skip to main |
skip to sidebar
අතීත වීර කතා නිරන්තරයෙන්ම සිනමාවට නැගෙන්නේ ඒවායේ ඇති අපූරු චමත්කාරජනක බව නිසා ය. මේවා අතර ඉතා විශිෂ්ට ගණයේ චිත්‍රපට ලෙස Gladiator, Alexander, Troy වැනි ඒවා හඳුන්වන්න පුලුවන්. මේ ගණයටම අයත් වන තවත් එක් සුවිශේෂී නිර්මාණයක් තමයි 300. මෙය මේ පුරාණ වීර කතාව හොලිවුඩ් චිත්‍රපටයකට නැගුණු මුල්ම අවස්ථාව නොවෙයි. ඇත්තටම එය ප්‍රථම වරට ලෝකය ඉදිරියට පැමිණියේ 1962 තිරගත වූ The 300 Spartans නම් චිත්‍රපටයෙන්. නමුත් මම කියන්නට යන 300 චිත්‍රපටය වර්ෂ 2006 දී නිෂ්පාදිත එකක්.
මෙම චිත්‍රපටය පුරාවටම ඇති අති විශිෂ්ට යුධමය දර්ශන නරඹන්නාගේ සිත තුලට ගෙන එන්නේ Lord of The Rings: Return of the King හි අවසන් යුද්ධයයි.
මීට පාදක වී ඇත්තේ ක්‍රි.පූ 480 දී ග්‍රීක ස්පාර්ටාවරුන් හා පර්සියානුවන් අතර සිදු වූ තර්මොපයිලේ යුද්ධයයි. ස්පාර්ටා යනු පුරාණ ග්‍රීසියේ එක් නගර රාජ්‍යයක්. ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම රණකාමීන් සිටියා යැයි සැලකෙන්නේ මෙහි යි. නමුත් පර්සියානුවන් පෙරදිග රාජ්‍ය විශාල ගණනක් තම යටතට ගනිමින් ස්පාර්ටාවත් ආක්‍රමණය කිරීමට පැමිණෙනවා ලක්ෂයක හමුදාවකුත් රැගෙන. ඒ සෙනඟට මුහුණදීමට තරම් ස්පාර්ටාවරුන් ශක්තිමත් නෑ. ඒ අතරම ස්පාර්ටා පූජකයන් ද අනුමාන කරනවා පර්සියානුවන් සමඟ යුද්ධයට ගියහොත් ස්පාර්ටාව පරදින බව. නමුත් පර්සියානුවන්ට තම රට පාවාදී තම වැසියන් වහලුන් කිරීමට එහි රජු වන ලියොනිඩස් කැමති නැහැ. නමුත් ඔහුට පූජකයන්ට එරෙහිව යන්න බැහැ. ඒ නිසා තම හමුදාව රැගෙන සටනට යන්න ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එබැවින් 300ක් වූ ස්පාර්ටාවේ විශිෂ්ටතම රණකාමීන් පිරිස රැගෙන ලියොනිඩස් තර්මොපයිලේ කඳු ශිඛරයට යනවා පර්සියානුවන්ගේ මඟ ඇහිරීමට.
මේ සෑම සොල්දාදුවෙකුගේ ඇඟ තුළම දුවන්නේ හර්කියුලීස් පරපුරෙන් පැවත් එන ලේ. ඔවුන් උපන්නේ යුද්ධයට; ඔවුන් මැරෙන්නේත් යුද්ධය වෙනුවෙන්. ඒ තම රට ආරක්ෂා කරගැනීමේ පරම අහිප්‍රාය වෙනුවෙන්.....
තර්මොපයිලේ පසුකර ඒමට නම් කඳු දෙකක් අතර වූ කපොල්ලක ඇති කුඩා අඩි පාරකින් පර්සියානු හමුදාව පැමිණිය යුතුයි. මේ හරහා ඔවුනට පැමිණීමට ඉඩ නොදීමට ස්පාර්ටාවරුන් අදිටන් කරගන්නවා. සැබැවින්ම එය පර්සියානුවන්ගේ මරු කපොල්ල වනවා. ඒ හරහා පැමිණීමට ගිය දහස් සංඛ්‍යාත පර්සියානුවන් එකා පිට එකා මැරී වැටෙනවා. ඒ ලොව මෙතෙක් සිදු වූ අති බිහිසුණම සංග්‍රාමයයි. දින 10ක් පුරාවට ලියොනිඩස්ගේ 300ක හමුදාව, ලක්ෂයකට වැඩි පර්සියානු හමුදාවට අඩියක් හොල්ලන්න බැරි ලෙස රඳවා තබාගන්නවා. නමුත් මේ අතර එෆියාල්ට්ස් නම් ස්පාර්ටා හමුදාවෙන් පන්නා දැමූ විකෘති මිනිසෙක් පර්සියානු රජු වන ක්සර්ක්ස් හමුවට යනවා. ඔහු එළුවන් ගමන් ගැනීමෙන් සෑදුණු කුඩා අඩිපාරක් ක්සර්ක්ට පෙන්වා දෙනවා. ඒ ඔස්සේ ගමන් කිරීමෙන් ස්පාර්ටාවරුන්ට පිටිපසින් පහරදීමට පර්සියානුවන් සමත් වෙනවා. ලියොනිඩස් රජු ඇතුලු ස්පාර්ටාවරුන් 300 දෙනා වීරයන් ලෙස මිය යනවා. නමුත් අවසන් මොහොත වනතුරුත් මේ වීරයන් බේරාගැනීමට අතිරේක හමුදා එවීමට ස්පාර්ටා කවුන්සිලය සමත් වන්නේ නෑ. ලියොනිඩස්ගේ සටන නිවැරදි බව ස්පාර්ටාවේ කුහක කවුන්සිල සාමාජිකයන්ට අවබෝධ කරදීමට ඔහුගේ රැජිණ ගෝර්ගෝට හුදකලා සටනක නිරත වෙන්න සිද්ධ වෙනවා. අවසානයේ ඇය ජයගන්නවා. නමුත් ඒ වනවිට ලියොනිඩස් ඇතුලු රණකාමීන්, ස්පාර්ටා දේශය වෙනුවෙන් දිවි පුදා අවසන්.
