Pages

Wednesday, May 27, 2009

නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව

මා අද ලියන්නට යන්නේ ඉතාමත් විවාදාත්මක මාතෘකාවක් පිළිබඳව ය. සැබැවින්ම කිවහොත් මෙය කාලයක් තිස්සේ මගේ සිත තුල පැවති මතවාදී අරගලයකි. එය විසඳාගැනීමට මට බොහෝ කාලයක් ගත විය. මා මේ කියන්නට යන අදහස් කෙනෙකුට දරාගැනීමට අපහසු තරමට ඍජු විය හැක. නමුත් එය සඟවාගෙන සිටීමට වඩා කාගේ හෝ දැනගැනීම පිණිස ලියා තැබීම වටනේ යැයි මම සලකමි.

නවක වදය යනු කුමක්ද? යන පැනයෙන් අපි සංවාදය අරඹමු.

නවක වදය යනු අධ්‍යාපනික ආයතන වලට පැමිණෙන නවක සිසුන් අරභයා කෙරෙන කායික, මානසික සහ අධ්‍යාත්මික අපයෝජනයකි. නවක වදය යන්නෙහි එකම නිර්වචනය එයයි. සමාජයේ වෙනත් සංවිධාන වලට පිවිසෙන නවකයන් හට කෙරෙන අතවරයන් 'නවක වදය' ලෙස හඳුන්වන්නේ නැත. ශ්‍රී ලංකාව යන සන්දර්භය තුල බැලූ කල නවක වදය යන වදන සමඟම බැඳී ඇති තවත් වචනයකි, සරසවිය. සැබැවින්ම සරසවියෙන් පරිබාහිරව නවක වදයක් ගැන කතා කිරීම ද අපහසු කරුණකි. එබැවින් මගේ මතවාදය සමඟ 'සරසවිය' ද තදින් බද්ධ වී පැවතිය හැක.

නැවතත් අපි අපේ තේමාව දෙසට යොමු වෙමු.

ඇතැම්හු 'නවක වදය'ට අලංකාර අර්ථකථන දෙන්නට තැත් කරති. 'වදය' යන වදනින් පිළිබිඹු වන අදහස හරිහැටි ග්‍රහණය කර නොගන්නා ඔවුනට අනුව මෙය නවක හා පැරණි ශිෂ්‍යයන් අතර සුහදතාවය වර්ධනය කරගැනීමට කෙරෙන
හඳුන්වාදීමේ වැඩසටහනකි. (Orientation Program). මේ 'හඳුනාගැනීමේ වදය' හරියට බැටළු හම පොරවාගත් වෘකයෙකු වැනි ය.

එය පටන්ගන්නේ සුහද හමුවකිනි. භීෂණය ක්‍රියාත්මක වන්නේ මැදදී ය. 'භීෂණය' යන වචනය ඇතැම් විට කෙනෙකුට ආගන්තුක විය හැක. නමුත් තමාගේ කැමැත්තට පරිබාහිරව කෙරෙන කායික, මානසික අපයෝජනය ද ගැනෙනුයේ භීෂණයක් ලෙස ය. මීට කැමැත්තෙන් මුහුණදෙන අයෙකු ද අතරින්පතර හමුවේ. ඔවුන්ට ඇත්තේ මනෝ විද්‍යාඥයන් අර්ථ දක්වන පරිදි 'ස්වයං ඝාතක මනෝභාවය'කි. එය සමාන කළ හැක්කේ කුඩා කලදී මිරිස් ගෝනියක බැස තම කයට වද දුන් වේලුවිල්ලේ ප්‍රභාකරන්ගේ මනෝභාවයටයි. නමුත් හඳුන්වාදීමට කුමටද භීෂණයක්? කෝ ඔබ එක වසරේ සිට දහ තුන වසර දක්වා පාසල් ගොස් ප්‍රගුණ කරගත් සමාජ ව්භවතාවන්? ඔබට පාසලේදී කියා දුන්නාද තවත් කෙනෙකු දැන හඳුනාගැනීම පිණිස ඔහු ඉදිරියේ දණ නමා, හාවුන් පැන, ජල තටාක වල බැස ඊටත් එහා ගොස් තවත් කුණුහරුප කිරීමේ අවශ්‍යතාවක්? භීෂණය ගාවා නොගෙන විශ්ව විද්‍යාල තුල එකෙනෙකා හඳුනාගත නොහැක්කේ මන්ද යන පැනයට පිළිගත් හැකි, සාධාරණ පිළිතුරක්, ඔය 'රැගින්' ගැන මොරදෙමින් කෑ ගසන එකදු පුද්ගලයෙකුගෙන් හෝ මම මෙතෙකුදු අසා නැත්තෙමි.

තවත් සමහරෙක් කියන ආකාරයට මෙය අධ්‍යාපන වටපිටාව තුල
බොහෝ දෙනා දැන හඳුනාගැනීම පිණිස භාවිතා කළහැකි උපකරණයකි.

මෙය විහිලුවකි. මානව විද්‍යාඥයන්ගේ සොයාගැනීම් වලට අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට යම් නිශ්චිත කාලයක් තිල ඇතිකරගත හැකි සියලුම සමීප සමබඳතා ගණන උපරිම වශයෙන් 70- 80 අතරමැද අගයකි. එසේ නම් විශ්ව විද්‍යාලයේ සිටින දහස් ගණනක් වූ සිසුන් හැම කෙනාම ආශ්‍රය කිරීමට යාම කිසිදාක සිදුකළ නොහැකි කර්තව්‍යයකි.

එම කරුණ අතහරිමු, ඒ නැතත් මිතුරු මිතුරියන් ඇතිකරගැනීමට කුමටද නවක වදයක්? තවත් කෙනෙකු අපහසුතාවයට පත්කර, ඔහුගේ චරිතය ඝාතනය කර, ඝාතක වින්දනයක් ලැබීම හරහා ඔබට කෙනෙකුගේ මිත්‍රත්වය දිනාගත හැකිද? ඔහුගේ/ඇයගේ ගෞරවය දිනාගත හැකිද? එපමණක් ද නොවේ. ඔවුන් පවසන පරිදි පරිදි නවක වද සමය අවසානයේදී නවක සහ පැරණි සිසුන් විසිර යන්නේ ළඟම මිතුරන් ලෙසය. මේ තරම් අමූලික මුසාවක් තවත් කොහිද?

'වදය' අවසානයේ ජ්‍යෙෂ්ඨයා කෙරෙහි නවකයා තුල ගෞරවයක් ඇති වී තිබිය හැක. නමුත් එය සැබෑ ගෞරවයක් නොව බිය මුසු ගෞරවයකි. ඔහුට එරෙහිව යාමේ නොහැකියාව සමඟ ජනිත වූ අසරණ භාවය මිශ්‍රිත ගෞරවයකි.

නමුත් ඊට වඩා ප්‍රබල පෞරුෂයක් සහිත ශිෂ්‍යයෙකුගේ සිත තුල ඇති විය හැක්කේ වෙනස් හැඟීමකි. ඒ තමා අපයෝජනයට ලක් කළ ජ්‍යෙෂ්ඨයා කෙරෙහි වෛරයක් හා ක්‍රෝධයකි. උක්ත කොටස් දෙකටම අයත් වන ශිෂ්‍යයන් සමාජයට පිවිසෙන්නේ ජීවිතයේ අමිහිරි මතකයක් නැතහොත් කලු පැල්ලමක් එක් කරගත් පුද්ගලයන් වශයෙනි. මේ කොටස් දෙකටම අයත් නොවන තවත් පිරිසක් ද සරසවි තුල වෙසෙති. ඔවුනට තමාට වූ 'හදිය' ගැන කිසිදු අවබෝධයක් නැත. උජාරුවෙන් සිනා සී 'මාත් රැග් එක කෑවා' කියන්නට ඔවුහු මැලි නොවෙති. (මම ද කලක් සිතා සිටියේ මෙසේ වන්නට ය). නමුත් ඔවුන්ට අමතක වූ එක් කරුණක් තිබේ. එනම් තමාට ද නොදැනුවත්ව තමන් තම ආත්මය පාවා දී ඇති බවයි. ඔබටම කියා පාවිච්චි කරන්නට ශරීරයක්, සිතන්නට සිතක් ලැබී තිබෙන්නේ ඒවා තවකෙකුට අවශ්‍ය පරිදි 'නටවන්නට' නොවේ. තමාට අවශ්‍ය අවශ්‍ය පරිදි සිහියෙන්, බුද්ධියෙන් යුතුව පාවිච්චි කරන්නට ය. අනුන් කලිසම ගලවන්න කී විට ගලවන, අනුන්ගේ පදයට නැටවෙන රූකඩයක් වැනි පුද්ගලයෙකුත්, අනුන්ගේ උවමනා එපාකම් පිරිමැසීමට තම ශරීර කූඩුව කැප කරන ගණිකාවකත් අතර වෙනසක් තිබේ ද?

එවන් එකේ ඔබ තවත් අයෙකුට දණ නමන්නේ කුමටද? අප හැමෝටම කෙලින් සිට ගැනීමට කකුල් දෙකක් හා කොන්දක් තිබේ. එසේ නම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ඒවා නැති අයෙකු විලසට හැසිරෙන්නේ ඇයි?

පෞද්ගලිකව, කෙනෙකු යමක් බලෙන් මගේ ඇඟේ ගසන්නට යයි නම් මට ඒ පුද්ගලයාත් කරුණත් යන දෙකම රුස්සන්නේ නැත. තර්ජනයෙන් යමක් කරවන්නට උත්සාහ කළහොත් කිසි සේත්ම එය කරන්නේ ද නැත. මා පමණක් නොව ඕනෑම අයෙකු එසේ ය. තමාට අභිමත පරිදි ජීවත් වීමට සෑම සියලු ජීවියෙකුටම අයිතියක් තිබේ. මානව අයිතීන් තුලින් ඒ බව තහවුරු කර තිබේ. එවන් පදනමක් තුල 'හඳුනාගැනීම' උදෙසා තමා අපයෝජනය කිරීමට කෙනෙකු තවකෙකුට ඉඩ දෙන්නේ ඇයි? එසේ ඉඩ දේ නම් ඉන් ගම්‍ය වන්නේ ඔහුගේ පෞරුෂයේ දුර්වලතාවක් නොවේද?

