
නමුත් කොහොම පටන්ගන්නද කියල මට හිතාගන්නත් අමාරුයි...
හ්ම්... මුලින්ම මම මෙහෙම කියන්නම්. මේක මම බලල තියන විශිෂ්ටතම චිත්‍රපටය නෙවෙයි. ලස්සනම චිත්‍රපටයත් නෙවෙයි...! දැන් ඔයගොල්ලො බලයි මොන බහුබූතයක්ද මං මේ කියවන්නෙ කියල. හික්ස්... මෙහෙමයි, මට හිතෙන හැටියට මේක අපි බලන වෙනත් චිත්‍රපට එක්ක එක මිම්මෙන් මනින්න අමාරුයි. මොකද මේක සම්ප්‍රදායට මුලුමනින්ම පටහැනි, කෙනෙකුට ලේසියෙන් හිතාගන්න බැරි මාතෘකාවක් මත පදනම් වී බිහිවූ චිත්‍රපටයක්. ඔයගොලොන්ට තේරුම්ගන්න ලේසි වෙන්න මම කතාව කෙටියෙන් කියන්නම්.
කැත්‍රිනා කුණාටුව ඇමරිකාවෙ නිව් ඔර්ලියන්ස් නගරය හඹා එනවා. මේ අතරෙ, වයස්ගත ඩේසි විලියම්ස් මෑණියන් නගරයෙ රෝහලක් තුල ඇගේ මරණ මංචකයෙ වැතිර ඉන්නව. පසෙකින් ඉන්නෙ ඇයගෙ දුව කැරොලයින්. ඔහොම ඉන්නකොට ඩේසි, කැරොලයින්ගෙන් ඉල්ලනව ඇගේ ඇඳුම් බෑගයෙ තියන පරණ දිනපොතක් අරන් ඇයට කියවන්න කියල. ඒක අයත් වෙන්නෙ ඇගේ පරණ මිතුරෙක් වුණ බෙන්ජමින් බට්න්ට. ඔහු ඉතා සුවිශේෂී පුද්ගලයෙක්. කායික විකෘතිතාවයක් එක්ක ඉපදුනු ඔහුගෙ වයස ගියේ අනිත් පැත්තට. විස්වාස කරන්න පුලුවන්ද, ඉපදෙනකොට ඔහුගෙ වයස අවුරුදු 80යි..! ඒක වෙන්නෙ මෙහෙමයි. ප්‍රමාණයෙන් සාමාන්‍ය අත දරුවෙක් වගේ වුනාට ඔහුගෙ හැඩය, හම, ඇඟේ අවයව විතරක් නෙවෙයි හෘද ස්පන්දනයත් අවුරුදු 80 ක පුද්ගලයෙක්ගෙ වගේ..!
ඔහුගෙ මේ විකෘති බව දැක්ක පියා, තෝමස් බට්න්, ඔහුව ගෙයක් ළඟ අතහැරල දාල යනව. ඒක වැඩිහිටි නිවාසයක්. ඒකෙ ඉන්න වැඩිහිටියන් බලාගන්න ක්වීනි කියන කලු ජාතික කාන්තාව බාරගන්නව ඔහුව හදාගන්න. කාලයත් එක්ක ටික ටික ලොකු වෙනකොට වෙන ළමයින්ට වයස වැඩි වුනත් බෙන්ජමින්ට වෙන්නෙ වයස අඩු වෙන එක..! ඔය අතරෙ තමයි ඔහුට ඩේසි විලියම්ස් හම්බෙන්නෙ. ඩේසිට වයස 6ක් වෙනකොට බෙන්ජමින්ට හැත්තැ ගානක්; ඩේසිට වයස 20ක් වෙනකොට බෙන්ජමින්ට පනස් ගානක්. පෙනුමෙ මේ වගේ ලොකු වෙනසක් තිබුනත් ඒක ඔවුන්ගෙ පුංචි කාලෙ මිත්‍රත්වයට බාධාවක් වෙන්නෙ නෑ. විවිධාකාර හැලහැප්පීම් මධ්‍යයෙ ඔවුන්ගෙ ජීවිත ගෙවිල යනව. නමුත් එක තැනක නෙවෙයි දෙතැනක..! ඒත් මේ විදියට ගිහින් අන්තිමට ඔවුන්ගෙ වයස ආසන්න වශයෙන් සමාන වෙනකොට පුදුමාකාර ලෙස ඔවුන් ආපහු එක් වෙනව...
