Pages

Showing posts with label Deep Thoughts. Show all posts
Showing posts with label Deep Thoughts. Show all posts

Sunday, July 19, 2009

බෞද්ධ විශ්ව න්‍යායවේදය | Buddhist Cosmology (2)

පූර්ව ලිපියට ඇතැම් දැඩි භෞතිකවාදීන් කෙරෙන් ප්‍රබල විවේචන එල්ල වුවද ඉන් එහි වැදගත්කම හීන වූ බවක් නොපෙනේ. බෞද්ධ විශ්ව න්‍යායවේදයෙහි එන කරුණු හුදු ප්‍රබන්ධ යැයි කීමට වෙර දරනා මොවුන් නානාප්‍රකාර දෘෂ්ටීන්ගෙන් මේ දෙස බැලිය හැකි වුවද මෙම කරුණු ඉදිරිපත් කරනුයේ අති බහුතරයක් වූ සාමාන්‍ය බෞද්ධ ජනයාට බුදු දහමේ ඇති විශ්ව සංකල්පය පිළිබඳ අවබෝධයක් ලබාදීමට විනා බුදු දහම හුදු විද්‍යාත්මක කිරීමේ අටියෙන් නොවන බව කරුණාවෙන් සළකන්න.

කලින් ලිපියේ අප සාකච්ඡාවට බඳුන් කළේ බෞද්ධ දර්ශනයේ එන චක්කවාද/චක්කවාල විශ්ව න්‍යායවේදයයි. දැන් අප පළමුව අවකාශ විශ්ව න්‍යායවේදයෙහි සහස්‍ර විශ්ව න්‍යායවේද කොටස ගැන සොයා බලමු. මේ යටතේ විස්තර කෙරෙන්නේ අප වාසය කරන්නා වූ විශ්වයෙහි භෞතික ස්වභාවයයි. සැකෙවින් කිවහොත් විශ්වය තුළ දක්නට ලැබෙන පොකුරු ගැසීම් (groupings) වේ. බෞද්ධ දර්ශනය විශ්වය අදියර තුනකින් බෙදා දක්වයි. (මෙම ලිපියේ එන ඇතැම් කරුණු කලින් ලිපියේ එන කරුණු සමඟ ඍජුවම සම්බන්ධ වන බව කරුණාවෙන් සලකන්න). ඒවා නම්;
  1. සහස්සී චූලනිකා ලෝක ධාතුව -- Small Chiliocosm : සහස්සී චූලනිකා ලෝක ධාතුව යනුවෙන් හැඳින්වෙන ඒකකය නිර්මාණය වී ඇත්තේ කුඩා ලෝක 1000 ක එකමුතුවෙනි. මෙහිදී කුඩා ලෝකයක් ලෙස ගැනෙන්නේ කලින් ලිපියේ සඳහන් කරන ලද මානසික ස්තර 31 අතරින් 14 වන තලයේ සිට පහළට ඇති ලෝකයි. ඒවා අතරට ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක 3 ද, සුර ලෝක 6 ද, මානව ලෝකය ද දුක්ඛ ලෝක 4 අයත් වේ. මෙවන් සංකලනයකින් යුතු එක් කුඩා ලෝක පද්ධතියක් කල්ප එකක් අවසානයේ ගින්නෙන් විනාශ වී යයි. මෙවන් කුඩා ලෝක 1000ක එකමුතුවෙන් සහස්සී (අංග 1000කින් යුත්) චූලනිකා (චූල/කුඩා) ලෝක ධාතුවක් නිර්මාණය වේ. මෙම ලෝක ධාතුවෙහි ඇති සෑම කුඩා ලෝකයක් ම එක්වර නිර්මාණය වී විනාශ වී යාමට හේතුවක් නැත. එය සහස්සී චූලනිකා ලෝක ධාතුවේ ආයු කාලය වන කල්ප 8ක් පුරාවට විවිධ අවස්ථා වලදී නැවත නැවතත් සිදුවීට ඉඩකඩ ඇත. මෙසේ එම එක් එක් කුඩා ලෝකය විනාශ වන වාරයක් පාසා එය නැවත ජනාවාස වන්නේ සහස්සී චූලනිකා ලෝක ධාතුවට අයත්, එහෙත් කුඩා ලෝකයට පිටතින් පිහිටි, ද්විතියික රූප ධ්‍යාන ලෝක හෙවත් ආභස්සර ලෝක වල (ස්තර 17-15) වැසියන්ගෙනි. කල්ප 8ක් අවසානයේ සහස්සී චූලනිකා ලෝක ධාතුව ද ජලයෙන් විනාශ වී යයි.
  2. ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව -- Medium Dichiliocosm : ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව නිර්මාණය වන්නේ සහස්සී චූලනිකා ලෝක ධාතු 1000ක සංකලනයෙනි. තෘතියික ධ්‍යාන (සුභක්ෂ්ණ) බ්‍රහ්ම ලෝක (ස්තර 20-18) පිහිටා ඇත්තේ සහස්සී චූලනිකා ලෝක ධාතුවට පිටතින් ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව තුළ ය. එනම් මෙහි ඇති ජනාවාස වූ කුඩා ලෝක ගණන මිලියනයකි. සෑම කල්ප 64ක් අවසානයේම ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව ද සුළඟින් විනාශ වී යයි. කල්ප 8කට වරක් සහස්සී චූලනිකා ලෝක ධාතුව ජලයෙන් විනාශ වී ගිය විට ඒවා නැවත ජනාවාස වන්නේ සුභක්ෂ්ණ බ්‍රහ්ම ලෝක වල වැසියන් ගෙනි.
  3. ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව -- Great Trichiliocosm : ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව නිර්මාණය වන්නේ ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතු 1000ක සංකලනයෙනි. චතුර්ථ ධ්‍යාන (බ්‍රහත්ඵල) බ්‍රහ්ම ලෝක වල (ස්තර 23-21) සිට ඉන් ඉහළට ඇති සියලුම ලෝකයන් පිහිටා ඇත්තේ ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුවෙන් පිටත ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව තුළයි. එනම් මෙහි ඇති ජනාවාස වූ කුඩා ලෝක ගණන බිලියනයකි. ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව කිසි දිනෙක විනාශ වී යන්නේ නැත. කල්ප 64කට වරක් ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව සුළඟින් විනාශ වී ගිය විට ඒවා නැවත ජනාවාස වන්නේ බ්‍රහත්ඵල බ්‍රහ්ම ලෝක වල වැසියන් ගෙනි. බ්‍රහත්ඵල බ්‍රහ්ම ලෝක වලින් පිටත ඇති ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල වැසියන් කිසි දිනෙක තමන් ලබා සිටින අධ්‍යාත්මික දියුණුවෙන් පිරිහී පහළට වැටෙන්නේ නැති අතර (අනාගාමී වී ඇති නිසා) අරූපාවචර බ්‍රහ්ම ලෝක වල වැසියන්ට රූපයක් නැති නිසා ඔවුන් අන් ලෝක වල වැසියන් සමඟ අන්තර්ක්‍රියා කරන්නේ නැත.
මීට සාපේක්ෂව නූතන තාරකා විද්‍යාවට අනුව ද විශ්වය ප්‍රධාන කොටස් තුනකින් සංයුක්ත වී ඇත. ඒවා නම්;
  1. මන්දාකිණි -- Galaxies : මන්දාකිණියක් යනු තාරකා (Stars), වායු පටල (Gas clouds)හා දුහුවිලි අංශු (Dust particles) ඇතුළත් අන්තර්තාරීය මාධ්‍යය (Interstellar medium) සහ උපකල්පිත අඳුරු පදාර්ථයෙන් (Drak matter) නිර්මිත ගුරුත්වයෙන් එකට බැඳුනු අති විශාල තනි පද්ධතියකි. මේවායෙන් ඇති ඇතැම් තාරකා වටා ග්‍රහ මණ්ඩල පිහිටා ඇති අතර තවත් ඒවායේ එසේ නැත. තාරකා විවිධ ප්‍රමාණයන්ගෙන් එක්වී මන්දාකිණි නිර්මාණය වේ. අප වාසය කරන ක්ෂීරපථයෙහි ආසන්න වශයෙන් තාරකා බිලියන 200ත් 400ත් අතර සංඛ්‍යාවක් ඇත.
  2. මන්දාකිණි පොකුරු -- Galaxy Clusters : මන්දාකිණි කණ්ඩායම් (Groups) හා පොකුරු (Clusters) ලෙස මේවා කොටස් දෙකකි. කණ්ඩායමක ආසන්න වශයෙන් මන්දාකිණි 10ත් 50ත් අතර සංඛ්‍යාවක් ඇති අතර පොකුරක 50සිට දහස් ගණනක් දක්වා පිහිටිය හැක. මේවා අතර නිශ්චිත බෙදුම් ලකුණක් නැතත් මේවායේ විශේෂත්වය වන්නේ විශ්වය තුළ ගුරුත්වය මගින් බැඳී ඇති විශාලතම ව්‍යුහ පද්ධතීන් මේවා වීමයි. අප වසන ක්ෂීරපථය ඇත්තේ Local Group නමින් හැඳින්වෙන මන්දාකිණි පොකුර තුළ ය. එහි මන්දාකිණි 40කට අධික සංඛ්‍යාවක් ඇත. නමුත් මේවා තුළ එක් එක් තනි මන්දාකිණි වල ප්‍රවේගයන් සළකා බලන විට, ඒවාට එතරම් විශාල ප්‍රවේගයක් අත්කරගන්නා අතරම ගුරුත්වයෙන් බැඳී පැවතීමට නම් තවත් විශාල, දර්ශනය නොවන, අද්භූත ස්කන්ධයක් පැවතිය යුතු යැයි විශ්වාස කෙරේ. ඊට අඳුරු පදාර්ථය යන නම ව්‍යවහාර වේ. මේවා පරීක්ෂණාත්මකව සොයාගෙන නැත.
  3. සුපිරි මන්දාකිණි පොකුරු -- Galaxy Superclusters : සුපිරි මන්දාකිණි පොකුරු යනු මන්දාකිණි පොකුරු (Galaxy Clusters) විවිධ ප්‍රමාණයන්ගෙන් එක් වී ඇති පද්ධතියකි. අප වසන පොකුර වන එක අයත් වන්නේ Local Supercluster හෙවත් Virgo Supercluster එකටයි. මෙහි මන්දාකිණි පොකුරු 100ක් පමණ ඇතැයි විශ්වාස කෙරේ. කලක් යනතුරු සිතා සිටියේ විශ්වයේ විශාලතම ව්‍යුහයන් මේවාය කියා ය. නමුත් ප්‍රබල දුරේක්ෂ භාවිතයෙන් මෑතකදී කළ අධ්‍යයනයන් වලින් Superclusters වලටත් වඩා විශාල සූත්‍රිකා (Filaments), ප්‍රාකාර (Walls) වැනි අති විශාල පද්ධතීන් විශ්වයේ ඇතැයි සොයාගෙන තිබේ. නමුත් මේ එකක් වත් ගුරුත්වයෙන් බැඳී නැති අතර එක පොදියට පිහිටා ඇති අතර Voids නම් ඒවා අතර ඇති විශාල හිස් ඉඩ ප්‍රමාණ වලින් වෙන්වී ඇති නිසා ව්‍යුහයන් ලෙස නිර්ණය කෙරේ. මේවාට කිසිදු නිශ්චිත හැඩයක් නැති අතර පොදුවේ super cluster complexes යන නම ව්‍යවහාර කෙරේ.
බෞද්ධ විශ්ව න්‍යාය වේදය සහ නූතන විශ්ව න්‍යායවේදය යන විෂයන් අධ්‍යයනය කරන කිසිවෙක් මෙම පද්ධතීන් සන්සන්දනය නොකළ යුතුය. ඊට හේතුව නූතන විද්‍යාඥයන් අතර නූතන විද්‍යාවේ, මහා පරිමාණ විශ්ව ආකෘතිය (large scale structure of universe) පිළිබඳ කිසිදු එකඟතාවන් නොමැති වීමයි. මෙහි එන කරුණු බොහෝමයක් සොයාගන්නට යෙදුනේ 90දශකය අග භාගයේදී සහ 21වන සියවසේදී ය. එම කරුණු දිනපතා කරන සොයාගැනීම් හරහා දිනපතාම වෙනස් වීම් වලට භාජනය වේ. එසේම Dark matter, Dark energy වැනි උභතෝකෝටිකයන් ගැන තවමත් නිසි අවබෝධයක් විද්‍යාඥයන් අතර නැත. Dark matter යන සංකල්පය කරළියට පැමිණියේ ම මන්දාකිණි වල ස්කන්ධය පිළිබඳ මතුවූ ගැටලුවක් නිසා ය. එනම් ගණිතමය වශයෙන් බලන විට තිබිය යුතු ලෙස පෙනෙන ස්කන්ධය නිරීක්ෂණයෙන් දැකිය නොහැකි හෙයිනි. (මේ නිරීක්ෂණය මුල් වරට කරන ලද්දේ 1933 දී Fritz Zwicky නම් විද්‍යාඥයා විසිනි). අප සෑම දෙයක්ම නිරීක්ෂණය කරන්නේ විද්‍යුත් චුම්බක තරංග ආධාරයෙනි. විද්‍යුත් චුම්බක තරංග වලට හසු නොවන දෙයක් ඍජුව හෝ වක්‍රව කිසිදු ආකාරයක පරීක්ෂාවකින් තහවුරු කළ හැකි නොවේ. වත්මන් විශ්ව න්‍යායවේදීන් ද මුහුණදී ඇති ගැටලුව මෙයයි. පුදුමයකට මෙන් නිවන හෝ සුර ලෝක පිළිබඳ බෞද්ධ මතය විවේචනය කරන ඇතැම් බක පණ්ඩිතයන් මේවා දන්නේ නැත. ඔවුන් සිතා සිටින්නේ පරීක්ෂණාත්මකව තහවුරු කළ නොහැකි කිසිදු දෙයක් සැබෑවට පවතින්නේ නැතැයි කියා ය.

නැවතත් Dark Matter දෙසට හැරෙමු. තවත් විද්‍යාඥයන් පිරිසක් තර්ක කරන්නේ Dark Matter ආශ්‍රිත මෙම ස්කන්ධ ගැටලුව ඇතිවන්නේ නිව්ටන් නියම හරිහැටි අවබෝධ කර නොගැනීම නිසායැයි කියා ය. ඔවුනට අනුව අප දැනට භාවිතා කරන නිව්ටන්ගේ දෙවන නියමය වැරදි ය. අප සෑම විට ම ත්වරණයෙන් ගමන් කරන වස්තුවක් සඳහා F=ma සමීකරණය යෙදීමට පුරුදුව සිටියත් ත්වරණය ඉතාමත් කුඩා වන මන්දාකිණියක් වැනි පද්ධතියකට එය එසේ යෙදිය නොහැක. ඒ වෙනුවට F=ma සමීකරණය මෙසේ වෙනස් වේ.
F=m.µ(a/a0).a
µ(a/a0)=µ(x)
ලෙස ගනිමු
|x|≫1 විට µ(x)=1
0 <|x|≪1 විට µ(x)=x ද වේ
මෙහි;
m= වස්තුවේ/මන්දාකිණියේ ස්කන්ධය,
a= වස්තුවේ/මන්දාකිණියේ ත්වරණය,

a0
= නිර්ණය කළ යුතු නියතයක්.
a0=1.2×10−10 ms−2 බව පසුකාලීන අධ්‍යයන වලින් හෙළි වී ඇත. මන්දාකිණි වල ත්වරණය ඉතා අවම නිසා (1.2×10−10) ඒවා ගණිතමය සමීකරණයන්ට නැංවීමේදී µ(x) පදය විශාල කාර්ය භාරයක් ඉටු කරයි. එමගින් ඳුරු පදාර්ථය තුළ ගැබ්ව ඇති ස්කන්ධ ගැටලුව විසඳෙනු ඇති බවට ඇතැම් විද්‍යාඥයෝ විශ්වාස කරති. 1981 දී Mordehai Milgrom විසින් ඉදිරිපත් කළ මෙම න්‍යාය හැඳින්වෙන්නේ Modified Newtonian Dynamics (MOND) යන නමිනි. විද්‍යාවේ නව පැතිකඩක් විවර කිරීමට මෙය සමත් වුවද ගුරුත්ව කාච ආචරණය ආශ්‍රිත ගැටලු පැහැදිලි කිරීමට මෙය අපොහොසත් වීම නිසා මෙය තවමත් බහුතර විද්‍යාඥ පිරිසක් අතර පිළිගැනෙන්නේ නැත. 2004 දී Jacob Berkenstein විසින් ඉදිරිපත් කළ TeVeS (Tensor-Vector-Scalar) නම් සාපේක්ෂතා MOND න්‍යාය (Relativistic MOND theory) හරහා මුල් න්‍යාය තුළ පැවති ප්‍රශ්න බොහොමයක් විසඳුන ද තවමත් ඒය සර්ව සම්පූර්ණ තත්ත්වයේ නැත. නමුත් තවමත් බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ පැරණි Dark Matter න්‍යායයි. ඒ එම න්‍යාය සත්‍ය නිසා නොව ඊට අභියෝගයක් එල්ල කිරීමට අනෙක් න්‍යායන් අසමත්ව ඇති නිසා පමණි.

මා මේ කරුණු ඉදිරිපත් කළේ නූතන විශ්ව න්‍යායවේදය පැටලී සිටින පඹගාල කුමක්දැයි ඔබට මඳක් හෝ අවබෝධ කරගැනීම පිණිස ය. මේ කිසිවක් නොදැන ඇතැම් පුද්ගලයන් නිවන හා මානසික ස්තර 31 පර්යේෂණාත්මකව ඔප්පු කළ නොහැකි යැයි පැවසීම ඉතා කණගාටුදායක තත්ත්වයකි.

මෙහිදී පැහැදිලි කළයුතු තවත් කරුණක් තිබේ. එනම් විශ්වයේ මහා පරිමාණ ආකෘතිය පිළිබඳ නූතන විද්‍යාත්මක අ(න)වබෝධයයි. නූතන විද්‍යාවට අනුව විශ්වය වසර බිලියන 13.7ක් පමණ පැරණි ය. මේ පිළිබඳ විවිධ තර්ක ඇති බව මා කලින් ලිපියක සඳහන් කරන ලදී. එම නිසා ඒ ගැන නැවත නැවත කීමට යන්නේ නැත. නමුත් නූතන විද්‍යාවට අනුව විශ්වයේ ව්‍යුහය ගැන අපූරු කරුණු සොයාගෙන ඇත. මා කලින් සඳහන් කළ මන්දාකිණි, මන්දාකිණි පොකුරු, සුපිරි මන්දාකිණි පොකුරු යනාදී සියල්ල අයත් වන්නේ නිරීක්ෂණය කළහැකි විශ්වය (Observable Universe) ටයි.

