Pages

Showing posts with label Politics. Show all posts
Showing posts with label Politics. Show all posts

Thursday, May 14, 2009

සෙනසුරාදාට පෙර...

දැන් වෙලාව බ්‍රහස්පතින්දා (14-05-2008) රෑ 12යි. කාලය වේගයෙන් ගතවී යන්නේ ලංකාව මෑත ඉතිහාසයේ මුහුණදුන් අභියෝගාත්මකම දින කිහිපයේ අවසානයත් සමඟයි. නමුත් තවමත් සියල්ල අවසන් නැත. ග්‍රීස් ගහේ නැග සිටින තරඟකරුවා දැන් කොඩිය මත අත තබාගෙන එය ගැලවීමට සූදානමින් සිටියි. මම මේ කියන්නේ වෙන කිසිවක් ගැන නොව වසර 26ක් මුළුල්ලේ ඇදී ගිය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී යුද ගැටලුවේ අවසාන මොහොත දැන් දැන් එළඹෙමින් පවතින නිසා ය. නමුත් මේ වනවිට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට ත්‍රස්තවාදීන් සමඟ පමණක් නොව කාලය සමඟ ද සටනක් දීමට සිදු වී තිබේ. ඒ ඇයි? මෙතෙක් කලක් ශ්‍රී ලංකාවේ අර්බුදය ගැන කට පියාගෙන සිටි බැරැක් ඔබාම ද අද මුල් වරට තම මුඛය විවෘත කළේ ය. ගැටලුව එය ද?

නැත. එය නොවේ. දැනට සති ගණනාවක් මුළුල්ලේ පැවති ඉන්දීය මහා මැතිවරණයේ ප්‍රතිඵල සෙනසුරාදා උදෑසන වන විට නිකුත් වීමට නියමිත ය. ඒ සමඟම එරට තුල දැවැන්ත සටනක් ඇරඹේ. ඒ රජයක් පිහිටුවීමට ය. ඉන්දීය මැතිවරණ ක්‍රමය තුළ තනි පක්ෂයකට රජයක් පිහිටුවීමේ හැකියාවක් නොමැති නිසා ප්‍රධාන පක්ෂයන්ට අනිවාර්යයෙන්ම කුඩා පක්ෂ බිලිබා ගත යුතුය. ඒ අතරින් ද තමිල්නාඩු ප්‍රාන්තය නියෝජනය කරන DMK හා AIDMK පක්ෂ ඉතා වැදගත් ය. ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 540 න් 39 කටම හිමිකම් කියන තමිල්නාඩු ප්‍රාන්තය සාමාන්‍යයෙන් සැලකෙන්නේ රජා තනන ප්‍රාන්තය ලෙසයි. මේ ප්‍රාන්තය තුල ඉන්දියාවේ ප්‍රධාන පක්ෂ 2 වන කොන්ග්‍රසයට හෝ භාරතීය ජනතා පක්ෂයට සැලකිය යුතු බලයක් හිමි නැත. ඒ නිසා 84 හැවිරිදි මුතුවේලු කරුණානිධිගේ නායකත්වයෙන් යුතු DMK හෝ ජයලලිතා ජයරාම් හෙවත් "අම්මා" ගේ නායකත්වයෙන් යුතු AIDMK යන පක්ෂ වලින් බහුතර ආසන ගණනක් හිමිකරගන්නා පක්ෂය බිලිබා ගැනීමට අනිවාර්යයෙන්ම කොන්ග්‍රසයට හා BJPයට අවශ්‍ය වේ. නමුත් මේ මැතිවරණය තුලත් කොන්ග්‍රසයට වැඩි වාසි හිමි නිසා ඔවුන්ට AIDMK පක්ෂය අවශ්‍ය කරන තත්වයක් මතු වුවහොත් අනිවාර්යයෙන්ම එය ලංකාවට හොඳ ලකුණක් නොවේ.

මන්ද ජයලලිතා මැතිවරණ කාලය තුල කී කතා ලංකාවට පැහැදිලිවම තර්ජනාත්මක ඒවා නිසා ය. වරක් ඇය කීවේ තමා දිනුවහොත් ඉන්දීය හමුදාව ලංකාවට යවා ලංකාව තුල වෙනම ඊළමක් ඇති කරන බව ය. ඉතින් එවන් පක්ෂයක් තමිල්නාඩුව තුළ බලයට පත් වුවහොත් එහි සහයෝගය ගැනීමට නම් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට තරමක හෝ ඊට සමාන කටයුත්තක් කිරීමට ඇවැසි ය. සෝනියා ගාන්ධිගේ නායකත්වයෙන් යුතු කොන්ග්‍රස් පක්ෂයේ ආණ්ඩුවක් පවතින වකවානුවක එවැන්නක් වීමේ ඉඩකඩ ඉතා අඩු වුවත් ඉහත කරුණ නිසා ඔවුන් පත් විය හැකි මහත් අපහසුතාවයෙන් ගලවාගැනීමේ මහත් වගකීම ද පැවරී ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවන් මතම ය. ඒ සෙනසුරාදා උදෑසන වන්නට පෙර ඊළම අවසන් කර දීමෙනි. ලබාගන්නට ඊළමක් නැති තැන ඒ සඳහා කෙරෙන ඉල්ලීම ද කුණුකූඩයට යාම වැලැක්විය නොහැක.

