Pages

Monday, April 20, 2009

කරුණානිධිගේ දේශපාලන විහිලු

තමිල්නාඩු මහ ඇමති මුතුවේළු කරුණානිධි මහතා ලෝකයටම විහිලු සපයන විහිලුකාරයෙකුගේ තත්වයට පත්ව තිබේ.

පසුගිය ඉරිදා (19-04-2009) ඔහු පැවසූයේ LTTE නායක වේලුපිල්ලේ පිරබාහරන් ත්‍රස්තවාදියෙකු නොවන බව ය. "He is my friend. And I'm not a terrorist" ("ඔහු මාගේ මිත්‍රයා ය. එසේම මා ත්‍රස්තවාදියෙකු නොවේ") දකුණු ඉන්දියානු NDTV රූපවාහිනී චැනලය අමතා එසේ පැවසීය. එතෙකින් නොනවතින ඔහු මෙසේ ද පවසයි. "යම්හෙයකින් ඔහු (පිරබාහරන්) ශ්‍රී ලංකා හමුදා අතින් ඝාතනය වුවහොත් තමා අතිශයින්ම කම්පනයට පත්වනු ඇත"

ඒ ඉරිදා ය. මේ සඳුදා (20-04-2009) ඔහු කරන අපූරු ප්‍රකාශයයි.

"LTTEය යනු අන්තවාදී සංවිධානයකි. එය ආරම්භ වූයේ නැක්සලයිට් කල්ලියක් වැනි අන්තවාදී සංවිධානයක් ලෙස නොව විමුක්ති සංවිධානයක් ලෙසයි. නමුත් කාලයත් සමඟ එය අන්තවාදී තත්වයට පත්විය". ඉරිදා ඔහුගේ ප්‍රකාශයට පාලක කොංග්‍රස් පක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධය මේ හදිසි වෙනසට හේතුව බවට සැකයක් නැත. තවදුරටත් අදහස් දක්වන ඔහු මෙසේ ද කියයි "පිරබාහරන් සහ ඔහුගේ සංවිධානය ත්‍රස්තවාදය අතට ගන්නට ඇත. නමුත් එය පිරබාහරන්ගේ වැරැද්ද නොවේ".

මේවා දකින අප හට ඇසීමට තිබෙන්නේ කරුණානිධි මේවා පවසන්නේ රෙදි ඇඳගෙන ද යන්නයි. අද ප්‍රතිපත්තිය හෙට වෙනස් කරන, වාසිය තකා තම මූලික මතවාදයන් පවා පාවාදෙන දේශපාලනඥයන් සිටිනුයේ ශ්‍රී ලංකාවේ පමණක් නොවන බව මෙම උදාහරණය අපට පසක් කරවයි. ඇරඹුණු ඉන්දීය මහ මැතිවරණයේදී දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනතාව දිනාගැනීම ඉහත මුල්ම ප්‍රකාශය පිටුපස පැවති කූට උපාය බව පැහැදිලි ය. නමුත් අනපේක්ෂිත පරිදි පාලක පක්ෂයෙන් එල්ල වූ විරෝධය නිසා ඔහුට සිදු වූයේ රෙදි ගලවා පසෙකින් තබා තම මුල් ප්‍රකාශය මෘදු කිරීමටයි. දැඩි LTTE විරෝධී ස්ථාවරයක සිටි විපක්ෂ නායිකා ජයලලිතා ජෙයරාම් ද මැතිවරණ ජයග්‍රහණය උදෙසා කොටි හිතවාදී වයිකෝ වැන්නන් තම ඔඩොක්කුවේ රොවාගෙන සටන් වදින සන්දර්භයක් තුල කරුණනිධි ද මෙවන් දෑ ප්‍රකාශ කිරීම පිළිබඳ අප පුදුමයට පත්විය යුතු නැත. නමුත් තම ප්‍රකාශය පැය කිහිපයක් තුල තමාටම පාරාවළල්ලක් වීම පිලිබඳව අප ඔහුට අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කළ යුතුය.

ඊට අමතරව ඔහු තවත් අපූරු ප්‍රකාශයක් මෑතකදී කළේ ය. යම් හෙයකින් වේලුපිල්ලේ පිරබාහරන් ශ්‍රී ලංකා හමුදාවට අසු වුවහොත් ඔහුට, ග්‍රීක අධිරාජ්‍ය මහා ඇලෙක්සැන්ඩර්, පෝරස් රජුට සැලකූ ආකාරයට සැලකිය යුතුය යනු එයයි. ඔහු අදහස් කළේ පිරබාහරන් ජීවග්‍රහයෙන් අල්ලාගතහොත් ඔහුට රජෙකුට සමාන අයුරින් සැලකිය යුතුය යන්නයි. නමුත් ඔහු සඟවන එක් කරුණක් තිබේ. එනම් සිංහල ජාතියට, තම සතුරාට සලකන ආකාරය පිළිබඳ කීර්තිමත් ඉතිහාසයක් ඇති බවයි. යුද්ධයෙන් පරාජයට පත්ව ජීවිතක්ෂයට පත්වූ එළාර රජුට දුටුගැමුණු රජු සැලකූ ආකාරය ඔහු නොදන්නේයැයි සිතිය නොහැක.

එසේ නම් එම සිද්ධිය සඟවා අසලක වත් නොමැති ඇලෙක්සැන්ඩර් රජු සම්බන්ධ සිද්ධියක් ඈඳාගැනීමෙන් පැහැදිලිවන්නේ ඔහුගේ කුහකත්වයයි. එක් අතකින් එහි ද පුදුමයක් නැත. මන්ද තම වර්ගයාහේ පරාජයක් වසාගැනීමට ඔහුගේ සිත යොමුවීම ඉතා ස්වභාවික සංසිද්ධියක් වීමයි. නමුත් දෛවෝපගත කරුණ වන්නේ එම විරුද්ධවාදියාගේම භූමිය උදුරාගැනීමට සටන් වැදුණු තම මිත්‍රයා අරභයා නැවතත් උක්ත ඉතිහාසගත පරාජය සිය මුවින්ම අවදි කරවීමට කරුණානිධි දායක වීමයි.....

4 comments:

නිලන්‍ත said...

කරුණානිධි විතරක් නං මොකෝ. ප්‍රභාකරන්ගෙන් මෙච්චර බැටකාපු ලංකාවෙම, සම-හරක් දේශපාලකයොත් මේයකාව බේරගන්න දඟලන දැඟලිල්ල දැක්කම.... කියල වැඩක් නෑ

Unknown said...

සම-හරක් දේශපාලකයො විතරක් නෙමෙයි සම-හරක් මාධ්‍යවේදියොත් ඉන්නවනේ.

Chamitha said...

අනිවාර්යයෙන්ම. ඕකුන්ට රජකාලෙ දඬුවම් තමයි දෙන්න වටින්නෙ..

Anonymous said...

හෙට කියාවිද දන්නෙ නැහැ "ඕක මම නින්දෙන් වෙන්නැති කියන්න ඇත්තේ" කියල. මම හිතුවෙ ඔය ජාතියෙ ලැජ්ජා නැති, ප්‍රතිපත්තියක් නැති, විහිළුකාර දේශ පාළුවො ඉන්නෙ අපේ රටේ විතරයි කියලයි.

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.