Pages

Saturday, September 5, 2009

යකා නැවතත් මතුවේ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වද විරෝධී සිසුන් දෙදෙනෙකුට නැවතත් පහරදී තිබේ. මේ සිද්ධිය මේ දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි ප්‍රබල අවධානයට පාත්‍ර වී තිබේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් මෙම සිසුන් දෙදෙනා පසුගිය බදාදා (02-09-2009) රාත්‍රියේ සරත්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ පැවති 'තාරාවෝ ඉගිලෙති' නාට්‍යයේ දර්ශනයක් නරඹා පැමිණෙමින් සිටියෙදී විශ්ව විද්‍යාලයීය අක්බාර් ශාලාව අසල බස්නැවතුම්පොලේදී රාත්‍රී 10.30ත් 11.00ත් අතර මෙම පහරදීමට භාජනය වී තිබේ. මෙය අලුත් තත්ත්වයක් නොවේ. මීට පෙරාතුව් ද මෙවන් සිදුවීම් ඇති තරම් වාර්තා වුවද වෛද්‍ය පීඨ සිසුන් මෙවන් දරුණු ගණයේ පහරදීමකට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සඳහන් කළ හැක. මෙය පේරාදෙණිය වෛද්‍ය පීඨ ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස ඉතිහාසගත වනු ඇත.

අක්බාර් නේවාසිකාගාරයේ වෙසෙන අති බහුතරක් වූ සිසු පිරිස ඉංජිනේරු පීඨයට අයත් වෙති. මෙම දිනයේදී එම නේවාසිකාගාරය තුළින් ඉවතට පැමිණි 200ක පමණ සිසුන් පිරිසක් සම්පූර්ණයෙන්ම නිරායුධව සිටි සිසුන් දෙදෙනෙකුට පහර දීම පසුපස තිබෙන කතාව මේ බ්ලොගය කියවූ අයට නම් ඉතා හුරු පුරුදු ය. එනම් නවක වදය නැමැති යක්ෂයා යි. 200කට අධික සිසුන් පිරිසක් පැමිණ 2 දෙදෙනෙකුට පහරදීම කෙතරම් නිර්ලජ්ජිත ද? විශ්ව විද්‍යාලය නම් පින්බිම තුළ මෙවන් මාෆියාවක් නිර්මාණය කිරීමට අවසර දී ඇත්තේ කවුද? දොස්තරවරුන් ඉංජිනේරුවන් වීමට සිටින ඇත්තන් හැසිරෙන ආකාරය මෙසේ නම් වෙනත් පුද්ගලයන් ගැන කවර කථා ද? අපේ රට අද පත්ව ඇති පසුගාමී තත්ත්වයට හේතුව දශක ගණනාවක් තිස්සේ රටේ පොදු ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් බිහිවූ මෙයාකාරයේ ඊනියා බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිස නොවේද?

ජ්‍යෙෂ්ඨයන් විසින් තම සිත් වලට කාවද්දන හණමිටි අදහස් කරේ තබාගැනීම නිසා වෙනත් මතයකට ගරුකිරීමට නොදන්නා, විශ්ව විද්‍යාලයෙන් පිට ලෝකයක් නොදන්නා කණිෂ්ඨයන් පිරිසක් බිහිවන බව මම මීට පෙරාතුව ලිපි කිහිපයක්ම හරහා පැහැදිලිව සඳහන් කළෙමි. එය සනාථ කරන්නට මෙන් මෙම සිදුවීම සිදුවන අතරවාරයේ නවක සිසුන් පිරිසක් මෙම සිදුවීම නැරඹීමට ගෙන්වාගෙන, ඉදිරියට පවත්වාගෙන යන සංස්කෘතිය ගැන මනා අවබෝධයක් ලබාදීමට වාත උතුමන් කටයුතු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබී තිබේ. මෙය ඉතා ශෝචනීය තත්ත්වයකි. මෙම තත්ත්වය නැතිකිරීමට ගතයුතු පියවර පිළිබඳව පුළුල් කතිකාවතක් ඇතිවිය යුතුය. නො එසේනම් මෙම පිළිලය සදාකාලිකව පවතිනු ඇත. එබැවින් බලධාරීන් කළ යුත්තේ මෙවන් සිදුවීම් සිදුවන බව වසන් කිරීම නොව මෙම තත්ත්වය මනාව විශ්ලේෂණය කර එය වැළැක්වීමට ඇවැසි කටයුතු සංවිධානය කිරීමයි. එය මෙරට අනාගතය වෙනුවෙන් ඔවුනට ඉටුකළ හැකි මහඟු සේවයක් වේ.