කෙසේ හෝ වේවා පසුගිය කාලය තුල ශ්‍රී ලංකාව ගෙනගිය මහා යුද මෙහෙයුමට තිරය පිටුපස සිට (නිහඬව හිඳීමෙන්) මහත් මෙහෙයක් කළ කොන්ග්‍රස් පක්ෂය බේරාගැනීම මේ මොහොතේ ලංකාවේ යුතුකමකි. ඒ නිසා හෙට (හෝ අද) දිනය තුළ යුද පෙරමුණේ ප්‍රබල වෙනසක් සිදුවීම අත්‍යාවශ්‍ය ය. එය ඉන්දියානුවන්ට ද ශ්‍රී ලාංකිකයන් වන අපට ද එක ලෙස තීරණාත්මක ය.

Tuesday, May 5, 2009

ලෝකයේ සංවේදීම දේශපාලන කථිකයා: ඇඩොල්ෆ් හිට්ලර්

ලෝකයේ සෑම දේශපාලනඥයෙකුටම අනිවාර්යයෙන් තිබිය යුතු සුදුසුකම කථිකත්වයයි. එය නැතිව දේශපාලනය කිරීම ඉතා දුෂ්කර කටයුත්තකි. කථිකත්වය දේශපාලන ජනප්‍රියතාවයට හේතුවන ආකාරය පෙන්වීමට පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණය කදිම උදාහරණයකි. බැරැක් ඔබාමාට ජනපති පුටුවට මූලිකවම හේතු වූයේ තම ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යාමේදී ඔහු පෙන්වූ දක්ෂතාවයයි; නැතහොත් කථිකත්වයයි.

දේශපාලනය හා කථිකත්වය අතර ඇති සබඳතාව පෙන්වීමට ඇත්තටම එතරම් දුර බැහැරක යායුතු නැත. අප වෙසෙන ලංකාව ද ඊට ඇති තරම් උදාහරණ සපයයි. එකිනෙක විස්තර කිරීමට අවශ්‍ය නොවන්නේ ඔබට ඒ බව වටහාගැනීම එතරම් අමාරු නැති බැවිනි.

ඒවා කෙසේ වෙතත් ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දේශපාලන කථිකයා ලෙස සැලකෙන්නේ ජර්මනියේ හිටපු ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් ය. මෙම කතාවන් නැරඹීමෙන් ඔබට ඒ පිළිබඳව හොඳ අදහසක් ලබාගත හැකිවනු ඇති...





Saturday, May 2, 2009

කෙලියා තාප්පෙට

ඩේවිඩ් රයිට් මිලිබෑන්ඩ් (මිනි බෑන්ඩ් කියා ද කියයි) ලංකාවට ඇවිත් ගියේය. ඒ තනිවම නොවේ. ඔහුගේ ප්‍රංශ සගයා වන බර්නාර්ඩ් කුච්නර් ද සමඟිනි. බොහෝ දෙනා ඔහු තනතුරින් එංගලන්තයේ විදේශ ඇමති ලෙස සැලකුවත් සැබැවින්ම ඔහු එංගලන්තයේ විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයා ය. තනතුර කුමක් වුවත් ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය දේශීයව මෙන්ම ජ්‍යාත්‍යන්තරව ද මහත් කතාබහටත් අනතුරුව කලබැගෑනියටත් පාත්‍ර විය.