මෙහි විශ්මය දනවන කරුණ නම් සරසවි සිසුවා ඊට භාජනය වන්නේ තම චින්තනය සහ නිදහසේ සිතීමේ හැකියාව පමණක් නොව කාය ශක්තිය ද උපරිමයෙන් පවතින ඔහුගේ දිවියේ තෙවන දශකයේ මුල් භාගයේ වීමයි. මෙම 'නවක වද' සම්ප්‍රදාය දිගින් දිගටම පැවත්ගෙන එන තමාගේ පාලනයෙන් එපිට පවතින්නක් ලෙස සිතීම ඊට හේතුවයි. සම්ප්‍රදායෙන් එන ව්‍යසනයට ගොදුරු වී තම දිවිය කාලකණ්ණි කර ගැනීමෙන් පසු ඔහුට ඇතිවන්නේ එහි වැරැද්ද වැරැද්ද ලෙස දැක ඉන් අත්මිදීම නොව, තමාට හිමි වූ ඉරණම තමා පසුපසින් එන සොයුරු කැළට ද අත්කර දීමයි. මෙම චක්‍රය කොතැනකින් හෝ බිඳ දමන තුරු සිදුවන්නේ අරුම පුදුම බෝංචි වැල මෙන් අවසානයක් නොමැතිව ගලා යාම ය.

මෙහිලා විශේෂයෙන් සිහිපත් කළ යුතු කරුණ නම් මේ සංසිද්ධිය හරහා මුලු මහත් විශ්ව විද්‍යාල පද්ධතියටම සිදුවන අතිමහත් ව්‍යසනකාරී බලපෑමයි. එය තේරුම් ගැනීම පිණිස එක් උදාහරණයක් සෑහේ. 1905දී ඇල්බට් අයින්ස්ටයින්, ලෝකය නව මඟකට යොමු කළ සාපේක්ෂතාවදය ඉදිරිපත් කළේ ඔහුගේ 26 වන වියේදී ය. 26 යනු ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සිසුවෙකු තම අධ්‍යාපනය අවසන් කරන අවධියයි (පන්ති වර්ජන යනාදිය එක්කළ විට). නමුත් ඒ කාලය වනවිට ශ්‍රී ලාංකීය සිසුවෙකුට කළ හැක්කේ කුමක්ද? එවන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීම තබා සාමාන්‍ය පර්යේෂණ පත්‍රිකාවක් වත් එළිදක්වාගත හැකිද?

මේ ගැන මම ඍජුවම ඇඟිල්ල දික් කරන්නේ සිසුන්ගේ මනස විකෘති කරන විකෘති විශ්ව විද්‍යාල රටාවටයි. නවක වදයෙන් ඇරඹෙන මේ විකෘතිය සිසුවාගේ ඉතිරි ජීවිතයට ද සම්ප්‍රෂණය වන්නේ ඔහුගේ නිදහස් චින්තන රටාව විනාශ කරලමිනි. එහි අවසානය නම් නිදහසේ සිතීමට නොදන්නා, තවකෙකුගේ අතකොලුවක් වූ 'නිකමෙකු' ගේ බිහිවීමයි.

මෙහි තවත් ඛේදනීය පැතිකඩ නම් කිසිදාක සැබෑ නොවන පටු දේශපාලනික මතවාද වැපිරීම පිණිස ඇතැමුන් විශ්ව විද්‍යාල තිඹිරිගෙවල් කරගැනීමයි. දේශපාලනික මත දැරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත. විශ්ව විද්‍යාල තුල එම අයිතිය උපරිමයෙන් ඇත. විශ්ව විද්‍යාල තුල දේශපාලනය ගැන කතා නොකළහොත් කතාකරන්නට වෙන තැනක් ද නැත. මන්ද, අති බහුතරක් වූ දේශීය මෙන්ම විදේශීය දේශපාලකයන් බිහි වී ඇත්තේ විශ්ව විද්‍යාල තුලින් බැවිනි. නමුත් ගැටලුව වන්නේ ශිෂ්‍යයාට තම බුද්ධියෙන් එය තෝරාගැනීමට ඉඩ නොතබා බලෙන් එය කැවීමට තැත් කිරීමයි. එය මේ 'නවක වද' සංස්කෘතියේ තවත් කුහක අංශයකි.

ලිපිය අවසන් කරන්නට පෙර නවක වදයේ නීතිමය පසුබිම ගැනත් සඳහනක් කරන්නට මගේ සිත් විය.

නවක වදය දැනට පවතින්නේ ශ්‍රී ලංකාවේත්, ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත වලත් පමණි. වෙනත් රටවල් වල එය පැවතුනත් ඒ ඉතාම අල්ප වශයෙනි. ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද එය නීතියෙන් තහනම් ය.

2001 වසරේදී නවක වදයට එරෙහිව නඩු තීන්දුවක් දෙමින් ඉන්දියනු ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ එය අර්ථදැක්වීය.
"Any disorderly conduct whether by words spoken or written or by an act which the effect of teasing, treating or handling with rudeness any other student, Indulging in rowdy or indisciplined activities which causes or Is likely to cause annoyance, hardship or psychological harm or to raise fear or apprehension thereof in a fresher or a junior student or asking the students to do any act or perform something which such student will not do in the ordinary course and which has the effect of causing or generating a sense of shame or embarrassment so as to adversely affect the physique or psyche of a fresher or a junior student."
නවක වදය යනු මානව හිමිකම් උල්ලංඝනයකි. මේ හේතු කොටගෙන දැඩි මානසික පීඩනයට ලක්වන සිසුන් ගණන අපමණය. කලාතුරකින් මරණ මෙන්ම සියදිවි නසාගැනීම් ද වාර්තා වේ. ඒ සියල්ල 'හඳුනාගැනීමේ' නාමයෙන් ය. හඳුනාගැනීම පසෙක තබා ගෙදර සිටියා නම් හොඳයි යැයි කෙනෙකුට සිතෙන්නේ මීට මුහුණදීමේදී ය. එහෙත් මීට විරුද්ධව කතා කිරීමට කෙනෙකු සූදානම් වන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ මන්දැයි තේරුම් ගැනීම අපහසු ය. නීති විරෝධී ක්‍රියාවකට එරෙහි වීම වරදක් ලෙස දකින්නෙකු අපරාධකරුවෙකු නොවන්නේ ද? ඔබ ඊට එරෙහිව නිහඬව සිටින වාරයක් වාරයක් පාසා ඔබ බිලිගන්නේ මේ රටේ ඈත් එපිට දුප්පත් ගම්මානයක ඉගනගෙන අමාරුවෙන් සරසවියට පිවිසෙන අහිංසක දරුවෙකුගේ ජීවිතයයි. මන්ද නගරයේ හැදී වැඩී, නගරයේ ජීවත් වන ශිෂ්‍යයෙකු මීට ගොදුරු වුවත්, අනුන් පාගාගෙන හෝ ගොඩ යාමට ඔවුන් දන්නා බැවිනි.එසේ වුවත් එවැනි කෙනෙකු තුල වුවත් ඇතිවන මානසික බිඳවැටීම අන් කිසිදි ආකාරකින් නැවත ගොඩනැගිය නොහැක.

ඔබ බහුතරයේ මතයට විරුද්ධ වුවහොත් ඔබට විවිධ චෝදනා එල්ල විය හැක. ඇතැමුන් ඔබෙ කොන් කරනවා යැයි තර්ජනය ද කළ හැක. නමුත් වැරැද්ද කෙසේ සිදු වුවත් වැරැද්දම ය. එය කිසිදු ජගතෙකුට සාධාරණීකරණය කළ නොහැක. පිටතින් ඇත්තේ ලස්සන ටොෆි කොළය වුවත් ඇතුලේ ඇත්තේ ගල් කැටයක් නම් එහි කුමන රහක් ද?

වැරැද්ද දුටු තැන ඊට එරෙහි වීමට බුදු සමයේ ද උපදෙස් දී ඇත. තමා වටා සිටිනා සියලු දෙනාම කරන්නේ වැරැද්ද වුවත් කඟවේන අඟක් මෙන් ඍජුව සිටිනා ලෙස බුදුරජාණන් වහන්සේ පැවසීය. මන්ද නිවැරදි දෙයක් වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුටත් කිසිදිනෙක වරදින්නේ නැත.

40 comments:

-බිன்ku- said...

"ඔබ බහුතරයේ මතයට විරුද්ධ වුවහොත් ඔබට විවිධ චෝදනා එල්ල විය හැක. ඇතැමුන් ඔබෙ කොන් කරනවා යැයි තර්ජනය ද කළ හැක. නමුත් වැරැද්ද කෙසේ සිදු වුවත් වැරැද්දම ය. එය කිසිදු ජගතෙකුට සාධාරණීකරණය කළ නොහැක. පිටතින් ඇත්තේ ලස්සන ටොෆි කොළය වුවත් ඇතුලේ ඇත්තේ ගල් කැටයක් නම් එහි කුමන රහක් ද?"

අගනා කියමනක්!

*****

නවක වාදය ගැන මීට පෙර සවිස්තරාත්මකව ටැබූ විසින් දැක්වුවා. නවක වාදය දැන් විදේශික බොහෝ රටවල ක්‍රියාත්මක නොවුවත් අතීතයේ කලු ජාතක පිරිසට එසේ හිරිහැර විදින්නට වූ බවක් මා අසා තිබෙනවා. ලංකාවේ විශ්ව විද්‍යාලයකට යන්න තවම මට වාසනාවක් ලැබී නැති නිසා, අසා ඇත්තේත් පොදුවේ ප්‍රකට ඒවාම තමා.

සසික නානායක්කාර said...

නියම කථාව.මමනම් නවක වදයට ලක් නොවුවේ සරසවියට පිවිසිමට වරම් නොලැබු නිසාය.එහෙත් මෙවැනි උසස් අධ්‍යපන ආයතන තුල ජානතා මුදලින් ඉගෙනුම ලබන්නේ සැබැ බුද්ධිමතුන්ද යන්න ඔවුන් සරසවිය තුල සිදුකරන ක්‍රියාවලින් සැක පහල වේ.

Chanaka Aruna Munasinghe said...

නවක වධය,

1. අධිරාජ්‍යවාදයේ නෂ්ඨාවශේෂයකි.
2. පරපීඩා කාමුකත්වය නමැති බෝ වෙන මානසික රෝගයකි.

unpsuganthan13 said...

තමන් විඳි නවකවදයේ තරම නිසාම තම දරුවන් සරසවියට නොයැවූ දෙමාපියෝ කිහිප දෙනෙකුම සිටිත්!

මිගාර said...

හොද ලිපියක්. කොළඹ වෛද්‍ය පීඨයේ නම් නවක වදය සිදුවන්නේ නැහැ. ඒ පාඩම අනෙක් පීඨ වලටත් ගත හැකි නම් අගෙයි.