කතාව ඔන්න ඔහොමයි. සමස්ත චිත්‍රපටයේම කැමරාකරණය මා සිත ඇද බැඳ ගැනීමට සමත් වුණා. කැමරා කෝණ විතරක් නොවෙයි, චිත්‍රපටයේ වර්ණ පවා ඉතාම සිත්ගන්නාසුලුයි. ඒ කොතෙක්ද කියනවා නම් පැය 1යි විනාඩි 56ක් පුරාවට තිරයෙන් ඇස් ඉවතට නොගෙන ඒ දෙස බලා ඉන්නට තරම් ආසාවක් ඔබට මෙය නරඹද්දී ඇති වෙනවා.
මේ අතිරමණීය පුරාණ වීර කාව්‍යය ඔබේ සිත වසඟයට ගත්තෙ නැත්තම් පුදුමයක් තමයි.
අද මම කියන්න යන්නෙ තවත් විශිෂ්ට ගණයේ සම්භාව්‍ය චිත්‍රපටයක් ගැන. 1989දී තිරගත වූ මේ චිත්‍රපටය රොබින් විලියම්ස් ගේ රංගනයෙන් හැඩ වෙලා තියනවා. මට මේක ගැන කිව්වෙ යසිත් ගනේආරච්චි අයියා. ඔහුට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා ඒ ගැන. ඒ වගේම ඔහුගෙ ලිස්ට් එකේ තවත් චිත්‍රපට කිහිපයක්ම මම බලන්න නියමිතයි. දැනට බාමින් පවතිනවා;-)
කතාව මෙහෙමයි. ටොඩ් ඇන්ඩර්සන් කියන්නෙ ඉතාමත්ම ලැජ්ජාශීලී ශිෂ්‍යයෙක්. ඔහුව යැවෙනවා එයාගෙ, කා අතරත් ජනප්‍රිය සහෝදරයා ඉගෙනගත්ත පාසලට. මේක නේවාසික පාසලක්. එහෙදී ඔහුගෙ room-mate වෙන්නෙ නීල්. ඔහු අති දක්ෂයෙක්; ටොඩ් ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්, අධ්‍යාපනයටත් ඉතා ලැදියි, ඒ වගේම හැමෝගෙම හිත දිනාගත්ත චරිතයක්. මේ අතරෙ ඔවුන්ගෙ අලුත් ඉංග්‍රීසි ගුරුවරයා ලෙස පත්වෙලා එන්නෙ ජෝන් කීටිං. මොහු සම්ප්‍රදායෙන් මුලුමනින්ම බැහැර වෙච්ච පුද්ගලයෙක්. අධ්‍යාපනයයි බාහිර වැඩයි අතරෙ හිරවෙච්ච මේ පාසලේ ශිෂ්‍යයොන්ට ඔහු අමුතුම ආකාරයේ අත්දැකීම ලබා දෙනවා. ඔහු කවියට ඉතාම ලැදියි.
කවිය තමන්ගෙ ජීවිතයට එක් කරගන්න ආකාරය ඉතා අපූරුවට ඔහු කියාදෙනවා මේ ටොඩ් හා නීල් ඇතුලු ශිෂ්‍ය කැලට. ඒක ඉතා චමත්කාරජනක අත්දැකීමක්; ඉතාම කාව්‍යමයයි. ඔහු කියනවා අනෙක් සෑම විෂයකින්ම කෙරෙන්නෙ ජීවිතය ගොඩනගාගන්න අඩිතාලම වැටෙන එක, නමුත් ජීවිතය ජීවත් වෙන්න උගන්වන්නෙ කවියෙන් කියලා. මේ කරුණු ඉතාම තදින් හිතට කාවදිනවා සිසුන්ගෙ සිත් වලට. මේ අතර ඔහු වැදගත් හෙළිදරව්වක් කරනවා නීල් ඇතුලු ශිෂ්‍යයන්ට. ඒ තමයි මියැදුණු කවියන්ගේ සංගමය, Dead Poets Society ගැන. කතාව ඔච්චරයි; ඉතුරු ටික බලලම දැනගන්න:D
නමුත් එක ඉඟියක් දෙන්නම්. කතාවෙ අවසානය දුක්බරයි. අවසාන විනාඩිය ඉතාම හැඟීම්බරයි.....
නිෂ්පදිත වර්ෂය 1989 වුණත් ඉතාම හොඳ එකක් තියන පිටපතක් මට හම්බුණා. මේ තියෙන්නෙ ඒක. මම ඒකත් දුන්නෙ, සාමාන්‍යයෙන් මේ තරම් පැරණි චිත්‍රපටයක හොඳ පිටපතක් හොයාගන්න අමාරු නිසා....
IMDB වර්ගීකරණයේ පළමු ස්ථානයට එන චිත්‍රපටය ගැන තමයි මම අද කියන්න යන්නේ. ඇත්තටම කිව්වොත් මම මේක ගැන කලින් කිසිම දෙයක් අහල තිබ්බෙ නෑ. ඒ වර්ගීකරණයේ පළමු තැනට ආපු නිසාම තමයි මට බලන්න හිතුනෙ. විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් කියල අවිවාදයෙන් සඳහන් කරන්න පුලුවන්.
මම චිත්‍රපටයක දැකපු හොඳම හැරවුම (twist එක) තියෙන්නෙ මේකෙ කියල මට හිතෙනවා. සරලව කිව්වොත් මෙහෙමයි. ඔබ ඕනෑම චිත්‍රපටයක් බලද්දි ඒක ගැන යම් අදහසක් ඇතිකරගන්නවානෙ සාමාන්‍යයෙන්? ඉන්පසු ඒ ඔබ හදාගත්ත රාමුව තුල දිගටම ඉන්න උත්සාහ කරනවා. නමුත් පැය 2ක් ඒක බැලුවට පස්සෙ, අවසානයට මිනිත්තු දෙක තුනක් පමණක් තියෙද්දි ඒ හදාගත්ත රාමුව එක් වරම බිඳවැටුණොත්? අන්න ඒ වගේ දේකට තමයි ඔබට මේ චිත්‍රපටය බලද්දි මුහුණදෙන්න වෙන්නෙ.
දැන් මම කතාව කෙටියෙන් කියන්නම්. නමුත් ඉහත කරුණ නිසාම එය කියද්දි මට පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. මොකද වෙන්න යන දේ ගැන නිකමට වත් ඉඟියක් දුන්නොත් මේකෙ ඔබට නරඹා රසවිඳින්න දෙයක් නැතුව යන්න ඉඩ තියන නිසා.
