේතුවෙන් අවසානයේ අහක සිටි අපට ද නින්දාවන්ට මුහුණදීමට සිදුවුණා. පසුදින බස් රථයේ එන විට, උද්ඝෝෂණය සම්බන්ධයෙන් මහජනතාව දරන අදහස් ගුවන් විදුලියේ විකාශය වුණා. සරසවි සිසුන් හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් සෑම දෙනාගේම බලවත් අප්‍රසාදය හා කළකිරීම ප්‍රකට වුණා. බස් රථයේ සිටි බොහෝ දෙනා, විශ්ව විද්‍යාල සිසුන් ලෙස පහසුවෙන් හඳුනාගත හැකි අප දෙස පුදුමයෙන් මෙන් බලන්නට වුණා. අපට සිදු වූයේ කිසිවක් නොදන්නවාක් මෙන් වටපිට බැලීමටයි. කිහිප දෙකෙකුගේ අතකොළු බවට පත්ව ඇති වාතයන්ගේ මෙවන් දුර්ජන ක්‍රියාවන් හේතුවෙන් අවසානයේ අපහසුතාවයන්ට පත් වන්නේ විශ්ව විද්‍යාලය නියෝජනය කරන අප සැමයි.

මේක තනිකරම සිසුන් බලහත්කාරයෙන් ඇදගෙන ගිහින් කරපු උද්ඝෝෂණයක් බව හෙළිවුණේ පහුවදා, ඊට සහභාගි වූවන් අප හා කළ කතාබහෙනුයි. කලින් දා සිදු වී සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ වාත ශිෂ්‍යයන් අතරත් තිබුණේ බලවත් අප්‍රසාදයක්. ප්‍රතික්ෂේප කළ නොහැකි මට්ටමේ දැඩි බලපෑමක් ඉහළින් එල්ල වන නිසා නොවන්නට මෙවන් කාලකණ්ණි පිකැට් වලට කිසිවෙක් සහභාගි වන්නේ නෑ. ඒ බව ඔවුන් කෙළින්ම කීවා. රැග් එක යන්න අවුරුදු 4 පුරාවටම විඳින්න සිදුවන වද බන්ධනයක් කියා මම කියන්නේ මෙවන් පදනමක් තුළ ඉඳගෙනයි.

උද්ඝෝෂණය වෙනුවෙන් "ටෝකන් එකක්" ඉල්ලා ඇති බව ඔවුන් කීවේ කලින් දිනයේ සියමයි. මෙම වාතයන් ඉල්ලන "ටෝකන්" වලට විශ්ව විද්‍යාල පාලනාධිකාරියෙන් ලැබෙන ප්‍රතිචාරය ප්‍රකට වූයේ එදින, ඉංජිනේරු පීඨ පීඨාධිපතිතුමා ම කළ නියෝගයකින්මයි. ඒ තමයි එදිනට නියමිතව තිබූ විභාගයක් එදින අනිවාර්යයෙන්ම පවත්වන ලෙස ඔහු කළ නියෝගයකින්. යම් හෙයකින් එදින යම් ශිෂ්‍යයෙකු නොපැමිණියේ නම් වෛද්‍ය සහතිකයක් රහිතව ඔහුට නැවත විභාගයට පෙනී සිටීම තහනම් කර තිබුණා. බොහෝ සිසුන් එදින් පැමිණ නොසිටි නිසා විභාගය පැවැත්වීම සුදුසු නොවන බව අප ආචාර්යවරුන් සමඟ සාකච්ඡා කර ප්‍රකාශ කළත් පීඨාධිපතිතුමාගේ නියෝගයට පිටින් යාමට ඔවුනට හැකියාව තිබුණේ නැහැ. අවසානයේ අපට එම විභාගයට ඉදිරිපත් වීමට සිදු වූයේ එදින ඊට ඉදිරිපත් නොවීමෙන් පත්විය හැකි අපහසුතාව සැලකිල්ලට ගෙනයි. පසුදින මෙය ඇසූ එක් වාත ශිෂ්‍යයෙකුගේ මුවින් පිට වූයේ "ඕන් බලපන්, ටෝකන් එකක් ඉල්ලලා අපිට වෙච්ච දේ...."

උදුල්ට කඩේ යාම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය හා පාලනාධිකාරියේ ප්‍රතිචාරයයි ඒ...

ඇතැමුන්ගේ නොහොබිනා ක්‍රියාවන් නිසා අප සැමගේ නම විනාශ වීමත්, මෙම නොහොබිනා ක්‍රියාවන්ට අනුබල නොදෙන, ඊට විරුද්ධ වන පිරිසක් සිටින බව බොහෝ සාමාන්‍ය ජනයා නොදැන සිටීමත් ගැන මට නම් තියෙන්නේ බලවත් කණගාටුවක්. අද (31-10-2009) දිනයේ ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් බස් රථ කිහිපයකට පහර දී අලාභ හානි සිදුකර තිබෙනවා. විද්‍යුත් මාධ්‍ය වල සිරස්තල ලෙස පළවන මෙම ප්‍රවෘත්ති ගැන අප කතාකිරීමත් ඇතැමුන්ට අනුව වැරැද්දක්. මෙවන් කරුණු නිර්දය ලෙස විවේචනය කිරීමෙන් හෝ නිවැරදි කරගැනීමට හැකියාවක් ඇත්තම් එය ඉතා වටිනා කර්තව්‍යයක්.


මා සමඟ මූණු පොතේදී වාදයට පැටලුණු එක්තරා වාතයෙක් වරක් ප්‍රකාශ කර සිටියේ විශ්ව විද්‍යාල මාණවකයෙකු වීමට අපට ශක්තියක් නොමැති බවයි. ඔහුට අනුව, විශ්ව විද්‍යාල මාණවකයෙකු වීමට ඇති එකම සුදුසුකම නම් නවක වදය නැමැති කායික, මානසික අපයෝජනයට ලක්වීමයි. මීට මාසයකට පෙර අතවරයට, අපයෝජනයට හා ලිංගික හිංසනයට ලක් වූවෙකු ලෙස ඔහු එවැන්නක් ප්‍රකාශ කිරීමත් ඉතා හාස්‍යජනකයි. සිංහලයා යනු දවස් 7ක් යන්නට මත්තෙන් සියල්ල අමතක වන්නෙකු ලෙස මීට මාස කිහිපයකට උඩදී මිය පරලොව ගිය වේලුපිල්ලේ ප්‍රභාකරන් දී තිබූ නිර්වචනය එම වාතයා විසින් සත්‍යාපනය කර පෙන්වූවා. ඔහුට එදා මම දුන්න පිළිතුර මම අද එලෙසින්ම මෙහි පළකරන්නම්:

උඹ කියනවා මම කැම්පස් කල්චර් එක දන්නෙ නෑලු. උඹ කියන කල්චර් එක රැග් එක නම් මම කෙළින්ම කියනවා, මම ඔය කල්චර් එකට අනුගත වෙන්නෙ නෑ. මම ඕකට ප්‍රබල විදියට විරුද්ධයි. රැග් සංකල්පය සෛද්ධාන්තිකවම වැරදියි. මම ඒ බව මම ලියපු ලිපි වල පෙන්නා දීලා තියනවා. කියවලා ඇති නොවැ? මතක නැත්තම් ආපහු කියවන්න. උඹ කියනවා මම විශ්ව විද්‍යාල මානවකයෙක් නොවෙයිලු. උඹ කියන විශ්ව විද්‍යාල මානවකයා සාමාන්‍ය පිළිගත් මානව සම්ප්‍රදායන් කඩකරන, මූලික මිනිස් අයිතිවාසිකම් වලට නිගරු කරන, කාගෙවත් කීමට බෝඩ් ලෑල්ලක් උස්සාගෙන ගිහිල්ලා ලිප්ටන් වටරවුමෙ කෑගහන අන්තවාදී දේශපාලන අතකොලුවක් නම් මම කෙළින්ම කියනවා මම විශ්ව විද්‍යාල මානවකයෙක් නොවෙයි. මට සාමාන්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වුණාම හොඳටම ඇති. තවත් එක දෙයක් කියන්න තියනවා. උඹල සහ අපි අතර තියෙන්නෙ වෙනස්කම් දෙකයි. ඒවා තමයි,
  1. අපි කවදාවත් රැග් වෙන්නෙ නෑ
  2. අපි කවදාවත් රැග් කරන්නෙ නෑ
ඔය දෙක හැරුණුවිට වෙන කිසිම වෙනසක් අපි අතර නැහැ. උඹලා ගොඩනගාගෙන තියන අනිත් හැම දෙයක්ම හුදු මනස්ගාත. ඒ ගැන අපිට කරන්න දෙයක් නෑ.
මම හිතන්නෙ මට කියන්න තිබෙන හැම දෙයක්ම ඒ තුළ තිබෙනවා. ඒ වගේම තවත් දෙයක්. ඔහු නැවතත් විමසුවා මට කලින් ලිපි ලියන්නට පාදක වුණු මූලාශ්‍ර මොනවාද කියා. ඉන් පෙනෙන්නේ විනිවිද පෙනෙන සත්‍යය හමුවේ ඔවුන් පත්ව තිබූ අපහසුතාවයි.

ඔන්න ඔහොමයි ඉතින් ඔවුන්ගෙ තත්ත්වය.

තවත් කියන්න දේවල් ගොඩක් තිබුණත් එක්වරම හැමදේම කියන්න විදියක් නෑ නොවැ. පුලු පුලුවන් වෙලාවට සටහනක් දෙකක් ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ. එහෙනම් අදට සමුගන්න අවසරයි...

ආ.. ආයෙත් කියන්න ඕනෙ මේක. අපි කරපු දේවල් දකින්න නම් මේ අඩවියට පිවිසෙන්න.