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

අලුතෙන් එන බැච් එක අඳුනා ගැනීමටත් බැච් එක තුල සමගිය වර්ධනය කරගැනීමටත් ශාරීරික වධහිංසා අවශ්‍ය නැහැ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ දී (පමණක් - අනෙක් පීඨ නොවේ) වසර ගණනාවක් තිස්සේ අපි ඒ බව ප්‍රායෝගිකව ඔප්පු කර තියෙනවා.



මෙතන තවත් පැත්තක් තියෙනවා. මේ නවක වදයේ ප්‍රධාන පරමාර්ථය අලුත් බැච් එකේ "සිරා ඩයල්" (නායකත්වය දිය හැකි) හඳුනාගැනීම, මොල ශෝධනයකට ලක් කිරීම මගින් ජ්‍යෙෂ්ඨයන් කියන ඕනෑම දෙයක් මහ ඉහලින් පිලිගැනීමට පුරුදු කරවීම. මේවායේ බලාපොරොත්තුව තමයි ජවිපෙට කඩේ යාමට පිරිසක් සකසාගැනීම. දහසක් බලාපොරොත්තු ඇතිව විශ්වවිද්‍යාලයට එන තරුණ තරුණියන්ට තමයි අවසානයේ බස් වලට නැග කැට හොලවන්නටත්, රෑ නිදිවරාගෙන පෝස්ටර් අලවන්නටත්, පෙලපාලි ගිහින් ගුටි කන්නටත් වෙන්නේ.



නැතුව ඔය නවක වදයෙන් බලාපොරොත්තු වෙන්නෙ ඔය ඒකට පක්ෂ කට්ටිය කෑ ගහන තරම් උතුම් පරමාර්ථ නෙමෙයි.

Kanishka said...

අනිවා මචන්, අන්තරේට කඩේ යන ‍ගොන් හැත්ත තමයි ඔය බලු වැ‍ඩේ කැම්පස් වල කරන්නෙ.. හරිහමන් ‍එක batch එකක් ඕක නැවැත්තුව නම් හරි. ඒත තෙල කාපු එවුන් වැඩි, ඉතින් මොනව කරන්නද අපි.

chamila_dealwis said...

මාස කිහිපයකට කලින් මම ඔබට වෙනස්ම ආකාරයේ පිළිතුරක් දෙන්නට තිබුනා. ඒ වන තෙක් මම හිටියෙත් "මමත් රැග කෑවා" ලෙවල් එකේ.

රැගේ ආරම්භයට දේශපාලනික හේතු තිබිලා නෑ. ඒක අවශ්‍ය වෙලා තියෙන්නෙ යුධ කාලයෙදී යුධ පෙරමුණට යවන දොස්තරලා ඉන්ජිනේරුවෝ එවැනි පරිසරයකට අවශ්‍ය විදියකට හැඩගස්සවන්න.

නමුත් දැන් රැග පවත්වන්නේ හුඟක් පීඨ වල ජෙප්පන්ගේ හෝ වෙනත් පක්ෂයක බලය පවත්වගන්න. රැගට සහභාගී වන්නන් "ජෙප්පන්" වීමත් අලයන් තුලට වෙනත් අය අදාල වීමත් මෙය ඔප්පු කරනවා. අනිත් අතට පේරාදෙණිය වැනි සරසවියක නේවාසිකාගාරයක සිටීමටනම් රැග කාපු සිසුවෙක් විය යුතුයි. ඒ නිසා හැමෝම ස්වයං ඝාතක මානෝභාවයකින් පසුවෙනවා යැයි කියන්න බැහැ.

රැග පවතිද්දී එය පීඨයේ යහපතට යැයි කියමින් පවත්වාගෙන ගියත් රැග අවසානයේදී එවැනි දෙයක් තිබුනත් නැතත් වෙනසක් නැති ආකාරයකට පරිසරය සකස් වී තිබෙනවා. අනෙක් අතට රැග අස්සේ නේවාසිකාගාර සිසුන් වෙන්කර ඔවුන්ට වෙනම "තෙලක්" දීමටත් පෙළඹව සිටිනවා. රැග නොතිබුනානම් සිදුවීමට හැකියාවක් නැති සිද්දි ඒ නිසා සිදු වී තිබෙනවා.

ළඟක් වෙනකම් ශාරීරික වද හිංසා නොමැති රැගක් ගැන විශ්වාසයක් තබාගෙන සිටියත් සමහර සිද්දි දාමයන් දුටු පසු එහි තේරුමක් නොමැති බව පෙනී යනවා.

රැග සරසවි වලින් ඉවත් කල යුතු දෙයක්. නිදහස් චින්තනය අන්තයටම බස්සන දෙයක්. එකඟ වීම හැර වෙන දෙයක් කීමට නෑ.

බුද්ධික said...

ඕකනේ මම ඒ කාලේ උඹට කීවේ සෙට් වෙලා MIT යමං කියලා :/
මේ කිසි කරදරයක් නෑ නේ :/

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

ළඟක් වෙනකම් ශාරීරික වද හිංසා නොමැති රැගක් ගැන විශ්වාසයක් තබාගෙන සිටියත් සමහර සිද්දි දාමයන් දුටු පසු එහි තේරුමක් නොමැති බව පෙනී යනවා."ශාරීරික වද හිංසා නොමැති" කියන්නේ රැග සාධාරණීකරණය කරන්න යොදන අයිසිං තට්ටුවක් විතරයි. එතැනදී ශාරීරිකව නැති උනාට මානසිකව හොඳහැටි හිංසාවට ලක්වෙනවා.
මෙහෙම කියනවාට UoC-Science සොයුරනුත්, UCSC සොයුරනුත් අමනාප වෙයි. ඒත් මේ මගේ මතය.

chamila_dealwis said...

මානසික වද හිංසා යනුවෙන් හදුන්වන දේ කුමක්ද?

තමන්ගේ නම සභාවක් ඉස්සරහා කීම වැනි දෙයක්නම් ඉතින් ඉදිරිපත්වලදිත්(presentation) වෙන්නේ මානසික වදහිංසාවක්.

මම කිව්වේ ශාරිරික වදහිංසා නොමැතිව වුනත් රැගෙන් වැඩක් නෑ කියලා මිසක් ශාරිරිකවත් එක්ක හරියන්න හොඳ කුණුහරපෙන් දෙනවා කියලා නෙමෙයි. සමහර පීඨ වල එවැනි දේ ඉතුරු වුනත් ඔබ සඳහන් කරන ස්ථාන දෙකේ එවැනි දේ වෙන්නේ නැහැ. වැරදියට තේරුම් ගන්න එපා. අපේ පීඨය නවක වදය ප්‍රශ්නයක් කර ගත්ත තැනක් නෙමෙයි. එයිනු අමුතු සෙතක් වෙන්නේ නෑ කියලයි කිව්වේ.

Isuru said...

මේ වගේ ලිපියක් ලිවීම ගෑන මුලින්ම චමිතට මගේ ස්තුතිය !

පේරාදෙණිය ඉන්ජිනේරු පීඨ්යේ නවක වධයට විරුද්ධ සිසුවෙක් විදියට මට කියන්න තියෙන්නෙ මෙහෙම දෙයක්. පහුගිය අවුරුදු 12 තිස්සෙ නිදහසේ හිතපු සිසුන් සෑහෙන පිරිසක් විසින් අපේ පීඨයේ නවක වධය තුරන් කරන්න විශාල කෑපවීම් කරල තියෙනව. මම ඒ දේවල් දකින්නෙ හරියට අපේ හමුදාව ත්‍රස්තවාදීන්ට එරෙහිව කරපු සටන වගේ. ත්‍රස්තවාදීන් අපේ රටට කරපු විනාසෙ වගේ තමයි මේ 'රෑග්' එක අපේ සරසවි වලට කරල තියෙන්නෙ. රටේ දියුණුවට ඩායක වෙන්න ඉන්න කොයිතරම් නම් පිරිසක් රටට බරක් වුණු නිකමුන් බවට පත් කරල තියෙනවද?

නවක වධය මෙහෙයවන අය අපි ගෑන කියන්නෙ 'අලයො හීන ලෝක වල ජීවත් වෙන පිරිසක්' කියලනෙ. ඒ කතා වල ඈත්ත නෑත්ත අපි ඔප්පු කරල පෙන්නල තියෙනව. මහ පොළොවත් එක්ක ජීවත් වෙලා ඒක අස්වද්දල, ඒ අස්වෑන්නෙන් රටට වෑඩක් කරන්නෙ කොහොමද කියල බොරු පුරසාරම් දොඩන්නෙ නෑතුව අපි පෙන්නල තියෙනව.

මේ වගේ උතුම් වෑඩකට දායක වෙන පිටකොන්දක් ඈති වර්තමාන පරපුරේ කොටසක් වීම ඈත්තටම ආඩම්බරයක් අපිට. එහෙම නෑතුව පුහු මාන්නයක් කරපින්නාගත්තු, අන්තවාදී දේශපාලනයකට කඩේ යන පඹයන් අතරින් එකෙකු වෙනවාද කියන එක සරසවියට පිවිසෙන සියලෝම සිහි නුවණින් කල්පනා කළ යුතුයි.....

Chamitha said...

කමෙන්ට් කරපු හැම කෙනෙක්ටම බොහෝම ස්තූතියි. ස්තූතිය පළකරන්න පමාවීම ගැන සමාව අයදිනවා. ඔබේ අදහස් ඉතාම අනර්ඝයි. මම මේ ලිපිය ලියන්නෙ විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන්න බලා සිටින ශිෂ්‍යයෙක් විදියට. එබැවින් ඔබේ හැම අදහසක්ම මට ඉතා වැදගත්.

එහෙම වුණත් මට මේ ලිපිය ලියද්දි තිබ්බ එක බලාපොරොත්තුවක් ලිව්වට පස්සෙ කඩවුණා. ඒක තමයි මම බලාගෙන හිටියා මේ ලිපියට විරෝධය දක්වන්න කවුරුහරි ඉදිරිපත් වෙයි කියා. කෙළින් බැරි නම් කුණුහරුප බාසාවෙන් වත්. නැතිනම් නිර්ණාමිකව.