ඇන්ඩෲ (ඇන්ඩි) ඩෆ්‍රස් කියන්නෙ බැංකුවක ඉහළ නිලයක් දරන පුද්ගලයෙක්. තාමත් ගොඩක් තරුණයි. නමුත් ඔහුට බොරුවට චෝදනා එල්ල වෙනව තමන්ගෙ බිරිඳ සහ ඇගේ පෙම්වතා මරාදැමීම සම්බන්ධව. (හ්ම්ම්... ඒක නම් මරන්නම වටින දෙයක් කියන එක වෙනම කතාවක්). තමන්ගෙ නිර්දෝෂී බව ඔප්පු කරගන්න ඔහුට බැරි වෙනව. ඇන්ඩිට දඬුවම් නියම වෙනවා. නිව් ඉංග්ලන්ඩ් හි ශෝෂෑන්ක් බන්ධනාගාරයට ඔහු යැවෙනව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් 2කට..!! එක් පුද්ගලයෙකුට එක් වාරය බැගින්...
කතාවෙ වැඩිම කොටසක් වෙන්වන්නෙ ඔහුගෙ බන්ධනාගාර ජීවිතය වෙනුවෙන්. සාමාන්‍ය සිරකරුවෙකුගෙ ජීවිතයෙන් වෙනස් තමන්ගෙ බන්ධනාගාර ජීවිතය ඔහු සම්පූර්ණයෙන්ම කැප කරන්නෙ එහි දියුණුව සඳහා. පාලකයාගේ සිට, සෑම කෙනාගේම සිත දිනාගන්නා ඔහු ඒ තුල අලුත්ම පුස්තකාලයක් ගොඩනගනවා. ඒ අතරම මූල්‍ය පාලනය පිළිබඳ තම දැනුම උපයෝගී කරගෙන සියලුම පොලිස් නිලධාරීන්ගේ සහ අන් සියලුම පාලකයන්ගෙ බදු කටයුතු කරනව බන්ධනාගාරය තුලම ඉඳගෙන. අවසානයෙ තමා සිරබත් කන බන්ධනාගාරයම පත්වෙනව ඔහුගෙ කාර්යාලය බවට. ඒ කොතෙක්ද කියනව නම් ඔහුට වෙනම කාර්යාල කාමරයකුත් වෙන්වෙනව බන්ධනාගාරය තුල.
මේ අතරෙ බන්ධනාගාරයට එනව අලුත් සිරකරුවො පිරිසක්. ඒ අතරෙ ඉන්නව ඔහුව ඒ පත්වෙල ඉන්න තත්වයෙන් මුදාගන්න පුලුවන් කෙනෙක්. ඔහු දන්නවා ඇන්ඩිගෙ බිරිඳගෙ සැබෑ මිනීමරුව කවුද කියල. නමුත් ඔහුට හැකියාවක් ලැබෙන්නෙ නෑ ඇන්ඩිව බේරගන්න. ඔහුගෙ සේවය ලබාගන්නා පාලකයන් අතින්ම ඒ පුද්ගලයා මියයනව. ඇන්ඩිගෙ දෛවය ලියවෙන්නෙ ඔය ආකාරයට...
දෛවයේ කුරිරු සරදමට ලක් වූ පුද්ගලයෙකුගෙ රූපයක් දැන් ඔබේ සිත තුල මැවිල ඇති අනිවාර්යයෙන්ම. ඔවු ඔබ නිවැරදියි. නැත්තම් මෙහෙම විනැහියක් වෙයි යැ කිසිම කෙනෙකුට?
නමුත්...
නමුත් මම කතාව නවත්වනවා ඔතනින්. ඉතුරු ටික ඔයගොල්ලොම බලන්න.
එක්තරා ස්ථානයකදි ඔබ ගොඩනගාගත්ත චිත්‍රය බිඳවැටෙනව මුලුමනින්ම. නමුත් කොහොමද? එකම එක ගල් කැට පහරකින්...!!
ගල් කැටයක්? හ හා.. මම දන්නව ඔබට තේරුම් ගන්න අමාරුයි. නමුත් මගෙන් නම් උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා. හිතට නැගුණු උභතෝකෝටිකය විසඳගන්න ඕනෙ නම් ඔබම බලල විසඳගන්න.
නමුත් මේ ටිකත් කලින් කියන්න ඕනෙ. මේ චිත්‍රපටය ඉතාම සම්භාවනීය එකක්. ත්‍රිලර් එකක් බලල ලැබෙන වින්දනය ලබාගන්න නම් මේක බලන්න එපා. ඉහත සිද්ධිය හැරුණම මේ මුලු චිත්‍රපටයම මිනිස් මනස ගැන තියුණු විවරණයක් වගේ. තමන්ගේ සියලුම සන්තකයන්ගෙන් වෙන්ව ජීවත් වන පුද්ගලයෙකුගෙ මනස ක්‍රියාකරන ආකාරය ඉතා අපූරු ලෙස මෙහි දැක්වෙනව පියවරෙන් පියවර. ඉතාම සංවේදියි...
ෆ්‍රෑන්ක් ඩැරබොන්ට් අධ්‍යක්ෂණය කළ ටිම් රොබින්ස්ගේ රංගනයෙන් හැඩගැන්වුණු The Shawshank Redemption (1994) ඔස්කාර් සම්මාන 7කට නිර්දේශ වී තිබෙනවා...
"Fear can hold your prisoner
Hope can set you free"
ප.ලි. මේ ලිපියට දාන්න පින්තූරයක් හොය හොය යද්දි මට හම්බුනා නියම ලිපියක් Warez-BB එකේ. (මේ තියෙන්නෙ). ඔබට High Definition වීඩියෝ එකම බාගත කරන්න ඕනෙ නම් ඕක පාවිච්චි කරන්න. නමුත් මාසයක් විතර යයි. හික්ස්.. මේක VC-1 කොඩෙක් එකෙන් තියෙන්නෙ. මම ගණන් හදල බලපු විදියට මුලු සසිස් එක ගිගා බයිට් 30.38ක් පමණ. අනේ මන්ද, මේවත් බාන මිනිස්සු ඉන්නවද මන්දා...
