Pages

Sunday, July 19, 2009

බෞද්ධ විශ්ව න්‍යායවේදය | Buddhist Cosmology (2)

පූර්ව ලිපියට ඇතැම් දැඩි භෞතිකවාදීන් කෙරෙන් ප්‍රබල විවේචන එල්ල වුවද ඉන් එහි වැදගත්කම හීන වූ බවක් නොපෙනේ. බෞද්ධ විශ්ව න්‍යායවේදයෙහි එන කරුණු හුදු ප්‍රබන්ධ යැයි කීමට වෙර දරනා මොවුන් නානාප්‍රකාර දෘෂ්ටීන්ගෙන් මේ දෙස බැලිය හැකි වුවද මෙම කරුණු ඉදිරිපත් කරනුයේ අති බහුතරයක් වූ සාමාන්‍ය බෞද්ධ ජනයාට බුදු දහමේ ඇති විශ්ව සංකල්පය පිළිබඳ අවබෝධයක් ලබාදීමට විනා බුදු දහම හුදු විද්‍යාත්මක කිරීමේ අටියෙන් නොවන බව කරුණාවෙන් සළකන්න.

කලින් ලිපියේ අප සාකච්ඡාවට බඳුන් කළේ බෞද්ධ දර්ශනයේ එන චක්කවාද/චක්කවාල විශ්ව න්‍යායවේදයයි. දැන් අප පළමුව අවකාශ විශ්ව න්‍යායවේදයෙහි සහස්‍ර විශ්ව න්‍යායවේද කොටස ගැන සොයා බලමු. මේ යටතේ විස්තර කෙරෙන්නේ අප වාසය කරන්නා වූ විශ්වයෙහි භෞතික ස්වභාවයයි. සැකෙවින් කිවහොත් විශ්වය තුළ දක්නට ලැබෙන පොකුරු ගැසීම් (groupings) වේ. බෞද්ධ දර්ශනය විශ්වය අදියර තුනකින් බෙදා දක්වයි. (මෙම ලිපියේ එන ඇතැම් කරුණු කලින් ලිපියේ එන කරුණු සමඟ ඍජුවම සම්බන්ධ වන බව කරුණාවෙන් සලකන්න). ඒවා නම්;
  1. සහස්සී චූලනිකා ලෝක ධාතුව -- Small Chiliocosm : සහස්සී චූලනිකා ලෝක ධාතුව යනුවෙන් හැඳින්වෙන ඒකකය නිර්මාණය වී ඇත්තේ කුඩා ලෝක 1000 ක එකමුතුවෙනි. මෙහිදී කුඩා ලෝකයක් ලෙස ගැනෙන්නේ කලින් ලිපියේ සඳහන් කරන ලද මානසික ස්තර 31 අතරින් 14 වන තලයේ සිට පහළට ඇති ලෝකයි. ඒවා අතරට ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක 3 ද, සුර ලෝක 6 ද, මානව ලෝකය ද දුක්ඛ ලෝක 4 අයත් වේ. මෙවන් සංකලනයකින් යුතු එක් කුඩා ලෝක පද්ධතියක් කල්ප එකක් අවසානයේ ගින්නෙන් විනාශ වී යයි. මෙවන් කුඩා ලෝක 1000ක එකමුතුවෙන් සහස්සී (අංග 1000කින් යුත්) චූලනිකා (චූල/කුඩා) ලෝක ධාතුවක් නිර්මාණය වේ. මෙම ලෝක ධාතුවෙහි ඇති සෑම කුඩා ලෝකයක් ම එක්වර නිර්මාණය වී විනාශ වී යාමට හේතුවක් නැත. එය සහස්සී චූලනිකා ලෝක ධාතුවේ ආයු කාලය වන කල්ප 8ක් පුරාවට විවිධ අවස්ථා වලදී නැවත නැවතත් සිදුවීට ඉඩකඩ ඇත. මෙසේ එම එක් එක් කුඩා ලෝකය විනාශ වන වාරයක් පාසා එය නැවත ජනාවාස වන්නේ සහස්සී චූලනිකා ලෝක ධාතුවට අයත්, එහෙත් කුඩා ලෝකයට පිටතින් පිහිටි, ද්විතියික රූප ධ්‍යාන ලෝක හෙවත් ආභස්සර ලෝක වල (ස්තර 17-15) වැසියන්ගෙනි. කල්ප 8ක් අවසානයේ සහස්සී චූලනිකා ලෝක ධාතුව ද ජලයෙන් විනාශ වී යයි.
  2. ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව -- Medium Dichiliocosm : ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව නිර්මාණය වන්නේ සහස්සී චූලනිකා ලෝක ධාතු 1000ක සංකලනයෙනි. තෘතියික ධ්‍යාන (සුභක්ෂ්ණ) බ්‍රහ්ම ලෝක (ස්තර 20-18) පිහිටා ඇත්තේ සහස්සී චූලනිකා ලෝක ධාතුවට පිටතින් ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව තුළ ය. එනම් මෙහි ඇති ජනාවාස වූ කුඩා ලෝක ගණන මිලියනයකි. සෑම කල්ප 64ක් අවසානයේම ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව ද සුළඟින් විනාශ වී යයි. කල්ප 8කට වරක් සහස්සී චූලනිකා ලෝක ධාතුව ජලයෙන් විනාශ වී ගිය විට ඒවා නැවත ජනාවාස වන්නේ සුභක්ෂ්ණ බ්‍රහ්ම ලෝක වල වැසියන් ගෙනි.
  3. ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව -- Great Trichiliocosm : ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව නිර්මාණය වන්නේ ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතු 1000ක සංකලනයෙනි. චතුර්ථ ධ්‍යාන (බ්‍රහත්ඵල) බ්‍රහ්ම ලෝක වල (ස්තර 23-21) සිට ඉන් ඉහළට ඇති සියලුම ලෝකයන් පිහිටා ඇත්තේ ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුවෙන් පිටත ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව තුළයි. එනම් මෙහි ඇති ජනාවාස වූ කුඩා ලෝක ගණන බිලියනයකි. ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව කිසි දිනෙක විනාශ වී යන්නේ නැත. කල්ප 64කට වරක් ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව සුළඟින් විනාශ වී ගිය විට ඒවා නැවත ජනාවාස වන්නේ බ්‍රහත්ඵල බ්‍රහ්ම ලෝක වල වැසියන් ගෙනි. බ්‍රහත්ඵල බ්‍රහ්ම ලෝක වලින් පිටත ඇති ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල වැසියන් කිසි දිනෙක තමන් ලබා සිටින අධ්‍යාත්මික දියුණුවෙන් පිරිහී පහළට වැටෙන්නේ නැති අතර (අනාගාමී වී ඇති නිසා) අරූපාවචර බ්‍රහ්ම ලෝක වල වැසියන්ට රූපයක් නැති නිසා ඔවුන් අන් ලෝක වල වැසියන් සමඟ අන්තර්ක්‍රියා කරන්නේ නැත.
මීට සාපේක්ෂව නූතන තාරකා විද්‍යාවට අනුව ද විශ්වය ප්‍රධාන කොටස් තුනකින් සංයුක්ත වී ඇත. ඒවා නම්;
  1. මන්දාකිණි -- Galaxies : මන්දාකිණියක් යනු තාරකා (Stars), වායු පටල (Gas clouds)හා දුහුවිලි අංශු (Dust particles) ඇතුළත් අන්තර්තාරීය මාධ්‍යය (Interstellar medium) සහ උපකල්පිත අඳුරු පදාර්ථයෙන් (Drak matter) නිර්මිත ගුරුත්වයෙන් එකට බැඳුනු අති විශාල තනි පද්ධතියකි. මේවායෙන් ඇති ඇතැම් තාරකා වටා ග්‍රහ මණ්ඩල පිහිටා ඇති අතර තවත් ඒවායේ එසේ නැත. තාරකා විවිධ ප්‍රමාණයන්ගෙන් එක්වී මන්දාකිණි නිර්මාණය වේ. අප වාසය කරන ක්ෂීරපථයෙහි ආසන්න වශයෙන් තාරකා බිලියන 200ත් 400ත් අතර සංඛ්‍යාවක් ඇත.
  2. මන්දාකිණි පොකුරු -- Galaxy Clusters : මන්දාකිණි කණ්ඩායම් (Groups) හා පොකුරු (Clusters) ලෙස මේවා කොටස් දෙකකි. කණ්ඩායමක ආසන්න වශයෙන් මන්දාකිණි 10ත් 50ත් අතර සංඛ්‍යාවක් ඇති අතර පොකුරක 50සිට දහස් ගණනක් දක්වා පිහිටිය හැක. මේවා අතර නිශ්චිත බෙදුම් ලකුණක් නැතත් මේවායේ විශේෂත්වය වන්නේ විශ්වය තුළ ගුරුත්වය මගින් බැඳී ඇති විශාලතම ව්‍යුහ පද්ධතීන් මේවා වීමයි. අප වසන ක්ෂීරපථය ඇත්තේ Local Group නමින් හැඳින්වෙන මන්දාකිණි පොකුර තුළ ය. එහි මන්දාකිණි 40කට අධික සංඛ්‍යාවක් ඇත. නමුත් මේවා තුළ එක් එක් තනි මන්දාකිණි වල ප්‍රවේගයන් සළකා බලන විට, ඒවාට එතරම් විශාල ප්‍රවේගයක් අත්කරගන්නා අතරම ගුරුත්වයෙන් බැඳී පැවතීමට නම් තවත් විශාල, දර්ශනය නොවන, අද්භූත ස්කන්ධයක් පැවතිය යුතු යැයි විශ්වාස කෙරේ. ඊට අඳුරු පදාර්ථය යන නම ව්‍යවහාර වේ. මේවා පරීක්ෂණාත්මකව සොයාගෙන නැත.
  3. සුපිරි මන්දාකිණි පොකුරු -- Galaxy Superclusters : සුපිරි මන්දාකිණි පොකුරු යනු මන්දාකිණි පොකුරු (Galaxy Clusters) විවිධ ප්‍රමාණයන්ගෙන් එක් වී ඇති පද්ධතියකි. අප වසන පොකුර වන එක අයත් වන්නේ Local Supercluster හෙවත් Virgo Supercluster එකටයි. මෙහි මන්දාකිණි පොකුරු 100ක් පමණ ඇතැයි විශ්වාස කෙරේ. කලක් යනතුරු සිතා සිටියේ විශ්වයේ විශාලතම ව්‍යුහයන් මේවාය කියා ය. නමුත් ප්‍රබල දුරේක්ෂ භාවිතයෙන් මෑතකදී කළ අධ්‍යයනයන් වලින් Superclusters වලටත් වඩා විශාල සූත්‍රිකා (Filaments), ප්‍රාකාර (Walls) වැනි අති විශාල පද්ධතීන් විශ්වයේ ඇතැයි සොයාගෙන තිබේ. නමුත් මේ එකක් වත් ගුරුත්වයෙන් බැඳී නැති අතර එක පොදියට පිහිටා ඇති අතර Voids නම් ඒවා අතර ඇති විශාල හිස් ඉඩ ප්‍රමාණ වලින් වෙන්වී ඇති නිසා ව්‍යුහයන් ලෙස නිර්ණය කෙරේ. මේවාට කිසිදු නිශ්චිත හැඩයක් නැති අතර පොදුවේ super cluster complexes යන නම ව්‍යවහාර කෙරේ.
බෞද්ධ විශ්ව න්‍යාය වේදය සහ නූතන විශ්ව න්‍යායවේදය යන විෂයන් අධ්‍යයනය කරන කිසිවෙක් මෙම පද්ධතීන් සන්සන්දනය නොකළ යුතුය. ඊට හේතුව නූතන විද්‍යාඥයන් අතර නූතන විද්‍යාවේ, මහා පරිමාණ විශ්ව ආකෘතිය (large scale structure of universe) පිළිබඳ කිසිදු එකඟතාවන් නොමැති වීමයි. මෙහි එන කරුණු බොහෝමයක් සොයාගන්නට යෙදුනේ 90දශකය අග භාගයේදී සහ 21වන සියවසේදී ය. එම කරුණු දිනපතා කරන සොයාගැනීම් හරහා දිනපතාම වෙනස් වීම් වලට භාජනය වේ. එසේම Dark matter, Dark energy වැනි උභතෝකෝටිකයන් ගැන තවමත් නිසි අවබෝධයක් විද්‍යාඥයන් අතර නැත. Dark matter යන සංකල්පය කරළියට පැමිණියේ ම මන්දාකිණි වල ස්කන්ධය පිළිබඳ මතුවූ ගැටලුවක් නිසා ය. එනම් ගණිතමය වශයෙන් බලන විට තිබිය යුතු ලෙස පෙනෙන ස්කන්ධය නිරීක්ෂණයෙන් දැකිය නොහැකි හෙයිනි. (මේ නිරීක්ෂණය මුල් වරට කරන ලද්දේ 1933 දී Fritz Zwicky නම් විද්‍යාඥයා විසිනි). අප සෑම දෙයක්ම නිරීක්ෂණය කරන්නේ විද්‍යුත් චුම්බක තරංග ආධාරයෙනි. විද්‍යුත් චුම්බක තරංග වලට හසු නොවන දෙයක් ඍජුව හෝ වක්‍රව කිසිදු ආකාරයක පරීක්ෂාවකින් තහවුරු කළ හැකි නොවේ. වත්මන් විශ්ව න්‍යායවේදීන් ද මුහුණදී ඇති ගැටලුව මෙයයි. පුදුමයකට මෙන් නිවන හෝ සුර ලෝක පිළිබඳ බෞද්ධ මතය විවේචනය කරන ඇතැම් බක පණ්ඩිතයන් මේවා දන්නේ නැත. ඔවුන් සිතා සිටින්නේ පරීක්ෂණාත්මකව තහවුරු කළ නොහැකි කිසිදු දෙයක් සැබෑවට පවතින්නේ නැතැයි කියා ය.