මතක තියාගන්න, විශේෂයෙන්ම පේරාදෙණිය වැනි විශ්ව විද්‍යාලයක සෑම පීඨයකම බහුතරය ඉන්නෙ රැග වෙනුවෙන් පෙනී සිටිනවා කියන පිරිස (වෙනත් විශ්ව විද්‍යාල වලත් බොහෝ පීඨ එසේ යැයි කියා සිතනවා). ඉතින් ඔවුන් අතරින් කවුරුවත් මේ සටහන් දකින්නෙ නැද්ද? කිසිවෙකුටත් මේ ගැන කිසිම අදහසක්, විරෝධයක් ප්‍රකාශ කරන්න නැද්ද? මම මගේ ෆේස්බුක් පිටුවෙත් මේක පළ කරා. එතැනදිත් හැමෝම එකඟ වෙන එක තමයි කරන්නෙ. ඊට අමතරව බිණ්කු පැවසූ පරිදි ටැබූ විසිනි ලියූ ලිපි (http://taboosubjects.wordpress.com/2009/02/27/37/ හා http://taboosubjects.wordpress.com/2009/04/16/04/) ද කියෙව්වා. නමුත් ඒ එකකට වත් සාර්ථක විවේචනයක් එල්ල කරන්න ඔය රැගා කියල කියාගන්න එක ජෙප්පෙක්ට වත් බැරිවෙලා තිබෙනවා.

මොකද්ද මේකට හේතුව? රැග නැමැති සංකල්පය විසින් ඔවුන්ගෙ මොළ කාබාසිනියා කර දැමීම ද? එසේත් නැත්තම් ඔවුන්ට මේ තර්ක බිඳින්න අදහස් ඔලුවට එන්නෙ නැද්ද? එක අතකින් නවක වදය කියන එක මොන ජගතෙක්ට වත් සාධාරණීකරණය කරන්න බෑ. ඊට එකඟව ඉදිරිපත් කරන්න එක තර්කයක් වත් ඔවුන් ළඟ නෑ.

නමුත් අති බහුතරයක් වෙච්ච සිසුන් මේ ව්‍යාකූලත්වය තුල පැටලී, වෙලී ඉන් නිදහසක් ලබන්න බැරි තරම් අසරණභාවයට පත්වෙන්න හේතුව කුමක්ද? හුදෙක් නොදැනුවත්කම ද? අසාධාරණයට, ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙන්න කිසිවෙකුටත් පිටකොන්දක් නැද්ද?

හරිම අස්වාභාවිකයි...

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

චමිත,
අසාධාරණයට, ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙන්න කිසිවෙකුටත් පිටකොන්දක් නැද්ද?

මල්ලි ඔයා තවම හරි හැටි දන්නෙ නෑ ඒක ඇතුලෙ තත්ත්වය. ජයවර්ධනපුර වගේ ජවිපෙ කඳවුරක් ඇතුලෙ නවකවද විරෝධී ව්‍යාපාරය ගෙනියන එකේ අමාරුව දන්නෙ අපියි. පොඩ්ඩ එහෙමෙහෙ උනොත් ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙන තරමට තත්ත්වය දරුණුයි. කැලණියෙ පුශ්ණ ගැන අහල ඇතිනේ. උන්ට පහරදිලා කෙනෙක් මැරුවත් ගාණක් නෑ. වැරදිකාරයා අල්ලගන්න කෝ සාක්ෂි? ඒ නිසා නවකවද විරෝදී ව්‍යාපාරය හිතන තරම් ලේසියෙන් කරගෙන යන්න අමාරුයි.

නමුත් ඒ එකකට වත් සාර්ථක විවේචනයක් එල්ල කරන්න ඔය රැගා කියල කියාගන්න එක ජෙප්පෙක්ට වත් බැරිවෙලා තිබෙනවා.

මල්ලි හිතනවද ඕකුන් මේ බ්ලොග් කියවනව කියල? මම හොඳට දන්නව අපේ බැච් එකේ ජෙප්පො එකෙක් වත් කලාතුරකින්වත් ලැබ් එක පැත්තෙ එන්නෙ නෑ. මොන ඉන්ටර්නෙට් ද උන්ට. සමහරවිට අලුත් තාක්ෂණේ උන්ගෙ සමාජවාදෙට විරුද්ධ ඇති.

මේ ප්‍රශ්ණය ඉක්මනින් විසඳේවි. මොකද දැන් ඉන්න තරුණ පරපුර ඉස්සරට වඩා බුද්ධිමත්/අවශ්‍යතා සංකීර්ණයි. දැන් තරුණ තරුණියන්ට සමාජය පෙරලන්න යනවට වඩා දේවල් තියෙනවා කරන්න. ඒ නිසා තමයි ජවිපෙ ශීෂ්‍ය බලය ශීඝ්‍රයෙන් අඩු වේගෙන එන්නෙ. තවමත් උන්ගෙ දැලට අහුවෙන්නෙ දුර පලාත්වලින් එන, තෙම්පරාදු නොවුන අහිංසක සොයුරු සොයුරියො තමයි.

Chamitha said...

හ්ම්ම්.. ඔව් අයියා. මට ඔබ කියන දේ දැන් හොඳට තේරෙනවා. මම දැනන් හිටියෙ නෑ දේශපාලනය ඔය තරම්ම ප්‍රබල විදියට විශ්ව විද්‍යාල තුල ක්‍රියාත්මක වෙනවා කියල. විශේෂයෙන්ම ජ'පුර ගැන නම් මම හරියට දැනන් හිටියෙ නෑ. මම හිතුවෙ දේශපාලනමය පැත්ත දැන් තරමක් අඩු ඇති කියල.

ජවිපෙ වගේ අනාගතයක් නැති, යල් පැන ගිය දැක්මක් තියන බංකොලොත් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් තවමත් විශ්ව විද්‍යාල ඇතුලෙ මේ තරම් දරුණු විදිහට කෑගහන පිරිසක් ඉන්නව කියනකොට දුක හිතෙනවා. ඔවුන්ට මේ රටේ අනාගතයක් නෑ කියල මේ නිකන් නාස්ති වෙන්න යන කොල්ලො කෙල්ලොන්ට තේරෙන්නෙ නැද්ද?

අවුරුදු 13ක් දුක් මහන්සියෙන් ඉගනගෙන, උසස් පෙළට ක්ලාස් යන්න අසරණ දෙමව්පියොන්ගෙ රුපියල් ලක්ෂ ගානක් වියදම් කරල මෙහේ ඇවිත් කාලකණ්ණි වෙනව තේරුමක් නැතුව.

එහෙම බලනකොට රැග කියන්නෙත් එක්තරා මාෆියාවක්..:O

chamila_dealwis said...

චමිත,

ජෙප්පන්ගේ වැඩයි සමාජවාදී නියමයි ගාවගන්න එපා. ජෙප්පෝ කරන්නේ සමාජවාදය අනුගමනය නෙමෙයි. ‍මේකට වෙනම ලිපියක් ලියන්නම්.

Chamitha said...

හොඳයි:)

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

@chamila_dealwis
:D මං හිතන්නෙ නෑ ඕකුං සමාජවාදෙ කියන්නෙ මොකක්ද කියලවත් දන්නව ඇති කියල, නිකං බොරුවට බෙරිහන් දුන්නට !

Palitha said...

මේ කතිකාව දැක්කේ පරක්කු වෙලා.
මට තියෙනවා රැග් එක ගැන වෙනස් අදහසක්. මම ඒවා මේ අතරට යොමුකරන්න කැමතියි.
1 රැග් එක තුලින් විවිධාකාරයේ සමාජස්ථර හෝ සමාජ පංති වලින් පිවිසි පිරිස් එකම සමතලයකට ගෙන ඒම.
2 ඊගෝ මමත්වය තුල හිරවී ඇති පිරිස් ඉන් පිටතට ගෙන ඒම
3 සමාජවිද්‍යා පර්යේෂන කෙසේ වෙතත් එක් වර ඇසුරු කිරීමට නොව සමස්තයක් ලෙස වි විද්‍යාලයේ බහුතර සිසුන් කොටසක් ඇසුරු කිරීමට හා මිතුරු වීමට අවස්ථාව ලැබීම.
4 අ‍දෙශපාලනික පාසැල් පරිසරයක සිට පැමිණි පිරිස දේශපාලනය අවකාශයකට ඇතුළු කිරීම.
5 ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යනික හා බාහිර වැඩසටහන් සදහා අඩිතාලම වැටීම.
6 වි විද්‍යාලයේ උපසංස්කෘතින් පවත්වා ගැනීම හා හුරුකිරීම.

සමාජවාදී දෘෂ්ඨි කොණයෙන්
1 පවතින ක්‍රමයේ අසාධාරණය හා අයුතු භාවය ගැන දැන ඉගෙන ගැනිම.
2 තම අයිතිවාසිකම් සදහා එකමුතුව අරගල කළ යුතුබව.
3 සමාජයේ නොයෙකුත් පංතීන් සමව සිටීම මගින් පංති බේදයෙන් ඉවත් වීම හා පංතිබේදයට එරෙහිව ක්‍රියාත්මක වීම.

මෙවැනි කරුණු හිංසාව භාවිතා නොකොට සිදුකළ හැකි ආකාරයක් ගැන මමද සිතමින් සිටිමි. පුළුල් සංවාදයකට කැමතිනම් කරුනු ප්‍රමාණවත් යැයි සිතමි.

Palitha said...
This comment has been removed by the author.
Chamitha said...

මුලින්ම ඔබ දැක්වූ අදහස් කීපය ගැන මම පාලිතට ස්තූතිවන්ත වෙනවා. ඔබේ මතවාද වලට මම ලබාදෙන පිළිතුරු මෙන්න.

1. මම මේ කරුණ සටහනෙදිත් මතු කළා. මට තියන ගැටලුව කායික, මානසික පීඩාවන් තුලින් කොහොමද පිරිසක් සම තලයකට ගෙනෙන්නේ? එසේම මට හැඟී යන ආකාරයට ඔබ කියන්නෙ හැමෝම එක විදිහට රැග කනකොට ඒක දැකල 'අපි හැමෝම එක වගේ' කියල අදහසක් රැග කන්නන්ට ඇතිවෙනවා. ඒක මහා හාස්‍යජනක අදහසක්නෙ?:D මම හරිද? නැතිනම් ඔබ කොහොමද ඒක පැහැදිලි කරන්නේ? නමුත් ඒ තරම නවකයන් හා ජ්‍යෙෂ්ඨයන් අතර කියන්න බැරි තරමෙ බෙදීමක් ඇතිවෙනවා. ජ්‍යෙෂ්ඨයන්ගෙ මොරාල් එක උඩ යනවා. නවකයන්ගෙ මොරාල් එක නැත්තටම් නැති වෙනවා. මේකද ඔබ දකින සමානත්වය?