මට මේ කාරණාව වැඩිදුරටත් සොයා බලල බ්ලොග් එකට ලියන්න හිතුනෙ ඊයෙ මම ලිව්ව Schindler's List චිත්‍රපටය පිළිබඳ විවරණයට පිටස්තරයා සහෝදරයා යොදපු කමෙන්ට් එක නිසා. කොහොම වුණත් පැය 12ක් ඇතුළත දෙවන වරටත් එකම චිත්‍රපටය ගැන ලියන්න සිදුවීම මම හිතන්නෙ එම චිත්‍රපටයෙ විශිෂ්ටත්වය පිළිබිඹු කරන ලකුණක්. මේ කාරණය මීට කලිනුත් මගේ වෙනත් යාළුවෙක් කියල තිබ්බට ඒකෙ වැදගත්කම තේරුම් ගන්න ඒ වෙලාවෙ මට බැරි වුණා. ඔබ Schindler's List බලල නැත්තම් මගේ මුල් විවරණය කියවන්න. නැතුව මේ කියන්නෙ මොකද්ද කියල තේරුම්ගන්න බෑ.
ඔබ දන්නව Schindler's List කියන්නෙ කළු සුදු චිත්‍රපටයක්. මේකෙ අවසාන කොටසෙ, එනම් වර්තමාන කතාවෙ විතරයි වර්ණ රූප රාමු භාවිතා කරල තියෙන්නෙ. නමුත් අතීත කතාවෙ එත් තැනකට විතරක් විශේෂයෙන් රතු වර්ණය යොදන්නට අධ්‍යක්ෂ වරය (ස්ටීවන් ස්පිල්බර්ග් ) මහන්සි වෙල තියනව. එසේ රතු පාට යොදල තියෙන්නෙ පාරෙ නිකන් ඇවිද යන යුදෙව් ගෑණු ළමයෙකුගෙ කබායට. කතාවෙ ප්‍රධාන චරිතය, ඔස්කාර් ෂින්ඩ්ලර් ගොඩාක් ඈත් ඉඳන් ඇය දිහා බලන් ඉන්නව. අවසානයෙදි පෙන්වනව මේ ගෑණු ළමයම මියගොස් සිටිනව.
ඒ දර්ශනයෙ වැදගත්කම මේකයි. ඔස්කාර් ෂින්ඩ්ලර් කියන්නෙ මුදල් පසුපස හඹා ගිය, ආඩම්බරකාර වෙළෙන්දෙක් මුල් කාලයෙ. ඔහුගෙ දෑස් ඇරිල නාසින්ගෙ කෲරත්වයට එරෙහිව උතුම් වූ මානව දයාවෙන් යුතුව අසරණ යුදෙව්වොන්ට යම් සේවයක් කළ යුතුයි කියන අදහස ඔහුට ඇතිවෙන්නෙ මේ ගෑණු ළමයා දැකීමෙන්. චිත්‍රපටයෙ එන එම දර්ශනය තමයි පහත දැක්වෙන්නෙ.
මේ රතු වත හැඳි ගැහැණු ළමයගෙ චරිතය පදනම් වෙල තියෙන්නෙ රෝමා ලිගොකා කියන යුදෙව් කාන්තාවගේ චරිතය මත. නාසින් පෝලන්තය ආක්‍රමණය කරාට පස්සෙ එහෙ සිටි සියලුම යුදෙව්වන් වෝර්සෝ නගරය කොණේ වෙනම මුඩුක්කු වැනි ප්‍රදෙශයකට දාල තාප්පෙකින් වෙන්කරල වහල තිබ්බ. ඒ ප්‍රදේශයෙ ඇය ප්‍රසිද්ධ වෙල හිටියෙ ඇයගෙ රතු කබාය නිසා. ඇය සිහිවෙන්න තමයි මේ ගැහැණු ළමයගෙ චරිතය යොදාගෙන තියෙන්නෙ. ඇත්තටම ෂින්ඩ්ලර්ගෙ හිත වෙනස්වෙන්න බලපෑ හේතුව ඒකම විශේෂ සිද්ධිය ඒක නොවුණත් මේ ගැහැණු ළමයගෙ චරිතය නිරූපණය කිරීම තුල මහත් වැදගත්කමක් ගැබ් වෙල තියෙනව.
තව දුරටත් මෙහි අධ්‍යක්ෂවරයා මේ රතු වර්ණය ගැන මෙහෙම කියනව:
"America and Russia and England all knew about the Holocaust when it was happening, and yet we did nothing about it. We didn’t assign any of our forces to stopping the march toward death, the inexorable march toward death. It was a large bloodstain, primary red color on everyone’s radar, but no one did anything about it. And that’s why I wanted to bring the color red in."
මේ සියලු කරුණු චිත්‍රපටය නැරඹීමෙන් දැනගන්නට බැහැ. ඒ නිසාම එහි වැදගත්කම තවත් වැඩි වැඩියි. මොකද චිත්‍රපටය අවසානයෙ අධ්‍යක්ෂවරය ප්‍රේක්ෂකයට හිතන්න විතරක් නොවෙයි, හොයන්නත් යමක් ඉතුරු කරන්නට තරම් බුද්ධිමත් වී තිබෙනවා.
Schindler's List මගේ ප්‍රියතම චිත්‍රපටය වෙන්නෙ ඒකයි.
මේ විශිෂ්ට සිනමා සිත්තම ගැන මම මුලින්ම කිව්වෙ Forrest Gump ගැන විවරණයක් ලියද්දි. එතෙන්දි මම කිව්ව Schindler's Listට පස්සෙ මම බලපු විශිෂ්ටතම චිත්‍රපටය ඒක කියල. ඇත්තටම ඒක එහෙම වෙන්න ඕනෙ. මොකද Schindler's List තුලින් මට ඇතිවෙච්ච හැඟීම වෙන කිසිම චිත්‍රපටයක් තුලින් දැනිල නෑ. ඒ නිසා තමයි ඒක 'සියවසේ සිනමා සිත්තම' කියල හඳුන්වන්න තරම් මට සිත් වුණේ..!
