Pages

Monday, September 21, 2009

මෙහෙම වෙන්න බෑ එහෙනම්!

වර්තමාන විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවතින බරපතළම ප්‍රශ්නය නවක වදයයි. පසුගිය කාලයේ මා මේ සම්බන්ධව කොතෙකුත් ලීවේ මෙම ගැටලුවේ පවතින බරපතල තත්ත්වය ඒ ගැන මගේ අදහස් පළකිරීමටයි. ඒ අතර, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ නවක වද ගැටලුව සම්බන්ධයෙන් පළවූ මෙම ලිපිය මගේ අවධානයට යොමු විය. මා මෙය පළකරන්නේ, වැරැද්ද කොතැනක සිදු වුවත් වැරැද්දම බව පෙන්වාදීමේත්, නවක වදයේ "හොඳ" ගැන කතාකරන ඇතැමුන්ට, නවක වදය පිළිබඳ නූතන සමාජය දරන ආකල්පය පෙන්වාදීමේත් අටියෙනි.

කොහුවල ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයකට පසුගිය දිනෙක හදිසියේම ගිලන් රථයක්‌ පැමිණියේය. ඉන් බැසගත් තරුණයන් තරුණියන් කිහිප දෙනෙක්‌ තවත් තරුණියක වත්තන් කරගෙන ආහ. එම තරුණිය දැඩි අපහසුතාවයෙන් හුස්‌ම ගන්නා ආකාරයක්‌ පෙනිණි. ඇය සමග පැමිණි තරුණයන්ට හෝ තරුණියන්ට ඇයගේ අපහසුතාවයපිළිබඳ එතරම් හැඟීමක්‌ තිබූ බවක්‌ පෙනෙන්නට නොතිබිණි. එම වෛද්‍ය මධ්‍යස්‌ථානයේ තවත් කිහිප දෙනෙක්‌ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිය වාරය එන තුරු බලා සිටියහ. අපහසුවෙන් හුස්‌ම ගනිමින් සිටි තරුණියට අවස්‌ථාව ලැබුණේ ඉන් පසුවය. ප්‍රතිකාර සඳහා වන මුදල් ද සිය පසුම්බියෙන් දුන්නේ ඇය සමග පැමිණි තරුණයෙකි. ඔවුහු යළිත් ගිලන් රථයේ නැගී ගියහ.

මෙම සිදුවීම එක්‌ අතකින් සැක උපදවන්නකි. දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් පසුවූ එම තරුණිය පිළිබඳව ඇය සමග පැමිණි කිසිවකුට හැඟීමක්‌ නොතිබීම නිසාවෙනි. අනෙක්‌ අතට තරුණිය පිළිබඳව අවධානයකින් නොසිටිමුත් ඔවුන් අවට සිටියවුන් දෙස නෙත් යොමු කළේ බියවුණු සැකයකිනි. කවුරුන් හෝ යමක්‌ ප්‍රශ්න කරනු ඇතැයි යන සැකයක්‌ ඔවුන්ගේ සිත්වල තිබුණා විය හැකිය.

