skip to main |
skip to sidebar
පූර්ව ලිපියට ඇතැම් දැඩි භෞතිකවාදීන් කෙරෙන් ප්‍රබල විවේචන එල්ල වුවද ඉන් එහි වැදගත්කම හීන වූ බවක් නොපෙනේ. බෞද්ධ විශ්ව න්‍යායවේදයෙහි එන කරුණු හුදු ප්‍රබන්ධ යැයි කීමට වෙර දරනා මොවුන් නානාප්‍රකාර දෘෂ්ටීන්ගෙන් මේ දෙස බැලිය හැකි වුවද මෙම කරුණු ඉදිරිපත් කරනුයේ අති බහුතරයක් වූ සාමාන්‍ය බෞද්ධ ජනයාට බුදු දහමේ ඇති විශ්ව සංකල්පය පිළිබඳ අවබෝධයක් ලබාදීමට විනා බුදු දහම හුදු විද්‍යාත්මක කිරීමේ අටියෙන් නොවන බව කරුණාවෙන් සළකන්න.
කලින් ලිපියේ අප සාකච්ඡාවට බඳුන් කළේ බෞද්ධ දර්ශනයේ එන චක්කවාද/චක්කවාල විශ්ව න්‍යායවේදයයි. දැන් අප පළමුව අවකාශ විශ්ව න්‍යායවේදයෙහි සහස්‍ර විශ්ව න්‍යායවේද කොටස ගැන සොයා බලමු. මේ යටතේ විස්තර කෙරෙන්නේ අප වාසය කරන්නා වූ විශ්වයෙහි භෞතික ස්වභාවයයි. සැකෙවින් කිවහොත් විශ්වය තුළ දක්නට ලැබෙන පොකුරු ගැසීම් (groupings) වේ. බෞද්ධ දර්ශනය විශ්වය අදියර තුනකින් බෙදා දක්වයි. (මෙම ලිපියේ එන ඇතැම් කරුණු කලින් ලිපියේ එන කරුණු සමඟ ඍජුවම සම්බන්ධ වන බව කරුණාවෙන් සලකන්න). ඒවා නම්;
- සහස්සී චූලනිකා ලෝක ධාතුව -- Small Chiliocosm : සහස්සී චූලනිකා ලෝක ධාතුව යනුවෙන් හැඳින්වෙන ඒකකය නිර්මාණය වී ඇත්තේ කුඩා ලෝක 1000 ක එකමුතුවෙනි. මෙහිදී කුඩා ලෝකයක් ලෙස ගැනෙන්නේ කලින් ලිපියේ සඳහන් කරන ලද මානසික ස්තර 31 අතරින් 14 වන තලයේ සිට පහළට ඇති ලෝකයි. ඒවා අතරට ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක 3 ද, සුර ලෝක 6 ද, මානව ලෝකය ද දුක්ඛ ලෝක 4 අයත් වේ. මෙවන් සංකලනයකින් යුතු එක් කුඩා ලෝක පද්ධතියක් කල්ප එකක් අවසානයේ ගින්නෙන් විනාශ වී යයි. මෙවන් කුඩා ලෝක 1000ක එකමුතුවෙන් සහස්සී (අංග 1000කින් යුත්) චූලනිකා (චූල/කුඩා) ලෝක ධාතුවක් නිර්මාණය වේ. මෙම ලෝක ධාතුවෙහි ඇති සෑම කුඩා ලෝකයක් ම එක්වර නිර්මාණය වී විනාශ වී යාමට හේතුවක් නැත. එය සහස්සී චූලනිකා ලෝක ධාතුවේ ආයු කාලය වන කල්ප 8ක් පුරාවට විවිධ අවස්ථා වලදී නැවත නැවතත් සිදුවීට ඉඩකඩ ඇත. මෙසේ එම එක් එක් කුඩා ලෝකය විනාශ වන වාරයක් පාසා එය නැවත ජනාවාස වන්නේ සහස්සී චූලනිකා ලෝක ධාතුවට අයත්, එහෙත් කුඩා ලෝකයට පිටතින් පිහිටි, ද්විතියික රූප ධ්‍යාන ලෝක හෙවත් ආභස්සර ලෝක වල (ස්තර 17-15) වැසියන්ගෙනි. කල්ප 8ක් අවසානයේ සහස්සී චූලනිකා ලෝක ධාතුව ද ජලයෙන් විනාශ වී යයි.
- ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව -- Medium Dichiliocosm : ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව නිර්මාණය වන්නේ සහස්සී චූලනිකා ලෝක ධාතු 1000ක සංකලනයෙනි. තෘතියික ධ්‍යාන (සුභක්ෂ්ණ) බ්‍රහ්ම ලෝක (ස්තර 20-18) පිහිටා ඇත්තේ සහස්සී චූලනිකා ලෝක ධාතුවට පිටතින් ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව තුළ ය. එනම් මෙහි ඇති ජනාවාස වූ කුඩා ලෝක ගණන මිලියනයකි. සෑම කල්ප 64ක් අවසානයේම ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව ද සුළඟින් විනාශ වී යයි. කල්ප 8කට වරක් සහස්සී චූලනිකා ලෝක ධාතුව ජලයෙන් විනාශ වී ගිය විට ඒවා නැවත ජනාවාස වන්නේ සුභක්ෂ්ණ බ්‍රහ්ම ලෝක වල වැසියන් ගෙනි.
- ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව -- Great Trichiliocosm : ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව නිර්මාණය වන්නේ ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතු 1000ක සංකලනයෙනි. චතුර්ථ ධ්‍යාන (බ්‍රහත්ඵල) බ්‍රහ්ම ලෝක වල (ස්තර 23-21) සිට ඉන් ඉහළට ඇති සියලුම ලෝකයන් පිහිටා ඇත්තේ ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුවෙන් පිටත ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව තුළයි. එනම් මෙහි ඇති ජනාවාස වූ කුඩා ලෝක ගණන බිලියනයකි. ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව කිසි දිනෙක විනාශ වී යන්නේ නැත. කල්ප 64කට වරක් ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව සුළඟින් විනාශ වී ගිය විට ඒවා නැවත ජනාවාස වන්නේ බ්‍රහත්ඵල බ්‍රහ්ම ලෝක වල වැසියන් ගෙනි. බ්‍රහත්ඵල බ්‍රහ්ම ලෝක වලින් පිටත ඇති ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල වැසියන් කිසි දිනෙක තමන් ලබා සිටින අධ්‍යාත්මික දියුණුවෙන් පිරිහී පහළට වැටෙන්නේ නැති අතර (අනාගාමී වී ඇති නිසා) අරූපාවචර බ්‍රහ්ම ලෝක වල වැසියන්ට රූපයක් නැති නිසා ඔවුන් අන් ලෝක වල වැසියන් සමඟ අන්තර්ක්‍රියා කරන්නේ නැත.
මීට සාපේක්ෂව නූතන තාරකා විද්‍යාවට අනුව ද විශ්වය ප්‍රධාන කොටස් තුනකින් සංයුක්ත වී ඇත. ඒවා නම්;
- මන්දාකිණි -- Galaxies : මන්දාකිණියක් යනු තාරකා (Stars), වායු පටල (Gas clouds)හා දුහුවිලි අංශු (Dust particles) ඇතුළත් අන්තර්තාරීය මාධ්‍යය (Interstellar medium) සහ උපකල්පිත අඳුරු පදාර්ථයෙන් (Drak matter) නිර්මිත ගුරුත්වයෙන් එකට බැඳුනු අති විශාල තනි පද්ධතියකි. මේවායෙන් ඇති ඇතැම් තාරකා වටා ග්‍රහ මණ්ඩල පිහිටා ඇති අතර තවත් ඒවායේ එසේ නැත. තාරකා විවිධ ප්‍රමාණයන්ගෙන් එක්වී මන්දාකිණි නිර්මාණය වේ. අප වාසය කරන ක්ෂීරපථයෙහි ආසන්න වශයෙන් තාරකා බිලියන 200ත් 400ත් අතර සංඛ්‍යාවක් ඇත.
- මන්දාකිණි පොකුරු -- Galaxy Clusters : මන්දාකිණි කණ්ඩායම් (Groups) හා පොකුරු (Clusters) ලෙස මේවා කොටස් දෙකකි. කණ්ඩායමක ආසන්න වශයෙන් මන්දාකිණි 10ත් 50ත් අතර සංඛ්‍යාවක් ඇති අතර පොකුරක 50සිට දහස් ගණනක් දක්වා පිහිටිය හැක. මේවා අතර නිශ්චිත බෙදුම් ලකුණක් නැතත් මේවායේ විශේෂත්වය වන්නේ විශ්වය තුළ ගුරුත්වය මගින් බැඳී ඇති විශාලතම ව්‍යුහ පද්ධතීන් මේවා වීමයි. අප වසන ක්ෂීරපථය ඇත්තේ Local Group නමින් හැඳින්වෙන මන්දාකිණි පොකුර තුළ ය. එහි මන්දාකිණි 40කට අධික සංඛ්‍යාවක් ඇත. නමුත් මේවා තුළ එක් එක් තනි මන්දාකිණි වල ප්‍රවේගයන් සළකා බලන විට, ඒවාට එතරම් විශාල ප්‍රවේගයක් අත්කරගන්නා අතරම ගුරුත්වයෙන් බැඳී පැවතීමට නම් තවත් විශාල, දර්ශනය නොවන, අද්භූත ස්කන්ධයක් පැවතිය යුතු යැයි විශ්වාස කෙරේ. ඊට අඳුරු පදාර්ථය යන නම ව්‍යවහාර වේ. මේවා පරීක්ෂණාත්මකව සොයාගෙන නැත.
- සුපිරි මන්දාකිණි පොකුරු -- Galaxy Superclusters : සුපිරි මන්දාකිණි පොකුරු යනු මන්දාකිණි පොකුරු (Galaxy Clusters) විවිධ ප්‍රමාණයන්ගෙන් එක් වී ඇති පද්ධතියකි. අප වසන පොකුර වන එක අයත් වන්නේ Local Supercluster හෙවත් Virgo Supercluster එකටයි. මෙහි මන්දාකිණි පොකුරු 100ක් පමණ ඇතැයි විශ්වාස කෙරේ. කලක් යනතුරු සිතා සිටියේ විශ්වයේ විශාලතම ව්‍යුහයන් මේවාය කියා ය. නමුත් ප්‍රබල දුරේක්ෂ භාවිතයෙන් මෑතකදී කළ අධ්‍යයනයන් වලින් Superclusters වලටත් වඩා විශාල සූත්‍රිකා (Filaments), ප්‍රාකාර (Walls) වැනි අති විශාල පද්ධතීන් විශ්වයේ ඇතැයි සොයාගෙන තිබේ. නමුත් මේ එකක් වත් ගුරුත්වයෙන් බැඳී නැති අතර එක පොදියට පිහිටා ඇති අතර Voids නම් ඒවා අතර ඇති විශාල හිස් ඉඩ ප්‍රමාණ වලින් වෙන්වී ඇති නිසා ව්‍යුහයන් ලෙස නිර්ණය කෙරේ. මේවාට කිසිදු නිශ්චිත හැඩයක් නැති අතර පොදුවේ super cluster complexes යන නම ව්‍යවහාර කෙරේ.
බෞද්ධ විශ්ව න්‍යාය වේදය සහ නූතන විශ්ව න්‍යායවේදය යන විෂයන් අධ්‍යයනය කරන කිසිවෙක් මෙම පද්ධතීන් සන්සන්දනය නොකළ යුතුය. ඊට හේතුව නූතන විද්‍යාඥයන් අතර නූතන විද්‍යාවේ, මහා පරිමාණ විශ්ව ආකෘතිය (large scale structure of universe) පිළිබඳ කිසිදු එකඟතාවන් නොමැති වීමයි. මෙහි එන කරුණු බොහෝමයක් සොයාගන්නට යෙදුනේ 90දශකය අග භාගයේදී සහ 21වන සියවසේදී ය. එම කරුණු දිනපතා කරන සොයාගැනීම් හරහා දිනපතාම වෙනස් වීම් වලට භාජනය වේ. එසේම Dark matter, Dark energy වැනි උභතෝකෝටිකයන් ගැන තවමත් නිසි අවබෝධයක් විද්‍යාඥයන් අතර නැත. Dark matter යන සංකල්පය කරළියට පැමිණියේ ම මන්දාකිණි වල ස්කන්ධය පිළිබඳ මතුවූ ගැටලුවක් නිසා ය. එනම් ගණිතමය වශයෙන් බලන විට තිබිය යුතු ලෙස පෙනෙන ස්කන්ධය නිරීක්ෂණයෙන් දැකිය නොහැකි හෙයිනි. (මේ නිරීක්ෂණය මුල් වරට කරන ලද්දේ 1933 දී Fritz Zwicky නම් විද්‍යාඥයා විසිනි). අප සෑම දෙයක්ම නිරීක්ෂණය කරන්නේ විද්‍යුත් චුම්බක තරංග ආධාරයෙනි. විද්‍යුත් චුම්බක තරංග වලට හසු නොවන දෙයක් ඍජුව හෝ වක්‍රව කිසිදු ආකාරයක පරීක්ෂාවකින් තහවුරු කළ හැකි නොවේ. වත්මන් විශ්ව න්‍යායවේදීන් ද මුහුණදී ඇති ගැටලුව මෙයයි. පුදුමයකට මෙන් නිවන හෝ සුර ලෝක පිළිබඳ බෞද්ධ මතය විවේචනය කරන ඇතැම් බක පණ්ඩිතයන් මේවා දන්නේ නැත. ඔවුන් සිතා සිටින්නේ පරීක්ෂණාත්මකව තහවුරු කළ නොහැකි කිසිදු දෙයක් සැබෑවට පවතින්නේ නැතැයි කියා ය.
නැවතත් Dark Matter දෙසට හැරෙමු. තවත් විද්‍යාඥයන් පිරිසක් තර්ක කරන්නේ Dark Matter ආශ්‍රිත මෙම ස්කන්ධ ගැටලුව ඇතිවන්නේ නිව්ටන් නියම හරිහැටි අවබෝධ කර නොගැනීම නිසායැයි කියා ය. ඔවුනට අනුව අප දැනට භාවිතා කරන නිව්ටන්ගේ දෙවන නියමය වැරදි ය. අප සෑම විට ම ත්වරණයෙන් ගමන් කරන වස්තුවක් සඳහා F=ma සමීකරණය යෙදීමට පුරුදුව සිටියත් ත්වරණය ඉතාමත් කුඩා වන මන්දාකිණියක් වැනි පද්ධතියකට එය එසේ යෙදිය නොහැක. ඒ වෙනුවට F=ma සමීකරණය මෙසේ වෙනස් වේ.
F=m.µ(a/a0).a
µ(a/a0)=µ(x) ලෙස ගනිමු
|x|≫1 විට µ(x)=1
0 <|x|≪1 විට µ(x)=x ද වේ
මෙහි;
m= වස්තුවේ/මන්දාකිණියේ ස්කන්ධය,
a= වස්තුවේ/මන්දාකිණියේ ත්වරණය,
a0= නිර්ණය කළ යුතු නියතයක්.
a0=1.2×10−10 ms−2 බව පසුකාලීන අධ්‍යයන වලින් හෙළි වී ඇත. මන්දාකිණි වල ත්වරණය ඉතා අවම නිසා (1.2×10−10) ඒවා ගණිතමය සමීකරණයන්ට නැංවීමේදී µ(x) පදය විශාල කාර්ය භාරයක් ඉටු කරයි. එමගින් ඳුරු පදාර්ථය තුළ ගැබ්ව ඇති ස්කන්ධ ගැටලුව විසඳෙනු ඇති බවට ඇතැම් විද්‍යාඥයෝ විශ්වාස කරති. 1981 දී Mordehai Milgrom විසින් ඉදිරිපත් කළ මෙම න්‍යාය හැඳින්වෙන්නේ Modified Newtonian Dynamics (MOND) යන නමිනි. විද්‍යාවේ නව පැතිකඩක් විවර කිරීමට මෙය සමත් වුවද ගුරුත්ව කාච ආචරණය ආශ්‍රිත ගැටලු පැහැදිලි කිරීමට මෙය අපොහොසත් වීම නිසා මෙය තවමත් බහුතර විද්‍යාඥ පිරිසක් අතර පිළිගැනෙන්නේ නැත. 2004 දී Jacob Berkenstein විසින් ඉදිරිපත් කළ TeVeS (Tensor-Vector-Scalar) නම් සාපේක්ෂතා MOND න්‍යාය (Relativistic MOND theory) හරහා මුල් න්‍යාය තුළ පැවති ප්‍රශ්න බොහොමයක් විසඳුන ද තවමත් ඒය සර්ව සම්පූර්ණ තත්ත්වයේ නැත. නමුත් තවමත් බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ පැරණි Dark Matter න්‍යායයි. ඒ එම න්‍යාය සත්‍ය නිසා නොව ඊට අභියෝගයක් එල්ල කිරීමට අනෙක් න්‍යායන් අසමත්ව ඇති නිසා පමණි.
මා මේ කරුණු ඉදිරිපත් කළේ නූතන විශ්ව න්‍යායවේදය පැටලී සිටින පඹගාල කුමක්දැයි ඔබට මඳක් හෝ අවබෝධ කරගැනීම පිණිස ය. මේ කිසිවක් නොදැන ඇතැම් පුද්ගලයන් නිවන හා මානසික ස්තර 31 පර්යේෂණාත්මකව ඔප්පු කළ නොහැකි යැයි පැවසීම ඉතා කණගාටුදායක තත්ත්වයකි.
මෙහිදී පැහැදිලි කළයුතු තවත් කරුණක් තිබේ. එනම් විශ්වයේ මහා පරිමාණ ආකෘතිය පිළිබඳ නූතන විද්‍යාත්මක අ(න)වබෝධයයි. නූතන විද්‍යාවට අනුව විශ්වය වසර බිලියන 13.7ක් පමණ පැරණි ය. මේ පිළිබඳ විවිධ තර්ක ඇති බව මා කලින් ලිපියක සඳහන් කරන ලදී. එම නිසා ඒ ගැන නැවත නැවත කීමට යන්නේ නැත. නමුත් නූතන විද්‍යාවට අනුව විශ්වයේ ව්‍යුහය ගැන අපූරු කරුණු සොයාගෙන ඇත. මා කලින් සඳහන් කළ මන්දාකිණි, මන්දාකිණි පොකුරු, සුපිරි මන්දාකිණි පොකුරු යනාදී සියල්ල අයත් වන්නේ නිරීක්ෂණය කළහැකි විශ්වය (Observable Universe) ටයි.
Obsevable universe යනු අපට පෙනෙන විශ්වයයි. අපට පෙනෙන විශ්වයක් ඇත්තම් අපට නොපෙනෙන විශ්වයක් ද තිබිය යුතු ය. අපට පෙනෙන විශ්වය යනු නිරීක්ෂකයා කේන්ද්‍ර කරගත් අරය ආසන්න වශයෙන් ආලෝක වර්ෂ බිලියන 46.5ක් පමණ වූ ආසන්න වශයෙන් ගෝලාකාර වස්තුවකි. නමුත් එහි අදහස විශ්වයේ මධ්‍යය පෘථිවිය බව නොවේ විශ්වයේ කුමන තැන සිට බැලුව ද එය වටා පෙනෙන ලෝකය (විශ්වයේ) අරය ආලෝක වර්ෂ බිලියන 46.5කි. ඇතැමුන්ට මෙය ආගන්තුක සංකල්පයක් විය හැක. මන්ද නූතන අයින්ස්ටයිනීය සාපේක්ෂතාවාදය මගින් යම් වස්තුවක් ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගමන් කිරීමට බාධක දමන බැවිනි. ඔව් එය සැබෑ ය! නමුත් අවකාශය යනු තවත් එක් වස්තිවක් නොවේ. අවකාශය ප්‍රසාරණය වන්නේ අවකාශය තුළ ම ය. එසේම අවකාශ කාලය පැතලි (flat) දෙයක් නොවේ. අවකාශ කාලය වක්‍ර වී ඇත. එම නිසා විශ්වයේ වයස අවුරුදු බිලියන 13.7ක් වූ පමණින් (ප්‍රතිවිරෝධතා ගහණ ය) විශ්වය ද අරය ආලෝක වර්ෂ බිලියන 13.7ක් වූ ගෝලයක් වීමට අවශ්‍ය නැත. අඩුම තරමින් විශ්වය ගෝලයක් දැයි කියා වත් නූතන විද්‍යාව නොදනී!