මුලින්ම මේ චිත්‍රපටයෙ පසුබිම ගැන ටිකක් කියන්නම් බලල නැති අයට අදහසක් ගන්නත් එක්ක. 1993 දී බිහිවුණු මේක එම වසරේ හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය (Best picture) ඇතුලු ඔස්කාර් සම්මාන 7ක් හිමි කරගත්තා; තවත් 5කට නිර්දේශ වුණා. ඒවාට අමතරව වෙනත් චිත්‍රපට උළෙවල් හිදී සම්මාන 63ක් හිමිකරගත්තා. අධ්‍යක්ෂණය කළේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග්. මං හිතන්නෙ ඒ ටිකෙන්ම පුලුවන් මේකෙ විශිෂ්ටත්වය ගැන හොඳ අදහසක් ගන්න.
මේ චිත්‍රපටය පදනම් වෙන්නෙ 1943-45 අතර කාලෙ නාසි ජර්මනියෙ සිදුවන සැබෑ සිදුවීම් මාලාවක් මත. ඔස්කාර් ෂින්ඩ්ලර් කියන්නෙ නාසි පක්ෂයේ සාමාජිකයෙක්. ඔහු ව්‍යාපාරිකයෙක්; මුදල් වලට තරමක් කෑදරයි; ගත කරන්නෙ සුපිරි ජීවිතයක්; චාටු කතාබහ සහ මුදල් බලයෙන් මිනිසුන් නම්මගන්න අති දක්ෂයෙක්. ඉක්මනින් ලාභ ලාභලැබීමේ උවමනාව මත සරණාගත කඳවුරු වල ගාල් කළ යුදෙව්වන් අයුතු ලෙස තමන්ගෙ කර්මාන්ත ශාලාවට බඳවගන්න ඔහු කටයුතු කරනව. නමුත් වැඩි කලක් යන්න මත්තෙන් පුදුමාකාර ලෙස ඔහුගෙ මුදල් තණ්හාව, මානව දයාවක් බවට පත්වෙනව.
එතැන් පටන් ඔහු කර්මාන්තශාලාව පවත්වගෙන යන්නෙ ලාභ ලබන්න නෙවෙයි. අවුෂ්විට්ස් බන්ධනාගාරයෙ ගෑස් කුටි තුල මියැදෙන්න නියමිත අසරණ යුදෙව්වන්ගෙ ජීවිත තවත් එක දවසක් හරි වැඩිපුර ජීවත් කරවන්නට කටයුතු කරන තැනක් විදිහට.
නාසි සාමාජිකයෙක් වූ පමණින් ඒක ඔහුට පහසු කාර්යයක් වෙනව කියල ඇති කියලද ඔයගොල්ලො හිතන්නෙ? කොහොමටවත් නෑ. මේ සඳහා ඔහුට ගෙවන්න වෙන මිල අති විශාලයි.
තමන් යටතෙ තියාගන්න යුදෙව්වො එක්කෙනෙක්ට, නියමිත ප්‍රමාණයක් බැගින් දවස ගානෙ පගාව ගෙවන්න සිද්ධ වෙනව, කාටද? හමුදා නිලධාරීන්ට. නමුත් යුදෙව්වන්ට අභයදානය දීම වෙනුවෙන් පගාවක් වත් ගන්න නිලධාරීන් කැමති වෙන්නෙ නෑ. ඒ නිසා ෂින්ඩ්ලර්ට පිටට පෙන්නන්න සිද්ධ වෙන්නෙ මේක ඔහුගෙ කර්මාන්තශාලාව පවත්වගෙන යන්න කරන වැඩක් විදිහට. නමුත් කාට හරි සැකයක් ඇති වුණෝතින් ඔක්කොම වැඩ එදායින් ඉවරයි. මේ හැම වැඩකදිම ඔහුට සහයට එන්නෙ ඔහුගෙ කූට බුද්ධියත්, චාටු කතාබහත් විතරයි.
ඔය භයානක සෙල්ලම ඔහුට කරන්න වෙනව 1945 මැයි මාසෙදි ස්ටාලින්ගෙ රුසියානු හමුදා නැගෙනහිරින් බර්ලිනයටත්, ජෙනරාල් අයිසන්හවර්ගෙ මිත්‍ර හමුදා බටහිරින් ජර්මනියටත් ඇතුලු වෙනකන්. ඒ වෙනුවෙන් ඔහු එතෙක් කල් වැය කරල තියන මුදල මාර්ක් මිලියන ගණනක්..!
ඔහු බේරගත්ත සම්පූර්ණ යුදෙව්වන් ගණන 1200ක්. තමාට පවරගන්න පුද්ගලයින්ගෙ ලැයිස්තුවක් ඔහුට හදල දෙන්න වෙනව නිලධාරීන්ට. ඒ ලැයිස්තුවට තමයි Schindler's List කියල කියන්නෙ. ඒ අතරෙ විවිධ හේතු නිසා මියයන පුද්ගලයන් (ඒ දවස්වල මරණය අහඹු දෙයක් නෙවෙයි) අතහැරියම, පූර්ණ නිදහස ලබාදෙන තෙක් යුදෙව්වන් 1100ක් පමණ පණපිටින් තියාගන්නට ඔහුගෙ මුදල් බලයත් කරුණාවත් සමත් වෙනව.
නමුත් අවසානයෙදි ඔහුට පැනල යන්න සිද්ධ වෙනව. මොකද ඔහු නාසි සාමාජිකයෙක්. මිත්‍ර හමුදා හිතන්නෙ ඔහු යුදෙව්වන් මරවා වැඩගත්ත කෙනෙක් හැටියට. අවසානය ඔබටම බලාගන්නට ඉඩ තියල මම කතාව ඉවර කරනව:-) නමුත් ඔහුගෙ අසීමිත මානව දයාව ඉස්මතු වෙන තැන් දෙකක් තියනව මට සඳහන් නොකර ඉන්න අමාරු.