Share/Save/Bookmark

වර්තමාන විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවතින බරපතළම ප්‍රශ්නය නවක වදයයි. පසුගිය කාලයේ මා මේ සම්බන්ධව කොතෙකුත් ලීවේ මෙම ගැටලුවේ පවතින බරපතල තත්ත්වය ඒ ගැන මගේ අදහස් පළකිරීමටයි. ඒ අතර, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ නවක වද ගැටලුව සම්බන්ධයෙන් පළවූ මෙම ලිපිය මගේ අවධානයට යොමු විය. මා මෙය පළකරන්නේ, වැරැද්ද කොතැනක සිදු වුවත් වැරැද්දම බව පෙන්වාදීමේත්, නවක වදයේ "හොඳ" ගැන කතාකරන ඇතැමුන්ට, නවක වදය පිළිබඳ නූතන සමාජය දරන ආකල්පය පෙන්වාදීමේත් අටියෙනි.

කොහුවල ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයකට පසුගිය දිනෙක හදිසියේම ගිලන් රථයක්‌ පැමිණියේය. ඉන් බැසගත් තරුණයන් තරුණියන් කිහිප දෙනෙක්‌ තවත් තරුණියක වත්තන් කරගෙන ආහ. එම තරුණිය දැඩි අපහසුතාවයෙන් හුස්‌ම ගන්නා ආකාරයක්‌ පෙනිණි. ඇය සමග පැමිණි තරුණයන්ට හෝ තරුණියන්ට ඇයගේ අපහසුතාවයපිළිබඳ එතරම් හැඟීමක්‌ තිබූ බවක්‌ පෙනෙන්නට නොතිබිණි. එම වෛද්‍ය මධ්‍යස්‌ථානයේ තවත් කිහිප දෙනෙක්‌ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිය වාරය එන තුරු බලා සිටියහ. අපහසුවෙන් හුස්‌ම ගනිමින් සිටි තරුණියට අවස්‌ථාව ලැබුණේ ඉන් පසුවය. ප්‍රතිකාර සඳහා වන මුදල් ද සිය පසුම්බියෙන් දුන්නේ ඇය සමග පැමිණි තරුණයෙකි. ඔවුහු යළිත් ගිලන් රථයේ නැගී ගියහ.

මෙම සිදුවීම එක්‌ අතකින් සැක උපදවන්නකි. දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් පසුවූ එම තරුණිය පිළිබඳව ඇය සමග පැමිණි කිසිවකුට හැඟීමක්‌ නොතිබීම නිසාවෙනි. අනෙක්‌ අතට තරුණිය පිළිබඳව අවධානයකින් නොසිටිමුත් ඔවුන් අවට සිටියවුන් දෙස නෙත් යොමු කළේ බියවුණු සැකයකිනි. කවුරුන් හෝ යමක්‌ ප්‍රශ්න කරනු ඇතැයි යන සැකයක්‌ ඔවුන්ගේ සිත්වල තිබුණා විය හැකිය.

සත්‍ය වශයෙන්ම මෙම පිරිස කවුදැයි දැන ගැනීම අසීරු කරුණක්‌ නොවුණේ ගිලන් රථයේ සඳහන් වු අකුරුවලිනි "ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය" යන අකුරු ගිලන් රථයේ සඳහන් කර තිබිණි. දැඩි ලෙස අසනීපව සිටි ශිෂ්‍යාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අලුතින් ඇතුළත්වූ ශිෂ්‍යාවක වන අතර ඇයව රැගෙන ආවෙත් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ය. ඇය අසනීප වූයේ ජ්‍යෙෂ්ඨයන්ගේ නවකවදයෙනි. කුමන විශ්වවිද්‍යාලයක වුවද හදිසියේ අසනීප වන සිසුන් ප්‍රථමයෙන්ම යොමු කෙරෙන්නේ විශ්වවිද්‍යාලයේ පවතින සෞඛ්‍ය මධ්‍යස්‌ථානයටය. සෞඛ්‍ය මධ්‍යස්‌ථානයේ මූලික ප්‍රතිකාරවලින් පසුව අවශ්‍ය නම් ගිලන් රථයෙන් රජයේ රෝහලක්‌ වෙත යොමු කරයි. සාමාන්‍යයෙන් සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන එම ක්‍රමවේදය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පොදු නැත. එහි කළමනාකරණ අධ්‍යයන හා ශාස්‌ත්‍ර යන පීඨවලට මෙවර අලුතින් ඇතුළත් වු නවක සිසු සිසුවියන් විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වන්නේ දැඩි භීතියකිනි. දේශන ආරම්භ වීමට පැයකට දෙකකට කලින් ඔවුන් විශ්වවිද්‍යාලයට පැමිණිය යුතුය. දේශන ආරම්භ වන තෙක්‌ ජ්‍යෙෂ්ඨයන්ගේ හිංසාකාරී නවකවදයට ගොදුරු වීම අනිවාර්යය. දේශනවලට යා හැකි වන්නේ ඉන් පසුවය. දිවා ආහාරය සඳහා දේශන අවසන් කළ පසු යළිත් ජ්‍යෙෂ්ඨ සිසුහු ඔවුන් කරා පැමිණෙති. නේවාසිකව සිටින්නන් හැර සෙසු සිසු සිසුවියෝ දිවා ආකාරය නිවසින් රැගෙන එති. අලූයම අවදී වී අම්මලා උයා පිහා බැඳ දෙන බත් පත කන්නට ඔවුන්ට ඉඩ නොලැබේ. දහවල් ගිනි අව්වේ පිට්‌ටනියට කැඳවන නවකයන්ගේ දිවා ආහාර එකතු කරන්නේ ජ්‍යෙෂ්ඨයෝය. ඔවුහු. විකෘති මානසික තත්ත්වයෙන් පසුවන මුග්ධයෝ විය යුතුය. පිට්‌ටනියේ ගිනිඅව්වේ බිම වාඩි කරවන නවකයන් පස්‌ හය දෙනකුට කන්නට ලැබෙන්නේ එක බත් පාර්සලයකිනි. එය තමන් නිවසින් රැගෙන ආ බත්පත නොව වෙනත් එකකි. ආහාර ගත යුතු වන්නේද අමු තිත්ත කුණුහරුප සමගය. එතරම්ම අසික්‌කිත අන්දමින් ජ්‍යෙෂ්ඨයන් හැසිරීම නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දැනටම එපා වී සිටින පිරිස බොහෝය. මින් වැඩි පිරිසක්‌ ශිෂ්‍යාවෝය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවසන නවක වදය නවකයන්ට පමණක්‌ නොව දෙමව්පියන්ට ද මහා වදයකි. මේ පිළිබඳව දෙමව්පියෝ උපකුලපති ආචාර්ය එන්. එල්. කරුණාරත්න මහතාට ද පැමිණිලි කර ඇත. සිය දරුවන් ආරක්‍ෂා කිරීම සඳහා දෙමව්පියන්ටද දැන් විශ්වවිද්‍යාලයට පැමිණීමට සිදු වීම කෙතරම් නම් අභාග්‍යයක්‌ද? ගිනි අව්වේ සිටුවා සිදු කරන නවකවද ක්‍රියාකාරකම් හේතුවෙන් දිනකට සිහිමූර්ජා වන ශිෂ්‍යාවන් පිළිබඳ සංඛ්‍යාලේඛණ විශ්විද්‍යාලය සතුව නැත. අසනීප වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ තොරතුරු විශ්වවිද්‍යාලය සතුව නැත. මන්ද ඒ සියලු දෙනා යොමු කෙරෙන්නේ විශ්වවිද්‍යාලයට පිටතින් වන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථාන වෙතය. ඔවුන් පිළිබඳ තොරතුරු සෙවීමට නම් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථාන කරා යා යුතුය.

නවකයන් විශ්වවිද්‍යාලයට පැමිණිය යුතු වේලාව. දිවා ආහාරය ගත යුතු වේලාව, දේශන අවසන් වී නේවාසිකාගාරවලට යා යුතු වේලාව විශ්වවිද්‍යාලයට පැමිණීමේ දී සැරසිය යුතු ඇඳුම් පිළිබඳ තීන්දු තීරණ ගන්නේ කළමනාකරණ අධ්‍යයන සහ ශාස්‌ත්‍ර යන පීඨවල ශිෂ්‍ය සංගම්ය. ඔවුන්ගේ නියෝගවලට පිටින් යැමට කිසිවකුට අවසර නැත. එම නියෝගයන්ට පිටින් කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. දඬුවම් දෙන්නේ පරිපාලන අංශ නොව මානසික විකෘතියෙන් පෙළෙන තිරස්‌චීනයෝය. නවකයන්ට විශ්වවිද්‍යාලය එපා කඑවන මේ අධමයන්ගේ ක්‍රියාකලාපයන්ට එරෙහි වීමට අද කිසිදු ආචාර්යවරයෙක්‌ ඉදිරිපත් නොවේ. නවකවදයට එරෙහි ආචාර්යවරු කොතෙකුත් විශ්වවිද්‍යාලයේ සිටියද ඔවුහු ඊට එරෙහිව හඬ නොනගා නිහඬව සිටිති. හේතුව අන් කිසිවක්‌ නොව පරිපාලන අංශ ඔවුන් රැකීමට ඉදිරිපත් නොවන හෙයිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල නාසි කඳවුරක්‌ යෑයි සිතෙන්නට තරම් නවකයන් පෙළමින් සිටින ශිෂ්‍ය සංගම්වලට ඉඩදී බලා සිටින පරිපාලනය ආචාර්යවරුන්a වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි යන්න සිතන්නටවත් නොහැකි යෑයි ආචාර්යවරු පවසති.