නූතන විද්‍යාවම අනුමාන කරන පරිදි සැබෑ විශ්වය අප දකින විශ්වයට වඩා බෙහෙවින් විශාල ය. එය කොතෙක් දැයි කිවහොත් අප දකිනා සහ නොදකින විශ්වය අතර ප්‍රමාණ අනුපාතය ms−2 ට අඩු නිසා ඒ තුළ
අවම වශයෙන් 1:1023 ත් 1:1026ත් අතර වේ. මෙය සාපේක්ෂව සඳහන් කළහොත් අපට පෙනෙන විශ්වය දොඩම් ගෙඩියක් නම් නොපෙනෙන විශ්වය පෘථිවිය තරම් විශාල ය! (සාපේක්ෂ පරිමාණය 1:1024). අපට එසේ නොදැකිය හැකි කොටසක් තිබීමට හේතුව එතරම් ඈතක සිට විද්‍යුත් චුම්බක තරංග අප වෙත ඒමට හැකියාවක් නැතිකම ය. අප ඈත මන්දාකිණි කියා දකින්නේ අතීතයයි. කෙනෙකුට කාලය හරහා පිටුපසට යෑමට ඇති එකම ක්‍රමය ඈත තරු එළිය දෙස බලා සිටීමයි. එපමණක් ද නොවේ. ක්‍රම ක්‍රමයෙන් අපට පෙනෙන විශ්වයේ ඇති දෑ ද නොපෙනී යමින් තිබේ. ඊට හේතුව නම් ඈත ඇති මන්දාකිනි අපේ එකේ සිද්ධි ක්ෂිතිජයෙන් (Event horizon) එපිටට වැටීමයි. එබැවින් තවත් දීර්ඝ කාලයකින් ක්ෂීරපථය අඳුරු විශ්වයේ තනි වනු ඇත.
දැන් නැවතත් බෞද්ධ විශ්ව න්‍යායවේදය දෙසට යොමුවෙමු. සහස්සී චූලනිකා ලෝක ධාතුවෙන් නිර්මාණය වී ඇත්තේ ජනාවස වූ ලෝක 1000 කිනි. සහස්සී චූලනිකා ලෝක ධාතුවෙන් පිටත එහි වැසියන් හට නොපෙනෙන ලෝක ගණන අපමණ ය. නූතන විද්‍යාව එය පිළිගනී. පෙනෙන විශ්වය තුළ ඇති බිලියන 80ක් පමණ වන මන්දාකිණි හැරුණු විට ඉන් පිටත ද අනන්තවත් වූ මන්දාකිණි පිහිටා ඇති බව එය කියයි. එසේම නූතන විද්‍යාවට දැකිය හැක්කේ විද්‍යුත් චුම්බක විකිරණ විමෝචනය කරන වස්තූන් පමණි. එසේ නොමැති කිසිවක් දැකීමට ඊට හැකියාවක් නොමැති බව අඳුරු පදාර්ථය පිළිබඳබ නිර්මාණය වී ඇති ගැටලුවෙන් පෙනී යයි. සුරලෝක, බ්‍රහ්ම ලෝක පෙනෙන්නේ නැත්තේ මන්දැයි විමසන ඇත්තන්ගේ තර්ක අතේ පත්තු වන්නේ දැන් ය.
බුදුරජාණන් වහන්සේට විශ්වය කරුණු එකින් එක පැහැදිලි කිරීමේ අවශ්‍යතවක් නොවුණි. ක්‍රි.පූ. 6වන සියවසේ ඉන්දීය ජන සමාජයේ ජනතාව එකක් තබා ඉර වටේ පොළොව යන බව වත් දැන සිටියේ නැත. එවන් තත්ත්වයක් තුළ උන්වහන්සේ දේශනා කළ විශ්වය පිළිබඳ කරුණු අකාලික-හැමදාටම ගැළපෙන ලෙස දේශනා කිරීම සැබැවින්ම ආශ්චර්යයකි.
අවසාන වශයෙන් අප බෞද්ධ පරිණාම විශ්ව න්‍යායවේදය (Temporal Cosmology) දෙසට යොමුවෙමු. මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ විශ්වයේ එක් එක් මට්ටම් වල සම්භවය, පැවැත්ම, විනාශය යන කරුණුයි. බුදු දහමේ විශ්වය පිළිබඳ කරුණු වලදී යෙදෙන ප්‍රධානතම කාල මානන ඒකකය කල්ප, නැතහොත් මහා කල්ප (Great Eon) වේ. මහා කල්පයක අගය වත්මන් කාල ඒකක වලින් සඳහනක් නැත. නමුත් එය අනිවාර්යයෙන්ම පෘථිවි වර්ෂ බිලියනය ඉක්මවා ගියහොත් මිස ඊට අඩුවන්නේ නැත. සෑම කල්පයකට වතාවක් ම සෑම ලෝක ධාතුවක්ම (ස්තර 14 සිට පහළට ) විනාශ වී නැවත හටගැනීම සිදුවේ. මෙම මහා කල්පය නැවත වරක් උප කොටස් (Eons) 4කට බෙදේ. එම එක් එක් කල්පය ද නැවත වරක් අන්තර් කල්ප (Inside Eons) 20 කට බෙදේ.
ප්‍රධාන බෙදීම් 4න් එකක් වන සාම්වට්ඨ ස්ථායී කල්පය තුළදී මෙම උප බෙදීම් හුදු නාමයන් පමණක් වන අතර එහිදී විශේෂ සිදුවීම් කිසිවක් වන්නේ නැත. එම ප්‍රධාන බෙදුම් කොටස් හා ඒ එක් එකක් තුළදී සිදුවන ක්‍රියා කෙටියෙන් මෙසේ ය.
- විවට්ඨ කල්පය -- Eon of Evolution : මෙය ලෝක ධාතුවේ ආරම්භක අවස්ථාවයි. මෙහිදී විශාල කැළඹීම් මගින් විශාල භෞතික ව්‍යූහයන් නිර්මාණය වීමට පටන්ගනී. මේ සඳහා අමුද්‍රව්‍ය ලැබෙන්නේ කලින් විනාශ වූ ලෝක ධාතුවෙහි වූ මූලද්‍රව්‍ය වලිනි. නූතන විද්‍යාවටත් මෙය පොදු ය. එහිදී ද විශ්වයේ තැනුම් ඒකකය වූ හයිඩ්‍රජන් මූලද්‍රව්‍යය, අණුක වළා (Molecular Clouds) ලෙස ගුරුත්වය යටතේ එක්වීමට පටන්ගනී. අනතුරුව එම අණු, මධ්‍යය වටා ඉතා ප්‍රචණ්ඩ ලෙස පරිභ්‍රමණය වීමට පටන්ගනී. එහිදී තවතවත් අණු එම වළාවට එක්වීමට පටන්ගනී. අවසානයේ එම සමස්ත පද්ධතියේ ස්කන්ධය එක් නියත අගයක් (Jeans Mass) ඉක්මවා ගිය විට තම ගුරුත්වය යටතේ එම අණුක වළාව බිඳවැටීමට පටන්ගනී. ජීන්ගේ ස්කන්ධය අත්කර නොගත් අවස්ථා වලදී ද අණුක වළා අතර ගැටුම්, සුපර්නෝවා වලින් නික්මෙන ගුරුත්ව තරංග හා නියුට්‍රිනෝ ධාරා, මෙන්ම අණුක වලා සහ අතර ඇතිවන ගැටුම් යනාදියෙන් නික්මෙන කම්පන තරංග (Shock Waves) යනාදී බාහිර බලපෑම් මත මෙය සිදුවිය හැක. එමගින් මධ්‍ය තාරකාව නිර්මාණය වන අතර වටේ ඇති අණු වලින් accretion disk එකක් සෑදී ජීවී පැවැත්මට උචිත ග්‍රහලෝක ඇතුලු ග්‍රහ පද්ධති බිහිවේ. ලෝක බිහි වූ පසුව වඩාත් ඉහළින් ඇති, විනාශ නොවූ ලෝක ධාතු වලින් ජීවීන් පැමිණ, ජීවයට උචිත ග්‍රහලෝක අතර සංචාරය කිරීමට පටන්ගනී. ඒවා අතර ගමන් කරන විට ඔවුන් ඒවා නැරඹීමට වන් කල්හි ඒ කෙරෙහි ආශාවක් ඔවුන් තුළ ජනිත වේ. ඊට හේතුව නම් ඒවායේ සුන්දරත්වයයි; එහි ඇති ද්‍රව්‍ය ආහාරයට ගත්විට දැනෙන ප්‍රණීත රසයයි. මෙම රසයන්ට සිත ඇදී ගිය කල්හි ඔවුනට ඔවුනගේ කලින් පැවති අධ්‍යාත්මික දියුණුව පිරිහීමට් පටන්ගනී (ධ්‍යානයක් ලැබූ විට එය මහත් උත්සාහයෙන් යුතුව රැකගත නොහැකි වුවහොත් ඉන් පිරිහී පහළට ඇද වැටීමට වැඩි කාලයක් ගත නොවේ). අවසානයේ ඔවුන් කලින් තිබූ සියලු සම්පත් අහිමි, නවතම ජීවී ප්‍රජාවක් බවට පරිණාමය වේ. ඔවුන් අතර කලින් නොතිබූ දුෂ්චරිතයන් හටගනී. දුෂ්චරිතයන් වැඩිවෙමින් යන විට 14වන මානසික ස්තරයේ සිට පහළට, එක් එක් ලෝක පිරෙමින් යාමට පටන්ගනී. එම එක් එක් ලෝකය ද නැවත නැවතත් පරිණාමය වේ. (බුදු දහම හැරුණුකොට පරිණාමවාදය පිළිගන්නා එකම දහමක් වත් මෙලොව නැත). උදාහරණයක් ලෙස මනුෂ්‍ය ලෝකයේ ඉපදෙන ජීවීන් ක්‍රම ක්‍රමයෙන් තමන්ට ආවේණික අර්ථ ක්‍රමයක් නිර්මාණය කරගන්නා අතර දේශපාලන ව්‍යුහයක් ද නිර්මාණය කරගනී. ඊට හේතුව නම් මිනිසුන් කණ්ඩායම් අතර බෙදීම්, කළකෝලාහල, හැළහැප්පීම් ඇතිවීමයි. එම තත්ත්වයන් පාලනය කිරීමට මුලුමහත් මානව වර්ගයාටම එක් නායකයෙකු බිහිවේ. ඔහු "මහා සම්මත" (the great appointed one) නමින් හැඳින්වේ. (වැඩිදුර කරුණු : අග්ගඤ්ඤ සූත්‍රය, දීඝ නිකාය, 27 වන සූත්‍රය)
- විවට්ඨ ස්ථායී කල්පය -- Eon of Evolution-Duration : පළමු අන්තර් කල්පය : විවට්ඨස්ථායී කල්පය ආරම්භයේදී පළමු ජීවීන් නරකයන්හි බිහිවේ. මෙහිදී අපාය යනුවෙන් ස්ථිර දෙයක් නොපවතින බව සැළකුව මැනවි. ජීවීන් නැති කාලයේ කිසිදු ලෝකයක් පවතින්නේ නැත. විවට්ඨස්ථායී කල්පයේ පළමු අන්තර්කල්පයේදී ද ලෝකය පාලනය කරන්නේ චක්‍රවර්ති නම් තනි රජ කෙනෙකි. මෙවැනි රජවරු 7 දෙනෙක් පහළ වේ. ඒ සෑම කෙනෙක්ම නිශ්චිත කාලයක් (මහා සුදස්සන නම් එවන් චක්‍රවර්ති රජ කෙනෙකුගේ වසර 336 000ක් දක්වා දිවෙන පාලන කාලය ගැන මහා සුදස්සන සූත්‍රයෙහි - දීඝ නිකාය, 26 වන සූත්‍රයෙහි - සඳහන් වේ) මානව වර්ගයා පාලනය කොට ශ්‍රමණ ජීවිතයකට ඇතුළත් වේ. නමුත් මෙම පරපුරේ 7 වන රජු පමණක් නියමිත කාලයේ පාලනය තම අනුප්‍රාප්තිකයාට භාරදීමට අකැමැති බේ. මේ නිසා මානව වර්ගයාගේ පාලනය පාලන තන්ත්‍රයෙන් ගිලිහී ගොස් ලෝකය අරාජික වේ. හොරකම, දූෂණය වැඩිවේ. අවසානයේ මානව සංහතිය කොටස් කිහිපයකට කැඩී යයි. අවසානයේ මානවයාගේ ආයු කාලට 80000 සිට 100 දක්වා අඩු වේ. මෙම කාල පරිච්ඡේදය තුළ බුදුවරුන් සිව් දෙනෙකු මානව ලෝකයෙහි පහළ වේ (ගෙවී යන්නේ මහා භද්‍ර කල්පයක් නිසා බුදුවරුන් 5 දෙනෙකු විවිධ කාල ප්‍රාන්තරයන් තුළ පහළ වේ. වෙනත් කල්ප වල එසේ නොවීමට ඉඩ ඇත. උදාහරණයක් ලෙස මෛත්‍රී බුදුරජාණන් වහන්සේහ්ගෙන් අනතුරුව බුදු කෙනෙක් නැවත පහළ වන්නේ කල්ප 59කිනි). මානවයාගේ වයස අවුරුදු 40000 දී කකුසඳ බුදුරජාණන් වහන්සේ ද, 30000 දී කෝනාගමන බුදුරජාණන් වහන්සේ ද 20000දී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ද පහළ වේ. අවසාන වශයෙන් , මෙම අන්තර් කල්පයේ අවසන් බුදුරජාණන් වහන්සේ වන ගෞතම බුදුන් වහන්සේ පහළ වන්නේ මානවයාගේ සාමාන්‍ය වයස අවුරුදු 100 ක් වන විට ය. මානවයාගේ ඉතිරි කාල පරිච්ඡේදය දුෂ්චරිතයෙන් ගහණ ය. ඔවුන්ගේ ආයු කාලය 100 සිට 10 දක්වා පහත වැටේ. සියලුම ආකාරයේ දුෂ්චරිතයන් ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන අතර මහා යුද්ධයකින් සියල්ල අවසාන වේ. එමගින්, මානව වර්ගයාගෙන් ඉතා සුළු පිරිසක් හැර අන් සියලු දෙනාම මියයන අතර පළමු අන්තර් කල්පය අවසන් වේ (කොතරම් සාධාරණ තර්කයක් ද? මානව වර්ගයා සතුව අද පවතින න්‍යෂ්ටික අවි ප්‍රමාණය, පෘථිවිය මත මානව හා ජෛව ප්‍රජාව කිහිප වරක් විනාශ කර දැමීමට සමත් ය). දෙවන අන්තර් කල්පය : යුද්ධය අවසන් වීමෙන් අනතුරුව සැඟවී සිටි ගුණදහම් රැකගෙන සිටි මානව පිරිස නව ශිෂ්ඨාචාරයක් පෘථිවිය මත ආරම්භ කරති. ඔවුන් යහපත් ලෙස කල් ගෙවීම නිසා වසර 10 සිට 80000දක්වා ඔවුන්ගේ ආයු කාලය දික් වේ. මෙය කාලයත් සමඟ සිදුවන ක්‍රියාවලියක් බව සැළකුව මැනවි. මේ කාලය වනවිට සංඛ නම් චක්‍රවර්තී රජ කෙනෙක් මානව වර්ගයා පාලනය කරයි. ඔහුගේ කාලයේදී තුසිත දිව්‍යලෝකයේ වැඩවෙසෙන නාථ නම් බෝධිසත්තවයන් වහන්සේ මානව වර්ගයා අතර අජිත ජන නමින් ඉපිද මෛත්‍රෙය යන නමින් බුද්ධත්වයට පත්වේ. තවත් කල්ප ගණනාවකට ඉන් අනතුරුව බුදු කෙනෙක් පහළ වන්නේ නැත. එම බුදුන් වහන්සේගෙන් අනතුරුව නැවතත් මානව වර්ගයා පිරිහීමට ලක්වේ. කලින් සිදු වූවා සේම අන්තර් කල්පයෙන් අන්තර් කල්පය ගතවේ. අවසානයේදී 19 වන අන්තර් කල්පය අවසානයේ මානවයාගේ ආයු කාලය 80000දක්වා දික් වූ විට එය නැවත අඩුවීම ඇණහිටී. විවට්ඨස්ථායී කල්පයේ අවසානය එයයි.
- සාම්වට්ඨ කල්පය -- Eon of Dissolution : සාම්වට්ඨ කල්පය යනු විවට්ඨ කල්පයෙහි විරුද්ධ අවස්ථාවයි. එනම් මෙහිදී එක් එක් ජීවීන් එක් එක් මානසික ස්තරයෙන් පහළට යාම සිදු නොවී එහි විරුද්ධ අතට, එනම් එක් එක් ස්තරයෙන් ඉහළට යාමට පටන් ගනී. මේ අනුව නිරයේ ඉපදුණු ජීවීන් තිරිසන් ලෝකයේ ද, තිරිසන් ලෝකයෙන් අසුර ලෝකයට ද වශයෙන් ක්‍රම ක්‍රමයෙන් ගමන් කරමින් අවසානයේ 14 වන මානසික ස්තරයෙන් ඉහළට සියලුම ජීවීන් ගමන් ගනී. බ්‍රහ්ම ලෝක ජීවීන්ගෙන් පිරී යයි. මෙසේ reverse order එකට සිදුවීම් සිදුවීම නූතන විද්‍යාවට අලුත් සංකල්පයක් නොවේ. නූතන විද්‍යාවේ එන එක් විශ්ව මොඩලයක් (Cosmological Model) වන Closed Universe ට අනුව සිදුවන්නේ මෙයයි. එනම් විශ්වයේ ඝනත්වය වැඩිවීම නිසා යම් අවස්ථාවක ප්‍රසාරණය නැවතී නැවතත් විශ්වය ගුරුත්වය යටතේ බිඳවැටීමයි. එහිදී සියලු සිදුවීම් නැවත පිටුපසට (Reverse order එකට) සිදුවේ. නමුත් තාපගති විද්‍යාව දෙවන නියමය මීට බාධා එල්ල කරයි. එනම් විශ්වයේ සසම්භාවී ස්වභාවය (Entropy) වැඩිවනවා මිස අඩුවිය නොහැක යන තර්කයයි. නමුත් ආපසු අතට සිදුවන ක්‍රියාවලි නූතන විද්‍යාව තුළ ද පවතින වැදගත් සංකල්ප වේ. සාම්වට්ඨ කල්පය අවසානයේ ලෝක ධාතුව ගින්නෙන් විනාශ වී යයි. කල්ප 8කට වරක් සාම්වට්ඨ කල්පයක් අවසානයේ සමස්ත සහස්සී චූලනිකා ලෝක ධාතුවම ජලයෙන් විනාශ වී යයි. කල්ප 64 කට වරක් සාම්වට්ඨ කල්පයක් අවසානයේ සමස්ත මඣ්ඣිමනිකා ලෝක ධාතුවම සුළඟින් විනාශ වී යයි.