ඇත්තටම මේ මිලිබෑන්ඩ් කවුද? පෙනුමෙන් නම් ඔහු තරුණ කොලු ගැටයෙකු වැනිය. මෙවන් පුද්ගලයෙකුට එවන් වැදගත් තනතුරක් දැරිය හැකිදැයි කෙනෙකුට ගැටලුවක් පැනනැගිය හැක (මගේ අදහස අනුව නම් ඔහු බැරිය). එසේ වුවත් ඔහුගේ සැබෑ වයස 44කි. වයස 29දී එංගලන්තයේ හිටපු අගමැති (එවකට වික්ෂ මන්ත්‍රී) ටෝනි බ්ලෙයාර් ගේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධාන උපදේශක බවට ඔහු පත්විය. පසුව පාරිලිමේන්තුවට පත්ව විවිධ ඇමතිකම් දරා අවසානයේ ඉහත වැදගත් තනතුරට පත්වීමට වරම් ලැබී. තවද තමා දෙවියන් විශ්වාස නොකරන බව ඔහු ප්‍රසිද්ධියේ කියා ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. නමුත් ඔහුගේ වැඩ කටයුතු වලට ලැබෙන ප්‍රතිචාර දකින විට නම් දෙවියන් මතක් නොවන්නේදැයි දන්නේ ඔහුම පමණෙකි. මන්ද යත් මෙම මිලිබෑන්ඩ් ප්‍රසිද්ධව සිටින්නේ යන යන තැන ගැටුම් ආරවුල් ඇතිකරගන්නෙකු ලෙසත් ආරවුල් ඇතිකරගත් පුද්ගලයින්ගෙන් හොඳවයින් දෙකක් අසාගෙන නැවත පැමිණෙන්නෙකු ලෙසත් ය.

2008 ජූලි මාසයේදී ඔහු
'ද ගාර්ඩියන්' පුවත්පතට ලිපියක් ලීවේ ය. එය බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන්ගේ නායකත්වයට එල්ල කළ පහරක් ලෙස බොහෝ දෙනා සැලකීය. මේ හේතුවෙන් ඔහුට ඔහුගේ කම්කරු පක්ෂයෙන්ම් දැවැන්ත ගල් මුල් එල්ල විය. ඒ පළමු අවස්ථාව ය.

අනතුරුව ඔහු මුම්බායි ප්‍රහාරයෙන් පසුව මේ වසර මුලදී ඉන්දියාවේ සංචාරය කළේය. "කාශ්මියරය සම්බන්ධයෙන් ඉන්දියාව දැරූ ස්ථාරවය නිසා ඉන්දියාවට මුම්බායි ප්‍රහාරයට ලක්වීමට සිදු වුණා" යන්නට සමාන අදහසක් මතුකරන්නට ගොස් ඔහුට ඉන්දියාවෙන් ද මහත් ආවේගාත්මක ප්‍රතිචාරයක් එල්ල විය. ඔහු ඉන්දීය අගමැති මන්මෝහන් සිං හා අනෙකුත් ඇමතිවරුන් සමඟ කතා කළ ප්‍රහාරාත්මක, දරදඬු හා ආඩම්බර විලාශය ඉන්දියාව හෙළාදැක තිබිණි. ඔහු තරුණ කොල්ලෙක් ලෙස සලකා තමන් ඔහුට සමාව දෙන බව ඉන්දියාව පැවසීම නිසා මිලිබෑන්ඩ්ට එරටින් පිටවීමට සිදු වූයේ නිරුවතිනි.

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය ද ඉන් විශාල අපගමනයක් පෙන්වූයේ නැත. සාකච්ඡාවක් අතරතුරදී ගෝඨාභය රාජපක්ෂ සමඟ පෞද්ගලිකව ගැටුණු ඔහුට සටන් විරාමයකින් ද තොරව හිස් අතින් ආපසු යාමට සිදුවිය. ඔහු පිටත් වූ විගස මෙරට ආරක්ෂක ලේකම්වරයා පැවසූයේ ඔහු පැමිණ තමාගේ කාලයද කා දමා ආපසු ගිය බව ය.

කෙසේ හෝ වේවා ඔහුගේ මෙම කුඩුකේඩු, පණ්ඩිත ක්‍රියාකාරකම් වලට ජ්‍යාත්‍යන්තරය දැන් වත් නැවතීමේ තිත තැබිය යුතුය.

මිලිබෑන්ඩ් හැදෙන්නේ කවදා ද? ඒ මගේ ගැටලුවයි.

Sunday, April 26, 2009

ඔබාමා මොකද කරන්නේ?

පසුගිය ඇමරිකානු මැතිවරණය අපේ රටේ ඇති කළේ දැවැන්ත කතිකාවක්. ඒකෙදි අපේක්ෂක බැරැක් ඔබාමා වෙනුවෙන් කැන්වසින් කළ පුද්ගලයන් ප්‍රමාණය, ලෝක ගෝලය අනිත් පැත්තෙ තිබුණත් ශ්‍රී ලංකාවේත් සුලු පටු අගයක් ගත්තෙ නෑ. කොහොම වුනත් 2009 ජනවාරි 20 වැනිදා වැඩ භාරගත් ජනාධිපති ඔබාමාගෙ ධූර කාලයෙන් දැන් දින 100ක් ගත වෙලා. මේ කාලය තුල ඔහු ඔහුගෙ රටටත් ලෝකයටත් කළේ මොකක්ද? සොයාබලන්න කාලය එලඹිලා....