නැවතත් Dark Matter දෙසට හැරෙමු. තවත් විද්‍යාඥයන් පිරිසක් තර්ක කරන්නේ Dark Matter ආශ්‍රිත මෙම ස්කන්ධ ගැටලුව ඇතිවන්නේ නිව්ටන් නියම හරිහැටි අවබෝධ කර නොගැනීම නිසායැයි කියා ය. ඔවුනට අනුව අප දැනට භාවිතා කරන නිව්ටන්ගේ දෙවන නියමය වැරදි ය. අප සෑම විට ම ත්වරණයෙන් ගමන් කරන වස්තුවක් සඳහා F=ma සමීකරණය යෙදීමට පුරුදුව සිටියත් ත්වරණය ඉතාමත් කුඩා වන මන්දාකිණියක් වැනි පද්ධතියකට එය එසේ යෙදිය නොහැක. ඒ වෙනුවට F=ma සමීකරණය මෙසේ වෙනස් වේ.
F=m.µ(a/a0).a
µ(a/a0)=µ(x)
ලෙස ගනිමු
|x|≫1 විට µ(x)=1
0 <|x|≪1 විට µ(x)=x ද වේ
මෙහි;
m= වස්තුවේ/මන්දාකිණියේ ස්කන්ධය,
a= වස්තුවේ/මන්දාකිණියේ ත්වරණය,

a0
= නිර්ණය කළ යුතු නියතයක්.
a0=1.2×10−10 ms−2 බව පසුකාලීන අධ්‍යයන වලින් හෙළි වී ඇත. මන්දාකිණි වල ත්වරණය ඉතා අවම නිසා (1.2×10−10) ඒවා ගණිතමය සමීකරණයන්ට නැංවීමේදී µ(x) පදය විශාල කාර්ය භාරයක් ඉටු කරයි. එමගින් ඳුරු පදාර්ථය තුළ ගැබ්ව ඇති ස්කන්ධ ගැටලුව විසඳෙනු ඇති බවට ඇතැම් විද්‍යාඥයෝ විශ්වාස කරති. 1981 දී Mordehai Milgrom විසින් ඉදිරිපත් කළ මෙම න්‍යාය හැඳින්වෙන්නේ Modified Newtonian Dynamics (MOND) යන නමිනි. විද්‍යාවේ නව පැතිකඩක් විවර කිරීමට මෙය සමත් වුවද ගුරුත්ව කාච ආචරණය ආශ්‍රිත ගැටලු පැහැදිලි කිරීමට මෙය අපොහොසත් වීම නිසා මෙය තවමත් බහුතර විද්‍යාඥ පිරිසක් අතර පිළිගැනෙන්නේ නැත. 2004 දී Jacob Berkenstein විසින් ඉදිරිපත් කළ TeVeS (Tensor-Vector-Scalar) නම් සාපේක්ෂතා MOND න්‍යාය (Relativistic MOND theory) හරහා මුල් න්‍යාය තුළ පැවති ප්‍රශ්න බොහොමයක් විසඳුන ද තවමත් ඒය සර්ව සම්පූර්ණ තත්ත්වයේ නැත. නමුත් තවමත් බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ පැරණි Dark Matter න්‍යායයි. ඒ එම න්‍යාය සත්‍ය නිසා නොව ඊට අභියෝගයක් එල්ල කිරීමට අනෙක් න්‍යායන් අසමත්ව ඇති නිසා පමණි.

මා මේ කරුණු ඉදිරිපත් කළේ නූතන විශ්ව න්‍යායවේදය පැටලී සිටින පඹගාල කුමක්දැයි ඔබට මඳක් හෝ අවබෝධ කරගැනීම පිණිස ය. මේ කිසිවක් නොදැන ඇතැම් පුද්ගලයන් නිවන හා මානසික ස්තර 31 පර්යේෂණාත්මකව ඔප්පු කළ නොහැකි යැයි පැවසීම ඉතා කණගාටුදායක තත්ත්වයකි.

මෙහිදී පැහැදිලි කළයුතු තවත් කරුණක් තිබේ. එනම් විශ්වයේ මහා පරිමාණ ආකෘතිය පිළිබඳ නූතන විද්‍යාත්මක අ(න)වබෝධයයි. නූතන විද්‍යාවට අනුව විශ්වය වසර බිලියන 13.7ක් පමණ පැරණි ය. මේ පිළිබඳ විවිධ තර්ක ඇති බව මා කලින් ලිපියක සඳහන් කරන ලදී. එම නිසා ඒ ගැන නැවත නැවත කීමට යන්නේ නැත. නමුත් නූතන විද්‍යාවට අනුව විශ්වයේ ව්‍යුහය ගැන අපූරු කරුණු සොයාගෙන ඇත. මා කලින් සඳහන් කළ මන්දාකිණි, මන්දාකිණි පොකුරු, සුපිරි මන්දාකිණි පොකුරු යනාදී සියල්ල අයත් වන්නේ නිරීක්ෂණය කළහැකි විශ්වය (Observable Universe) ටයි.

Obsevable universe යනු අපට පෙනෙන විශ්වයයි. අපට පෙනෙන විශ්වයක් ඇත්තම් අපට නොපෙනෙන විශ්වයක් ද තිබිය යුතු ය. අපට පෙනෙන විශ්වය යනු නිරීක්ෂකයා කේන්ද්‍ර කරගත් අරය ආසන්න වශයෙන් ආලෝක වර්ෂ බිලියන 46.5ක් පමණ වූ ආසන්න වශයෙන් ගෝලාකාර වස්තුවකි. නමුත් එහි අදහස විශ්වයේ මධ්‍යය පෘථිවිය බව නොවේ විශ්වයේ කුමන තැන සිට බැලුව ද එය වටා පෙනෙන ලෝකය (විශ්වයේ) අරය ආලෝක වර්ෂ බිලියන 46.5කි. ඇතැමුන්ට මෙය ආගන්තුක සංකල්පයක් විය හැක. මන්ද නූතන අයින්ස්ටයිනීය සාපේක්ෂතාවාදය මගින් යම් වස්තුවක් ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගමන් කිරීමට බාධක දමන බැවිනි. ඔව් එය සැබෑ ය! නමුත් අවකාශය යනු තවත් එක් වස්තිවක් නොවේ. අවකාශය ප්‍රසාරණය වන්නේ අවකාශය තුළ ම ය. එසේම අවකාශ කාලය පැතලි (flat) දෙයක් නොවේ. අවකාශ කාලය වක්‍ර වී ඇත. එම නිසා විශ්වයේ වයස අවුරුදු බිලියන 13.7ක් වූ පමණින් (ප්‍රතිවිරෝධතා ගහණ ය) විශ්වය ද අරය ආලෝක වර්ෂ බිලියන 13.7ක් වූ ගෝලයක් වීමට අවශ්‍ය නැත. අඩුම තරමින් විශ්වය ගෝලයක් දැයි කියා වත් නූතන විද්‍යාව නොදනී!

නූතන විද්‍යාවම අනුමාන කරන පරිදි සැබෑ විශ්වය අප දකින විශ්වයට වඩා බෙහෙවින් විශාල ය. එය කොතෙක් දැයි කිවහොත් අප දකිනා සහ නොදකින විශ්වය අතර ප්‍රමාණ අනුපාතය
ms−2 ට අඩු නිසා ඒ තුළ අවම වශයෙන් 1:1023 ත් 1:1026ත් අතර වේ. මෙය සාපේක්ෂව සඳහන් කළහොත් අපට පෙනෙන විශ්වය දොඩම් ගෙඩියක් නම් නොපෙනෙන විශ්වය පෘථිවිය තරම් විශාල ය! (සාපේක්ෂ පරිමාණය 1:1024). අපට එසේ නොදැකිය හැකි කොටසක් තිබීමට හේතුව එතරම් ඈතක සිට විද්‍යුත් චුම්බක තරංග අප වෙත ඒමට හැකියාවක් නැතිකම ය. අප ඈත මන්දාකිණි කියා දකින්නේ අතීතයයි. කෙනෙකුට කාලය හරහා පිටුපසට යෑමට ඇති එකම ක්‍රමය ඈත තරු එළිය දෙස බලා සිටීමයි. එපමණක් ද නොවේ. ක්‍රම ක්‍රමයෙන් අපට පෙනෙන විශ්වයේ ඇති දෑ ද නොපෙනී යමින් තිබේ. ඊට හේතුව නම් ඈත ඇති මන්දාකිනි අපේ එකේ සිද්ධි ක්ෂිතිජයෙන් (Event horizon) එපිටට වැටීමයි. එබැවින් තවත් දීර්ඝ කාලයකින් ක්ෂීරපථය අඳුරු විශ්වයේ තනි වනු ඇත.

දැන් නැවතත් බෞද්ධ විශ්ව න්‍යායවේදය දෙසට යොමුවෙමු. සහස්සී චූලනිකා ලෝක ධාතුවෙන් නිර්මාණය වී ඇත්තේ ජනාවස වූ ලෝක 1000 කිනි. සහස්සී චූලනිකා ලෝක ධාතුවෙන් පිටත එහි වැසියන් හට නොපෙනෙන ලෝක ගණන අපමණ ය. නූතන විද්‍යාව එය පිළිගනී. පෙනෙන විශ්වය තුළ ඇති බිලියන 80ක් පමණ වන මන්දාකිණි හැරුණු විට ඉන් පිටත ද අනන්තවත් වූ මන්දාකිණි පිහිටා ඇති බව එය කියයි. එසේම නූතන විද්‍යාවට දැකිය හැක්කේ විද්‍යුත් චුම්බක විකිරණ විමෝචනය කරන වස්තූන් පමණි. එසේ නොමැති කිසිවක් දැකීමට ඊට හැකියාවක් නොමැති බව අඳුරු පදාර්ථය පිළිබඳබ නිර්මාණය වී ඇති ගැටලුවෙන් පෙනී යයි. සුරලෝක, බ්‍රහ්ම ලෝක පෙනෙන්නේ නැත්තේ මන්දැයි විමසන ඇත්තන්ගේ තර්ක අතේ පත්තු වන්නේ දැන් ය.