2. මම හිතන්නෙ මේ අදහසට කලින් සහෝදරයෙක් උත්තර දුන්නා. විශ්ව විද්‍යාලයට එන්නෙ අවුරුදු 20,21 හෝ 22 වන උදවිය. මේ වයස වන විට ඔවුන් හැදිල ඉවරයි. ඒ නිසා මමත්වය තුල හිර වී ඉන්න කෙනෙක් ඉන් පිටතට ගෙන එන්න මාසයක් වද දීල බැහැ. ඔබේ අදහස සත්‍ය යැයි සිතමු. එහෙනම් රැග කාලා විශ්ව විද්‍යාලයෙන් එලියට එන හැම කෙනෙක්ගෙම මමත්වය දුරුවෙල තියෙන්න එපැයි? හික්... එසේ එන බහුතරයකගෙ තියෙන්නෙ පරාර්ථය ද මමත්වය ද කියල බලාගන්න පුලුවන් දොස්තරවරු සහ වෙනත් ඉහළ අධ්‍යාපනික පසුබිමක් තියෙන අය කරන වැඩවර්ජන දැක්කම. මේවා සියල්ලටම අමතරව, මේකෙ භයානකම පැතිකඩ වෙන්නෙ මමත්වය ඇති නැති හැම දෙනාම එකම ආකාරයට පීඩාවට ලක්වෙනව රැග් සමය තුලදි. ඒකෙන් ඔබ කියන 'මමත්වය නැති පිරිස'ගෙ අධ්‍යාත්මයන්ට වෙන්නෙ කියන්න බැරිතරම් හානියක්.

3. කවුරුවත් සමඟ මිතුරු වෙන්න 'රැග' අවශ්‍ය නැහැ. මේ ගැන කලින් ඇති තරම් කතාකරල තිබෙනවා.

4. මෙහෙමයි. මේ කරුණ ගැටලුසහගතයි. පාසල් ජීවිතය අදේශපාලනිකයි කිව්වට අවුරුදු 20 වෙනකොට බොහෝ දෙනා තුල යම් දේශපාලන මතයක් ස්ථාපනය වෙල තිබෙනවා. ඒ නැතත් විශ්ව විද්‍යාල තුල තිබෙන 'ජෙපු' දේශපාලනය තුල නියෝජනයෑන් ඔවුන්ගෙ මතය පමණයි. කවදාවත් සැබෑ කරවන්න බැරි, සටන් පාඨ වලට විතරක් සීමා වෙච්ච දර්ශනයක් වෙනුවෙන් කවුරුවත් පෙනී සිටින්නෙ මොකටද?

5. මේකට රැග අවශ්‍ය නැහැ. මම දන්න තරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නම් රැගාලා ගෙන් කෙරෙන සමාජ සේවයක් නැහැ. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයත් රැගත් අතර සම්බන්ධයකුත් නෑ.

6. උප සංස්කෘතීන් යනුවෙන් ඔබ අදහස් කරන්නෙ මොකද්ද? හිංසනය පදනම් වෙච්ච උප සංස්කෘතියකින් ඇති වැඩේ මොකද්ද?

අවසාන වශයෙන් මේ 'රැග'ත් සමාජවාදයත් අතර සම්බන්ධයක් මම නම් දකින්නෙ නැහැ. ප්‍රවීන් කියන වගේ අඩුගානෙ, ඔය කට කැඩෙනකන් කෑගහන ජෙප්පෙක් වත් නියම සමාජවාදය කියන්නෙ මොකද්ද කියල දන්නවදැයි සැකයි.....

කොහොම වුණත් පාලිත පළකරපු අදහස් මම අගය කරනවා. ඒ වගේම ඔය හැම එකම නවක වදයෙන් තොරව කළ හැකියි කියන මතයට එකඟ වෙන්න කියල මම ඔබට ආරාධනා කරනවා.....

ශාකුන්තල said...

@Palitha,
"රැග් එක තුලින් විවිධාකාරයේ සමාජස්ථර හෝ සමාජ පංති වලින් පිවිසි පිරිස් එකම සමතලයකට ගෙන ඒම, ඊගෝ මමත්වය තුල හිරවී ඇති පිරිස් ඉන් පිටතට ගෙන ඒම, සමාජයේ නොයෙකුත් පංතීන් සමව සිටීම මගින් පංති බේදයෙන් ඉවත් වීම හා පංතිබේදයට එරෙහිව ක්‍රියාත්මක වීම"ඔය දේවල් පරණ පුරුදු තත්වයට පත් වෙන්න ගත වෙන්නෙ රැග ඉවර වෙලා බොහොම කෙටි කාලයයි. ඒක හරියට දියේ ගිල්වූ රබර් බෝලයක් අතහැරියාම සිදු වෙන දේ වගෙයි.

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

චමිතගේ මතයට 100% එකඟයි.

පාලිත, හොඳයි අපි ටිකකට හිතමු ඔබ කියන දේවල් ඇත්ත කියල. වි.විද්‍යාලයට යන්න කලින් මම කියෙව්වා "ලංකාවේ විශ්වවිද්‍යාල උපසංස්කෘතිය" (ඒ වගෙයි මතක) කියල පොතක්. ඒකෙත් තිබුනා රැගේ හොඳ ලක්ෂණ කියල ඔය ආකාරයෙම කරුණු ටිකක්. නමුත් ඔවා ප්‍රායෝගිකව වෙනවද?

1. විවධ සමාජ ස්ථර සම තත්ත්වයට එනවා වෙනුවට වෙන්නේ පහල සමාජස්ථර වල, ග්‍රාමීය ජ්‍යෙෂ්ඨයන් තම හීනමානය නැතිකරගැනීම පිණිස නාගරික නවකයන්ගෙන් (විවිධාකාරයෙන්) පලිගැනීම. එයින් ඒ විභේදනය තවත් උග්‍ර වෙනවා.

2. ඊගෝ මමත්වය නැති වෙන්නෙ කොහෙද ජ්‍යෙෂ්ඨයන්ට තියෙනවා නවකයන්ට වඩා ඊගෝ මමත්වයක් !

4. දේශපාලනික පරිසරයට බලෙන් ඇතුලත් කරන්නෙ මොකටද? තමන් කැමති නම් කැමති දේශපාලනයක් අනුගමනය කරාවි. හැමදෙනාම දේශපාලනයට කැමතිත් නෑ. අනික ඔබ අදහස් කරන්නෙ එන නවකයන් සියලු දෙනා අනිවාර්යෙන් ම ජවිපෙ දේශපාලනයම කරතබාගත යුතු බවද?

5. ඔව්, බාහිර වැඩ සටහන් වලට අඩිතාලම වැටෙනවා හොඳට.. ඒ මොනවද කිව්වොත් පෙලපාලි,උද්ඝෝෂණ හා කැට ව්‍යාපාර මිසක් අධ්‍යාපනික හෝ ජීවිතයට වැදගත්කමක් ඇති දෙයක් නෙමෙයි.

6. ඔය උපසංස්කෘතියේ තියෙන වැදගත් දේවල් මොනවද? "අහවල් බැම්මේ වාඩිවෙන්න පුලුවන් ජ්‍යෙස්ඨයන්ට විතරයි" "විවිද්‍යාලය තුල කඩදාසි ක්‍රීඩාව තහනම්" හේතුව-එය සූදුවක් වීම. ඒත් රෑට රෑට නේවාසිකාගාරය තුල/විවිද්‍යාලයේ කොරිඩෝර වල බොන්න හොඳයි !

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

ශිෂ්‍යයන් (දේශපාලනයට කැමති නම්) දේශපාලනය කල යුතුයි, පෞද්ගලිකව. තමා කැමති පක්ෂයකට වැඩ කරන්න, ඡන්දය දෙන්න ශිෂ්‍යයන්ට අයිතිය තියෙනවා වගේම එය අවශ්‍යයි.

ඒත් දේශපාලනය විශ්වවිද්‍යාලයට සම්බන්ධ කර ගැනීම නිසයි ලංකාවේ විශ්වවිද්‍යාල වල මේ සියලු අවුල් වලට හේතුවත්, ඒවා දියුණු නොවෙන්න හේතුවත්.

Palitha said...

මුලින්ම පැවසිය යුත්තේ මේ හා සමාන සංවාදයක් http://www.theopen.chamiladealwis.com/2009/05/more-to-ragging තුලද තිබේ. එහිද මාගේ අදහස මා දක්වා ඇත.
ඔබලා විසින් මම රැග් පක්ෂපාතී අයෙකු ලෙස නම් කිරීම නිවැරදි නොවේ. සැබැවින්ම මේ සම්බන්ධයෙන් මම ඔබලාට වඩා වෙනස් කියවීමකින් යුක්ත වේ.
@චමිත,
රැග් එකෙන් සම තත්ත්වයට ගෙන ඒම මට න්‍යායිකව පැහැදිලිකර නොහැකියි. ඒත් අත්දැකීමෙන් මා දන්නා සත්‍ය නම් පංතිමය ආකාරයෙන් වෙන්වී තිබූ පිරිසක් පංතිමය බෙදීම ඉවතදමා එකට වාසය කිරීමට හැකියාව ලැබුණු බවයි.ඔබට වි වි අත්දැකිමක් නොමැති නිසා හැකිනම් මාරාන්තික රැග් තියෙන වි වි ශිෂ්‍යයෙකුගෙන් මෙන්ම රැග් නැති වි වි ශිෂ්‍යයෙකුගෙනුයි අහල බලන්න ඔවුන්ගේ මිතුරන් ප්‍රමාණය, ඔවුන්ගේ සමාජ තත්ත්වය, ඔවුන් ඉහළ ශිෂ්‍ය සහෝදරයින් සමග පවත්වන ලද සමීප සබදතාව (විශේෂයෙන් රැග් එක යනු හිතට එන තරහකින් කරනවාට වඩා සැලසුම් සහගත වන්නකි) කොතෙක්ද කියන එක. එවිට ඔබට මේ තත්ත්වයන් හොදින් විමසා බැලිය හැකියි.
මම ඊගෝ මමත්වය කියලා කිව්වේ ආත්මාර්ථකාමී බව කියලා ඔබ වරදවා වටහා ගෙන. එතනදි මම අදහස් ක‍ලේ අපි පුද්ගලයෙක් ලෙස අන්තරාවර්තිව, අභ්‍යයන්තරිකව නැඹුරු වෙලා නම් ඉන්නේ , ඒ හිරවීමෙන් එළියට එනවා කියන එකයි.
රැග් එකයි සමාජවාදය හෝ එකමුතු භාවය කියන එකත් එක්ක තියෙන්නේ දේශපාලන සම්බන්ධයක්. විශේෂයෙන් යම් කිසි දේශපාලන අරමුණකට යද්දි එතැන ක්‍රියාකාරීව සිටින පිරිස අතර අනෝන්‍ය බැදීම අතවශ්‍ය දෙයක්. එතනදි ඒ කාර්යයට වඩා පහසුවක් වෙනවා. විශේෂයෙන් ඔබ කිසිම සම්බන්ධයක් නැහැ කියලා තියෙන ඒවා ඔබට කරුනින් කරුන මම පසුව පිළිතුරක් ලබා දෙන්නම්.