සත්‍ය වශයෙන්ම මෙම පිරිස කවුදැයි දැන ගැනීම අසීරු කරුණක්‌ නොවුණේ ගිලන් රථයේ සඳහන් වු අකුරුවලිනි "ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය" යන අකුරු ගිලන් රථයේ සඳහන් කර තිබිණි. දැඩි ලෙස අසනීපව සිටි ශිෂ්‍යාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අලුතින් ඇතුළත්වූ ශිෂ්‍යාවක වන අතර ඇයව රැගෙන ආවෙත් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ය. ඇය අසනීප වූයේ ජ්‍යෙෂ්ඨයන්ගේ නවකවදයෙනි. කුමන විශ්වවිද්‍යාලයක වුවද හදිසියේ අසනීප වන සිසුන් ප්‍රථමයෙන්ම යොමු කෙරෙන්නේ විශ්වවිද්‍යාලයේ පවතින සෞඛ්‍ය මධ්‍යස්‌ථානයටය. සෞඛ්‍ය මධ්‍යස්‌ථානයේ මූලික ප්‍රතිකාරවලින් පසුව අවශ්‍ය නම් ගිලන් රථයෙන් රජයේ රෝහලක්‌ වෙත යොමු කරයි. සාමාන්‍යයෙන් සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන එම ක්‍රමවේදය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පොදු නැත. එහි කළමනාකරණ අධ්‍යයන හා ශාස්‌ත්‍ර යන පීඨවලට මෙවර අලුතින් ඇතුළත් වු නවක සිසු සිසුවියන් විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වන්නේ දැඩි භීතියකිනි. දේශන ආරම්භ වීමට පැයකට දෙකකට කලින් ඔවුන් විශ්වවිද්‍යාලයට පැමිණිය යුතුය. දේශන ආරම්භ වන තෙක්‌ ජ්‍යෙෂ්ඨයන්ගේ හිංසාකාරී නවකවදයට ගොදුරු වීම අනිවාර්යය. දේශනවලට යා හැකි වන්නේ ඉන් පසුවය. දිවා ආහාරය සඳහා දේශන අවසන් කළ පසු යළිත් ජ්‍යෙෂ්ඨ සිසුහු ඔවුන් කරා පැමිණෙති. නේවාසිකව සිටින්නන් හැර සෙසු සිසු සිසුවියෝ දිවා ආකාරය නිවසින් රැගෙන එති. අලූයම අවදී වී අම්මලා උයා පිහා බැඳ දෙන බත් පත කන්නට ඔවුන්ට ඉඩ නොලැබේ. දහවල් ගිනි අව්වේ පිට්‌ටනියට කැඳවන නවකයන්ගේ දිවා ආහාර එකතු කරන්නේ ජ්‍යෙෂ්ඨයෝය. ඔවුහු. විකෘති මානසික තත්ත්වයෙන් පසුවන මුග්ධයෝ විය යුතුය. පිට්‌ටනියේ ගිනිඅව්වේ බිම වාඩි කරවන නවකයන් පස්‌ හය දෙනකුට කන්නට ලැබෙන්නේ එක බත් පාර්සලයකිනි. එය තමන් නිවසින් රැගෙන ආ බත්පත නොව වෙනත් එකකි. ආහාර ගත යුතු වන්නේද අමු තිත්ත කුණුහරුප සමගය. එතරම්ම අසික්‌කිත අන්දමින් ජ්‍යෙෂ්ඨයන් හැසිරීම නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දැනටම එපා වී සිටින පිරිස බොහෝය. මින් වැඩි පිරිසක්‌ ශිෂ්‍යාවෝය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවසන නවක වදය නවකයන්ට පමණක්‌ නොව දෙමව්පියන්ට ද මහා වදයකි. මේ පිළිබඳව දෙමව්පියෝ උපකුලපති ආචාර්ය එන්. එල්. කරුණාරත්න මහතාට ද පැමිණිලි කර ඇත. සිය දරුවන් ආරක්‍ෂා කිරීම සඳහා දෙමව්පියන්ටද දැන් විශ්වවිද්‍යාලයට පැමිණීමට සිදු වීම කෙතරම් නම් අභාග්‍යයක්‌ද? ගිනි අව්වේ සිටුවා සිදු කරන නවකවද ක්‍රියාකාරකම් හේතුවෙන් දිනකට සිහිමූර්ජා වන ශිෂ්‍යාවන් පිළිබඳ සංඛ්‍යාලේඛණ විශ්විද්‍යාලය සතුව නැත. අසනීප වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ තොරතුරු විශ්වවිද්‍යාලය සතුව නැත. මන්ද ඒ සියලු දෙනා යොමු කෙරෙන්නේ විශ්වවිද්‍යාලයට පිටතින් වන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථාන වෙතය. ඔවුන් පිළිබඳ තොරතුරු සෙවීමට නම් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථාන කරා යා යුතුය.