- සාම්වට්ඨ ස්ථායී කල්පය -- Eon of Dissolution-Duration : මෙහිදී සමස්ත ලෝක ධාතුව ම තුළ පවතින්නේ ශූන්‍යත්වයයි. එහි අලුතෙන් සිදුවන දෙයක් නැත. අන්තර් කල්ප පවා සිදුවී වලින් තොරව ගෙවී යයි.
බෞද්ධ පරිණාම විශ්ව න්‍යායවේදය මෙසේ ය. බුදු දහම යනු පරිණාමය පිළිබඳ විද්‍යාවකි. සෑම සත්ත්වයෙකු ම පරිණාමය (Evolve) වන බව මුල් වරට දේශනා කළේ බුදුරජානන් වහන්සේ විසිනි.
අවසාන වශයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබේ. එනම් ලෝකාවසානය පිළිබඳ විවිධ මතයන් ය. මෙහි එන ගින්නෙන් ලෝකය විනාශ වීම, ජලයෙන් ලෝකය විනාශ වීම හා සුළඟින් ලෝකය විනාශ වීම යන කරුණු ඇතැමුන්ට ආගන්තුක විය හැක. නමුත් නූතන විශ්ව න්‍යායවේදය තුළ ද මෙම කරුණු පවතින බව සිහිපත් කිරීම වටී.
උදාහරණයක් ලෙස, අපගේ සූර්යයාගේ ජීව කාලය අවසානයේ, තව වසර බිලියන 5කින් පමණ සූර්යයා රතු යෝධ තාරකාවක් (Red Giant Star) බවට පත්වේ. මෙහිදී සූර්යයා කොතරම් විශාල වේදැයි කිවහොත් අඟහරු කක්ෂයෙනුත් ඉවතට යන ගණනට සූර්යයාගේ අරය වැඩිවේ. මේ වනවිට පෘථිවිය ඇතුලු මුලු මහත් සූර්යග්‍රහමණ්ඩලයම සූර්යයාගේ ගිනිදැල් වලට හසුවී විනාශ වේ. මින් අදහස් කෙරෙන්නේ කල්පයක් අවසානයේ ගින්නෙන් විනාශ වී යන ලෝක ධාතුව පෘථිවිය බව නොවේ. මා ඉදිරිපත් කරන්නේ ගින්නෙන් ලෝකයක් විනාශ වී යෑම අරුමයක් නොවන බව ය.එපමණක් ද නොවේ කාලයෙන් කාලයට සිදුවන මන්දාකිණි ගැටීම් (Galactic Collisions) නිසා ද ඇතැම් ලෝක විනාශ වී යයි. ඊට හේතූන් වන්නේ ගැටීම් වලින් හටගන්නා ප්‍රබල කම්පන තරංග (Shock Waves) ය. සුළඟ යනු අන්වායාම තරංග වලින් හටගන්නා කම්පන තරංගයන්හි ප්‍රතිඵලයක් වන අතර අන්තර් මන්දාකිණි කම්පන තරංග (Galactic Shock Waves) යනු ද අන්වායාම තරංග විශේෂයක් වේ.
එපමණක් ද නොවේ. විශ්වයේ අවසානය සිදුවිය හැක්කේ කෙසේ ද යන පැනයට නූතන විද්‍යාඥයන් දෙන පිළිතුරක් තුනකි. ඒවා මෙසේ ය:
- Open Universe : විශ්වයේ ප්‍රසාරණය වීමේ වේගය අවම කිරීමට සමත් පදාර්ථ ප්‍රමාණයක් එහි අන්තර්ගත නොවේ නම් විශ්වය සදාකාලිකව ම ප්‍රසාරණය වනු ඇත. 1998දී කරන ලද Type 1a Supernovae අධ්‍යයනයන් මගින් විශ්වය ත්වරණයකින් ප්‍රසාරණය වන බැව් සොයාගෙන තිබේ. මේ අනුව දිගින් දිගටම ප්‍රසාරණය වෙමින් යෑමේදී සිදුවනු ඇත්තේ යම් දිනෙක අප වටා ඇති සියලුම මන්දාකිණි අපගේ නිරීක්ෂණාත්මක විශ්වයෙන් (Observable Universe) ඈත්ව ගොස් ක්ෂීරපථය පමණක් "අපගේ" විශ්වයේ තනි වීම ය. එවිට අන්තර් මන්දාකිණි ගුරුත්ව බලපෑම් (Inter galactic gravitational effects) නැති වී, අප වාසය කරන ලෝක වලට බාහිර විශ්වයෙන් ලැබෙන ශක්තීන් නොමැති වී සියලුම ලෝක "සිසිල් මරණයකට" මුහුණදීම ය. විශ්ව න්‍යායවේදීන් මෙවන් අවස්ථාවකට භාවිතාකරන වදන වන්නේත් පුදුමයකට මෙන් Cold Death යන්නයි. දැනට ඔවුන් විශ්වාස කරන පරිදි වඩාත්ම වියහැකි (likely) විශ්වාවසානය මෙයයි.
- Flat Universe : විශ්වයේ යම් නිශ්චිත පදාර්ථ ඝනත්වයක් (Critical Density, Ω=(1 හෝ 2) × 10-26 kg/m3) ඇති අවස්ථාවකදී එය සංකෝචනයත් නොවී, දිගින් දිගටම ත්වරණයකින් ප්‍රසාරණයත් නොවී, සංකෝචනය වීම වැලැක්වීමට අවශ්‍ය යම් නියත ප්‍රවේගයකින් පමණක් ප්‍රසාරණය වේ. නමුත් ඉතා සුලු ඝනත්ව වෙනසකින් මෙම තත්ත්වය දෙපැත්තෙන් එක් පැත්තකට පරිවර්තනය විය හැක. මෙය හරියට පිහි තලයක් මත පැන්සලක් සමබර කිරීමට සමාන ය. එබැවින් විද්‍යාඥයෝ මෙය සිදුවිය නොහැකි සිදුවීමක් ලෙස දකිති. (දැනට සොයාගෙන ඇති පරිදි විශ්වයේ ඝනත්වය මීට වඩා සියගුණයකින් පමණ අඩු වේ. එය ආසන්නව ඝන මීටරයට පරමාණු 0.2ක් පමණි).
- Closed Universe : යම් හෙයකින් විශ්වයේ ඝනත්වය උක්ත ඝනත්වයට (Critical Density, Ω) වඩා වැඩි නම් විශ්වය තම ගුරුත්වය යටතේ බිඳවැටේ. අනතුරුව එහි තිබෙන සියලුම පදාර්ථ එකට පොදියකට ගොනු වී "තාපමය මරණය"කට විශ්වය භාජනය වේ. මෙය විද්‍යාඥයන් හඳුන්වන්නේ heat death යනුවෙනි.
නමුත් මේ හරහා බෞද්ධ විශ්ව න්‍යායවේදය සහ නූතන විශ්ව න්‍යායවේදය ඍජු ලෙස සන්සන්දනය කිරීම උචිත නොවේ. අවසාන වශයෙන් කිව යුත්තේ බෞද්ධ විශ්ව න්‍යායවේදය යනු ස්ථිර (Definite) විෂයයක් බවයි.
බෞද්ධ විශ්ව න්‍යායවේදය යනු ඉතාමත් කුතුහලය දනවන විෂයකි. නූතන විශ්ව න්‍යායවේදය (Modern Cosmology) පිළිබඳ උනන්දුවක් තිබෙන කෙනෙකුට අධ්‍යයනය කිරීමට බොහෝ දේවල් බෞද්ධ විශ්ව න්‍යායවේදය නම් සංකල්පය තුළ ගැබ්ව තිබේ. නමුත් මෙහි ලා සැලකිය යුතු ප්‍රධානතම කරුණ නම් නූතන විශ්ව න්‍යායවේදය හා බෞද්ධ විශ්ව න්‍යායවේදය එකිනෙක සංසන්දනය කිරීමට යාම ඉතා අපහසු බවයි. මීට ප්‍රධාන හේතුව නම් විශ්වය පිළිබඳ බෞද්ධ සංකල්පය නූතන විද්‍යාව තුළ පවතින විශ්ව සංකල්පයට වඩා ඉතා පුළුල් එකක් වීමයි. එය මෙසේ පැහැදිලි කළ හැක.
බෞද්ධ විශ්ව න්‍යායවේදය ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒවා නම්,
- අවකාශ විශ්ව න්‍යායවේදය (Spatial Cosmology)
- පරිණාම විශ්ව න්‍යායවේදය (Temporal Cosmology)
මින් අවකාශ විශ්ව න්‍යායවේදය නැවතත් කොටස් දෙකකට බෙදේ. එනම්,
- චක්‍රවාද විශ්ව න්‍යායවේදය (Vertical Cosmology)
- සහස්‍ර විශ්ව න්‍යායවේදය (Horizontal Cosmology)
මින් නූතන විශ්ව න්‍යායවේදය පරීක්ෂාවට බඳුන් කරන්නේ පරිණාම විශ්ව න්‍යායවේදය (විශ්වයේ උපත, පරිණාමය හා අවසානය) හා ආකාශ විශ්ව න්‍යායවේදය යටතේ එන සහස්‍ර විශ්ව න්‍යායවේදය (විශ්වය තුළ පවතින තාරකා, මන්දාකිණි, ස්ථානීය පොකුරු හා සුපිරි මන්දාකිණි ඇතුළත් කණ්ඩායම්ගතවීම් - Groupings) පිළිබඳව පමණි. බුදුන් වහන්සේ ද මේ කරුණු, උචිත අවස්ථා වල උචිත පරිදි දේශනා කොට ඇත. විශ්ව න්‍යායවේදය පිළිබඳ සියලු කරුණු ඇතුළත් එක් සූත්‍රක් බුදු දහමේ නැති නමුත් අග්ගඤ්ඤ සූත්‍රය (දීඝ නිකාය. 27 වන සූත්‍රය), මහා සුදස්සන සූත්‍රය (දීඝ නිකාය. 17 වන සූත්‍රය), චක්කවත්ති සීහනාද සූත්‍රය (දීඝ නිකාය. 26 වන සූත්‍රය), මහා පදාන සූත්‍රය (දීඝ නිකාය, 14 වන සූත්‍රය) ප්‍රමුඛ පාලි විභජ්ජවාදයෙහි විවිධ ධර්ම කොටස් වල මෙම කරුණු කොටසින් කොටස අන්තර්ගත වී තිබේ.
නමුත් බෞද්ධ විශ්ව න්‍යායවේදය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන ප්‍රධාන කරුණ නම් බුදුන් වහන්සේ ධර්මය දේශනා කිරීමේදී වැඩි වශයෙන්ම අවධානය යොමු කළේ අවකාශ විශ්ව න්‍යායවේදයෙහි චක්‍රවාද කොටසට බවයි. නූතන විශ්ව න්‍යායවේදීන් තම අධ්‍යයනයන් හිදී මඟහැර ඇති කොටස වන්නේ ද මෙයයි. එම නිසා ඒ ගැන පළමුකොට ලිවීම සුදුසු වේ යැයි සිතමි.
නූතන විශ්ව න්‍යායවේදය සමස්තයක් වශයෙන් ගත්කළ ඉතා හෞතිකවාදී සංකල්පයකි. එය තනිකරම අවධානය යොමුකර ඇත්තේ විශ්වයේ උපත, විකාශනය හා අවසානය යන සංසිද්ධි පැහැදිලි කෙරෙන භෞතික ආකෘති (Physical Models) පිළියෙල කිරීම කෙරෙහි ය. නමුත් බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සමස්ත මහා ලෝක ධාතුවට (මෙය නූතන විශ්ව රාමුවෙන් එපිටට ගිය සංකල්පයකි) පැහැදිලි භෞතික සැකැස්මක් (Physical Structure) මෙන්ම අධ්‍යාත්මික සැකැස්මක් (Psycological Structure) ද ඇත. නමුත් මෙම අධ්‍යාත්මික සැකැස්ම වර්තමානයේ විශ්ව න්‍යායවේදීන් උත්සාහ කරන පරිදි විද්‍යුත් චුම්බක තරංග අධ්‍යයනයන් (Telescopic studies or spectroscopy) හෝ අංශු භෞතික පරීක්ෂණ (Particle Physics experiments) මගින් අනාවරණය කරගත නොහැක. හේතුව නම් වර්තමානයේ පවතින කිසිදු භෞතික උපකරණයකට චිත්ත තරංග හසුකරගත නොහැකි වීමයි. විශ්වයේ සැබෑ ව්‍යුහය තුළ චිත්ත තරංග ඉටුකරනුයේ ඉතා වැදගත් කාර්යයකි. එබැවින් චිත්ත තරංග වල බලපෑම ගැන මනා අවබෝධයකින් තොරව කෙරෙන ඕනෑම භෞතික විශ්ව න්‍යාය පරීක්ෂණයක් අසම්පූර්ණ මෙන්ම දෝෂ සහගතය.
විශ්වයේ සැබෑ ව්‍යුහයට චිත්ත ස්වභාවයන් දායක වන්නේ කෙසේ ද? මෙම පැනයට පිළිතුරු සපයනුයේ බුද්ධ දේශනා පමණි. බුදුන් වහන්සේ දේශනා කරන පරිදි චිත්ත ස්වභාවයන් අනුව මහා ලෝක ධාතුව (පහසුව තකා 'විශ්වය' නමින් හඳින්වමු) ස්තර 31 කර බෙදේ. මෙහිදී 'ස්තර' යන වදන භාවිතා කෙරුණද එහි මූලික අදහස වන්නේ 'කොටස්' යන්නයි. මෙම කොටස් 31 ඉතා ක්‍රමානුකූලව නම් කෙරී ඇත. එම වර්ගීකරණයේ පදනම වන්නේ මානසික තත්ත්වයන් නැතහොත් මානසික පැවැත්මයි.
තවදුරටත් පැහැදිලි වීම සඳහා මෙවන් උදාහරණයක් ගනිමු. අප වාසය කරන පෘථිවිය මත විවිධ සත්තව කාණ්ඩ ජීවත් වෙයි. මෙම සතුන් අතරින් මිනිසා සහ අනෙක් සතුන් සියලුදෙනා අතර ප්‍රධාන වෙනස්කමක් ඇත. එනම් මිනිසාට යම් කරුණක් පිළිබඳව තම බුද්ධියෙන් කල්පනා කර බලා එය යහපත්/අයහපත් යනුවෙන් දැනහඳුනාගෙන ඒ අනුව කටයුතු කළහැකි වීමත් අනෙක් කිසිදු සත්ත්වයෙකුට එසේ කළ නොහැකි වීමත් ය. බුදු දහමේ මානසික දියුණුව යනුවෙන් හැඳුන්වෙන්නේ මෙයයි. ඒ අනුව එකටම වාසය කළත් එකිනෙකා අතරෙහිම ජීවත් වුවත් මිනිසා සහ අනෙක් සත්ත්ව වර්ගයා අයත් වන්නේ වෙනස් මානසික ස්තර දෙකකටයි. මේ දෙක හැරුණු විට තවත් ස්තර 29ක් පවතී. මා මෙම උදාහරණය ඉදිරිපත් කළේ අනෙක් ස්තරයන්ට වඩා මෙම දෙක අපට වඩාත් සමීප නිසා බුදු දහමේ එන 'මානසික ස්තර' සංකල්පය හඳුනාගැනීමට පහසුම ක්‍රමය එය බැවිනි.
චක්‍රවාද විශ්ව න්‍යායවේදයෙහි පදනම එයයි.
දැන් අප මෙම ස්තර 31 වෙන වෙනම ගෙන සාකච්ඡා කරමු. මෙම ස්තර වර්ගීකරණය කෙරී ඇත්තේ ඉහළම ස්තරයේ සිට පහළම එක දක්වායි. පළමුව මෙහි එන වචන දෙකක අර්ථ නිරූපණය කිරීම සුදුසු වේ යැයි සිතමි. ඒවා නම් 'දේව' හා 'බ්‍රහ්ම' යන ඒවායි. බුදු දහමේ එන දේව සංකල්පය, බටහිර දේව සංකල්පයට වත්, බ්‍රහ්ම සංකල්පය, හින්දු ඉගැන්වීම වල එන බ්‍රහ්ම සංකල්පයට වත් සමාන නොවන බව සිහි තබාගත යුතුය. බුදුරජාණන්වහන්සේ දෙවියන්, බ්‍රහ්මයන් යනුවෙන් හැඳින්වූයේ මිනිසාගේ මානසික මට්ටමට වඩා ඉහළින් පසුවන ඕනෑම පුද්ගල කොට්ඨාශයකි. උන්වහන්සේ එම වචන භාවිතා කළේ ක්‍රි.පූ 6 වන සියවසේ බ්‍රාහ්මණ සමාජය තුළ මෙම වචන ප්‍රබල ලෙස සමාජගතව තිබූ නිසා මිස එහි අද පවතින තේරුමට අනුරූපව නොවේ.
මිනිස් වර්ගයාට ඉහළින් ජීවන ස්තර 26ක් පවතී. අවශ්‍ය නම් ඒ ඕනෑම ස්තරයක වසන පුද්ගලයෙකුට දෙවියෙකු ය කියා කිව හැක. නමුත් ඔහුට ඇති මැවුම්කාර බලයක් වත්, අධිපති බලයක් වත් නැත. ඇත්තේ වඩා දියුණු මනසක් පමණි. එය හරියට අනෙක් සත්ත්වයන්ට වඩා මිනිසාගේ මනස උසස් යැයි කීම වැනි ය. නමුත් දේව, බ්‍රහ්ම යන වචන වර්තමානයේ සමාජගතව පවතින්නේ මහා බලයක් ඇති අද්භූත පුද්ගල කොට්ඨාශයක් වශයෙනි. (මගේ මතයට අනුව, දේව, බ්‍රහ්ම වැනි වචන වෙනුවට ඊට වඩා ජනතාවට සමීප වචනයක් භාවිතා කළේ නම් මෙම මිථ්‍යාදෘෂ්ටිය සමාජයෙන් පහව යනු ඇත).
සැ.යු. මනුෂ්‍ය ලෝකයේ සහ තිරිසන් ලෝකයේ හැර අන් සියලුම ස්තර වල ජීවීන්ගේ ආයු කාල -විශේෂ තත්ත්ව වලදී හැර- සාමාන්‍යයෙන් නියත ය. එනම් එම කාලයට පෙර ඔවුන් මිය යන්නේ එම කාලය ඉක්මවා ඔවුන් ජීවත් වන්නේ නැත.
අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 : 4 Immaterial Brahma Realms
සමථ විදර්ශනා වැඩීම හරහා මනුෂ්‍යයෙකුට විශාල අධ්‍යාත්මික දියුණුවක් ලැබිය හැක. නිර්වාන මාර්ගයට පිවිසීමට පෙරාතුව ලබන තාවකාලික මානසික දියුණු අවස්ථා හැඳින්වෙන්නේ ධ්‍යාන වශයෙනි. මුලින්ම අත්කරගත හැක්කේ රූප ධ්‍යාන 4ක් වන අතර ඉන් ඔබ්බට ගිය විට අරූප ධ්‍යාන අත්කරගත හැක. අරූප ධ්‍යාන ද 4කි. යමෙකු ඉන් එක් ධ්‍යානයක් ලබා මියයන මොහොත වනතුරුත් ඉන් නොපිරිහී සිටීමට සමත් වේ නම් ඔහු මෙලොවින් වෙන්ව ගොස් නැවත උපත ලබන්නේ ඔහු ලැබූ අරූප ධ්‍යානයට අනුරූප අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ය. ඉන් වඩාත්ම ප්‍රාථමික ලෝකය ආකාසානඤ්චායතනය වන අතර උසස්ම වන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යි.