@ශාකුන්තල,
ඔබගේ අදහසට පිළිතුර ඉහත සටහනේම ඇත.

@ ප්‍රවීන්,
වි වි සිසුවෙක් ලෙසට එහි පවතින උප සංස්කෘතීන් ගැන මම ඔබට කරුණු කියන්නට යන්නේ නැත. නමුත් ජීවිතේ සුන්දරම කාලය ලෙස වි වි ජීවිත‍ය ලෙස බොහෝ දෙනෙක් (ඔබට එසේද යන්න මම දන්නේ නැත) හදුන්වන්නේ ඔය කී උපසංස්කෘතිය තුල ජිවත් විම තුලය. සැබැවින්ම එහි න්‍යායික අදහස පිළිබද මා දැනුවත් නමුත් එය මෙතැනට අදාළ යැයි මා හිතන්නේ නැත.

@All,
සැබැවින්ම මම රැග් එක තුල ඇති හිංසනය සදහා සම්පූර්ණයෙන් විරුද්ධ වෙමි. එහෙත්මගේ නිරීක්ෂනයට අනුව රැග් එකට බොහෝ දෙනෙකු විරුද්ධ වන්නේ එහි වන හිංසනය නිසා නොව එහි ඇති දේශපාලනය නිසාය. මෙය ඉහත කරුනු වලද දක්වා ඇත.
එහිදී දේශපාලනය යනු ජවිපෙ හෝ සමාජවාදය පමණක්ම නොවේ. එහෙත් අදේශපාලනික පාසැල් මානසිකත්වයේ සිට වි වි පිවිසි සිසුනට දේශපාලනය සදහා අත්පොත් තැබීමට සමාජ වාදී ශිෂ්‍ය සංගමයේ උත්සාහය මම අගය කරමි. එසේ නම් ශිෂ්‍යායගේ දේශපාලනීකරණය වීමට විරුද්ධ කුමක් නිසාද යන්න වෙනමම කතා කළ යුත්තකි. දැනට මගේ අදහසට අනුව ඕනෑම අයෙක් දේශපාලනික විය යුතුය.ඉන් පසු ඒ අනුව ක්‍රියාකිරීම තම තමන්ගේ නිදහස වේ.

Palitha said...

@චමිත,
ඔබ විසින් අයියලාගේ මොරාල් වැඩි වීමකුත් මල්ලිලාගේ මොරාල් බිංදුව වීම ගැනත් දක්වා ඇත. සැබැවින්ම මෙය සත්‍ය තත්ත්වයක් නොවේ. මෙය සැලැසුම්සහගත ක්‍රමානුකූල ක්‍රියාවලියක් වන අතර එක්තරා කාලයකින් පසු සියළු බැදීම් ඉවත් විමක් සිදුවේ.

@ප්‍රවීන්,
ලංකාවේ වි වි දියුණු නොවීමට හේතුව ‍දේශපාලනය යැයි ඔබ කියයි.සැබැවින්ම සත්‍යයකි. නමුත් ඒ ශිෂ්‍ය දේශපාලනය නිසා නොව අමන පාර්ලිමෙන්තු දේශපාළුවෝ නිසාවෙනි. වි වි දේශපාලනය යනු ලංකාවේ පමණක් නොවේ. ලොව පුරා රටවල වි විද්‍යාල වල සිසූහු තම අයිතීන් සදහා පමණක් නොව තම ‍රටේ, ලෝකයේ අනෙකුත් රටවල ගැටළු සදහාද දැවැන්ත ලෙස පෙනී සිටිති. බෙහෝ රටවල දේශපාලනයේ තිරණාත්මක බලපෑම් කණ්ඩායමක් ලෙස වි වි සිසුන් පෙනීසිටිති. නමුත් ලංකාවේ සමාජය එතරම් පරිණත වි නැත.

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

පාලිත,
විශ්වවිද්‍යාල ජීවිතය සුන්දර අත්දැකීමක් බැව් මෙහි එන්නට පෙර අප අසා තිබුනෙමු. ඒත් ඒ සිහිනය විනාස කරන්නේ ඇතැමෙකුගේ ජීවිතය ද විනාස කලේ ඔය නවක වදය හා බැඳුනු ක්‍රියාකාරකම් සමූහයයි.

මම, ප්‍රථමයෙන් නවකවදයේ කායික හා මානසික හිංසනයට විරුද්ධ වෙමි. දෙවනුව එහි ඇති දේශපාලනික මැදිහත්වීමට විරුද්ධ වෙමි.

දේශපාලනයට අත්පොත් තැබීම මගින් සිසුන්ට කැමති දේශපාලන ප්‍රවාහයක් අනුගමනය කරන්නට නොදී, තම මතයට නම්මවා ගැනීමත්, අනුගමනය නොකරන්නන් මර්ධනය කිරීමත් අනුමත කල හැකිද? ශිෂ්‍ය දේශපාලනය යනු ජවිපෙ පමණක් ද?

Palitha said...

@ප්‍රවීන්
වි වි තුලදී ගත කළ නිදහස් විනෝදකාමී ජීවිතය මම නම් පුද්ගලිකම අත්දකිමි. අත්දකිමින් සිටිමි. ඔබ දේශපාලනයට විරුද්ධ විම ගැන මට අදහසක් ඇත. කැමතිනම් පහත ලින්ක් එකෙන් ඒ පිළිබද මගේ අදහස දැනගන්න.
http://kadaima.blogspot.com/2009/04/blog-post_07.html

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

හෙහෙ... ඔබ පිලිබඳව ආඩම්බර වෙමි. ස්තූතියි. :)

මගේ කමෙන්ටය නැවතත් කියවා බලන්න. සිසුන්ට "කැමති දේශපාලනයක්" අනුගමනය කරන්නට දෙනු විනා මොල සෝදා බලෙන් "එක" දේශපාලන දර්ශණයක් වෙත ඇදගැනීමට මම විරුද්ධ වෙමි.

දැනට මගේ අදහසට අනුව ඕනෑම අයෙක් දේශපාලනික විය යුතුය.
එය ඔබගේ අදහස වූ පලියට සියලුදෙනාගේ අදහස විය යුතු නොවේ :)

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

@පාලිත
ඔබ දේශපාලනයට විරුද්ධ විම.....

මටත් දේශපාලන මතයක් ඇත :)
ඒත් ඒ ජවිපෙ නම් නොවේ ! :D

Chamitha said...

@පාලිත: 'පන්ති වශයෙන් බෙදුණු' කියන එකට මට එකඟ වන්නට බැහැ. ශිෂ්‍යයෙක් පාසලෙන් එළියට එද්දි ඔය කියන 'පන්ති භේදය'ක් ගැන කිසිම අවබෝධයෙන් නොවෙයි ඉන්නෙ. මම ඒ බව කියන්නෙ අත්දැකීමෙන්. (මම පාසලෙන් අස් වීමේ සහතිකය ගත්තෙ දැනට දවස් දෙකකට කලින්. මට ඔය කියන 'පන්ති' වලින් ඇති සත පහක වැඩක් නෑ). මම ඉගෙනගත්ත පාසලේ නම් ඔබ කියන ආකාරයේ පන්ති භේදයක් තිබුණෙ නෑ. එහෙම වචනයක් කවුරුත් අහල තිබ්බෙත් නෑ. ඒක ඇතුලෙ හිටියා සමාජයේ ඉහළ පවුල් වලින් ආපු ළමයි වගේම ඉතාමත්ම පහළ ස්ථර වලින් ආපු ළමයිනුත්. නමුත් මේ සියලුම දෙනා හිටියෙ එක බත්පත බෙදාගෙන කාලා. ඔවුන් කිසිම දිනෙක තමන්ගෙ පවුල් වල වත්කම් ගැන කතා කළේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් තිබ්බෙත් නැහැ. මම මේක කියන්නෙ ඉතාමත් සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලකින් පාසලට ඇවිල්ල අධ්‍යාපනය අවසන් කරපු ශිෂ්‍යයෙක් විදිහට. මම දන්නවා සෑම පාසලකම තත්ත්වය ඕකයි. නමුත් ඔක්කොම අවසන් වෙලා විශ්ව විද්‍යාලයට එනකොට ඇහෙනවා අලුත් වචන. 'පන්ති භේදය' කියයි අර මගුල කියයි මේ මගුල කියයි. කොහෙන්ද මේවා ආවේ? කාගේ උවමනාවටද මේවා භාවිතයට ආවේ? මතක තියාගාන්න, අපි ජීවත් වෙන්නෙ ආදිකාලීන වැඩවසම් යුගයෙ නෙවෙයි. ඔය කියන ආකාරයේ අරුම පුදුම 'පන්ති භේදය'ක් අවුරුදු 20ක මිනිහෙක් තුල නැහැ. නමුත් විශ්ව විද්‍යාලය තුලට ආවම තත්ත්වය මුලුමනින්ම කණපිට ගහනවා. කොහෙවත් නැති ජෙප්පො ටිකක් ඇවිත් කියනවා පන්ති අරගලය වෙනුවෙන් අපි නැගී සිටිමු කියලා. දැන් මොකද වෙන්නේ? කලින් තිබ්බ බැඳීම නැති වෙලා පහළ පන්ති වලින් ආපු අය හිතනවා අපිත් මේක වෙනුවෙන් කඩුව අතට ගන්න ඕනෙ කියලා, ඒ අතරෙ ඉහළ පන්ති වලින් ආපු අය හිතනවා මුන් අපිට විරුද්ධයි, අපි මුන්ගෙන් ඈත්වෙලා ඉන්න ඕනෙ කියලා. ඔන්න ඇතිවෙනව කොහේවත් නොතිබ්බ පන්ති භේදයක්! ඉතින් අර දෙපිරිසගෙම ඔලු වලට වැටිච්ච අදහස ආයෙ කිසිම දවසක ඉවත් කරන්න පුලුවන්ද? බෑ. එක බඩවැල කඩාගෙන වගේ පාසලෙන් පිටතට ආපු ශිෂ්‍යයො දෙන්නෙක් මාරාන්තික හතුරො වෙලා. 'පන්ති භේදය' කියන්නෙ ඕකයි අයියා... අතීතයේ නම් සැබෑ පන්ති භේදයක් තිබ්බ බව ඇත්ත. නමුත් අපි ඉන්නෙ 21 වන සියවසේ. මේ ලෝකයේ තියෙන්නෙ ආර්ථික අර්බුද, ත්‍රස්තවාදී අර්බුද හා සමාජ සභ්‍යත්වය පිළිබඳ අර්බුද විතරයි. ඔය යල්පැන ගිය 'පන්ති අර්බුද' දේශපාලන සටන්පාඨ නැතුව දඟලන බංකොලොත් දේශපාලන පක්ෂ වල බළල් අත් විතරයි. ඔබ පාරට බැහැල බලන්න, රික්ෂෝවක් උඩ ඉඳගෙන කෙවිටකින් සේවකයාට තළ තළ යන උමතු රදළයෙක් හොයාගන්න පුලුවන්ද කියලා....