කිසිදු විශ්වවිද්‍යාලයක කෙදිනකවත් නොසිදුවූ දේ අද මෙහි සිදු වෙයි. මෙවර නවක සිසු සිසුවියන්ට නේවාසිකාගාර පහසුකම් ලබාදී ඇත්තේද ශිෂ්‍ය සංගම්වල බලපෑමට යටත්ව වීම විශේෂත්වයකි. හොඳ තත්ත්වයේ පවතින විමලා ද සිල්වා නේවාසිකාගාරය මෙවර සිට නවක සිසුවියන් සඳහා වෙන් කිරීමට පරිපාලන අංශ පියවර ගෙන තිබිණි. ඒ අනුව කළමනාකරණ අධ්‍යයන ශාස්‌ත්‍ර, විද්‍යා සහ වෛද්‍ය විද්‍යා යන පීඨවල නවක සිසුවියන් එම නේවාසිකාගාරයට යොමු කෙරිණි. ශිෂ්‍ය ක්‍රියාකාරීහු ඊට දැඩි විරෝධය පළ කළහ. ඔවුන් විමලාද සිල්වා නේවාසිකාගාරයට කඩා වැද බලහත්කාරයෙන් එය අල්ලා ගැනීමට සුදානම් වන බවට පරිපාලන අංශවලට තොරතුරු ලැබිණි. මේ නිසා ශිෂ්‍ය ක්‍රියාකාරීන් කැඳවා පරිපාලනය සාකච්ඡා කර ශිෂ්‍යයන්ගේ ඉල්ලීමට එකඟතාව පළ කළේය. ඒ මහල් හතරකින් යුත් විමලාද සිල්වා නේවාසිකාගාරයේ මහල් දෙකක්‌ ජ්‍යෙෂ්ඨයන් සඳහා වෙන් කිරීමටය. එම මහල් දෙකේ සිසුවියන්ට සෝරත, ධර්මපාල සහ සෝරත ධර්මපාල යන නේවාසිකාගාර තුනට මාරු වන ලෙස පරිපාලන අංශ විසින් දන්වන ලද්දේ ද ශිෂ්‍ය සංගම් හරහාය. ශිෂ්‍ය සංගම්වල දැනුම් දීමට අනුව නේවාසිකාගාර මාරු කිරීමට සිසුවියෝ එකඟ නොවූහ. ඉන් පසුව පරිපාලන අංශ නවක සිසුවියන්ගෙන් කළ ඉල්ලීමට එකඟ වූයේ විද්‍යා සහ වෛද්‍ය විද්‍යා පීඨවල සිසුවියන් පමණි. කළමනාකරණ අධ්‍යයන සහ ශාස්‌ත්‍ර යන පීඨවල සිසුවියෝ නේවාසිකාගාරය මාරු කිරීම ප්‍රතික්‍ෂේප කළහ. එම නිසා එම අදහස අත්හැර දැමීමට පරිපාලන අංශවලට සිදු විය.

ඉන් පසුව සෝරත හා ධර්මපාල යන නේවාසිකාගාරවලට ජ්‍යෙෂ්ඨ සිසුන් ඇතුළත් කළ යුතු යෑයි කියමින් ශිෂ්‍ය සංගම් පරිපාලන අංශවලට බලපෑම් කිරීමට පටන් ගත්තේය. මෙලෙස එල්ල වන බලපෑම් නිසා පරිපාලන අංශ කළේ සිසුන් 56 දෙනෙක්‌ වෙනත් නේවාසිකාගාරයකට යෑවීමය. එහි පහසුකම් නැති බව පවසමින් පසුදින සිට යළි පරිපාලනයට බලපෑම් එල්ල කිරීමට පටන් ගත්තේය. මෙම බලපෑම් හමුවේ යළිත් අසරණ වූ පරිපාලනය මෙම සිසුන් 56 දෙනා යුරෝලංකා නේවාසිකාගාරයට යෑවීය. මේ වන විට එහි දැඩි තදබදයක්‌ පවතී.

මේ අතර සිසුන්ගේ බලපෑම නිසා සෝරත හා ධර්මපාල යන නේවාසිකාගාරවලටද අමතර සිසුවියන් විශාල පිරිසක්‌ යොමු කර තිබේ. එහෙයින් සය දෙනකුට පහසුකම් ඇති කාමරවල සිසුවියන් අට දෙනකු බැගින් දමා ඇත. මෙම තත්ත්වය මත සිසුවියන්ට පැදුරු දමා බිම නිදා ගැනීමට සිදු වී තිබේ. කාමරයේදී අධ්‍යයන කටයුතු කිරීමට හැකියාවක්‌ නැත.

පසුගිය දිනයක තවත් අපූරු සිද්ධියක්‌ වාර්තා විය. ඒ මහාචාර්ය ඩබ්ලිව්. එස්‌. ප්‍රනාන්දු මහතාගේ විශ්‍රාම ගැනීම වෙනුවෙන් පැවති උළෙලය. එය සංවිධානය කළේ ශිෂ්‍ය සංගමය. ප්‍රධාන ආරාධිතයා උපකුලපතිවරයාය. තවත් දෙදෙනෙක්‌ ආරාධිතයන් ලෙස එම අවස්‌ථාවට එක්‌වුහ. ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු වන උදුල් ප්‍රේමරත්නය. අනෙක්‌ පුද්ගලයා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සුජිත් කුරුවිටය. මේ පුද්ගලයන්ගේ දේශන අසන්නට නවකයන් එම ස්‌ථානයට ගාල් කර සිටිනු දුටු තමන් මහත් කම්පාවට පත්වූ බව එහි සිටි ආචාර්යවරයෙක්‌ අප සමග පැවසීය. එම උළෙල අවසන් වන තෙක්‌ නවකයන්ට එතැනින් ඉවත් වීම තහනම් කෙරණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන හා ශාස්‌ත්‍ර යන පීඨවල නවකයන්a එදා එල්. ටී. ටී. ඊ. ය බලහත්කාරයෙන් බඳවා ගෙන බලහත්කාරයෙන් යුද පුහුණුව දී යුද්ධයට යෑවූ ළමා සොල්දාදුවන් හා සමාන යෑයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. නවකයෝ එතරම්ම කායික හා මානසික පීඩාවට ලක්‌වෙති.

ශිෂ්‍ය ක්‍රියාකාරීන් මෙතරම් බඩපිනුම් ගසමින් නවකයන් පීඩාවට පත් කරන්නේ උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලන අංශවල නිවට නියාලු ප්‍රතිපත්ති නිසාවෙනි. විශ්වවිද්‍යාලය අද පාලනය කරන්නේ පරිපාලන අංශද නැතහොත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ද යන්න පවතින පැහැදිලි ගැටලුවකි. විශ්වවිද්‍යාලයීය පරිපාලන අංශ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට යටත් වී සිටින්නේය හැඟීම කා අතරත් පවතී. කණගාටුව නම් නවකවදය දෙන ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමේ බලයෙන් උසස්‌ අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා විසින් සියලු උපකුලපතිවරුන් සන්නද්ධ කරනු ලැබ තිබියදීත් ශ්‍රී ජයවර්ධනපුර සරසවි මාතාව භීතියෙන් වෙව්ලමින් කඳුළු සැලීමය.

නිලන්ත මදුරාවල

යොමුව : දිවයින ඉරිදා සංග්‍රහය (21-09-2009)

Share/Save/Bookmark

යකා නැවතත් මතුවේ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වද විරෝධී සිසුන් දෙදෙනෙකුට නැවතත් පහරදී තිබේ. මේ සිද්ධිය මේ දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි ප්‍රබල අවධානයට පාත්‍ර වී තිබේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් මෙම සිසුන් දෙදෙනා පසුගිය බදාදා (02-09-2009) රාත්‍රියේ සරත්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ පැවති 'තාරාවෝ ඉගිලෙති' නාට්‍යයේ දර්ශනයක් නරඹා පැමිණෙමින් සිටියෙදී විශ්ව විද්‍යාලයීය අක්බාර් ශාලාව අසල බස්නැවතුම්පොලේදී රාත්‍රී 10.30ත් 11.00ත් අතර මෙම පහරදීමට භාජනය වී තිබේ. මෙය අලුත් තත්ත්වයක් නොවේ. මීට පෙරාතුව් ද මෙවන් සිදුවීම් ඇති තරම් වාර්තා වුවද වෛද්‍ය පීඨ සිසුන් මෙවන් දරුණු ගණයේ පහරදීමකට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සඳහන් කළ හැක. මෙය පේරාදෙණිය වෛද්‍ය පීඨ ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස ඉතිහාසගත වනු ඇත.

අක්බාර් නේවාසිකාගාරයේ වෙසෙන අති බහුතරක් වූ සිසු පිරිස ඉංජිනේරු පීඨයට අයත් වෙති. මෙම දිනයේදී එම නේවාසිකාගාරය තුළින් ඉවතට පැමිණි 200ක පමණ සිසුන් පිරිසක් සම්පූර්ණයෙන්ම නිරායුධව සිටි සිසුන් දෙදෙනෙකුට පහර දීම පසුපස තිබෙන කතාව මේ බ්ලොගය කියවූ අයට නම් ඉතා හුරු පුරුදු ය. එනම් නවක වදය නැමැති යක්ෂයා යි. 200කට අධික සිසුන් පිරිසක් පැමිණ 2 දෙදෙනෙකුට පහරදීම කෙතරම් නිර්ලජ්ජිත ද? විශ්ව විද්‍යාලය නම් පින්බිම තුළ මෙවන් මාෆියාවක් නිර්මාණය කිරීමට අවසර දී ඇත්තේ කවුද? දොස්තරවරුන් ඉංජිනේරුවන් වීමට සිටින ඇත්තන් හැසිරෙන ආකාරය මෙසේ නම් වෙනත් පුද්ගලයන් ගැන කවර කථා ද? අපේ රට අද පත්ව ඇති පසුගාමී තත්ත්වයට හේතුව දශක ගණනාවක් තිස්සේ රටේ පොදු ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් බිහිවූ මෙයාකාරයේ ඊනියා බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිස නොවේද?