නමුත් කතාව එතනින් ඉවර නෑ. මම ඉතුරු ටික කියන්න යන්නෙත් නෑ. මොකද බලපු නැති කට්ටියගෙ කුතුහලය රැකගනු පිණිස;) ඔන්න ඔය විදියෙ ඉතා සුවිශේෂී කථාන්තරයක් තමයි මේ චිත්‍රපටය පුරාවට දිගහැරෙන්නෙ.
Curious case කිව්වට ෂර්ලොක් හෝම්ස්ගෙ රහස් පරීක්ෂක කතාවක වගේ රහසිගත බවක් වත් කාලයෙන් පසුපසට යනව කිව්වට විද්‍යා ප්‍රබන්ධයක අයුර වත් නෙවෙයි මේකෙ තියෙන්නෙ. නමුත් කුතුහලය දනවන බව නම් ඇත්තයි. පැය 2යි මිනිත්තු 46ක් පුරා දිවයන මේක, මිනිස්සුන්ගෙ ගති සොබාවන් මනාව විදහා දක්වන කලාත්මක චිත්‍රපටයක් විදියට හඳුන්වන්න පුලුවන්.
චිත්‍රපටය පුරාවට තියෙන්නෙ ඉතා සෞම්‍ය සංගීතයක්. වේගයෙන් දිවයන (tensed) අවස්ථා වල පවා තේමාවට හානියක් නොවී එය රඳවාගන්න නිර්මාණකරුවා සමත් වෙලා තියනව. ඊට අමතරව දෙබස් භාවිතයත් සුවිශේෂියි. උචිත තැන් වල පමණක් උචිත පරිදි දෙබස් පරිහරණය කරමින් හැම රූප රාමුවක්ම ප්‍රේක්ශකයාට නරඹා අදහස ග්‍රහණය කරගත හැකි වන ලෙස ඉදිරිපත් කරල තිබෙනව. තවත් විශේෂයෙන්ම සඳහන් කලයුතු දෙයක් තමයි බෙන්ජමින් බට්න්ගෙ චරිතය. පීටර් ඩොනල්ඩ් බැඩමෙන්ටි (බෙන්ජමින් 1928-31), රොබට් ටවර්ස් (බෙන්ජමින් 1932-34), ටොම් එවර්ට් (බෙන්ජමින් 1935-37) හා බ්‍රැඩ් පීට් (බෙන්ජමින් ප්‍රධාන අවධිය) එම චරිතය නිරූපණය කරල තියනව. මේ සියලු දෙනා ඒ ඒ අවධි වල බෙන්ජමින්ගේ නිහඬ චරිතය සහ එහි ගැඹුර විදහා දක්වන ආකාරය අද්විතීයයි. මීට අමතරව ඩේසිගේ තරුණ හා වැඩිහිටි අවධි නිරූපණය කරන කේට් බ්ලැන්කට් ද එම චරිතයට උපරිම වශයෙන් සාධාරණය ඉටුකර ඇති බව පවසන්න ඕනෙ.
තවත් අනිවාර්යයෙන්ම පැවසිය යුතු කරුණක් තියනව. ඒ තමයි චිත්‍රපටය පුරාවට 'නිරුවත' භාවිතා කර ඇති අන්දම..! එය ඉස්මතු වන අවස්ථා විශල ප්‍රමාණයක් තිබුණත් ඒ හැම එකක්ම ඉතා සංයමයෙන් භාවිතා කරන්න චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ෆින්චර් පරිස්සම් වෙල තියනව. කොහොම වුණත් මෙහි පවතින නිහඬ, ගලායන ස්වභාවය නිසා ඇක්ෂන් ප්‍රිය කරන අයට මේ චිත්‍රපටය නොගැලපෙන්නත් පුලුවන්.
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මේක බලපු නැති හැම දෙනාටමත් බලන්න කියන එකයි. මොකද ඒකට ඔබේ චින්තනය අලුත් මානයකට ගෙනියන්න පුලුවන් නිසා..! හැමදාම ඇක්ෂන් ෆිල්ම්ස් බලන එකේ ඉඳල හිටල සීරියස් එකක් බැලුවට අවුලක් නෑනෙ?:-)