Pages

Saturday, May 9, 2009

විශ්වයේ ලොකුම තරුව

විශ්වයේ මෙතෙක් සොයාගෙන ඇති විශාලතම තරුව වන්නේ VY Canis Majoris ය. වෙනත් මන්දාකිණි වල තරු එකින් එක අධ්‍යයනය කිරීම අපහසු නිසා (සුපර්නෝවා හැර) මුලු විශ්වයේම පවතින විශාලතම තරුව මේ යැයි සහතික වශයෙන්ම කීම අපහසු වුවත් අපේ මන්දාකිණිය වන ක්ෂීරපථයේ ඇති විශාලතම තරුව මෙය වීමට බොහෝ දුරට ඉඩ ඇත. එම නිසා දැනට අපි මෙය අප දන්නා ලොකුම තරුව ලෙස හඳුන්වමු.

පෘථිවියට ආලෝක වර්ෂ 4900ක් දුරින් මහ බල්ලා තාරකා රශියේ පිහිටා ඇති VY Canis Majoris, රතු අධියෝධ ස්පන්දමාන විචල්‍ය තාරකාවකි (Red hypergiant pulsating variable star). විශාලත්වයෙන් ගතහොත් අරය අපේ සූර්යයාගේ මෙන් 1800ත් 2100ත් අතර ගුණයකි. අප වැඩිපුර අසා තිබෙන, එමෙන්ම අති විශාලයි කියා දන්නා බිට්ල්ජූස් තාරකාව ද සංසන්දනාත්මකව ගත්විට විශාලත්වයෙන් සූර්යයා මෙන් 1000 ගුණයක් පමණි. 7වන කාණ්ඩයේ (7th Magnitude) දීප්තිමත් තාරකාවක් වන මේ පිළිබඳව මුලින්ම සඳහන් වන්නේ 1801 දී ජෙරම් ලලන්ඩේ විසින් පිළියෙල කළ තාරකා වර්ගීකරණයේ ය. මෙය ආසන්න වශයෙන් සූර්යයා මෙන් මිලියන භාගයක තරම් ගුණයකින් දීප්තිමත් වන නමුත් ඒ වටා ඇති දැවැන්ත අසමමිතික අඳුරු නිහාරිකාව නිසා පිට කරන ආලෝකයෙන් වැඩි ප්‍රමාණයක් ඊට අවශෝෂණය වේ.

ප්‍රමාණයෙන් විශාලතම තාරකාව වුවත් ස්කන්ධයෙන් හා දීප්තියෙන් වැඩිම තරුව VY Canis Majoris නොවේ. මන්ද එහි ඝනත්වය සාපේක්ෂව අඩු බැවිනි.
2007දී කරන ලද රේඩියෝ තරංග විශ්ලේශන වලින් VY Canis Majoris අවට ඇති වළාව හයිඩ්‍රන් සයනයිඩ්(HCN), සිලිකන් මොනොක්සයිඩ්(SiO), සෝඩියම් ක්ලෝරයිඩ්(NaCl) හා පොස්පරස් නයිට්‍රයිඩ්(PN) යන අණු සහ අයනික සංඝටක නිෂ්පාදනය කරන කර්මාන්තශාලවක් බව සොයාගෙන ඇත. මේ අතරින් PN අණුව තාරකා ජීව විද්‍යාඥයන්ගේ මහත් අවධානයට ලක්ව ඇත්තේ පොස්පරස් මූලද්‍රව්‍යය විශ්වයේ සාපේක්ෂව හිඟ වන අතරම එය DNA, RNA සහ ATP වැනි ජීවයට ඇවැසි සංයෝග වල අනිවාර්යයෙන්ම තිබිය යුතු මූලද්‍රව්‍යයක් බැවිනි.

පහත දැක්වෙන්නේ VY Canis Majoris හි භෞතික දත්ත කීපයකි.

දෘශ්‍ය දීප්ති විශාලනය 7.4–9.6
නිරපේක්ෂ දීප්ති විශාලනය -9.4
වර්ගය (spectral type) M3Ie–4Ie
දීප්තතාවය (Luminosity) 500,000 Lsun
අරය 1,800–2,100 Rsun
ස්කන්ධය 30–40 Msun
දුර 4900 light-years (1,500 pc)
පිහිටීම R.A. 07h 22m 59s,
Dec. -25° 46' 02"
වෙනත් හැඳින්වීම් HD 58061, HIP 35793

එහි විශාලත්වය අවබෝධ කරගැනීමට පහත වීඩියෝ දර්ශනය නරඹන්න.

0 comments:

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.