පළවෙනි අවස්ථාව ඔහුගෙ කම්හල තුළ සිද්ධ වෙන දෙයක්. ජර්මානු හමුදාවෙන් ඔහුට චෝදනා එල්ල වෙනව ඔහුගෙ කම්හලේ නිපදවෙන කාලතුවක්කු උණ්ඩ පිපිරෙන්නෙ නැහැ කියල. මේ බව කම්හලේ දෙවනිය ඔහුට කියද්දි ඔහු උත්තර දෙනව, "මගේ කම්හලේ නිපදවෙන එක උණ්ඩයක් හරි පිපිරුණොත් මං ඒක ගැන ගොඩක් දුක් වෙනව" කියල. ඇත්තටම ඔහුගෙ කම්හලේ යුදෙව්වො පාවිච්චි කරල වැඩක් කෙරෙන්නෙ නැහැ. තම කම්හලේ කාලතුවක්කු උණ්ඩ කියල ඔහු හමුදාවට දෙන්නෙ කළුකඩ වලින් සල්ලි දීල ගත්ත උණ්ඩ..!දෙවනි අවස්ථාව උදා වෙන්නෙ මිත්‍ර හමුදා ආවට පස්සෙ බේරගත්ත යුදෙව්වොන්ට නිදහස දීල ඔහු පැනල යන්න සූදනම් වෙද්දි. ඒ වෙද්දි ඔහුට ඉතුරු වෙල තියෙන්නෙ තමන්ගෙ රත්තරන් මුද්දත්, වාහනයත් විතරයි. ඔහුගෙ කරුණාව කොච්චරද කියනව නම් ඒ අවස්ථාවෙ ඔහු, "මේ බලන්න මගෙ මුද්ද. මේක විකුණුව නම් මට තව මිනිස්සු දෙන්නෙක් බේරගන්න තිබ්බා. මේ බලන්න මගෙ වාහනේ, මේක විකුණුව නම් මට තව මිනිස්සු දහයක් බේරගන්න තිබ්බා...." කියල තමන් ඉදිරියේ ඉන්න පිරිසට කියමින් කෑගහල අඬනවා. නමුත් ඒ වෙනකොටත් ඔහු මිනිසුන් 1200ක් බේරගෙන අවසන්..!!
චිත්‍රපටයක මම දැකල තියන සංවේදීම මොහොත ඒකයි.....
චිත්‍රපටය අවසන් වෙන්නෙ ෂින්ඩ්ලර්ගෙ සොහොන් කොතට උපහාර පිදීමෙන්. ඒ සඳහා එතෙක් (1993 දක්වා) ජීවත්ව සිටි 'ෂින්ඩ්ලර්ගේ යුදෙව්වන්' (Schindler's Jews) 600ක් පමණ සහභාගි වෙනව. ඔවුන් හැම එක්කෙනාම ෂින්ඩ්ලර්ගෙ සොහොන් කොතට එක ගල් කැටය ගානෙ ගෙනත් තියනව. සොහොන් කොත ගල් කැට වලින් පිරිල යනව. අවසාන වශයෙන් නාසි යුදෙව් සංහාරයෙදි මියගිය මිලියන 6 ක් වූ යුදෙව්වන් සිහි කරන්න එක රෝස මලක් එහි තැන්පත් වෙනව. ඒකත් ඉතාමත් සංවේදී මොහොතක්.
මේ චිත්‍රපටය අපට මනුෂ්‍යත්වය ගැන ඉතාමත් වැදගත් පාඩමක් උගන්නනව. මිනිසෙකුට මේ තරම් කරුණාවන්ත වෙන්න පුලුවන්ද? එය ඉතා විශේෂයි. ඒ එක්කම මිනිහෙක් විදියට මම මේ ලෝකෙ ජීවත් වෙන්නෙ ඇයි කියල මට නැවත වරක් සිතන්න සිද්ධ වුණා මේක බැලුවට පස්සෙ. මේ ලෝකෙ ඇවිද ගියපු තවත් එක් ජීවියෙක් වගේ කාල, බීල, නිදාගෙනල, මැරිල යනවට වඩා යමක් මේ ලෝකයට අපි ඉතිරි කර යා යුතුයි නේද?
ඉතින් ඒ වගේ ගැඹුරු දෙයක් හිතන්න තරම් කෙනෙක් පොළඹවන චිත්‍රපටයක් තමයි මං නම් හිතන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම චිත්‍රපටයක් කියල. (වෙනත් වර්ග වල ඒව පහත් කරනව නෙවෙයි මම). කොහොම වුණත් මේ සුවිශේෂී සිනමා සිත්තම ගැන මට දැනෙන සියලුම හැඟීම් ලියන්න ගියොත් මේ බ්ලොග් පෝස්ට් එක නවකතාවක් තරම් දික් වෙනව සිකුරුයි.
ඒ අතරෙම තව දෙයක් මතක් කරන්න ඕනෙ. මේක කලු සුදු චිත්‍රපටයක්. අන්තර්ජාලයෙන් මම බාගත කරපු .avi පිටපතත් ගොඩක්ම හොඳ තත්වෙක තිබ්බෙ නෑ. අනිත් ඒවත් බොහෝ විට ඒ වගේ වෙන්නැති. ඔබ මේ චිත්‍රපටය බාගත කරගෙන බලන්න බලාපොරොත්තු වෙනව නම් මතක තියාගන්න ඔය කිව්ව ස්වභාවහ නිසා පටන්ගන්නකොටම කළකිරෙන්න එපා. මොකද මට මේක ගැන මුලින්ම කිව්ව මිත්‍රයට මං මේක බාගත කරල දුන්නට පස්සෙ මට ඒ පොරගෙන් බැනුම් අහගන්නත් උනා පිටපතේ තත්වය ගැන. හේතුව තමයි අද ගොඩක් දෙනාට කලු සුදු චිත්‍රපට අල්ලන්නෙ නෑ. මේක රසවිඳින්න නම් හොඳ අවධානගෙන් යුතුව තිරය දිහා බලන් ඉන්න. නැත්තම් එපා වෙයි. එපා වෙල එන්න එපා මට බැනගෙන එහෙම:-)
ඔබ මේක ගැන කොයි ආකාරයට හිතුවත් ඒකෙ විශිෂ්ටත්වය නම් චුට්ටක් වත් අඩු වෙන්නෙ නැහැ. අනික මේ වගේ අතිශයින් සම්භාව්‍ය ගණයේ චිත්‍රපටයක් බලල රසවිඳින්නත් පුලුවන් ඉහළ රසඥතාවයක් තියන අයට විතරයි කියල මම නම් හිතන්නෙ;-)
මේ බ්ලොග් සටහන මා නැරඹූ විශිෂ්ටතම චිත්‍රපටයට උපහාරයක් ම වේවා...