Obsevable universe යනු අපට පෙනෙන විශ්වයයි. අපට පෙනෙන විශ්වයක් ඇත්තම් අපට නොපෙනෙන විශ්වයක් ද තිබිය යුතු ය. අපට පෙනෙන විශ්වය යනු නිරීක්ෂකයා කේන්ද්‍ර කරගත් අරය ආසන්න වශයෙන් ආලෝක වර්ෂ බිලියන 46.5ක් පමණ වූ ආසන්න වශයෙන් ගෝලාකාර වස්තුවකි. නමුත් එහි අදහස විශ්වයේ මධ්‍යය පෘථිවිය බව නොවේ විශ්වයේ කුමන තැන සිට බැලුව ද එය වටා පෙනෙන ලෝකය (විශ්වයේ) අරය ආලෝක වර්ෂ බිලියන 46.5කි. ඇතැමුන්ට මෙය ආගන්තුක සංකල්පයක් විය හැක. මන්ද නූතන අයින්ස්ටයිනීය සාපේක්ෂතාවාදය මගින් යම් වස්තුවක් ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගමන් කිරීමට බාධක දමන බැවිනි. ඔව් එය සැබෑ ය! නමුත් අවකාශය යනු තවත් එක් වස්තිවක් නොවේ. අවකාශය ප්‍රසාරණය වන්නේ අවකාශය තුළ ම ය. එසේම අවකාශ කාලය පැතලි (flat) දෙයක් නොවේ. අවකාශ කාලය වක්‍ර වී ඇත. එම නිසා විශ්වයේ වයස අවුරුදු බිලියන 13.7ක් වූ පමණින් (ප්‍රතිවිරෝධතා ගහණ ය) විශ්වය ද අරය ආලෝක වර්ෂ බිලියන 13.7ක් වූ ගෝලයක් වීමට අවශ්‍ය නැත. අඩුම තරමින් විශ්වය ගෝලයක් දැයි කියා වත් නූතන විද්‍යාව නොදනී!

නූතන විද්‍යාවම අනුමාන කරන පරිදි සැබෑ විශ්වය අප දකින විශ්වයට වඩා බෙහෙවින් විශාල ය. එය කොතෙක් දැයි කිවහොත් අප දකිනා සහ නොදකින විශ්වය අතර ප්‍රමාණ අනුපාතය
ms−2 ට අඩු නිසා ඒ තුළ අවම වශයෙන් 1:1023 ත් 1:1026ත් අතර වේ. මෙය සාපේක්ෂව සඳහන් කළහොත් අපට පෙනෙන විශ්වය දොඩම් ගෙඩියක් නම් නොපෙනෙන විශ්වය පෘථිවිය තරම් විශාල ය! (සාපේක්ෂ පරිමාණය 1:1024). අපට එසේ නොදැකිය හැකි කොටසක් තිබීමට හේතුව එතරම් ඈතක සිට විද්‍යුත් චුම්බක තරංග අප වෙත ඒමට හැකියාවක් නැතිකම ය. අප ඈත මන්දාකිණි කියා දකින්නේ අතීතයයි. කෙනෙකුට කාලය හරහා පිටුපසට යෑමට ඇති එකම ක්‍රමය ඈත තරු එළිය දෙස බලා සිටීමයි. එපමණක් ද නොවේ. ක්‍රම ක්‍රමයෙන් අපට පෙනෙන විශ්වයේ ඇති දෑ ද නොපෙනී යමින් තිබේ. ඊට හේතුව නම් ඈත ඇති මන්දාකිනි අපේ එකේ සිද්ධි ක්ෂිතිජයෙන් (Event horizon) එපිටට වැටීමයි. එබැවින් තවත් දීර්ඝ කාලයකින් ක්ෂීරපථය අඳුරු විශ්වයේ තනි වනු ඇත.

දැන් නැවතත් බෞද්ධ විශ්ව න්‍යායවේදය දෙසට යොමුවෙමු. සහස්සී චූලනිකා ලෝක ධාතුවෙන් නිර්මාණය වී ඇත්තේ ජනාවස වූ ලෝක 1000 කිනි. සහස්සී චූලනිකා ලෝක ධාතුවෙන් පිටත එහි වැසියන් හට නොපෙනෙන ලෝක ගණන අපමණ ය. නූතන විද්‍යාව එය පිළිගනී. පෙනෙන විශ්වය තුළ ඇති බිලියන 80ක් පමණ වන මන්දාකිණි හැරුණු විට ඉන් පිටත ද අනන්තවත් වූ මන්දාකිණි පිහිටා ඇති බව එය කියයි. එසේම නූතන විද්‍යාවට දැකිය හැක්කේ විද්‍යුත් චුම්බක විකිරණ විමෝචනය කරන වස්තූන් පමණි. එසේ නොමැති කිසිවක් දැකීමට ඊට හැකියාවක් නොමැති බව අඳුරු පදාර්ථය පිළිබඳබ නිර්මාණය වී ඇති ගැටලුවෙන් පෙනී යයි. සුරලෝක, බ්‍රහ්ම ලෝක පෙනෙන්නේ නැත්තේ මන්දැයි විමසන ඇත්තන්ගේ තර්ක අතේ පත්තු වන්නේ දැන් ය.

බුදුරජාණන් වහන්සේට විශ්වය කරුණු එකින් එක පැහැදිලි කිරීමේ අවශ්‍යතවක් නොවුණි. ක්‍රි.පූ. 6වන සියවසේ ඉන්දීය ජන සමාජයේ ජනතාව එකක් තබා ඉර වටේ පොළොව යන බව වත් දැන සිටියේ නැත. එවන් තත්ත්වයක් තුළ උන්වහන්සේ දේශනා කළ විශ්වය පිළිබඳ කරුණු අකාලික-හැමදාටම ගැළපෙන ලෙස දේශනා කිරීම සැබැවින්ම ආශ්චර්යයකි.

අවසාන වශයෙන් අප බෞද්ධ පරිණාම විශ්ව න්‍යායවේදය (Temporal Cosmology) දෙසට යොමුවෙමු. මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ විශ්වයේ එක් එක් මට්ටම් වල සම්භවය, පැවැත්ම, විනාශය යන කරුණුයි. බුදු දහමේ විශ්වය පිළිබඳ කරුණු වලදී යෙදෙන ප්‍රධානතම කාල මානන ඒකකය කල්ප, නැතහොත් මහා කල්ප (Great Eon) වේ. මහා කල්පයක අගය වත්මන් කාල ඒකක වලින් සඳහනක් නැත. නමුත් එය අනිවාර්යයෙන්ම පෘථිවි වර්ෂ බිලියනය ඉක්මවා ගියහොත් මිස ඊට අඩුවන්නේ නැත. සෑම කල්පයකට වතාවක් ම සෑම ලෝක ධාතුවක්ම (ස්තර 14 සිට පහළට ) විනාශ වී නැවත හටගැනීම සිදුවේ. මෙම මහා කල්පය නැවත වරක් උප කොටස් (Eons) 4කට බෙදේ. එම එක් එක් කල්පය ද නැවත වරක් අන්තර් කල්ප (Inside Eons) 20 කට බෙදේ.

ප්‍රධාන බෙදීම් 4න් එකක් වන සාම්වට්ඨ ස්ථායී කල්පය තුළදී මෙම උප බෙදීම් හුදු නාමයන් පමණක් වන අතර එහිදී විශේෂ සිදුවීම් කිසිවක් වන්නේ නැත. එම ප්‍රධාන බෙදුම් කොටස් හා ඒ එක් එකක් තුළදී සිදුවන ක්‍රියා කෙටියෙන් මෙසේ ය.
  1. විවට්ඨ කල්පය -- Eon of Evolution : මෙය ලෝක ධාතුවේ ආරම්භක අවස්ථාවයි. මෙහිදී විශාල කැළඹීම් මගින් විශාල භෞතික ව්‍යූහයන් නිර්මාණය වීමට පටන්ගනී. මේ සඳහා අමුද්‍රව්‍ය ලැබෙන්නේ කලින් විනාශ වූ ලෝක ධාතුවෙහි වූ මූලද්‍රව්‍ය වලිනි. නූතන විද්‍යාවටත් මෙය පොදු ය. එහිදී ද විශ්වයේ තැනුම් ඒකකය වූ හයිඩ්‍රජන් මූලද්‍රව්‍යය, අණුක වළා (Molecular Clouds) ලෙස ගුරුත්වය යටතේ එක්වීමට පටන්ගනී. අනතුරුව එම අණු, මධ්‍යය වටා ඉතා ප්‍රචණ්ඩ ලෙස පරිභ්‍රමණය වීමට පටන්ගනී. එහිදී තවතවත් අණු එම වළාවට එක්වීමට පටන්ගනී. අවසානයේ එම සමස්ත පද්ධතියේ ස්කන්ධය එක් නියත අගයක් (Jeans Mass) ඉක්මවා ගිය විට තම ගුරුත්වය යටතේ එම අණුක වළාව බිඳවැටීමට පටන්ගනී. ජීන්ගේ ස්කන්ධය අත්කර නොගත් අවස්ථා වලදී ද අණුක වළා අතර ගැටුම්, සුපර්නෝවා වලින් නික්මෙන ගුරුත්ව තරංග හා නියුට්‍රිනෝ ධාරා, මෙන්ම අණුක වලා සහ අතර ඇතිවන ගැටුම් යනාදියෙන් නික්මෙන කම්පන තරංග (Shock Waves) යනාදී බාහිර බලපෑම් මත මෙය සිදුවිය හැක. එමගින් මධ්‍ය තාරකාව නිර්මාණය වන අතර වටේ ඇති අණු වලින් accretion disk එකක් සෑදී ජීවී පැවැත්මට උචිත ග්‍රහලෝක ඇතුලු ග්‍රහ පද්ධති බිහිවේ. ලෝක බිහි වූ පසුව වඩාත් ඉහළින් ඇති, විනාශ නොවූ ලෝක ධාතු වලින් ජීවීන් පැමිණ, ජීවයට උචිත ග්‍රහලෝක අතර සංචාරය කිරීමට පටන්ගනී. ඒවා අතර ගමන් කරන විට ඔවුන් ඒවා නැරඹීමට වන් කල්හි ඒ කෙරෙහි ආශාවක් ඔවුන් තුළ ජනිත වේ. ඊට හේතුව නම් ඒවායේ සුන්දරත්වයයි; එහි ඇති ද්‍රව්‍ය ආහාරයට ගත්විට දැනෙන ප්‍රණීත රසයයි. මෙම රසයන්ට සිත ඇදී ගිය කල්හි ඔවුනට ඔවුනගේ කලින් පැවති අධ්‍යාත්මික දියුණුව පිරිහීමට් පටන්ගනී (ධ්‍යානයක් ලැබූ විට එය මහත් උත්සාහයෙන් යුතුව රැකගත නොහැකි වුවහොත් ඉන් පිරිහී පහළට ඇද වැටීමට වැඩි කාලයක් ගත නොවේ). අවසානයේ ඔවුන් කලින් තිබූ සියලු සම්පත් අහිමි, නවතම ජීවී ප්‍රජාවක් බවට පරිණාමය වේ. ඔවුන් අතර කලින් නොතිබූ දුෂ්චරිතයන් හටගනී. දුෂ්චරිතයන් වැඩිවෙමින් යන විට 14වන මානසික ස්තරයේ සිට පහළට, එක් එක් ලෝක පිරෙමින් යාමට පටන්ගනී. එම එක් එක් ලෝකය ද නැවත නැවතත් පරිණාමය වේ. (බුදු දහම හැරුණුකොට පරිණාමවාදය පිළිගන්නා එකම දහමක් වත් මෙලොව නැත). උදාහරණයක් ලෙස මනුෂ්‍ය ලෝකයේ ඉපදෙන ජීවීන් ක්‍රම ක්‍රමයෙන් තමන්ට ආවේණික අර්ථ ක්‍රමයක් නිර්මාණය කරගන්නා අතර දේශපාලන ව්‍යුහයක් ද නිර්මාණය කරගනී. ඊට හේතුව නම් මිනිසුන් කණ්ඩායම් අතර බෙදීම්, කළකෝලාහල, හැළහැප්පීම් ඇතිවීමයි. එම තත්ත්වයන් පාලනය කිරීමට මුලුමහත් මානව වර්ගයාටම එක් නායකයෙකු බිහිවේ. ඔහු "මහා සම්මත" (the great appointed one) නමින් හැඳින්වේ. (වැඩිදුර කරුණු : අග්ගඤ්ඤ සූත්‍රය, දීඝ නිකාය, 27 වන සූත්‍රය)
  2. විවට්ඨ ස්ථායී කල්පය -- Eon of Evolution-Duration : පළමු අන්තර් කල්පය : විවට්ඨස්ථායී කල්පය ආරම්භයේදී පළමු ජීවීන් නරකයන්හි බිහිවේ. මෙහිදී අපාය යනුවෙන් ස්ථිර දෙයක් නොපවතින බව සැළකුව මැනවි. ජීවීන් නැති කාලයේ කිසිදු ලෝකයක් පවතින්නේ නැත. විවට්ඨස්ථායී කල්පයේ පළමු අන්තර්කල්පයේදී ද ලෝකය පාලනය කරන්නේ චක්‍රවර්ති නම් තනි රජ කෙනෙකි. මෙවැනි රජවරු 7 දෙනෙක් පහළ වේ. ඒ සෑම කෙනෙක්ම නිශ්චිත කාලයක් (මහා සුදස්සන නම් එවන් චක්‍රවර්ති රජ කෙනෙකුගේ වසර 336 000ක් දක්වා දිවෙන පාලන කාලය ගැන මහා සුදස්සන සූත්‍රයෙහි - දීඝ නිකාය, 26 වන සූත්‍රයෙහි - සඳහන් වේ) මානව වර්ගයා පාලනය කොට ශ්‍රමණ ජීවිතයකට ඇතුළත් වේ. නමුත් මෙම පරපුරේ 7 වන රජු පමණක් නියමිත කාලයේ පාලනය තම අනුප්‍රාප්තිකයාට භාරදීමට අකැමැති බේ. මේ නිසා මානව වර්ගයාගේ පාලනය පාලන තන්ත්‍රයෙන් ගිලිහී ගොස් ලෝකය අරාජික වේ. හොරකම, දූෂණය වැඩිවේ. අවසානයේ මානව සංහතිය කොටස් කිහිපයකට කැඩී යයි. අවසානයේ මානවයාගේ ආයු කාලට 80000 සිට 100 දක්වා අඩු වේ. මෙම කාල පරිච්ඡේදය තුළ බුදුවරුන් සිව් දෙනෙකු මානව ලෝකයෙහි පහළ වේ (ගෙවී යන්නේ මහා භද්‍ර කල්පයක් නිසා බුදුවරුන් 5 දෙනෙකු විවිධ කාල ප්‍රාන්තරයන් තුළ පහළ වේ. වෙනත් කල්ප වල එසේ නොවීමට ඉඩ ඇත. උදාහරණයක් ලෙස මෛත්‍රී බුදුරජාණන් වහන්සේහ්ගෙන් අනතුරුව බුදු කෙනෙක් නැවත පහළ වන්නේ කල්ප 59කිනි). මානවයාගේ වයස අවුරුදු 40000 දී කකුසඳ බුදුරජාණන් වහන්සේ ද, 30000 දී කෝනාගමන බුදුරජාණන් වහන්සේ ද 20000දී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ද පහළ වේ. අවසාන වශයෙන් , මෙම අන්තර් කල්පයේ අවසන් බුදුරජාණන් වහන්සේ වන ගෞතම බුදුන් වහන්සේ පහළ වන්නේ මානවයාගේ සාමාන්‍ය වයස අවුරුදු 100 ක් වන විට ය. මානවයාගේ ඉතිරි කාල පරිච්ඡේදය දුෂ්චරිතයෙන් ගහණ ය. ඔවුන්ගේ ආයු කාලය 100 සිට 10 දක්වා පහත වැටේ. සියලුම ආකාරයේ දුෂ්චරිතයන් ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන අතර මහා යුද්ධයකින් සියල්ල අවසාන වේ. එමගින්, මානව වර්ගයාගෙන් ඉතා සුළු පිරිසක් හැර අන් සියලු දෙනාම මියයන අතර පළමු අන්තර් කල්පය අවසන් වේ (කොතරම් සාධාරණ තර්කයක් ද? මානව වර්ගයා සතුව අද පවතින න්‍යෂ්ටික අවි ප්‍රමාණය, පෘථිවිය මත මානව හා ජෛව ප්‍රජාව කිහිප වරක් විනාශ කර දැමීමට සමත් ය). දෙවන අන්තර් කල්පය : යුද්ධය අවසන් වීමෙන් අනතුරුව සැඟවී සිටි ගුණදහම් රැකගෙන සිටි මානව පිරිස නව ශිෂ්ඨාචාරයක් පෘථිවිය මත ආරම්භ කරති. ඔවුන් යහපත් ලෙස කල් ගෙවීම නිසා වසර 10 සිට 80000දක්වා ඔවුන්ගේ ආයු කාලය දික් වේ. මෙය කාලයත් සමඟ සිදුවන ක්‍රියාවලියක් බව සැළකුව මැනවි. මේ කාලය වනවිට සංඛ නම් චක්‍රවර්තී රජ කෙනෙක් මානව වර්ගයා පාලනය කරයි. ඔහුගේ කාලයේදී තුසිත දිව්‍යලෝකයේ වැඩවෙසෙන නාථ නම් බෝධිසත්තවයන් වහන්සේ මානව වර්ගයා අතර අජිත ජන නමින් ඉපිද මෛත්‍රෙය යන නමින් බුද්ධත්වයට පත්වේ. තවත් කල්ප ගණනාවකට ඉන් අනතුරුව බුදු කෙනෙක් පහළ වන්නේ නැත. එම බුදුන් වහන්සේගෙන් අනතුරුව නැවතත් මානව වර්ගයා පිරිහීමට ලක්වේ. කලින් සිදු වූවා සේම අන්තර් කල්පයෙන් අන්තර් කල්පය ගතවේ. අවසානයේදී 19 වන අන්තර් කල්පය අවසානයේ මානවයාගේ ආයු කාලය 80000දක්වා දික් වූ විට එය නැවත අඩුවීම ඇණහිටී. විවට්ඨස්ථායී කල්පයේ අවසානය එයයි.
  3. සාම්වට්ඨ කල්පය -- Eon of Dissolution : සාම්වට්ඨ කල්පය යනු විවට්ඨ කල්පයෙහි විරුද්ධ අවස්ථාවයි. එනම් මෙහිදී එක් එක් ජීවීන් එක් එක් මානසික ස්තරයෙන් පහළට යාම සිදු නොවී එහි විරුද්ධ අතට, එනම් එක් එක් ස්තරයෙන් ඉහළට යාමට පටන් ගනී. මේ අනුව නිරයේ ඉපදුණු ජීවීන් තිරිසන් ලෝකයේ ද, තිරිසන් ලෝකයෙන් අසුර ලෝකයට ද වශයෙන් ක්‍රම ක්‍රමයෙන් ගමන් කරමින් අවසානයේ 14 වන මානසික ස්තරයෙන් ඉහළට සියලුම ජීවීන් ගමන් ගනී. බ්‍රහ්ම ලෝක ජීවීන්ගෙන් පිරී යයි. මෙසේ reverse order එකට සිදුවීම් සිදුවීම නූතන විද්‍යාවට අලුත් සංකල්පයක් නොවේ. නූතන විද්‍යාවේ එන එක් විශ්ව මොඩලයක් (Cosmological Model) වන Closed Universe ට අනුව සිදුවන්නේ මෙයයි. එනම් විශ්වයේ ඝනත්වය වැඩිවීම නිසා යම් අවස්ථාවක ප්‍රසාරණය නැවතී නැවතත් විශ්වය ගුරුත්වය යටතේ බිඳවැටීමයි. එහිදී සියලු සිදුවීම් නැවත පිටුපසට (Reverse order එකට) සිදුවේ. නමුත් තාපගති විද්‍යාව දෙවන නියමය මීට බාධා එල්ල කරයි. එනම් විශ්වයේ සසම්භාවී ස්වභාවය (Entropy) වැඩිවනවා මිස අඩුවිය නොහැක යන තර්කයයි. නමුත් ආපසු අතට සිදුවන ක්‍රියාවලි නූතන විද්‍යාව තුළ ද පවතින වැදගත් සංකල්ප වේ. සාම්වට්ඨ කල්පය අවසානයේ ලෝක ධාතුව ගින්නෙන් විනාශ වී යයි. කල්ප 8කට වරක් සාම්වට්ඨ කල්පයක් අවසානයේ සමස්ත සහස්සී චූලනිකා ලෝක ධාතුවම ජලයෙන් විනාශ වී යයි. කල්ප 64 කට වරක් සාම්වට්ඨ කල්පයක් අවසානයේ සමස්ත මඣ්ඣිමනිකා ලෝක ධාතුවම සුළඟින් විනාශ වී යයි.
  4. සාම්වට්ඨ ස්ථායී කල්පය -- Eon of Dissolution-Duration : මෙහිදී සමස්ත ලෝක ධාතුව ම තුළ පවතින්නේ ශූන්‍යත්වයයි. එහි අලුතෙන් සිදුවන දෙයක් නැත. අන්තර් කල්ප පවා සිදුවී වලින් තොරව ගෙවී යයි.
බෞද්ධ පරිණාම විශ්ව න්‍යායවේදය මෙසේ ය. බුදු දහම යනු පරිණාමය පිළිබඳ විද්‍යාවකි. සෑම සත්ත්වයෙකු ම පරිණාමය (Evolve) වන බව මුල් වරට දේශනා කළේ බුදුරජානන් වහන්සේ විසිනි.