මේ කාලය තුල ඔහු ගත්ත වැදගත්ම තීරණය, කඩා වැටෙමින් පැවති සහ පවතින ඇමරිකානු ආර්ථිකයට ඔක්සිජන් දීමේ අරමුණින් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 787ක ආධාර පැකේජයක් මුදාහැරීම බව සඳහන් කරන්න පුලුවන්. මීට අමතරව රාජ්‍ය ලේඛන වල රහස්‍යතාව අඩු කිරීම, මාස 18ක් තුල ඉරාකයෙන් ඇමරිකානු හමුදාව ඉවත්කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම, ඇෆ්ඝනිස්ථානයේ ඇමරිකානු හමුදා ශක්තිය 17000 කින් ඉහළ නැංවීම, 2010 ජනවාරි මාසයට පෙර කියුබාවේ 'ග්වන්තනමෝ බේ' හමුදා කඳවුර වසා දැමීමට උපදෙස් දීම, බුෂ් පරිපාලනය යටතේ තහනම් කල ගබ්සා නීතිගත කර ඇති විදේශ ආයතනයන්ට මූල්‍යාධාර පිරිනැමීම යලි ක්‍රියාත්මක කිරීම සහ වෙනිසියුලාව, කියුබාව වැනි සතුරු ප්‍රතිපත්තියක සිටි රටවල් සමඟ වඩා මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියකට පැමිණීම යනාදියත් වැදගත් තීරණ ලෙස සඳහන් කල යුතුයි.

ඉන් අවසානයට සඳහන් කල කරුණ ලෝකයේ මධ්‍යස්ථ මතධාරී පිරිස් වල මහත් ප්‍රමෝදයට හේතු වුණා. වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් සමඟ අතට අත දී සාකච්ඡා කිරීම ඇතැමුන්ගේ බලවත් විවේචනයට ලක් වුණත් චාවේස් එය හඳුන්වා දී තිබුනේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ අදහාගත නොහැකි වෙනසක් විදියට. බුෂ් පරිපාලනයට එරෙහිව දේශපාලන වේදිකා වල මොර දිදී කෑගහපු චාවේස් මේ ආකායට මිතුරු කරගැනීම මම නම් දකින්නෙ සුභවාදී දෙයක් හැටියට.

නමුත්, මේ සියලු සිදුවීම් මධ්‍යයේත්, ඔබාමා ආගමනයත් සමඟ ලෝකය බලාපොරොත්තු වූ ආකාරයේ දැවැන්ත වෙනසක් නම් තාමත් සිදුවී නොමැති බව සඳහන් කරන්න ඕනෙ. ඒක තවත් තහවුරු කරන්නට මෙන්, නැවත නැගිටියි කියල හිතුව ඇමරිකානු ආර්ථිකයෙ නැගිටීමකට වඩා තියෙන්නෙ පසුබෑමක්.

ජනවාරියත් එක්ක සසඳද්දි 'ඩෝ ජෝන්ස්' කොටස් මිල දර්ශකය දැවැන්ත ලෙස පහල ගිහින්. විරැකියා ප්‍රතිශතය 7.6% ඉඳන් 8.5% දක්වා ඉහල ගිහින්. මේ මාසෙ ඒක තවත් වැඩි වෙන්නට නියමිතයි. දැනට රජයෙ ආධාර මත පවත්වාගෙන යන ජෙනරල් මෝටර්ස්, ක්‍රයිස්ලර් තව ටික දවසකින් බංකොලොත් වෙයිලු..!

ආර්ථිකයට අමතරව තවත් අංශ ගැන ගැටළු මතු වෙලා. 14 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයෙ (ලංකාවෙ නෙවෙයි) 3න් දෙනෙක්ම පසුගිය දින 100 තුල ඉල්ලා අස් වෙලා (එක් අයෙක් නීතිමය ප්‍රශ්නයක් මත, තවත් කෙනෙක් බදු අර්බුදයක් මත සහ අනිත් කෙනා ඔබාමා සමඟ පවතින ප්‍රතිපත්තිමය වෙනස මත) ඔන්න ඔහොමයි දැන් තත්වය. ප්‍රශ්නය තවත් සංකීර්ණ කරමින් කැබිනට් මණ්ඩලයෙ දැන් සිටිය පුද්ගලයින්ගෙනුත් 6 දෙනෙක්ට බදු සම්බන්ධ නීතිමය ගැටළු මතු වෙලා.