කැම්පස් පටන්ගන්න රාවයක් වත් නැති නිසා මේ දවස් වල මගේ ලොකුම කාර්යය වෙන්නෙ චිත්‍රපට බලන එක. ඒක නිසා අලුත් අලුත් මාදිලි වල අලුත් සහ පරණ චිත්‍රපට නිතරම දැන් බැලෙනවා. දැන් මම බලල ඉවර කළේ. 1994 නිෂ්පාදිත, වසරේ හොඳම චිත්‍රපටය ඇතුලු ඔස්කාර් සම්මාන 6ක් දිනපු මේ චිත්‍රපටයෙ තියෙන්නෙ මානසික අඩු වර්ධනයක් පෙන්වන ළමයෙක් පිළිබඳ කතාවක්. මෙයාගෙ චරිතය වන ෆොරස්ට් ගම්ප් රඟපාන්නෙ සුප්‍රසිද්ධ නළු ටොම් හෑන්ක්ස්. ඒ ළමයගෙ මුළු ජීවිත කතාවම මේ චිත්‍රපටයෙ කියවෙනවා. ඒකෙ අවසාන මොහොතෙදි ඔහු තමන්ගෙ බිරිඳගෙ සොහොන් කොත ළඟ ඉඳල කරන කතාව හරිම, හරිම කියන්නෙ ඉතාමත්ම සංවේදියි. දැන් ගොඩක් රෑ වෙල නිසා මං කතාව දිගින් දිගට කියන්න යන්නෙ නෑ කලින් The Curious Case of benjamin Button වලදි කිව්ව වගේ. නමුත් මේක මාව ඉතාමත් සසල කරපු චිත්‍රපටයක් වුණා. දැන් මට හිතෙනව මේ මම බලපු විශිෂ්ටතම චිත්‍රපටය ද කියල. බොහෝ විට Schindler's List ට පස්සෙ මං බලපු විශිෂ්ටතම චිත්‍රපටය වෙන්නැති. (Schindler's List ගැන මං පස්සෙ ලියන්න ඉන්නෙ.)
ඔයගොල්ලො හැමෝම එහෙම හිතයිද මං දන්නෙ නෑ. නමුත් ඔබ මේක බලපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න කියල මං ඉල්ලා සිටිනව. ඒක ඒ තරම්ම ආදරණීය සහ අපේ ජීවිත ගැන හිතන්න පොළඹවන චිත්‍රපටයක්. සමහර නැන් වලදි මැරෙන්න හිනා යනව. හිනා වුණාට පස්සෙ හිතෙනව ඒ තමන්ටම නේද හිනා වුනේ කියල. මං හිතන විදියට සාමාන්‍ය ත්‍රිලර් හෝ වෙනත් කොමඩි වලට වඩා මේ වගේ මනසට රසඳුනක් වෙන වගේම හොඳ ගැඹුරක් තියන චිත්‍රපට අපිට වැඩි යමක් ලබා දෙනව. මං නැවතත් කියනව, බලල නැත්තන් බලන්න Forrest Gump..!! Forest Gump නෙවෙයි.. :)
මේකෙ ඉතා සංවේදී සහ අර්ථවත් කියමන් කීපයක් තියනව. දැනට මම දෙකක් කියන්නම්
"My mama used to say that life is like a box of chocolates. You never know what you get next"
"My mama used to say not so much fortune man needs. And the rest should be thrown off"
අද රෑට මට නින්ද යයිද දන්නෑ ඒකෙන් මට දැනිච්ච හැඟීම නිසා. හෆොයි, හෙට උදේම නැගිටින්නත් තියනව. මං ගියෝ....
මම සාමාන්‍යයෙන් චිත්‍රපට පිළිබඳව වැඩිපුර ලියන්නෙක් නෙවෙයි. නමුත් මෙම සිනමා සිත්තම, The Curious Case of Benjamin Button බැලුවට පස්සෙ නම් ඒ පිළිබඳව කුමක් හෝ ලිවිය යුතුයි කියල මට හිතුනා (මං දැක්ක මේ පිළිබඳව පොතේ ගුරා සහෝදරයත් කලින් ලියල තිබ්බ).
නමුත් කොහොම පටන්ගන්නද කියල මට හිතාගන්නත් අමාරුයි...
හ්ම්... මුලින්ම මම මෙහෙම කියන්නම්. මේක මම බලල තියන විශිෂ්ටතම චිත්‍රපටය නෙවෙයි. ලස්සනම චිත්‍රපටයත් නෙවෙයි...! දැන් ඔයගොල්ලො බලයි මොන බහුබූතයක්ද මං මේ කියවන්නෙ කියල. හික්ස්... මෙහෙමයි, මට හිතෙන හැටියට මේක අපි බලන වෙනත් චිත්‍රපට එක්ක එක මිම්මෙන් මනින්න අමාරුයි. මොකද මේක සම්ප්‍රදායට මුලුමනින්ම පටහැනි, කෙනෙකුට ලේසියෙන් හිතාගන්න බැරි මාතෘකාවක් මත පදනම් වී බිහිවූ චිත්‍රපටයක්. ඔයගොලොන්ට තේරුම්ගන්න ලේසි වෙන්න මම කතාව කෙටියෙන් කියන්නම්.
කැත්‍රිනා කුණාටුව ඇමරිකාවෙ නිව් ඔර්ලියන්ස් නගරය හඹා එනවා. මේ අතරෙ, වයස්ගත ඩේසි විලියම්ස් මෑණියන් නගරයෙ රෝහලක් තුල ඇගේ මරණ මංචකයෙ වැතිර ඉන්නව. පසෙකින් ඉන්නෙ ඇයගෙ දුව කැරොලයින්. ඔහොම ඉන්නකොට ඩේසි, කැරොලයින්ගෙන් ඉල්ලනව ඇගේ ඇඳුම් බෑගයෙ තියන පරණ දිනපොතක් අරන් ඇයට කියවන්න කියල. ඒක අයත් වෙන්නෙ ඇගේ පරණ මිතුරෙක් වුණ බෙන්ජමින් බට්න්ට. ඔහු ඉතා සුවිශේෂී පුද්ගලයෙක්. කායික විකෘතිතාවයක් එක්ක ඉපදුනු ඔහුගෙ වයස ගියේ අනිත් පැත්තට. විස්වාස කරන්න පුලුවන්ද, ඉපදෙනකොට ඔහුගෙ වයස අවුරුදු 80යි..! ඒක වෙන්නෙ මෙහෙමයි. ප්‍රමාණයෙන් සාමාන්‍ය අත දරුවෙක් වගේ වුනාට ඔහුගෙ හැඩය, හම, ඇඟේ අවයව විතරක් නෙවෙයි හෘද ස්පන්දනයත් අවුරුදු 80 ක පුද්ගලයෙක්ගෙ වගේ..!