ජ්‍යෙෂ්ඨයන් විසින් තම සිත් වලට කාවද්දන හණමිටි අදහස් කරේ තබාගැනීම නිසා වෙනත් මතයකට ගරුකිරීමට නොදන්නා, විශ්ව විද්‍යාලයෙන් පිට ලෝකයක් නොදන්නා කණිෂ්ඨයන් පිරිසක් බිහිවන බව මම මීට පෙරාතුව ලිපි කිහිපයක්ම හරහා පැහැදිලිව සඳහන් කළෙමි. එය සනාථ කරන්නට මෙන් මෙම සිදුවීම සිදුවන අතරවාරයේ නවක සිසුන් පිරිසක් මෙම සිදුවීම නැරඹීමට ගෙන්වාගෙන, ඉදිරියට පවත්වාගෙන යන සංස්කෘතිය ගැන මනා අවබෝධයක් ලබාදීමට වාත උතුමන් කටයුතු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබී තිබේ. මෙය ඉතා ශෝචනීය තත්ත්වයකි. මෙම තත්ත්වය නැතිකිරීමට ගතයුතු පියවර පිළිබඳව පුළුල් කතිකාවතක් ඇතිවිය යුතුය. නො එසේනම් මෙම පිළිලය සදාකාලිකව පවතිනු ඇත. එබැවින් බලධාරීන් කළ යුත්තේ මෙවන් සිදුවීම් සිදුවන බව වසන් කිරීම නොව මෙම තත්ත්වය මනාව විශ්ලේෂණය කර එය වැළැක්වීමට ඇවැසි කටයුතු සංවිධානය කිරීමයි. එය මෙරට අනාගතය වෙනුවෙන් ඔවුනට ඉටුකළ හැකි මහඟු සේවයක් වේ.

අවාසනාවකට මෙය තවත් ශිෂ්‍ය දෙපිරිසක් අතර ගැටුමක් ඇතැමුන් උත්සාහ දරනු පෙනේ. 200ක පමණ පිරිසක් පොලු මුගුරු රැගෙන විත් දෙදෙනෙකුට පහරදීම දෙපිරිසක් අතර ගැටුමක් ලෙස අර්ථදැක්වීම හාස්‍යජනක නොවේද? නමුත් එවන් කතා කියා කිසිවෙකුටත් ඇඟ බේරාගැනීමට හැකියාවක් නැත. එසේ කරන්නන් උකසට තබන්නේ පේරාදෙණිය සරසවිය නම් උතුම් නාමයේ ගෞරවයයි. එවන් ස්ථානයක් විනාශ කිරීමට වෙර දරන පිරිසකට විරුද්ධව ක්‍රියාකිරීම වැරැද්දක් ද?

කෙසේ හෝ වේවා මෙවර සිදුවූ සිදුවීමේ බරපතළකම හේතුවෙන් මෙය ලෙහෙසියෙන් කෙළවරක් දකිනු ඇතැයි සිතීම උගහට ය. ප්‍රහාරකයන් රැසක් පැහැදිලිව හඳුනාගෙන තිබේ. එසේම මෙම සිදුවීමට සම්බන්ධ සැකකාර ඉංජිනේරු පීඨ සිසුන් වහාම ගෙදර යවන් බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය S.B.S. අබේකෝන් මහතා ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීම අපේ රටේ උසස් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපන රටාව තුළින් ඉටුකරගැනීමට වෙරදරන දහස් ගණනක් වූ දුවා දරුවන් හට කරන මහඟු සේවයක් වනු ඇත.

මේ දිනවල මුද්‍රිත මාධ්‍යයන්හි ප්‍රබල මාතෘකාවක් බවට පත්ව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලියැවුණු පුවත්පත් ලිපි කිහිපයකි මේ:

පේරාදෙණිය පිරිමි නේවාසිකාගාර වල අමානුෂික නවක වද

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පිරිමි නේවාසිකාගාර වල මේ වනවිට ඉතාම අමානුෂික අන්දමින් පළමු වසර සිසුන්ට නවක වදය ලබාදෙන බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි. මේ හේතුවෙන් අලුතින් විශ්ව විද්‍යාල පේවේශය ලැබූ සිසුන් මහත් අපහසුතාවට පත්වී සිටින අතර නවක වදය දීමට එරෙහිව ක්‍රියාකරන ජ්‍යෙෂ්ඨ සිසුන්ට එරෙහිව ද හිංසාකාරී ක්‍රියා සිදුකෙරෙමින් පවතින බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග කියයි. විශ්ව විද්‍යාල සිසුනට කිසිසේත්ම නොගැළපෙන අයුරින් ඉතාමත් අමානුෂික ආකාරයට මෙම නවක වදය ලබාදීම සිදු කෙරෙන අතර [continued...]

ඇසුර: රිවිර ඉරිදා සංග්‍රහය (06-09-2009)

වෛද්‍ය සිසුන් දෙදෙනාට ප්‍රහාරයක්‌

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ "වළේ" වේදිකාවේ තාරාවෝ ඉගිලෙති නරඹා ආපසු යමින් සිටි වෛද්‍ය පීඨයේ දෙවැනි වසර සිසුන් දෙදෙනකුට විශ්වවිද්‍යාලය භූමියේදී බදාදා (2) රාත්‍රියේ කිසියම් පිරිසක්‌ විසින් පහරදී ඇත.

පහරකෑමට ලක්‌වූ කසුන් රඹුක්‌වැල්ල සහ එන්. වීරසිංහ නමැති වෛද්‍ය සිසුන් දෙදෙනා පේරාදෙණිය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර සිටිති.

සිසුන් දෙදෙනාට දැඩි ප්‍රහාරයක්‌ එල්ලවී ඇත්තේ රාත්‍රි 10.30 ට පමණ අක්‌බාර් නෙල් නේවාසිකාගාරය දෙසට ගමන් කරමින් සිටියදී බව පැවසේ.
[continued...]

ඇසුර: දිවයින දිනපතා සංග්‍රහය (04-09-2009)

Two undergrad anti-ragging supporters brutally assaulted

KANDY - Two second year Medical Students of the University of Peradeniya, supporters of the anti-ragging faction, were brutally assaulted while returning to their Hall of Residence on Wednesday (02) night.

The two students, Kasun Rambukwella and Weerasinghe, are being treated at the surgical ward of the Peradeniya Teaching Hospital. They were returning after watching the stage play "Tharavo Igillethi" at the theatre ‘Wala’ of the university.

The University spokesman said yesterday (03) that the incident was being investigated by University Professor Dr. Asoka Dangolla.

It is learnt that the victims are supporters of the anti-ragging faction of the University of Peradeniya. According to a highly placed campus official the anti-ragging movement at the university is growing popular while ragging supporters are diminishing in numbers. [continued...]

ඇසුර: The Island News (04-09-2009)


Share/Save/Bookmark

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පීඨ 2008 කණ්ඩායමේ සිසු කැළගේ වැඩ කිඩ ඇතුළත් නවතම බ්ලොග් සටහනයි මේ..... ඔබේ අදහස් උදහස්, යෝජනා, චෝදනා, ගල් මුල් සියල්ලට මෙහි ඉඩකඩ....
තාම වැඩ පටන්ගෙන මාසයක් නිසා වැඩි යමක් නැති නිසා වැඩිදුර තොරතුරු අනාගතයට....

Share/Save/Bookmark

විශ්ව විද්‍යාලයට ඇතුලු වී මසක් ගෙවී යන මේ මොහොතේ, ගතවූ කාලය පිළිබඳ ලිවීමට සිත් වන දෑ බෙහෙවි. පෞද්ගලිකව මා හට ඉතා විනෝදාත්මක ලෙසත්, ඉතා ප්‍රයෝජනවත් ලෙසත් ගෙවී ගිය මෙම කාල ප්‍රාන්තරය මගේ ජීවිතයේ වැදගත් කඩඉමක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. මේ කාලය තුළ අප කළ කී දෑ සියල්ල වචනයෙන් වචනය ලිවීමට මට අවශ්‍ය නැත්තේ අවසානයේ එය හුදු ස්වයං-වර්ණනයක් ලෙස ඇතැමෙකු දැකීමට ඉඩ ඇති බැවිනි.

පසුගිය සති කිහිපය තුළ ම හරිහැටි යමක් ලිවීමට නොහැකිවීම පසුපස ඇති හේතුවත් සරසවියේ කටයුතු හේතුවෙන් ඒ සඳහා උචිත විවේකයක් නොලැබීමයි. උසේන් බෝල්ට්ගේ අසමසම ලෝක වාර්තාව ගැන යමක් ලියන්නට ඊයේ සිතුන ද එය ද අත්හැර දැමීමට සිදු වූයේ පරිගණක තිරය දෙස දීර්ඝ වේලාවක් දෑස් දල්වා බලා සිටීමට අපහසු, දැඩි මහන්සි ගතියක් ගතට දැනුණු බැවිනි. අද දිනයේ වුව ද යමක් ලියන්නට සිත් වූයේ ඊට හේතු වන ප්‍රබල උත්ප්‍රේරකයක ක්‍රියාව නිසාවෙන් මිස ලිවීමට උචිත, විවේකී නිදහස් වටපිටාවක් ගොඩනැගීම නිසා නොවේ.

විශ්ව විද්‍යාල ජීවිතයේ මුල්ම අත්දැකීම් කිහිපය අළලා මා අවසන් වරට ලියූ ලිපිය ඇති කළ ආන්දෝලනය මා හඳුනන බොහෝ දෙනා දනිති. සමස්ත ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය වෙළාගෙන පවතින, "නවක වදය" නම් බියකරු කළු වලාව ගැන ලියැවුණු එම ලිපිය අවසානයේ, නැවත එවැන්නක් නොලිවීමට මා අදිටන් කරගත්තේ එම ලිපිය හා ඊට කලියෙන් ලියැවුණු ලිපි කිහිපය හරහා මා කිව යුතු සියල්ලම පාහේ කියා තිබුණු බැවිනි.