අරූප ධ්‍යානයේ ලක්ෂණය නම් රූපය කෙරෙහි ආශාව, හෝ රූපය පිලිබඳ හැඟීම බොහෝ දුරට දුරු කර තිබීමයි. මේ නිසා අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට භෞතික පෙනුමක් නැත; පවතින ස්ථානයක් නැත; අඩුම තරමින් එහි වෙසෙන්නන්ට රූපයක් නැත. ඇත්තේ ඉතාමත්ම සියුම් හැඟීම් මාත්‍රයක් පමණි. මෙම බ්‍රහ්ම ලෝක වල ආයුෂ ඉතා දීර්ඝ ය. බුදුවරුන් ඉපිද ඉපදී පිරිනිවන්පා ගිය ද මොවුන් ඒ බව දන්නේ නැත. මේ හේතුව නිසා අනාගතයේ බුද්ධත්වය ලැබීමට අපේක්ෂා කරන පුද්ගලයෙකු - බෝධිසත්ත්වයෙකු - මනුෂ්‍ය ලෝකයේදී අරූප ධ්‍යානයක් ලැබුව ද ඔවුන් අරූපාවචර බ්‍රහ්ම ලෝක වල උපදින්නේ නැත. එය බෝධිසත්ත්ව වරුන්ට පම්ණක් විශේෂ ලක්ෂණයකි. මේ අරූපාවචර බ්‍රහ්ම ලෝක සතරයි:
(31) නෙවසඤ්ඤානාසඤ්ඤායතන -- Plane of Neither Perception-nor-non-Perception : සිදුහත් බෝසතාණන් වහන්සේගේ දෙවන ගුරුවරයා වූ උද්දකරාම පුත්ත එළඹ සිටියේ මෙම ධ්‍යානයටයි. ඔහු සිතා සිටියේ නිවන යනු එය කියා ය. නමුත් බුදුන්වහන්සේ බුදුවී දම් දෙසීමට පැමිණෙන විට ඔහු එම ධ්‍යානයෙන්ම කලුරිය කර තිබූ නිසා අනන්තවත් වූ කාලපරිච්ඡේදයකට ඔහු මෙම බ්‍රහ්ම ලෝකයට ගියේය. මෙම ලෝකයේ ආයු කාලය කල්ප 84000ක් තරම් අති දීර්ඝ වේ.
(30) ආකිඤ්චඤ්ඤායතන -- Plane of Nothingness : සිදුහත් බෝසතාණන් වහන්සේගේ පළමු ගුරුවරයා වූ ආලාර කාලාම එළඹ සිටියේ මෙම ධ්‍යානයටයි. ඔහු නිවන ලෙස සිතා සිටියේ එයයි.
(29) විඤ්ඤාණඤ්චායතන -- Plane of Infinite Consciousness
(28) ආකාසානඤ්චායතන -- Plane of Infinite Space
රූපාවචර බ්‍රහ්ම ලෝක 16 : 16 Material Brahma Realms
අරූපාවචර බ්‍රහ්ම ලෝක මෙන්ම රූපාවචර බ්‍රහ්ම ලෝක ද ධ්‍යාන වැඩීමෙන් අත්කරගන්නා මානසික තත්ත්වයන් තුළින් පමණක් ළඟා කරගත හැක. ඊට අදාළ වන්නේ රූප ධ්‍යානයන් ය. නමුත් අරූපාවචර ධ්‍යාන වලට වඩා රූපාවචර ධ්‍යාන මට්ටම් කිහිපයකින් යුක්ත නිසා ඒවාට අනුරූපව රූපාවචර බ්‍රහ්ම ලෝක ද වෙනස් වේ. රූප ධ්‍යාන යන නමින්ම අදහස් වන පරිදි මෙම ලෝක වල වාසය කරන්නන් හට රූපමය ශරීරයක් ඇත. නමුත් එම රූපය අපගේ ශරීරය තරම් දළ නොවේ. එසේම ඉහළ ස්තර වල වාසය කරන්නන් හට පහළ ස්තර වලට ගමන් කිරීමේ හැකියාවක් ද ඇත. නමුත් එසේ ගමන් කළ විට එම පහළ ලෝකයේ වාසය කරන්නන් හට පෙනීම පිණිස ඔවුනට තම ශරීරය දළ කරගත යුතු ය. මීට උදාහරණයක් ජනවසභ සූත්‍රයේ දැක්වේ. රූපය දළ වැඩි වනවිට එය විවිධ ආබාධයන්ට, රෝග වලට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩි වේ. එබැවින් ඉහළ ලෝක වල වාසය කරන්නන් පහළ ලෝකයන්ට පිවිසීමට ප්‍රිය කරන්නේ ම නැත. එමෙන්ම අරූපාවචර බ්‍රහ්ම ලෝක වලින් පහළ ඇති සියලුම ලෝක වල තවත් විශේෂ ලක්ෂණයක් ඇත. එනම් මනුෂ්‍ය ලෝකයේ සිට නිශ්චිත උසකින් පිහිටා තිබීමයි.
ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක -- Pure Abodes
ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක අන් රූපාවචර බ්‍රහ්ම ලෝක වලින් වෙනස් වේ. ඊට හේතුව නම් මීට පිවිසිට හැන්නේ අරූපාවචර ධ්‍යාන වැඩීමෙන් නොව නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් වන බැවිනි. යමෙකු අනාගාමී බවට පත්ව කළුරිය කෙරේද ඔහු තම අවසන් භවට ගතකිරීමට ඉපදෙන්නේ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහෙන් එකක ය. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට පිවිසෙන පුද්ගලයා ඉන් පිරිනිවන් පාන්නේ අරහත් පුද්ගලයෙකු ලෙස ය.
ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක තවත් අංශ කීපයකින්ම සුවිශේෂී වේ. යම් කලෙක බුදු කෙනෙකු පහළ වීමට නියමිත බව කලින් ම දැනගන්නේත්, බ්‍රාහ්මණ වේශයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ මනුෂ්‍ය ලෝකයේ පාලකයන් ඇතුලු ජනතාවට, බුදුන් වහන්සේ හඳුනාගත හැකි ලකුණු කියාදෙන්නේත් මෙම බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් විසිනි. එසේම ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වී සිටින විට ලෝකයට සත්‍යය කියාදෙන ලෙස ඉල්ලා සිටි සහම්පති බ්‍රහ්ම දිව්‍යරාජයාත් මෙම බ්‍රහ්ම ලෝකයේ වැසියෙකි.
(27) අකනිටා -- Highest plane of pure adobes: රූප ධාතූන්ගෙන් ඉහළම ලෝකය වන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකයයි. මෙහි ආයු කාලය කල්ප 16 000ක් වේ. තාවතිම්ස දිව්‍ය ලෝකයේ නායකයා වන ශක්‍ර දිව්‍ය රාජයා ඉන් මිදීමෙන් අනතුරුව ඉපදෙන්නේ මෙම බ්‍රහ්ම ලෝකයේ ය. උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 167 772 160 කි.
(26) සුදස්සි -- Plane of Clear Sight : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 83 886 080 කි.
(25) සුදස්ස -- Plane of Beauty: උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 41 943 040 කි.
(24) අතප්ප -- Plane of Serenity : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 20 971 520 කි.
(23) අවීහ -- Plane of Durablility : අවීහ යන්නෙහි තේරුම 'නැවත පහළට ඇද නොවැටෙන' යන්නයි. එම නිසා යම් ලෝකයකින් පැමිණෙන අනාගාමී පුද්ගලයෙක් මෙම ලොවින් පහළට වැටෙන්නේ නැත. එසේම ඇතැම් අනාගාමී පුද්ගලයෝ මෙම ලෝකයෙන් ද වඩා ඉහළ ගමන් කරති. ඔවුන් හැඳින්වෙන්නේ 'උද්ධම්සෝත' යන නමිනි. උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 10 485 760 කි.
චතුර්ථ ධ්‍යාන (බ්‍රහත්ඵල) බ්‍රහ්ම ලෝක -- Fourth Jhana Planes
මෙම ලෝක ද්විත්වයට පත්වන්නේ චතුර්ථ රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික ලක්ෂණය වන්නේ උපේක්ෂාවයි (equanimity). සෑම කල්ප 64 කටම වරක් සුළඟින් විශ්වය විනාශ වී යන විට ඉතිරි වන ලෝකයන් අතරින් පහළම ස්තරය වන්නේ මෙයයි. (සෑම කල්පයක්ම අවසානයේ 14 වන ස්තරයේ සිට පහළ විශ්වය ගින්නෙන් විනාශ වී යන අතර, සෑම කල්ප 8ක් ම අවසානයේ 17වන ස්තරයේ සිට පහළ විශ්වය ජලයෙන් විනාශ වී යයි. එසේම සෑම කල්ප 64ක් ම අවසානයේ 20 වන ස්තරයේ සිට පහළ විශ්වය සුළඟින් විනාශ වී යයි. කල්ප අවසාන රටාව මෙයයි. මේ අනුව කල්ප 64ක් ගත් විට 56ක් ගින්නෙන් ද, 7ක් ජලයෙන් ද 1ක් සුළඟින් ද වශයෙන් විශ්වයේ විවිධ ස්තර පද්ධති විනාශ වී යයි)
(22) අසඤ්ඤසත්ත -- Plane of non-percipient, matter only, no mind
(21) වෙහප්ඵල -- Plane Great Fruit (Consequence) : ඇතැම් අනාගාමී පුද්ගලයන් මෙම ලෝකයේ ද ඉපදේ. උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 5 242 880 කි.
තෘතියික ධ්‍යාන (සුභක්ෂ්ණ) බ්‍රහ්ම ලෝක -- Third Jhana Planes
මෙම ලෝක ත්‍රිත්වයට පත්වන්නේ තෘතියික රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික විහරණය වන්නේ සුඛයයි (Quiet joy). සෑම කල්ප 8 කටම වරක් විශ්වය ජලයෙන් විනාශ වී යන විට ඉතිරි වන ලෝකයන් අතරින් පහළම ස්තරය වන්නේ මෙයයි. නමුත් සෑම කල්ප 64කටම වරක් මෙම ලෝකය ද ඇතුළුව ඉන් පහළ සියලුම ලෝක විනාශ වී යයි.
(20) සුභකින්න -- Third Jhana, highest degree උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 655 360 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 64 කි.
(19) අප්පමානසුභ -- Third Jhana, medium degree උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 327 680 කි.මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 32 කි.
(18) පරිට්ඨසුභ -- Third Jhana, minor degree උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 163 840 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 16 කි.
ද්විතියික ධ්‍යාන (ආභස්සර) බ්‍රහ්ම ලෝක -- Second Jhana Planes
මෙම ලෝක ත්‍රිත්වයට පත්වන්නේ ද්විතියික රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික විහරණ වන්නේ ප්‍රීතිය (Delight) හා සුඛයයි (Joy). මෙම ලෝක වලට එළඹුණු විගස ඔවුන්ට දැනෙන සැපය කොතරම් වේද යත් ඔවුනට, "අහෝ සුඛං, අහෝ සුඛං" (අනේ සැපයි, අනේ සැපයි) යැයි කියවේ. මෙම ලෝක වල වැසියන්ගේ ශරීරයෙන් දීප්තිමත් ආලෝකයක් ද පිටවේ. ඔවුන් රූපයෙන් බොහෝ දුරට සමාන වුවද චිත්තයන් තරමක් වෙනස් ය.
සෑම කල්පයකටම වරක් විශ්වය ජලයෙන් විනාශ වී යන විට ඉතිරි වන ලෝකයන් අතරින් පහළම ස්තරය වන්නේ මෙයයි. සෑම කල්පයක්ම අවසානයේ විනාශ වී යන ලෝකය නැවත ජනාවාස වීම ආරම්භ වන්නේ මෙම ලෝකයේ වැසියන් පහළ ස්තරයන්ට ගමන් කිරීමත් සමඟිනි. නමුත් සෑම කල්ප 8 කටම වරක් මෙම ලෝකය ද ඇතුළුව ඉන් පහළ සියලුම ලෝක විනාශ වී යයි. එවිට මීටත් වඩා ඉහළ ලෝක වල වැසියන්ගෙන් මෙම ස්තර ඇතුලු අනෙක් ස්තර ක්‍රම ක්‍රමයෙන් ජනාවාස වීම ආරම්භ වේ.
(17) ආභස්සර -- Second Jhana, highest degree (Abhassara) : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 81 920 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 8 කි.
(16) අප්පමානාභ -- Second Jhana, medium degree : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 40 960 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 4 කි.
(15) පරිට්ටාභ -- Second Jhana, minor degree : උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 20 480 කි. මෙම ලෝකයේ වෙසෙන බ්‍රහ්මයෙකුගේ ආයු කාලය කල්ප 2 කි.
ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක -- First Jhana Planes
මෙම ලෝක ත්‍රිත්වයට පත්වන්නේ ප්‍රථම රූප ධ්‍යානය ලැබීම මගිනි. එම ලෝක වල වැසියන්ගේ මූලික විහරණ වන්නේ විතර්කය (Observation), විචාරය (Reflection), ප්‍රීතිය (Delight) හා සුඛයයි (Joy).
(14) මහාබ්‍රහ්ම -- Plane of Maha Brahma : සෑම කල්පයකටම වරක් මෙම ස්තර පද්ධතියේ සිට පහලට වන සියලුම ලෝක ගින්නෙන්, ජලයෙන් හෝ සුළඟින් විනාශ වී යන අතර එසේ විනාශ වී නැවත වරක් ආභස්සර භර්ම ලෝකයෙන් ජීවය පැමිණි විට බිහිවන මුල්ම ජීවියා "මහා බ්‍රහ්ම" නම්වේ. බ්‍රහ්මජාල සූත්‍රයට (දීඝ නිකාය, 1 සූත්‍රය) අනුව ඔහුට තමා අතීතයේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙ විසූ බව මතක නැති නිසා ඔහු සිතන්නේ ලෝකයේ මුල්ම ජීවියා තමා බවත් එම නිසා පහළ ලෝක සියල්ලගේම අධිපතියා තමා බවත් ය. සියල්ල දක්නා පුද්ගලයා, බ්‍රහ්මයා, මහා බ්‍රහ්මයා, මැවුම්කරුවා, මැවුම්කාර දේවතාවා යනාදී විවිධාකාර නම් වලින් ඔහු හැඳින්වේ. ආයු කාලය කල්ප 1කි. නමුත් කල්පයකින් 1/4ක් මෙම ස්තර පවතින්නේ අඳුරේ, නැතහොත් ශූන්‍යතාවයේ (සාම්වට්ඨස්ථායී කල්පය) නිසා මහා බ්‍රහ්මයාට කල්ප 3/4කට වඩා ජීවත් විය නොහැකි බව සිතිය හැක. මෙම ස්තරයේ උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 10 240 කි.
(13) බ්‍රහ්මපුරෝහිත -- Plane of Brahma's ministers : මහා බ්‍රහ්මයාට පසුව ඔහුට අසන්නයෙන් ම ඉපදෙන පුද්ගලයන් බ්‍රහ්ම පුරෝහිතයන් ලෙස හැඳින්වේ. මොවුන්ට ද තමන් ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි බව අමතක නිසා තමන්ට කලින් ඉපදුණු මහා බ්‍රහ්මයා, තමන්ගේ මැවුම්කරුවා ලෙස පිළිගනිති. මොවුහු මෙම ලෝකයෙන් ද වෙන්වී තවත් පහළ ලෝක වල ඉපදුණු විට ඒවායේ ද බ්‍රහ්මයා විසින් ලෝකය මැවූවා ය යන සංකල්පය ප්‍රචලිත කිරීමට කටයුතු කරති. මෙම ස්තරයේ උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 5 120 කි.
(12) බ්‍රහ්මපාරිසජ්ජ -- Plane of Brahma's retinue : මොවුන් මහා බ්‍රහ්මයාට දුරස්ථව ම ඉපදෙන පුද්ගලයන් ය. ඔවුන් "බ්‍රහ්ම කායික" යනුවෙන් ද හැඳින්වේ. මෙම ස්තරයේ උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 2 560 කි.
කාම ලෝක 11: 11 Sensuous Realms
ඉහත සඳහන් කළ ලෝක වලින් පහළ ඇති සියලු ලෝක කාම ලෝක නම් වේ. ඔවුන් සෑම දෙනාම විවිධ මට්ටම් වලින් කාලයෙහි ඇලී ගැලී සිටිති. නමුත් ඔවුන් වසන ස්තරය අනුව ඔවුන් ලබන සැප හා දුක් ඵල වෙනස් ය. එමෙන්ම මෙම ස්තර සියල්ලෙහිම වැසියෝ (අරහත් හා බුදුරජාණන් වහන්සේලා හැර) මාර බලවේගයට ගොදුරු වෙති. මින් ඉහළ ලෝකයන්ට බලපෑම් කිරීමට මාරයාට හැකියාවක් නැත.
සදිව්‍යලෝක -- Six Deva planes
කාම ලෝක වලින් සැප ඵල වැඩිම ලෝක හය දිව්‍යලෝක ලෙස හැඳින්වේ. ඉන් දෙකක් (තාවතිම්සය හා චාතුර්මහාරාජිකය) සුමේරු නම් මහා පර්වතය (අර්ථය අපැහැදිලි ය) මත පිහිටා ඇති අතර, ඊටත් වඩා සැප ඵල අතින් උසස් දිව්‍ය ලෝක හතර සුමේරු පර්වතයට ඉහළින් විවිධ උස මට්ටම් වල පිහිටා ඇත.
(11) පරනිම්මිත-වසවර්ති -- Plane of Controlling others' creations : කාම ලෝක අතරින් ඉහළම ලෝකය වන මෙහි වැසියන් හට අනුන් විසින් නිර්මාණය කරන ලද හෝ අත්පත් කරගත් කාම භෝගයක් තමන්ගේ ආශාවන් ඉෂ්ට කරගැනීමට භාවිතා කළ හැක. ඔවුන් තමන්ටම කියා කිසිවක් අයත් කරගැනීමට හෝ උපයාගැනීමට උත්සාහ දරන්නේ නැත. මෙම ලොවෙහි නායකයා වන්නේ 'වසවර්ති' නම් දේවතාවා ය. එමෙන්ම 'මාර' දිව්‍ය පුත්‍රයාට ද නිවහන වන්නේ මෙම දිව්‍ය ලෝකයයි. ඔහුගේ අරමුණ වන්නේ කාම ලෝක වල වෙසෙන සියලුම වැසියන් කාම වස්තූන්ටම ඇලී ගැලී වාසය කරවීම ය. යමෙකු කාමා තණ්හාව නැති කිරීමට උත්සාහ කරයි නම් මොහු කරන්නේ එම පුද්ගලයාට බාධා කිරීම එල්ල කිරීම ය. මෙය පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 1 280 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 9 216 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 4500ක් යැයි කියැවේ.
(10) නිර්මාණරති -- Plane of rejoice in their own creations : මෙම ලෝකයේ වැසියෝ තම ආශාවන් මුදුන් පමුණුවාගැනීමට විවිධ දෑ නිර්මාණය කරගැනීමට සමත්කම් දක්වති. මෙහි පාලකයා සුනිම්මිත දේවතාවා ය. ඔහුගේ මෙහෙසිය විශාකා මහා උපාසිකාව (මරණින් අනතුරුව) වේ. මෙය පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 640 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 2 304 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 3750ක් යැයි කියැවේ.