බුදුරජාණන් වහන්සේට විශ්වය කරුණු එකින් එක පැහැදිලි කිරීමේ අවශ්‍යතවක් නොවුණි. ක්‍රි.පූ. 6වන සියවසේ ඉන්දීය ජන සමාජයේ ජනතාව එකක් තබා ඉර වටේ පොළොව යන බව වත් දැන සිටියේ නැත. එවන් තත්ත්වයක් තුළ උන්වහන්සේ දේශනා කළ විශ්වය පිළිබඳ කරුණු අකාලික-හැමදාටම ගැළපෙන ලෙස දේශනා කිරීම සැබැවින්ම ආශ්චර්යයකි.

අවසාන වශයෙන් අප බෞද්ධ පරිණාම විශ්ව න්‍යායවේදය (Temporal Cosmology) දෙසට යොමුවෙමු. මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ විශ්වයේ එක් එක් මට්ටම් වල සම්භවය, පැවැත්ම, විනාශය යන කරුණුයි. බුදු දහමේ විශ්වය පිළිබඳ කරුණු වලදී යෙදෙන ප්‍රධානතම කාල මානන ඒකකය කල්ප, නැතහොත් මහා කල්ප (Great Eon) වේ. මහා කල්පයක අගය වත්මන් කාල ඒකක වලින් සඳහනක් නැත. නමුත් එය අනිවාර්යයෙන්ම පෘථිවි වර්ෂ බිලියනය ඉක්මවා ගියහොත් මිස ඊට අඩුවන්නේ නැත. සෑම කල්පයකට වතාවක් ම සෑම ලෝක ධාතුවක්ම (ස්තර 14 සිට පහළට ) විනාශ වී නැවත හටගැනීම සිදුවේ. මෙම මහා කල්පය නැවත වරක් උප කොටස් (Eons) 4කට බෙදේ. එම එක් එක් කල්පය ද නැවත වරක් අන්තර් කල්ප (Inside Eons) 20 කට බෙදේ.

ප්‍රධාන බෙදීම් 4න් එකක් වන සාම්වට්ඨ ස්ථායී කල්පය තුළදී මෙම උප බෙදීම් හුදු නාමයන් පමණක් වන අතර එහිදී විශේෂ සිදුවීම් කිසිවක් වන්නේ නැත. එම ප්‍රධාන බෙදුම් කොටස් හා ඒ එක් එකක් තුළදී සිදුවන ක්‍රියා කෙටියෙන් මෙසේ ය.
  1. විවට්ඨ කල්පය -- Eon of Evolution : මෙය ලෝක ධාතුවේ ආරම්භක අවස්ථාවයි. මෙහිදී විශාල කැළඹීම් මගින් විශාල භෞතික ව්‍යූහයන් නිර්මාණය වීමට පටන්ගනී. මේ සඳහා අමුද්‍රව්‍ය ලැබෙන්නේ කලින් විනාශ වූ ලෝක ධාතුවෙහි වූ මූලද්‍රව්‍ය වලිනි. නූතන විද්‍යාවටත් මෙය පොදු ය. එහිදී ද විශ්වයේ තැනුම් ඒකකය වූ හයිඩ්‍රජන් මූලද්‍රව්‍යය, අණුක වළා (Molecular Clouds) ලෙස ගුරුත්වය යටතේ එක්වීමට පටන්ගනී. අනතුරුව එම අණු, මධ්‍යය වටා ඉතා ප්‍රචණ්ඩ ලෙස පරිභ්‍රමණය වීමට පටන්ගනී. එහිදී තවතවත් අණු එම වළාවට එක්වීමට පටන්ගනී. අවසානයේ එම සමස්ත පද්ධතියේ ස්කන්ධය එක් නියත අගයක් (Jeans Mass) ඉක්මවා ගිය විට තම ගුරුත්වය යටතේ එම අණුක වළාව බිඳවැටීමට පටන්ගනී. ජීන්ගේ ස්කන්ධය අත්කර නොගත් අවස්ථා වලදී ද අණුක වළා අතර ගැටුම්, සුපර්නෝවා වලින් නික්මෙන ගුරුත්ව තරංග හා නියුට්‍රිනෝ ධාරා, මෙන්ම අණුක වලා සහ අතර ඇතිවන ගැටුම් යනාදියෙන් නික්මෙන කම්පන තරංග (Shock Waves) යනාදී බාහිර බලපෑම් මත මෙය සිදුවිය හැක. එමගින් මධ්‍ය තාරකාව නිර්මාණය වන අතර වටේ ඇති අණු වලින් accretion disk එකක් සෑදී ජීවී පැවැත්මට උචිත ග්‍රහලෝක ඇතුලු ග්‍රහ පද්ධති බිහිවේ. ලෝක බිහි වූ පසුව වඩාත් ඉහළින් ඇති, විනාශ නොවූ ලෝක ධාතු වලින් ජීවීන් පැමිණ, ජීවයට උචිත ග්‍රහලෝක අතර සංචාරය කිරීමට පටන්ගනී. ඒවා අතර ගමන් කරන විට ඔවුන් ඒවා නැරඹීමට වන් කල්හි ඒ කෙරෙහි ආශාවක් ඔවුන් තුළ ජනිත වේ. ඊට හේතුව නම් ඒවායේ සුන්දරත්වයයි; එහි ඇති ද්‍රව්‍ය ආහාරයට ගත්විට දැනෙන ප්‍රණීත රසයයි. මෙම රසයන්ට සිත ඇදී ගිය කල්හි ඔවුනට ඔවුනගේ කලින් පැවති අධ්‍යාත්මික දියුණුව පිරිහීමට් පටන්ගනී (ධ්‍යානයක් ලැබූ විට එය මහත් උත්සාහයෙන් යුතුව රැකගත නොහැකි වුවහොත් ඉන් පිරිහී පහළට ඇද වැටීමට වැඩි කාලයක් ගත නොවේ). අවසානයේ ඔවුන් කලින් තිබූ සියලු සම්පත් අහිමි, නවතම ජීවී ප්‍රජාවක් බවට පරිණාමය වේ. ඔවුන් අතර කලින් නොතිබූ දුෂ්චරිතයන් හටගනී. දුෂ්චරිතයන් වැඩිවෙමින් යන විට 14වන මානසික ස්තරයේ සිට පහළට, එක් එක් ලෝක පිරෙමින් යාමට පටන්ගනී. එම එක් එක් ලෝකය ද නැවත නැවතත් පරිණාමය වේ. (බුදු දහම හැරුණුකොට පරිණාමවාදය පිළිගන්නා එකම දහමක් වත් මෙලොව නැත). උදාහරණයක් ලෙස මනුෂ්‍ය ලෝකයේ ඉපදෙන ජීවීන් ක්‍රම ක්‍රමයෙන් තමන්ට ආවේණික අර්ථ ක්‍රමයක් නිර්මාණය කරගන්නා අතර දේශපාලන ව්‍යුහයක් ද නිර්මාණය කරගනී. ඊට හේතුව නම් මිනිසුන් කණ්ඩායම් අතර බෙදීම්, කළකෝලාහල, හැළහැප්පීම් ඇතිවීමයි. එම තත්ත්වයන් පාලනය කිරීමට මුලුමහත් මානව වර්ගයාටම එක් නායකයෙකු බිහිවේ. ඔහු "මහා සම්මත" (the great appointed one) නමින් හැඳින්වේ. (වැඩිදුර කරුණු : අග්ගඤ්ඤ සූත්‍රය, දීඝ නිකාය, 27 වන සූත්‍රය)
  2. විවට්ඨ ස්ථායී කල්පය -- Eon of Evolution-Duration : පළමු අන්තර් කල්පය : විවට්ඨස්ථායී කල්පය ආරම්භයේදී පළමු ජීවීන් නරකයන්හි බිහිවේ. මෙහිදී අපාය යනුවෙන් ස්ථිර දෙයක් නොපවතින බව සැළකුව මැනවි. ජීවීන් නැති කාලයේ කිසිදු ලෝකයක් පවතින්නේ නැත. විවට්ඨස්ථායී කල්පයේ පළමු අන්තර්කල්පයේදී ද ලෝකය පාලනය කරන්නේ චක්‍රවර්ති නම් තනි රජ කෙනෙකි. මෙවැනි රජවරු 7 දෙනෙක් පහළ වේ. ඒ සෑම කෙනෙක්ම නිශ්චිත කාලයක් (මහා සුදස්සන නම් එවන් චක්‍රවර්ති රජ කෙනෙකුගේ වසර 336 000ක් දක්වා දිවෙන පාලන කාලය ගැන මහා සුදස්සන සූත්‍රයෙහි - දීඝ නිකාය, 26 වන සූත්‍රයෙහි - සඳහන් වේ) මානව වර්ගයා පාලනය කොට ශ්‍රමණ ජීවිතයකට ඇතුළත් වේ. නමුත් මෙම පරපුරේ 7 වන රජු පමණක් නියමිත කාලයේ පාලනය තම අනුප්‍රාප්තිකයාට භාරදීමට අකැමැති බේ. මේ නිසා මානව වර්ගයාගේ පාලනය පාලන තන්ත්‍රයෙන් ගිලිහී ගොස් ලෝකය අරාජික වේ. හොරකම, දූෂණය වැඩිවේ. අවසානයේ මානව සංහතිය කොටස් කිහිපයකට කැඩී යයි. අවසානයේ මානවයාගේ ආයු කාලට 80000 සිට 100 දක්වා අඩු වේ. මෙම කාල පරිච්ඡේදය තුළ බුදුවරුන් සිව් දෙනෙකු මානව ලෝකයෙහි පහළ වේ (ගෙවී යන්නේ මහා භද්‍ර කල්පයක් නිසා බුදුවරුන් 5 දෙනෙකු විවිධ කාල ප්‍රාන්තරයන් තුළ පහළ වේ. වෙනත් කල්ප වල එසේ නොවීමට ඉඩ ඇත. උදාහරණයක් ලෙස මෛත්‍රී බුදුරජාණන් වහන්සේහ්ගෙන් අනතුරුව බුදු කෙනෙක් නැවත පහළ වන්නේ කල්ප 59කිනි). මානවයාගේ වයස අවුරුදු 40000 දී කකුසඳ බුදුරජාණන් වහන්සේ ද, 30000 දී කෝනාගමන බුදුරජාණන් වහන්සේ ද 20000දී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ද පහළ වේ. අවසාන වශයෙන් , මෙම අන්තර් කල්පයේ අවසන් බුදුරජාණන් වහන්සේ වන ගෞතම බුදුන් වහන්සේ පහළ වන්නේ මානවයාගේ සාමාන්‍ය වයස අවුරුදු 100 ක් වන විට ය. මානවයාගේ ඉතිරි කාල පරිච්ඡේදය දුෂ්චරිතයෙන් ගහණ ය. ඔවුන්ගේ ආයු කාලය 100 සිට 10 දක්වා පහත වැටේ. සියලුම ආකාරයේ දුෂ්චරිතයන් ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන අතර මහා යුද්ධයකින් සියල්ල අවසාන වේ. එමගින්, මානව වර්ගයාගෙන් ඉතා සුළු පිරිසක් හැර අන් සියලු දෙනාම මියයන අතර පළමු අන්තර් කල්පය අවසන් වේ (කොතරම් සාධාරණ තර්කයක් ද? මානව වර්ගයා සතුව අද පවතින න්‍යෂ්ටික අවි ප්‍රමාණය, පෘථිවිය මත මානව හා ජෛව ප්‍රජාව කිහිප වරක් විනාශ කර දැමීමට සමත් ය). දෙවන අන්තර් කල්පය : යුද්ධය අවසන් වීමෙන් අනතුරුව සැඟවී සිටි ගුණදහම් රැකගෙන සිටි මානව පිරිස නව ශිෂ්ඨාචාරයක් පෘථිවිය මත ආරම්භ කරති. ඔවුන් යහපත් ලෙස කල් ගෙවීම නිසා වසර 10 සිට 80000දක්වා ඔවුන්ගේ ආයු කාලය දික් වේ. මෙය කාලයත් සමඟ සිදුවන ක්‍රියාවලියක් බව සැළකුව මැනවි. මේ කාලය වනවිට සංඛ නම් චක්‍රවර්තී රජ කෙනෙක් මානව වර්ගයා පාලනය කරයි. ඔහුගේ කාලයේදී තුසිත දිව්‍යලෝකයේ වැඩවෙසෙන නාථ නම් බෝධිසත්තවයන් වහන්සේ මානව වර්ගයා අතර අජිත ජන නමින් ඉපිද මෛත්‍රෙය යන නමින් බුද්ධත්වයට පත්වේ. තවත් කල්ප ගණනාවකට ඉන් අනතුරුව බුදු කෙනෙක් පහළ වන්නේ නැත. එම බුදුන් වහන්සේගෙන් අනතුරුව නැවතත් මානව වර්ගයා පිරිහීමට ලක්වේ. කලින් සිදු වූවා සේම අන්තර් කල්පයෙන් අන්තර් කල්පය ගතවේ. අවසානයේදී 19 වන අන්තර් කල්පය අවසානයේ මානවයාගේ ආයු කාලය 80000දක්වා දික් වූ විට එය නැවත අඩුවීම ඇණහිටී. විවට්ඨස්ථායී කල්පයේ අවසානය එයයි.
  3. සාම්වට්ඨ කල්පය -- Eon of Dissolution : සාම්වට්ඨ කල්පය යනු විවට්ඨ කල්පයෙහි විරුද්ධ අවස්ථාවයි. එනම් මෙහිදී එක් එක් ජීවීන් එක් එක් මානසික ස්තරයෙන් පහළට යාම සිදු නොවී එහි විරුද්ධ අතට, එනම් එක් එක් ස්තරයෙන් ඉහළට යාමට පටන් ගනී. මේ අනුව නිරයේ ඉපදුණු ජීවීන් තිරිසන් ලෝකයේ ද, තිරිසන් ලෝකයෙන් අසුර ලෝකයට ද වශයෙන් ක්‍රම ක්‍රමයෙන් ගමන් කරමින් අවසානයේ 14 වන මානසික ස්තරයෙන් ඉහළට සියලුම ජීවීන් ගමන් ගනී. බ්‍රහ්ම ලෝක ජීවීන්ගෙන් පිරී යයි. මෙසේ reverse order එකට සිදුවීම් සිදුවීම නූතන විද්‍යාවට අලුත් සංකල්පයක් නොවේ. නූතන විද්‍යාවේ එන එක් විශ්ව මොඩලයක් (Cosmological Model) වන Closed Universe ට අනුව සිදුවන්නේ මෙයයි. එනම් විශ්වයේ ඝනත්වය වැඩිවීම නිසා යම් අවස්ථාවක ප්‍රසාරණය නැවතී නැවතත් විශ්වය ගුරුත්වය යටතේ බිඳවැටීමයි. එහිදී සියලු සිදුවීම් නැවත පිටුපසට (Reverse order එකට) සිදුවේ. නමුත් තාපගති විද්‍යාව දෙවන නියමය මීට බාධා එල්ල කරයි. එනම් විශ්වයේ සසම්භාවී ස්වභාවය (Entropy) වැඩිවනවා මිස අඩුවිය නොහැක යන තර්කයයි. නමුත් ආපසු අතට සිදුවන ක්‍රියාවලි නූතන විද්‍යාව තුළ ද පවතින වැදගත් සංකල්ප වේ. සාම්වට්ඨ කල්පය අවසානයේ ලෝක ධාතුව ගින්නෙන් විනාශ වී යයි. කල්ප 8කට වරක් සාම්වට්ඨ කල්පයක් අවසානයේ සමස්ත සහස්සී චූලනිකා ලෝක ධාතුවම ජලයෙන් විනාශ වී යයි. කල්ප 64 කට වරක් සාම්වට්ඨ කල්පයක් අවසානයේ සමස්ත මඣ්ඣිමනිකා ලෝක ධාතුවම සුළඟින් විනාශ වී යයි.
  4. සාම්වට්ඨ ස්ථායී කල්පය -- Eon of Dissolution-Duration : මෙහිදී සමස්ත ලෝක ධාතුව ම තුළ පවතින්නේ ශූන්‍යත්වයයි. එහි අලුතෙන් සිදුවන දෙයක් නැත. අන්තර් කල්ප පවා සිදුවී වලින් තොරව ගෙවී යයි.
බෞද්ධ පරිණාම විශ්ව න්‍යායවේදය මෙසේ ය. බුදු දහම යනු පරිණාමය පිළිබඳ විද්‍යාවකි. සෑම සත්ත්වයෙකු ම පරිණාමය (Evolve) වන බව මුල් වරට දේශනා කළේ බුදුරජානන් වහන්සේ විසිනි.