ඇමරිකානු මැතිවරණ සටනෙදි අදහස් දැක්වූ පරිදි ගෝලීය උණුසුම ඉහල යාමේ ගැටළුවට විවිධ පියවර අරන් තිබුණත් කියෝතෝ සංධානයට අනුව එකඟ වෙච්ච කරුණු ක්‍රියාත්මක කිරීම තවමත් සිදුකරල නැහැ. ඒ පිළිබඳව මෑතකදි නගපු ප්‍රශ්නයකට ඔහු දීල තිබ්බ පිළිතුර වුනේ ඒක දැන් කල් ඉකුත් වීමට නියමිත නිසා අත්සන් තැබීමෙ තේරුමක් නෑ කියල.

කොහොම වුණත් ඇමරිකානු සහ වෙනත් ගෝලීය ගැටළු සම්බන්ධව දරන ස්ථාවරයන් සහ ගන්නට යෙදුණු පියවර ඔහොම වෙද්දි ශ්‍රී ලංකාව සම්බන්ධව පසුගිය කාලයෙ ඇමරිකානු රජය දැරූ ස්ථාවරය පිළිබඳවත් ශ්‍රී ලාංකීය ජනතාව අතරත් පවතින්නෙ එතරම් හොඳ ආකල්පයක් නෙවෙයි. ඒක ඔබාමාගෙ පෞද්ගලික ස්ථාවරයදැයි දැනගන්නට නැතත් සටන් විරාමයකට යාමට ඔහුගේ රාජ්‍ය ලේකම්, හිලරි රොඩ්හැම් ක්ලින්ටන් ඉදිරිපත් කල යෝජනා සහ ඇගේ වෙනත් ප්‍රකාශ ශ්‍රී ලංකාව තුල දැඩි දෝෂදර්ශනයට ලක් වුණා.

දැනට පවතින තත්වය ඔහොමයි. ලොකු ලොකු සද්ද දාගෙන ආවත් සැබෑවටම වැඩ කරන්න යද්දි කියන තරම් පහසු නැති බව ඒකෙන් අපට පේනව. නමුත් දින 100ක් තුල කෙනෙකු පිළිබඳ සම්පූර්ණ නිගමනයට ඒම වැරදියි. ඒක නිසා ඔබාමා ඉදිරියේදි පෙන්වන වැඩ කිඩ අනුව තමයි ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ බිහිවූ විශිෂ්ටතම ජනාධිපතිවරයා ද නැද්ද යන වග තීරණය කරන්නට සිදුවනු ඇත්තෙ...

Wednesday, April 22, 2009

සිදුවීම් සිදුවීමේ වේගය

ශ්‍රී ලංකාව මේ මොහොත වන විට පවතිනුයේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක ය. මෙතරම් තීරණාත්මක මොහොතකට මා ජීවත් වූ වසර 20ක කාලසීමාවේ දී ශ්‍රී ලංකාව මුහුණදී තිබුණේ නම් ඒ 2004 දෙසැම්බර් 26 වන දින සුනාමි රළ පහර එල්ල වූ අවස්ථාවේ පමණක් බව සිහිපත් කල හැක. සියල්ල ඉතා වේගයෙන් සිදුවෙමින් තිබේ. එය ප්‍රකාශ කිරීමට මගේ යතුරුකරණයේ වේගය මදිදැයි සිතේ.

කෙසේ වෙතත් කරුණු 3ක් මීට මූලික වශයෙන්ම හේතු පාදක වී ඇතිබව සඳහන් කල හැක.

1. LTTEයේ කෘර හස්තයට මැදිව සිටි දැවැන්ත ජනකායක් රජයේ පාලන පෙදෙස් වලට ඇදී එමින් තිබේ. 20 වැනිදා (20-04-2009) ඇරඹි ක්‍රියාන්විතය සමඟ පටන්ගත් මේ පිරිසේ ප්‍රමාණය මොහොතින් මොහොත වැඩිවෙමින් පවතී. ඒ කොතෙක් ද යත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය Exodus Count එකක් පවා අරඹා තිබේ. ලිපිය ලියන මොහොත වන විට එහි සටහන්ව ඇති අගය 90 097කි. මීලඟ යාවත්කාලීනය එනතුරු සියලුදෙනා බලා සිටින්නේ ඉමහත් උද්‍යෝගයෙනි. (ඔබ මේ ලිපිය කියවන විට එහි අගය තවත් ඉහළ ගොස් තිබිය හැක)