අවසාන වශයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබේ. එනම් ලෝකාවසානය පිළිබඳ විවිධ මතයන් ය. මෙහි එන ගින්නෙන් ලෝකය විනාශ වීම, ජලයෙන් ලෝකය විනාශ වීම හා සුළඟින් ලෝකය විනාශ වීම යන කරුණු ඇතැමුන්ට ආගන්තුක විය හැක. නමුත් නූතන විශ්ව න්‍යායවේදය තුළ ද මෙම කරුණු පතින බව සිහිපත් කිරීම වටී.

උදාහරණයක් ලෙස, අපගේ සූර්යයාගේ ජීව කාලය අවසානයේ, තව වසර බිලියන 5කින් පමණ සූර්යයා රතු යෝධ තාරකාවක් (Red Giant Star) බවට පත්වේ. මෙහිදී සූර්යයා කොතරම් විශාල වේදැයි කිවහොත් අඟහරු කක්ෂයෙනුත් ඉවතට යන ගණනට සූර්යයාගේ අරය වැඩිවේ. මේ වනවිට පෘථිවිය ඇතුලු මුලු මහත් සූර්යග්‍රහමණ්ඩලයම සූර්යයාගේ ගිනිදැල් වලට හසුවී විනාශ වේ. මින් අදහස් කෙරෙන්නේ කල්පයක් අවසානයේ ගින්නෙන් විනාශ වී යන ලෝක ධාතුව පෘථිවිය බව නොවේ. මා ඉදිරිපත් කරන්නේ ගින්නෙන් ලෝකයක් විනාශ වී යෑම අරුමයක් නොවන බව ය.එපමණක් ද නොවේ කාලයෙන් කාලයට සිදුවන මන්දාකිණි ගැටීම් (Galactic Collisions) නිසා ද ඇතැම් ලෝක විනාශ වී යයි. ඊට හේතූන් වන්නේ ගැටීම් වලින් හටගන්නා ප්‍රබල කම්පන තරංග (Shock Waves) ය. සුළඟ යනු අන්වායාම තරංග වලින් හටගන්නා කම්පන තරංගයන්හි ප්‍රතිඵලයක් වන අතර අන්තර් මන්දාකිණි කම්පන තරංග (Galactic Shock Waves) යනු ද අන්වායාම තරංග විශේෂයක් වේ.

එපමණක් ද නොවේ. විශ්වයේ අවසානය සිදුවිය හැක්කේ කෙසේ ද යන පැනයට නූතන විද්‍යාඥයන් දෙන පිළිතුරක් තුනකි. ඒවා මෙසේ ය:
  1. Open Universe : විශ්වයේ ප්‍රසාරණය වීමේ වේගය අවම කිරීමට සමත් පදාර්ථ ප්‍රමාණයක් එහි අන්තර්ගත නොවේ නම් විශ්වය සදාකාලිකව ම ප්‍රසාරණය වනු ඇත. 1998දී කරන ලද Type 1a Supernovae අධ්‍යයනයන් මගින් විශ්වය ත්වරණයකින් ප්‍රසාරණය වන බැව් සොයාගෙන තිබේ. මේ අනුව දිගින් දිගටම ප්‍රසාරණය වෙමින් යෑමේදී සිදුවනු ඇත්තේ යම් දිනෙක අප වටා ඇති සියලුම මන්දාකිණි අපගේ නිරීක්ෂණාත්මක විශ්වයෙන් (Observable Universe) ඈත්ව ගොස් ක්ෂීරපථය පමණක් "අපගේ" විශ්වයේ තනි වීම ය. එවිට අන්තර් මන්දාකිණි ගුරුත්ව බලපෑම් (Inter galactic gravitational effects) නැති වී, අප වාසය කරන ලෝක වලට බාහිර විශ්වයෙන් ලැබෙන ශක්තීන් නොමැති වී සියලුම ලෝක "සිසිල් මරණයකට" මුහුණදීම ය. විශ්ව න්‍යායවේදීන් මෙවන් අවස්ථාවකට භාවිතාකරන වදන වන්නේත් පුදුමයකට මෙන් Cold Death යන්නයි. දැනට ඔවුන් විශ්වාස කරන පරිදි වඩාත්ම වියහැකි (likely) විශ්වාවසානය මෙයයි.
  2. Flat Universe : විශ්වයේ යම් නිශ්චිත පදාර්ථ ඝනත්වයක් (Critical Density, Ω=(1 හෝ 2) × 10-26 kg/m3) ඇති අවස්ථාවකදී එය සංකෝචනයත් නොවී, දිගින් දිගටම ත්වරණයකින් ප්‍රසාරණයත් නොවී, සංකෝචනය වීම වැලැක්වීමට අවශ්‍ය යම් නියත ප්‍රවේගයකින් පමණක් ප්‍රසාරණය වේ. නමුත් ඉතා සුලු ඝනත්ව වෙනසකින් මෙම තත්ත්වය දෙපැත්තෙන් එක් පැත්තකට පරිවර්තනය විය හැක. මෙය හරියට පිහි තලයක් මත පැන්සලක් සමබර කිරීමට සමාන ය. එබැවින් විද්‍යාඥයෝ මෙය සිදුවිය නොහැකි සිදුවීමක් ලෙස දකිති. (දැනට සොයාගෙන ඇති පරිදි විශ්වයේ ඝනත්වය මීට වඩා සියගුණයකින් පමණ අඩු වේ. එය ආසන්නව ඝන මීටරයට පරමාණු 0.2ක් පමණි).
  3. Closed Universe : යම් හෙයකින් විශ්වයේ ඝනත්වය උක්ත ඝනත්වයට (Critical Density, Ω) වඩා වැඩි නම් විශ්වය තම ගුරුත්වය යටතේ බිඳවැටේ. අනතුරුව එහි තිබෙන සියලුම පදාර්ථ එකට පොදියකට ගොනු වී "තාපමය මරණය"කට විශ්වය භාජනය වේ. මෙය විද්‍යාඥයන් හඳුන්වන්නේ heat death යනුවෙනි.
නමුත් මේ හරහා බෞද්ධ විශ්ව න්‍යායවේදය සහ නූතන විශ්ව න්‍යායවේදය ඍජු ලෙස සන්සන්දනය කිරීම උචිත නොවේ. අවසාන වශයෙන් කිව යුත්තේ බෞද්ධ විශ්ව න්‍යායවේදය යනු ස්ථිර (Definite) විෂයක් බවයි.

Tuesday, July 7, 2009

අමතක වූ බ්ලොග් ලිවිල්ල සහ මගේ දිවියෙන් බිඳක්

අන්තිම බ්ලොග් සටහන ලිව්වෙ මීට දවස් පහකටත් කලින්! දවස් පහක් කියන්නෙ මහ ලොකු කාලයක් නොවුණට අප්‍රේල් මාසෙ ඉඳලම දිනපතාම වගේ බ්ලොග් සටහන් එකක් වත් (වෙන වැඩක් නැතුවට) ලිව්ව නිසා දවස් පහක් කියන්නෙත් ලොකු කාලයක් වගේ දැනුණෙ. වෙනදට ලියන්න බැරි වුණා නම් බැරි වුණේ ලියන්න දෙයක් හිතාගන්න බැරිවුණ නිසා. ඒත් මේ දවස් ටිකේ නම් බැරි වුණේ වෙනත් විශේෂ හේතු රාශියක් නිසා. හරියටම කිව්වොත් කාලයක් තිස්සෙ බ්ලොග් එක වටා කේන්ද්‍රගත වෙච්ච මගේ හිත ඉන් බැහැර වුණු නිසා. ඊට හේතු වූ කරුණු තරමක් පෞද්ගලිකයි. ඒත් කාට හෝ ඉන් ප්‍රයෝජනයක් වෙන්න පුලුවන් කියල හිතුණ නිසා ලියලම දාන්න තමයි හිත.

මම උසස් පෙළ කළේ ගිය අවුරුද්දෙ නොවැ. උසස් පෙළත් පාස් වෙලා විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්න තමයි මේ ටිකේ බලාගෙන හිටියෙ සහ තාමත් ඉන්නෙ. උසස් පෙළ කඩඉම් ලකුණු එන්න නියමිතව තිබුණෙ පසුගිය බ්‍රහස්පතින්දා (02-07-2009). ඒ කියන්න සාමාන්‍ය කාලයටත් ගොඩක් පහු වෙලා. මම බලාපොරොත්තුවෙන් හිටියෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුල් වෙන්න. නමුත් උසස් පෙළ ප්‍රතිඵල වලින් මම හිටියෙ හරියටම කඩඉම් සීමාවෙම වගේ. ඒ කියන්නෙ මහනුවර දිස්ත්‍රික්කයෙන් 84ක් 85ක් ගන්න නියමිත වෙනකොට 82 වැනි තැන වගේ. උසස් පෙළින් වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න බැරිවුණු වැරැද්ද මගේමයි. ඒක ආයෙ අහන්න දෙයක් නෑ. භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව එළටම කරපු මම සංයුක්ත ගණිතය වනාගත්තා. පුදුමෙ කියන්නෙ විභාගෙ දවසටත් කලින් ඔය නස්පැත්තිය වෙන බව මම හොඳටම දැනගෙනයි හිටියෙ. හික්.... ඒකට හේතුව තමයි උසස් පෙළ පටන්ගත්ත දවසෙ ඉඳලම මං හරියට සංයුක්ත ගණිතය විෂයට වැටිච්ච නැති එක. සාමාන්‍ය පෙළ කාලෙ ඉස්කෝලෙ ගණිතය විෂයට වැඩිම ලකුණු ගත්ත මට උසස් පෙළට ඇවිත් ඒ ආකාරයටම වැඩේ කරගත නොහැකිවීම පිටුපස තියෙන්නෙ ඉතාම සුලු හේතුවක්. ඒ තමයි මට ඕනෙ හැටියට වැඩ නොකර මම අනුන්ට ඕනෙ හැටියට වැඩ කරන්නට යාම.

හැබැයි ඉතින් ඕක තේරුම් ගන්නකොට මම පරක්කු වැඩියි.

සාමාන්‍ය පෙළ දවස් වල මම ගිය පන්තියේ ගුරුතුමා (ආදරයෙන් මතක් කරන්න ඕනෙ ඔහුව මේ අවස්ථාවෙ. ඒ තමයි මහින්ද බණ්ඩාරනායක ගුරු පියාණන්) මට ඉතාම නිදහසේ පරිසරයක් හදල දුන්නා වැඩ කරන්න. ඒක මගේ හිතට කොයි තරම් වැදුනද කියනව නම් මට ගණිතය කිරි කජු වගේ වුණා. හදන හදන ගාන හරි. ඒ කාලෙ මට අප්සෙට් ගහන්නෙ ගණිතය paper එකට 100ක් නැති වෙනකොට. අඩු තරමින් ඒ වෙනකොට ගණිතයට මම අඩුම ලකුණු අරන් තිබ්බෙ 7 වසරෙ දෙවැනි වාරයෙදි . ඒ 90ක්. නමුත් උසස් පෙළට ආවම ඒ ඔක්කොම උඩු යටිකුරු වුණා. ගණිතයට හොඳ පදනමක් වැටුණෙම නැහැ. ඉස්සර හදන හදන ගාන හරිගිය මගෙ හදන හදන ගාන වැරදෙන්න පටන් ගත්තා. ඉස්සර ගණිතයේ සෑම කොටසකටම ආස කරපු මම ඒකෙ ඇතැම් කොටස් හලන්න පටන් ගත්තා. ඒකට හේතුව තමයි මට, මට අවශ්‍ය කරන විදිහට වැඩකරන්න නිදහසක් නොලැබීම. ගුරුවරුන්ටම දෝෂාරෝපණය කරන එක වැරදියි, නමුත් සාමාන්‍ය පෙළ කාලෙ ලැබුණු තල්ලුව නම් ලැබුණෙ නෑ ගුරුවරු රාශියක් මාරු කර කර බැලුවත්. සමහර විට වැරැද්ද තියෙන්නෙ ගුරුවරු මාරු කිරීමෙම වෙන්නත් පුලුවන්.

කොහොම කොහොම හරි ඔන්න ඔය විදියට මට මුලු සංයුක්ත ගණිතයම කෙළ වෙලා ගියා අන්තිම වෙද්දි. ඒත් Physics හා Chemistry බලේ නිසා මම බය වුණේ නැහැ. කොහොමහරි උසස් පෙළ පාස් වෙන්න පුලුවන් කියල හිතුවා. උසස් පෙළත් කළා කියමුකො අන්තිමට. ගණිතය නම් හිතපු විදියටම බොක 70යි. ඒත් ලකුණු 60ට වඩා තියෙයි කියල මට තේරුණා. රසායන විද්‍යාවත් හිතපු තරම්ම හොඳට කරගන්න බැරි වුණත් අවුලක් වුණේ නෑ. භෞතික විද්‍යාව නම් අවුලක්ම නෑ. දෙවනි කොටසට උපරිම ලකුණු තියෙයි කියල හිතුවා. කාලය ගෙවිල ගිහින් 2009 ජනවාරි 2 වැනිදා ප්‍රතිඵල ආවා. හිතුව හරි A 2යි, C 1යි. ප්‍රතිඵලේ අවුලක් නෑ කියමුකො. ඒත් rank එක තමයි අප්සෙට් වුණේ. (82 නොවැ). මෙච්චර පල්ලෙහාට බැස්සෙ කොහොමද කියලා මට කොහොමටවත්ම තේරුම් ගන්න බැරි වුණා. අන්තිමට recorrection එහෙම දාලා බලාගෙන හිටියා ඉතුරු වැඩ ටික වෙනකන්. 85ක් ඇතුලෙ කිව්ව නිසා ආපහු පාඩම් කරෙත් නෑ (පාඩම් කරල තව පාරක් ලිව්ව නම් තිබ්බ ටිකත් නෑ කියන එක වෙනම කතාවක්). එපමණක් නොවෙයි. මේ වෙනකොට මම හිතාගෙන හිටියෙ ඉංජිනේරු පීඨයට නැතුව භෞතික විද්‍යා පීඨයට ඇතුලු වෙන්න. ඒ මගේ දීර්ඝකාලීන ආසාවක් ඉෂ්ට කරගන්න. (ඒක තවත් දිග කතාවක්. ඒ නිසා මම ඒ ගැන වැඩිය කියන්න යන්නෙ නැහැ) ඒත් අන්තිමට යම් යම් හේතු නිසා ඉංජිනේරු පීඨයටම යනව කියලා තමයි හිතාගෙන හිටිය. ඔහොම ඉන්න අතරෙ තමයි ගිය බ්‍රහස්පතින්දා විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා කඩයිම් ලකුණු ආවෙ.

හවස 2ට එළියට දානවා කිව්ව ලකුණු එනකම් අපි පරිගණක තිර දිහා දෑස් දල්වාගෙන බලන් හිටියා. 2 වෙනකොටත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අවවියේ ලකුණු නැහැ. මම හිතපු නැති මොහොතක, (හවස 3ට විතර) මගේ හිතමිතුරු නාග බුද්ධික මගේ Z ලකුණු ඇහුවා. (ඔහු කොහොමත් සුදුසුකම් ලබනවා). මම කිව්වා ගාන. 1.8956 යි. ඔහු පිළිතුරක් දෙන්න වෙලා ගියා. මට තේරුණා වැඩේ අප්සෙට් බව. අන්තිමට ඔහු කිව්වා, "මචං 1.8966 යි". මට පොඩි කැරකිල්ලක් වගේ දැනුණා. ටිකකින් හරි ගියා. ඒත් මොනව කරන්නද, ඔහු කිව්ව හරි. මහනුවර දිස්ත්‍රික්කය සඳහා 2009 වසර වෙනුවෙන් ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමට අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය 1.8966 යි! දැන් ඉතින් මොනව කරන්නද. අම්මටත් කිව්වම මාර දුකයි.

එක මොහොතකට ලෝකයම කඩාගෙන වැටුණා වගේ දැනුණා. නමුත් ඒකෙන් ගොඩ එන්න මට වැඩි වෙලාවක් ගියේ නැහැ. ඇත්තටම මට ඒ තරම්ම විශාල දුකක් දැනුණෙ නෑ. හේතුව තමයි මම කලින් හිතාගෙන හිටියේ විද්‍යා පීඨයට යන්න නෙ. පස්සෙ ඒක වෙනස් වුණේ නැත්තම් මේ කිසි අවුලක් නෑ. ඒක ගැන හිතල මම හිත හදාගත්තා. නමුත් නිව්ස් එක ගියා විතරයි මෙන්න එකසිය ගානට කෝල්ස් එනවා. ගොඩක් දෙනා මගේ හිත හදන්න උත්සාහ කළා. ඒ හැම දෙනාටම මම ණයගැතියි. මට ඔවුන් හැමදාටම මතක හිටියි. ඒ වගේම සමහරු මට special intake එකෙන් හෝ යන්න පුලුවන් කියා කිව්වා. පුදුම වැඩේ කියන්නෙ මම විවිධ තරඟ වලින් දිනලා, දිවයිනේ ප්‍රථම ස්ථාන ලබා, ඊට අමතර ජ්‍යාත්‍යන්තර තරඟ වලින් ද ජයග්‍රහණය කර තිබුණත් special intake එකට ඉල්ලුම් නොකිරීම. කවුද දන්නෙ මෙහෙම වැඩක් වෙයි කියලා? කලින් ඒක ඕනෙ වෙන්නෙ නෑ කියලනෙ හිතුවෙ. ඉතින් ඒ අවස්ථාවත් මට අහිමියි.