එමගින් ඇතිකළ පුළුල් කතිකාව හේතුවෙන් එම ලිපිය ගැනත් යමක් නොකියා ම බැරි ය. ගතවූ සති දෙකක කාලය තුළ 2700කට අධික වාර සංඛ්‍යාවක් දර්ශනය කර ඇති එම සටහන බොහෝ දෙනා තුළ කම්පනයක් ඇති කළ බව මා ලද ප්‍රතිචාර හරහා පැහැදිලි විය. ඒ අතර විශ්ව විද්‍යාලයේ විවිධ වසර වල සිසුන්, වෙනත් විශ්ව විද්‍යාල සිසුන්, බාහිර පුද්ගලයන් පමණක් නොව විශ්ව විද්‍යාල ආචාර්ය මහත්ම මහත්මීන් පවා විය. ඒ කම්පනය තුළින් මා හට කතා කළ බොහෝ දෙනා එය අගය කළෝය. ඇතැම්හු මා හට වඩාත් පරෙස්සම් වන ලෙස අවවාද කළහ. එසේම තවත් ස්වල්ප පිරිසක් නිර්ණාමිකව හෝ අන්වර්ථ නාම වලින් මට තර්ජන එල්ල කළහ. කෙනෙකු ලියූ වචන කිහිපයක් වෙනුවෙන් මරණ තර්ජන එල්ල කිරීමට තරම් යමෙකු උත්සුක වේ නම් එම වචන කිහිපය කොතරම් ප්‍රබල විය යුතුද? (එම මරණ තර්ජන තවමත් ඔබට උක්ත සටහනෙහි ප්‍රතිචාරයන් අතර දැකගත හැක). යම් චෝදනාවක් කොහේවත් යන බොරු බේගලයක් නම් ඒ අළලා මරණ තර්ජන කිරීමට ඉදිරිපත් වන්නේ කවුද මානසික රෝගියෙකු මිස?

එසේ නම් ඉන් අපූරුවට පැහැදිලි වන කරුණ වන්නේ මා ලියූ සටහනෙහි වූ, අදහාගත නොහැකි ඍජු බව කරණය කොටගෙන
කිහිප දෙනෙකු තම සිත් රිද්දවා ගත් අතර කිහිප දෙනෙකු තමන් ජීවත්ව සිටි මිථ්‍යාවෙන් අත්මිදුණු බවයි. ඉන් දෙවැනුව වර්ගීකරණය කළ පිරිස කෙරෙහි මා තුළ පවතින්නේ බලවත් ප්‍රසාදයකි. එම සටහන ලිවීම තුළ මාගේ අරමුණ වූයේ ද "නවක වදය" නම් තිරය පිටුපස ඇති කතාව නවක ශිෂ්‍යයෙකුගේ සහ සාමාන්‍ය පුරවැසියෙකුගේ දෘෂ්ඨිකෝණයෙන් සමාජය හමුවට ගෙනයාමයි. නමුත් යටගැසීමට වලිකන සත්‍යය නිරුවත් වීම හමුවේ කුපිත වූ ඇතැමෙක්, මා විසින් මා ඉගෙනගන්නා සරසවියට අපහාස කර ඇති බවට චෝදනාවක් ගොතමින් විශ්ව විද්‍යාල පාලනාධිකාරියට පැමිණිලි කිරීමට කටයුතු යොදා තිබුණි. අවසානයේ ඊට පිළිතුරු සැපයීමට යාමට සිදුවීම හරහා මා ලියූ ලිපියෙහි පදනම පැහැදිලි කිරීමේ අපූරු අවස්ථාවක් මට උදා විය. එම අවස්ථාව උදා කර දුන් සියලු දෙනාට මගේ හෘදයාංගම කෘතඥතාව හිමි වේ!

වඳින්න ගිය දේවාලේ ඉසේ කඩා වැටුණා කියා කතාවක් ජනවහරේ ඇත්තේය...

ඉදිරිපත් වූ, "විශ්ව විද්‍යාලයට අගෞරව කිරීමේ" චෝදනාව පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීම වටී. මා අධ්‍යාපනය ලබන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සුවිශේෂී භාවය ගැන කිසිවක් අමුතුවෙන් ප්‍රකාශ කරන්නට අවශ්‍ය නැත. එහි පවතින පහසුකම් හා සම්පත් ප්‍රමාණය සම කළ හැකි වෙනත් අධ්‍යාපන ආයතනයක් මුළු මහත් ආසියාවේම වේ නම් ඒ ඉතා කලාතුරකිනි. එහි පවතින අධ්‍යාපනයට උචිත, අත්‍යාලංකාර වටපිටාව ගැන කියන්නට කිසිම අවශ්‍යතාවක් නැත්තේ එය ලෝක ප්‍රකට කරුණක් වන හෙයිනි. ඒ ඇරත් පේරාදෙණියෙන් රටට හා ලෝකයට බිහිකළ ප්‍රාඥයන් සංඛ්‍යාව සළකා බැලීමෙන් පේරාවේ අති උත්කෘෂ්ඨභාවය මොනවට වටහාගත හැක.

ශ්‍රී ලංකාව විවිධ සංවර්ධන ක්ෂේත්‍රයන්ගෙන් අද ලෝකයේ කිසියම් හෝ ස්ථානයක් දිනා තිබේද, ඊට පේරාව තුළින් දායාද කළ භෞතික හා මානව සම්පත් ප්‍රමාණය අසමසම ය. එවන් උත්කෘෂ්ඨ, වන්දනීය අධ්‍යාපන ස්ථානය දශමයෙන් දශමය විනාශ කරන මහා උවදුර නවක වදය බව මම පැහැදිලිව ප්‍රකාශ කළේ කකියන හදවතිනි. එබැවින්, සිදුකළ යුත්තේ එවැන්නක් පවතින බව සැඟවීම නොව එය පිළිගෙන ඊට උචිත ප්‍රතිකර්ම යෙදීමයි. නැතිනම් රටට සිදුවන්නේ හණමිටි අදහස් කරපින්නාගත්, නමට උගතුන් වන පිරිසකගෙන් සන්තෘප්ත වී වළපල්ලට යාමටයි. ස්වකීය අධ්‍යාපනස්ථානය තුළ අසාධාරණයෙන්, අවනීතියෙන් රජ කරන පිරිසක්, වෘත්තිකයන් ලෙස සමාජගත වූ විට ඔවුනගෙන් අවංක, සාධාරණය සේවයක් රටට බලාපොරොත්තු විය හැකිද?

ප්‍රශ්නයේ එක් පැතිකඩක් එසේ වන අතර තවත් වැදගත්, එහෙත් නොකියවුණු අංගයක් නම් විශ්ව විද්‍යාල අතර ඇති තරඟයයි. විවිධ අංශ වලින් අනෙක් විශ්ව විද්‍යාල අභිබවා යාමට සෑම විශ්ව විද්‍යාලයක් ම උත්සාහ දරනු ලැබේ. ඒ අතරින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය පහත හෙළීමට ඇතැම් විශ්ව විද්‍යාල එල්ල කරන එක් ප්‍රබල චෝදනාවක් නම් නවක වදයයි. නවක වදය තිබූ පමණින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ කෙරෙන කාර්යයන් ප්‍රමාණය හීන වේයැයි කීමට යම් බාහිර පුද්ගලයෙකු උත්සාහ දරයි නම් එය අමූලික බොරුවකි. ඒ සඳහා ඇතිතරම් උදාහරණ ඉතිහාසයෙන් ලබාගත හැක. නමුත් නූතන යුගය තුළ පේරාව පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ම දැඩි පසුගාමී තත්ත්වයක් (විදේශයන්ට සාපේක්ෂව) උද්ගත වීමට ප්‍රබලම හේතුව නවක වදය බව අවිවාදිත ය.

ශ්‍රී ලාංකේය සරසවි සිසුන් තම විෂය නිර්දේශයෙන් පරිබාහිරව යමක් සිතන්නේ ඉතා කලාතුරකින් බව ප්‍රසිද්ධ රහසකි. මේ පිළිබඳව අදහස් දැක්වූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වරක් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලාංකේය සරසවිය තුළ මතුවී ඇති මහා වියවුලට ප්‍රධාන හේතුව නම් සිසුන් තමන්ට කෙරෙන දේශනය කටු සටහන් කරගෙන ගෙදර ගෙනගොස් එය පාඩම් කර පිළිතුරු ලිවීමට වඩා දෙයක් නොකරන බවයි. සාතිශය බහුතරයක් වූ ශිෂ්‍යයන් විෂයෙහි එය සත්‍යයක් බව මම අත්දැකීමෙන් දනිමි. මෙම තත්ත්වයට මූලික ම හේතු දෙක ලෙස මා දකින්නේ පවතින විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පවතින නොගැළපෙන ස්වභාවය සහ "නවක වදය" යි. පවතින අධ්‍යාපන ක්‍රමයේ පවතින අවුල පෙන්වීමට මම සරල උදාහරණයක් ඉදිරිපත් කරමි.