සමා වෙන්න ඕනෙ ඒ වගේ දෙයක් කිව්වට. නමුත් මම ඔහොම කියන්නෙ, නැති පන්ති භේද ඇතිකරන්න දඟලන ඈයින් කෙරෙහි ඇති වෙලා තියන කෝපයෙන් වගේම අප්පිරියාවෙන්..

ඔබ කියා තිබෙන අනෙක් කරුණත් වැරදියි. අභ්‍යන්තරිකව නැඹුරු වෙලා ඉන්න (introvert) කෙනෙක් බලය පාවිච්ච් කරල බාහිරව නැඹුරු (extrovert) කෙනෙක් කරන්න බෑ. 100ක් ගත්තොත් 5කට විතර ඔය බෙහෙත හරියයි. නමුත් අති බහුතරයට වෙන්නෙ තවත් දැඩි ස්වභාවයකට (hardline) පත්වෙන එක. කෙනෙක් introvert වෙන්නෙ බොහෝ දුරට ඔහුගේ හෝ ඇයගේ මානසික ස්වභාවය නිසා. එක්කෙනෙක් හදන්න තව දහ දෙනෙක් බිල්ලට දෙන එකේ තේරුම කුමක්ද?

මම මේ ලිපිය ලිව්වෙ බොහෝ දුරට නවක වදයෙන් වෙන කායික, මානසික පීඩාව ගැන හිතලා. දේශපාලන පැත්ත දෙවනුවට මම දැම්මෙ. ඔබ නැවතත් ලිපිය කියවලා බලන්න, ඒකෙ මම දේශපාලනයට දීල තියෙන්නෙ ඉතා සුලු ඉඩකඩක්. නමුත් නවක වදයෙ තියන පටු, නිහීන දේශපාලන පැතිකඩ ගැන දැනන් හිටියා නම් මේ ලිපිය බොහෝ දුරට වෙනස් වෙන්න ඉඩ තිබුණා.

උපාසක said...

මම මේ විකිපීඩියාවෙන් උපුටා ගත් ටිකක් එක්කරන්න කැමතියි(http://en.wikipedia.org/wiki/Extraversion_and_introversion).....

The archetypal artist, writer, sculptor, composer, and inventor are all highly introverted.
They prefer to concentrate on a single activity at a time and like to observe situations before they participate.
They are more analytical before speaking.
Introversion is not the same as shyness.

දැන් ඔය විදියට introvert කෙනෙක්ව බලෙන් extrovert කරන්න යාමෙන් ඒ පුද්ගලයාගේ මානසික තත්වය අවුල් කිරීමක් නෙවේද?කල්පනා කරලා වැඩකරන්න පුරුදු වෙලා හිටිය කෙනෙක්ව "එහෙයියෙක්" කරන්න වගේ දෙයක් වෙන්න පුලුවන් නේද?අනෙක් අයගේ තීරණ මත යැපෙනවා වගේ දෙයක්?මම නම් හිත්න්නෙ ඔය 2ටම වඩා Ambivert(50% + 50%) වගේ වෙන එක තමා හොඳ!

මේක ගැන මොකද හිතන්නෙ?ඉස්සර අති දක්ෂ ළමයි මේ "රැග" න් පස්සෙ ඊට වඩා පහළ තත්වයකට වැටිලා තියෙන්නෙ ඇයි?ඒ වගේම අති දක්ෂව ඉදලා ඔය කියන "අලයො" උන ළමයි ඉහළම දක්ෂතා පෙන්නුම් කරද්දී!!

Palitha said...

ඔබට පන්ති සමාජය ගැන වෙනමම කියාදිය යුතුය. තමන් අසා ඇති දේ වලින් දේශපාලන කතිකාවන්ට සහභාගී විම බො‍හෝ බ්ලොග්කරැවන්ගේ ලක්ෂනයකි.නිකං යමක් ඇසුනාට කියවන්න යනවාට වඩා පුළුල් විෂයන් අධ්‍යනයෙන් පසු ඒවා ගැන අදහසකට එලඹෙන්න.කෙසේ වුවත් පන්ති සමාජය ගැන පුළුල් දැනුමක් නොමැතිව ඔබලා විසින් ජවිපෙ දන්න මාක්ස්වාදයක් නොමැති බව පැවසීම කොතෙක් සදාචාරසම්පන්නද යන්න ගැටළුවකි. මට ජවිපෙ ලේබල් අලවීමට අදහස් කරයි නම්
http://kadaima.blogspot.com/2009/03/blog-post_19.html ලින්ක් එකෙන් මගේ ජවිපෙ සම්බන්ද විවේචන දක්වා ඇත. ගැටලුව දේශපාලනය පිළිබදව දැනුමක් නොමැතිව දේශපාලනය ගැන කතා කරන්නට පැමිනීමයි. හංදිවල කතාකරනවාට වඩා වැඩි න්‍යායික පුළුල් තත්ත්වයක් දේශපාලන විෂයේ ඇත. නමුත් අවාසනාවට කාරණය ලාංකික සමාපය දේශපාලනය යනු ආතල් එකක් හෝ තහනම් දෙයක් ලෙසට ගැනීමයි.මම රැග් එකේ හිංසනයට එරෙහි බව මුලින්ම දක්වා ඇත. එහෙත් ඊට විරුද්ධ වන්නන් රැග් එකට වඩා වැඩි හිංසනයන් සහිත දෑ වලදී නිහඩව සිට රැග් එකට කෑගහන්නේ වෙනත් අරමුණකිනි. මේ මැදිහත් වීම ඒ සදහාය.

@උපාසක,
විකීපීඩියාවෙන් මනොවිද්‍යාව ඉගෙන ගැනීම නම් එතරම් හිතකර දෙයක් නොවේ. කොහොම වුනත් ඔය ගැටළුව එනම් රැග් එකේ මනොවිද්‍යාව ගැන මමත් හොයමින් ඉන්නේ.අලයෝ පොද්දෝ ගැන කතාව ඔබේ ස්වයං වින්දනය සදහා පාවිච්චි කළාට කමක් නැහැ. ඔය වැනි තර්කයක් මේ කතිකාව තුලට අදාල නැ

chamila_dealwis said...

කාර්ය බහුලත්වය නිසා ප්‍රතිචාරය හැකි තරම් කෙටි කරන්නම්.

සැමට,
රැගෙහි ඇති ප්‍රචන්ඩත්වයට සියළු දෙනා විරුද්ධ බව පැහැදිලියි. එම නිසා එය ආරම්භ වන්නේ කොතනින්ද යන්න ‍සොයා බැලිය යුතුයි. දේශපාලනික අරමුණු සහිත වූ පමණින් රැගක් ප්‍රචන්ඩ වෙන්නේ නැහැ.

චමිත,
පන්ති භේදය පිළිබඳ ඔබ කරුණු දැක්වීමට පෙර එය කුමක්දැයි හරියට කියවා බැලිය යුතුයි. පන්ති භේදය කියූ පමණින් සිතට එන්නේ රදළයෙක් හා ප්‍රවේණි දාසයෙක් නම් තාමත් පසු ගිය ශතවර්ෂයේ ඉන්නේ ඔබයි. ඉතිහාසය යනු මිනිසාගේ නොනවතින පන්ති අරගලයයි කියූ නිසා රදළයන් නැති වූ පසු ඔබට අනුව ඉතිහාසයත් නැති වේවි.

පාසල තුල හා සරසවිය තුල හා එයින් පිටත පන්ති ‍භේදය : පාසල් සිසුවෙකු තුල තම වත්කම් කතා කිරීමක් නිසැකයෙන්ම දැකිය නොහැකියි. ඒ ඔහුට වත්කම් වලින් වැඩක් නොවන නිසා. නමුත් මේරු මිනිසෙකු බවට පත් වෙද්දී නොනවත්වා මුදල් පසුපස දිවීම පටන් ගන්නවා. සැමදා මිනිසුන් සහෝදරයන් ලෙස සිටින්නේ නැහැ. එසේ සිටීමට බලාපොරොත්තු වෙන්නත් එපා.

බලෙන් දේශපාලනය පැටවීමට මම විරුද්ධයි. මම හිතන්නේ පාලිත සහ මම විරුද්ධ අදහස් දරන්නේ මෙතනදි. නමුත් එම නිසා දේශපාලනය සරසවි වලින් ඉවත් කල යුතු නැහැ. ධනවාදයේ බලකඳවුර වන ඇමෙරිකාවේ සරසවි සිසුන් රජයේ අවිධිමත් ක්‍රියාවලි වලට එරෙහිව (ඇමෙරිකාව විසින් කාම්බෝජය ආක්‍රමණයට එරෙහිව) වීදි බැස්සෙත් සරසවි දේශපාලනය නිසා. අදටත් අදාල සරසවියේ සිසුන් ඔවුන්ව මතක් කරන්නේ ගෞරවයෙන්. දේශපාලනයක් නොමැති සරසවියක බබා පාට් දැකීම මට ඉතාමත් දුක්ඛදායි තත්වයක්. ඕනෑම සරසවි සිසුවෙක් හ‍ට නිසි දේශපාලන දැනුමක් තිබිය යුතුයි. මේ පිළිබඳව මමත් යොමු කිරීමට සිටියේ පාලිතගේ "කුක්කන් බිහි කිරීම හෙවත් පාදංකරය" යන සටහනට, නමුත් එය දැන් කර තිබෙනවා.

පාලිත,
අනවශ්‍ය ලෙස මමත්වයෙන් පිරි සමහර පුද්ගලයින් රැගෙන් පසු වෙනස් වන ආකාරයත් සමහරුන් වෙනස් නොවන ආකාරයත් මම දැක තිබෙනවා. එම නිසා ඒ ගැන නිසි ලෙස කරුණු දක්වන්න බැහැ.