ටික වෙලාවක් යනකොට මට පැහැදිලි දැක්මක් ලැබුණා, කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව. ඒ තමයි ලැබුණු දෙය හොඳයි කියා එම මාර්ගයේ දිගටම ගමන් කිරීම. අන්තිමට මට පොඩි දුකක් වත් ඉතිරි වුණේ නැහැ. නමුත් බොහෝ දෙනා සිතුවේ ඒකෙ අනෙක් පැත්ත. අන්තිමට අර කතාව මට ඇහෙන්නෙ නැති තරමට හොඳයි කියල මට හිතුණා, අනවශ්‍ය බලාපොරොත්තුවක් ඇතිවෙන නිසා.

ඔන්න ඔය විදිහට පහුවෙනිදාටත් එළිවුණාය කියා කියමුකො. මම උදේ නැගිටලා ඉංජිනේරු පීඨයට අවශ්‍ය, මා ළඟ තිබුණු දෑ ඉවත් කර කාමරයත් අස්පස් කළා. ඉන් අනතුරුව නැවතත් දුරකථන ඇමතුම් එන්න පටන්ගත්තා. ඔවුන් හැම දෙනාමත් හිතන් හිටියේ වුණු සිද්ධිය නිසා මට දුක ඇති කියලා. නමුත් මට ඒක ගානක් නැති බව මම ඔවුන්ට නැවත නැවතත් කිව්වා. කාලය ටිකෙන් ටික ගත වෙලා ගියා. මම පත්තරයක් ගේන්න නිවසින් එළියට ගිය මොහොතක තවත් දුරකථන ඇමතුමක් ආවා. මම පත්තරයත් අරන් නැවතත් ගේ තුළට ආවා එම දුරකථන ඇමතුමත් ගන්න. එතකොට වෙලාව උදේ 9.45 විතර ඇති. අත්තම්මා දුරකථනය රැගෙන මට දුන්නා. කථා කළේ මගේ පාසලෙන්, මා හොඳට දන්නා හඳුනන ශාන්ති මැඩම්. "චමිත, ඉක්මනට ඉස්කෝලෙට එන්න. මේ දැන්මම" ඇය කිව්වා. මම ඇහුවා ඇයි කියා. එවිට, "ඔයාගෙ rank එක 69 වෙලා, Z score එකත් වැඩි වෙලා. ඒක බලන්න දැන්ම එන්න" ඇය කිව්වා. මගේ ඔලුව, පැය 24ක් ඇතුළත දෙවන වරටත් කැරකෙන්න පටන්ගත්තා.

මම පාසලට ගිහින් බැලුවාම වැඩේ හරි. Rank එක 69ට වැඩි වෙලා. Z score එක 1.9833 වෙලා. ලබාගත්ත ශ්‍රේණි නම් වෙනස් වී නැති බව කලින්ම පාසලට දැනුම් දී තිබුණා.

ඔන්න ඔහොමයි පහුගිය දවස් ටිකේ මට වෙච්ච සිද්ධි සමුදාය.

"පිස්සු හැදෙන සඳ" කියන්නෙ මේ වගේ වැඩ වලට වෙන්න ඇතැයි කියා හිතෙනවා. කොහොම වුණත් මේ දින ටික ගතකරන්න මට උදව් වෙච්ච හැම දෙනාම, මගේ යහලුවන්, දෙමාපියන් හා විශේෂයෙන්ම අත්තම්මා මම ආදරයෙන් සිහිපත් කරනවා. නාට්‍යයේ අවසානය යහපත් එකක් වීම විශේෂයෙන්ම ගෙදර කට්ටියට ලොකු අස්වැසිල්ලක් වුණා.

අවසානම වශයෙන් කියන්න තිබෙන්නෙ මේකයි. මම ජීවත් වූ අවුරුදු 20 තුළදී මට කරුණු කිහිපයක් පමණක් හරියට වැටහී තිබෙනවා. එකක් තමයි ඔබ මා ඇතුලු සියලුම මිනිසුන් ජීවත් වෙන්නෙ සතුට වෙනුවෙන් බව. කෙනෙකුට සතුට ලැබන්නෙ ක්‍රම දෙකකට. පළමුවැන්න, සින්දුවක් ඇසීම වැනි තාවකාලික සංසිද්ධියකින් නැතහොත් අත්දැකීමකින්. දෙවැන්න, තම දිවියේ අරමුණු සාක්ෂාත් වීම වැනි දීර්ඝකාලීන උත්සාහයක ප්‍රතිඵල වශයෙන්. මෙම කිසිවක් ඉටු නොවුණ තැන තමාට ලැබෙන්නෙ කුමක්ද? ඒ දුක පමණයි. ආශාවන් අඩුවන තරමට, තණ්හාවන් අඩුවන තරමට දැනෙන දුක අඩුයි. මට ඒක පසුගිය දවස් දෙක තුනේ තදින් ම දැනුණා.

කෙනෙකුගේ ප්‍රයත්නය විය යුත්තෙ ආශාවන් හැකිතරම් අඩුකරගෙන තමන්ට එදිනෙදාට නියමිත කාර්යය හරියට, තමාට ගැළපෙන පරිදි ඉටුකරකර ගැනීමයි. ඒ අතරෙම තමන්ගෙ අරමුණක් (දීර්ඝකාලීන හෝ) ඉටු නොවුණ තැන, තමන්ගෙ සිහින රාජ්‍යයක් බිඳ වැටුණු තැන එම සංසිද්ධිය උපේක්ෂාවෙන් යුතුව බාරගැනීමේ ගතිගුණයක් තමන් පුරුදු පුහුණු කර තිබීම අවශ්‍යයි. එවැනි තැන් අනාගතයේ ඔබට පමණක් නොව මට ද උදාවනු ඇති. නමුත් මේ සියල්ලටම නිත්‍ය පිළියම ආශාවන් හැකිතරම් අවම කිරීමම තමයි. විශ්මයට කරුණ වෙන්නෙ බුදුරජාණන් වහන්සේ සාරාසංඛ කල්ප ලක්ෂයක් අවුරුදු ගවේෂණය කොට අවබෝධ කරගත් සනාතන ධර්මතාවත් එයම වීමයි. බුදුරජාණන්වහන්සේගේ හා මා අතර වෙනස වන්නේ මම එම සත්‍යය ඡායා මාත්‍රයක් පමණක් ලෙස දැකීමත් උන්වහන්සේ එය ඉතා නිවැරදිව, සෑම මොහොතකටම, සංසිද්ධියකටම ඉතා ප්‍රායෝගිකව යෙදිය හැකි තරමට අවබෝධ කරගෙන තිබීමත් පමණයි. නමුත් ඒ දෙක අතර තිබෙන වෙනස අහසට පොළොව තරම් වන බව අමුතුවෙන් කිවයුතු නැහැ.

මම මෙය දැන්ම ලියාතැබීමට එක් කරුණක් හේතු වුණා. ඒක මෙහෙමයි. සත්‍යය සාමාන්‍ය කෙනෙකුට නිවැරදිව පෙනෙන්නෙ ඉතා සුලු මොහොතකට පමණයි. එනිසා ඒ මොහොත තුළ එය වටහාගෙන හැකි තරම් අවබෝධ කරගත යුතුයි. නො එසේනම් එම අවබෝධය තවත් ඇසිපිය හෙළන ක්ෂණයකින් අතුරුදන්ව නැවතත් මිථ්‍යාව නැමැති ඝන අන්ධකාරයට පුද්ගලයා ඇදවැටෙනු ඇති. මෙය ලියන මට වුවත් එය එක සේ සත්‍යයි. මන්ද මමත් තවමත් අඳුරේ හිඳ අතපත ගාන නිසා. එබැවින් මෙය කියවන හිත මිතුරන්ගෙන් මම එක ඉල්ලීමක් කරනවා. යම් දවසක මම මේ සත්‍ය මාර්ගයෙන් බැහැරව මහා පිස්සුවක් නටන්නට ලෑස්ති වනවා නම් කරුණාකර මෙම බ්ලොග් සටහනේ URL එක මට නැවත ලබා දෙන්න. ඒ තරමට ඔබට කළහැකි උතුම් වූ උපකාරයක් තවත් නැහැ.

Wednesday, July 1, 2009

පමා නොවන් සොයුර | Brother, don't be too late

අන්තර් ආගමික අධ්‍යයනය (comparative religious study) පිළිබඳ මේ දිනවල බොහෝ කරුණු අසන්නට ලැබුණද ඒ හරහා ගැඹුරු අධ්‍යාත්මික කරුණු සාකච්ඡාවට බඳුන් වූයේ ඉතා කලාතුරකිනි. ධර්මය ගැන කතාකිරීමට යාම වර්තමානයේ බොහෝ දෙනාට ලැජ්ජාවට කරුණක් වන නිසාත් යම් දෘෂ්ටියක සුවිශේෂත්වයක් පෙන්වාදීම ඇතැමුන් "ආගම්වාදය ඇවිස්සීමක්" ලෙස දකින නිසාත් මෙම ලිපියෙන් කියන්නට යන කරුණු සෑම සියලු දෙනාට එක ලෙස ප්‍රයෝජනවත් වෙතැයි මම නොසිතමි. එහෙත් ජීවිතය ගෙවාදමන සම්පූර්ණ කාලාන්තරය මුළුල්ලේ අනන්තවත් වූ ආශා සමුදාය පසුපස හඹා යාම පමණක් ජීවිතයේ එකම පරමාර්ථය නොවන බව පිළිගන්නා, බිලියන හය හමාරක් වූ මිනිසුන් අතරේ තමාට ද යම් ආකාරයක සුවිශේෂත්වයක් ඇතැයි විශ්වාස කරනා, මෙලොව මෙන්ම පරලොවක් ද ඇති බව පිළිගන්නා සෑම දෙනාම මෙම කරුණු සාවධානව අසත්වා!

ලෝකය බිහි වූ දිනයේ පටන් බොහෝ පුද්ගලයෝ "සත්‍යය" සොයා ගියහ. ඇතැම්හු තම අරමුණ සපුරා නොගෙනම මිය පරලොව ගියහ. තවකෙක් "සත්‍යය" සොයාගත්හ. ඔවුහු තමන් දැනගත් සත්‍යය ලොවට හෙළි කළහ. "සත්‍යය" සොයාගත් පුද්ගලයන් අතර අපූරු සබඳතාවක් ඔවුන්ගේ චරිත විශ්ලේශනයෙන් පැහැදිලි වේ. එනම් ඒ පුද්ගලයින් අතරින් එක් අයෙකු හැර අන් සියලු දෙනාම "සත්‍යය" සෙව්වේ තම ශරීරයෙන් පිටත බවයි. ඔවුන්ට "සත්‍යය" හමු වූයේ ඉතා දුර ඈත සිටින, නොපෙනෙන, නොදැනෙන, මහා බලසම්පන්න දෙවියෙකු සන්තකයේ තිබී ය. නමුත් "සත්‍යය" සොයා තමා තුළට ගිය පුද්ගලයා පමණක් අනෙක් "සත්‍යයන්" සියල්ලටම වඩා වෙනස් "සත්‍යයක්" සොයාගත්තේ ය. කවුරු පිළි ගත්තත්/නොගත්තත්, විශ්වාස කළත්/නොකළත් පුද්ගලයා කෙරෙහි බලපවත්වන්නා වූ "සත්‍යය" වන්නේ බාහිරව කෙරෙන බලපෑම නොව පුද්ගලයා "තුළ" පවත්නා "සත්‍යය" බැව් මධ්‍යස්ථ මතධාරී, තාර්කික බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට අපහසුවෙන් හෝ පිළිගැනීමට හැකි යැයි මම උපකල්පනය කරමි. එයට "විශ්වීය සත්‍යය" යන නම ව්‍යවහාර කෙරේ. තමා තුළ පවතින සත්‍යස සොයා ගිය එම ගවේෂකයා බුදුරජාණන්වහන්සේ පමණක් බව ඔබට දනියි. මා බුදුරජාණන්වහන්සේ දේශනා කළ මඟ විශ්වාස කරන්නෙකු වීම නිසා ද බුදුරජාණන්වහන්සේ දේශනා කළ මඟ යන්නෝ "බෞද්ධයෝ" නම්වන නිසා ද උපතින් බෞද්ධයන් වන පුද්ගලයන් පමණක් වර්තමානයේ එම "විශ්වීය සත්‍යය" දකිතැයි කීමට මා සැරසෙතැයි ඔබ සිතනු ඇත. නැත! මම එසේ නොකියමි. එසේ නොකියන්නේ එසේ කිවහොත් "බෞද්ධයන්" වන සියලු දෙනා සත්‍යයම මාර්ගය ම අනුගමනය කරන බවට වූ වැරදි අදහසක් ඔබ තුළ ජනිත වන බැවිනි. ඇත්ත කතාව නම් බෞද්ධයන්ගෙන් ද සියයට දශම එකක් වත් මෙම "විශ්වීය සත්‍යය" යනු කුමක්දැයි නොහඳුනන බව ය. "විශ්වීය සත්‍යය" නම් චතුරාර්ය සත්‍යයයි. චතුරාර්ය සත්‍යය නම් දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදෙන මඟ යන මේවා ය. විශ්වයේ පරම සත්‍යය මෙයයි. මනුෂ්‍ය ජීවිතය තුළදී මෙම සත්‍යය දැකීමේ උත්කෘෂ්ට වාසනාව "ක්ෂණ සම්පත්තිය" නම්වේ. "ක්ෂණ සම්පත්තිය" නම් මනුෂ්‍ය ජීවිතය හා චතුරාර්ය සත්‍යය හමුවීමයි.

"විශ්වීය සත්‍යය" යනු කුමක්දැයි ගවේෂණය කර, එය චතුරාර්ය සත්‍යය බව හඳුනාගෙන, ලොවට දේශනා කළ එකම ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ ය. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කළේ පර්යේෂණයකි. ඔහු ළඟට කිසිදු දෙවියෙකු පැමිණ, කණට කර, "සත්‍යය මෙන්න මේකයි. මෙය ගිහින් ලෝකයට කියන්න" කියා හොර රහසේ කීවේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ මහත් දුකක් දරා මෙය කුමක්දැයි කියා තනිවම සෙව්වේ ය. සෙව්වේ කොහේද? ඒ වෙන කොහේවත් නොවේ. විශ්වයේ ඈත කොණේ නොවේ. විශ්වීය සත්‍යය සැඟවී තිබෙන තම සිත තුළම ය. බුදුන් වහන්සේ සොයාගත් මෙම සත්‍යයේ ඇති තර්කානුකූල භාවය අසමසම ය. ඊට ළං කිරීමට වෙන කිසිවක් නැත. ඇයි එය මේ තරම් තර්කානුකූල? තර්කානුකූල වන්නේ එය මෙම සැඟවුණු "විශ්වීය සත්‍යය" බාහිර සාධකයකට, තමාට පාලනය කළ නොහැකි දෙවි කෙනෙකුට පිරි නොනමා තමා තුළම, තමාට නොපෙනෙන ලෙස සැඟවී ඇති බව ප්‍රකාශ කරන බැවිනි. මානව චින්තනයේ අග්‍රඵලය එයයි....!

එය සොයාගැනීමෙන් අනතුරුව උන්වහන්සේ ලොවට කීවේ "මම සොයාගත් සත්‍යය ඔබ ද සොයාගන්න" යන්නයි. ඒ හැර උන්වහන්සේ කිසිවෙකුටත් තමාගේ ධර්මය අවබෝධ කරගැනීම පිණිස තම අනුගාමිකයෙකු වීම අවශ්‍ය යැයි කීවේ නැත.
සැකෙවින් කිවහොත් බුදුන් වහන්සේ දේශනා කළ "චතුරාර්ය සත්‍යය" අවබෝධ කරගැනීමට "බෞද්ධයෙකු" වීම කිසිසේත් ම අවශ්‍ය නැත! ඊට හොඳම උදාහරණය නම් පසු කලෙක බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වූ උපතිස්ස, කෝලිත පරිබ්‍රාජකයන්ගේ කතාවයි. පරිබ්‍රාජක යනු එදා සමාජයේ සිටි, බුදු දහමට එරෙහි ප්‍රධානතම ආගමික කණ්ඩායමකි. එය හරියට අපේ සමාජයේ ඉස්ලාම් හෝ ක්‍රිස්තු බැතිමතෙකුට සමාන තත්ත්වයකි. ඔවුන් සෝවාන් ඵලයට පත්වන විට මහණ වීමට තබා බෞද්ධයන් වීමට වත් සිතා තිබුණේ නැත. කොයි තරම් පුදුමයක්ද? අනෙක් ආගම් වලට සාපේක්ෂව කොතරම් වෙනසක්ද? ඕනෑම කෙනෙකුට නිර්වාණ මාර්ගයට පිවිසීමට අවශ්‍ය වන්නේ තියුණු මනසකුත්, නොසැලෙන අධිෂ්ඨානයකුත් පමණි. නමුත් මේවා කියන විට සමාජයෙන් චෝදනා එල්ල වන්නේ "ආගම්වාදියා" කියා ය. එසේ කියන තාක් කල් එසේ චෝදනා කරන්නන්ට සිදුවන්නේ මඩ ගොඩේ එරි එරී, මඩ නාමින්, මඩ කමින් ම ජීවත් වීමට ය. මඩ ගොඩෙන් ගොඩ ඒමට දඟලන වාරයක් වාරයක් පාසා ඔවුනට සිදුවන්නේ තවතවත් මඩ ගොඩේ එරීම ම පමණි.

සැබැවින්ම කිවහොත් බෞද්ධ, අබෞද්ධ යනුවෙන් බුදුරජාණන්වහන්සේ කිසිවෙකුත් බෙදා දැක්වූයේ නැත. වර්තමානයේ බොහෝ බෞද්ධයන් නමට පමණක් බෞද්ධයන් වන සන්දර්භයක් තුළ, එවන් පුහු බෞද්ධයෙකු සහ අන්‍යාගමිකයෙකු අතර සැළකිය යුතු වෙනසක් බුදු සමය දකින්නේ නැත. කෙනෙකු බෞද්ධ දර්ශනය පිළිගත්ත ද, කෙනෙකු "විශ්වීය සත්‍යය" තිබෙන්නේ බුදුන් වහන්සේ කළ පර්යේෂණයේ ප්‍රතිඵල මත බව පිළිගත්ත ද එමගින් පමණක් ඔහුගේ "බෞද්ධ"භාවය සම්පූර්ණ වන්නේ නැත. ඒ සඳහා ඔහු අනිවාර්යයෙන් ලැබිය යුතු තවත් අවබෝධයක් වේ. එය ඉහත සඳහන් කළ "ක්ෂණ සම්පත්තිය"යි. ක්ෂණ සම්පත්තිය නොලැබූ බෞද්ධයා සහ දේවවාදියා යන දෙදෙනා අතර වෙනසක් නැත. සැබැවින්ම බෞද්ධ/ අබෞද්ධ ලෙස වර්ගීකරණය කිරීමට වඩා උචිතම වර්ගීකරණය ක්ෂණ සම්පත්තිය ලැබූ/නොලැබූ යන ලෙස වර්ගීකරණය කිරීමයි.