එය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන මා දන්නා හඳුනන විශ්ව විද්‍යාල සිසුවෙකුට ලබා දුන් පැවරුමකි. එදිනට නියමිත පාඩම වූයේ "පාලම්" ය. පාලම් වල ව්‍යුහය හෝ අන් කිසිවක් ගැන ප්‍රකාශ කිරීමට කලින් දේශකයා සිසුනට මීළඟ දේශනය දිනය වනවිට කරගෙන ඒමට සරල ක්‍රියාකාරකමක් ලබා දුන්නේ ය. එනම් බීම බට වලින් පාලමක් නිර්මාණය කරගෙන ඒමටයි. එම පාලම මතින් සැහැල්ලු, දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන සෙල්ලම් කාරයක් ධාවනය කළ විට එය කඩා නොවැටීම එහි එකම නිර්ණායකයයි. බැලූ බැල්මට ඉතා සරල වුවද මෙය තරමක සංකීර්ණ ක්‍රියාවකි. සෙල්ලම් පාලම නිර්මාණය කිරීමට පෙරාතුව සිතිය යුතු පැතිකඩ රාශියකි. පාලමේ ව්‍යුහය, බර ක්‍රියාත්මක වන ආකාරය, බල බෙදී යන ආකාර ඉන් ප්‍රධාන ය. දේශකයා පාලම් ගැන පළමු වචනය ප්‍රකාශ කරන්නේ සෙල්ලම් පාලම පරීක්ෂා කිරීමෙන් අනතුරුව ය. මෙය යම් විෂයක් කෙනෙකුට හඳුන්වා දීම අරභයා ඉතා බුද්ධිමත් වූ ආරම්භයකි. සෙල්ලම් පාලම නිර්මාණය කිරීමේදී සිසුවා මුහුණදෙන ගැටලු සමුදාය ඉදිරි විෂය කරුණු අවබෝධ කරගැනීම සඳහා ඔහුට මහෝපකාරී වේ. නමුත් අපේ රටවල විෂය ඉගැන්වෙන්නේ සම්පූර්ණයෙන් ම අනිත් පැත්තට නිසා එමගින් සිසුනට තමන් විසින්
යමක් කිරීමට උද්‍යෝගීමත් වන මනෝභාවයක් නිර්මාණය වීම ඉතා උගහට ය.

අනෙක් ගැටලුව නවක වදයයි. නවක වදයෙන් නිර්මාණය කෙරෙන්නේ ළිං මැඩි මානසිකත්වයෙන් හෙබි පිරිසකි. නූතන නවක වදයේ අරමුණ ද එයයි. සමානාත්මතාවයේ නාමයෙන් වැඩ පුළුවන් එකාට ද වැඩ බැරි කිරීම නවක වදය හරහා සිදුවේ. මෑත ඉතිහාසයේ, උසස් පෙළින් දිවයිනේ ඉහළ ම ස්ථාන ලබා සරසවියට පැමිණ වාත වූ කළ තිබූ ස්ථාන සියල්ල අහිමි කරගත් සිසුන් මට දුසිම් ගණනින් ප්‍රකාශ කළ හැක. ප්‍රතිවිරුද්ධ මතයක්, න්‍යායයක් (rival theory) ඉවසිය නොහැකි විද්‍යාත්මක ප්‍රජාවකින් ඇති ඵලය කුමක්ද? තමා ඉගෙනගත් දෙයට වඩා අලුත් දෙයක් ඉදිරිපත් වූ කළ එය මධ්‍යස්ථව විමසා බැලිය නොහැකි විද්‍යාඥයෙකුගෙන්, ඉංජිනේරුවෙකුගෙන් ලෝකයට නව නිපැයුමක්, සංකල්පයක් ඉදිරිපත් වේද? "නවක වදය වැරදියි!" යන මතයට පක්ෂව ඉදිරිපත් වී ඇති කරුණු වල ප්‍රබලත්වය සළකා බලා නිවැරදි කුමක්ද යන්න තීරණය කළ නොහැකි අයෙකු, තම කාර්යාලය තුළ අලුත් මතයක් ගොඩනැගුණු විට ඒ කෙරෙහි නවමු ඇසකින් බලන්නේ යැයි සිතිය හැක්කේ කෙසේ ද? "ශ්‍රී ලාංකේය ගණිතඥයෙකුට මෙතෙක් කාලයකට එකම නව ගණිත ප්‍රමේයයක් ඉදිරිපත් කළ නොහැකි වූයේ මන්ද?" කියා මෙවර ගණිත ඔලිම්පියාඩ් තරඟාවලියේ ප්‍රධාන දේශනය කරමින් මහාචාර්ය නලින් ද සිල්වා විමසා සිටියේ ය. කෙනෙකුට අලුත් සංකල්පයක්, අදහසක් සිතට නැගෙන්නේ පවතින අදහසක් හා ගැටෙමින් එය විශ්ලේෂනය කරමින් යන විටයි. පවතින මතය ඉස් මුදුනින් පිළිගෙන එහි හරි වැරැද්ද සොයා නොබලා හුදු එහෙයියෙකු මෙන් කටයුතු කිරීමට උගන්වන නවක වද උප සංස්කෘතිය තුළින් නව චින්තන රටාවක් බිහි වේ යැයි කිව හැක්කේ කාටද? තවමත් නවක වදය වෙනුවෙන් මරහඬ දෙන, විහින් මොළ ශෝධනය කරගත් ආත්මාර්ථකාමී ශිෂ්‍ය ප්‍රජාවගෙන් මට විමසීමට ඇති පැනය එයයි. එපමණකුදු නොව, පවත්නා විශ්ව විද්‍යාල අධ්‍යාපන රටාව තුළ සාධනීය වෙනසක් ඇතිකළ යුතු බව පිළිගන්නා, මෙම සටහන කියවන විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්/වරියන් හට ද මම එම පැනය ම යොමු කරමි...

නැවතත් නවක වද "වදය" දෙස සමීපව බලමු.

නවක වදය තුරන් කළ හෝ ඉතා අවම වශයෙන් සිදුවන පීඨයන්හි ඊට හිතකර ලෙස බලපෑ යම් ලක්ෂණ කිහිපයක් තිබේ. ප්‍රථම වසර සිසුනට නේවාසික පහසුකම් ලබා නොදීම, නිදහසේ අපයෝජන ක්‍රියාවක් ක්‍රියාත්මක කරවීමේ මඟ අවුරාලන ඉඩකඩ ප්‍රශ්නය ඒ අතරින් ප්‍රමුඛ වේ. කාරණය වඩාත් පැහැදිලි වන ලෙස, නවක වදය ක්‍රියාත්මක නොවන කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ගනිමු. මේ තුළ නවක වදය ක්‍රියාත්මක නොවීමට ප්‍රධාන හේතු දෙක වන්නේ පළමු වසර සිසුන්ට විශ්ව විද්‍යාලය තුළ නේවාසික පහසුකම් ලබා නොදීම හා උග්‍ර ඉඩකඩ ගැටලුවයි. ඉතා කුඩා වපසරියක් තුළ, ගොඩනැගිලි කිහිපයක් ආශ්‍රය කරගෙන, අනෙක් පීඨයන්ගෙන් වෙන්ව පිහිටා තිබෙන කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ නවක වදයක් ක්‍රියාත්මක කිරීම ඉතා දුෂ්කර කටයුත්තකි. එම පීඨයට ඇතුළු වන සියලු සිසුන් නවක වදයට එරෙහි, දැඩි මතයක සිටින නිසා නවක වදය සිදු නොවේ යැයි කියන්නේ නම් එය සත්‍යයෙන් බොහෝ දුරස් වන බව මගේ හැඟීමයි. ඕනෑම පීඨයක අතළොස්සක් හෝ මානසික විකෘතිතාවයන්ගෙන් සමන්විත පිරිසක් සිටිය හැක.