(9) තුසිත -- Delightful Plane : බුද්ධත්වයට පෙර බෝධිසත්ත්වයන් වහන්සේ වැඩ වෙසෙන්නේ මෙම ලෝකයේ ය. මීට වසර 2553 කට කලින් වන තෙක් එම ලෝකයෙහි විසූ බෝධිසත්ත්වයන් වහන්සේ 'සෙතකේතු' නම් විය. 'සිද්ධාර්ථ' යන නමින් මනු ලොව ඉපිද 'ගෞතම' යන නමින් බුද්ධත්වයට පත්වූයේ එම බෝධිසත්ත්වයන් වහන්සේ ය. ඉන් අනතුරුව, දැනට එහි වැඩවසන බෝධිසත්ත්වයන් වහන්සේ 'නාථ' නම්වේ. උන්වහන්සේ තව දීර්ඝ කාලයකින් අනතුරුව 'අජිත' යන නමුන් මනුෂ්‍ය ලොව ඉපිද 'මෛත්‍රෙය' යන නමින් බුද්ධත්වයට පත්වේ. මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 320 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 576 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 3000ක් යැයි කියැවේ.
(8) යම -- Heaven Without Fighting : මෙහි පාලකයාගේ නම 'සුයාම' නම්වන අතර මෙහෙසිය 'සිරිමා' ය. මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 160 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 144 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 2250ක් යැයි කියැවේ.
(7) තාවතිම්සය -- Realm of the Thirty-three : සුමේරු නම් පර්වත මස්තකයෙහි පිහිටා ඇති මෙම ලෝකයෙහි පාලකයා 'ශක්‍ර' නම්වේ. මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 80 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 30 000 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 1500ක් යැයි කියැවේ.
(6) චාතුර්-මහාරාජිකය -- Plane of 4 Great Kings : සුමේරු කඳු බෑවුම් වල පිහිටා තිබෙන මෙම ලෝකයෙහි විරූධක, දෘඨරාශ්‍ර, විරූපාක්ෂ, සහ එම සියල්ලගේම නායන වෛශ්‍රවණ යන රජවරු 4ක් වෙසෙති. මෙම ලොව පිහිටා ඇති උස, මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 40 කි. මෙම ලෝකයේ වෙසෙන අයෙකුගේ ආයු කාලය වසර 90 000 කි. මෙම ලෝකයෙහි වැසියෙකුගේ උස අඩි 750ක් යැයි කියැවේ.
(5) මනුෂ්‍ය ලෝකය -- Human Beings : මනුෂ්‍ය ලෝකය යනු කාම ලෝකයෙහි සැප-දුක ආසන්න වශයෙන් සමානව පනතින ස්ථානයයි. මුලුමහත් ස්තර 31න් ම ඉතාමත් සමබර ස්ථානය මෙය වන නිසා කෙනෙකුට අධ්‍යාත්මිය දියුණුවක් ලැබීමට හා සසරින් එතෙර වීමට හැකි එකම ස්ථානය මෙය ම වේ. මීට එහා ලෝක වල සැප ඵලයන් ගහණ වුවද එම නිසාම ඒවා තුළදී සත්‍යය අවබෝධ කරගැනීම කළ නොහැක. එහෙයින් බෝධිසත්ත්වයෙකු හෝ සසරින් එතෙර විය යුතු යැයි අධිෂ්ඨාන කරගන්නා ඕනෑම කෙනෙකු තම අධ්‍යාත්මික දියුණුවෙන් වැඩිම කොටස ලබන්නේත් තම අවසන් ආත්ම භවය ගතකරන්නේත් මෙහි වේ (අනාගාමීන් හැර). නමුත් මනුෂ්‍ය ආත්ම භවයේදී මේ බව අවබෝධ කරගන්නේ ඉතාම සුලු පිරිසක් නිසා එක් භවයක මනුෂ්‍ය ආත්මය ලබන බොහෝ දෙනා මීළඟට ඉපදෙන්නේ ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ හෝ අපායේ ය. මනුෂ්‍ය ලෝකය පිහිටි ස්ථාන 4 කි. නමුත් මේවා ඉතා දුරස්ව පිහිටා ඇති නිසා එකිනෙක අතර සන්නිවේදයක් කළ නොහැක. නමුත් ඈත අතීතයෙහි සියලුම මානව වර්ගයා එකම නායකයෙකු (චක්‍රවර්ති රජ කෙනෙකු ) යටතේ පාලනය වූ අවධියේ පමණ 'චක්‍රර්තන' නම් මාධ්‍යයකින් මෙම ලෝක අතර ගමනාගමනයෙහි යෙදිය හැකිව තිබිණි. නමුත් එම මාධ්‍යය අහිමි වීමෙන් පසු, දැන් මනුෂ්‍ය ලෝක හුදෙකලා වී තිබේ. මනුෂ්‍ය ලෝක හතර නම්,
- ජම්බුද්වීප: මෙය ආසන්න වශයෙන් අප වසන ලෝකය වේ. සෑම බුදුවරයෙකු ම පහළ වන්නේ මනුෂ්‍ය ලෝක අතරින් ජම්බුද්වීපයෙහි පමණි. එහි මිනිසුන්ගේ උස අඩි 6කි. සාමාන්‍ය වයස, උපරිමයේදී 80 000ක් ද අවමයේ දී 10ක් ද වේ. මෙම ලෝකයට අයත් වෘක්ෂය ජම්බු ය.
- පුබ්බවිදේහ : මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 250 ක් වන අතර උස අඩි 12කි. මෙම ලෝකයට අයත් වෘක්ෂය ආකාශියා ය.
- අපරගොයාන : මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 500 ක් වන අතර උස අඩි 24කි. මෙම ලෝකයට අයත් වෘක්ෂය කඩම්බ ය.
- උතුරුකුරු : මනුෂ්‍ය ලෝක අතරින් වඩාත්ම පොහොසත් ලෝකය මෙයයි. මෙහි වැසියන් හට මුදල් ඉපැයීමේ අවශ්‍යතාවක් නැත. මන්ද ඔවුනට සෑම සම්පතක් ම තිබෙන බැවිනි. ඔවුන් සිටින්නේ චාතුර්මහාරාජිකයෙහි ප්‍රධාන රජු වන වෛශ්‍රවණ ගේ ආරක්ෂාව යටතේ ය. මෙම ලෝකයට අයත් වෘක්ෂය කල්ප වෘක්ෂයයි. මෙහි වැසියන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 1000 ක් වන අතර උස අඩි 48කි.
දුක්ඛ ලෝක -- Lower Realms of Woe
මෙම ලෝක වල දුක් අධික ය. මෙම ලෝකයන්හි පහළට පහළට යන විට දුක් එන්න එන්නම දරුණු වන අතර, සැපක් කියා දෙයක් නැත්තටම නැති වන තරම් වේ. මෙම ලෝක කිසිම අකාරයේ අධ්‍යාත්මික දියුණුවකට සුදුසු නොවේ. මේවායින් නිදහස් විය හැක්කේ කළ පාපකර්ම ගෙවා දැමීමෙන් ම පමණි.
(4) ප්‍රේත ලෝකය -- Ghosts : ප්‍රේත ලෝකයේ වැසියෝ ද මනුෂ්‍ය වර්ගයා අතරම වාසය කරති. නමුත් ඔවුන් සිටින්නේ මනුෂ්‍යයන්ට වඩා ඉතාම පහත් තලයක ය.
(3) අසුර ලෝකය -- Asuras : මෙම ලෝකය පිහිටා ඇත්තේ සුමේරු කඳු පාමුල ය. තාවතිම්ස ලෝකයෙන් ඇද වැටුණු (වැරදි හැසිරීම නිසා) පුද්ගලයන්ගෙන් මෙම ලෝකය නිර්මාණය වී ඇත. මෙහි පාලකයන් විශාල සංඛ්‍යාවක් සිටිති. ඔවුන් තමන්ට අහිමි වූ තාවතිම්සය ලබාගැනීමට විශාල උත්සාහයක් දැරුවත් රජවරුන් සිව් දෙනාගේ (චාතුර් මහාරාජිකයේ) බලය බිඳහෙලීමට ඔවුන්ට නොහැක. සුර-අසුර යුද්ධය යනු මෙයයි.
(2) තිරච්චීණ යෝනි -- Animal realm : ඒක සෛලික ඇමීබාවාගේ සිට අලියා දක්වා සියලු සතුන් අයත් වන්නේ මෙම කුලයට ය.
(1) නරක -- Hell realms : ජීවන ස්තර 31 අතරින් ඉතාම දුක්ඛදායක වන්නේ නරකය යි. යමෙකු මීට පත්වන්නේ ඔහුගේ අකුශල කර්ම ඉතාම බලවත් වූ විට ය. නරකයන් වර්ග දෙකකි. එනම් ශීතල හා උණුසුම් යනුවෙනි. මේවා දෙවර්ගයෙන් ම 8 බැගින් පවතී. ඒවා නම්,
ශිශිර නරක :
- අර්බුද – the "blister" Naraka
- නිරර්බුද – the "burst blister" Naraka
- අටට – the Naraka of shivering
- හහව – the Naraka of lamentation
- හුහුව – the Naraka of chattering teeth
- උත්පල – the "blue lotus" Naraka
- පද්ම – the "lotus" Naraka
- මහාපද්ම – the "great lotus" Naraka
උෂ්ණ නරක :
- සඤ්ජීව – the "reviving" Naraka. කාලය වසර 162*1010 කි.
- කාලසූත්‍ර – the "black thread" Naraka. කාලය වසර 1296*1010 කි.
- සම්ඝාත – the "crushing" Naraka. කාලය වසර 10,368*1010 කි.
- රෞරව – the "screaming" Naraka. කාලය වසර 82,944*1010 කි.
- මහාරෞරව – the "great screaming" Naraka. කාලය වසර 663,552*1010 කි.
- තාපන – the "heating" Naraka. කාලය වසර 5,308,416*1010 කි.
- ප්‍රතාපන – the "great heating" Naraka. කාලය වසර 42,467,328*1010 කි.
- අවීචි- the "uninterrupted" Naraka. කාලය වසර 339,738,624*1010 කි.
බෞද්ධ චක්‍රවාද විශ්ව න්‍යායවේදය කෙටියෙන් මෙසේ ය. වැඩිදුර විස්තර සඳහා දීඝ නිකාය කියවා බලන්න.
බෞද්ධ සහස්‍ර විශ්ව න්‍යායවේදය හා බෞද්ධ ආකාශ විශ්ව න්‍යායවේදය පිළිබඳ කරුණු අනාගතයට........
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින මහා අවුල කියාපාන තවත් නිදසුනක් අද දින ප්‍රදර්ශනය විය. 2008 වසරේ අගෝස්තු මස පැවති අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉන් හරියටම මාස 11කට පසුව අද නිකුත් වීමයි ඒ. මාස 11ක්? යනු කොතරම් විශාල කාලයක් දැයි අමුතුවෙන් කිව යුතු නොවේ.
මෙම විභාගයේ ප්‍රතිඵල මුල් වරට නිකුත් කර අන්තර්ජාලයට එක් කෙරුණේ 2009 ජනවාරි 2 වැනි දිනයි. එහි බොහෝ දෝෂ තිබූ බව එම ප්‍රතිඵල විශ්ලේෂනය කිරීමෙන් පැහැදිලි විය. ඒ අනුව ඉතා විශාල සිසුන් පිරිසක් ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් යොමු කළහ. ඒ කොතරම්ද යත් ලක්ෂ 2කින් 46 000 ක් විභාගය සමත් වන විට, 40 000ක් ම recorrection දැමූහ. ඉන් හරියටම මාස 6කුත් එක් දිනකට පසු, එනම් 2009 ජූලි 3වන දින පාසල් වලට, නැවත සමීක්ෂණ ප්‍රතිඵල හොර රහසේ එවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි. මෙවර නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල පැමිණි ආකාරයේ ද දක්නට ලැබෙන්නේ අමුතුම ගුප්ත බවකි.
පළමුවෙන් ඒවා එවන බව ජූනි මස අග සතියේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් දැනුවත් කෙරිණි. ඉන් දින කිහිපයකට පසු එක් එක් ශිෂ්‍යයාගේ නැවත සමීක්ෂණ ශ්‍රේණි ප්‍රතිඵල පාසල් වලට එවා තිබිණි. ඒවායින් වෙනසක් වී තිබුණා නම් ඒ ඉතාමත් ස්වල්ප දෙනෙකුගේ ප්‍රතිඵල පමණි. මා දන්නා තරමින් මහනුවර දිස්ත්‍රික්කයේම එසේ වෙනසකට භාජනය වී තිබුණේ සිසුන් දෙදෙනෙකුගේ ප්‍රතිඵල පමණි.
බොහෝ දෙනාට මෙය එතරම් පුදුමයක් නොවූයේ මීට අවුරුදු කිහිපයක සිටම ජාතික තලයේ විභාග වල නැවත සමීක්ෂණ ප්‍රතිඵල වෙනස් නොවන තත්ත්වයක් දක්නට ලැබුණු බැවිනි. ඉන් තවත් දින කිහිපයකට පසු, එනම් 2009 ජූලි 2 වැනිදා විශ්ව විද්‍යාල ප්‍රවේශයේ කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කෙරිණි. ඒවාට අනුව විශ්ව විද්‍යාලයේ යම් පාඨමාලාවකට ඇතුළත් වීමට සුදුසුකම් ලබතැයි අපේක්ෂාවෙන් සිටි බොහෝ දෙනෙකුට ඒවාට ඇතුළත් විය නොහැකි තත්ත්වයක් උද්ගත විණි. (ඊට මා ද අයත් විය. මේ මගේ අත්දැකීමයි). අපූරුම නාටකය රඟදැක්වුණේ පහුවැනිදා (03/07/2009) උදේ කාලයේදී ය. කිසිවෙකුත් අපේක්ෂා නොකළ මොහොතක සෑම පාසලකටම 2008 උසස් පෙළ විභාගය වෙනුවෙන් දෙවන වරටත් ප්‍රතිඵල ලේඛනයක් ලැබී තිබිණි. වෙනදා සිදුවන්නේ නැවත සමීක්ෂණය මගින් වෙනස් වූ සිසුන්ගේ ප්‍රතිඵල පමණක් පාසලට දැන්වීම ය. නමුත් මෙවර පාසලට ලැබී තිබුණු ලේඛනයක් විභාගයට මුහුණදුන් සියලුම සිසුන්ගේ ප්‍රතිඵල අඩංගු විය. මෙහි විශේෂත්වය වූයේ සෑම සිසුවෙකුගේම ප්‍රතිඵල වෙනස් වී තිබීමයි. ඇතැමුන්ගේ Z ලකුණු 0.1, 0.15 තරම් විශාල අගයන්ගෙන් වෙනස් වී තිබිණි. Z අගය 0.0001කින් ශිෂ්‍යයෙකුට විශ්ව විද්‍යාලයට ඇතුලු වීමේ වරම හිමි/අහිමි වන තත්ත්වයක් තුළ 0.1ක් කියන්නේ කොතරම් විශාල ප්‍රමාණයක් දැයි ඔබට වටහාගැනීම අපහසු නොවනු අත.
මෙම නාටකයේ තවත් ජවනිකාවක් වශයෙන් අද දින (09/07/2008) උසස් පෙළ ප්‍රතිඵල දෙවන වරටත් අන්තර්ජාලයට එක් කර තිබිණි. (මෙතැන ඔබන්න) විභාගය පැවතී දැන් මාස 11කුත් ඉක්ම ගොස් ය. නියම ප්‍රතිඵල නිකුත් වන්නේ දැන් ය. කලින් අන්තර්ජාලයට එක්වූ ප්‍රතිඵල දේශීය හා විදේශීය වශයෙන් කොතරම් භාවිතා වන්නට ඇත්ද? එසේ භාවිතා වූ පසු දැන් එම සිසුන්ට කළ හැක්කේ කුමක්ද? පුදුමය නම් මේ සියල්ල රටේ අවධානය යොමු නොවන පරිදි, ඉතා හොර රහසේ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබීමයි.
විභාගයට මුහුණ දුන් සිසුන් සියල්ලගේම ප්‍රතිඵල එකවර වෙනස් වූ වෙනත් කිසිදු අවස්ථාවක් මා මේ වනතුරු අසා තිබුණේ නැත. මෙහි වඩාත්ම ශෝචනීය පැත්ත නම් මෙම වෙනස් වීම හරහා තිබූ ලකුණුත් අහිමි වූ සිසුන්ගේ තත්ත්වයයි. මා ඇසූ පරිදි මා ජීවත් වන මහනුවර දිස්ත්‍රික්කයේ එක්තරා වැදගත් පාසලක ශිෂ්‍යාවකගේ දිස්ත්‍රික් කුසලතාව 86 සිට 94 දක්වා අඩුවී තිබිණි . මහනුවර දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගන්නේ 93න් දෙනෙකි. ඉහත සඳහන් ශිෂ්‍යාවට වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීමේ වරම් අහිමි වී ඇත්තේ ලකුණු 0.0005ක පමණ පරතරයකිනි. මීට පෙර කිසි දිනෙක මෙවන් ආකාරයට දිස්ත්‍රික් කුසලතාවයන් වෙනස් වූයේ නැත. මෙවර වෙනසට හේතුව හැම ශිෂ්‍යයෙකුගේම ලකුණු වෙනස් වීමයි. අඩු තරමින් නැවත සමීක්ෂණයට අයදුම් නොකළ සිසුන්ගේ පවා ලකුණු වෙනස් වී තිබේ. එසේ සිදු වන්නේ අදාළ විෂය සඳහා රටේම සාමාන්‍යය වෙනස් වීම නිසා වුවද මීට කලින් එසේ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළේ නැත.
ඒ අනුව පෙනී යන්නේ මෙවර අවසාන වශයෙන් නිවැරදිව ප්‍රතිඵල නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කළද එය සිදු වූ ආකාරය ඉතා දීර්ඝ මෙන්ම අවිධිමත් බවයි. වෙනදා මාර්තු මාසය වනවිට නිකුත්කරන නැවත සමීක්ෂණ ප්‍රතිඵල ජූලි මාසය දක්වා කල් යාම තුළ මෙරට බොහෝ දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය අඳුරේ වැටී තිබේ. එය ඔවුනගේ ජීවිතය පුරාවටම බලපාන්නක් බවට පත්වීමට ද ඉඩ ඇත. හැමදාමත් සිදුවන පරිදි අදත් බලධාරීන් නිහඬ ය.
අවසාන වශයෙන් අපට අසන්නට ඇත්තේ "කවුද මේවට වගකියන්නේ?" යන පැනයයි.
අන්තිම බ්ලොග් සටහන ලිව්වෙ මීට දවස් පහකටත් කලින්! දවස් පහක් කියන්නෙ මහ ලොකු කාලයක් නොවුණට අප්‍රේල් මාසෙ ඉඳලම දිනපතාම වගේ බ්ලොග් සටහන් එකක් වත් (වෙන වැඩක් නැතුවට) ලිව්ව නිසා දවස් පහක් කියන්නෙත් ලොකු කාලයක් වගේ දැනුණෙ. වෙනදට ලියන්න බැරි වුණා නම් බැරි වුණේ ලියන්න දෙයක් හිතාගන්න බැරිවුණ නිසා. ඒත් මේ දවස් ටිකේ නම් බැරි වුණේ වෙනත් විශේෂ හේතු රාශියක් නිසා. හරියටම කිව්වොත් කාලයක් තිස්සෙ බ්ලොග් එක වටා කේන්ද්‍රගත වෙච්ච මගේ හිත ඉන් බැහැර වුණු නිසා. ඊට හේතු වූ කරුණු තරමක් පෞද්ගලිකයි. ඒත් කාට හෝ ඉන් ප්‍රයෝජනයක් වෙන්න පුලුවන් කියල හිතුණ නිසා ලියලම දාන්න තමයි හිත.