2. මානුෂික මෙහෙයුම් සම්බන්ධයෙන් රජයට ජ්‍යාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම් සීඝ්‍ර ලෙස ඉහළගොස් තිබේ. අද දවසේ ලොව වඩාත්ම පීඩනයට පත් රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ බවට සැකයක් නැත (එසේ පවතින අතරත්, සෙනසුරාදා එළඹෙන බස්නාහිර පළාත් මැතිවරණය තකා රැස්වීම් පැවත්වීමට ඔහු අමතක කර නැත. එම අවස්ථාවන් ඡන්ද දායකයිනුත්, ජ්‍යාත්‍යන්තරයත්, ප්‍රභාකරනුත් ඇමතීමට වේදිකාවන් කරගැනීමට තරම් ඔහු උපායශීලී වී තිබේ. එක ගලෙන් කුරුල්ලන් බහුතරයක් බාගැනීම යනු මෙයයි. එහි හොඳ නරක කෙසේ කුමක්දැයි යන්න වෙනම කතාවකි). එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය යනාදී රටවලත් තමිල්නාඩුවේත් අග නගර දෙවනත් කරමින් කොටි හිතවාදීන් පෙළපාලි යන අතර ඉන් කලබලයට පත්වූ එම
ඇතැම් රටවල් නින්දෙන් ඇහැරියා සේ කෑගැසීමට පටන්ගෙන තිබේ. මානුෂික මෙහෙයුම් හරහා හමුදාව දස දහස් සංඛ්‍යාත දමිළ ජනතාවක් මුදාගනු දැක දැකත් මෙසේ ක්‍රියාකිරීම ඉතා ශෝචනීය තත්වයකි. මේ අතර ඇතැමුන්ට ලොකුම ගැටලුව වී ඇත්තේ නිදහස් මාධ්‍යවේදීන් ලෙස හඳුන්වන බටහිර දැවැන්ත මාධ්‍ය ආයතන (Mass media) වල මාධ්‍යවේදීන්ට නිදහසේ උතුරුකරයේ සැරිසැරීමට රජය මගින් ඉඩ ලබා නොදීමයි. ඔවුන් එසේ සැරිසරන්නට ගොස් LTTEයේ වෙඩි උණ්ඩයකට ගොදුරුව මියපරලොව ගියවිට එයටත් කට උත්තර දීමට සිදුවන්නේ රජයටම නොවේද?

3. ලොව කුරිරුතම ත්‍රස්තවාදියා සොයා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ සහ කමාන්ඩෝ බලසේනාවේ විශේෂ කණ්ඩායම් මෙහෙයුම් අරඹා තිබේ. 1987දී ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා වඩමාරච්චි මෙහෙයුමෙන් ගිය තැනට අද ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු හමුදා කණ්ඩායම් පැමිණ තිබේ. දැනටත් යුද මුක්ත කලාපයෙන් අඩකටත් වඩා මුදාගෙන අවසන්ය. දැන් එළඹ තිබෙන්නේ පිරබාහරන්ගේ හෝරාවයි. ඔහු දැන් කුමක් කරනු ඇත් ද? ලෝකයම බලා සිටියි.

කෙසේ වෙතත් ඉදිරි පැය 48ක කාලය තවත් තීරණාත්මක වනු ඇත. ඉහත කරුණු 3න් ම සංවාදයට බඳුන් කල තත්වයන් කුමන දිශාවකට හැරෙනු ඇත්දැයි අපට නිශ්චය කරගත හැකිවනු ඇත්තේ ඉන් අනතුරුවයි.....

Monday, April 20, 2009

කරුණානිධිගේ දේශපාලන විහිලු

තමිල්නාඩු මහ ඇමති මුතුවේළු කරුණානිධි මහතා ලෝකයටම විහිලු සපයන විහිලුකාරයෙකුගේ තත්වයට පත්ව තිබේ.

පසුගිය ඉරිදා (19-04-2009) ඔහු පැවසූයේ LTTE නායක වේලුපිල්ලේ පිරබාහරන් ත්‍රස්තවාදියෙකු නොවන බව ය. "He is my friend. And I'm not a terrorist" ("ඔහු මාගේ මිත්‍රයා ය. එසේම මා ත්‍රස්තවාදියෙකු නොවේ") දකුණු ඉන්දියානු NDTV රූපවාහිනී චැනලය අමතා එසේ පැවසීය. එතෙකින් නොනවතින ඔහු මෙසේ ද පවසයි. "යම්හෙයකින් ඔහු (පිරබාහරන්) ශ්‍රී ලංකා හමුදා අතින් ඝාතනය වුවහොත් තමා අතිශයින්ම කම්පනයට පත්වනු ඇත"

ඒ ඉරිදා ය. මේ සඳුදා (20-04-2009) ඔහු කරන අපූරු ප්‍රකාශයයි.