අවසාන වශයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබේ. එනම් ලෝකාවසානය පිළිබඳ විවිධ මතයන් ය. මෙහි එන ගින්නෙන් ලෝකය විනාශ වීම, ජලයෙන් ලෝකය විනාශ වීම හා සුළඟින් ලෝකය විනාශ වීම යන කරුණු ඇතැමුන්ට ආගන්තුක විය හැක. නමුත් නූතන විශ්ව න්‍යායවේදය තුළ ද මෙම කරුණු පතින බව සිහිපත් කිරීම වටී.

උදාහරණයක් ලෙස, අපගේ සූර්යයාගේ ජීව කාලය අවසානයේ, තව වසර බිලියන 5කින් පමණ සූර්යයා රතු යෝධ තාරකාවක් (Red Giant Star) බවට පත්වේ. මෙහිදී සූර්යයා කොතරම් විශාල වේදැයි කිවහොත් අඟහරු කක්ෂයෙනුත් ඉවතට යන ගණනට සූර්යයාගේ අරය වැඩිවේ. මේ වනවිට පෘථිවිය ඇතුලු මුලු මහත් සූර්යග්‍රහමණ්ඩලයම සූර්යයාගේ ගිනිදැල් වලට හසුවී විනාශ වේ. මින් අදහස් කෙරෙන්නේ කල්පයක් අවසානයේ ගින්නෙන් විනාශ වී යන ලෝක ධාතුව පෘථිවිය බව නොවේ. මා ඉදිරිපත් කරන්නේ ගින්නෙන් ලෝකයක් විනාශ වී යෑම අරුමයක් නොවන බව ය.එපමණක් ද නොවේ කාලයෙන් කාලයට සිදුවන මන්දාකිණි ගැටීම් (Galactic Collisions) නිසා ද ඇතැම් ලෝක විනාශ වී යයි. ඊට හේතූන් වන්නේ ගැටීම් වලින් හටගන්නා ප්‍රබල කම්පන තරංග (Shock Waves) ය. සුළඟ යනු අන්වායාම තරංග වලින් හටගන්නා කම්පන තරංගයන්හි ප්‍රතිඵලයක් වන අතර අන්තර් මන්දාකිණි කම්පන තරංග (Galactic Shock Waves) යනු ද අන්වායාම තරංග විශේෂයක් වේ.

එපමණක් ද නොවේ. විශ්වයේ අවසානය සිදුවිය හැක්කේ කෙසේ ද යන පැනයට නූතන විද්‍යාඥයන් දෙන පිළිතුරක් තුනකි. ඒවා මෙසේ ය:
  1. Open Universe : විශ්වයේ ප්‍රසාරණය වීමේ වේගය අවම කිරීමට සමත් පදාර්ථ ප්‍රමාණයක් එහි අන්තර්ගත නොවේ නම් විශ්වය සදාකාලිකව ම ප්‍රසාරණය වනු ඇත. 1998දී කරන ලද Type 1a Supernovae අධ්‍යයනයන් මගින් විශ්වය ත්වරණයකින් ප්‍රසාරණය වන බැව් සොයාගෙන තිබේ. මේ අනුව දිගින් දිගටම ප්‍රසාරණය වෙමින් යෑමේදී සිදුවනු ඇත්තේ යම් දිනෙක අප වටා ඇති සියලුම මන්දාකිණි අපගේ නිරීක්ෂණාත්මක විශ්වයෙන් (Observable Universe) ඈත්ව ගොස් ක්ෂීරපථය පමණක් "අපගේ" විශ්වයේ තනි වීම ය. එවිට අන්තර් මන්දාකිණි ගුරුත්ව බලපෑම් (Inter galactic gravitational effects) නැති වී, අප වාසය කරන ලෝක වලට බාහිර විශ්වයෙන් ලැබෙන ශක්තීන් නොමැති වී සියලුම ලෝක "සිසිල් මරණයකට" මුහුණදීම ය. විශ්ව න්‍යායවේදීන් මෙවන් අවස්ථාවකට භාවිතාකරන වදන වන්නේත් පුදුමයකට මෙන් Cold Death යන්නයි. දැනට ඔවුන් විශ්වාස කරන පරිදි වඩාත්ම වියහැකි (likely) විශ්වාවසානය මෙයයි.
  2. Flat Universe : විශ්වයේ යම් නිශ්චිත පදාර්ථ ඝනත්වයක් (Critical Density, Ω=(1 හෝ 2) × 10-26 kg/m3) ඇති අවස්ථාවකදී එය සංකෝචනයත් නොවී, දිගින් දිගටම ත්වරණයකින් ප්‍රසාරණයත් නොවී, සංකෝචනය වීම වැලැක්වීමට අවශ්‍ය යම් නියත ප්‍රවේගයකින් පමණක් ප්‍රසාරණය වේ. නමුත් ඉතා සුලු ඝනත්ව වෙනසකින් මෙම තත්ත්වය දෙපැත්තෙන් එක් පැත්තකට පරිවර්තනය විය හැක. මෙය හරියට පිහි තලයක් මත පැන්සලක් සමබර කිරීමට සමාන ය. එබැවින් විද්‍යාඥයෝ මෙය සිදුවිය නොහැකි සිදුවීමක් ලෙස දකිති. (දැනට සොයාගෙන ඇති පරිදි විශ්වයේ ඝනත්වය මීට වඩා සියගුණයකින් පමණ අඩු වේ. එය ආසන්නව ඝන මීටරයට පරමාණු 0.2ක් පමණි).
  3. Closed Universe : යම් හෙයකින් විශ්වයේ ඝනත්වය උක්ත ඝනත්වයට (Critical Density, Ω) වඩා වැඩි නම් විශ්වය තම ගුරුත්වය යටතේ බිඳවැටේ. අනතුරුව එහි තිබෙන සියලුම පදාර්ථ එකට පොදියකට ගොනු වී "තාපමය මරණය"කට විශ්වය භාජනය වේ. මෙය විද්‍යාඥයන් හඳුන්වන්නේ heat death යනුවෙනි.
නමුත් මේ හරහා බෞද්ධ විශ්ව න්‍යායවේදය සහ නූතන විශ්ව න්‍යායවේදය ඍජු ලෙස සන්සන්දනය කිරීම උචිත නොවේ. අවසාන වශයෙන් කිව යුත්තේ බෞද්ධ විශ්ව න්‍යායවේදය යනු ස්ථිර (Definite) විෂයක් බවයි.