නවකයන් විශ්වවිද්‍යාලයට පැමිණිය යුතු වේලාව. දිවා ආහාරය ගත යුතු වේලාව, දේශන අවසන් වී නේවාසිකාගාරවලට යා යුතු වේලාව විශ්වවිද්‍යාලයට පැමිණීමේ දී සැරසිය යුතු ඇඳුම් පිළිබඳ තීන්දු තීරණ ගන්නේ කළමනාකරණ අධ්‍යයන සහ ශාස්‌ත්‍ර යන පීඨවල ශිෂ්‍ය සංගම්ය. ඔවුන්ගේ නියෝගවලට පිටින් යැමට කිසිවකුට අවසර නැත. එම නියෝගයන්ට පිටින් කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. දඬුවම් දෙන්නේ පරිපාලන අංශ නොව මානසික විකෘතියෙන් පෙළෙන තිරස්‌චීනයෝය. නවකයන්ට විශ්වවිද්‍යාලය එපා කඑවන මේ අධමයන්ගේ ක්‍රියාකලාපයන්ට එරෙහි වීමට අද කිසිදු ආචාර්යවරයෙක්‌ ඉදිරිපත් නොවේ. නවකවදයට එරෙහි ආචාර්යවරු කොතෙකුත් විශ්වවිද්‍යාලයේ සිටියද ඔවුහු ඊට එරෙහිව හඬ නොනගා නිහඬව සිටිති. හේතුව අන් කිසිවක්‌ නොව පරිපාලන අංශ ඔවුන් රැකීමට ඉදිරිපත් නොවන හෙයිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල නාසි කඳවුරක්‌ යෑයි සිතෙන්නට තරම් නවකයන් පෙළමින් සිටින ශිෂ්‍ය සංගම්වලට ඉඩදී බලා සිටින පරිපාලනය ආචාර්යවරුන්a වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි යන්න සිතන්නටවත් නොහැකි යෑයි ආචාර්යවරු පවසති.

කිසිදු විශ්වවිද්‍යාලයක කෙදිනකවත් නොසිදුවූ දේ අද මෙහි සිදු වෙයි. මෙවර නවක සිසු සිසුවියන්ට නේවාසිකාගාර පහසුකම් ලබාදී ඇත්තේද ශිෂ්‍ය සංගම්වල බලපෑමට යටත්ව වීම විශේෂත්වයකි. හොඳ තත්ත්වයේ පවතින විමලා ද සිල්වා නේවාසිකාගාරය මෙවර සිට නවක සිසුවියන් සඳහා වෙන් කිරීමට පරිපාලන අංශ පියවර ගෙන තිබිණි. ඒ අනුව කළමනාකරණ අධ්‍යයන ශාස්‌ත්‍ර, විද්‍යා සහ වෛද්‍ය විද්‍යා යන පීඨවල නවක සිසුවියන් එම නේවාසිකාගාරයට යොමු කෙරිණි. ශිෂ්‍ය ක්‍රියාකාරීහු ඊට දැඩි විරෝධය පළ කළහ. ඔවුන් විමලාද සිල්වා නේවාසිකාගාරයට කඩා වැද බලහත්කාරයෙන් එය අල්ලා ගැනීමට සුදානම් වන බවට පරිපාලන අංශවලට තොරතුරු ලැබිණි. මේ නිසා ශිෂ්‍ය ක්‍රියාකාරීන් කැඳවා පරිපාලනය සාකච්ඡා කර ශිෂ්‍යයන්ගේ ඉල්ලීමට එකඟතාව පළ කළේය. ඒ මහල් හතරකින් යුත් විමලාද සිල්වා නේවාසිකාගාරයේ මහල් දෙකක්‌ ජ්‍යෙෂ්ඨයන් සඳහා වෙන් කිරීමටය. එම මහල් දෙකේ සිසුවියන්ට සෝරත, ධර්මපාල සහ සෝරත ධර්මපාල යන නේවාසිකාගාර තුනට මාරු වන ලෙස පරිපාලන අංශ විසින් දන්වන ලද්දේ ද ශිෂ්‍ය සංගම් හරහාය. ශිෂ්‍ය සංගම්වල දැනුම් දීමට අනුව නේවාසිකාගාර මාරු කිරීමට සිසුවියෝ එකඟ නොවූහ. ඉන් පසුව පරිපාලන අංශ නවක සිසුවියන්ගෙන් කළ ඉල්ලීමට එකඟ වූයේ විද්‍යා සහ වෛද්‍ය විද්‍යා පීඨවල සිසුවියන් පමණි. කළමනාකරණ අධ්‍යයන සහ ශාස්‌ත්‍ර යන පීඨවල සිසුවියෝ නේවාසිකාගාරය මාරු කිරීම ප්‍රතික්‍ෂේප කළහ. එම නිසා එම අදහස අත්හැර දැමීමට පරිපාලන අංශවලට සිදු විය.