මම උසස් පෙළ කළේ ගිය අවුරුද්දෙ නොවැ. උසස් පෙළත් පාස් වෙලා විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්න තමයි මේ ටිකේ බලාගෙන හිටියෙ සහ තාමත් ඉන්නෙ. උසස් පෙළ කඩඉම් ලකුණු එන්න නියමිතව තිබුණෙ පසුගිය බ්‍රහස්පතින්දා (02-07-2009). ඒ කියන්න සාමාන්‍ය කාලයටත් ගොඩක් පහු වෙලා. මම බලාපොරොත්තුවෙන් හිටියෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුල් වෙන්න. නමුත් උසස් පෙළ ප්‍රතිඵල වලින් මම හිටියෙ හරියටම කඩඉම් සීමාවෙම වගේ. ඒ කියන්නෙ මහනුවර දිස්ත්‍රික්කයෙන් 84ක් 85ක් ගන්න නියමිත වෙනකොට 82 වැනි තැන වගේ. උසස් පෙළින් වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න බැරිවුණු වැරැද්ද මගේමයි. ඒක ආයෙ අහන්න දෙයක් නෑ. භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව එළටම කරපු මම සංයුක්ත ගණිතය වනාගත්තා. පුදුමෙ කියන්නෙ විභාගෙ දවසටත් කලින් ඔය නස්පැත්තිය වෙන බව මම හොඳටම දැනගෙනයි හිටියෙ. හික්.... ඒකට හේතුව තමයි උසස් පෙළ පටන්ගත්ත දවසෙ ඉඳලම මං හරියට සංයුක්ත ගණිතය විෂයට වැටිච්ච නැති එක. සාමාන්‍ය පෙළ කාලෙ ඉස්කෝලෙ ගණිතය විෂයට වැඩිම ලකුණු ගත්ත මට උසස් පෙළට ඇවිත් ඒ ආකාරයටම වැඩේ කරගත නොහැකිවීම පිටුපස තියෙන්නෙ ඉතාම සුලු හේතුවක්. ඒ තමයි මට ඕනෙ හැටියට වැඩ නොකර මම අනුන්ට ඕනෙ හැටියට වැඩ කරන්නට යාම.
හැබැයි ඉතින් ඕක තේරුම් ගන්නකොට මම පරක්කු වැඩියි.
සාමාන්‍ය පෙළ දවස් වල මම ගිය පන්තියේ ගුරුතුමා (ආදරයෙන් මතක් කරන්න ඕනෙ ඔහුව මේ අවස්ථාවෙ. ඒ තමයි මහින්ද බණ්ඩාරනායක ගුරු පියාණන්) මට ඉතාම නිදහසේ පරිසරයක් හදල දුන්නා වැඩ කරන්න. ඒක මගේ හිතට කොයි තරම් වැදුනද කියනව නම් මට ගණිතය කිරි කජු වගේ වුණා. හදන හදන ගාන හරි. ඒ කාලෙ මට අප්සෙට් ගහන්නෙ ගණිතය paper එකට 100ක් නැති වෙනකොට. අඩු තරමින් ඒ වෙනකොට ගණිතයට මම අඩුම ලකුණු අරන් තිබ්බෙ 7 වසරෙ දෙවැනි වාරයෙදි . ඒ 90ක්. නමුත් උසස් පෙළට ආවම ඒ ඔක්කොම උඩු යටිකුරු වුණා. ගණිතයට හොඳ පදනමක් වැටුණෙම නැහැ. ඉස්සර හදන හදන ගාන හරිගිය මගෙ හදන හදන ගාන වැරදෙන්න පටන් ගත්තා. ඉස්සර ගණිතයේ සෑම කොටසකටම ආස කරපු මම ඒකෙ ඇතැම් කොටස් හලන්න පටන් ගත්තා. ඒකට හේතුව තමයි මට, මට අවශ්‍ය කරන විදිහට වැඩකරන්න නිදහසක් නොලැබීම. ගුරුවරුන්ටම දෝෂාරෝපණය කරන එක වැරදියි, නමුත් සාමාන්‍ය පෙළ කාලෙ ලැබුණු තල්ලුව නම් ලැබුණෙ නෑ ගුරුවරු රාශියක් මාරු කර කර බැලුවත්. සමහර විට වැරැද්ද තියෙන්නෙ ගුරුවරු මාරු කිරීමෙම වෙන්නත් පුලුවන්.
කොහොම කොහොම හරි ඔන්න ඔය විදියට මට මුලු සංයුක්ත ගණිතයම කෙළ වෙලා ගියා අන්තිම වෙද්දි. ඒත් Physics හා Chemistry බලේ නිසා මම බය වුණේ නැහැ. කොහොමහරි උසස් පෙළ පාස් වෙන්න පුලුවන් කියල හිතුවා. උසස් පෙළත් කළා කියමුකො අන්තිමට. ගණිතය නම් හිතපු විදියටම බොක 70යි. ඒත් ලකුණු 60ට වඩා තියෙයි කියල මට තේරුණා. රසායන විද්‍යාවත් හිතපු තරම්ම හොඳට කරගන්න බැරි වුණත් අවුලක් වුණේ නෑ. භෞතික විද්‍යාව නම් අවුලක්ම නෑ. දෙවනි කොටසට උපරිම ලකුණු තියෙයි කියල හිතුවා. කාලය ගෙවිල ගිහින් 2009 ජනවාරි 2 වැනිදා ප්‍රතිඵල ආවා. හිතුව හරි A 2යි, C 1යි. ප්‍රතිඵලේ අවුලක් නෑ කියමුකො. ඒත් rank එක තමයි අප්සෙට් වුණේ. (82 නොවැ). මෙච්චර පල්ලෙහාට බැස්සෙ කොහොමද කියලා මට කොහොමටවත්ම තේරුම් ගන්න බැරි වුණා. අන්තිමට recorrection එහෙම දාලා බලාගෙන හිටියා ඉතුරු වැඩ ටික වෙනකන්. 85ක් ඇතුලෙ කිව්ව නිසා ආපහු පාඩම් කරෙත් නෑ (පාඩම් කරල තව පාරක් ලිව්ව නම් තිබ්බ ටිකත් නෑ කියන එක වෙනම කතාවක්). එපමණක් නොවෙයි. මේ වෙනකොට මම හිතාගෙන හිටියෙ ඉංජිනේරු පීඨයට නැතුව භෞතික විද්‍යා පීඨයට ඇතුලු වෙන්න. ඒ මගේ දීර්ඝකාලීන ආසාවක් ඉෂ්ට කරගන්න. (ඒක තවත් දිග කතාවක්. ඒ නිසා මම ඒ ගැන වැඩිය කියන්න යන්නෙ නැහැ) ඒත් අන්තිමට යම් යම් හේතු නිසා ඉංජිනේරු පීඨයටම යනව කියලා තමයි හිතාගෙන හිටිය. ඔහොම ඉන්න අතරෙ තමයි ගිය බ්‍රහස්පතින්දා විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා කඩයිම් ලකුණු ආවෙ.
හවස 2ට එළියට දානවා කිව්ව ලකුණු එනකම් අපි පරිගණක තිර දිහා දෑස් දල්වාගෙන බලන් හිටියා. 2 වෙනකොටත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අවවියේ ලකුණු නැහැ. මම හිතපු නැති මොහොතක, (හවස 3ට විතර) මගේ හිතමිතුරු නාග බුද්ධික මගේ Z ලකුණු ඇහුවා. (ඔහු කොහොමත් සුදුසුකම් ලබනවා). මම කිව්වා ගාන. 1.8956 යි. ඔහු පිළිතුරක් දෙන්න වෙලා ගියා. මට තේරුණා වැඩේ අප්සෙට් බව. අන්තිමට ඔහු කිව්වා, "මචං 1.8966 යි". මට පොඩි කැරකිල්ලක් වගේ දැනුණා. ටිකකින් හරි ගියා. ඒත් මොනව කරන්නද, ඔහු කිව්ව හරි. මහනුවර දිස්ත්‍රික්කය සඳහා 2009 වසර වෙනුවෙන් ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමට අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය 1.8966 යි! දැන් ඉතින් මොනව කරන්නද. අම්මටත් කිව්වම මාර දුකයි.
එක මොහොතකට ලෝකයම කඩාගෙන වැටුණා වගේ දැනුණා. නමුත් ඒකෙන් ගොඩ එන්න මට වැඩි වෙලාවක් ගියේ නැහැ. ඇත්තටම මට ඒ තරම්ම විශාල දුකක් දැනුණෙ නෑ. හේතුව තමයි මම කලින් හිතාගෙන හිටියේ විද්‍යා පීඨයට යන්න නෙ. පස්සෙ ඒක වෙනස් වුණේ නැත්තම් මේ කිසි අවුලක් නෑ. ඒක ගැන හිතල මම හිත හදාගත්තා. නමුත් නිව්ස් එක ගියා විතරයි මෙන්න එකසිය ගානට කෝල්ස් එනවා. ගොඩක් දෙනා මගේ හිත හදන්න උත්සාහ කළා. ඒ හැම දෙනාටම මම ණයගැතියි. මට ඔවුන් හැමදාටම මතක හිටියි. ඒ වගේම සමහරු මට special intake එකෙන් හෝ යන්න පුලුවන් කියා කිව්වා. පුදුම වැඩේ කියන්නෙ මම විවිධ තරඟ වලින් දිනලා, දිවයිනේ ප්‍රථම ස්ථාන ලබා, ඊට අමතර ජ්‍යාත්‍යන්තර තරඟ වලින් ද ජයග්‍රහණය කර තිබුණත් special intake එකට ඉල්ලුම් නොකිරීම. කවුද දන්නෙ මෙහෙම වැඩක් වෙයි කියලා? කලින් ඒක ඕනෙ වෙන්නෙ නෑ කියලනෙ හිතුවෙ. ඉතින් ඒ අවස්ථාවත් මට අහිමියි.
ටික වෙලාවක් යනකොට මට පැහැදිලි දැක්මක් ලැබුණා, කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව. ඒ තමයි ලැබුණු දෙය හොඳයි කියා එම මාර්ගයේ දිගටම ගමන් කිරීම. අන්තිමට මට පොඩි දුකක් වත් ඉතිරි වුණේ නැහැ. නමුත් බොහෝ දෙනා සිතුවේ ඒකෙ අනෙක් පැත්ත. අන්තිමට අර කතාව මට ඇහෙන්නෙ නැති තරමට හොඳයි කියල මට හිතුණා, අනවශ්‍ය බලාපොරොත්තුවක් ඇතිවෙන නිසා.
ඔන්න ඔය විදිහට පහුවෙනිදාටත් එළිවුණාය කියා කියමුකො. මම උදේ නැගිටලා ඉංජිනේරු පීඨයට අවශ්‍ය, මා ළඟ තිබුණු දෑ ඉවත් කර කාමරයත් අස්පස් කළා. ඉන් අනතුරුව නැවතත් දුරකථන ඇමතුම් එන්න පටන්ගත්තා. ඔවුන් හැම දෙනාමත් හිතන් හිටියේ වුණු සිද්ධිය නිසා මට දුක ඇති කියලා. නමුත් මට ඒක ගානක් නැති බව මම ඔවුන්ට නැවත නැවතත් කිව්වා. කාලය ටිකෙන් ටික ගත වෙලා ගියා. මම පත්තරයක් ගේන්න නිවසින් එළියට ගිය මොහොතක තවත් දුරකථන ඇමතුමක් ආවා. මම පත්තරයත් අරන් නැවතත් ගේ තුළට ආවා එම දුරකථන ඇමතුමත් ගන්න. එතකොට වෙලාව උදේ 9.45 විතර ඇති. අත්තම්මා දුරකථනය රැගෙන මට දුන්නා. කථා කළේ මගේ පාසලෙන්, මා හොඳට දන්නා හඳුනන ශාන්ති මැඩම්. "චමිත, ඉක්මනට ඉස්කෝලෙට එන්න. මේ දැන්මම" ඇය කිව්වා. මම ඇහුවා ඇයි කියා. එවිට, "ඔයාගෙ rank එක 69 වෙලා, Z score එකත් වැඩි වෙලා. ඒක බලන්න දැන්ම එන්න" ඇය කිව්වා. මගේ ඔලුව, පැය 24ක් ඇතුළත දෙවන වරටත් කැරකෙන්න පටන්ගත්තා.
මම පාසලට ගිහින් බැලුවාම වැඩේ හරි. Rank එක 69ට වැඩි වෙලා. Z score එක 1.9833 වෙලා. ලබාගත්ත ශ්‍රේණි නම් වෙනස් වී නැති බව කලින්ම පාසලට දැනුම් දී තිබුණා.
ඔන්න ඔහොමයි පහුගිය දවස් ටිකේ මට වෙච්ච සිද්ධි සමුදාය.
"පිස්සු හැදෙන සඳ" කියන්නෙ මේ වගේ වැඩ වලට වෙන්න ඇතැයි කියා හිතෙනවා. කොහොම වුණත් මේ දින ටික ගතකරන්න මට උදව් වෙච්ච හැම දෙනාම, මගේ යහලුවන්, දෙමාපියන් හා විශේෂයෙන්ම අත්තම්මා මම ආදරයෙන් සිහිපත් කරනවා. නාට්‍යයේ අවසානය යහපත් එකක් වීම විශේෂයෙන්ම ගෙදර කට්ටියට ලොකු අස්වැසිල්ලක් වුණා.
අවසානම වශයෙන් කියන්න තිබෙන්නෙ මේකයි. මම ජීවත් වූ අවුරුදු 20 තුළදී මට කරුණු කිහිපයක් පමණක් හරියට වැටහී තිබෙනවා. එකක් තමයි ඔබ මා ඇතුලු සියලුම මිනිසුන් ජීවත් වෙන්නෙ සතුට වෙනුවෙන් බව. කෙනෙකුට සතුට ලැබන්නෙ ක්‍රම දෙකකට. පළමුවැන්න, සින්දුවක් ඇසීම වැනි තාවකාලික සංසිද්ධියකින් නැතහොත් අත්දැකීමකින්. දෙවැන්න, තම දිවියේ අරමුණු සාක්ෂාත් වීම වැනි දීර්ඝකාලීන උත්සාහයක ප්‍රතිඵල වශයෙන්. මෙම කිසිවක් ඉටු නොවුණ තැන තමාට ලැබෙන්නෙ කුමක්ද? ඒ දුක පමණයි. ආශාවන් අඩුවන තරමට, තණ්හාවන් අඩුවන තරමට දැනෙන දුක අඩුයි. මට ඒක පසුගිය දවස් දෙක තුනේ තදින් ම දැනුණා.
කෙනෙකුගේ ප්‍රයත්නය විය යුත්තෙ ආශාවන් හැකිතරම් අඩුකරගෙන තමන්ට එදිනෙදාට නියමිත කාර්යය හරියට, තමාට ගැළපෙන පරිදි ඉටුකරකර ගැනීමයි. ඒ අතරෙම තමන්ගෙ අරමුණක් (දීර්ඝකාලීන හෝ) ඉටු නොවුණ තැන, තමන්ගෙ සිහින රාජ්‍යයක් බිඳ වැටුණු තැන එම සංසිද්ධිය උපේක්ෂාවෙන් යුතුව බාරගැනීමේ ගතිගුණයක් තමන් පුරුදු පුහුණු කර තිබීම අවශ්‍යයි. එවැනි තැන් අනාගතයේ ඔබට පමණක් නොව මට ද උදාවනු ඇති. නමුත් මේ සියල්ලටම නිත්‍ය පිළියම ආශාවන් හැකිතරම් අවම කිරීමම තමයි. විශ්මයට කරුණ වෙන්නෙ බුදුරජාණන් වහන්සේ සාරාසංඛ කල්ප ලක්ෂයක් අවුරුදු ගවේෂණය කොට අවබෝධ කරගත් සනාතන ධර්මතාවත් එයම වීමයි. බුදුරජාණන්වහන්සේගේ හා මා අතර වෙනස වන්නේ මම එම සත්‍යය ඡායා මාත්‍රයක් පමණක් ලෙස දැකීමත් උන්වහන්සේ එය ඉතා නිවැරදිව, සෑම මොහොතකටම, සංසිද්ධියකටම ඉතා ප්‍රායෝගිකව යෙදිය හැකි තරමට අවබෝධ කරගෙන තිබීමත් පමණයි. නමුත් ඒ දෙක අතර තිබෙන වෙනස අහසට පොළොව තරම් වන බව අමුතුවෙන් කිවයුතු නැහැ.
මම මෙය දැන්ම ලියාතැබීමට එක් කරුණක් හේතු වුණා. ඒක මෙහෙමයි. සත්‍යය සාමාන්‍ය කෙනෙකුට නිවැරදිව පෙනෙන්නෙ ඉතා සුලු මොහොතකට පමණයි. එනිසා ඒ මොහොත තුළ එය වටහාගෙන හැකි තරම් අවබෝධ කරගත යුතුයි. නො එසේනම් එම අවබෝධය තවත් ඇසිපිය හෙළන ක්ෂණයකින් අතුරුදන්ව නැවතත් මිථ්‍යාව නැමැති ඝන අන්ධකාරයට පුද්ගලයා ඇදවැටෙනු ඇති. මෙය ලියන මට වුවත් එය එක සේ සත්‍යයි. මන්ද මමත් තවමත් අඳුරේ හිඳ අතපත ගාන නිසා. එබැවින් මෙය කියවන හිත මිතුරන්ගෙන් මම එක ඉල්ලීමක් කරනවා. යම් දවසක මම මේ සත්‍ය මාර්ගයෙන් බැහැරව මහා පිස්සුවක් නටන්නට ලෑස්ති වනවා නම් කරුණාකර මෙම බ්ලොග් සටහනේ URL එක මට නැවත ලබා දෙන්න. ඒ තරමට ඔබට කළහැකි උතුම් වූ උපකාරයක් තවත් නැහැ.
අන්තර් ආගමික අධ්‍යයනය (comparative religious study) පිළිබඳ මේ දිනවල බොහෝ කරුණු අසන්නට ලැබුණද ඒ හරහා ගැඹුරු අධ්‍යාත්මික කරුණු සාකච්ඡාවට බඳුන් වූයේ ඉතා කලාතුරකිනි. ධර්මය ගැන කතාකිරීමට යාම වර්තමානයේ බොහෝ දෙනාට ලැජ්ජාවට කරුණක් වන නිසාත් යම් දෘෂ්ටියක සුවිශේෂත්වයක් පෙන්වාදීම ඇතැමුන් "ආගම්වාදය ඇවිස්සීමක්" ලෙස දකින නිසාත් මෙම ලිපියෙන් කියන්නට යන කරුණු සෑම සියලු දෙනාට එක ලෙස ප්‍රයෝජනවත් වෙතැයි මම නොසිතමි. එහෙත් ජීවිතය ගෙවාදමන සම්පූර්ණ කාලාන්තරය මුළුල්ලේ අනන්තවත් වූ ආශා සමුදාය පසුපස හඹා යාම පමණක් ජීවිතයේ එකම පරමාර්ථය නොවන බව පිළිගන්නා, බිලියන හය හමාරක් වූ මිනිසුන් අතරේ තමාට ද යම් ආකාරයක සුවිශේෂත්වයක් ඇතැයි විශ්වාස කරනා, මෙලොව මෙන්ම පරලොවක් ද ඇති බව පිළිගන්නා සෑම දෙනාම මෙම කරුණු සාවධානව අසත්වා!
