
අනිටා ප්‍රතාප් යනු ඉන්දීය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වැදගත්ම චරිතයකි. මුල් කාලයේදී Indian Express හා India Today යන පුවත්පත් වලට සේවය කළ ඇය පසුව ජාත්‍යන්තර TIME සඟරාවේ වසර 8ක් ද ඉන් අනතුරුව කලක් CNN රූපවාහිනී සේවයේ ආසියානු කලාප ප්‍රධානියා ලෙස ද සේවය කළ සම්මානනීය ජනමාධ්‍යවේදිනියකි. ලොව උසම යුද පිටිය (ඉන්දියාව හා පාකිස්ථානය අතර) වූ අඩි 22000ක් උස සියාචෙන් ග්ලැසියරයේ සිට රූපවාහිනී වාර්තාවක් ගෙන ආ ප්‍රථම ජනමාධ්‍යවේදිනිය ඇයයි. තලේබාන් ත්‍රස්තවාදීන් 1997දී ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නගරය සියතට ගැනීම ගැන රූපවාහිනී වාර්තාව ගෙන ඒම වෙනුවෙන් එම වසරේ ඇමරිකානු George Polk සම්මානය ද හිමි වූයේ ඇයටයි.
ඇය මුල් වරට ප්‍රභාකරන් හමු වූයේ 1985දී වන්නි කැලයේදී ය. එම හමුව ගැන ඇය මෙසේ කියයි. "මගේ සිතේ ඔහු ගැන තිබූ හැඟීම සහමුලින්ම වෙනස් විය. ඔහු ඉතාම සාමාන්‍ය ලෙස ලා නිල් පාට කමිසයකුත් අළු පාට කලිසමකුත් හැඳ සිටියේ ය. ඔහු ඉතාම පහසුවෙන් කඩවසම් දකුණු ඉන්දීය ව්‍යාපාරිකයෙකු ලෙස වරදවා වටහාගැනීමට ඉඩ තිබිණි".
මුල් කාලයේ සිටම ඇය ප්‍රභාගේ කල්ලිය හැඳින්වූයේ නිදහස් අරගලයක යෙදෙන කැරලිකරුවන් පිරිසක් කියා ය. එපමණක් නොව ඇය ඔවුන්ගේ අරගලය සාර්ථක වන බව ද පැවසුවා ය. ඇය සම්මුඛ සාකච්ඡා ලබාගැනීම පිණිස ඔහුව අවස්ථා දුසිමකට වඩා හමුවිය. දිල්ලියේදී, මදුරාසියේදී මෙන්ම වන්නි කැලයේදී ද ඇය ඔහු හමු වී ඇත. මේ හමුවීම් අළලා ඇය ශ්‍රී ලංකාව පිළිබඳ 'Island of Blood' නමින් කෘතියක් ද ලියා ඇත.

ඇය එතැනින් ද නවතින්නේ නැත. 2008 ජූලි මාසයේදී LTTE හිතවාදී 'පුතිනම්' වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී (මෙන්න ඒ සාකච්ඡාව) ප්‍රභාකරන් ගැන පෞද්ගලික වර්ණනාවක් කරමින් මෙසේ ද කියයි. "ඔහු අපේ කාලයේ වැදගත්ම ගරිල්ලා නායකයා ය".
තමාගේ අනාගත බලාපොරොත්තුව ගැන ද පවසන ඇය, "මම තවමත් ප්‍රාර්ථනා කරනවා, මට දිනයක මේ රටට පැමිණ ප්‍රභාකරන්ගේ ජීවිත කථාව ලියන්නට හැකි වේ යැයි කියා. ඒක මගේ ජීවිතයේ සපුරාගැනීමට තියෙන හීනයන්ගෙන් එකක්".
ඒ හීනය දැන් හීනයක්ම පමණයි. ජීවිත කථාව අසාගන්නට දැන් ප්‍රභාකරන් කෙනෙකු නැත. සැබෑ කරගන්නට දැන් ඊළමක් ද නැත. ප්‍රභාකරන් මියයාමෙන් අනතුරුව දැන් අනිටා ප්‍රතාප්ලා ද නිහඬ ය.
1 comments:
පව් හොයාගන්න තිබ්බ ගාන ගැනිට මිස්වුනා.
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.