ඉන් පසුව සෝරත හා ධර්මපාල යන නේවාසිකාගාරවලට ජ්‍යෙෂ්ඨ සිසුන් ඇතුළත් කළ යුතු යෑයි කියමින් ශිෂ්‍ය සංගම් පරිපාලන අංශවලට බලපෑම් කිරීමට පටන් ගත්තේය. මෙලෙස එල්ල වන බලපෑම් නිසා පරිපාලන අංශ කළේ සිසුන් 56 දෙනෙක්‌ වෙනත් නේවාසිකාගාරයකට යෑවීමය. එහි පහසුකම් නැති බව පවසමින් පසුදින සිට යළි පරිපාලනයට බලපෑම් එල්ල කිරීමට පටන් ගත්තේය. මෙම බලපෑම් හමුවේ යළිත් අසරණ වූ පරිපාලනය මෙම සිසුන් 56 දෙනා යුරෝලංකා නේවාසිකාගාරයට යෑවීය. මේ වන විට එහි දැඩි තදබදයක්‌ පවතී.

මේ අතර සිසුන්ගේ බලපෑම නිසා සෝරත හා ධර්මපාල යන නේවාසිකාගාරවලටද අමතර සිසුවියන් විශාල පිරිසක්‌ යොමු කර තිබේ. එහෙයින් සය දෙනකුට පහසුකම් ඇති කාමරවල සිසුවියන් අට දෙනකු බැගින් දමා ඇත. මෙම තත්ත්වය මත සිසුවියන්ට පැදුරු දමා බිම නිදා ගැනීමට සිදු වී තිබේ. කාමරයේදී අධ්‍යයන කටයුතු කිරීමට හැකියාවක්‌ නැත.

පසුගිය දිනයක තවත් අපූරු සිද්ධියක්‌ වාර්තා විය. ඒ මහාචාර්ය ඩබ්ලිව්. එස්‌. ප්‍රනාන්දු මහතාගේ විශ්‍රාම ගැනීම වෙනුවෙන් පැවති උළෙලය. එය සංවිධානය කළේ ශිෂ්‍ය සංගමය. ප්‍රධාන ආරාධිතයා උපකුලපතිවරයාය. තවත් දෙදෙනෙක්‌ ආරාධිතයන් ලෙස එම අවස්‌ථාවට එක්‌වුහ. ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු වන උදුල් ප්‍රේමරත්නය. අනෙක්‌ පුද්ගලයා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සුජිත් කුරුවිටය. මේ පුද්ගලයන්ගේ දේශන අසන්නට නවකයන් එම ස්‌ථානයට ගාල් කර සිටිනු දුටු තමන් මහත් කම්පාවට පත්වූ බව එහි සිටි ආචාර්යවරයෙක්‌ අප සමග පැවසීය. එම උළෙල අවසන් වන තෙක්‌ නවකයන්ට එතැනින් ඉවත් වීම තහනම් කෙරණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන හා ශාස්‌ත්‍ර යන පීඨවල නවකයන්a එදා එල්. ටී. ටී. ඊ. ය බලහත්කාරයෙන් බඳවා ගෙන බලහත්කාරයෙන් යුද පුහුණුව දී යුද්ධයට යෑවූ ළමා සොල්දාදුවන් හා සමාන යෑයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. නවකයෝ එතරම්ම කායික හා මානසික පීඩාවට ලක්‌වෙති.

