දශක 3ක් තිස්සේ ශ්‍රී ලංකාව දවාලූ යුදමය ගැටලුව (මා මීට 'ජනවාර්ගික' ගැටලුව යන වදන භාවිත කිරීමට නොකැමැති වන්නේ, 'ජනවාර්ගික' හා 'යුදමය' යනු සංකල්පීයමය වශයෙන් සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් ගැටලු ද්විත්වයක් වන බැවිනි. මම මේ පිළිබඳව මතුවට කතාකිරීමට බලාපොරොත්තු වෙමි ) අවසානය කරා ළඟාවෙමින් තිබේ. එය සෑම සියලු ශ්‍රී ලාංකිකයෙකුගේ හදවතක්ම අහ්ලාදයෙන් අභිමානයට පැමිණවිය යුතු කරුණකි. වර්ග කිලෝමීටර් 14ක් වූ යුද මුක්ත කලාපයේ වෙසෙන 40 000 සිට 70 000 ක් වූ සාමාන්‍ය ජනතාව ආරක්ෂිත ප්‍රදේශයට පැමිණි පසු හෝ යුද හමුදාව විසින් එය මුලුමනින්ම තම ග්‍රහණයට ගත් පසු මෙම 'යුදමය' ගැටලුව 'නිල වශයෙන්' අවසානයට පත්වනු ඇත.
නමුත් ඒ හරහා, ශ්‍රී ලංකාව මුහුණපෑ මහා අර්බුදය එක් වරම අවසන් වනු ඇත්ද?
එසේ වෙතැයි සිතීම උගහට ය. ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී යුදමය ක්‍රියාදාමයට නැවතීමේ තිත තැබුණ ද දශක ගණනාවක් තිස්සේ යුද්ධයෙන් සහ පැවැත්මේ අවිනිශ්චිතතාවයෙන් බැට කෑ අහිංසක දමිළ ජනතාවට සැබෑ විමුක්තිය උරුම කර දීමේ මහඟු කර්තව්‍යය පාලක ප්‍රජාව මෙන්ම අනෙකුත් සාමාන්‍ය ජනතාව මත ද පැවරෙනු ඇත. තව දුරටත් බියෙන් සැකයෙන් තොරව එකම රටක් තුල තම අනන්‍යතාව රැකගෙන විසීමට හැකි බව එම පීඩිත ජනතාවට ප්‍රත්‍යක්ෂ කරදීම, අප රට මුහුණදුන් ගැටලුවට නැවතීමේ තිත තැබීම සඳහා වූ අනිවාර්ය සහ ප්‍රමාණවත් අවශ්‍යතාව වනු ඇත.
සැකෙවින් කිවහොත් "තමා ද අයත් දමිළ ප්‍රජාවට, සිංහල ජනතාව සමඟ එකම රටක් තුල නිදහස්ව, නිවහල්ව, ඔවුනට තමන් යටත්ය යන අනුභූතියෙන් තොරව විසිය හැකිය" යන සංකල්පය එම ජනතාවගේ සිත් සතන් තුලට අභිප්‍රේරණය කිරීම, යුගය විසින් අප වෙත පවරා ඇති වගකීමයි.
සමස්තයෙන් 60% ක් තරම් වූ, දකුණේ වෙසෙන ද්‍රවිඩ ප්‍රජාවගෙන් සාතිශය බහුතරය (අන්තවාදී අතළොස්සක් හැර) මෙය මනාව අවබෝධ කරගෙන තිබුණ ද දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන්ගේ ගේ මොළ සේදීම් වලට ලක් වූ උතුරේ ජනතාවට මෙය නිවැරදිව වටහා දීම සඳහා දකුණේ සිංහල බෞද්ධ ජනතාවට තම මිත්‍රත්වයේ දෑත දිගු කිරීමට සිදුවනු ඇත්තේ තමන්ට තම උපතින් උරුම වූ කරුණාව, දයාව සහ රැකවරණය පිළිබඳ බුදු පණිවුඩය ද සිහියට නගාගනිමිනි...
0 comments:
Post a Comment
මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.