මෙහි විශේෂත්වය වන්නේ "ක්ෂණ සම්පත්තිය ලැබූ" ගණයට අයත් වීමට කෙනෙකුට බෞද්ධයෙකු වීමට අවශ්‍ය නොවීමයි. ක්ෂණ සම්පත්තිය යනු මනුෂ්‍ය ජීවිතය සහ චතුරාර්ය සත්‍යය එක් තැනකදී හමුවීමයි. සෑම බෞද්ධයෙකුම මනුෂ්‍යයෙකු වුවත් සෑම බෞද්ධයෙකුම චතුරාර්ය සත්‍යයේ වටිනාකම හඳුනන්නේ නොවේ. එසේ නොහඳුනන සියලු දෙනා මීට අනුව වැටෙන්නේ "ක්ෂණ සම්පත්තිය නොලැබූ" නැතහොත් "දුෂ්ටක්ෂණයකින් යුතු" යන පිරිස අතරටයි. මීට බුදුදහම හැරදමා කෝවිල් වල, කේන්දර වල, සායි බාබා ඇතුලු එකී මෙකී නොකී බලවේගයන්හි සරණ ගිය මෙන්ම "සෑම ආගමක්/දර්ශනයක් ම එකයි, සෑම ආගමකම අවසන් අරමුණ මෝක්ෂයයි" කියාගන්නා බක පණ්ඩිතයන් සියලු දෙනා ද අයත් වේ. එසේම පුදුමයකට මෙන් මීට අනුව, චතුරාර්ය සත්‍යයේ වටිනාකම අවබෝධ කරගත්, බෞද්ධයන් නොවන අන්‍යාගමිකයන් කිහිපදෙනෙකු ද "ක්ෂණ සම්පත්තිය ලැබූ" පිරිසට අයත් වේ. ඕනෑම කාලයක "ක්ෂණ සම්පත්තියෙන් යුතු" මිනිසුන් මෙලොව වාසය කරන්නේ ඉතාම අතළොස්සක් බව සිහිපත් කළ යුතු ය. එම මහඟු අවස්ථාව දැන් ඔබට ද උදා වී ඇත. පිළිගැනීම හෝ නොගැනීම බාර ඔබට ය. "මම ක්ෂණ සම්පත්තියෙන් යුතු කෙනෙක්ද?" යන ප්‍රශ්නය මෙය කියවන ඔබට දැන් පහළ වී තිබෙනු ඇති. එය නිර්ණය කිරීමට සරල ක්‍රමයක් ඇත. එය මෙසේ ය.
  • ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය ගැන පිළිබඳ යමක් ශ්‍රවණය වන විට එහි කුමන හෝ ආකාරයක වැදගත්කමක් දැනෙනවාද?
  • "මේ ලෝකයේ හැම දේම දුකයි" කියා කිසිවෙකු කියනු ඇසෙන විට ඔබටත් "මේ කියන දේ ඇත්ත නේ?" කියා සිතෙනවාද?
  • ඔබ අත්දුටු යම් දුකකට හේතුව ඔබ ඒ දුකට මුල් වූ කරුණට අනවශ්‍ය ලෙස ඇලුම් කිරීම බව කවදා හෝ සිතී තිබෙනවාද?
  • ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතිපට්ඨාන භාවනාව ගැන කියන විට ඒ ගැන සුලු හෝ කුතුහලයක් ඔබට ඇතිවෙනවාද?
  • එසේත් නැතිනම් අඩු තරමින් මෙම සටහන කියවන විට What a bullshit කියා නොසිතී, මේ කියන දෙයෙහි කුඩා හෝ වැදගත්කමක් ඇතැයි හැඟෙනවාද?
පිළිතුර "ඔව්" නම් ඔබට ද ක්ෂණ සම්පත්තිය ඇත!

පිළිතුර "නැත" නම් මෙම සටහන තවදුරටත් කියවීම ඔබේ කාලය නාස්ති කිරීමකි. ඔබට තවත් සිය දහස් වාරයක් මැරි මැරී ඉපදෙමින් ගොස් ඉහත කරුණු අවබෝධ වූ දිනෙක නැවතත් ධර්ම මාර්ගයට පිවිසිය හැකි වනු ඇත.

පිළිතුර "ඔව්" වුව ද කරුණු හරියාකාරව "බුද්ධියෙන්" වටහා නොගතහොත් ඔබ ලබා තිබෙන ක්ෂණ සම්පත්තිය වැඩි කලයක් යන්නට මත්තෙන් අතුරුදන්ව යාමට බැරි නැත. එබැවින් එම මහඟු සම්පත ඔබෙන් ගිලිහී යාමට නොදී පරෙස්සම් කරගන්න. මන්ද ඔබට නොසිතුනත් අති බහුතරයක් වූ මිනිසුන්ට මෙවන් කරුණු කියන විට සිතෙන්නේ "මේවායින් අපට ඇති වැඩේ මොකක්ද? මේ ඉන්න ටික කරදරයක් නැතුව, හොඳට හිටියාම ඇති, මැරුණයින් පස්සෙ අපට වෙන්නෙ මොනාද කියල කවුද දන්නෙ?" කියා පමණක් වන බැවිනි. ඔබ ලබා තිබෙන ක්ෂණ සම්පත්තිය නැති වී ගොස් ඔබේ චින්තනය ද ඉහත මතයෙන් ප්‍රතිෂ්ඨාපනය වීමට ගතවන්නේ තත්පරයෙන් දහසෙන් පංගුවකටත් අඩු කාලයකි. ඊට හේතුවක් නම් ඔබ වැඩි වැඩියෙන් සමාජය සමඟ බද්ධ වන විට, ඔබ වැඩි වැඩියෙන් ආශාවන් ඇතිකරගන්නා විට ඉහත ඔබ වටහාගත් "විශ්වීය සත්‍යය"ට වඩා "වැදගත්" කරුණු ඔබේ සිතට නැගෙන බැවිනි. සාමාන්‍ය ලෝක ස්වභාවය එයයි. සත්‍යය සෑම විටම වැසී පවතින්නේ "මිථ්‍යාව" යන ඝන අන්ධකාරයෙනි. එය දුරස් වන්නේ ඉතා සුලු වේලාවකට පමණි. කරගන්නා දෙයක් ඒ ටිකට කර නොගතහොත් නැවතත් වැටෙන්නේ ඝන අන්ධකාරයටම ය. පුදුමය නම් බෞද්ධයන්ට ද මෙය එක ලෙස සත්‍ය වීමයි. බෞද්ධයා ද මෙය සංකල්පයක් වශයෙන් තේරුම් නොගතහොත් බෞද්ධකමින් වැඩක් වන්නේ නැත. එය සිදු වීමට පෙර ඔබ වහ වහා මෙම චතුරාර්ය සත්‍ය මාර්ගයේ යම් දුරක් වත් ගමන් කළ යුතු ය. බුදුරජාණන් වහන්සේ තම අවසන් මොහොතේ ද ප්‍රකාශ කළේ "වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදෙථ" කියාය. එහි තේරුම "සියලු සංස්කාර ධර්මයෝ නැසෙනසුලු ය. වහා කරුණු සම්පාදනය කරගන්න" යන්නයි. (ඇතැමුන් මෙහි අවසන් පාඨය, "නොපමාව කුසල් දම් හි නිරතවන්න" ලෙස වෙනස් කිරීමට උත්සාහ දරනු පෙනේ. මෙය සම්පූර්ණ වැරදි ය. කුශලකර්ම යනු ජීවිතයේ තාවකාලික සැපයට හේතුවන කරුණු වුවද නිවන් අවබෝධය ලැබීමට නම් කුශලකර්ම ද ප්‍රහාණය කළ යුතු ය. විදර්ශනා නොවඩා දිගින් දිගටම කුශලකර්මයන්හි පමණක් නිරත වෙමින් සිටීමෙන් සිදුවන්නේ සසර තව තවත් දීර්ඝ වීම පමණි. බුදුරජාණන් වහන්සේ එය අනුමත කළේ නැත) . "කරුණු සම්පාදනය කරගන්න" යන්නෙහි සැබෑ තේරුම නම් චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය යන මේවා අධ්‍යයනය කොට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ජීවත් වී, සතර සතිපට්ඨානය ඇතුලු විදර්ශනා වඩන්න යන්නයි. පැවිදි නොවූ කෙනෙකුට මේ සඳහා මහා නිදහසක් නොමැති වුවද හැකි උපරිමයෙන් එය කරන මෙන් බුදුන් වහන්සේ දේශනා කළ සේක. ජීවත් වන සෑම කෙනෙකුගේම අරමුණ විය යුත්තේ කෙසේ හෝ සෝවාන් වීමයි. මන්ද අපායගාමී වී මහා දුක් විඳීමට සිදු නොවන බවට සහතිකයක් ලැබන්නේ එවිට පමණක් වන බැවිනි. යමෙකු ජීවත් වන කාලයේ ඉතා යහපත් ලෙස ජීවත් වුවද අත්වැරදීමකින් සිදුවන සුළු පාපයක් නිසා කළ හොඳ සියල්ල වැළලී ගොස් අපායගාමී වීමට ඉඩ ඇති බැවිනි ඒ. සෝවාන් වීම සඳහා පැවිදි වීමට අවශ්‍ය නැත. අඩුතරමින් බෞද්ධයෙකු වීම වත් ඊට ඇවැසි නොවේ. ඒ බව උපතිස්ස-කෝලිත නිදර්ශනයෙන් පැහැදිලි වේ. බුදු සමයේ බොහෝ දෙනා මහණ වූයේ සෝවාන් වීමෙන් අනතුරුවයි. එසේම සෝවාන් වී මහණ නොවූ පිරිස ද අති විශාල ය.

මෙතැන් පටන් ලිපිය ප්‍රගමනය වන්නේ ගිරිමානන්ද සූත්‍රය පාදක කරගෙන ය. ගිරිමානන්ද සූත්‍රය යනු ගිරිමානන්ද හිමියන් රෝගාතුර වූ අවස්ථාවේ උන්වහන්සේ සුව වීම උදෙසා ආනන්ද තෙරුන්ට කීමට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මයයි.

චතුරාර්ය සත්‍ය මාර්ගයේ ගමන් කිරීමට සුලු හෝ අදිටනක් ඇතිකරගත් ඔබට එය පටන්ගැනීමට ස්ථානයක් (starting point) මෙම සූත්‍රයෙන් විස්තර කෙරේ. මෙහි එන්නේ චතුරාර්ය සත්‍ය මාර්ගයේ ගමන් ගන්නා "සිහි බුද්ධිය ඇති" පුද්ගලයාට තම ජීවිතය දෙස බැලීම සඳහා (ජීවිතය අධ්‍යයනය කිරීමට) බුදුරජාණන්වහන්සේ දේශනා කළ ක්‍රම/ආකල්ප දහයකි. ඒවා නම්,
  1. අනිත්‍ය සංඥා - ජීවිතය අනිත්‍ය වශයෙන් බලන ක්‍රමය. ශරීරය රූපයක්, රූපය අනිත්‍ය දෙයක් ලෙස සිතන්න.ඇසට යම් රූපයක් ගැටුණු විට, කණට යම් ශබ්දයක් ඇසුණු විට, නාසයට යම් ගන්ධයක් දැනුණු විට, දිවට යම් රසයක් දැනුණු විට, සමට යම් ස්පර්ශයක් දැනුණු විට, මනසට යම් හැඟීමක් දැනුණු විට විඳීමක් හටගනී. ඒවා අනිත්‍ය (වැඩිකල් නොපවතින, අස්ථිර) ලෙස දකින්න.
  2. අනත්ථ (අනාත්ම) සංඥා - මේ ලෝකයේ කිසිවක් තමාට අයත් නැත. ඔබේ ජීවිතයට වත්, ඔබේ ඇසට වත්, ඔබේ කණට වත්, ඔබේ නාසය වත්, ඔබේ දිවට වත්, ඔබේ ශරීරයට වත්, ඔබේ මනසට වත් ඔබට අයිති නැත! ඒවාට අයිතිකාරයෙක් ද නැත. නමුත් අප ඒවාට බැඳී සිටින නිසා අප සිතන්නේ ඒවා අපේම කියාය. ඇසට රූපයත්, කණට ශබ්දයත්, නාසයට ගන්ධයත්, දිවට රසයත්, සමට ස්පර්ශයත්, මනසට සිතුවිල්ලත් බැඳතබන රැහැන වන්නේ ආශාවයි. එම රැහැන කපා දැමූ විට ඒවා නිදහස් වේ. එකෙණෙහි ම ඉපදීම හා මරණය ප්‍රමුඛ සංසාර චක්‍රය ද අවසන් වේ.
  3. අසුබ සංඥා - මිනිසා ලෝකය සෑම විටම දකින්නට පුරුදු වී සිටින්නේ සුබ දෙයක් ලෙසයි. උදාහරණයක් ගමු. වෙළෙන්දෙකුට ඇඳුමක් විකුණාගැනීමට අවශ්‍ය වූ විට එය අන්දන්නේ සුබ සංඥාවකටයි. වෙළෙන්දෙකුට ආභරණයක් විකුණාගන්නට අවශ්‍ය වූ විට එය පළන්දන්නේ සුබ සංඥාවකටයි. වෙළෙන්දෙකුට වාහනයක් විකුණාගැනීමට අවශ්‍ය වූ විට ඊට හේත්තු කරන්නේ සුබ සංඥාවකි. මෙහිදී සුබ සංඥාව කුමක්දැයි පැවසීම අවශ්‍ය නොවේ. නමුත් සැබෑ බුද්ධිමය ප්‍රාතිහාර්යය වන්නේ මෙම සුබ සංඥාව අනෙක් පැත්ත හැරවීමයි. එනම් ඒ තුළ ගැබ්ව පවතින අසුබ පැත්ත, දුක්ඛිත පැත්ත විනිවිද දැකීමයි. නිකමට සිතන්න, කාන්තාවගේ කොණ්ඩය ගැන කොතරම් කවියන් කවි ලියා ඇත්ද? කාන්තාවගේ ඇස් ගැන කවියන් කොයි තරම් කවි ලියා ඇත්ද? කාන්තාවගේ පියයුරු ගැන කවියන් කොයි තරම් කවි ලියා ඇත්ද? කාන්තාවගේ ඉඟසුඟ ගැන කවියන් කොයිතරම් නම් කවි ලියා ඇත්ද? මෙම සියල්ලන්ම කළේ මෙම ශරීරය වර්ණනා කිරීමයි. ඔවුන් අදත් කරන්නේ එයමයි.බුදුරජාණන්වහන්සේ මේ සියල්ලට පිළිතුරු දුන්නේ එක් අකුරකිනි. "චී...................." බුදුන් වහන්සේ දේශනා කළේ ඇත්ත ඇති සැටියෙන් දකින ලෙසයි. කුණුගොඩ කුණුගොඩක් ලෙස දකින ලෙසයි!
  4. ආදීනව සංඥා - තමාට සිදුවන සෑම දුක් කරදරයක්ම වන්නේ තමාට ලැබී තිබෙන ශරීරය නිසාය යන වග ඔබ තේරුම්ගත යුතුය. ඔබට ලෙඩරෝග හැදෙන්නේ, ඔබට සීතල දැනෙන්නේ, ඔබට දහඩිය දමන්නේ, මෙකී නොකී සියලු දුක් කරදර රෝග පීඩා ඇතිවන්නේ ඔබේ ශරීරය නිසා ය. ශරීරය නොතිබ්බා නම් ඔබට කිසි දුකක් නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේවා "හිතන්න...." කියා ය.
  5. පහාණ සංඥා - ඉහත කරුණු දෙස බලන විට ඔබ පත්ව සිටින්නේ මහා අවුලකට බව ඔබට තේරුම් යා යුතු ය. ඔබ පත් වී සිටිනා අවුල ලිහාගත යුත්තේ ඔබම ය. ඒ සාඳහා ඔබ ඔබ තුළ උපන්නා වූ කාම විතර්කය ප්‍රහාණය කළ යුතුය. ආස කරන රූප, ආසන කරන ශබ්ද, ආස කරන ශබ්ද, ආස කරන රස, ආස කරන ස්පර්ශ ගැන හැඟීම් ඇති වූ විට ඒවා ගැනම නැවත නැවත සිතමින් සිටීමට ඔබ කැමතිය. ඔබට ඔබ පත්ව සිටින දුකින් නිදහස් වීමට නම් එය නැවැත්විය යුතුය. බැහැර කළ යුතුය. දුරුම දුරු කළ යුතුය. නැවත ඇතිවන්නට ඉඩ නොදිය යුතුය. මෙය කළ නොහැකි නිසාමයි හැම කෙනෙක්ම දුකින් දුකට පත් වෙන්නේ. එසේම ඔබ තුළ පහළ වූ ව්‍යාපාද විතර්කය ද ඔබම ප්‍රහාණය කළ යුතුය. අසවලා මට බැන්නා, අසවලා මට කතන්දර හැදුවා, අසවලා මට නින්දා කළා, අසවලා මා නොසලකා හැරියා යනාදී අදහස් ඇතිවන විටම බැහැර කර දුරුම දුරු කළ යුතුය.
  6. විරාග සංඥා: සාමාන්‍ය ජීවිතයේ අප වඩාත් ප්‍රිය කරන්නේ රාගයටයි. උපරිම සැපය රාගය යැයි සිතීමට අපි පුරුදු වී සිටිමු. නමුත් සැබෑවටම එය මිථ්‍යාවකි. රාගයේ අවසන් ප්‍රත්ඵලය දුකකි. සැබෑ සැපය තිබෙන්නේ රාගී වූ සියලු සංස්කාර දුරු කළ (තණ්හාව ක්ෂය කළ) විරාගී වූ නිවනෙහිම පමණක් බව අප සිහි කළ යුතුය. නමුත් විරාගය එක් වරම ඇතිවන්නේ නැත. ඊට ප්‍රථමයෙන් ඔහුට කළකිරීම ඇතිවිය යුතුය. කළකිරීම එක්වරම ඇතිවන්නේ නැත. ඊට පළමුව ඔහුට යථාභූත ඥාණය (ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ නුවණ) ඇතිවිය යුතුය. ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ නුවණ එක්වරම ඇතිවන්නේ නැත. ඊට පළමුව ඔහුට සමථයත් විදර්ශනාවත් වැඩිය යුතුය. කෙනෙකුට ලැබිය හැකි උපරිම සැපය විරාගයයි. විරාගයේ ලක්ෂණ කිහිපයකි. අප සාමාන්‍ය ජීවිතයේ ඕනෑම දෙයක් විඳිද්දී අපේ ශරීරය පඨවි-තද ගතිය, ආපෝ-තෙත් ගතිය, තේජෝ-උණුසුම, වායෝ-වායුමය ස්වභාවය යන සතර මහා භූතයන්ගෙන් එකක් හෝ වැඩි ගණනක් හෝ, ඇස, කණ, දිව, නාසය, සම, මනස යන ඉන්ද්‍රීය සයෙන් එකක් හෝ වැඩිගණනක් හෝ, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු වලින් එකක් හෝ වැඩි ගණනක් හෝ, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයෙන් එකක් හෝ වැඩි ගණනක් හෝ, මෙලොව හෝ පරලොවට ඇසුරු කරගෙන පවතී. නමුත් නිවන මේ එකක් වත් ඇසුරු කරගෙන නැත. නමුත් කිසිවක්ම නැති බව නොවේ. එතැන යම් සංඥාවක් (හඳුනාගැනීමක්) පවතී. එම සංඥාව හඳුන්වන්නේ 'විරාග සංඥාව' යන නමිනි. විරාගය යනු ඉහත කී කිසිවක් සමඟ නොඇලී, නොගැටී සිටීමයි.
  7. නිරෝධ සංඥා: නිරෝධ සංඥාව යනු සියලු ඇලීම් නිරෝධනය කිරීමයි. නිරෝධනය කිරීම යනු දුරු කිරීමයි. මෙහි අරමුණ වන්නේ නිවන සාක්ෂාත් කරගැනීම ය. නිවන යනු කුමක්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සිව් මහා ධාතු, ආකාස ධාතුව, විඤ්ඤාණ ධාතුව, මෙලොව, පරලොව, ආකාසඤ්ඤායතන, ආකිඤ්චායතන යනාදී කිසිදු දේකට නොබැඳී නිදහස්ව, නිවහල්ව සිටීම නිවනයි. තව ද සමථයත්, විදර්ශනාවත් තුලින් යථාභූත ඥාණය (ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ නුවණ) ඇති වී, ඇත්ත ඇතිසැටියෙන් දැකීම හරහා කළකිරීම ඇතිවී, කළකිරීම නිසා ඇල්ම දුරු වී, ඇල්ම දුරු වීම නිසා තණ්හාව ක්ෂය වී, තණ්හාව නැති කිරීමෙන් ලබන අත්දැකීම නිවන නම් වේ.
  8. සබ්බ ලෝකේ අනභිරථ සංඥා: සෑම ලෝකයක් පිළිබඳව ම ආශාව දුරු කරගැනීම මෙමගින් අදහස් වේ. සැකෙවින් කිවහොත් එහි අභිප්‍රාය ඊළඟ මොහොත ගැන ආශාව දුරු කිරීමයි. "ජීවත් වන තුරාවට බලාපොරොත්තුවක් ද ඇත" යනුවෙන් කියමනක් ද වේ. මෙය සත්‍ය ය. එබැවින් මෙහිදී අප උත්සාහ ගත යුත්තේ ඉපදීම වැලැක්වීම සඳහා "බලාපොරොත්තුව" නැති කිරීමයි. හෙට දවසේ මගේ රාජකාරිය සාර්ථක වේවා, මරණින් මතු මට හොඳ තැනකට යන්නට ලැබේවා යනාදී "බලාපොරොත්තු" නැතිකර දැමීම මින් අදහස් වේ. නිර්වාණාවබෝධය සඳහා එය ඉතා වැදගත් වේ. මන්ද අප ජීවත් වන්නේ "බලාපොරොත්තු" නිසා වන හෙයිනි.
  9. සබ්භසංඛාරේසු අනිච්ච සංඥා: මෙහි අර්ථය නම් සියලු සංස්කාර (හේතු නිසා හටගත් දේ) පිළිබඳ අප්පිරියාවක්, හිරිකිත බවක්, පිළිකුළක් ඇතිකරගැනීමයි. අප සංසාරයේ සැරිසරන්නේ අපට අප වටා පවතින දේවල් පිළිබඳ අප්පිරියාවක්, හිරිකිතයක්, පිළිකුළක් නැති නිසා ය. එසේ පිළිකුළක් ඇති වීම සසර දුකින් නිදහස් වීම සඳහා මහත් ප්‍රයෝජනවත් වේ.
  10. ආනාපානසති: ආනාපානසතිය යනු සිහිය පිහිටුවාගැනීමයි. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවකි. සෑම දෙනාටම මෙය එකම ආකාරයෙන් කළ නොහැක. සැබැවින්ම කිවහොත් මෙය සැබෑ බුද්ධිමතුන්ට පමණක් වැටහෙන ක්‍රමයකි. බුදුරජාණන් වහන්සේම දේශනා කළපරිදි මෙය සෑම කෙනාටම කීමට සුදුසු නොවේ. එසේ සුදුසු නොවන්නන්ට අනුගමනය කිරීමට වෙනත් ක්‍රම ඇත. ආනාපානසතිය වඩන කෙනෙකුට ඉතාම සුදුසු ක්‍රමය නම් තමාගේ හුස්ම ඉහළ පහළ යාම පිළිබඳ කල්පනාවෙන් සිටීමයි. නිවැරදිව, එක දිගට මෙම භාවනාව පුරුදු කළහොත් මේ හරහාම කෙනෙකුට නිවන් දැකිය හැක. එහි පියවර මෙසේ ය.
  • භාවනානුයෝගියා තම දීර්ඝ ආශ්වාසයන්, දීර්ඝ ප්‍රශ්වාසයන්, කෙටි ආශ්වාසයන්, කෙටි ප්‍රශ්වාසයන් පිළිබඳ ඉතා හොඳින් හිහිය පිහිටුවාගනී.
  • එවිට ඔහුගේ සිහිය වැඩීමට පටන්ගනී.
  • ආශ්වාස, ප්‍රාශ්වාස සැහැල්ලු වෙමින් යයි
  • සිත එකඟ් වීමට පනට්ගනී.
  • සිත එකඟ වීමට පටන්ගත් විට සිතට සනීපයක් ඇතිවේ. (මෙය සමාධිය නම්වේ)
  • එවිට ඔහුගේ සිතට ප්‍රීතියක් ඇතිවේ.
  • ප්‍රීතිය ගැන තේරුම් ගනිමින් ඔහු ආශ්වාස ප්‍රශ්වාස කරයි.
  • සිතට මෙන්ම කයට ද මහා සැපයක් දැනීමට පටන්ගනී. මෙවිට භාවනානුයෝගියා ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ තම සිහිය නැතිවී යාමට ඉඩ නොදිය යුතුය. (මන්ද සිතට හා ගතට සැපයක් දැනෙන විට මූලික අරමුණෙන් ඔහු ඉවතට යාමට ඉඩ ඇති බැවිනි).
  • හුස්ම රැල්ල පිළිබඳ අදහස නොව ප්‍රීතියත් සැපයත් ඔහුට ප්‍රකටව පෙනේ.
  • හඳුනාගන්නා දේ, විඳින දේ පිළිබඳ ඉතා හොඳ අවබෝධයෙන් ආශ්වාස ප්‍රශ්වාසය දිගටම කරයි.
  • හඳුනාගන්නා දේත් විඳිනා දේත් ක්‍රම ක්‍රමයෙන් සන්සිඳෙමින්, නැතිවෙමින් යයි. කල්පනාව, සිහිය යන දෙකම ආශ්වාස ප්‍රශ්වාසය යන එකම අරමුණ ඔස්සේ දියුණු වේ.
  • දැන් ඔහුට සිත බලවත් වන විට කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විචිකිච්ඡා, උද්ධච්ච කුක්කුච්චයෙන් යන පංච නීවරණයෙන් තොර වේ.
  • ඔහු ආශ්වාසයේ, ප්‍රශ්වාසයේ අනිත්‍යය දකී, ප්‍රීතියේ, සුඛයේ, වේදනාවේ, සිතේ යන සියල්ලේම අනිත්‍යතාව දකී.
  • අනිත්‍යතාව දකිමින් දිගටම ආශ්වාස ප්‍රශ්වාස කරයි.
  • ආශ්වාස ප්‍රශ්වාස යනු අවිද්‍යාව මුල් කරගෙන පැවති දෙයකි. මෙහි අවිද්‍යාව නම් ආශ්වාස ප්‍රශ්වාස යන දෙකෙහි අනිත්‍යතාවයි. ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ අවධානය යොමු කිරීම නිසා ඇති වූ සැහැල්ලුව අනිත්‍ය බව ඔහුට පෙනේ, ඉන් ඇති වූ ප්‍රීතියත් අනිත්‍ය බව ඔහු දකී.
  • මේ වනවිට පුද්ගලයා අවිද්‍යාව හේතුවෙන් හටගත් සංස්කාර අවිද්‍යාවෙන් හට නොගන්නා මට්ටමට ප්‍රඥාව දියුණු කර ඇත.
  • මෙය සිහි කරමින් යන විට අවසානයේදී ඔහුට එක් කරුණක් වැටහේ. එනම් ආශ්වාස ප්‍රශ්වාසය අයත් වන්නේ දුකටයි.
  • දුක කෙරෙහි ඔහු කළකිරේ.
  • ආනාපානසතිය කෙරෙහි ඇති වූ ඇල්ම දුරු වේ. ප්‍රීතිය ගැන තිබූ ඇල්ම දුරු වේ. සිත ගැන තිබූ ඇල්ම දුරුවේ.
  • ටිකෙන් ටික තණ්හාව දුරු වෙමින් යයි. ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි තිබූ ඇල්ම දුරු වෙමින් යයි. තණ්හාව නිරුද්ධ වීම දකිමින් ඔහු දිගටම අශ්වාස ප්‍රශ්වාස කරයි.
  • මේ වනවිට අනාපානාති භාවනාව මුල් කරගෙන ඔහු ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩා අවසන් වේ. එනම් පුද්ගලයා නිවන් දකියි..........