35 comments:

෴ .:GiniMakara :.෴ said...

Good Logical explanation. Keep it up!

Harindu Mohottala said...

බුදු දහමේ මෙවන් ( හැමෝම නොදන්නා ) පැති ගැන විස්තරාත්මක ලිපි දිගටම පලවේයැයි බලාපොරොත්තු වෙනවා.

කලින් ලිපියේ ඇති වූ ප්‍රශ්න වලට පිලිතුරු දී තිබුනු ආකරය ප්‍රශන්සනීයයි.මේ ලිපියටද එවැනිම විකාර තර්ක එල්ල වේ යැයි බලාපොරොත්තු වෙනවා.( එවැනි ප්‍රශ්න වලට පිලිතුරු ලෙස මතුවන වැදගත් කරුණු නිසා )

ස්තූතියි...

Anonymous said...

මම ලියන්න හිතාගෙන ඉන්න කතෝලික විශ්ව න්‍යායවේදය ගැන ලිපියකට හොද point එකක් චමිතගෙන් ලැබුනා.ඒකට ස්තුතියි.උපහාරයක් විදිහට ඔන්න ඒ පොයින්ට් එක පල කලා මෙතනම
///a0=1.2×10−10 ms−2 බව පසුකාලීන අධ්‍යයන වලින් හෙළි වී ඇත. මන්දාකිණි වල ත්වරණය ඉතා අවම නිසා (1.2×10−10) ඒවා ගණිතමය සමීකරණයන්ට නැංවීමේදී µ(x) පදය විශාල කාර්ය භාරයක් ඉටු කරයි. එමගින් ඳුරු පදාර්ථය තුළ ගැබ්ව ඇති ස්කන්ධ ගැටලුව විසඳෙනු ඇති බවට ඇතැම් විද්‍යාඥයෝ විශ්වාස කරති. 1981 දී Mordehai Milgrom විසින් ඉදිරිපත් කළ මෙම න්‍යාය හැඳින්වෙන්නේ Modified Newtonian Dynamics (MOND) යන නමිනි. විද්‍යාවේ නව පැතිකඩක් විවර කිරීමට මෙය සමත් වුවද ගුරුත්ව කාච ආචරණය ආශ්‍රිත ගැටලු පැහැදිලි කිරීමට මෙය අපොහොසත් වීම නිසා මෙය තවමත් බහුතර විද්‍යාඥ පිරිසක් අතර පිළිගැනෙන්නේ නැත. 2004 දී Jacob Berkenstein විසින් ඉදිරිපත් කළ TeVeS (Tensor-Vector-Scalar) නම් සාපේක්ෂතා MOND න්‍යාය (Relativistic MOND theory) හරහා මුල් න්‍යාය තුළ පැවති ප්‍රශ්න බොහොමයක් විසඳුන ද තවමත් ඒය සර්ව සම්පූර්ණ තත්ත්වයේ නැත. නමුත් තවමත් බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ පැරණි Dark Matter න්‍යායයි. ඒ එම න්‍යාය සත්‍ය නිසා නොව ඊට අභියෝගයක් එල්ල කිරීමට අනෙක් න්‍යායන් අසමත්ව ඇති නිසා පමණි///
මා මේ කරුණු ඉදිරිපත් කළේ නූතන විශ්ව න්‍යායවේදය පැටලී සිටින පඹගාල කුමක්දැයි ඔබට මඳක් හෝ අවබෝධ කරගැනීම පිණිස ය. මේ කිසිවක් නොදැන ඇතැම් පුද්ගලයන් "දෙවියන් වහන්සේ,ස්වර්ගය/නිරය" පර්යේෂනාතමකව ඔප්පු කල නොහැකි යැයි පැවසීම කනගාටුදායක තත්වයකි.
thank you chamitha

සූස්ති ගුනේ said...

මෙව්වට කියන්නෙ හීන කොදෙව්වෙ කරණං ගහනවා කියලා. හිහි..

මහෞෂධ said...

@Anනොන් ඇන්ඩ් සුස්ති ගුනේ කොමපැනි

ඔන්න අයෙත් පටන් ගත්තා එහෙනම්.. i love these joකර්'s

"දෙවියන් වහන්සේ,ස්වර්ගය/නිරය"

බුදු දහමේ කොතැනකවත්, දෙවියන් වහන්නේ නැත යැයි කියා තිබේද? දෙව්ලොවක් නැත යැයි කියා තිබේද? අපාය වල් නැත යැයි කියා තිබේද?(මෙකෙත් කියන්නේ ඒවා තිබෙන බව නොවෙද?)

ඔව් ඉතින් අපි කිව්වනේ මෙවා බයිලා විද්යාවෙන් ඔප්පු ක‍්රන්න බැරි බව, දැන් කියනවා එහෙනම් "දෙවියන් වහන්සේ,ස්වර්ගය/නිරය" ඇත්ත කියලා පිලිගන්න කියලා..

බුදුන් වහන්සේ කියා ඇත්තේ සිටියත්, කරන්න පුලුවන් ඔක්කොම පව් ක‍රලා, දෙවියන් වහන්සෙගේ කකුල් දෙක අල්ලලා යාඥ්ඥා කල පමනින් සියලු පව් සෝදා හැරිය නොහැකිය බවය. තමන්ගේ කිර්යා වලට තමන් වගකිවයුතු බවය..(කර්මය පලිසන් දෙන්වා කියන්නේ ඒකටය), දෙවියන්ට ලෙඩ සුවකල නොහැකි බවය, නිවන් දැකිම දක්වා තමා විසින්ම ක‍රගතු බවය.

බයිලා විද්යාව වැරදුනු පමනින්, කතෝලික ආගම සත්ය වෙන්නේ නැති බව ඔප්පු නොවෙන බව නොතේරෙන බව නම් පැහැදිලිය.

සත්යනම් අර අපි ඉදිරිපත් කල ආක‍්රයට ප්ර්වාදයක් (theory) මගින් ඉදිරිපත් ක‍රන්න

හ‍රියට ත‍ර්කයක් ඉදිරිපත් ක‍රගත නොහැකි බව පෙනේ..

කමක් නැ ඔය ලියන ලිපිය කොහොද තියෙන්නේ කියන්නකො දෙයියනේ..

Chamitha said...

@ ගිනි මකරා : බොහොම ස්තූතියි

@ තරිඳු: බොහොම ස්තූතියි. ඔබ කියන කතාව ඇත්ත.

@ ඇනො: හෙ හේ..... සමීකරණ ටිකක් දැක්ක ගමන් බයවෙන්න එපා. ඕක ඇතුලෙ තියන කතාව හරිම සරලයි. තේරුණේ නැත්තං අතෑරල දාන්න. යමක් සත්‍යය යැයි පිළිගැනීමට එය පරීක්ෂා කර බැලිය හැකි ක්‍රමයක් තිබිය යුතුමයි. නමුත් ඉන් අදහස් වන්නේ නැහැ එය නූතන විද්‍යාවේ පරීක්ෂණ ක්‍රමවේදයම විය යුතු යැයි කියා. ඔබ පෙන්වන්නේ නූතාන විද්‍යාවේ පර්යේෂණ ක්‍රමවේදය එහි ම එන න්‍යායක් ඔප්පු කරගන්න බැරුව දඟලන අවස්ථාවක්. ඒ හැර වෙනත් යමක් එහි නෑ.

විශ්වාසයන් බෞද්ධ ධර්මයෙන් වෙනස් වන අන්දම මා කලින් ලිපියේත් එහි කමෙන්ට් වලත් දිගින් දිගටම පැහැදිලි කළා. ඒ නිසා එම කරුණු නැවත නැවතත් මෙහි පුනුරුච්ඡාරණය කිරීමට අවශ්‍ය නැහැ.

ඔබේ කතෝලික විශ්ව න්‍යායවේදය පිළිබඳ ලිපියෙදි මම බලාපොරොත්තු වෙනවා පොළොව වටේ ඉර යන්නෙ ඇයි කියන පැනයට පිළිතුරක්. දැන් ඒ ප්‍රශ්නය මඟහැරලා අහන්න එපා ආභස්සර බ්‍රහ්ම ලෝකය තියෙන්නෙ කොහේද කියලා. මොකද එවන් කරුණු විද්‍යාවෙන් සත්‍ය යැයි ඔප්පු කරලාත් නැහැ අසත්‍ය යැයි ඔප්පු කරලාත් නැහැ. නමුත් පොළොව වටේ ඉර යනවා කියන එක නම් අසත්‍ය යැයි ඔප්පු කරලා තිබෙනවා. මෙතැන තිබෙන වෙනස ඒකයි. ඉතා හොඳින් වටහාගන්න!

@ මහෞෂධ : ඔබ මතුකළ කරුණ ඉතාම වැදගත්.

බුදුන් වහන්සේ කියා ඇත්තේ සිටියත්, කරන්න පුලුවන් ඔක්කොම පව් ක‍රලා, දෙවියන් වහන්සෙගේ කකුල් දෙක අල්ලලා යාඥ්ඥා කල පමනින් සියලු පව් සෝදා හැරිය නොහැකිය බවය. තමන්ගේ කිර්යා වලට තමන් වගකිවයුතු බවය..(කර්මය පලිසන් දෙන්වා කියන්නේ ඒකටය), දෙවියන්ට ලෙඩ සුවකල නොහැකි බවය, නිවන් දැකිම දක්වා තමා විසින්ම ක‍රගතු බවය.

බයිලා විද්යාව වැරදුනු පමනින්, කතෝලික ආගම සත්ය වෙන්නේ නැති බව ඔප්පු නොවෙන බව නොතේරෙන බව නම් පැහැදිලිය.


මෙන්න මේකයි හරය. වටේ යන්නෙ නැතුව දර්ශනයක/දැනුම් පද්ධතියක හරය හාරා අවුස්සා බලන මෙන් හැම දෙනාගෙන් ම ඉල්ලා සිටිනවා.

සක්වලයා said...

///මෙහිදී විශාල කැළඹීම් මගින් විශාල භෞතික ව්‍යූහයන් නිර්මාණය වීමට පටන්ගනී. මේ සඳහා අමුද්‍රව්‍ය ලැබෙන්නේ කලින් විනාශ වූ ලෝක ධාතුවෙහි වූ මූලද්‍රව්‍ය වලිනි. නූතන විද්‍යාවටත් මෙය පොදු ය.///
හරියට big bounce තියරිය වගේනේ.

Anonymous said...

චමිත සහ මහෞෂධ-
නැහැ මහත්වරුනි ඔයාල අදාල නැති කතානෙ කියන‍්නෙ.තර්කයේ මැදින් අල්ලගන්නෙ නැතිව ඇයි කෙලවරවලින් අල්ලන්නෙ?
ඔයාලගේ තර්කය- බයිලා විද්‍යාව වැරදියි.හැමදේම ආනුභූතික නැහැ.ඒ නිසා ආභස්සර බ්‍රහ්ම ‍ලෝක යනුවෙන් දෙයක් ‍තිබෙන බව පිලිගන්න.
මගේ තර්කය - බයිලා විද්‍යාව වැරදියි.හැමදේම ආනුභූතික නැහැ.ඒ හින්ද සර්වබලධාරී දෙවියන්වහන්සේ සහ ස්වර්ගය තියෙනවා.ඒ බව පිලිගන්න.
ඔයාල කොහොමද දැන් මගේ තර්කය වැරදියි කියල කියන්නෙ?මගේ පදනමත් ඔයාලගෙ පදනමමයිනෙ.:D
දෙවියන්ට ලෙඩ සුව කරන්න බැහැ කියල කොහොමද ඔයාල කියන්නෙ?බයිලා විද්‍යාවට ඔප්පු කරන්න බැරි වුනාට උන්වහන්සේට ඒක කරන්න පුලුවන්.ඒක කරන හැටි ඇහැට පේන්නේ නැහැ.
තමන්ගෙ අරක්කු වලින් තමන්ටම වදින කොට මාර ජොලි නේද?