අවාසනාවකට මෙය තවත් ශිෂ්‍ය දෙපිරිසක් අතර ගැටුමක් ඇතැමුන් උත්සාහ දරනු පෙනේ. 200ක පමණ පිරිසක් පොලු මුගුරු රැගෙන විත් දෙදෙනෙකුට පහරදීම දෙපිරිසක් අතර ගැටුමක් ලෙස අර්ථදැක්වීම හාස්‍යජනක නොවේද? නමුත් එවන් කතා කියා කිසිවෙකුටත් ඇඟ බේරාගැනීමට හැකියාවක් නැත. එසේ කරන්නන් උකසට තබන්නේ පේරාදෙණිය සරසවිය නම් උතුම් නාමයේ ගෞරවයයි. එවන් ස්ථානයක් විනාශ කිරීමට වෙර දරන පිරිසකට විරුද්ධව ක්‍රියාකිරීම වැරැද්දක් ද?

කෙසේ හෝ වේවා මෙවර සිදුවූ සිදුවීමේ බරපතළකම හේතුවෙන් මෙය ලෙහෙසියෙන් කෙළවරක් දකිනු ඇතැයි සිතීම උගහට ය. ප්‍රහාරකයන් රැසක් පැහැදිලිව හඳුනාගෙන තිබේ. එසේම මෙම සිදුවීමට සම්බන්ධ සැකකාර ඉංජිනේරු පීඨ සිසුන් වහාම ගෙදර යවන් බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය S.B.S. අබේකෝන් මහතා ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීම අපේ රටේ උසස් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපන රටාව තුළින් ඉටුකරගැනීමට වෙරදරන දහස් ගණනක් වූ දුවා දරුවන් හට කරන මහඟු සේවයක් වනු ඇත.

මේ දිනවල මුද්‍රිත මාධ්‍යයන්හි ප්‍රබල මාතෘකාවක් බවට පත්ව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලියැවුණු පුවත්පත් ලිපි කිහිපයකි මේ:

පේරාදෙණිය පිරිමි නේවාසිකාගාර වල අමානුෂික නවක වද

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පිරිමි නේවාසිකාගාර වල මේ වනවිට ඉතාම අමානුෂික අන්දමින් පළමු වසර සිසුන්ට නවක වදය ලබාදෙන බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි. මේ හේතුවෙන් අලුතින් විශ්ව විද්‍යාල පේවේශය ලැබූ සිසුන් මහත් අපහසුතාවට පත්වී සිටින අතර නවක වදය දීමට එරෙහිව ක්‍රියාකරන ජ්‍යෙෂ්ඨ සිසුන්ට එරෙහිව ද හිංසාකාරී ක්‍රියා සිදුකෙරෙමින් පවතින බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග කියයි. විශ්ව විද්‍යාල සිසුනට කිසිසේත්ම නොගැළපෙන අයුරින් ඉතාමත් අමානුෂික ආකාරයට මෙම නවක වදය ලබාදීම සිදු කෙරෙන අතර [continued...]

ඇසුර: රිවිර ඉරිදා සංග්‍රහය (06-09-2009)

වෛද්‍ය සිසුන් දෙදෙනාට ප්‍රහාරයක්‌

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ "වළේ" වේදිකාවේ තාරාවෝ ඉගිලෙති නරඹා ආපසු යමින් සිටි වෛද්‍ය පීඨයේ දෙවැනි වසර සිසුන් දෙදෙනකුට විශ්වවිද්‍යාලය භූමියේදී බදාදා (2) රාත්‍රියේ කිසියම් පිරිසක්‌ විසින් පහරදී ඇත.