මෙය සමථ භාවනාවක් වූ ආනාපානසතියෙහි පිහිටා විදර්ශනාව වඩන ආකාරය මෙයයි. මෙම කරුණු දහයෙන් අවසන් පහ සංකීර්ණත්වයෙන් ඉතා අධික බව ඔබට තේරුම් යා යුතුය. නමුත් පහසු තැනින් ආරම්භ කර ඉදිරියට ගමන් කිරීමෙන් ඔබට ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වේ.

- සමාප්තයි -
යාවජීව පිචේ බාලෝ පණ්ඩිතං පයුරුපාසතී
නසොධම්මං විජාණාති, දබ්බී සූපරසං යථා
මොහොත්තම් පිචේ විඤ්ඤූ පණ්ඩිතං පයුරුපාසතී
ඛිප්පං ධම්මං විජාණාති, ජිව්හා සූපරසං යථා
අඥාණයෙකු දිවි තිබෙන තුරාවට නුවණැත්තෙකු ඇසුරු කළ ද ඔහු ධර්මය නොදකින්නේ හරියට සූපයෙහි රස නොදන්නා හැන්දක් මෙනි.
ප්‍රඥාසම්පන්න මනුෂ්‍යයා එක මොහොතක් නුවණැත්තෙකු ඇසුරු කරයි ද ඔහු වහ වහා ධර්මය අවබෝධ කරගන්නේ හරියට ව්‍යංජන රසය වහා දැනගන්නා දිවක් මෙනි.

ඔබ හැන්දක් ද නැතිනම් දිවක්ද?
තීරණය ඔබට බාරයි.

- ගිරිමානන්ද සූත්‍රයේ අර්ථ විමසුම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ධර්ම දේශනයක් ඇසුරිනි -

Thursday, June 18, 2009

මානව ඉතිහාසයේ මහා බොරුව මෙය ද?

මෙම ලිපියට හේතුපාදක වන්නේ අධ්‍යාපනික විශ්ලේෂනයක් (Academic Analysis), නැතහොත් තර්කයක් (Argument) විනා කිසිවෙකුගේ විශ්වාස හෝ ඇදහීම් වලට අගෞරව කිරීමේ යටි අරමුණක් නොවන බව කරුණාවෙන් සලකන්න......

මෙම ලිපිය ලිවීමට මා යොමු කළේ මෑතකදී නරඹන්නට යෙදුණු එක්තරා වීඩියෝ දර්ශන පෙළකි. මේ ලිපිය අවසානයට අමුණා ඇති ඒවා ඉතා වධානයෙන් නරඹන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිමි. නැරඹීමට කලින් ඒවා කුමක් සම්බන්ධවදැයි දැන සිටීම වැදගත් වේ යැයි සිතිය හැක.

මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ ක්‍රිස්තියානි දහමේ උපත සහ අරමුණයි. ක්‍රිස්තියානිය යනු ඒක දේවවාදී ආගමක් (Monotheism) ව
න අතර එයට අනුව දෙවියන්ගේ පණිවුඩය මෙලොවට රැගෙන ආවේ එක් දූතයෙකු විසිනි. එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. මෙය බයිබලයේ එන කතාවයි. බොහෝ දෙනා මෙය නැවත විමසීමකින් තොරව පිළිගනිති.

නමුත් ගැඹුරට අධ්‍යයනය කරන කල මතුපිටින් පෙනෙන දෙයට වඩා ඉතා ගැඹුරු යමක් මෙහි ගැබ්ව ඇති බව පෙනේ. විශේෂයෙන්ම මෙහිදී
සංවාදයට බඳුන් වන්නේ "ජේසුස්" (Jesus) යන චරිතයේ පැවැත්මයි (එතුමන්ගේ ඉගැන්වීම් නොවේ). සැබැවින්ම දෙවියන්වහන්සේගේ පණිවුඩය රැගෙන ජේසුස් ක්‍රිස්තුස් (Jesus Christ) කියා කෙනෙකු මෙලොව පහළ වූවාද?

ඉදිරිපත් වී ඇති සාක්ෂි සහ සාධක අනුව පැහැදිලිව පෙනෙන කරුණ නම් එවන් කෙනෙකු කිසි දිනෙක මෙලොව වාසය කළේ නැති අතර එම චරිතය හුදෙක් පුරාණ ඊජිත්තු මිථ්‍යා කතා (Egypt Mythology) සහ ජ්‍යොතිෂ්‍යය මත පදනම් වූවක් බවයි....!

එසේ නම් මෙම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ යන චරිතය එන්නේ කොහෙන්ද? විශ්වාස කිරීමට අපහසු වුවත් අධ්‍යයනයන්ගෙන් හෙළිවන කරුණ නම් ඒ අන් කිසිවක් නොව සූර්යයා හෙවත් "හිරු දෙවියන්" බවයි. දැන් අපි ඍජුවම මාතෘකාවට පිවිසෙමු.

පුරාණ ඊජිත්තු ශිෂ්ඨාචාරය දේව වන්දනාව ඉතා බහුලව සිදු වූ තැනකි. එහි ආරම්භය ක්‍රි.පූ 3150 තරම් ඈත අතීතය දක්වා දිවයයි. පුදුමයකට මෙන් පුරාණ ජ්‍යොතිෂ්‍යයේ ආරම්භය ද සනිටුහන් වන්නේ එම කාලයේ ය. ඊජිත්තු මිථ්‍යා කතා වලට අනුව එහි හිරු දෙවියා "හෝරස්" නම් වේ. හෝරස්ගේ ප්‍රධාන විරුද්ධවාදියා සෙට් (Set) ය. සෙට් යනු අන්ධකාරයයි. මිථ්‍යා කතා ලෝකයේ අද්විතීයම අරගලය වන්නේ ආලෝකය (හිරු) ට එරෙහිව අන්ධකාරය, නැතහොත් හොඳ ට එරෙහිව නරක යි. මේ අනුව "හෝරස්" නියෝජනය කරන්නේ යහපතයි. හෝරස්ගේ චරිතයේ එන වැදගත් ලක්ෂණ කිහිපයක් මෙසේ ය.
  1. කන්‍යාවකට (Virgin) දාව උපත ලබයි.
  2. උපත ලබන්නේ දෙසැම්බර් 25ට අනුරූප දිනකදී ය.
  3. ඔහු උපත ලබන මොහොතේ නැගෙනහිර අහසේ දීප්තිමත් තරුවක් පායා තිබුණේය.
  4. උපත ලැබූ විගස රජවරු තිදෙනෙක් පැමිණ ඔහුට සත්කාර කළෝය.
  5. අවුරුදු 12ක් වන විට ඔහු ගුරුවරයෙකි.
  6. වයස 30 දී ඔහු ශුද්ධ වූ තත්ත්වයට පැමිණිනි (Baptized).
  7. ප්‍රධාන අනුගාමිකයන් ගණන 12කි.
  8. ජීවිත කාලය මුළුල්ලේ විශාල වශයෙන් අරුම පුදුම දෑ (මායා බලයෙන් ලෙඩ සුවකිරීම වැනි) කළේය.
  9. පාවාදීමකින් අනතුරුව කුරුසියේ තබා ඇණ ගසන ලදී (Crucified).
  10. මරණයෙන් අනතුරුව නැවත නැගිට සිටියේ ය (Resurrected).
මිථ්‍යා කතා වල ලක්ෂණයක් වන විවිධ අර්ථදැක්වීම් පැවතීම මෙහිදී ද දක්නට ලැබුණද ඉහත අවස්ථා, "හෝරස්"ගේ ජීවිතයේ සන්ධිස්ථාන ලෙස ගැනේ. මේ ලැයිස්තුව කියවාගෙන යන විට ඔබට මතක් වන්නේ කුමක්ද? වැරදීමකින් තොරවම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයයි. පුදුමයකට මෙන් මෙම සමානතාවන් හෝරස්ගේ හා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයන්ට පමණක් සීමා නොවේ. ග්‍රීක මිථ්‍යා කතාවන්හි එන "ඇටිස්" නැමැති දෙවියා (ක්‍රි.පූ 1200), ඉන්දියාවේ ක්‍රිෂ්ණ දෙවිඳුන් (ක්‍රි.පූ. 900), ග්‍රීසියේ ඩයනයිසිස් (ක්‍රි.පූ.500), පර්සියාවේ මිත්‍රා (ක්‍රි.පූ 1200) යන චරිත ද මේවාට අඩු වැඩි වශයෙන් සමානකම් දක්වයි. නමුත් ඒ සියල්ලේ පොදු මූලය නම් ඊජිත්තුවේ "හෝරස්" ය.

දැන් මතුවන ගැටලුව නම් මේ සියල්ල මෙසේ සමානකමක් දැරීමට හේතුව කුමක්ද යන්නයි. මේ අරුම පුදුම සිදුවීම් අනුපිළිවෙලේ මේ තරමට තිබෙන වැදගත්කම කුමක්ද?

පුදුමයකට මෙන් ඊට හේතුව සැඟවී තිබෙන්නේ සූර්යයාගේ චලිතය තුළයි. තවත් සැකෙවින් කිවහොත් ජ්‍යොතිශාස්ත්‍රය තුළයි. ජ්‍යොතිෂ්‍යය යනු මුලුමනින්ම සූර්යයා හා ඒ වටා පිහිටි ග්‍රහයන්ගේ චලිතය මත පදනම් වූ සිද්ධාන්තයකි (සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත්!). ඊජිත්තු ශිෂ්ඨාචාරය ජනිත වී හෝරස් චරිතය බිහිවන විට ඊජිත්තු ජ්‍යොතිශාස්ත්‍රඥයන් (නැතහොත් තාරකා විද්‍යාඥයන්. එම කාලය වනවිට ජ්‍යොතිශාස්ත්‍රය සහ තාරකා විද්‍යාව යනු එකකි) අහස නිරීක්ෂණය කරමින් අගනා අධ්‍යයනයක නිරත වී සිටියහ. ඒ අනුව ඔවුනට සූර්යයාගේ හා ග්‍රහ චලිතයේ අපූරු සබඳතා රැසක් හඳුනාගත හැකිවිය.