"LTTEය යනු අන්තවාදී සංවිධානයකි. එය ආරම්භ වූයේ නැක්සලයිට් කල්ලියක් වැනි අන්තවාදී සංවිධානයක් ලෙස නොව විමුක්ති සංවිධානයක් ලෙසයි. නමුත් කාලයත් සමඟ එය අන්තවාදී තත්වයට පත්විය". ඉරිදා ඔහුගේ ප්‍රකාශයට පාලක කොංග්‍රස් පක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධය මේ හදිසි වෙනසට හේතුව බවට සැකයක් නැත. තවදුරටත් අදහස් දක්වන ඔහු මෙසේ ද කියයි "පිරබාහරන් සහ ඔහුගේ සංවිධානය ත්‍රස්තවාදය අතට ගන්නට ඇත. නමුත් එය පිරබාහරන්ගේ වැරැද්ද නොවේ".

මේවා දකින අප හට ඇසීමට තිබෙන්නේ කරුණානිධි මේවා පවසන්නේ රෙදි ඇඳගෙන ද යන්නයි. අද ප්‍රතිපත්තිය හෙට වෙනස් කරන, වාසිය තකා තම මූලික මතවාදයන් පවා පාවාදෙන දේශපාලනඥයන් සිටිනුයේ ශ්‍රී ලංකාවේ පමණක් නොවන බව මෙම උදාහරණය අපට පසක් කරවයි. ඇරඹුණු ඉන්දීය මහ මැතිවරණයේදී දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනතාව දිනාගැනීම ඉහත මුල්ම ප්‍රකාශය පිටුපස පැවති කූට උපාය බව පැහැදිලි ය. නමුත් අනපේක්ෂිත පරිදි පාලක පක්ෂයෙන් එල්ල වූ විරෝධය නිසා ඔහුට සිදු වූයේ රෙදි ගලවා පසෙකින් තබා තම මුල් ප්‍රකාශය මෘදු කිරීමටයි. දැඩි LTTE විරෝධී ස්ථාවරයක සිටි විපක්ෂ නායිකා ජයලලිතා ජෙයරාම් ද මැතිවරණ ජයග්‍රහණය උදෙසා කොටි හිතවාදී වයිකෝ වැන්නන් තම ඔඩොක්කුවේ රොවාගෙන සටන් වදින සන්දර්භයක් තුල කරුණනිධි ද මෙවන් දෑ ප්‍රකාශ කිරීම පිළිබඳ අප පුදුමයට පත්විය යුතු නැත. නමුත් තම ප්‍රකාශය පැය කිහිපයක් තුල තමාටම පාරාවළල්ලක් වීම පිලිබඳව අප ඔහුට අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කළ යුතුය.

ඊට අමතරව ඔහු තවත් අපූරු ප්‍රකාශයක් මෑතකදී කළේ ය. යම් හෙයකින් වේලුපිල්ලේ පිරබාහරන් ශ්‍රී ලංකා හමුදාවට අසු වුවහොත් ඔහුට, ග්‍රීක අධිරාජ්‍ය මහා ඇලෙක්සැන්ඩර්, පෝරස් රජුට සැලකූ ආකාරයට සැලකිය යුතුය යනු එයයි. ඔහු අදහස් කළේ පිරබාහරන් ජීවග්‍රහයෙන් අල්ලාගතහොත් ඔහුට රජෙකුට සමාන අයුරින් සැලකිය යුතුය යන්නයි. නමුත් ඔහු සඟවන එක් කරුණක් තිබේ. එනම් සිංහල ජාතියට, තම සතුරාට සලකන ආකාරය පිළිබඳ කීර්තිමත් ඉතිහාසයක් ඇති බවයි. යුද්ධයෙන් පරාජයට පත්ව ජීවිතක්ෂයට පත්වූ එළාර රජුට දුටුගැමුණු රජු සැලකූ ආකාරය ඔහු නොදන්නේයැයි සිතිය නොහැක.