ලෝකය බිහි වූ දිනයේ පටන් බොහෝ පුද්ගලයෝ "සත්‍යය" සොයා ගියහ. ඇතැම්හු තම අරමුණ සපුරා නොගෙනම මිය පරලොව ගියහ. තවකෙක් "සත්‍යය" සොයාගත්හ. ඔවුහු තමන් දැනගත් සත්‍යය ලොවට හෙළි කළහ. "සත්‍යය" සොයාගත් පුද්ගලයන් අතර අපූරු සබඳතාවක් ඔවුන්ගේ චරිත විශ්ලේශනයෙන් පැහැදිලි වේ. එනම් ඒ පුද්ගලයින් අතරින් එක් අයෙකු හැර අන් සියලු දෙනාම "සත්‍යය" සෙව්වේ තම ශරීරයෙන් පිටත බවයි. ඔවුන්ට "සත්‍යය" හමු වූයේ ඉතා දුර ඈත සිටින, නොපෙනෙන, නොදැනෙන, මහා බලසම්පන්න දෙවියෙකු සන්තකයේ තිබී ය. නමුත් "සත්‍යය" සොයා තමා තුළට ගිය පුද්ගලයා පමණක් අනෙක් "සත්‍යයන්" සියල්ලටම වඩා වෙනස් "සත්‍යයක්" සොයාගත්තේ ය. කවුරු පිළි ගත්තත්/නොගත්තත්, විශ්වාස කළත්/නොකළත් පුද්ගලයා කෙරෙහි බලපවත්වන්නා වූ "සත්‍යය" වන්නේ බාහිරව කෙරෙන බලපෑම නොව පුද්ගලයා "තුළ" පවත්නා "සත්‍යය" බැව් මධ්‍යස්ථ මතධාරී, තාර්කික බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට අපහසුවෙන් හෝ පිළිගැනීමට හැකි යැයි මම උපකල්පනය කරමි. එයට "විශ්වීය සත්‍යය" යන නම ව්‍යවහාර කෙරේ. තමා තුළ පවතින සත්‍යස සොයා ගිය එම ගවේෂකයා බුදුරජාණන්වහන්සේ පමණක් බව ඔබට දනියි. මා බුදුරජාණන්වහන්සේ දේශනා කළ මඟ විශ්වාස කරන්නෙකු වීම නිසා ද බුදුරජාණන්වහන්සේ දේශනා කළ මඟ යන්නෝ "බෞද්ධයෝ" නම්වන නිසා ද උපතින් බෞද්ධයන් වන පුද්ගලයන් පමණක් වර්තමානයේ එම "විශ්වීය සත්‍යය" දකිතැයි කීමට මා සැරසෙතැයි ඔබ සිතනු ඇත. නැත! මම එසේ නොකියමි. එසේ නොකියන්නේ එසේ කිවහොත් "බෞද්ධයන්" වන සියලු දෙනා සත්‍යයම මාර්ගය ම අනුගමනය කරන බවට වූ වැරදි අදහසක් ඔබ තුළ ජනිත වන බැවිනි. ඇත්ත කතාව නම් බෞද්ධයන්ගෙන් ද සියයට දශම එකක් වත් මෙම "විශ්වීය සත්‍යය" යනු කුමක්දැයි නොහඳුනන බව ය. "විශ්වීය සත්‍යය" නම් චතුරාර්ය සත්‍යයයි. චතුරාර්ය සත්‍යය නම් දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදෙන මඟ යන මේවා ය. විශ්වයේ පරම සත්‍යය මෙයයි. මනුෂ්‍ය ජීවිතය තුළදී මෙම සත්‍යය දැකීමේ උත්කෘෂ්ට වාසනාව "ක්ෂණ සම්පත්තිය" නම්වේ. "ක්ෂණ සම්පත්තිය" නම් මනුෂ්‍ය ජීවිතය හා චතුරාර්ය සත්‍යය හමුවීමයි.
"විශ්වීය සත්‍යය" යනු කුමක්දැයි ගවේෂණය කර, එය චතුරාර්ය සත්‍යය බව හඳුනාගෙන, ලොවට දේශනා කළ එකම ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ ය. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කළේ පර්යේෂණයකි. ඔහු ළඟට කිසිදු දෙවියෙකු පැමිණ, කණට කර, "සත්‍යය මෙන්න මේකයි. මෙය ගිහින් ලෝකයට කියන්න" කියා හොර රහසේ කීවේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ මහත් දුකක් දරා මෙය කුමක්දැයි කියා තනිවම සෙව්වේ ය. සෙව්වේ කොහේද? ඒ වෙන කොහේවත් නොවේ. විශ්වයේ ඈත කොණේ නොවේ. විශ්වීය සත්‍යය සැඟවී තිබෙන තම සිත තුළම ය. බුදුන් වහන්සේ සොයාගත් මෙම සත්‍යයේ ඇති තර්කානුකූල භාවය අසමසම ය. ඊට ළං කිරීමට වෙන කිසිවක් නැත. ඇයි එය මේ තරම් තර්කානුකූල? තර්කානුකූල වන්නේ එය මෙම සැඟවුණු "විශ්වීය සත්‍යය" බාහිර සාධකයකට, තමාට පාලනය කළ නොහැකි දෙවි කෙනෙකුට පිරි නොනමා තමා තුළම, තමාට නොපෙනෙන ලෙස සැඟවී ඇති බව ප්‍රකාශ කරන බැවිනි. මානව චින්තනයේ අග්‍රඵලය එයයි....!
එය සොයාගැනීමෙන් අනතුරුව උන්වහන්සේ ලොවට කීවේ "මම සොයාගත් සත්‍යය ඔබ ද සොයාගන්න" යන්නයි. ඒ හැර උන්වහන්සේ කිසිවෙකුටත් තමාගේ ධර්මය අවබෝධ කරගැනීම පිණිස තම අනුගාමිකයෙකු වීම අවශ්‍ය යැයි කීවේ නැත. සැකෙවින් කිවහොත් බුදුන් වහන්සේ දේශනා කළ "චතුරාර්ය සත්‍යය" අවබෝධ කරගැනීමට "බෞද්ධයෙකු" වීම කිසිසේත් ම අවශ්‍ය නැත! ඊට හොඳම උදාහරණය නම් පසු කලෙක බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වූ උපතිස්ස, කෝලිත පරිබ්‍රාජකයන්ගේ කතාවයි. පරිබ්‍රාජක යනු එදා සමාජයේ සිටි, බුදු දහමට එරෙහි ප්‍රධානතම ආගමික කණ්ඩායමකි. එය හරියට අපේ සමාජයේ ඉස්ලාම් හෝ ක්‍රිස්තු බැතිමතෙකුට සමාන තත්ත්වයකි. ඔවුන් සෝවාන් ඵලයට පත්වන විට මහණ වීමට තබා බෞද්ධයන් වීමට වත් සිතා තිබුණේ නැත. කොයි තරම් පුදුමයක්ද? අනෙක් ආගම් වලට සාපේක්ෂව කොතරම් වෙනසක්ද? ඕනෑම කෙනෙකුට නිර්වාණ මාර්ගයට පිවිසීමට අවශ්‍ය වන්නේ තියුණු මනසකුත්, නොසැලෙන අධිෂ්ඨානයකුත් පමණි. නමුත් මේවා කියන විට සමාජයෙන් චෝදනා එල්ල වන්නේ "ආගම්වාදියා" කියා ය. එසේ කියන තාක් කල් එසේ චෝදනා කරන්නන්ට සිදුවන්නේ මඩ ගොඩේ එරි එරී, මඩ නාමින්, මඩ කමින් ම ජීවත් වීමට ය. මඩ ගොඩෙන් ගොඩ ඒමට දඟලන වාරයක් වාරයක් පාසා ඔවුනට සිදුවන්නේ තවතවත් මඩ ගොඩේ එරීම ම පමණි.
සැබැවින්ම කිවහොත් බෞද්ධ, අබෞද්ධ යනුවෙන් බුදුරජාණන්වහන්සේ කිසිවෙකුත් බෙදා දැක්වූයේ නැත. වර්තමානයේ බොහෝ බෞද්ධයන් නමට පමණක් බෞද්ධයන් වන සන්දර්භයක් තුළ, එවන් පුහු බෞද්ධයෙකු සහ අන්‍යාගමිකයෙකු අතර සැළකිය යුතු වෙනසක් බුදු සමය දකින්නේ නැත. කෙනෙකු බෞද්ධ දර්ශනය පිළිගත්ත ද, කෙනෙකු "විශ්වීය සත්‍යය" තිබෙන්නේ බුදුන් වහන්සේ කළ පර්යේෂණයේ ප්‍රතිඵල මත බව පිළිගත්ත ද එමගින් පමණක් ඔහුගේ "බෞද්ධ"භාවය සම්පූර්ණ වන්නේ නැත. ඒ සඳහා ඔහු අනිවාර්යයෙන් ලැබිය යුතු තවත් අවබෝධයක් වේ. එය ඉහත සඳහන් කළ "ක්ෂණ සම්පත්තිය"යි. ක්ෂණ සම්පත්තිය නොලැබූ බෞද්ධයා සහ දේවවාදියා යන දෙදෙනා අතර වෙනසක් නැත. සැබැවින්ම බෞද්ධ/ අබෞද්ධ ලෙස වර්ගීකරණය කිරීමට වඩා උචිතම වර්ගීකරණය ක්ෂණ සම්පත්තිය ලැබූ/නොලැබූ යන ලෙස වර්ගීකරණය කිරීමයි.
මෙහි විශේෂත්වය වන්නේ "ක්ෂණ සම්පත්තිය ලැබූ" ගණයට අයත් වීමට කෙනෙකුට බෞද්ධයෙකු වීමට අවශ්‍ය නොවීමයි. ක්ෂණ සම්පත්තිය යනු මනුෂ්‍ය ජීවිතය සහ චතුරාර්ය සත්‍යය එක් තැනකදී හමුවීමයි. සෑම බෞද්ධයෙකුම මනුෂ්‍යයෙකු වුවත් සෑම බෞද්ධයෙකුම චතුරාර්ය සත්‍යයේ වටිනාකම හඳුනන්නේ නොවේ. එසේ නොහඳුනන සියලු දෙනා මීට අනුව වැටෙන්නේ "ක්ෂණ සම්පත්තිය නොලැබූ" නැතහොත් "දුෂ්ටක්ෂණයකින් යුතු" යන පිරිස අතරටයි. මීට බුදුදහම හැරදමා කෝවිල් වල, කේන්දර වල, සායි බාබා ඇතුලු එකී මෙකී නොකී බලවේගයන්හි සරණ ගිය මෙන්ම "සෑම ආගමක්/දර්ශනයක් ම එකයි, සෑම ආගමකම අවසන් අරමුණ මෝක්ෂයයි" කියාගන්නා බක පණ්ඩිතයන් සියලු දෙනා ද අයත් වේ. එසේම පුදුමයකට මෙන් මීට අනුව, චතුරාර්ය සත්‍යයේ වටිනාකම අවබෝධ කරගත්, බෞද්ධයන් නොවන අන්‍යාගමිකයන් කිහිපදෙනෙකු ද "ක්ෂණ සම්පත්තිය ලැබූ" පිරිසට අයත් වේ. ඕනෑම කාලයක "ක්ෂණ සම්පත්තියෙන් යුතු" මිනිසුන් මෙලොව වාසය කරන්නේ ඉතාම අතළොස්සක් බව සිහිපත් කළ යුතු ය. එම මහඟු අවස්ථාව දැන් ඔබට ද උදා වී ඇත. පිළිගැනීම හෝ නොගැනීම බාර ඔබට ය. "මම ක්ෂණ සම්පත්තියෙන් යුතු කෙනෙක්ද?" යන ප්‍රශ්නය මෙය කියවන ඔබට දැන් පහළ වී තිබෙනු ඇති. එය නිර්ණය කිරීමට සරල ක්‍රමයක් ඇත. එය මෙසේ ය.
- ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය ගැන පිළිබඳ යමක් ශ්‍රවණය වන විට එහි කුමන හෝ ආකාරයක වැදගත්කමක් දැනෙනවාද?
- "මේ ලෝකයේ හැම දේම දුකයි" කියා කිසිවෙකු කියනු ඇසෙන විට ඔබටත් "මේ කියන දේ ඇත්ත නේ?" කියා සිතෙනවාද?
- ඔබ අත්දුටු යම් දුකකට හේතුව ඔබ ඒ දුකට මුල් වූ කරුණට අනවශ්‍ය ලෙස ඇලුම් කිරීම බව කවදා හෝ සිතී තිබෙනවාද?
- ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතිපට්ඨාන භාවනාව ගැන කියන විට ඒ ගැන සුලු හෝ කුතුහලයක් ඔබට ඇතිවෙනවාද?
- එසේත් නැතිනම් අඩු තරමින් මෙම සටහන කියවන විට What a bullshit කියා නොසිතී, මේ කියන දෙයෙහි කුඩා හෝ වැදගත්කමක් ඇතැයි හැඟෙනවාද?
පිළිතුර "ඔව්" නම් ඔබට ද ක්ෂණ සම්පත්තිය ඇත!
පිළිතුර "නැත" නම් මෙම සටහන තවදුරටත් කියවීම ඔබේ කාලය නාස්ති කිරීමකි. ඔබට තවත් සිය දහස් වාරයක් මැරි මැරී ඉපදෙමින් ගොස් ඉහත කරුණු අවබෝධ වූ දිනෙක නැවතත් ධර්ම මාර්ගයට පිවිසිය හැකි වනු ඇත.
පිළිතුර "ඔව්" වුව ද කරුණු හරියාකාරව "බුද්ධියෙන්" වටහා නොගතහොත් ඔබ ලබා තිබෙන ක්ෂණ සම්පත්තිය වැඩි කලයක් යන්නට මත්තෙන් අතුරුදන්ව යාමට බැරි නැත. එබැවින් එම මහඟු සම්පත ඔබෙන් ගිලිහී යාමට නොදී පරෙස්සම් කරගන්න. මන්ද ඔබට නොසිතුනත් අති බහුතරයක් වූ මිනිසුන්ට මෙවන් කරුණු කියන විට සිතෙන්නේ "මේවායින් අපට ඇති වැඩේ මොකක්ද? මේ ඉන්න ටික කරදරයක් නැතුව, හොඳට හිටියාම ඇති, මැරුණයින් පස්සෙ අපට වෙන්නෙ මොනාද කියල කවුද දන්නෙ?" කියා පමණක් වන බැවිනි. ඔබ ලබා තිබෙන ක්ෂණ සම්පත්තිය නැති වී ගොස් ඔබේ චින්තනය ද ඉහත මතයෙන් ප්‍රතිෂ්ඨාපනය වීමට ගතවන්නේ තත්පරයෙන් දහසෙන් පංගුවකටත් අඩු කාලයකි. ඊට හේතුවක් නම් ඔබ වැඩි වැඩියෙන් සමාජය සමඟ බද්ධ වන විට, ඔබ වැඩි වැඩියෙන් ආශාවන් ඇතිකරගන්නා විට ඉහත ඔබ වටහාගත් "විශ්වීය සත්‍යය"ට වඩා "වැදගත්" කරුණු ඔබේ සිතට නැගෙන බැවිනි. සාමාන්‍ය ලෝක ස්වභාවය එයයි. සත්‍යය සෑම විටම වැසී පවතින්නේ "මිථ්‍යාව" යන ඝන අන්ධකාරයෙනි. එය දුරස් වන්නේ ඉතා සුලු වේලාවකට පමණි. කරගන්නා දෙයක් ඒ ටිකට කර නොගතහොත් නැවතත් වැටෙන්නේ ඝන අන්ධකාරයටම ය. පුදුමය නම් බෞද්ධයන්ට ද මෙය එක ලෙස සත්‍ය වීමයි. බෞද්ධයා ද මෙය සංකල්පයක් වශයෙන් තේරුම් නොගතහොත් බෞද්ධකමින් වැඩක් වන්නේ නැත. එය සිදු වීමට පෙර ඔබ වහ වහා මෙම චතුරාර්ය සත්‍ය මාර්ගයේ යම් දුරක් වත් ගමන් කළ යුතු ය. බුදුරජාණන් වහන්සේ තම අවසන් මොහොතේ ද ප්‍රකාශ කළේ "වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදෙථ" කියාය. එහි තේරුම "සියලු සංස්කාර ධර්මයෝ නැසෙනසුලු ය. වහා කරුණු සම්පාදනය කරගන්න" යන්නයි. (ඇතැමුන් මෙහි අවසන් පාඨය, "නොපමාව කුසල් දම් හි නිරතවන්න" ලෙස වෙනස් කිරීමට උත්සාහ දරනු පෙනේ. මෙය සම්පූර්ණ වැරදි ය. කුශලකර්ම යනු ජීවිතයේ තාවකාලික සැපයට හේතුවන කරුණු වුවද නිවන් අවබෝධය ලැබීමට නම් කුශලකර්ම ද ප්‍රහාණය කළ යුතු ය. විදර්ශනා නොවඩා දිගින් දිගටම කුශලකර්මයන්හි පමණක් නිරත වෙමින් සිටීමෙන් සිදුවන්නේ සසර තව තවත් දීර්ඝ වීම පමණි. බුදුරජාණන් වහන්සේ එය අනුමත කළේ නැත) . "කරුණු සම්පාදනය කරගන්න" යන්නෙහි සැබෑ තේරුම නම් චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය යන මේවා අධ්‍යයනය කොට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ජීවත් වී, සතර සතිපට්ඨානය ඇතුලු විදර්ශනා වඩන්න යන්නයි. පැවිදි නොවූ කෙනෙකුට මේ සඳහා මහා නිදහසක් නොමැති වුවද හැකි උපරිමයෙන් එය කරන මෙන් බුදුන් වහන්සේ දේශනා කළ සේක. ජීවත් වන සෑම කෙනෙකුගේම අරමුණ විය යුත්තේ කෙසේ හෝ සෝවාන් වීමයි. මන්ද අපායගාමී වී මහා දුක් විඳීමට සිදු නොවන බවට සහතිකයක් ලැබන්නේ එවිට පමණක් වන බැවිනි. යමෙකු ජීවත් වන කාලයේ ඉතා යහපත් ලෙස ජීවත් වුවද අත්වැරදීමකින් සිදුවන සුළු පාපයක් නිසා කළ හොඳ සියල්ල වැළලී ගොස් අපායගාමී වීමට ඉඩ ඇති බැවිනි ඒ. සෝවාන් වීම සඳහා පැවිදි වීමට අවශ්‍ය නැත. අඩුතරමින් බෞද්ධයෙකු වීම වත් ඊට ඇවැසි නොවේ. ඒ බව උපතිස්ස-කෝලිත නිදර්ශනයෙන් පැහැදිලි වේ. බුදු සමයේ බොහෝ දෙනා මහණ වූයේ සෝවාන් වීමෙන් අනතුරුවයි. එසේම සෝවාන් වී මහණ නොවූ පිරිස ද අති විශාල ය.
මෙතැන් පටන් ලිපිය ප්‍රගමනය වන්නේ ගිරිමානන්ද සූත්‍රය පාදක කරගෙන ය. ගිරිමානන්ද සූත්‍රය යනු ගිරිමානන්ද හිමියන් රෝගාතුර වූ අවස්ථාවේ උන්වහන්සේ සුව වීම උදෙසා ආනන්ද තෙරුන්ට කීමට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මයයි.