මහෞෂධ-බුදු හාමුදුරුවෝ "දෙවියො"ගැන කියල තිබුනට සර්ව බලධාරි දෙවියන් හෝ ස්වර්ගය ගැන කියල නැහැ.මගේ ප්‍රවාදය කෙටියෙන් උඩ ඉදිරිපත් කරල තියෙනවා.වැඩි විස්තර සදහා ශුද්ධ වූ බයිබලය බලන්න.ඔයාල බ්‍රහ්ම ලෝක ගැන කියන ආතල් කතන්දර (ප්‍රවාද) වගේ ෆුල් ෆන් ගන්න පුලුවන් කතන්දර (ප්‍රවාද) ඒකෙත් තියෙනවා.
චමිත-
//යමක් සත්‍යය කියල පිලිගන්න ඒක ඔප්පු කරන්න ඕනෙ.හැබැයි ඒ ඔප්පු කරන ක්‍රමය බටහිර විද්‍යාවේ එන ක්‍රමයම විය යුතු නැහැ//
මේ ඔබේ අලුත්ම තර්කය.එතකොට බ්‍රහ්ම ලෝක ගැන "ඔප්පු කරල" තියෙන්නෙ මොන "පර්යේෂන ක්‍රමවේදය"ට අනුවද?දැන් කියයි භාවනා කල රහතුන් ඒක දැකල තියෙනවා කියල.(ඔබ විනාඩි 10ක් භාවනා කරා කීව‍ට බ්‍රහ්ම ලෝක පෙනුන කියල මම හිතන්නෙ නැහැ)
ඒක නම් ඔබේ ඔප්පු කිරීමේ ක්‍රමය මටත් දෙවියන් වහන්සේ ගේ සර්වබලධාරිත්වය ඔප්පු කරන්න ක්‍රම තියෙනවා.දෙවියන් ගැන භක්තිය වඩවාගෙන රාත්‍රී ආහාර නොගෙන උන්වහන්සේ උදෙසා දිගටම යාඥා කරන්න.එවිට උන්වහන්සේගේ ආලෝකය ඔබට දර්ශනය වේවි.
ඒක එහෙම කරල නැති ඔබ කො‍හොමද දෙවියන් වහන්සේගේ සර්වබලධාරිත්වය ප්‍රතික්ෂේප කරන්නෙ?එහෙම කරපු දිවැසිවරුන් තමයි (ඔයාලගේ රහතුන් ත්‍රිපිටකයේ ලියුව වගේ)බයිබලයේ දෙවියන්ගේ ආශ්චර්යය ගැන ලියල තියෙන්නෙ.

පොලොව වටා ඉර යාම ගැන-ඔයා කොහොමද කියන්නෙ පොලොව ඉර වටේ යනවා කියල?ඒක එහෙමයි කියන්නෙ බයිලා විද්‍යාවනේ.දැන් ඔයාල බයිලා විද්‍යාවට විරුද්ධයි නේද?ඉර වටා යාමත් ජීවියාගේ ඉන්ද්‍රීයයන්ට සාපෙක්ෂ වෙන්නබැරිද?මිනිසුන්ට (බයිල විද්‍යාවට) පොලොව ඉර වටේ යනවා වගේ පෙනුනට වෙනත් සතුනට ඒක අනිත් පැත්තට පෙනෙනවා වෙන්න බැරිද?පොදු යථාර්තයක් නැහැනෙ.තියෙන්නේ තම තමන්ගේ ඉන්ද්‍රියයන්ට සාපේක්ෂ "මගේ ලෝකවල්නෙ".ඊනියා බ්‍රහ්ම ‍ලෝක වල පැවැත්ම ප්‍රතික්ෂේප කරන බයිලා විද්‍යාව පදනනමින්ම එපා කියන ඔයාල මේවයේදි විතරක් බයිලා විද්‍යාවේ සරන යාම ගැන අපි හිනාවෙන්නද?අඩන්නද?
විද්‍යාව බයිලා එකක් නිසා දැන් මරු.අපිට එක එක විශ්ව න්‍යායවේදවල් හදාගන්න පුලුවන්.ඔයාල බෞද්ධ එකක්.මම කතෝලික න්‍යායවේදය.හින්දු න්‍යායවේදය,ඉස්ලාම්,කොන්ෆියුසියස් etc etc.
බයිලා විද්‍යාව/භෞතිකවාදය භංගවේවා!ආගමික උන්මාදයට ජයවේවා!

සූස්ති ගුනේ said...

යකෝ ඇනොනි! පව් කියල හිතෙන්නැද්ද බං ... ඔහොමම කපන්න එපා. මම දැං කශියා ගහන කොට බයිට් ගන්නෙම නැහැ.. හීන කොදෙව්ව බැලුවම බුදු බයිට් එකක් නෙ..

Chamitha said...

ඔයාලගේ තර්කය- බයිලා විද්‍යාව වැරදියි.හැමදේම ආනුභූතික නැහැ.ඒ නිසා ආභස්සර බ්‍රහ්ම ‍ලෝක යනුවෙන් දෙයක් ‍තිබෙන බව පිලිගන්න.
මගේ තර්කය - බයිලා විද්‍යාව වැරදියි.හැමදේම ආනුභූතික නැහැ.ඒ හින්ද සර්වබලධාරී දෙවියන්වහන්සේ සහ ස්වර්ගය තියෙනවා.ඒ බව පිලිගන්න.
ඔයාල කොහොමද දැන් මගේ තර්කය වැරදියි කියල කියන්නෙ?මගේ පදනමත් ඔයාලගෙ පදනමමයිනෙ.:D
ඔබේ සංකල්පය සම්පූර්ණයෙන් ම වැරදියි. නූතන විද්‍යාව සම්පූර්ණයෙන්ම වැරදි බව මා පිළිගන්නේ නැහැ. නමුත් එහි භෞතිකවාදී බව පිළිබඳ මා ප්‍රබල විවේචකයෙක්. හැමදේම ආනුභූතික නැති බව මම කියනවා. එසේම ආභස්සර බ්‍රහ්ම ලෝක පවතින බව මා පිළිගන්නවා. ඒ සඳහා මට නූතන භෞතික විද්‍යාවෙන් කොළ එළිය එනකන් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. නමුත් මා ඔබට එය පිළිගන්න කියන්නේ නැහැ. හේතුව එය ඔබ සිටිනා පටු ආකල්පය හා නොපෑහෙන නිසා!

බෞද්ධ සහ අනෙත් ආගම් වල දේව සංකල්ප එක සමාන නැහැ. (මේක මම කියන්නෙ කීවෙනි පාරට ද මන්දා) එම නිසා ඔබ කියන "මගේ තර්කය" වැරදියි. හේතුව තමයි ඔවුනට අනුව දෙවියන් වහන්සේ යනු නාමික පුද්ගලයෙක්. එහි පැවැත්ම තියෙන්නේ පොතේ පමණයි. එය පරීක්ෂා කර බැලිය හැකි ක්‍රමවේදයක් නැහැ. නමුත් බෞද්ධ දේව සංකල්පය පරීක්ෂා කර බැලිය හැකියි. පරීක්ෂා කර බැලිය හැක්කේ ඒ සඳහා පෙන්වා දී ඇති පරීක්ෂා ක්‍රමයක් මගින්. එය බෞද්ධ දර්ශනයේ "ආර්ය පර්යේෂණය" නමින් නම් කර තිබෙනවා. (වැඩිදුර විස්තර සඳහා ආර්ය පර්යේෂණ සූත්‍රය කියවා බලන්න. මම මේක කියන්නෙ සූත්ති, ඇනෝ ඩබලට නෙවෙයි. ඊට වඩා මොළේ තිබෙන අයට! මොකද මේ දෙන්න පොතක් පතක් කියවන උන් නෙවෙයිනෙ. හික්. අඩුගානෙ ලිපිය වත් අවබෝධයෙන් නොකියවනකොට අනෙක් පොත් ගැන කුමන කතාද?)

ආර්ය පර්යේෂණය කියන්නෙ දුක සහ දුකට හේතුව පරීක්ෂා කර බැලීමයි. එය නිවැරදිව සොයාගෙන ඊට පිළියම් යෙදීමයි මෙම පරීක්ෂණයෙ අභිමතාර්ථ. ඒ සඳහා බෞද්ධ විදර්ශනා භාවනාව අවශ්‍යයි. සමථ භාවනා ක්‍රම සහ විදර්ශනා භාවනාව අතර තිබෙන්නෙ අහසට පොළොව තරම් පරතරයක්. එමෙන්ම විදර්ශනා භාවනාව එන එකම දර්ශනය බුදු දහම පමණයි. වෙනත් භාරතීය වෛදික ආගම් වල තියෙන්නෙ සමථ භාවනායි. මේ භාවනා වලින් අවශ්‍ය නම් මැජික් පෙන්විය හැකියි. ඇනෝ තාම භාවනාවෙන් පෙන්වන මැජික් ගැන දන්නේ නැති නිසාත් ඒ ගැන සොයාබැලීමට උවමනාවක් නැති නිසාත් ඔහුට මේවා ජෝක් වෙන්න පුලුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මැජික් භාවනා හෙළාදැක්කා. ඒවා අත්‍යාවශ්‍ය ම වුවහොත් හැර භාවිතා නොකරන්න යැයි කියා ශ්‍රාවකයන්ට නීති පැනෙව්වා.

දැන් අපේ සූත්තියා ආපහු අර යල්පැන ගිය hallucination කතාව ඇදල ගනියි ද දන්නෙ නැහැ. මම කලින් වතාවක ඔය hallucinaton කතාව බෞද්ධ භාවනාවට අදාළ නොවන බව සෛද්ධාන්තිකව පෙන්නුවා.

Atheist දෙවියන් සහ බෞද්ධ දෙවියන් අතර වෙනස ඔය වගේ යි. අනික බුදු දහමේ දෙවියන් හා මානව වර්ගයා අතර කිසිම අන්තර්ක්‍රියාවක් නැහැ. ඒ දෙවියන් උන්ගෙ පාඩුවේ ඉන්නවා අපි අපේ පාඩුවේ ඉන්නවා. ඒ නිසා කවුරුහරි දෙවියන් කියා කෙනෙක් කොහේවත් නැහැයි කියා එය සත්‍යාපනය කළත් බෞද්ධ දර්ශනයට එහි බලපෑමක් නැහැ. මන්ද බෞද්ධ දර්ශනයේ හරය වෙනම එකක් නිසා. (නමුත් භාවනාව හරහා මනුෂ්‍යයෙකුට වුවද දෙවියෙක් විය හැකිය කියා මම කියනවා) නමුත් අර කලින් කිව් Atheist දෙවියන් අරභයා එම ප්‍රශ්නය ඉතාම බරපතළයි.

Chamitha said...