එසේ නම් එම සිද්ධිය සඟවා අසලක වත් නොමැති ඇලෙක්සැන්ඩර් රජු සම්බන්ධ සිද්ධියක් ඈඳාගැනීමෙන් පැහැදිලිවන්නේ ඔහුගේ කුහකත්වයයි. එක් අතකින් එහි ද පුදුමයක් නැත. මන්ද තම වර්ගයාහේ පරාජයක් වසාගැනීමට ඔහුගේ සිත යොමුවීම ඉතා ස්වභාවික සංසිද්ධියක් වීමයි. නමුත් දෛවෝපගත කරුණ වන්නේ එම විරුද්ධවාදියාගේම භූමිය උදුරාගැනීමට සටන් වැදුණු තම මිත්‍රයා අරභයා නැවතත් උක්ත ඉතිහාසගත පරාජය සිය මුවින්ම අවදි කරවීමට කරුණානිධි දායක වීමයි.....

Saturday, April 18, 2009

'ගැටලුව' සහ 'විසඳුම'

දශක 3ක් තිස්සේ ශ්‍රී ලංකාව දවාලූ යුදමය ගැටලුව (මා මීට 'ජනවාර්ගික' ගැටලුව යන වදන භාවිත කිරීමට නොකැමැති වන්නේ, 'ජනවාර්ගික' හා 'යුදමය' යනු සංකල්පීයමය වශයෙන් සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් ගැටලු ද්විත්වයක් වන බැවිනි. මම මේ පිළිබඳව මතුවට කතාකිරීමට බලාපොරොත්තු වෙමි ) අවසානය කරා ළඟාවෙමින් තිබේ. එය සෑම සියලු ශ්‍රී ලාංකිකයෙකුගේ හදවතක්ම අහ්ලාදයෙන් අභිමානයට පැමිණවිය යුතු කරුණකි. වර්ග කිලෝමීටර් 14ක් වූ යුද මුක්ත කලාපයේ වෙසෙන 40 000 සිට 70 000 ක් වූ සාමාන්‍ය ජනතාව ආරක්ෂිත ප්‍රදේශයට පැමිණි පසු හෝ යුද හමුදාව විසින් එය මුලුමනින්ම තම ග්‍රහණයට ගත් පසු මෙම 'යුදමය' ගැටලුව 'නිල වශයෙන්' අවසානයට පත්වනු ඇත.

නමුත් ඒ හරහා, ශ්‍රී ලංකාව මුහුණපෑ මහා අර්බුදය එක් වරම අවසන් වනු ඇත්ද?

එසේ වෙතැයි සිතීම උගහට ය. ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී යුදමය ක්‍රියාදාමයට නැවතීමේ තිත තැබුණ ද දශක ගණනාවක් තිස්සේ යුද්ධයෙන් සහ පැවැත්මේ අවිනිශ්චිතතාවයෙන් බැට කෑ අහිංසක දමිළ ජනතාවට සැබෑ විමුක්තිය උරුම කර දීමේ මහඟු කර්තව්‍යය පාලක ප්‍රජාව මෙන්ම අනෙකුත් සාමාන්‍ය ජනතාව මත ද පැවරෙනු ඇත. තව දුරටත් බියෙන් සැකයෙන් තොරව එකම රටක් තුල තම අනන්‍යතාව රැකගෙන විසීමට හැකි බව එම පීඩිත ජනතාවට ප්‍රත්‍යක්ෂ කරදීම, අප රට මුහුණදුන් ගැටලුවට නැවතීමේ තිත තැබීම සඳහා වූ අනිවාර්ය සහ ප්‍රමාණවත් අවශ්‍යතාව වනු ඇත.

සැකෙවින් කිවහොත් "තමා ද අයත් දමිළ ප්‍රජාවට, සිංහල ජනතාව සමඟ එකම රටක් තුල නිදහස්ව, නිවහල්ව, ඔවුනට තමන් යටත්ය යන අනුභූතියෙන් තොරව විසිය හැකිය" යන සංකල්පය එම ජනතාවගේ සිත් සතන් තුලට අභිප්‍රේරණය කිරීම, යුගය විසින් අප වෙත පවරා ඇති වගකීමයි.

සමස්තයෙන් 60% ක් තරම් වූ, දකුණේ වෙසෙන ද්‍රවිඩ ප්‍රජාවගෙන් සාතිශය බහුතරය (අන්තවාදී අතළොස්සක් හැර) මෙය මනාව අවබෝධ කරගෙන තිබුණ ද දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන්ගේ ගේ මොළ සේදීම් වලට ලක් වූ උතුරේ ජනතාවට මෙය නිවැරදිව වටහා දීම සඳහා දකුණේ සිංහල බෞද්ධ ජනතාවට තම මිත්‍රත්වයේ දෑත දිගු කිරීමට සිදුවනු ඇත්තේ තමන්ට තම උපතින් උරුම වූ කරුණාව, දයාව සහ රැකවරණය පිළිබඳ බුදු පණිවුඩය ද සිහියට නගාගනිමිනි...