ශිෂ්‍ය ක්‍රියාකාරීන් මෙතරම් බඩපිනුම් ගසමින් නවකයන් පීඩාවට පත් කරන්නේ උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලන අංශවල නිවට නියාලු ප්‍රතිපත්ති නිසාවෙනි. විශ්වවිද්‍යාලය අද පාලනය කරන්නේ පරිපාලන අංශද නැතහොත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ද යන්න පවතින පැහැදිලි ගැටලුවකි. විශ්වවිද්‍යාලයීය පරිපාලන අංශ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට යටත් වී සිටින්නේය හැඟීම කා අතරත් පවතී. කණගාටුව නම් නවකවදය දෙන ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමේ බලයෙන් උසස්‌ අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා විසින් සියලු උපකුලපතිවරුන් සන්නද්ධ කරනු ලැබ තිබියදීත් ශ්‍රී ජයවර්ධනපුර සරසවි මාතාව භීතියෙන් වෙව්ලමින් කඳුළු සැලීමය.

නිලන්ත මදුරාවල

යොමුව : දිවයින ඉරිදා සංග්‍රහය (21-09-2009)

Saturday, September 5, 2009

යකා නැවතත් මතුවේ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වද විරෝධී සිසුන් දෙදෙනෙකුට නැවතත් පහරදී තිබේ. මේ සිද්ධිය මේ දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි ප්‍රබල අවධානයට පාත්‍ර වී තිබේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් මෙම සිසුන් දෙදෙනා පසුගිය බදාදා (02-09-2009) රාත්‍රියේ සරත්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ පැවති 'තාරාවෝ ඉගිලෙති' නාට්‍යයේ දර්ශනයක් නරඹා පැමිණෙමින් සිටියෙදී විශ්ව විද්‍යාලයීය අක්බාර් ශාලාව අසල බස්නැවතුම්පොලේදී රාත්‍රී 10.30ත් 11.00ත් අතර මෙම පහරදීමට භාජනය වී තිබේ. මෙය අලුත් තත්ත්වයක් නොවේ. මීට පෙරාතුව් ද මෙවන් සිදුවීම් ඇති තරම් වාර්තා වුවද වෛද්‍ය පීඨ සිසුන් මෙවන් දරුණු ගණයේ පහරදීමකට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සඳහන් කළ හැක. මෙය පේරාදෙණිය වෛද්‍ය පීඨ ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස ඉතිහාසගත වනු ඇත.

