Pages

Thursday, March 19, 2009

බලු සෙනෙහස

අපේ අසල්වැසි බල්ලාගේ නම "බෲනෝ" ය. ඔහු පෙනුමෙන් බියකරු, "ඇල්ශේශන්" වර්ගයේ දැවැන්ත බල්ලෙකි . නමුත් පෙරේදා ඔහු මිය ගියේය. එම වියෝවෙන් කම්පා වූ නිවස එකම මළගෙයක් බවට පත්විය. එය අපේ නිවස තුල ද ජනිත කළේ මහත් ශෝකයකි; කම්පාවකි.
එහෙත් මා කෙරෙහි එම බල්ලා තුළ පැවතියේ එතරම් ප්‍රියජනක ආකල්පයක් නොවේ. දුටු සෑම විටම පාහේ බුරාගෙන පැනීමේ නොනිත් ආශාවකින් පෙළුණු ඔහු මට මහත් වදයක් වූ බව නොකියාම බැරිය. නමුත් එම නිවසට මෙන්ම පළාතට ද ඔහු ඉටු කළේ අනගි මෙහෙවරකි. සොරෙකුට අප නිවෙස් අවට ගැවසීම ඔහු නිසා මාරාන්තික කටයුත්තක් විය. තවද එම නිවසේ බොහෝවිට සතියේ දින වල සිටිනුයේ ආන්ටී සහ අක්කිලා දෙදෙනා පමණක් වීම නිසා ඔහුගේ ආරක්ෂාව ඔවුනට මහත් අස්වැසිල්ලක් විය.
නමුත් බෲනෝ තවදුරටත් ඔවුන්, අප අතර නැත...
ඔහුගේ වියෝවත් සමඟ මගේ සිහියට නැඟුණේ මීට වසරකුත් දින දහ අටකට කලින්, එනම් 2008 මාර්තු 01 වැනිදා අප අතරින් සමුගත් මාගේ සුරතල් බල්ලා වූ "චබී" ය. 1994 අගෝස්තු 24 වැනිදා උපත ලද ඔහු මියයන විට වයස වසර 13 1/2 කටත් වැඩිය. සෑමදාම අප හට මහත් කීකරුව, මහත් ලැදිව වාසය කළ ඔහු අපේ ජීවිත වල වැදගත් කොටස්කරුවෙකු වූවා කිවහොත් නිවැරදිය. ඒ තරමට ඔහු අපට සමීපව සිටියේ ය.
නිවසට ගෙන ආ දින පටන් මියයන තුරා මට සහ අප නිවසේ සියලු දෙනාට ඔහු දැක්වූ ආදරය, කරුණාව, සෙනෙහස සම කළ හැක්කේ කුමටදැයි මට නම් නොදැනේ; නොහැඟේ.
මේ මොහොතේ ඔහු නැවත වරක් සිහි කිරීමට හේතු වූයේ අසල්වැසි "බෲනෝ" ගේ මරණයයි.
සමුගන්නට පෙර එක් ප්‍රාර්ථනාවක් කිරීමට සිතේ. "චබී, ඔබ ඉපදෙන ඉපදෙන වාරයක් පාසා, මගේම බල්ලා වී ඉපදේවා...". එහෙත් එසේ කිරීමට මට මගේ සිත ඉඩ නොදේ. ඒ වෙනුවට මෙසේ පවසමි.

"චබී,
ඔබ මා සිත තු සදා අමරණීයයි, සදා අනුස්මරණීයයි පැටියෝ...
ඔබට නැවත ඉපදෙන වාරයක් පාසා මනුෂ්‍යයෙකු වී මේ පොළොව මත දෙපයින් ඇවිද යන්නට වාසනාව උදා වේවා...
තිරිසන් ආත්මයේදී ඔබ තුළ පැවති කරුණාව, දයාව, විශ්වාසය වැනි ගුණාංග මිනිස් අත්බව තුළදීද අත් නොහැර පවත්වා ගනීවා...
බොහෝ මිනිසුන් අවබෝධ කර නොගත් මනුෂ්‍යත්වයේ වටිනාකම ඔබට අවබෝධ වේවා..."

ඒ උතුම් වූ ආදරය වෙනුවෙනුයි මේ බ්ලොග් සටහන.

මීට,
සදා ඔබේ හිතැති මිතුරා,
චමිත




4 comments:

Hasi's World said...

:(

Chamitha said...

:(

බුද්ධික said...

කවුද මේ පොඩි වදුරු පැටියා :P

Chamitha said...

කවුරු උනත් හොඳ කොල්ලෙක්:D

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.