එහෙයින් සිදුවිය යුත්තේ රටේ පාසල් අධ්‍යාපනය අවසන් කර සරසවියට පිවිසෙන සිසු පිරිස තුළ ආකල්පමය වශයෙන් ප්‍රබල වෙනසක් ඇති කිරීමයි. එමගින්, මානසික රෝගී අතළොස්සකගේ අමන ක්‍රියාවන්ට අනෙක් බහුතරය යටත් නොවීමට පොළඹවන සුලු දැඩි ශක්තියක් ඔවුන් තුළ ස්ථාපනය කිරීම සිදුවිය යුතු ය. ලෝකයේ විශ්ව විද්‍යාල මට්ටමේ ප්‍රබල නවක වද ක්‍රියාවක් සිදුවන රටවල් දෙක අතරට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවීම සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් වන අප ලැජ්ජාවට පත්විය යුතු ය. වාත උතුමන් හැම විටම පාරම් බාන "විශ්ව විද්‍යාල උප සංස්කෘතියේ අනිවාර්ය අංගයකි රැග" යන සංකල්පය ලෝකයේ සංවර්ධිත රටවල් විෂයේ අදාළ නොවන්නේ මන්ද යන්න මට ගැටලුවකි. ලෝකයේ දියුණුම විශ්ව විද්‍යාල 2500න් එකක වත් නැති නවක වදය අපේ රටේ විශ්ව විද්‍යාලයන්ට අනිවාර්ය අංගයකැයි කීම බොළඳ තර්කයකි. එසේම එහි ඇති ඉහ වහා ගිය ස්වභාවය තුළ නවක වදය යනු නැති කළ නොහැකි ක්‍රියාවකැයි සිතා සිටින අතළොස්සක් වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුනට ද තවත් නොබෝ දිනකින් සිදුවනු ඇත්තේ, කායික, මාසනික, අධ්‍යාත්මික හිංසනයකින් අධ්‍යාපනය අරඹන උසස් අධ්‍යාපන ආයතනයක ආචාර්ය වරයෙකු වීම සම්බන්ධයෙන් ලැජ්ජා වීමටයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නවක වදයට එරෙහිව ප්‍රබල මතයක සිටියත් ඊට එරෙහිව ප්‍රබල පියවරක් නොගැනීම පසුපස වැදගත් හේතුවක් තිබේ. එය නම්, සිසුන්ට හොඳක් කිරීමට යම් පියවරක් ගත් විට එම කළ හොඳ කැරකී එම ආචාර්ය වරයා හෝ වරියට පහරදීමයි. මේ සිදුවීම කලින් ද සිදුවී ඇත. එනම් සිසුවෙකු නවක වදයට භාජනය වෙමින් සිටියෙදී නවක් වද කරුවා සහ ගොදුර යන දෙකම අල්ලාගත් විට, පසුව, එම වදයට භාජනය වූ සිසුවා පැමිණ එවැන්නක් නොවූ බව පැවසීමයි. වාත ක්‍රියාවලියේ අභ්‍යන්තරය ගැන මනා වැටහීමක් ඇති අයෙකුට මෙය සිදුවන ආකාරය වටහාගැනීම ඉතා පහසු ය. නවක වදයට භාජනය වන සිසුවෙකුට වාත උතුමන් විසින් පනවන ප්‍රධාන නීති තුනක් තිබේ. ඉනුදු ඉතාමත් වැදගත් නීතිය නම් කිසිම විටෙක, කිසිම හේතුවක් මත තම බැච් එකේ බැචෙකු, බැචියක හෝ ජ්‍යෙෂ්ඨ වාත උතුමෙකු පාවා නොදීමයි. මෙම නීතිය සියලු වාත ශිෂ්‍යයන් තම පණ මෙන් සුරැකීම අනිවාර්ය වේ. එසේ නොකළහොත් ලැබීමට හැකි ප්‍රතිවිපාක ගැන ද ඔවුනට හොඳ අවබෝධයක් ලබාදෙනු ලැබේ. මෙහි අරමුණ වන්නේ ඔවුන් ලක්වන සියලු කුණුහරුප ක්‍රියාවන් පිළිබඳ විස්තර බාහිරට ගලායාම වැළැක්වීමයි. එපමණක් ද නොවේ. කිසියම් අවස්ථාවක වැරදීමකින් හෝ යම් ශිෂ්‍යයෙකු අතින් තොරතුරු පිටතට යාම වැළැක්වීම පිණිස වාත වන කිසිදු ශිෂ්‍යයෙකුට, විශෙෂයෙන්ම නේවාසිකාගාරය තුළ ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර තිබේ. ජංගම දුරකථනයක් තබාගෙන හසු වුවහොත් ඊට සිදුවන දෙය කිසිවෙකු දන්නේ නැත. වාත උතුමන් විසින් දඬු අඬුවකින් මෙන් තම කණිෂ්ඨ සිසුන් ග්‍රහනයට ගන්නේ මේ ආකාරයටයි. ඉදින් මෙවන් තත්ත්වයක් තුළ කිසිදු නවක සිසුවෙකුට තමන්ට සිදුවන අතවරය පිළිබඳ විශ්ව විද්‍යාල පාලනාධිකාරුයට පැමිණිලි කිරීමට නොහැකි වීම පුදුමයට කරුණක් නොවේ. එසේම නවක වදයට ලක්කර හසු වූ විටෙකදී එයට ලක්වන ශිෂ්‍යයාට විවිධාකාර බලපෑම් සිදුකිරීම හරහා ජ්‍යෙෂ්ඨ වාතයා තමන්ට කිසිවක් නොකළ බව ඔහු ලවාම විශ්ව විද්‍යාල පාලනාධිකාරියට පාපොච්චාරණය කිරීමට සැළැස්වේ. එසේම යම් ආචාර්ය වරයෙකු නවක වදයට විරුද්ධව පියවරක් ගත් විට සංවිධානාත්මකව ඔහුට විරුද්ධ ව්‍යාපාරයක් දියත් කිරීමට ජ්‍යෙෂ්ඨ වාතයන් කටයුතු කරනු ලැබේ. ඔවුනගේ අරමුණ තමන්ට එරෙහි වන ඕනෑම කෙනෙකු තම මඟින් ඉවත්කර දැමීමයි.

ඊට හොඳම උදාහරණය නම් 2007 මාර්තු මාසයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශන ශාලා අංක 10 දී සිදු වූ ක්‍රියාදාමයයි. එම දිනයේදී මෙම වාත උතුමෝ පිරිසක් නවකයන් වදයට භාජනය කරමින් සිටියහ. එය දුර සිට බලා සිටි විශ්වවිද්‍යාල කථිකාචාර්ය, ආචාර්ය ජයලත් එදිරිසිංහ මහතා කාමරය තුළ සිදුවූ සිදුවීම් මාලාව රහසින් වීඩියෝ ගතකොට, හදිසියේ කාමරය තුළට කඩාපැන නවක වදය ක්‍රියාත්මක කරමින් සිටි ජ්‍යෙෂ්ඨයන් පිරිස වහා අත් අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු කළේ ය. නමුත් අවසානයේ සිදු වූයේ කුමක්ද? ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් පිරිසක් උපයෝගී කොටගෙන, ඔවුනට බොරු ක්ලාන්ත ගතියක් මවා පා, එය එම ආචාර්යවරයාගේ ක්‍රියාවෙන් සිදු වූවක් යැයි හංවඩු ගසා, මාසයක පමණ දීර්ඝ පන්ති වර්ජනයක් (Strike) ක්‍රියාත්මක කොට, පීඨයේ කටයුතු සිදු නොවන තැනට පත්කර අවසානයේ ප්‍රශ්නය "ගොඩින් බේරාගන්නා" තැනට උපකුලපති වරයා ගෙන ඒමයි. එහෙත් අවසානයේ එවකට ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ (ESU) සභාපතිවරයා ලෙස සිටි ශිෂ්‍යයාට පවා පන්ති තහනමකට ලක් වීමට සිදු විය. නමුත් ප්‍රශ්නය "ගොඩින් බේරාගැනීම" හරහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් නවක වදය තුරන් කිරීමට තිබූ මහඟු අවස්ථාවක් මඟහැරී ගියේ ය. අවසානයේ ප්‍රශ්නය විසඳුනේ රැගාලා විසින් සුපුරුදු, "අපි අවුරුද්දෙන් අවුරුද්ද, රැග් එක ටික ටික අඩුකරගෙන යනවා" යන බෝලය බැස්සවීම හරහා ය. නමුත් අවුරුද්දෙන් අවුරුද්ද සිදුවන්නේ රැග ටික ටික අඩු වීම ද, වැඩිවීම ද යන්න දන්නෝ දනිති.

රැග් එක තුළ සිදුවන තවත් ක්‍රියාවන් රාශියක් පසුගිය දින කිහිපය තුළදී මට දැනගන්නට ලැබිණි. ඒවා සියල්ල මෙහි සටහන් කිරීමට මට අවශ්‍යතාවක් නැත්තේ, ඉන් සිදුවන්නේ මගේ බ්ලොගය තවත් කුණුහරුප ගොඩකින් පිරීයාම පමණක් වන නිසා ය. නවක වදය හා කුණුහරුපය අතර ඇති අතිශය සමීප සබඳතාවය විටෙක මට අදහා ගැනීමටත් අපහසු ය. කුණුහරුපයෙන් තොර නවක වදයක් බිහිකිරීම සිහිනයක් ම පමණක් වන්නේ සමස්ත නවක වදයම කුණුහරුපයක් නිසා කුණුහරුපය තුරන් කළ තැන නවක වදය ද තුරන් විය යුතු බැවිනි.

දැන් මා හට මෙම සටහන ලිවීමට උත්ප්‍රේරක වූ කරුණු දෙක සඳහන් කිරීම වටී. සුපුරුදු පරිදි අපි ඊයේ ද සවස් කාලයේ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාගාරයට ගියෙමු. ක්‍රීඩා කිරීමෙන් අනතුරුව නවක වදයට විරුද්ධ ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් ඉන් බැහැරට යන අවස්ථාවේ ඔවුනට කුණුබිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට මෙම වාත උතුමන් පිරිසක් කටයුතු කර තිබිණි. නමුත් අවාසනාවක මහත! එම එකදු කුණු බිත්තරයක් වත් ඔවුනට වැදුණේ නම් නැත! අඩි දහයකටත් අඩු දුරක සිට එම පහර හරි හැටි එල්ලකරගත නොහැකි වීම ඉතාමත් කණගාටුවට කරුණෙකි. ඒ ඔවුනගේ නොහැකියාව නිසා විය යුතු ය.

පිරිමි කමටත් නොගැළපෙන මෙවන් ක්‍රියා හරහා ඔවුන් උත්සාහ කරන්නේ තම මතයට එරෙහි වන්නන් බියගැන්වීමටයි. නමුත් ඉන් ඉස්මතු වන්නේ තම හෙළුවම බව නොදන්නා ඔවුන් කෙරෙහි මා තුළ ඇත්තේ මහත් අනුකම්පාවකි. රට කරන්නට සමාජයට පිවිසෙන ඉංජිනේරුවන් මෙවැනි බොළඳ මානසිකත්වයකින් හෙබියවුන් නම් රටට යන කල දසාව ගැන තේරුම් ගැනීම එතරම් අපහසු වන්නේද?

ඊයේ දිනයේ සිදුවීම් එතෙකින් අවසන් නැත. ක්‍රීඩා කිරීමෙන් පසු ක්‍රීඩාගාරයෙන් පිටතට පිවිසි මම මඳක් වටපිට බැලුවෙමි. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් සිව් දෙනෙක් අසල තැනක වාඩි වී සිටියෝය. ඔවුන් බලා සිටියේ මා එනතුරු බව වැටහීමට මට එතරම් වෙලාවක් ගතවූයේ නැත. ඔවුන් පසුකර පාරේ දිගටම පැමිණි මා මඳක් පිටුපස හැරී බැලූ විට ඔවුන් සිව් දෙනා මා හඹා එන ආකාරය දැකිය හැකි විය. ඒ සමඟම ඉදිරිපසින් පැමිණි තවත් තුන්දෙනෙකු සමඟ 7 දෙනෙකු මා වටා රොක් විය. ඒ අතරින් දෙදෙනෙක් ඉදිරිපත් වී "උඹ මොන ෆැකල්ටි එකේද?", "උඹ මොන ඉයර් එකේ ද?" යනාදී සාමාන්‍ය ප්‍රශ්න අසමින් වටින් ගොඩින් මාතෘකාවට පිවිසෙන්නට පටන්ගත්තෝය.