අක්බාර් නේවාසිකාගාරයේ වෙසෙන අති බහුතරක් වූ සිසු පිරිස ඉංජිනේරු පීඨයට අයත් වෙති. මෙම දිනයේදී එම නේවාසිකාගාරය තුළින් ඉවතට පැමිණි 200ක පමණ සිසුන් පිරිසක් සම්පූර්ණයෙන්ම නිරායුධව සිටි සිසුන් දෙදෙනෙකුට පහර දීම පසුපස තිබෙන කතාව මේ බ්ලොගය කියවූ අයට නම් ඉතා හුරු පුරුදු ය. එනම් නවක වදය නැමැති යක්ෂයා යි. 200කට අධික සිසුන් පිරිසක් පැමිණ 2 දෙදෙනෙකුට පහරදීම කෙතරම් නිර්ලජ්ජිත ද? විශ්ව විද්‍යාලය නම් පින්බිම තුළ මෙවන් මාෆියාවක් නිර්මාණය කිරීමට අවසර දී ඇත්තේ කවුද? දොස්තරවරුන් ඉංජිනේරුවන් වීමට සිටින ඇත්තන් හැසිරෙන ආකාරය මෙසේ නම් වෙනත් පුද්ගලයන් ගැන කවර කථා ද? අපේ රට අද පත්ව ඇති පසුගාමී තත්ත්වයට හේතුව දශක ගණනාවක් තිස්සේ රටේ පොදු ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් බිහිවූ මෙයාකාරයේ ඊනියා බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිස නොවේද?

ජ්‍යෙෂ්ඨයන් විසින් තම සිත් වලට කාවද්දන හණමිටි අදහස් කරේ තබාගැනීම නිසා වෙනත් මතයකට ගරුකිරීමට නොදන්නා, විශ්ව විද්‍යාලයෙන් පිට ලෝකයක් නොදන්නා කණිෂ්ඨයන් පිරිසක් බිහිවන බව මම මීට පෙරාතුව ලිපි කිහිපයක්ම හරහා පැහැදිලිව සඳහන් කළෙමි. එය සනාථ කරන්නට මෙන් මෙම සිදුවීම සිදුවන අතරවාරයේ නවක සිසුන් පිරිසක් මෙම සිදුවීම නැරඹීමට ගෙන්වාගෙන, ඉදිරියට පවත්වාගෙන යන සංස්කෘතිය ගැන මනා අවබෝධයක් ලබාදීමට වාත උතුමන් කටයුතු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබී තිබේ. මෙය ඉතා ශෝචනීය තත්ත්වයකි. මෙම තත්ත්වය නැතිකිරීමට ගතයුතු පියවර පිළිබඳව පුළුල් කතිකාවතක් ඇතිවිය යුතුය. නො එසේනම් මෙම පිළිලය සදාකාලිකව පවතිනු ඇත. එබැවින් බලධාරීන් කළ යුත්තේ මෙවන් සිදුවීම් සිදුවන බව වසන් කිරීම නොව මෙම තත්ත්වය මනාව විශ්ලේෂණය කර එය වැළැක්වීමට ඇවැසි කටයුතු සංවිධානය කිරීමයි. එය මෙරට අනාගතය වෙනුවෙන් ඔවුනට ඉටුකළ හැකි මහඟු සේවයක් වේ.

අවාසනාවකට මෙය තවත් ශිෂ්‍ය දෙපිරිසක් අතර ගැටුමක් ඇතැමුන් උත්සාහ දරනු පෙනේ. 200ක පමණ පිරිසක් පොලු මුගුරු රැගෙන විත් දෙදෙනෙකුට පහරදීම දෙපිරිසක් අතර ගැටුමක් ලෙස අර්ථදැක්වීම හාස්‍යජනක නොවේද? නමුත් එවන් කතා කියා කිසිවෙකුටත් ඇඟ බේරාගැනීමට හැකියාවක් නැත. එසේ කරන්නන් උකසට තබන්නේ පේරාදෙණිය සරසවිය නම් උතුම් නාමයේ ගෞරවයයි. එවන් ස්ථානයක් විනාශ කිරීමට වෙර දරන පිරිසකට විරුද්ධව ක්‍රියාකිරීම වැරැද්දක් ද?