සම තත්වයකට රැගෙන ඒමත් එසේමයි. මිශ්‍ර ප්‍රථිපල තිබෙන්නේ.

සරසවියේ රැග යනු ඉවත් කිරීමට අවශ්‍යම දෙයක් ලෙසයි මම දකින්නේ. ඒ එහි ඇති ප්‍රචන්ඩත්වය නිසාම මිසක් දේශපාලනික බව නිසා නෙමෙයි. දේශපාලනය තහනම් වූ රැග විඳපු කෙනෙක් විදිහට මම දන්න එකම දේ ඒ රැගෙන් ඇති වූ කිසිම පලක් නැති බවයි. දේශපාලනයෙන් තොර රැගක් වැඩක් නැහැ. නමුත් රැගට ප්‍රචන්ඩත්වය නැතිව සිටීමටද බැහැ. ඒ නිසා රැග හැර වෙනත් ක්‍රියාවලියක් දේශපාලනයට යොදා ගත යුතු වෙනවා.

Chamitha said...

මුලින්ම මේ කරුණ සිහිපත් කළ යුතුය. මේ සටහන ලියවී තිබෙන්නේ "නවක වදය තුරන් කළ යුතුය" යන අදහස තේමා කරගෙනයි. පන්ති අරගලය හා දේශපාලනය සංවාදයට ඈඳුණේ පසුවයි. මගේ කලින් කමෙන්ටයකින් "පන්ති භේදය කියා දෙයක් නැතැ"යි වැනි අදහසක් ගම්‍ය වී තිබුණා නම් සමාවන්න. අද දවසේ ද පන්ති භේදය ඇතැම් ස්ථාන වලදී ප්‍රදර්ශනය වන බව සත්‍ය ය. නමුත් ඒ අතීතයේ තරම් ප්‍රබල ලෙස නොවෙයි. නූතන දේශපාලනයේ මේ 'පන්ති භේදය' තවදුරටත් 'මාකට්' කළහැකි මාතෘකාවක් නොවේ. 'පන්ති භේදය' වැනි පුස් වෙඩි පත්තු කළාට අද දවසේ මහජනතාව රැවටෙන්නේ නැත. ඒ බව නූතන මැතිවරණ වලින් මොනවට තහවුරු වී තිබේ.

මෙහි ඇති පුදුමය උපදවනසුලු කරුණ වන්නේ මේ ගැන තවදුරටත් කතා කරන්නේ සමස්ත මහජනතාවගෙන් 2.7%ක් පමණක් නියෝජනය කරන, තම හතළිස් වසරක දේශපාලනය තුල LTTEයට පමණක් දෙවැනි වන හානියක් රටට කළ ජවිපෙ පමණක් වීමයි. සමාජ අසාධාරණය වෙනුවෙන් කියා ඔවුන් දෙවරක්ම අවි අතට ගත්තත් අවසානයේ දිනාගත් කිසිම දෙයක් නැත. සිදු වුණේ අනේකවිධ පාවාදීම් මධ්‍යයේ ලක්ෂයක් තරුණ ජීවිත රටට අහිමි වීම පමණි. මම නම් දකින්නේ නූතන ලෝකය තුල, ජවිපෙ ඉදිරිපත් කරන මේ 'පන්ති අර්බුදය' යනු තවත් එක් සටන් පාඨයක් පමණයි කියායි. ඔබට ඕනෑම මතයක් දැරීමට ඇති අයිතිය මම අගය කරමි. එබැවින් මේ පිළිබඳව තවදුරටත් මම තර්ක කරන්නට යන්නේ නැත.

එසේම සරසවිය තුල දේශපාලනය කිරීමේ අයිතිය මම ඉහළින්ම පිළිගනිමි. මේ බව මම සටහනේ ද දක්වා ඇත්තේ මේ අයුරිනි...

"දේශපාලනික මත දැරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත. විශ්ව විද්‍යාල තුල එම අයිතිය උපරිමයෙන් ඇත. විශ්ව විද්‍යාල තුල දේශපාලනය ගැන කතා නොකළහොත් කතාකරන්නට වෙන තැනක් ද නැත. මන්ද, අති බහුතරක් වූ දේශීය මෙන්ම විදේශීය දේශපාලකයන් බිහි වී ඇත්තේ විශ්ව විද්‍යාල තුලින් බැවිනි. නමුත් ගැටලුව වන්නේ ශිෂ්‍යයාට තම බුද්ධියෙන් එය තෝරාගැනීමට ඉඩ නොතබා බලෙන් කැවීමට තැත් කිරීමයි"

කියා ඇති ආකාරයටම දේශපාලන අදහස් බලෙන් එබ්බවීමට යාම පිළිබඳව මා කොහෙත්ම එකඟ නැත. එසේම ජවිපෙ විසින් "ශිෂ්‍ය දේශපාලනය" යන වදන තම බූදලයක් කරගැනීමට ද මා විරුද්ධ ය. දේශපාලනික හෝ අදේශපාලනික වීමට අයිතිය ශිෂ්‍යයා සතු විය යුතු ය.

අවසාන වශයෙන් මට නැවතත් ඉස්මතු කළ යුතු කරුණ වන්නේ මෙය ශිෂ්‍ය දේශපාලනය වත්, පන්ති අරගලය වත් පිළිබඳ සටහනක් නොවන බවයි. නවක වදයට මගේ ඇති විරෝධය පළ කිරීම මේ සටහන ලිවීමේ මාගේ එකම අරමුණයි. මේ ලිපියේදී නවක වදයට විරුද්ධව මා ඉදිරිපත් කළ කරුණු එකක් වත් බිඳ වැටී නැති බව ද මම අවධාරණය කරමි. සිදුවී ඇත්තේ ඔබ ඉදිරිපත් කළ මතයන් සමඟ එය තව තවත් ශක්තිමත් වීම පමණෙකි. එසේම නවක වදයේ හිංසාකාරී පැතිකඩ තුරන් කළ යුතු බව සෑම කෙනාම පොදු එකඟතාවයකට පැමිණ ඇත. ඒ පිළිබඳව මම ඉතාමත් සතුටු වෙමි. නමුත් මගේ අදහස වන්නේ 'නවක වදය' යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'වදයක්' බවත්, සියලු භේද (දේශපානල භේද ඇතුලුව) නොසලකා සෑම කෙනෙක්ම ඊට එරෙහි විය යුතු බවත් ය....

ඔබේ සියලු අදහස් බෙහෙවින් අගය කරමි.

Anonymous said...

This is a reponse to one Meeharaka who commented in the previous blog entry by Chamitha, this will provide some answers to points Palitha has raised :

Answer to Meeharaka - part 1

Of all the comments, the one by මී හරකා is the only one I feel worth responding. This is my answer to මී හරකා, for his justification of ragging. Sorry if it’s too long…

I was an undergraduate in Peradeniya University in the seventies. It will be of interest for some of you undergrads to find relevant answers to some issues මී හරකා has brought forward in support of the rag, from someone who got mercilessly ragged, without his consent, in the 70’s at UOP.


“ මුලින්ම කියන්න ඕනෙ අනිත් කැම්පස් වල තියෙන ගොන් රැගක් නෙවෙයි පේරාදෙණියෙ තියෙන්නේ. “

Yes, Peradeniya had its own cruel variant of ගොන් රැග for years. The unfortunates were holed up in isolated halls of residence. They are like cattle to slaughter. They have no way to run and no one to protect them. The sub wardens who were there were fully aware of what is going on, but did not respond. The hapless freshers were put together with seniors. The rag that existed in Peradeniya was the most cruel, inhuman, brutal, sadistic and infamous of all rags and it was the most feared. In 1970’s there was no escape from the rag, as every fresher was forced and to face it from the common rag at 4.30 am till late night without a brake. Fortunately those days it lasted only for 3 weeks. Even the most resistant boys and girls were scared out of their wits to succumb. Students residing outside in boarding houses escaped, but the some were forcibly smuggled into the halls after the lectures. Lenin, Marcus, JP, Akbar, sangaramaya and Hilda were the most notorious for ragging. Aru , Jayathilake and Marrs halls accommodated super seniors, who were gentlemen by then, and not much interested.

මල්ලී, ඔයා තාම යකාගෙ නියම ස්වරූපය දැකලා නෑ. එකක් ඔයා තාම අළුත්, අනික් එක ඔයා අල. ඔයා දැකලා තියෙන්නෙ යකාගෙ එක ඇඟිල්ලක් විතර පොඩි කොටසක්. නියම යකාව දැක්කොත් සිහි නැති වෙයි. අනිත් එක රැග් එක කියන්නේ මේ යකාගෙ එක පැතිකඩක් විතරයි. තව පැති ගොඩක් තියෙනවා.

I have seen this YAKA for five years and I was not අල . The front, the back and inside out. It was not a YAKA, but just a little genie in a bottle those days. The yaka came out in the rag season, brought to life by some deranged rag leaders, and spurred on by hateful second years, sometimes by outsiders who have passed out, with jobs or without jobs. These rag leaders regularly visited the halls to scavenge on the scared, frightened newcomers. One such notorious sicko I can remember was “මාකස් අබේ “, who appeared regularly to conduct the common rag in Hilda. This is no sub-culture, it’s a hate-revange-jealosy-thing .In our time boys from rich families, good schools, E Fac and Med Fac students, Handsome students , were hunted down and tortured. It’s a concept which is seen only in some Indian Universities and in the Army. It’s just a convenient time to vent off the frustrations, anger and hatred you got infected with, when you got ragged. It’s just pay back time. This මාකස් අබේ is a big shot now, so are most of the others who propagated this heinous act. Where are they now? Well they have all come out of their “subcultures “and living cushy lives. I have seen these so called Marxist-Leninist සහෝදරයා’s all around the country, adorning newspapers, in high positions, posing as politicos and technocrats.

Anonymous said...

to eliminate "Rag" from university system , it should eradicate JVP from the land.

පේරා Boys said...

හැමෝම ඔය කතාවට කතිරෙ ගහල ඡන්දෙ දුන්නට, රැග් වුණු අපිනෙ ඒනෙ අගේ දන්නෙ. අලයන්ට තේරෙන්නෑ.

Kasun Madushanka said...

SLIIT giyanam wade godaneee

damith sandaruwan said...

විශ්වවිද්‍යාල සංකෘතිය ගැන අක්ක කෙනෙක් ලියපු article එකක් පත්තර වල පලවෙලා තියෙනවා, මට ඒ ලිපිය හොයාගන්න දන්නා, කෙනෙක් උදව් කරන්න ! මට මතක විදියට පේරාදෙණිය විශ්වවිද්‍යාල අක්කා කෙනෙක්

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.