Pages

Wednesday, April 22, 2009

සිදුවීම් සිදුවීමේ වේගය

ශ්‍රී ලංකාව මේ මොහොත වන විට පවතිනුයේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක ය. මෙතරම් තීරණාත්මක මොහොතකට මා ජීවත් වූ වසර 20ක කාලසීමාවේ දී ශ්‍රී ලංකාව මුහුණදී තිබුණේ නම් ඒ 2004 දෙසැම්බර් 26 වන දින සුනාමි රළ පහර එල්ල වූ අවස්ථාවේ පමණක් බව සිහිපත් කල හැක. සියල්ල ඉතා වේගයෙන් සිදුවෙමින් තිබේ. එය ප්‍රකාශ කිරීමට මගේ යතුරුකරණයේ වේගය මදිදැයි සිතේ.

කෙසේ වෙතත් කරුණු 3ක් මීට මූලික වශයෙන්ම හේතු පාදක වී ඇතිබව සඳහන් කල හැක.

1. LTTEයේ කෘර හස්තයට මැදිව සිටි දැවැන්ත ජනකායක් රජයේ පාලන පෙදෙස් වලට ඇදී එමින් තිබේ. 20 වැනිදා (20-04-2009) ඇරඹි ක්‍රියාන්විතය සමඟ පටන්ගත් මේ පිරිසේ ප්‍රමාණය මොහොතින් මොහොත වැඩිවෙමින් පවතී. ඒ කොතෙක් ද යත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය Exodus Count එකක් පවා අරඹා තිබේ. ලිපිය ලියන මොහොත වන විට එහි සටහන්ව ඇති අගය 90 097කි. මීලඟ යාවත්කාලීනය එනතුරු සියලුදෙනා බලා සිටින්නේ ඉමහත් උද්‍යෝගයෙනි. (ඔබ මේ ලිපිය කියවන විට එහි අගය තවත් ඉහළ ගොස් තිබිය හැක)

2. මානුෂික මෙහෙයුම් සම්බන්ධයෙන් රජයට ජ්‍යාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම් සීඝ්‍ර ලෙස ඉහළගොස් තිබේ. අද දවසේ ලොව වඩාත්ම පීඩනයට පත් රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ බවට සැකයක් නැත (එසේ පවතින අතරත්, සෙනසුරාදා එළඹෙන බස්නාහිර පළාත් මැතිවරණය තකා රැස්වීම් පැවත්වීමට ඔහු අමතක කර නැත. එම අවස්ථාවන් ඡන්ද දායකයිනුත්, ජ්‍යාත්‍යන්තරයත්, ප්‍රභාකරනුත් ඇමතීමට වේදිකාවන් කරගැනීමට තරම් ඔහු උපායශීලී වී තිබේ. එක ගලෙන් කුරුල්ලන් බහුතරයක් බාගැනීම යනු මෙයයි. එහි හොඳ නරක කෙසේ කුමක්දැයි යන්න වෙනම කතාවකි). එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය යනාදී රටවලත් තමිල්නාඩුවේත් අග නගර දෙවනත් කරමින් කොටි හිතවාදීන් පෙළපාලි යන අතර ඉන් කලබලයට පත්වූ එම
ඇතැම් රටවල් නින්දෙන් ඇහැරියා සේ කෑගැසීමට පටන්ගෙන තිබේ. මානුෂික මෙහෙයුම් හරහා හමුදාව දස දහස් සංඛ්‍යාත දමිළ ජනතාවක් මුදාගනු දැක දැකත් මෙසේ ක්‍රියාකිරීම ඉතා ශෝචනීය තත්වයකි. මේ අතර ඇතැමුන්ට ලොකුම ගැටලුව වී ඇත්තේ නිදහස් මාධ්‍යවේදීන් ලෙස හඳුන්වන බටහිර දැවැන්ත මාධ්‍ය ආයතන (Mass media) වල මාධ්‍යවේදීන්ට නිදහසේ උතුරුකරයේ සැරිසැරීමට රජය මගින් ඉඩ ලබා නොදීමයි. ඔවුන් එසේ සැරිසරන්නට ගොස් LTTEයේ වෙඩි උණ්ඩයකට ගොදුරුව මියපරලොව ගියවිට එයටත් කට උත්තර දීමට සිදුවන්නේ රජයටම නොවේද?

3. ලොව කුරිරුතම ත්‍රස්තවාදියා සොයා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ සහ කමාන්ඩෝ බලසේනාවේ විශේෂ කණ්ඩායම් මෙහෙයුම් අරඹා තිබේ. 1987දී ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා වඩමාරච්චි මෙහෙයුමෙන් ගිය තැනට අද ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු හමුදා කණ්ඩායම් පැමිණ තිබේ. දැනටත් යුද මුක්ත කලාපයෙන් අඩකටත් වඩා මුදාගෙන අවසන්ය. දැන් එළඹ තිබෙන්නේ පිරබාහරන්ගේ හෝරාවයි. ඔහු දැන් කුමක් කරනු ඇත් ද? ලෝකයම බලා සිටියි.

කෙසේ වෙතත් ඉදිරි පැය 48ක කාලය තවත් තීරණාත්මක වනු ඇත. ඉහත කරුණු 3න් ම සංවාදයට බඳුන් කල තත්වයන් කුමන දිශාවකට හැරෙනු ඇත්දැයි අපට නිශ්චය කරගත හැකිවනු ඇත්තේ ඉන් අනතුරුවයි.....

2 comments:

C4 said...

යුද්දය ඉවරේටම ඉවරයි කියලා උඩ පනින එක මහ මොඩ වැඩක් ගරිල්ලා යුද්දයක අරම්බය ??????

Chamitha said...

ඔව්. යුද්ධය එක් වරම අවසන් වෙයි කියන්න අමාරුයි. නමුත් ප්‍රභා අයිය සහිත LTTEය සහ ප්‍රභා අයිය රහිත LTTEය අතර පැහැදිලි වෙනසක් පවතින බව නම් කියන්න ඕනෙ. කොහොම උනත් මං මේක ගැන කලිනුත් ලියල තියනව: http://chamithar.blogspot.com/2009/04/blog-post_18.html

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.