කෙසේ හෝ වේවා මෙවර සිදුවූ සිදුවීමේ බරපතළකම හේතුවෙන් මෙය ලෙහෙසියෙන් කෙළවරක් දකිනු ඇතැයි සිතීම උගහට ය. ප්‍රහාරකයන් රැසක් පැහැදිලිව හඳුනාගෙන තිබේ. එසේම මෙම සිදුවීමට සම්බන්ධ සැකකාර ඉංජිනේරු පීඨ සිසුන් වහාම ගෙදර යවන් බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය S.B.S. අබේකෝන් මහතා ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීම අපේ රටේ උසස් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපන රටාව තුළින් ඉටුකරගැනීමට වෙරදරන දහස් ගණනක් වූ දුවා දරුවන් හට කරන මහඟු සේවයක් වනු ඇත.

මේ දිනවල මුද්‍රිත මාධ්‍යයන්හි ප්‍රබල මාතෘකාවක් බවට පත්ව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලියැවුණු පුවත්පත් ලිපි කිහිපයකි මේ:

පේරාදෙණිය පිරිමි නේවාසිකාගාර වල අමානුෂික නවක වද

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පිරිමි නේවාසිකාගාර වල මේ වනවිට ඉතාම අමානුෂික අන්දමින් පළමු වසර සිසුන්ට නවක වදය ලබාදෙන බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි. මේ හේතුවෙන් අලුතින් විශ්ව විද්‍යාල පේවේශය ලැබූ සිසුන් මහත් අපහසුතාවට පත්වී සිටින අතර නවක වදය දීමට එරෙහිව ක්‍රියාකරන ජ්‍යෙෂ්ඨ සිසුන්ට එරෙහිව ද හිංසාකාරී ක්‍රියා සිදුකෙරෙමින් පවතින බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග කියයි. විශ්ව විද්‍යාල සිසුනට කිසිසේත්ම නොගැළපෙන අයුරින් ඉතාමත් අමානුෂික ආකාරයට මෙම නවක වදය ලබාදීම සිදු කෙරෙන අතර [continued...]

ඇසුර: රිවිර ඉරිදා සංග්‍රහය (06-09-2009)

වෛද්‍ය සිසුන් දෙදෙනාට ප්‍රහාරයක්‌

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ "වළේ" වේදිකාවේ තාරාවෝ ඉගිලෙති නරඹා ආපසු යමින් සිටි වෛද්‍ය පීඨයේ දෙවැනි වසර සිසුන් දෙදෙනකුට විශ්වවිද්‍යාලය භූමියේදී බදාදා (2) රාත්‍රියේ කිසියම් පිරිසක්‌ විසින් පහරදී ඇත.

පහරකෑමට ලක්‌වූ කසුන් රඹුක්‌වැල්ල සහ එන්. වීරසිංහ නමැති වෛද්‍ය සිසුන් දෙදෙනා පේරාදෙණිය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර සිටිති.

සිසුන් දෙදෙනාට දැඩි ප්‍රහාරයක්‌ එල්ලවී ඇත්තේ රාත්‍රි 10.30 ට පමණ අක්‌බාර් නෙල් නේවාසිකාගාරය දෙසට ගමන් කරමින් සිටියදී බව පැවසේ.
[continued...]

ඇසුර: දිවයින දිනපතා සංග්‍රහය (04-09-2009)

Two undergrad anti-ragging supporters brutally assaulted

KANDY - Two second year Medical Students of the University of Peradeniya, supporters of the anti-ragging faction, were brutally assaulted while returning to their Hall of Residence on Wednesday (02) night.

The two students, Kasun Rambukwella and Weerasinghe, are being treated at the surgical ward of the Peradeniya Teaching Hospital. They were returning after watching the stage play "Tharavo Igillethi" at the theatre ‘Wala’ of the university.

The University spokesman said yesterday (03) that the incident was being investigated by University Professor Dr. Asoka Dangolla.

It is learnt that the victims are supporters of the anti-ragging faction of the University of Peradeniya. According to a highly placed campus official the anti-ragging movement at the university is growing popular while ragging supporters are diminishing in numbers. [continued...]

ඇසුර: The Island News (04-09-2009)