මොකද එම ආගම් සම්පූර්ණයෙන් ම රඳා පවතින්නේ දෙවියන් මතයි. දේව සංකල්පය බිඳ වැටෙනවා කියන්නේ එම ආගම් බිඳ වැටෙනවා කියන එකයි. හේතුව? මිනිසා මවන්නෙත් දෙවියන්, මිනිසා පාලනය කරන්නෙත් දෙවියන්, මිනිසාගේ පරලොව තීරණය කරන්නෙත් දෙවියන්. බෞද්ධ ධර්මයේ දෙවියන්ට ඒ වගේ විධායක බලතල නැහැ. මම නැවතත් මතක් කරනවා (මොකද ඔය ඩබලට ඉක්මනට කරුණු අමතක වන නිසා) බෞද්ධ් ධර්මයේ පදනම චතුරාර්ය සත්‍යය. දෙවියන්, බ්‍රහ්මයන් යනු බෞද්ධ දර්ශනයේ subordinate සංකල්පයක් පමණයි.

මම විනාඩි 10යි භාවනා කළේ කියල මම කොහෙවත් කියලා නැහැ. මම ඔබට අභියෝග කළේ විනාඩි 10ක් "සතිපට්ඨාන භාවනාව" කරල එන්න කියලා, එමගින් ඔබට සිතේ ස්වභාවය අපූරුවට තේරුම් ගන්න පුලුවන් නිසා. ඔබේ සිත මගින් ඔබ මුලාවට ගෙනයෑමටත් ආලේකයට ගෙන යෑමටත් හැකියාව තිබෙනවා. එය තේරුම් ගැනීමට නම් සිතේ ස්වභාවය හරි හැටි හඳුනාගත යුතුයි. (මේ කරුණ ඇනෝ සූත්ති ඩබලට නෙවෙයි: සිත යනු මායාවක් බවත්, සැබැවින් ම සිත කියා ස්ථිර යමක් නොපවතින බවත් සිත යනු නාම-රූප දෙකිහි බිඳෙමින් ඇතිවෙමින් ගලායන ස්වභාවය පමණක් බවත් භාවනාවෙන් කෙනෙකුට අවබෝධ කරගත හැකියි)

බෞද්ධ දර්ශනයේ කොතැනක වත් දෙවියන් බඹුන් දැකීමට හෝ ඔවුන්ගේ ආලෝකය දැකීමට අසවල් දෙය කළ යුතුයැයි කියා නැහැ. එසේම දෙවියන්ට කන්නළවු කිරීම/යාච්ඥා කිරීම (praying) සහ භාවනාව අතර කිසිම සම්බන්ධයකුත් නැහැ.

යාච්ඥාව සහ භාවනාව අතර වෙනස නොදන්නා කෙනෙකුට පිළිතුරු සැපයීමට සිදුවීම මගේ අවාසනාවක් ලෙස මම සළකනවා. ඔබ දැනගන්න, භාවනාව යනු ඊනියා විද්‍යාත්මක සංකල්පයක්. එමෙන්ම භාවනාව ගැන ඊනියා නූතන විද්‍යාත්මක පර්යේෂණ රාශියක් සිදුවී ඇති සහ සිදු වෙමින් පවතින බව. ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට විශ්ව විද්‍යාල වල භාවනාව පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථාන පවා පිහිටුවා තිබෙනවා. නමුත් මා කවදාවත් අසා නැහැ යාච්ඥාව ඊනියා විද්‍යාත්මකයි යැයි කීමට කිසිවෙකුත් මේ තාක් කාලයකට උත්සාහසක් වත් දරා ඇති බව. ඔබ තවමත් කියනවාද යාච්ඥාව හා භාවනාව සන්සන්දනය කළ හැකි යැයි කියා?

ඔබ කියනවා මම නූතන විද්‍යාව සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා කියා. නැහැ. මම කොතන වත් එහෙම කියා තිබෙනවා දැයි බලන්න. නමුත් ඔබ කියන එක කරුණක් මම පිළිගන්නවා. අර පොළොව වටා ඉර යාම ඉන්ද්‍රීය සාපේක්ෂයි කියන එක. හැම ආගමකට ම වැරදුණේ ඔතැනදි. නමුත් පුදුම හිතෙන කාරණය නම් විශ්ව න්‍යායවේදය ගැන මේ තරම් කරුණු කියන බෞද්ධ ධර්මය කොතැනකදි වත් පොළොව වටා ඉර යනවා කියන ඉන්ද්‍රීය ගෝචර මායාවට හසුවී ඒ බව කියපු නැති එක. ඔබ හිතන්නෙ ඒක අහම්බයක් කියලද?

මෙතැන තිබෙන්නේ ආගමික උන්මාදයක් නොවන බවත් තර්කානුකූල විශ්ලේෂණයක් බවත් අවසාන වශයෙන් කියන්න ඕනෙ.

Chamitha said...

දැන් මෙතන බුදු බයිට් එක කවුද කියල කියන්නකෝ. අර එක සැරයක් මහා ලොකු තර්ක දාගෙන ඇවිත් එක පාරටම අන්තරස්ධාන වුණෙත් ඔය ඩබලම නේ? ලොල්... හොඳ වෙලාවට ඔය දෙන්න ඇත්ත නමින් පෙනී හිටින්නෙ නැත්තෙ. නැත්තං වස ලැජ්ජාව. හික් හික්......
අනේ බං උඹල එනව අපිව බයිට් කරන්න. lmao...

මහෞෂධ said...

@ඇණ මහතා

"ඔයාලගේ තර්කය- බයිලා විද්‍යාව වැරදියි.හැමදේම ආනුභූතික නැහැ.ඒ නිසා ආභස්සර බ්‍රහ්ම ‍ලෝක යනුවෙන් දෙයක් ‍තිබෙන බව පිලිගන්න.
මගේ තර්කය - බයිලා විද්‍යාව වැරදියි.හැමදේම ආනුභූතික නැහැ.ඒ හින්ද සර්වබලධාරී දෙවියන්වහන්සේ සහ ස්වර්ගය තියෙනවා.ඒ බව පිලිගන්න."

ඇණ මහතා ඇණ ගෙන ඇති බව පෙනේ.

මෙන්න මගේ තර්කය

1. බයිලා විද්‍යාව වැරදියි (මට අනුව "partial true" ත් නොවේ) සියල්ල මනස විසින් නිර්මානය ක‍රන, ලෝකයා විසින් මා වෙත පටවන ලද දැනුම වෙ.

මතක තියාගන්න, පොල්ගෙඩි වැටෙන්නේ ගුරුත්වාකර්ෂ්නය නිසා නොවේ. පොල්ගෙඩි වැටෙන නිසා ගුරුත්වාකර්ෂ්නය පවති.

දැන් අයින්ස්ටන් මහතාට අනුව ගුරුත්වාකර්ෂ්නය කිය දෙයක් නැත. එවිට ප්ර්ශ්නයක් නැගේ එසෙනම් පොල්ගෙඩි වැටෙන්නේ ඇයි? එයට ඔහු කියන්නේ "අවකාශ් කාලයේ ව‍ක‍්ර වීමක්" ඇති බැවින් පොල් ගෙඩි වැටෙන් බවය. හෙට තව එකක් කියන්න පුලුවන් නොවෙ කියනවාය.

මෙ සියල්ල නිර්මානය ක‍රන ලද දැනුම වෙ. දැනුම නිර්මානය කරන්නේ පංච් ඉන්දියන්ගෙන් ලැබෙන් සන්න්ග්හා අනුව මනස විසින් සංස්ක‍රනය ක‍රගන්නා දේ දැනුම ව්ශයෙන් සිතිමට අපි පුරුදු වි ඇත. දැනුම නිර්මානය කිරිමට හේතුව අවිද්යාවයි.


2. බුදු දහමට අනුව මේ ලොක්ය පිලිබද අවබොධය ලබා ගන්නේ (දැනුම නොවෙ ලොකය පිලිබද අවබොධය මතක තියාගන්න, මෙ වචන ඉතා වැදගත්) ප්ර්ත්යක්ශ මගිනි.

3. ප්ර්තය්ක්ශ සියලුම දෙනාට අවබොධ නොවෙ. මනස දියුනු අයට පමනක් අව්බොධ වෙ. දෙවියන්වහන්සේගී කට්ටියට අනුව නම් සියලු දෙනා මවා ඇත්තේ සමානව නිසා මනසද සමානය. එහෙත් එම කට්ටියම, චමිතව ඉන්ජිනේරුවෙක් ක‍්රන අත‍්ර, මම ප‍රිග්නක විද්යවට යවන අත‍ර, තවත් අයෙක් පිස්සු විද්යාලේට ඇතුලත් කොර නොගනි.එකම දේ එකම ආකර්යට ඉගැන්ව්වත් එකම ප‍්රශ්න උත්ත‍්ර ලිව්වත් මනසවල් වෙනස්ය.

4. මනස දියුනු ක‍රගත හැකි ක‍්රම්ය භාවනාවයි.. මෙ ගැන පිටු 10,000 පොතක් ලිවිමට තරම් කරුණු සහ ක‍්රම සහ විධි බුදුන් වහන්සේ ඉදිරිපත් ක‍්ර ඇත. (ඔක්කොම මෙහි විස්ත‍්ර කල නොහැක)

5. එලේස මනස දියුනු ක‍ර ගත් පුද්ගලයෙකුට මෙවා ප්ර්තක්ශ වෙ.

එමනිසා බ‍්හම ලෝක් පවති.

"ඇණ තර්කය"

1. බයිලා විද්‍යාව වැරදියි.(හ‍රි)

2. හැමදේම ආනුභූතික නැහැ.(හ‍රි)

3. ඒ හින්ද (මොකක් හින්දාද?

මේ ටික හිස්ය හෝ බාල බොලදය )

සර්වබලධාරී දෙවියන්වහන්සේ සහ ස්වර්ගය තියෙනවා.

ඒ බව පිලිගන්න.

මහෞෂධ said...

also watch this, this related to the point 4.

http://www.youtube.com/watch?v=div3NnAIoYU&feature=player_embedded

මී හරකා said...

@චමිත සහ මහෞෂධ,
ඔය ගොන්පාට් මාක්ස්වාදියෝ(සූස්ති ගුනේ සහ Anonymous) කියන එව්වා ගණන් ගන්න එපා. මාක්ස් "ආගම් අබිං" කියපු හින්දා උන්ට කොයිකත් අබිං. අනික අර නලීන් ද සිල්වා උන්දෑ මාක්ස්වාදයට ගහන හින්දා උන්දෑ මොකක් කිව්වත් මුන්ට ඒක හරහටමයි පේන්නේ. නැතුව නලීන් ද සිල්වා උන්දෑ වත් බුදුහාමුරුවො වත් ජේසුතුමා වත් කියන ඒවා අවබෝධයක් ඇතුව දැනගෙන නෙවෙයි මේ එළ හරක් ටික දඟලන්නේ. ඒ හින්දා මේ එළ හරක් රැලට ඔන්න ඔහේ ඉන්න දෙන්න.

ප.ලි. මුන් ටික අපේ වරිගෙ(මී හරක්)ටත් මහා වදයක් වෙලා තියෙන්නේ...

මිගාර said...
This comment has been removed by the author.
මිගාර said...

@ Anonymous

බටහිර රටවල කරනුයේ දෙවියන්වහන්සේ නැත කියා පෙන්වීම නොවේ. දෙවායන් වහන්සේ ඇතොත් ඔහු සර්වබලධාරි නොවන බව පෙන්වා බයිබලය / කුරානය ලත් තැන ලොප් කිරීමය. ඉන් මේවා බොරු නම් අනෙක්වාත් බොරු විය හැකිය යන තර්කය ඇද ගෙන ඒබ්‍රහමික ආගම් වැරදි බව පෙන්වීමට උත්සාහ කරයි. අප දන්නා විද්‍යාවට අනුව දෙවියන් වහන්සේ වැනි පාරභෞතික සංකල්පයක් ඔප්පු කර පෙන්වීමට නොහැකිය.