ඔවුන් "හෝරස්" චරිතයට පණ පෙව්වේ එම ලක්ෂණ සියල්ල අන්තර්ගත කරමිනි. එනම් මෙසේ ය.
  1. ඉපදෙන මොහොතේ (දෙසැම්බර් 25) නැගෙනහිර අහසේ ඇති දීප්තිමත් තරුවක් දිස්වේ. තරුව "සීරියස්" ය. සීරියස් (Sirius) යනු අපේ අහසේ දක්නට ලැබෙන දීප්තිමත්ම තරුවයි.
  2. දෙසැම්බර් මස 25 වන දිනයේදී මහ බල්ලා (Canis Major) තාරකා රාශියේ සීරියස් තාරකාව, ඔරායන් රාශියේ බඳපටියේ තරු තුන (ඇල්නිටැක් - Alnitak, ඇල්නිලම් - Alnilam, මින්ටාකා - Mintaka) සමඟ හරි කෙලින් පිහිටයි. එක පෙළට පිහිටි මෙම තරු තුන රජ තුන්කට්ටුව (The Three Kings) ලෙස හැඳින්වේ. ඊජිත්තුවේ මහා පිරමීඩ තුන ද ගොඩනගා ඇත්තේ මෙම තරු තුනට සාපේක්ෂව ය.
  3. දෙසැම්බර් 25 වන දින මෙම තරු 4 ඔස්සේ නැගෙනහිර ක්ෂිතිජය දෙස බලාගෙන ගිය විට ක්ෂිතිජය ඡේදනය වන ලක්ෂ්‍යය එම දිනයේ හිරු උදාවන ස්ථානයයි. රජවරුන් තිදෙනා හිරු (ජේසු බිළිඳා) සොයා එන්නේ යැයි කියන්නේ මේ නිසා ය.
  4. මේ මොහොතේ අහසේ ඇති තවත් වැදගත් රාශියක් නම් කන්‍යාවක් නිරූපණය කරන කන්‍යා (Virgo) රාශියයි. Virgo යන පදයේ තවත් අර්ථයක් නම් House of Bread ය. එමෙන්ම ක්‍රිස්තුස් වහන්සේ උපත ලද බෙත්ලෙහෙම් නගරයේ තවත් අර්ථයක් ද House of Bread ය. මේරි මව් තුමිය බෙත්ලෙහෙමේදී ජේසු බිළිඳාට උපත ලබාදෙන්නේ ඒ අනුවයි.
  5. සිසිර නිවෘත්තිය (Winter Solstice) එළඹෙන්නේ දෙසැම්බර් 21-22 යන දින දෙක තුළ ය. මෙසේ එළඹුණු සිසිර නිවෘත්තිය සමඟ ඉතා වැදගත් සංසිද්ධියක් දකුණුදිග අහසේ සිදුවේ. මාස 6ක් තිස්සේ අහසේ දකුණු දෙසට ගමන් කරමින් පැවති සූර්යයා නැවතත් උතුරු දෙසට ගමන් කිරීම අරඹයි. නමුත් ඒ එක වරම නොවේ. දෙසැම්බර් 22-23-24 යන දින තුනේ දකුණු කුරුසිය (Crux හෙවත් Southern Cross) තරු රාශිය ආශ්‍රිතව නිසලව මෙන් (දෘෂ්ටි මායාවක් පමණි) පැවතී දෙසැම්බර් 25 වන දින නැවතත් අහසේ උතුරු දෙසට ගමන් කිරීම අරඹයි. ක්‍රිස්තුස් වසන්සේ "කුරුසියේ" දී මියගොස් දින 3කට අනතුරුව මරණයෙන් නැගිටීම යනු මෙයයි. මරණයෙන් නැගිටීම නැතහොත් සූර්යයා නැවත ඉහළට ගමන් කිරීම ඇරඹීම වසන්තයේ හෙවත් සෞභාග්‍යයේ ඇරඹුම සනිටුහන් කරයි.
  6. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැගිටීම සැබැවින්ම සිදුවන්නේ දෙසැම්බර් මාසයේ නොව මාර්තු මාසය ආශ්‍රිතව ය. මන්ද සැබැවින්ම වසන්ත ඍතුව උදාවන්නේ මාර්තු 21 නිසා ය. එම නිසා එම දිනය ආශ්‍රිතව Easter සමරනු ලැබේ. සශ්‍රීකත්වයේ උදාව තෙක් මරණයෙන් නැගිටීම පසුපසට ගෙන ඇත්තේ එබැවිනි.
මෙය සැබැවින්ම "පිස්සු හැදෙන" තර්කයකි. මෙය ඇසූ මුල් අවස්ථාවේම මාගේ ඇඟ කිළිපොළා ගියේය. මෙය සැබෑවක් නම් ඉන් අදහස් වන්නේ කුමක්ද? සමස්ත ක්‍රිස්තියානි දහම ම පදනම් වී ඇත්තේ පුරාතන මිථ්‍යා විශ්වාසයන් මත යන්න නොවේද? මෙම විශිෂ්ට නිර්මාණයේ සැබෑ හිමිකරුවන් වන්නේ පුරාණ ඊජිත්තු පූජකයන් ය. ජ්‍යොතිශාස්ත්‍රඥයන් මෙන්ම ආගමික මිථ්‍යා කතාවන්හි කර්තෘත්වය හිමිවන්නේ ඔවුන්ට ය. ක්‍රිස්තියානි පූජකයන් විසින් පසු කලෙක ආදර්ශයට ගෙන, නැතහොත් "කොපි කර" ඇත්තේ ඔවුන්ගේ බුද්ධිමය දේපළ වේ!

ක්‍රිස්තියානියේ සහ මිථ්‍යා විශ්වාසයන්ගේ සමානතාවන් මෙතෙකින් ද කෙළවර නොවේ. එය දැනගැනීම සඳහා මෙය නැරඹිය යුතු ය.

මෙම මතයට පොහොර දමන තවත් තර්කයක් වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පැවැත්ම තහවුරු කෙරෙන ඓතිහාසික ලේඛන වල දැඩි හිඟතාවයයි. කොටින්ම කියතොත් ක්‍රිස්තුස් වහන්සේ කියා කෙනෙකු ගැන හරියට කියවෙන්නේ බයිබලයේ පමණි. ක්‍රි.ව. 1 වන සියවසේ ක්‍රිස්තුස් වහන්සේ වාසය කළ සමයේ එම ප්‍රදේශය ආශ්‍රිතව සිටි පුරාතන ඉතිහාසකරුවන් ගණන හැට ඉක්මවයි. නමුත් ඉන් ක්‍රිස්තුස් වහන්සේ ගැන සඳහන් කර ඇත්තේ 4 දෙනෙකු පමණි. ඉන් තිදෙනෙකුගේ සටහන් වල ක්‍රිස්තුස් වහන්සේ ගැන සඳහන වචනයකට හෝ පේළි කීපයකට සීමා වන අතර අනෙක් පුද්ගලයාගේ සටහන ව්‍යාජ එකක් බව පැහැදිලිවම ඔප්පු වී ඇත. මුලින් සඳහන් කළ තිදෙනාගේ සටහන් වල "ක්‍රයිස්ට්" (Christ) යන වදන ලියැවී ඇත්තේ වෙනත් අර්ථයකින් බව අධ්‍යයනයන්ගෙන් පෙනී යයි. එම අර්ථය නම් "The Anointed One" (දෙවියන්ගේ සේවයට කැපවූ පුද්ගලයා) යන්නයි.

එසේ නම් දැන් අප පිවිසෙන්නේ කොතැනකටද?

ආගමික විශ්වාසය යනු ප්‍රබල මානසික අවියකි. ඒ හරහා කොතරම් දැඩි මනසකින් යුතු පුද්ගලයෙකු වුවද පාලනය කළ හැක. එසේම ආගමික මතවාදය යනු දේශපාලනික උපකරණයක් ද වේ. "ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් මතුවට" (බයිබලයේ එන පරිදි) එළඹුණු යුගය ආගමික හිංසනයේ සහ දේශපාලනික කෲරත්වයේ උච්චතම අවධියකි. එතැන් පටන් 15 වන සියවසෙ මැද කොටස දක්වා මුලුමහත් යුරෝපයම තිබුණේ අඳුරේ ය. The Dark Ages යනුවෙන් එම කාලය ඉතිහාසඥයන් හඳුන්වන්නේ පල්ලිය විසින් එකල සියලුම ජනයා දඬු අඬුවෙන් බැඳදමා සිටි කාලයක් ලෙසට එය සටහන් වී ඇති නිසා ය. 15 වන සියවසෙන් පසුව එළඹෙන පුනරුද (Renaissance) යුගයේදී ඩා වින්සි ලා, කොපර්නිකස් ලා, ගැලීලියෝ ලා සම්ප්‍රදායෙන් බැහැරව, පල්ලියට විරුද්ධව, බයිබලයට පටහැනිව සිතන්නට ආරම්භ නොකළේ නම් යුරෝපය හා සමස්ත බටහිරම
තවමත් අඳුරේ තිබෙනවා විය නොහැකිද?





Sunday, May 31, 2009

මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය

මේ තියෙන්නෙ මම වඩාත්ම ප්‍රිය කරන බෞද්ධ ගීතය,
වික්ටර් රත්නායකගේ
දෙව්රම් වෙහෙරේ, හිමි වැඩ සිටි සමයේ.......



මේක මට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. අහන විට ඇතිවෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බෑ. ඇත්තටම එදා හිටියා නම් කියල හිතෙනවා.....
දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.....
මා සිටියා නම්.....
සමිඳුනි ඔබ පිළිසරණ පතා, මම එමි බවඳුරු කතර ගෙවා.....

සහසක් දොම්නස් දුක්ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ.....
සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින්, නිවී නිවී යන අරුමය කිමදෝ.....

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.....
මා සිටියා නම්.....
සමිඳුනි ඔබ පිළිසරණ පතා, මම එමි බවඳුරු කතර ගෙවා.....

ජීවමානවම හිමි දැකගන්නට මා නෙත කළ පින් මඳ බව වැටහෙයි......
එහෙයින් හිමි අනුරුව අබියස සිට, බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට......


දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ.....
මා සිටියා නම්.....
සමිඳුනි ඔබ පිළිසරණ පතා, මම එමි බවඳුරු කතර ගෙවා.....
.

Wednesday, May 27, 2009

නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව

මා අද ලියන්නට යන්නේ ඉතාමත් විවාදාත්මක මාතෘකාවක් පිළිබඳව ය. සැබැවින්ම කිවහොත් මෙය කාලයක් තිස්සේ මගේ සිත තුල පැවති මතවාදී අරගලයකි. එය විසඳාගැනීමට මට බොහෝ කාලයක් ගත විය. මා මේ කියන්නට යන අදහස් කෙනෙකුට දරාගැනීමට අපහසු තරමට ඍජු විය හැක. නමුත් එය සඟවාගෙන සිටීමට වඩා කාගේ හෝ දැනගැනීම පිණිස ලියා තැබීම වටනේ යැයි මම සලකමි.

නවක වදය යනු කුමක්ද? යන පැනයෙන් අපි සංවාදය අරඹමු.

නවක වදය යනු අධ්‍යාපනික ආයතන වලට පැමිණෙන නවක සිසුන් අරභයා කෙරෙන කායික, මානසික සහ අධ්‍යාත්මික අපයෝජනයකි. නවක වදය යන්නෙහි එකම නිර්වචනය එයයි. සමාජයේ වෙනත් සංවිධාන වලට පිවිසෙන නවකයන් හට කෙරෙන අතවරයන් 'නවක වදය' ලෙස හඳුන්වන්නේ නැත. ශ්‍රී ලංකාව යන සන්දර්භය තුල බැලූ කල නවක වදය යන වදන සමඟම බැඳී ඇති තවත් වචනයකි, සරසවිය. සැබැවින්ම සරසවියෙන් පරිබාහිරව නවක වදයක් ගැන කතා කිරීම ද අපහසු කරුණකි. එබැවින් මගේ මතවාදය සමඟ 'සරසවිය' ද තදින් බද්ධ වී පැවතිය හැක.

නැවතත් අපි අපේ තේමාව දෙසට යොමු වෙමු.

ඇතැම්හු 'නවක වදය'ට අලංකාර අර්ථකථන දෙන්නට තැත් කරති. 'වදය' යන වදනින් පිළිබිඹු වන අදහස හරිහැටි ග්‍රහණය කර නොගන්නා ඔවුනට අනුව මෙය නවක හා පැරණි ශිෂ්‍යයන් අතර සුහදතාවය වර්ධනය කරගැනීමට කෙරෙන
හඳුන්වාදීමේ වැඩසටහනකි. (Orientation Program). මේ 'හඳුනාගැනීමේ වදය' හරියට බැටළු හම පොරවාගත් වෘකයෙකු වැනි ය.

එය පටන්ගන්නේ සුහද හමුවකිනි. භීෂණය ක්‍රියාත්මක වන්නේ මැදදී ය. 'භීෂණය' යන වචනය ඇතැම් විට කෙනෙකුට ආගන්තුක විය හැක. නමුත් තමාගේ කැමැත්තට පරිබාහිරව කෙරෙන කායික, මානසික අපයෝජනය ද ගැනෙනුයේ භීෂණයක් ලෙස ය. මීට කැමැත්තෙන් මුහුණදෙන අයෙකු ද අතරින්පතර හමුවේ. ඔවුන්ට ඇත්තේ මනෝ විද්‍යාඥයන් අර්ථ දක්වන පරිදි 'ස්වයං ඝාතක මනෝභාවය'කි. එය සමාන කළ හැක්කේ කුඩා කලදී මිරිස් ගෝනියක බැස තම කයට වද දුන් වේලුවිල්ලේ ප්‍රභාකරන්ගේ මනෝභාවයටයි. නමුත් හඳුන්වාදීමට කුමටද භීෂණයක්? කෝ ඔබ එක වසරේ සිට දහ තුන වසර දක්වා පාසල් ගොස් ප්‍රගුණ කරගත් සමාජ ව්භවතාවන්? ඔබට පාසලේදී කියා දුන්නාද තවත් කෙනෙකු දැන හඳුනාගැනීම පිණිස ඔහු ඉදිරියේ දණ නමා, හාවුන් පැන, ජල තටාක වල බැස ඊටත් එහා ගොස් තවත් කුණුහරුප කිරීමේ අවශ්‍යතාවක්? භීෂණය ගාවා නොගෙන විශ්ව විද්‍යාල තුල එකෙනෙකා හඳුනාගත නොහැක්කේ මන්ද යන පැනයට පිළිගත් හැකි, සාධාරණ පිළිතුරක්, ඔය 'රැගින්' ගැන මොරදෙමින් කෑ ගසන එකදු පුද්ගලයෙකුගෙන් හෝ මම මෙතෙකුදු අසා නැත්තෙමි.

තවත් සමහරෙක් කියන ආකාරයට මෙය අධ්‍යාපන වටපිටාව තුල
බොහෝ දෙනා දැන හඳුනාගැනීම පිණිස භාවිතා කළහැකි උපකරණයකි.

මෙය විහිලුවකි. මානව විද්‍යාඥයන්ගේ සොයාගැනීම් වලට අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට යම් නිශ්චිත කාලයක් තිල ඇතිකරගත හැකි සියලුම සමීප සමබඳතා ගණන උපරිම වශයෙන් 70- 80 අතරමැද අගයකි. එසේ නම් විශ්ව විද්‍යාලයේ සිටින දහස් ගණනක් වූ සිසුන් හැම කෙනාම ආශ්‍රය කිරීමට යාම කිසිදාක සිදුකළ නොහැකි කර්තව්‍යයකි.

එම කරුණ අතහරිමු, ඒ නැතත් මිතුරු මිතුරියන් ඇතිකරගැනීමට කුමටද නවක වදයක්? තවත් කෙනෙකු අපහසුතාවයට පත්කර, ඔහුගේ චරිතය ඝාතනය කර, ඝාතක වින්දනයක් ලැබීම හරහා ඔබට කෙනෙකුගේ මිත්‍රත්වය දිනාගත හැකිද? ඔහුගේ/ඇයගේ ගෞරවය දිනාගත හැකිද? එපමණක් ද නොවේ. ඔවුන් පවසන පරිදි පරිදි නවක වද සමය අවසානයේදී නවක සහ පැරණි සිසුන් විසිර යන්නේ ළඟම මිතුරන් ලෙසය. මේ තරම් අමූලික මුසාවක් තවත් කොහිද?

'වදය' අවසානයේ ජ්‍යෙෂ්ඨයා කෙරෙහි නවකයා තුල ගෞරවයක් ඇති වී තිබිය හැක. නමුත් එය සැබෑ ගෞරවයක් නොව බිය මුසු ගෞරවයකි. ඔහුට එරෙහිව යාමේ නොහැකියාව සමඟ ජනිත වූ අසරණ භාවය මිශ්‍රිත ගෞරවයකි.

නමුත් ඊට වඩා ප්‍රබල පෞරුෂයක් සහිත ශිෂ්‍යයෙකුගේ සිත තුල ඇති විය හැක්කේ වෙනස් හැඟීමකි. ඒ තමා අපයෝජනයට ලක් කළ ජ්‍යෙෂ්ඨයා කෙරෙහි වෛරයක් හා ක්‍රෝධයකි. උක්ත කොටස් දෙකටම අයත් වන ශිෂ්‍යයන් සමාජයට පිවිසෙන්නේ ජීවිතයේ අමිහිරි මතකයක් නැතහොත් කලු පැල්ලමක් එක් කරගත් පුද්ගලයන් වශයෙනි. මේ කොටස් දෙකටම අයත් නොවන තවත් පිරිසක් ද සරසවි තුල වෙසෙති. ඔවුනට තමාට වූ 'හදිය' ගැන කිසිදු අවබෝධයක් නැත. උජාරුවෙන් සිනා සී 'මාත් රැග් එක කෑවා' කියන්නට ඔවුහු මැලි නොවෙති. (මම ද කලක් සිතා සිටියේ මෙසේ වන්නට ය). නමුත් ඔවුන්ට අමතක වූ එක් කරුණක් තිබේ. එනම් තමාට ද නොදැනුවත්ව තමන් තම ආත්මය පාවා දී ඇති බවයි. ඔබටම කියා පාවිච්චි කරන්නට ශරීරයක්, සිතන්නට සිතක් ලැබී තිබෙන්නේ ඒවා තවකෙකුට අවශ්‍ය පරිදි 'නටවන්නට' නොවේ. තමාට අවශ්‍ය අවශ්‍ය පරිදි සිහියෙන්, බුද්ධියෙන් යුතුව පාවිච්චි කරන්නට ය. අනුන් කලිසම ගලවන්න කී විට ගලවන, අනුන්ගේ පදයට නැටවෙන රූකඩයක් වැනි පුද්ගලයෙකුත්, අනුන්ගේ උවමනා එපාකම් පිරිමැසීමට තම ශරීර කූඩුව කැප කරන ගණිකාවකත් අතර වෙනසක් තිබේ ද?

එවන් එකේ ඔබ තවත් අයෙකුට දණ නමන්නේ කුමටද? අප හැමෝටම කෙලින් සිට ගැනීමට කකුල් දෙකක් හා කොන්දක් තිබේ. එසේ නම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ඒවා නැති අයෙකු විලසට හැසිරෙන්නේ ඇයි?