චතුරාර්ය සත්‍ය මාර්ගයේ ගමන් කිරීමට සුලු හෝ අදිටනක් ඇතිකරගත් ඔබට එය පටන්ගැනීමට ස්ථානයක් (starting point) මෙම සූත්‍රයෙන් විස්තර කෙරේ. මෙහි එන්නේ චතුරාර්ය සත්‍ය මාර්ගයේ ගමන් ගන්නා "සිහි බුද්ධිය ඇති" පුද්ගලයාට තම ජීවිතය දෙස බැලීම සඳහා (ජීවිතය අධ්‍යයනය කිරීමට) බුදුරජාණන්වහන්සේ දේශනා කළ ක්‍රම/ආකල්ප දහයකි. ඒවා නම්,
- අනිත්‍ය සංඥා - ජීවිතය අනිත්‍ය වශයෙන් බලන ක්‍රමය. ශරීරය රූපයක්, රූපය අනිත්‍ය දෙයක් ලෙස සිතන්න.ඇසට යම් රූපයක් ගැටුණු විට, කණට යම් ශබ්දයක් ඇසුණු විට, නාසයට යම් ගන්ධයක් දැනුණු විට, දිවට යම් රසයක් දැනුණු විට, සමට යම් ස්පර්ශයක් දැනුණු විට, මනසට යම් හැඟීමක් දැනුණු විට විඳීමක් හටගනී. ඒවා අනිත්‍ය (වැඩිකල් නොපවතින, අස්ථිර) ලෙස දකින්න.
- අනත්ථ (අනාත්ම) සංඥා - මේ ලෝකයේ කිසිවක් තමාට අයත් නැත. ඔබේ ජීවිතයට වත්, ඔබේ ඇසට වත්, ඔබේ කණට වත්, ඔබේ නාසය වත්, ඔබේ දිවට වත්, ඔබේ ශරීරයට වත්, ඔබේ මනසට වත් ඔබට අයිති නැත! ඒවාට අයිතිකාරයෙක් ද නැත. නමුත් අප ඒවාට බැඳී සිටින නිසා අප සිතන්නේ ඒවා අපේම කියාය. ඇසට රූපයත්, කණට ශබ්දයත්, නාසයට ගන්ධයත්, දිවට රසයත්, සමට ස්පර්ශයත්, මනසට සිතුවිල්ලත් බැඳතබන රැහැන වන්නේ ආශාවයි. එම රැහැන කපා දැමූ විට ඒවා නිදහස් වේ. එකෙණෙහි ම ඉපදීම හා මරණය ප්‍රමුඛ සංසාර චක්‍රය ද අවසන් වේ.
- අසුබ සංඥා - මිනිසා ලෝකය සෑම විටම දකින්නට පුරුදු වී සිටින්නේ සුබ දෙයක් ලෙසයි. උදාහරණයක් ගමු. වෙළෙන්දෙකුට ඇඳුමක් විකුණාගැනීමට අවශ්‍ය වූ විට එය අන්දන්නේ සුබ සංඥාවකටයි. වෙළෙන්දෙකුට ආභරණයක් විකුණාගන්නට අවශ්‍ය වූ විට එය පළන්දන්නේ සුබ සංඥාවකටයි. වෙළෙන්දෙකුට වාහනයක් විකුණාගැනීමට අවශ්‍ය වූ විට ඊට හේත්තු කරන්නේ සුබ සංඥාවකි. මෙහිදී සුබ සංඥාව කුමක්දැයි පැවසීම අවශ්‍ය නොවේ. නමුත් සැබෑ බුද්ධිමය ප්‍රාතිහාර්යය වන්නේ මෙම සුබ සංඥාව අනෙක් පැත්ත හැරවීමයි. එනම් ඒ තුළ ගැබ්ව පවතින අසුබ පැත්ත, දුක්ඛිත පැත්ත විනිවිද දැකීමයි. නිකමට සිතන්න, කාන්තාවගේ කොණ්ඩය ගැන කොතරම් කවියන් කවි ලියා ඇත්ද? කාන්තාවගේ ඇස් ගැන කවියන් කොයි තරම් කවි ලියා ඇත්ද? කාන්තාවගේ පියයුරු ගැන කවියන් කොයි තරම් කවි ලියා ඇත්ද? කාන්තාවගේ ඉඟසුඟ ගැන කවියන් කොයිතරම් නම් කවි ලියා ඇත්ද? මෙම සියල්ලන්ම කළේ මෙම ශරීරය වර්ණනා කිරීමයි. ඔවුන් අදත් කරන්නේ එයමයි.බුදුරජාණන්වහන්සේ මේ සියල්ලට පිළිතුරු දුන්නේ එක් අකුරකිනි. "චී...................." බුදුන් වහන්සේ දේශනා කළේ ඇත්ත ඇති සැටියෙන් දකින ලෙසයි. කුණුගොඩ කුණුගොඩක් ලෙස දකින ලෙසයි!
- ආදීනව සංඥා - තමාට සිදුවන සෑම දුක් කරදරයක්ම වන්නේ තමාට ලැබී තිබෙන ශරීරය නිසාය යන වග ඔබ තේරුම්ගත යුතුය. ඔබට ලෙඩරෝග හැදෙන්නේ, ඔබට සීතල දැනෙන්නේ, ඔබට දහඩිය දමන්නේ, මෙකී නොකී සියලු දුක් කරදර රෝග පීඩා ඇතිවන්නේ ඔබේ ශරීරය නිසා ය. ශරීරය නොතිබ්බා නම් ඔබට කිසි දුකක් නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේවා "හිතන්න...." කියා ය.
- පහාණ සංඥා - ඉහත කරුණු දෙස බලන විට ඔබ පත්ව සිටින්නේ මහා අවුලකට බව ඔබට තේරුම් යා යුතු ය. ඔබ පත් වී සිටිනා අවුල ලිහාගත යුත්තේ ඔබම ය. ඒ සාඳහා ඔබ ඔබ තුළ උපන්නා වූ කාම විතර්කය ප්‍රහාණය කළ යුතුය. ආස කරන රූප, ආසන කරන ශබ්ද, ආස කරන ශබ්ද, ආස කරන රස, ආස කරන ස්පර්ශ ගැන හැඟීම් ඇති වූ විට ඒවා ගැනම නැවත නැවත සිතමින් සිටීමට ඔබ කැමතිය. ඔබට ඔබ පත්ව සිටින දුකින් නිදහස් වීමට නම් එය නැවැත්විය යුතුය. බැහැර කළ යුතුය. දුරුම දුරු කළ යුතුය. නැවත ඇතිවන්නට ඉඩ නොදිය යුතුය. මෙය කළ නොහැකි නිසාමයි හැම කෙනෙක්ම දුකින් දුකට පත් වෙන්නේ. එසේම ඔබ තුළ පහළ වූ ව්‍යාපාද විතර්කය ද ඔබම ප්‍රහාණය කළ යුතුය. අසවලා මට බැන්නා, අසවලා මට කතන්දර හැදුවා, අසවලා මට නින්දා කළා, අසවලා මා නොසලකා හැරියා යනාදී අදහස් ඇතිවන විටම බැහැර කර දුරුම දුරු කළ යුතුය.
- විරාග සංඥා: සාමාන්‍ය ජීවිතයේ අප වඩාත් ප්‍රිය කරන්නේ රාගයටයි. උපරිම සැපය රාගය යැයි සිතීමට අපි පුරුදු වී සිටිමු. නමුත් සැබෑවටම එය මිථ්‍යාවකි. රාගයේ අවසන් ප්‍රත්ඵලය දුකකි. සැබෑ සැපය තිබෙන්නේ රාගී වූ සියලු සංස්කාර දුරු කළ (තණ්හාව ක්ෂය කළ) විරාගී වූ නිවනෙහිම පමණක් බව අප සිහි කළ යුතුය. නමුත් විරාගය එක් වරම ඇතිවන්නේ නැත. ඊට ප්‍රථමයෙන් ඔහුට කළකිරීම ඇතිවිය යුතුය. කළකිරීම එක්වරම ඇතිවන්නේ නැත. ඊට පළමුව ඔහුට යථාභූත ඥාණය (ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ නුවණ) ඇතිවිය යුතුය. ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ නුවණ එක්වරම ඇතිවන්නේ නැත. ඊට පළමුව ඔහුට සමථයත් විදර්ශනාවත් වැඩිය යුතුය. කෙනෙකුට ලැබිය හැකි උපරිම සැපය විරාගයයි. විරාගයේ ලක්ෂණ කිහිපයකි. අප සාමාන්‍ය ජීවිතයේ ඕනෑම දෙයක් විඳිද්දී අපේ ශරීරය පඨවි-තද ගතිය, ආපෝ-තෙත් ගතිය, තේජෝ-උණුසුම, වායෝ-වායුමය ස්වභාවය යන සතර මහා භූතයන්ගෙන් එකක් හෝ වැඩි ගණනක් හෝ, ඇස, කණ, දිව, නාසය, සම, මනස යන ඉන්ද්‍රීය සයෙන් එකක් හෝ වැඩිගණනක් හෝ, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු වලින් එකක් හෝ වැඩි ගණනක් හෝ, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයෙන් එකක් හෝ වැඩි ගණනක් හෝ, මෙලොව හෝ පරලොවට ඇසුරු කරගෙන පවතී. නමුත් නිවන මේ එකක් වත් ඇසුරු කරගෙන නැත. නමුත් කිසිවක්ම නැති බව නොවේ. එතැන යම් සංඥාවක් (හඳුනාගැනීමක්) පවතී. එම සංඥාව හඳුන්වන්නේ 'විරාග සංඥාව' යන නමිනි. විරාගය යනු ඉහත කී කිසිවක් සමඟ නොඇලී, නොගැටී සිටීමයි.
- නිරෝධ සංඥා: නිරෝධ සංඥාව යනු සියලු ඇලීම් නිරෝධනය කිරීමයි. නිරෝධනය කිරීම යනු දුරු කිරීමයි. මෙහි අරමුණ වන්නේ නිවන සාක්ෂාත් කරගැනීම ය. නිවන යනු කුමක්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සිව් මහා ධාතු, ආකාස ධාතුව, විඤ්ඤාණ ධාතුව, මෙලොව, පරලොව, ආකාසඤ්ඤායතන, ආකිඤ්චායතන යනාදී කිසිදු දේකට නොබැඳී නිදහස්ව, නිවහල්ව සිටීම නිවනයි. තව ද සමථයත්, විදර්ශනාවත් තුලින් යථාභූත ඥාණය (ඇත්ත ඇතිසැටියෙන් දැකීමේ නුවණ) ඇති වී, ඇත්ත ඇතිසැටියෙන් දැකීම හරහා කළකිරීම ඇතිවී, කළකිරීම නිසා ඇල්ම දුරු වී, ඇල්ම දුරු වීම නිසා තණ්හාව ක්ෂය වී, තණ්හාව නැති කිරීමෙන් ලබන අත්දැකීම නිවන නම් වේ.
- සබ්බ ලෝකේ අනභිරථ සංඥා: සෑම ලෝකයක් පිළිබඳව ම ආශාව දුරු කරගැනීම මෙමගින් අදහස් වේ. සැකෙවින් කිවහොත් එහි අභිප්‍රාය ඊළඟ මොහොත ගැන ආශාව දුරු කිරීමයි. "ජීවත් වන තුරාවට බලාපොරොත්තුවක් ද ඇත" යනුවෙන් කියමනක් ද වේ. මෙය සත්‍ය ය. එබැවින් මෙහිදී අප උත්සාහ ගත යුත්තේ ඉපදීම වැලැක්වීම සඳහා "බලාපොරොත්තුව" නැති කිරීමයි. හෙට දවසේ මගේ රාජකාරිය සාර්ථක වේවා, මරණින් මතු මට හොඳ තැනකට යන්නට ලැබේවා යනාදී "බලාපොරොත්තු" නැතිකර දැමීම මින් අදහස් වේ. නිර්වාණාවබෝධය සඳහා එය ඉතා වැදගත් වේ. මන්ද අප ජීවත් වන්නේ "බලාපොරොත්තු" නිසා වන හෙයිනි.
- සබ්භසංඛාරේසු අනිච්ච සංඥා: මෙහි අර්ථය නම් සියලු සංස්කාර (හේතු නිසා හටගත් දේ) පිළිබඳ අප්පිරියාවක්, හිරිකිත බවක්, පිළිකුළක් ඇතිකරගැනීමයි. අප සංසාරයේ සැරිසරන්නේ අපට අප වටා පවතින දේවල් පිළිබඳ අප්පිරියාවක්, හිරිකිතයක්, පිළිකුළක් නැති නිසා ය. එසේ පිළිකුළක් ඇති වීම සසර දුකින් නිදහස් වීම සඳහා මහත් ප්‍රයෝජනවත් වේ.
- ආනාපානසති: ආනාපානසතිය යනු සිහිය පිහිටුවාගැනීමයි. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවකි. සෑම දෙනාටම මෙය එකම ආකාරයෙන් කළ නොහැක. සැබැවින්ම කිවහොත් මෙය සැබෑ බුද්ධිමතුන්ට පමණක් වැටහෙන ක්‍රමයකි. බුදුරජාණන් වහන්සේම දේශනා කළපරිදි මෙය සෑම කෙනාටම කීමට සුදුසු නොවේ. එසේ සුදුසු නොවන්නන්ට අනුගමනය කිරීමට වෙනත් ක්‍රම ඇත. ආනාපානසතිය වඩන කෙනෙකුට ඉතාම සුදුසු ක්‍රමය නම් තමාගේ හුස්ම ඉහළ පහළ යාම පිළිබඳ කල්පනාවෙන් සිටීමයි. නිවැරදිව, එක දිගට මෙම භාවනාව පුරුදු කළහොත් මේ හරහාම කෙනෙකුට නිවන් දැකිය හැක. එහි පියවර මෙසේ ය.
- භාවනානුයෝගියා තම දීර්ඝ ආශ්වාසයන්, දීර්ඝ ප්‍රශ්වාසයන්, කෙටි ආශ්වාසයන්, කෙටි ප්‍රශ්වාසයන් පිළිබඳ ඉතා හොඳින් හිහිය පිහිටුවාගනී.
- එවිට ඔහුගේ සිහිය වැඩීමට පටන්ගනී.
- ආශ්වාස, ප්‍රාශ්වාස සැහැල්ලු වෙමින් යයි
- සිත එකඟ් වීමට පනට්ගනී.
- සිත එකඟ වීමට පටන්ගත් විට සිතට සනීපයක් ඇතිවේ. (මෙය සමාධිය නම්වේ)
- එවිට ඔහුගේ සිතට ප්‍රීතියක් ඇතිවේ.
- ප්‍රීතිය ගැන තේරුම් ගනිමින් ඔහු ආශ්වාස ප්‍රශ්වාස කරයි.
- සිතට මෙන්ම කයට ද මහා සැපයක් දැනීමට පටන්ගනී. මෙවිට භාවනානුයෝගියා ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ තම සිහිය නැතිවී යාමට ඉඩ නොදිය යුතුය. (මන්ද සිතට හා ගතට සැපයක් දැනෙන විට මූලික අරමුණෙන් ඔහු ඉවතට යාමට ඉඩ ඇති බැවිනි).
- හුස්ම රැල්ල පිළිබඳ අදහස නොව ප්‍රීතියත් සැපයත් ඔහුට ප්‍රකටව පෙනේ.
- හඳුනාගන්නා දේ, විඳින දේ පිළිබඳ ඉතා හොඳ අවබෝධයෙන් ආශ්වාස ප්‍රශ්වාසය දිගටම කරයි.
- හඳුනාගන්නා දේත් විඳිනා දේත් ක්‍රම ක්‍රමයෙන් සන්සිඳෙමින්, නැතිවෙමින් යයි. කල්පනාව, සිහිය යන දෙකම ආශ්වාස ප්‍රශ්වාසය යන එකම අරමුණ ඔස්සේ දියුණු වේ.
- දැන් ඔහුට සිත බලවත් වන විට කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විචිකිච්ඡා, උද්ධච්ච කුක්කුච්චයෙන් යන පංච නීවරණයෙන් තොර වේ.
- ඔහු ආශ්වාසයේ, ප්‍රශ්වාසයේ අනිත්‍යය දකී, ප්‍රීතියේ, සුඛයේ, වේදනාවේ, සිතේ යන සියල්ලේම අනිත්‍යතාව දකී.
- අනිත්‍යතාව දකිමින් දිගටම ආශ්වාස ප්‍රශ්වාස කරයි.
- ආශ්වාස ප්‍රශ්වාස යනු අවිද්‍යාව මුල් කරගෙන පැවති දෙයකි. මෙහි අවිද්‍යාව නම් ආශ්වාස ප්‍රශ්වාස යන දෙකෙහි අනිත්‍යතාවයි. ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ අවධානය යොමු කිරීම නිසා ඇති වූ සැහැල්ලුව අනිත්‍ය බව ඔහුට පෙනේ, ඉන් ඇති වූ ප්‍රීතියත් අනිත්‍ය බව ඔහු දකී.
- මේ වනවිට පුද්ගලයා අවිද්‍යාව හේතුවෙන් හටගත් සංස්කාර අවිද්‍යාවෙන් හට නොගන්නා මට්ටමට ප්‍රඥාව දියුණු කර ඇත.
- මෙය සිහි කරමින් යන විට අවසානයේදී ඔහුට එක් කරුණක් වැටහේ. එනම් ආශ්වාස ප්‍රශ්වාසය අයත් වන්නේ දුකටයි.
- දුක කෙරෙහි ඔහු කළකිරේ.
- ආනාපානසතිය කෙරෙහි ඇති වූ ඇල්ම දුරු වේ. ප්‍රීතිය ගැන තිබූ ඇල්ම දුරු වේ. සිත ගැන තිබූ ඇල්ම දුරුවේ.
- ටිකෙන් ටික තණ්හාව දුරු වෙමින් යයි. ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි තිබූ ඇල්ම දුරු වෙමින් යයි. තණ්හාව නිරුද්ධ වීම දකිමින් ඔහු දිගටම අශ්වාස ප්‍රශ්වාස කරයි.
- මේ වනවිට අනාපානාති භාවනාව මුල් කරගෙන ඔහු ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩා අවසන් වේ. එනම් පුද්ගලයා නිවන් දකියි..........
මෙය සමථ භාවනාවක් වූ ආනාපානසතියෙහි පිහිටා විදර්ශනාව වඩන ආකාරය මෙයයි. මෙම කරුණු දහයෙන් අවසන් පහ සංකීර්ණත්වයෙන් ඉතා අධික බව ඔබට තේරුම් යා යුතුය. නමුත් පහසු තැනින් ආරම්භ කර ඉදිරියට ගමන් කිරීමෙන් ඔබට ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වේ.
- සමාප්තයි -
යාවජීව පිචේ බාලෝ පණ්ඩිතං පයුරුපාසතී
නසොධම්මං විජාණාති, දබ්බී සූපරසං යථා
මොහොත්තම් පිචේ විඤ්ඤූ පණ්ඩිතං පයුරුපාසතී
ඛිප්පං ධම්මං විජාණාති, ජිව්හා සූපරසං යථා
අඥාණයෙකු දිවි තිබෙන තුරාවට නුවණැත්තෙකු ඇසුරු කළ ද ඔහු ධර්මය නොදකින්නේ හරියට සූපයෙහි රස නොදන්නා හැන්දක් මෙනි.
ප්‍රඥාසම්පන්න මනුෂ්‍යයා එක මොහොතක් නුවණැත්තෙකු ඇසුරු කරයි ද ඔහු වහ වහා ධර්මය අවබෝධ කරගන්නේ හරියට ව්‍යංජන රසය වහා දැනගන්නා දිවක් මෙනි.
ඔබ හැන්දක් ද නැතිනම් දිවක්ද?
තීරණය ඔබට බාරයි.
- ගිරිමානන්ද සූත්‍රයේ අර්ථ විමසුම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ධර්ම දේශනයක් ඇසුරිනි -