ඔහුගෙ මේ විකෘති බව දැක්ක පියා, තෝමස් බට්න්, ඔහුව ගෙයක් ළඟ අතහැරල දාල යනව. ඒක වැඩිහිටි නිවාසයක්. ඒකෙ ඉන්න වැඩිහිටියන් බලාගන්න ක්වීනි කියන කලු ජාතික කාන්තාව බාරගන්නව ඔහුව හදාගන්න. කාලයත් එක්ක ටික ටික ලොකු වෙනකොට වෙන ළමයින්ට වයස වැඩි වුනත් බෙන්ජමින්ට වෙන්නෙ වයස අඩු වෙන එක..! ඔය අතරෙ තමයි ඔහුට ඩේසි විලියම්ස් හම්බෙන්නෙ. ඩේසිට වයස 6ක් වෙනකොට බෙන්ජමින්ට හැත්තැ ගානක්; ඩේසිට වයස 20ක් වෙනකොට බෙන්ජමින්ට පනස් ගානක්. පෙනුමෙ මේ වගේ ලොකු වෙනසක් තිබුනත් ඒක ඔවුන්ගෙ පුංචි කාලෙ මිත්‍රත්වයට බාධාවක් වෙන්නෙ නෑ. විවිධාකාර හැලහැප්පීම් මධ්‍යයෙ ඔවුන්ගෙ ජීවිත ගෙවිල යනව. නමුත් එක තැනක නෙවෙයි දෙතැනක..! ඒත් මේ විදියට ගිහින් අන්තිමට ඔවුන්ගෙ වයස ආසන්න වශයෙන් සමාන වෙනකොට පුදුමාකාර ලෙස ඔවුන් ආපහු එක් වෙනව...
නමුත් කතාව එතනින් ඉවර නෑ. මම ඉතුරු ටික කියන්න යන්නෙත් නෑ. මොකද බලපු නැති කට්ටියගෙ කුතුහලය රැකගනු පිණිස;) ඔන්න ඔය විදියෙ ඉතා සුවිශේෂී කථාන්තරයක් තමයි මේ චිත්‍රපටය පුරාවට දිගහැරෙන්නෙ.
Curious case කිව්වට ෂර්ලොක් හෝම්ස්ගෙ රහස් පරීක්ෂක කතාවක වගේ රහසිගත බවක් වත් කාලයෙන් පසුපසට යනව කිව්වට විද්‍යා ප්‍රබන්ධයක අයුර වත් නෙවෙයි මේකෙ තියෙන්නෙ. නමුත් කුතුහලය දනවන බව නම් ඇත්තයි. පැය 2යි මිනිත්තු 46ක් පුරා දිවයන මේක, මිනිස්සුන්ගෙ ගති සොබාවන් මනාව විදහා දක්වන කලාත්මක චිත්‍රපටයක් විදියට හඳුන්වන්න පුලුවන්.
චිත්‍රපටය පුරාවට තියෙන්නෙ ඉතා සෞම්‍ය සංගීතයක්. වේගයෙන් දිවයන (tensed) අවස්ථා වල පවා තේමාවට හානියක් නොවී එය රඳවාගන්න නිර්මාණකරුවා සමත් වෙලා තියනව. ඊට අමතරව දෙබස් භාවිතයත් සුවිශේෂියි. උචිත තැන් වල පමණක් උචිත පරිදි දෙබස් පරිහරණය කරමින් හැම රූප රාමුවක්ම ප්‍රේක්ශකයාට නරඹා අදහස ග්‍රහණය කරගත හැකි වන ලෙස ඉදිරිපත් කරල තිබෙනව. තවත් විශේෂයෙන්ම සඳහන් කලයුතු දෙයක් තමයි බෙන්ජමින් බට්න්ගෙ චරිතය. පීටර් ඩොනල්ඩ් බැඩමෙන්ටි (බෙන්ජමින් 1928-31), රොබට් ටවර්ස් (බෙන්ජමින් 1932-34), ටොම් එවර්ට් (බෙන්ජමින් 1935-37) හා බ්‍රැඩ් පීට් (බෙන්ජමින් ප්‍රධාන අවධිය) එම චරිතය නිරූපණය කරල තියනව. මේ සියලු දෙනා ඒ ඒ අවධි වල බෙන්ජමින්ගේ නිහඬ චරිතය සහ එහි ගැඹුර විදහා දක්වන ආකාරය අද්විතීයයි. මීට අමතරව ඩේසිගේ තරුණ හා වැඩිහිටි අවධි නිරූපණය කරන කේට් බ්ලැන්කට් ද එම චරිතයට උපරිම වශයෙන් සාධාරණය ඉටුකර ඇති බව පවසන්න ඕනෙ.
තවත් අනිවාර්යයෙන්ම පැවසිය යුතු කරුණක් තියනව. ඒ තමයි චිත්‍රපටය පුරාවට 'නිරුවත' භාවිතා කර ඇති අන්දම..! එය ඉස්මතු වන අවස්ථා විශල ප්‍රමාණයක් තිබුණත් ඒ හැම එකක්ම ඉතා සංයමයෙන් භාවිතා කරන්න චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ෆින්චර් පරිස්සම් වෙල තියනව. කොහොම වුණත් මෙහි පවතින නිහඬ, ගලායන ස්වභාවය නිසා ඇක්ෂන් ප්‍රිය කරන අයට මේ චිත්‍රපටය නොගැලපෙන්නත් පුලුවන්.
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මේක බලපු නැති හැම දෙනාටමත් බලන්න කියන එකයි. මොකද ඒකට ඔබේ චින්තනය අලුත් මානයකට ගෙනියන්න පුලුවන් නිසා..! හැමදාම ඇක්ෂන් ෆිල්ම්ස් බලන එකේ ඉඳල හිටල සීරියස් එකක් බැලුවට අවුලක් නෑනෙ?:-)