පෞද්ගලිකව, කෙනෙකු යමක් බලෙන් මගේ ඇඟේ ගසන්නට යයි නම් මට ඒ පුද්ගලයාත් කරුණත් යන දෙකම රුස්සන්නේ නැත. තර්ජනයෙන් යමක් කරවන්නට උත්සාහ කළහොත් කිසි සේත්ම එය කරන්නේ ද නැත. මා පමණක් නොව ඕනෑම අයෙකු එසේ ය. තමාට අභිමත පරිදි ජීවත් වීමට සෑම සියලු ජීවියෙකුටම අයිතියක් තිබේ. මානව අයිතීන් තුලින් ඒ බව තහවුරු කර තිබේ. එවන් පදනමක් තුල 'හඳුනාගැනීම' උදෙසා තමා අපයෝජනය කිරීමට කෙනෙකු තවකෙකුට ඉඩ දෙන්නේ ඇයි? එසේ ඉඩ දේ නම් ඉන් ගම්‍ය වන්නේ ඔහුගේ පෞරුෂයේ දුර්වලතාවක් නොවේද?

මෙහි විශ්මය දනවන කරුණ නම් සරසවි සිසුවා ඊට භාජනය වන්නේ තම චින්තනය සහ නිදහසේ සිතීමේ හැකියාව පමණක් නොව කාය ශක්තිය ද උපරිමයෙන් පවතින ඔහුගේ දිවියේ තෙවන දශකයේ මුල් භාගයේ වීමයි. මෙම 'නවක වද' සම්ප්‍රදාය දිගින් දිගටම පැවත්ගෙන එන තමාගේ පාලනයෙන් එපිට පවතින්නක් ලෙස සිතීම ඊට හේතුවයි. සම්ප්‍රදායෙන් එන ව්‍යසනයට ගොදුරු වී තම දිවිය කාලකණ්ණි කර ගැනීමෙන් පසු ඔහුට ඇතිවන්නේ එහි වැරැද්ද වැරැද්ද ලෙස දැක ඉන් අත්මිදීම නොව, තමාට හිමි වූ ඉරණම තමා පසුපසින් එන සොයුරු කැළට ද අත්කර දීමයි. මෙම චක්‍රය කොතැනකින් හෝ බිඳ දමන තුරු සිදුවන්නේ අරුම පුදුම බෝංචි වැල මෙන් අවසානයක් නොමැතිව ගලා යාම ය.

මෙහිලා විශේෂයෙන් සිහිපත් කළ යුතු කරුණ නම් මේ සංසිද්ධිය හරහා මුලු මහත් විශ්ව විද්‍යාල පද්ධතියටම සිදුවන අතිමහත් ව්‍යසනකාරී බලපෑමයි. එය තේරුම් ගැනීම පිණිස එක් උදාහරණයක් සෑහේ. 1905දී ඇල්බට් අයින්ස්ටයින්, ලෝකය නව මඟකට යොමු කළ සාපේක්ෂතාවදය ඉදිරිපත් කළේ ඔහුගේ 26 වන වියේදී ය. 26 යනු ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුවෙකු තම අධ්‍යාපනය අවසන් කරන අවධියයි (පන්ති වර්ජන යනාදිය එක්කළ විට). නමුත් ඒ කාලය වනවිට ශ්‍රී ලාංකීය සිසුවෙකුට කළ හැක්කේ කුමක්ද? එවන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීම තබා සාමාන්‍ය පර්යේෂණ පත්‍රිකාවක් වත් එළිදක්වාගත හැකිද?

මේ ගැන මම ඍජුවම ඇඟිල්ල දික් කරන්නේ සිසුන්ගේ මනස විකෘති කරන විකෘති විශ්ව විද්‍යාල රටාවටයි. නවක වදයෙන් ඇරඹෙන මේ විකෘතිය සිසුවාගේ ඉතිරි ජීවිතයට ද සම්ප්‍රෂණය වන්නේ ඔහුගේ නිදහස් චින්තන රටාව විනාශ කරලමිනි. එහි අවසානය නම් නිදහසේ සිතීමට නොදන්නා, තවකෙකුගේ අතකොලුවක් වූ 'නිකමෙකු' ගේ බිහිවීමයි.

මෙහි තවත් ඛේදනීය පැතිකඩ නම් කිසිදාක සැබෑ නොවන පටු දේශපාලනික මතවාද වැපිරීම පිණිස ඇතැමුන් විශ්ව විද්‍යාල තිඹිරිගෙවල් කරගැනීමයි. දේශපාලනික මත දැරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත. විශ්ව විද්‍යාල තුල එම අයිතිය උපරිමයෙන් ඇත. විශ්ව විද්‍යාල තුල දේශපාලනය ගැන කතා නොකළහොත් කතාකරන්නට වෙන තැනක් ද නැත. මන්ද, අති බහුතරක් වූ දේශීය මෙන්ම විදේශීය දේශපාලකයන් බිහි වී ඇත්තේ විශ්ව විද්‍යාල තුලින් බැවිනි. නමුත් ගැටලුව වන්නේ ශිෂ්‍යයාට තම බුද්ධියෙන් එය තෝරාගැනීමට ඉඩ නොතබා බලෙන් එය කැවීමට තැත් කිරීමයි. එය මේ 'නවක වද' සංස්කෘතියේ තවත් කුහක අංශයකි.

ලිපිය අවසන් කරන්නට පෙර නවක වදයේ නීතිමය පසුබිම ගැනත් සඳහනක් කරන්නට මගේ සිත් විය.

නවක වදය දැනට පවතින්නේ ශ්‍රී ලංකාවේත්, ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත වලත් පමණි. වෙනත් රටවල් වල එය පැවතුනත් ඒ ඉතාම අල්ප වශයෙනි. ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද එය නීතියෙන් තහනම් ය.

2001 වසරේදී නවක වදයට එරෙහිව නඩු තීන්දුවක් දෙමින් ඉන්දියනු ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ එය අර්ථදැක්වීය.
"Any disorderly conduct whether by words spoken or written or by an act which the effect of teasing, treating or handling with rudeness any other student, Indulging in rowdy or indisciplined activities which causes or Is likely to cause annoyance, hardship or psychological harm or to raise fear or apprehension thereof in a fresher or a junior student or asking the students to do any act or perform something which such student will not do in the ordinary course and which has the effect of causing or generating a sense of shame or embarrassment so as to adversely affect the physique or psyche of a fresher or a junior student."
නවක වදය යනු මානව හිමිකම් උල්ලංඝනයකි. මේ හේතු කොටගෙන දැඩි මානසික පීඩනයට ලක්වන සිසුන් ගණන අපමණය. කලාතුරකින් මරණ මෙන්ම සියදිවි නසාගැනීම් ද වාර්තා වේ. ඒ සියල්ල 'හඳුනාගැනීමේ' නාමයෙන් ය. හඳුනාගැනීම පසෙක තබා ගෙදර සිටියා නම් හොඳයි යැයි කෙනෙකුට සිතෙන්නේ මීට මුහුණදීමේදී ය. එහෙත් මීට විරුද්ධව කතා කිරීමට කෙනෙකු සූදානම් වන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ මන්දැයි තේරුම් ගැනීම අපහසු ය. නීති විරෝධී ක්‍රියාවකට එරෙහි වීම වරදක් ලෙස දකින්නෙකු අපරාධකරුවෙකු නොවන්නේ ද? ඔබ ඊට එරෙහිව නිහඬව සිටින වාරයක් වාරයක් පාසා ඔබ බිලිගන්නේ මේ රටේ ඈත් එපිට දුප්පත් ගම්මානයක ඉගනගෙන අමාරුවෙන් සරසවියට පිවිසෙන අහිංසක දරුවෙකුගේ ජීවිතයයි. මන්ද නගරයේ හැදී වැඩී, නගරයේ ජීවත් වන ශිෂ්‍යයෙකු මීට ගොදුරු වුවත්, අනුන් පාගාගෙන හෝ ගොඩ යාමට ඔවුන් දන්නා බැවිනි.එසේ වුවත් එවැනි කෙනෙකු තුල වුවත් ඇතිවන මානසික බිඳවැටීම අන් කිසිදි ආකාරකින් නැවත ගොඩනැගිය නොහැක.

ඔබ බහුතරයේ මතයට විරුද්ධ වුවහොත් ඔබට විවිධ චෝදනා එල්ල විය හැක. ඇතැමුන් ඔබෙ කොන් කරනවා යැයි තර්ජනය ද කළ හැක. නමුත් වැරැද්ද කෙසේ සිදු වුවත් වැරැද්දම ය. එය කිසිදු ජගතෙකුට සාධාරණීකරණය කළ නොහැක. පිටතින් ඇත්තේ ලස්සන ටොෆි කොළය වුවත් ඇතුලේ ඇත්තේ ගල් කැටයක් නම් එහි කුමන රහක් ද?

වැරැද්ද දුටු තැන ඊට එරෙහි වීමට බුදු සමයේ ද උපදෙස් දී ඇත. තමා වටා සිටිනා සියලු දෙනාම කරන්නේ වැරැද්ද වුවත් කඟවේන අඟක් මෙන් ඍජුව සිටිනා ලෙස බුදුරජාණන් වහන්සේ පැවසීය. මන්ද නිවැරදි දෙයක් වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුටත් කිසිදිනෙක වරදින්නේ නැත.

Friday, May 1, 2009

නිවුන් විරුද්ධාභාෂය හා පතිපූජිකා කථා වස්තුව

අයින්ස්ටයින්ගේ නිවුන් විරුද්ධාභාෂය පිළිබඳව ඔබ හැමදෙනාම අසා ඇතැයි සිතනවා. මොකද සරලව කිව්වොත් නූතන විද්‍යාවේ තියන වඩාත්ම ජනප්‍රිය මෙන්ම වඩාත් ආකර්ශනීයම විරුද්ධාභාෂය ඒක නිසා. දන්නෙ නැති අයට දැනගන්නත් අමතක අයට මතක් වෙන්නත් එක්ක මම ඒක කෙටියෙන් කියන්නම්. ඔන්න එහෙනං අහගන්න...

එක පවුලක නිවුන් සහෝදරයො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නීතීඥයෙක්. අනිත් එක්කෙනා අභ්‍යාවකාශගාමියෙක්. මේ දෙන්නම ඉන්නෙ වයස විසි ගණන් වල. දැන් මේ අභ්‍යාවකාශගාමියා අභ්‍යාවකාශ සංචාරයක් සඳහා පිටත්වෙල යනවා. ඔහු යන්නෙ එසේ මෙසේ අභ්‍යාවකාශ යානයක නෙවෙයි. ආලෝකයේ වේගයට (ප්‍රවේගය නෙවෙයි) ආසන්න වේගයකින් ගමන් කරන අභ්‍යාවකාශ යානයක..! ඔන්න ඉතින් ඔහොම ගිහිල්ල එයා එනව කියමුකෝ. දැන් ඔහු තමන්ගෙ නිවුන් සහෝදරය බලන්න යනවා. මොකක් වෙල කියලද හිතන්නෙ? දෙන්නම තාම එක වගේද? නෑ, නීතීඥය හොඳටම වයසට ගිහිල්ල. රස්සාවෙ හොඳකම නිසාද? :-) එහෙමත් නෙවෙයි. ඇත්තටම ඔලුවෙ කෙස් පැහිල කාලයත් එක්කම වයසට ගිහිල්ල. නමුත් අභ්‍යාවකාශගාමියා නම් හිටිය වගේම කොල්ල වගේ ඉන්නව. අවුරුදු කීපෙකින් වයසට ගිහිල්ල විතරයි.

ඔන්න ඕක තමයි අපේ සියවසේ මිනිසා, ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කරපු නිවුන් විරුද්ධාභාෂය. නමුත් මොකද්ද ඇත්තටම මේකට හේතුව?

භෞතික විද්‍යාව කරපු කට්ටිය නම් දන්නව. පෘථිවියෙ වාසය කරන සහෝදරය ඉන්නෙ එක සමුද්දේශ රාමුවක (ඒක අවස්ථිති සමුද්දේශ, ඒ කියන්නෙ ත්වරිත නොවන, නැතිනම් භෞතික නියම නිවැරදිකිරීම් නොයොදා ඒ ආකාරයෙන්ම භාවිතා කල හැකි රාමුවක්). නමුත් අභ්‍යාවකාශගාමියා ඉන්නෙ තවත් අවස්ථිති සමුද්දේශ රාමුවක. පෘථිවි රාමුව ඉතා කුඩා වේගෙකින් චලනය වෙද්දි ඒක චලනය වෙන්නෙ ආලෝකයේ වේගයට ආසන්න
වේගයකින්. මේ බව නිර්ණය කරන්න ඕනෙ රාමු 2ටම අයත් වෙන්නෙ නැති තුන්වන රාමුවක ඉඳල, හරියට ඉර වගේ තැනක. මොකද නිරීක්ෂකයා අභ්‍යාවකාශ යානයෙ ඉඳල බැලුවාම පේන්නෙ හරියට පෘථිවිය ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් පස්සට යනව වගේ..!

ඉතින් ඔය විදියට විශාල වේගෙකින් වස්තුවක් ගමන්ගනිද්දි ඒ මත කාලය ගතවීමේ වේගය අඩු වෙනව. ඒක අයින්ස්ටයින්ගෙ සාමාන්‍ය සාපේක්ෂතාවාදයෙ එක් අතුරුඵලයක්. ඒක නිසා පෘථිවියෙ ඉන්න සහෝදරය පෘථිවිය මත යම් අවුරුදු ගානක් ජීවත් වෙද්දි ඔහුට යම් කාලයක් ගතවුණාද ඒකෙන් ඉතා අඩු කාලයක් තමයි අභ්‍යාවකාශගාමියට ගතවෙල තියෙන්නෙ. ලොරෙන්ට්ස් පරිණාමන සමීකරණයක් භාවිතා කරල ගණනයක් කරනව නම් මෙහෙමයි. පෘථිවිය මත ඉන්න සහෝදරය අවුරුදු t ගානකින් වයසට ගියා නම් අභ්‍යාවකාශයට ගිය සහෝදරයට ගතවෙච්ච කාලය t' වෙන්නෙ අවුරුදු
t' = t x √(1-v²/c²)
මේකෙ v කියන්නෙ පෘථිවියට සාපේක්ෂව යානයේ වේගය, c කියන්නෙ ආලෝකයේ වේගය.

ඕකෙ අපි දකින විද්‍යාත්මක පැත්ත ඒකයි. නමුත් මම අද ඔයගොල්ලන්ට කියන්න ගියේ වෙනස්ම දෙයක් ගැන. ඒක තමයි 1905දි ඇල්බට් අයින්ස්ටයින් ඔය කතාව කියන්න අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ල ඉඳන් ඔය කතාව ඔයවිදියටම බෞද්ධ සාහිත්‍යයෙ තිබිල තියනව. මම ඒක දැක්කෙ අද මම කියවපු පොතක. ඒක දැක්ක ගමන් තමයි දඩි බිඩි ගාල මේ බ්ලොග් සටහන ලියන්න පටන්ගත්තෙ.

බෞද්ධ සාහිත්‍යය තුල මේ කතාව එන්නෙ පැරණි පාලි ධම්මපදට්ඨ කතාවෙ. මම දන්න තරමින් අටුවා කියන්නෙ ත්‍රිපිටක අභිධර්මයට අයත් ග්‍රන්ථ නෙවෙයි. ඒ කියන්නෙ බුදුරජණන් වහන්සේ දේශනා කරපු අභිධර්මය නෙවෙයි (වැරදි නම් මාව නිවැරදි කරන්න). කොහොම වුණත් කතාව මෙන්න මෙහෙමයි..

ඒකෙ නම, "පතිපූජිකා කථා වස්තුව"

පූජිත කුමාරි නම් දෙවඟනක් එක්තරා දෙව් ලොවක වාසය කළා. මේ අතර එක් අවස්ථාවක ඇය තම දිව්‍ය විමානයෙන් මඳක් පිටතට පැමිණියා. නමුත් ඒ මොහොතේම ඇය එම දෙව් ලොවින් චුත වී මිනිස් ලොව උපත ලැබුවා. ඊට පස්සෙ ඇය එහි හැදී වැඩී, ළමා විය පසුකර, වැඩි වියට පත්ව, විවාහ වී, දූ දරුවන් ද පෝෂණය කර, මුණුපුරු මිණිපිරියන්ගේ ද සෙනෙහස ලබා 80 හැවිරිදි වියේදී කලුරිය කළා. ඒ කාලයේදි ඇය ප්‍රගුණ කළ පින නිසා ඇය නැවතත් කලින් සිටි දෙව් ලොවටම ප්‍රවිශ්ඨ වුණා. එතකොට එහි සිටි දෙවිවරු ඇයගෙන් ඇසුවේ මොකක්ද දන්නවද? "පැය 3ක් තිස්සේ කොහේ ගිහින් හිටියාද?" කියලා...!!

මේක තරමක් හිනා යන කතාවක් වුණත් ඒකෙ ගැබ්වෙලා තියන අදහස නම් කොහොමටවත්ම සරල නැහැ. මේ තියෙන්නෙ අයින්ස්ටයින්ගෙ නිවුන් විරුද්ධාභාෂයෙම වෙනත් අර්ථකතනයක් නෙවෙයිද? ඇත්තටම කිව්වොත් නිවුන් විරුද්ධාභාෂය කියන්නෙ පතිපූජිකා කථාවස්තුවේ වෙනත් 'වර්ෂන්' එකක් නෙවෙයිද?

මගේ අදහස මේකයි. වෙනස් වේග වලින් චලනය වන අවස්ථිති සමුද්දේශ රාමු වල විවිධ කාල මානයන් තිබෙනව නම් අර කිව්ව දිව්‍යලෝකයත් ඒ වගේ එකක් නෙවෙයිද? විවිධ ලෝකයන් වල විවිධ කාල රාමු තියන බව බෞද්ධ සාහිත්‍යයෙ කියවෙනවා. තුසිත දිව්‍ය ලෝකයේ එක දිනයක් පොළොවේ අවුරුදු 100ක් බවත් ආභස්සර බ්‍රහ්ම ලෝකයේ එක් අයෙකුගේ ආයු කාලය මහා කල්ප 8ක් බවත් අකනිටා බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය මහා කල්ප 1600ක් බවත් කියවෙනවා. ඉතින් ඒ සියල්ල එකිනෙකට වෙනස් අවස්ථිති සමුද්දේශ රාමු ලෙස සලකන්න බැරිකමක් නෑ නේද?

නමුත් මේකත් කියන්න ඕනෙ. බෞද්ධ දර්ශනයේ එන සියලු කරුණු විද්‍යාත්මක කිරීම තේරුමක් නැති වැඩක්. මොකද නූතන විද්‍යාව ස්ථිර පදනමක් මත පිහිටා නැති නිසා. එහිදී යම් නියමයක් සත්‍ය වෙන්නෙ ඊට වඩා දියුණු නියමයක් ඉදිරිපත් නොවනකන් විතරයි. හරියට සාපේක්ෂතාවාදය ඉදිරිපත් වෙන්න ඉස්සෙල්ල හැමෝටම නිව්ටන් නියම සත්‍ය වුණා වගේ. නමුත් බෞද්ධ දර්ශනය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඒක පදනම් වෙලා තියෙන්නෙ ස්ථිර දර්ශනයක් මත නිසා කාලයත් සමඟ එය වැරදියි කියල ඔප්පු කරන්න හැකියාවක් නැහැ.

මගේ ඉහත නිගමනය පදනම් වුනේ බුදු දහමත් නූතන විද්‍යාවත් අතර මා දුටු එක් සමානතාවක් මත. ඒක සියයට සියයක්ම හරිද කියල නම් මට කියන්න බැහැ.