Pages

Wednesday, April 22, 2009

ලංකාවේ වටිනාම රාජ්‍ය සේවකයා

ලංකාවේ තනතුරෙන් උසස්ම, එනම් පරිපාලන සේවයේ ඉහළටම ගිය රාජ්‍ය සේවකයා ජනාධිපති ලේකම් ය. එහෙත් වටිනාම රාජ්‍ය සේවකයා කවුද?

දැනට ජනාධිපති ලේකම් ධූරයේ වගකීම දරන ලලිත් වීරතුංග මහතා රටට මහත් සේවයක් කලත් ඔහු නැතත් එම වගකීම දැරීමට පුද්ගලයන් මෙරට සිටියි. අන් කුමන තනතුර ගත්තත් එය දැරීමට පුද්ගලයෙක් සිටින අතර ඔහු ඉන් ඉවත් වුවහොත් ආදේශ කිරීමට තවත් අයෙකු ද සොයාගැනීම එතරම් අපහසු නැත.

ඒ සාමාන්‍ය තත්වයයි. නමුත් මා දැන් කතා කිරීමට යන්නේ ඉන් මුලුමනින්ම අපගමනය වූ පුද්ගලයෙක් ගැනයි. ගණිතමය වශයෙන් ප්‍රකාශ කලහොත් පිටත පිහිටීමක් ගැනයි.

ඔහු අප රටේ අතිශයින්ම වැදගත් තනතුරක් දරන පුද්ගලයෙකි. මේ දිනවල වඩිපුරම කතාබහට ලක්වන චරිතයකි. ඒ අන් කවරෙකුත් නොව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා යි.

මාස දෙකකට වරක්වත් අනිවාර්යයෙන්ම මැතිවරණයක් පවත්වන ශ්‍රී ලංකාවේ ඔහුට පැවරී තිබෙන වගකීම සුලුපටු එකක් නම් නොවේ. ගහ මරාගැනීම අනූන ශ්‍රී ලාංකේය දේශපාලන පොරපිටියේ විනිසුරුවා ඔහු ය. ඡන්දය දැමූ දින රාත්‍රියේ පටන් පසුදා දහවල් වනතුරු ලොකු කුඩා සියලුදෙනාම බලා සිටින්නේ ඔහු දෙස ය. ඉන් පසු හැමෝගේම මතකයෙන් ගිලිහී යන ඔහු නැවතත් මතකයට නැගෙන්නේ තවත් ඡන්දයක් සමඟ ය.

අපේ මේ හොඳටත් හොඳ නරකටත් හොඳ මැතිවරණ කොමසාරිස්තුමාගේ සේවාකාලය අවසන් වීමට තිබුනේ 2002 වසරේ ය. නමුත් අද, 2009 අප්‍රේල් 22 වනදාත් ඔහු සේවයේ යෙදී සිටියි. එතුමා සේවයේ යෙදෙන්නේ ස්ව කැමැත්තෙන් ද නොවේ. හැමදාම ඡන්දයක් අවසානයේ ම පවසන්නේ "අනේ මට යන්න දෙන්න අනේ මට යන්න දෙන්න" කියාය. ඒ ස්වරය දෑස් වලට කඳුළු උනන තරම් ය. නමුත් කියන්නට කණගාටු කරුණ නම් ඔහුට ගැලවීමක් පෙනෙන මානයේ වත් නැති බවයි.

මන්ද මේ වසර මැතිවරණ වසරකි. මහා මැතිවරණයක් ඒමට තිබේ. තව කොතරම් පළාත් සභා, එකී මෙකී නොකී සභා මැතිවරණ පැවැත්වේ දැයි කිව නොහැක. මේ අතර ජනාධිපතිවරණයකුත් මඟ එන ලකුණු පෙනෙන්නට තිබේ. මේවා හේතුකොටගෙන ඔහුට නුදුරු අනාගතයේ නම් විශ්‍රාම යාමට නොලැබෙන බව සක්සුදක් සේ පැහැදිලි ය.

මේ සියලු හේතු හේතුකොටගෙන අද ඔහු තම ඉරණම පිළිබඳ මෙසේ කීවේය. "මරණයෙන් මිස මට නම් මේ කරුමයෙන් ගැලවිල්ලක් නැත."


දයානන්ද දිශානායක මැතිතුමනි, ශ්‍රී ලංකාවේ වටිනාම රාජ්‍ය සේවකයා ඔබයි :)))

2 comments:

said...

හැමදාම ඡන්දෙකදි බැනුම් අහන්නත් එපායැ

Chamitha said...

හෙ හේ... අනේ පවු...

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.