දැන් අපි නිවන යන සංකල්පය දෙසට හැරෙමුග මෙය ද දෙවියන් වහන්සේ පරිදිම ඇත / නැත ලෙස පෙන්වීම අද අපහසු කාර්යයකි. (නමුත් නිවන් දැක ඇති කෙනෙකු ඇත් නම් මේ ප්‍රශ්නය බොහෝ දුරට විසදෙනු ඇත). නමුත් දෙවායන් වහන්සේ සර්වබලධාරි නොවන බව පෙන්වා දිය හැකි ලෙසට නිවන පරස සැපයක් නොවේ යයි පෙන්වා දිය නොහැක. තවද බුදු දහම යනු නිදහස්ව සිතා බලා සිදු විය නොහැකි දේ බැහැර කර තාර්කික දේ පමණක් තෝරා ගැන්මට උපදෙස් දෙන දර්ශනයකි. මේ නයින් බලන කල ‍ඇතැම් සංකල්ප බුදු දහමට පසුව ඇතුල් වූ බැව් සිතිය හැක (නාගර්ජුන සමයේ විය හැක. singularity යන්න විශලේෂණය වනුයේ මහායාන බුදු දහමේය). අහවල් දෙවියාග් උස, කාල වකවානු ආදිය මෙලෙස පසුව ඇතුළු වූ බව සිතිය හැක. නමුත් න්‍යයාත්මක හරය ගත් කල්හි එහි වූ ගැලපෙන ස්වභාවය හදුනා ගත යුතුය.

Anonymous said...

පොදුවේ බැලූ කල නිදහස්ව සිතන්නන් අඩු බවත් නිදහස් ව නොමැති අය තමන් නිදහස් යැයි මායාවක ජීවත් වන බවත් පෙනී යයි.

චමිත වැන්නන් නලින් ද සිල්වා ද බයිලා පසු පස යෑම රටේ අනාගතය පිළිබඳ අඳුරු ඉඟියකුත් බුද්ධිමතුන් ගේ අන්ධභාවය පිළිබඳ දුකකුත් සිතට නංවා ඇත.

මිගාර මේ ආශ්‍රිතව යම් තාක් දුරකට ගොස් ඇති නමුදු දෙවියන් සර්වබලධාරී නොවන බව පෙන්විය නොහැකි යයි සිතමින් නිවන (ඔප්පු කර නොමැති තවත් සංකල්පයක්) පිළිබඳ දැඩි භක්තියක් තබා ගෙන සිටී.

මෙහි සිදු විය යුත්තේ බටහිර විද්‍යාව හා බුද්ධාගම ගැටීම නොව මනස්ගාත වලින් තොරව සිතීම ගැන සංවාදයක් ගොඩ නැගීමයි. නමුත් මහවුසද නැමැත්තා බටහිර විද්‍යාව හා සූස්ති ගුනේ එකට සම්බනධ කර ගනිමින් ඔවුන් "අනෙකා" කර ගෙන පට්ට ගැසීම දුටුවිට එවැනි සංවාදයක් ලිං ගෙම්බන් සමඟ ඇති කර ගත නොහැකි බව නැවත මගේ සිහියට නංවාලීය.

මිගාර said...

@ chamila

//දෙවියන් සර්වබලධාරී නොවන බව පෙන්විය නොහැකි යයි සිතමින් නිවන (ඔප්පු කර නොමැති තවත් සංකල්පයක්) පිළිබඳ දැඩි භක්තියක් තබා ගෙන සිටී.

ඔබ වරද්දාගෙන ඇත. දෙවියන්වහන්සේ ගේ සර්වබලධාරිත්වය එම ආගමික ග්‍රන්ථ තුළම අභියෝගයට ලක්වී ඇත. එබැවින් උක්ත උපුටනය තුළ වූ ඔබ අදහස වැරදිය. නිවන සම්බන්ධයෙන් දැඩි භක්තියක් මට නැත. එය සර්වබලධාරී දෙවියන් වහන්සේට වඩා පිළිගත හැකි සංකල්පයක් බව ම පෙනෙන නිසාය.

Chamitha said...

@ චමිල: මම නම් නලීන් ද සිල්වා මහතාගේ ගෝලයෙකු හෝ අනුගාමිකයෙකු නොවන බව කිව යුතුය. මා පැහැදිලිව විශ්වාස කරන එකම දර්ශනය බෞද්ධ දර්ශනයයි. බුදුරජාණන් වහන්සේගේ පෞරුෂය (personality) මඟහැර වෙනත් පෞරුෂයන් ඉස්මතු කිරීම හරහා අවසානයේ එම චරිතය වන්දනාවට ලක් වන බව මම අත්දැකීමෙන් දනිමි.

නිවන යනු "නූතන විද්‍යාවේ පර්යේෂණ ක්‍රමයකින්" ඔප්පු කළ සංකල්පයක් නොවන බව මා දනිමි. නමුත් නූතන විද්‍යාවෙන් ඔප්පු කිරීම යනු යමක් සත්‍ය වීම සඳහා අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතාව නොවන බව මා Anonymous ට දුන් පිළිතුරු වල ඇත. එය නැවත විස්තර කිරීමට අවශ්‍ය වේ යැයි නොසිතමි.

Anonymous said...

These days no one attains nibbana. It is enough to conclude that nibbana is a false concept.

Chamitha said...

@ Anonymous : Anyone can attain nibbana at any given time, provided that he or she has completed the primary necessities in the road to nibbana. It is defined lengthily in the quality of Dhamma, 'Akaalika'. There is no proof to say that no one attains nibbana during this time nor anyone attains nibbana nowadays. The reason for the 1st implication is evident. I may not need to explain it. The reason for the second case is that the person who attains nibbana, never boasts of his or her achievement. That's because he or she needs to overthrow their innate quality of self esteem or pride. Therefore you can't conclude that nibbana is unattainable by the mere fact of not seeing Arhaths or Pase-Buddhas in day-to-day life...

පුලස්ති said...

//The reason for the second case is that the person who attains nibbana, never boasts of his or her achievement.//

A nice way to run away from the question.
Then how did the people during Buddha's day "recognised" Arhaths and why can't the people recognize them now?
They say that the people who attained those so called spiritual status can do various miracles.And we have heard that the Arhaths did perform those miracles during the days of buddha.
How come the modern day arhaths do not follow the path of their ancestors?

පුලස්ති said...

And you say that through avoiding Budhda's personality appreciating other personalities is wrong.
Anyway Why do you worship budhdha's personality in the first place?It's because The authoritative institute called the religion has brainwashed you since you were young.The books say that the Budhdha was the "most complete one" and you people just because it has been mentioned in texts, believe them as fools.

Anonymous said...

Well said Pulasthi. It's a pity bold arguement to say nowadays people don't boost when they attain nibbana. I will say this to you. I know it's useless to say this to you Chamitha. Because of Buddhism dnt get destroyed. It's simple as that.

මිගාර said...

//Then how did the people during Buddha's day "recognised" Arhaths and why can't the people recognize them now?

They used to announce it to Buddha himself or their teacher who were senior and had attained nibbana. They don't care whether it's told or not, because nibbana is a private experience. The problem in current setup is that the ones who have attained it keeps it private and even when another person attains it there is no one to announce it to.

//They say that the people who attained those so called spiritual status can do various miracles.And we have heard that the Arhaths did perform those miracles during the days of buddha.

Yes they have done, but Buddha has discouraged it. The number of Arhats with "riddhi" is very minute number and they were the ones with top intelligence and mind power.

//How come the modern day arhaths do not follow the path of their ancestors?

There are people who can do things. I once met a person who claimed he has entered the "Sakurdhagami" stage. He said dogs never bite him. Wanting to check this I tactfully took him to one of my friends house who had a ferocious Doberman dog, well known to bite people. This person just went up to the chained dog and patted it, and the dog was waving it's tail (or what's remnant of it) at him. This dog had bitten more than 10 people up to then. I was impressed, and I think he possesses something.

මිගාර said...

//Anyway Why do you worship budhdha's personality in the first place?
Sorrym you are wrong, We show him gratitude as the teacher and the inventor of Dhamma. It's totally different from worshiping the God.

//The books say that the Budhdha was the "most complete one" and you people just because it has been mentioned in texts, believe them as fools.

The same books and texts say not to believe even if it comes from the mouth of Buddha unless it's logically right. Sorry, Buddhism is not a brainwashing religion like Islam or Marxism.

Now I can draw similarities your argument with science. We believe the scientific texts and we believe that penicillin kills germs. Now we have belived it because it was on a book. Similarly buddhism says reason for suffering is longing. Buddhists believe it. Then to see whether the book is right we give penicillin to a patient with a wound, and we see that the infection subsides. Now according to scientific method we are satisfied that book is correct. Unless we use penicillin, we have to believe the book. Similarly you have to practice meditation to explore your own mind to understand that suffering is due to longing. Unless we try it and prove it to our selves, it is still like penicillin experiment.

Anonymous said...

Migara

Why don't you give up everything and be a monk and try to attain nibbana if you are so sure about it.

මිගාර said...

//Why don't you give up everything and be a monk and try to attain nibbana if you are so sure about it.

It shows that you are totally clueless about buddhism. Attaining first few steps of nibbana can be done leading a normal life. AThere were people who had attained nibbana while they were not monks.Of course after attaining it they have become monks. Sorry, you don't have a damn idea of what you are talking about.

Anonymous said...

mama kasun malith..2012 loka vinashaya gana thiyena matha gana visthara tikak kiyannako..me kathaawa aththa wei da?

Kanishka Dilshan said...

ඔබ හොඳ පැහැදිලිකිරීමක් කරල තියනවා. මම ඊයෙයි ඔබගේ මෙම ලිපි දෙක දැක්කේ. ඔය "සුස්ති ගුනේ" වගේ අයට පිලිතුරු දෙන්න එපා. ඔවුන්ට බ්‍රහ්ම දණ්ඩණය පණවන්න. එම අඤානයන් මෙවැනි ගැඹුරුදෑ වටහා ගැනීමට අසමත්, නියම නමින් පෙනී ඉන්න තරම් කොන්දක් වත් නෑ.
ඔබට තෙරුවන් සරණයි!

ඩිල්-බර්ටි said...

බුදුන් වහන්සෙ වදාලා තියෙන්නෙත්, බෞද්ධ දර්ශනය නුවණැත්තන්ට පමණයි කියලානෙ. ඒකනෙ සහම්පති මහා ඛ්‍රහ්මයා ආරාධනා කරනකම් උන් වහන්සෙ ටිකක් පසුබට වුනේ ධර්ම දේශනා කරන්න. එදත් හිටියා ඔය සූස්ති ගුනේ වගේ අය :) කමක් නැහැ ඉතින් හැම ජාතියෙම අය ඉන්නකොට තමයි ගතියක් තියෙන්නෙ.

මම මේ බ්ලොග් සටහන දකින්නට පෙර මේකෙ පලමුවෙනි කොටසට අදහස් දැක්වුවා. ඒ සමහර දේවල් ගැන වෙනස් මති මතාන්තර තියෙන්න පුලුවන්. ඒවා හුවමාරු කරගන්න කියලා ඉල්ලලා හිටිනවා.

Kanishka said...

නැවතත් නියම ලිපියක්.. මේවගේ දේවල් දිගටම ලියන්න..

Lasitha said...

Excellent effort brother! May triple gem bless you!

Niranjan said...

බුදුදහමේ ගැඹුරු, අවබෝධකරගැනීමට දුෂ්කර තැන් අවබෝධකරදීමට ඔබ ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි. ඔබට බුදු සරණයි!

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.