පහරකෑමට ලක්‌වූ කසුන් රඹුක්‌වැල්ල සහ එන්. වීරසිංහ නමැති වෛද්‍ය සිසුන් දෙදෙනා පේරාදෙණිය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර සිටිති.

සිසුන් දෙදෙනාට දැඩි ප්‍රහාරයක්‌ එල්ලවී ඇත්තේ රාත්‍රි 10.30 ට පමණ අක්‌බාර් නෙල් නේවාසිකාගාරය දෙසට ගමන් කරමින් සිටියදී බව පැවසේ.
[continued...]

ඇසුර: දිවයින දිනපතා සංග්‍රහය (04-09-2009)

Two undergrad anti-ragging supporters brutally assaulted

KANDY - Two second year Medical Students of the University of Peradeniya, supporters of the anti-ragging faction, were brutally assaulted while returning to their Hall of Residence on Wednesday (02) night.

The two students, Kasun Rambukwella and Weerasinghe, are being treated at the surgical ward of the Peradeniya Teaching Hospital. They were returning after watching the stage play "Tharavo Igillethi" at the theatre ‘Wala’ of the university.

The University spokesman said yesterday (03) that the incident was being investigated by University Professor Dr. Asoka Dangolla.

It is learnt that the victims are supporters of the anti-ragging faction of the University of Peradeniya. According to a highly placed campus official the anti-ragging movement at the university is growing popular while ragging supporters are diminishing in numbers. [continued...]

ඇසුර: The Island News (04-09-2009)


7 comments:

Chrishi said...

"විශ්ව විද්‍යාලය නම් පින්බිම"
piisu hadila aith hadenawa !

ඉන්දික said...

මෙවන් පාහරයන් ගැන කියන්නට වචන නැතැයි යන්න පමනක් පවසා නිහඬ වෙමි. මන්ද, එළියට නොදමන්නා වූ වචනද මේවා අහන විට පවසන්නට සිතෙන හෙයිනි.

Thilina said...

සමහරක් පලමු වසරට සිසුන් ඇතුලත් කර ගත් පසු එලැබෙන ඉදිරි මාස කීපය තුල නවක වදය හා එරෙහිව යමින් කටයුතු කරනවා.නමුත් එය තේරුමක් නැත්තේ එහි සාර්ථක අවසානයකට ඔවුන් නොයෑමයි.යලුත් ඔබ වැන්නවුන් අවදි වන්නේ ඊළග අවුරුද්දේයි.දෙගොල්ලන්ම එකතුවී කරන්නේ එකිනෙකාට විරුධවෙමින් තම විශ්වවිද්‍යාලය කා දෑමීමයි.මතු පිටින් බැලූ කල වාත වන අය අතරද අලයන් සිටින සේම අලයන් අතරද අලයන් සිටී.ඔවුන් විශ්වවිද්‍යාලය පිලිබදව හැගීමකින් කටයුතු නොකරති.හොද හෝ නරක අවසන් ප්‍රථිපලයකට නොයන උත්සහයන් නිකරුනේ කාලය කා දැමිමකි.මෙය අල වාත දෙපිරිසටම පොදු දෙයකි.

Rasika Suriyaarachchi said...

මේ ලිපියේ මුල් පරිච්ඡේද දෙක කියවන්න.

http://sannasa.sinhalajukebox.org/2008/Apr/2008Apr_page09.pdf

රසික සූරියආරච්චි

Anonymous said...

මල්ලි පේරා ගිහින් පේරා වල රෙදි ගලවනව නේ....

Unknown said...

"ලැජ්ජා නැති කොම අහවල් එකොටත් වඩා ලොකුය" කියන්නේ නිකම්ම නෙමෙයිනෙ. මෙපමණ දේ සිදුවෙලත් නවක වධය සාධාරණීකරණය කරන හිවලුන් සිටීම ගැන ඉතින් පුදුම වෙන්නත් දෙයක් ද?

B said...

Ara Anonymous mallita kiyanne.. Oya jaraa redi andala thiyanawata wadaa hondai neda eva galawala aluth redi anduwanan. Oya redda thamai me okkotama mula

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.