නමුත් ඒ සමඟ ම කට පරෙස්සම් කරගැනීමට නොහැකි වූ එක් උතුමෙක් එක් වරම, "තෝ anti නේද?" කියා ඇසුවේ ය. අනතුරුව පොඩි කුණුහරුපයක් දෙකක් කියා, මා බිය නොවූ බව දැන "ආයෙත් ජිම් හරි ග්‍රවුන්ඩ්ස් හරි ඇවිල්ල තිබුණොත් බලාගමු" කියා තර්ජනය කළේ ය. මා කළ එකම දෙය සිනාසෙමින් ඔවුන් කී දෑ අසා සිටීමයි. කතාවේ ලස්සන ම කොටස එළඹෙන්නේ දැන් ය. එක් වරම මගේ දුරකතනය නාද විය. දුරකතනය දුටු පිරිස වහා කළබල වී අඩියක් පිටුපසට ගත්තෝ ය. කතා කළේ මගේ මිතුරෙකි. මම ඔහුට, "මචං, මෙන්න කට්ටියක් ඇවිත් මට සද්දෙ දානවා" කියා කීවෙමි.

මෙන්න බොලේ ඒක ඇහුණු ගමන් 7 දෙනා පණ කඩාගෙන ආපහු දුවනවා! එය දැක
මට බඩ පැලෙනකන් හිනා ය. මම වහා මගේ මිතුරන්ට මා සිටි පැත්තට එන්නැයි කියා, දුරකතනය විසන්ධි කර වහා ඔවුන් පසුපස දිව ගියෙමි. ඔවුන් වහා දිවගොස් වැදුණේ විශ්ව විද්‍යාලයේ WUS කැන්ටිමට ය. මම ද ඒ තුළට එබිකම් කොට බැලුවෙමි. කාරණය වැටහුණේ එවිට ය. ඒ තුළ නවක ශිෂ්‍යාවන් ගජරාමෙට වාත කරනු ලැබෙමින් තිබිණි. ඒ සමඟ මගේ මිතුරෝ ද එතැනට පැමිණියහ. වාත වන ශිෂ්‍යාවන් නැරඹීමේ ආශාවක් අප තුළ නොවූ බැවින් ආපසු හැරී යාමට අපි කටයුතු කළෙමු. ඊයේ සිදුවීම එසේ ය.

ඊයේ එල්ල කළ තර්ජනය නිසාම වඩාත් සුපරික්ෂාකාරීව, සියලු ආරක්ෂක පියවර ගැනීමෙන් අනතුරුව අදත් ක්‍රීඩාගාරයට යාමට අපි කටයුතු කළෙමු. අදත් අප පිළිගැනීමට වාත උතුමන් කිහිපදෙනෙකු සැදී පැහැදී බලා සිටිය ද අප භාවිතා කළ ආරක්ෂක පියවර නිසා කිසිවක් කරගැනීමට ඔවුනට හැකියාවක් ලැබුණේ නැත. මෙය කලාතුරකින් සිදුවන සුවිශේෂී සිදුවීමකැයි ඔබට සිතෙනු ඇත. කිසිසේත් නැත! මෙම ක්‍රියාවලිය එකම ආකාරයට සෑම වසරකම සිදුවේ. ශ්‍රී ලංකාව තුළ නීතිමය වශයෙන් තහනම් කළ අපරාධයකට විරුද්ධ වීමේ ආදීනව මෙසේය. පසුගිය වසරේ ද නවක "නවක වදයට එරෙහි" ශිෂ්‍යයනට හිරිහැර කරන්නට ගොස් අතේ මාට්ටු වූ ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ වාත උත්තමයෝ තිදෙනෙක් බොහෝ කල් බෝගම්බර සිරගෙදර කල්දේරම් බතේ රස බලමින් පසු වූහ.

දීර්ඝ වශයෙන් අධ්‍යයනය කර බලන කළ මෙහි ඇත්තේ මානව ධර්මතාවන් පිළිබඳ ගැටලුවක් බව වැටහේ. කෙනෙකුට ජීවිතයේ මුහුණදිය හැකි අතිශයින්ම තියුණු කඩඉම් විභාගයෙන් සමත්ව, ඉන් ද නොනැවතී උසස් අධ්‍යාපනය නොමිලේ හැදෑරීමට වරම් ලබන අතිශයින්ම සුලුතරයක් වූ ශිෂ්‍ය ප්‍රජාවට ද අයත්ව රටේ අතිශයින්ම ගෞරවාදරයට පාත්‍ර වූ උසස් අධ්‍යාපන ආයතනයේ සෙවනට එන තරුණ පිරිසගෙන් රට බලාපොරොත්තු වන දෙය මෙය ද? අනාගතයේ රට වෙනුවෙන් විශාල වගකීමක් කරට ගැනීමට සූදානම් වන පිරිස කිසිදු අරමුණක් නොමැති, "නවක වදය" නම් බහුබූත කුණුහරුපයට ලක්වී මොළ ශෝධනය කරගත යුතුද? (නවක වදය යනු බහුබූත කුණුහරුපයක් බව තේරුම් ගැනීමට මා කලින් ලියූ ලිපියට ඇතැමුන් එක්කළ ප්‍රතිචාර පමණක් ම ප්‍රමාණවත් වේ. මේ ගැන ඉතාමත් දීර්ඝ වශයෙන් කලින් සාකච්ඡා කර ඇති නිසා ඒ ගැන තවදුරටත් කීමට මා උත්සුක වන්නේ නැත) එම කුණුහරුපයට මුහුණදී තම මොළ ශෝධනය කරගැනීමට අකැමැතිව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීම ඉතාමත් අභියෝගාත්මක ක්‍රියාවකි. මගේ මිතුරන් බොහෝ විට කියන කතාවක් නම් උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට පැමිණීමට වඩා ඒ තුළ තමන් බිලිගැනීමට බලා සිටින උගුඩුවන්ගෙන් බේරී නිදහසේ ජීවත් වීම අපහසු ක්‍රියාවක් බවයි.

නමුත් මෙම ප්‍රශ්නය වඩාත් සංකීර්ණ ස්වභාවයක් ඉසිලීමට පටන්ගැනෙන්නේ නවක වදයට විරුද්ධව නිදහස්ව සිසුන් පිරිස වෙනම කල්ලියක් ලෙස හැඳින්වීමට ඇතැමුන් උත්සාහ කිරීම නිසා ය. මෙය ඉතා වැරදි සංකල්පයකි. මා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව නවක වදයට එරෙහිව කටයුතු කරන්නේ මා හට එය අප්‍රිය නිසා ය; ඒ තුළ සිදුවන ජඩ, තුච්ඡ ක්‍රියාදාමය මා හෙළාදකින නිසා ය. ඒ හැරුණුකොට ඊට විරුද්ධ වීමට කිසිදු හේතුවක් මට නැත්තේ ය; විශ්ව විද්‍යාලයක් තුළ ස්වභාවයෙන් නිර්මාණය වන උප-සංකෘතියට එරෙහි වීමට කිසිදු අවශ්‍යතාවක් ද මට නැත්තේ ය. එසේ නම් ගැටලුව වන්නේ බොහෝ දෙනෙකු මෙය දැන දැනත් ඊට ලක්වන්නේ ඇයිද යන්නයි. ඊට සරලම පිළිතුර නම් නවක වදයට එරෙහි වීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය සෑම සිසුවෙකු තුළම නොමැති වීමයි. තමාට ඉන්න හිටින්නට තැනක් නැති වන විට අකැමැත්තෙන් හෝ වාත වනු මිස කුමක් කරන්නද? මෙම කරුණ, මගේ කලින් ලිපියට ප්‍රතිචාර දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ද සඳහන් කළේය. 70 දී දශකය තුළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස තමා තමා ඉතා අකැමැත්තෙන් නවක වදයට භාජනය වූ සති තුන තම ජීවිතයෙන් මකා දැමීමට උත්සාහ ගත් බව ඔහු සඳහන් කර තිබිණි.

අවාසනාවකට මෙන් ඊට එරෙහි වීමේ හැකියාවක් එකල කිසිදු විශ්ව විද්‍යාල සිසුවෙකුට තිබුණේ නැත. නමුත් එකල රැග අද තරම් දරුණු නොවූ තත්ත්වයක් තුළ එය එතරම් ගැටලුවක් ද නොවිණැයි මම උපකල්පනය කරමි. ඇතැම් විට මා වැරදි විය හැක. ඒ කෙසේ හෝ වේවා, ක්‍රීඩාගාරයට යාම අවහිර කිරීම වැනි කුඩා ගැටලුවක් අළලා ප්‍රශ්නයක් මතු වූ විට එය හුදු ශිෂ්‍ය කල්ලි දෙකක් අතර ගැටුමක් ලෙස ඇතැම් පිරිස් අර්ථදැක්වීමට යාම පිළිබඳ මම කිසිසේත් එකඟ නොවෙමි. කලින් කී පරිදි එතැන පවතින්නේ මානව ධර්මතාවයන්ට ගරු කිරීම හෝ නොකිරීම පිළිබඳ ගැටලුවක් පමණක් මිස කල්ලි භේදයක් නොවේ!


උසස් අධ්‍යාපනයේ සැබෑ අභිමතාර්ථ පවතින විශ්ව විද්‍යාල රටාව තුළ සාක්ෂාත් කරගැනීමේ දුෂ්කරතාව ගැන හා ඊට පිළියම් යෙදිය හැකි ආකාර ගැන සිතීමට තම මොළය වෙහෙසීමට කැමති සියලු දෙනාට මේ ලිපිය සිතන්නට යමක් ඉතිරි කරනු ඇතැයි මම අපේක්ෂා කරමි...

Share/Save/Bookmark