Pages

Saturday, June 6, 2009

දැන් වත් අපේ වැඩක් බලාගන්න අපට ඉඩ දීපල්ලා

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසාන දින කිහිපයේ සිදු වුණා යැයි කියන සිවිල් වැසියන්ගේ මරණ සම්බන්ධව විශාල කතිකාවක් ජ්‍යාත්‍යන්තරය තුල ගොඩනැගී තිබේ. ඊයේ දිනයේ ද මේ ගැටලුව නැවතත් නවතම මුහුණුවරකින් කරලියට පැමිණිනි. ඒ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 'නිල නොවන' අවසානයේ, එහි මහ ලේකම් පැවසූ කරුණක් නිසා ය. අවතැන් වූවන්ගේ තත්ත්වය හොඳ අතට පැමිණෙමින් පැවතීම ගැන සතුට පළකරන අතරම සිදු වූවා යැයි කියන යුද අපරාධ ගැන විධිමත් පරීක්ෂණයක් කළ යුතු යැයි ද ඔහු සඳහන් කළේ ය. නමුත් ඊට සතියකට පෙර එවන් පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි කියා තීරණයකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේම මානව හිමිකම් කවුන්සිලය තීරණයකට එළඹිණි. මේ තීරණය මානව හිමිකම් ගැන උමතුවෙන් මෙන් කෑගසන බටහිර රටවල් වලට මහත් කණගාටුදායක වනවාට කිසිදු සැකයක් නැත.

ඒ නිසා එතැන දී කරගැනීමට නොහැකි වූ කාරිය වෙනයම් ආකාරයකින් හෝ කරගැනීමට ඔවුන් වෙර දරන බව කීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් යනු ඔවුනගේ තවත් ඒජන්තවරයෙකු යැයි කීම අතිශයෝක්තියක් විය හැකි වුවත් ඔහුගේ ප්‍රකාශය උක්ත බටහිර හිවලුන් ප්‍රමුඛ හියුමන් රයිට්ස් වොච් සහ ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් (ක්ෂමා) සංවිධාන යුගලයට කොළ එළි දැල්වීමක් වනු නියත ය.

නමුත් මානව හිමිකම් කවුන්සිලයේදී ලැබූ ජයග්‍රහණයත් සමඟ නිතැතින්ම ශ්‍රී ලංකාවට මේ කිසිදු අණකට හිස නොනමා ඍජුව සිටගැනීමේ වරම ලැබී තිබේ. එහිදී ලංකාව ලැබූ අති උත්කෘෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදයේ යෝධ පිම්මකි. ඒ බව මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා රටවල් අකැමැත්තෙන් වුව ද පිළිගත යුතු ය. එය සැබැවින්ම 1948 දී බටහිරයන්ගේ ග්‍රහණයෙන් අප ලැබූ නිදහසට සමාන ය. ලංකාව ලැබූ ජයග්‍රහණයේ තරම කියාපෑමට පහත කරුණ පමණක් වුව ද සෑහේ. ලංකාව වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ රටවල් 29 හි වෙසෙන මුලු ජනගහනය බිලියන 4කි. ඊට සාපේක්ෂව ලංකාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ රටවල් 12හි මුලු ජනගහනය බිලියන 0.5කි. ඉතින් තවත් කුමන කතාද?

විරුද්ධ පක්ෂයට වඩා 8 ගුණයක, එනම් 89%ක ජන බලයක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ. මහින්ද රාජපක්ෂගේ විශිෂ්ටතම මැතිවරණ ජයග්‍රහණය එය බවට කිසිදු සැකයක් නැත.

එසේම ඊයේ මාධ්‍ය හමුවේදී
බෑන් තවත් දෙයක් ප්‍රකාශ කර තිබේ. එනම් ජයග්‍රහණය සැමරීම නවතා ඇතිවූ තුවාල සුවපත් කරගැනීමට කටයුතු කරන ලෙස ය. තුවාල සුවපත් කරගැනීමට කටයුතු නොකර ජය සමරනවා නම් මෙසේ කීවාට කමක් නැත. නමුත් ශ්‍රී ලංකාව විපතට පත්වූවන්ගේ සුබසිද්ධිය උදෙසා ඉතා උවමනාවෙන් හා කැපවීමෙන් කටයුතු කරමින් පවතී. 280 000ක් වූ පිරිසකගේ සියලු අවශ්‍යතා එක් දිනකින් හෝ එක් සතියකින් ඉටු කළ නොහැක. ඒ සඳහා තරමක කාලයක් අවශ්‍ය වේ. ඊට ඇවැසි කාලය ලබා දෙන අතරම ආධාර කිරීම ජාත්‍යන්තරයේ යුතුකමකි. මන්ද සුලු තුවාලයක්ව පැවති මේ ප්‍රශ්නය මහත් වණයක් බවට පත් කිරීමට දායක වූවේ ඔවුන් වන නිසා ය.

නමුත් ඒ බව කියමින් ජයග්‍රහණය සැමරීමට නිදහස් ශ්‍රී ලාංකිකයාට ඇති අයිතිය අහිමි කිරීමට ඔවුන්ට හැකියාවක් නැත. ජය සැමරීම යනු අනිවාර්යයෙන්ම ජයග්‍රාහකයාගේ අයිතියකි. "ලෝක ඉතිහාසය නිර්මාණය වී තිබෙන්නේ ජයග්‍රාහකයින්ගෙනි, පරාජිතයින්ගෙන් නොවේ". අතීත රජවරුන් ජයග්‍රහණය සැමරූ අන්දම නැවත ඉතිහාස පොත් පෙරළා ඉගෙන ගන්නා මෙන් බෑන් ට සිහිපත් කළ යුතු ය. නූතන ඉතිහාසයේ මෙවන් සුපිරි ජයග්‍රහණයක් කිසිදු රටක් තනිවම ලබා නැත. එබැවින් අන් සියලු රටවල් තුල මේ පිළිබඳව සුලු හෝ ඊර්ෂ්‍යාවක් නොපැවතිය නොහැක.

එබැවින් අප ඔවුනට අනුකම්පා කළ යුතුය. එසේම අනුකම්පාවෙන් ඔවුනට දන්වා සිටිය යුත්තේ දැන් වත් අපේ පාඩුවේ වැඩක් කරගැනීමට අපට ඉඩ දෙන ලෙස ය.

9 comments:

Anonymous said...

"ලෝක ඉතිහාසය නිර්මාණය වී තිබෙන්නේ ජයග්‍රාහකයින්ගෙනි, පරාජිතයින්ගෙන් නොවේ"

සහතික ඇත්ත. නමුත් ජයග්‍රාහිකයා සෑම විටම හරි පැත්ත නොවේ. (ශ්‍රී ලංකාවට මෙය ආදේශ කරලා අපි නරක එවුන් ද කියලා අහන්න එපා)

බැන් කී මුන් ට අතීතය මතක් කර‍ දෙන ගමන් බහුතරයක් ලාංකීකයන්ට මතක් කර දිය යුතු වන්නේ මේ රජ කාලය නොවන බවයි. තුවාල සුවපත් කිරීම ගැන ඔබ දන්නා දේ පැහැදිලිව පවසන්න. මම දන්නා පරිදි නම් යුධ අනාථයෙකුට දවසකට අවශ්‍ය වන කැලරි ප්‍රමාණයෙන් හරි අඩක් වත් දැනට නොලැබේ. ලක්ෂ තුනකට ආසන්න ජනතාවක් අනාථ වී සිටියදී තාමත් සැමරීම සාධාරණීකරණය කරන්නේ කෙසේ දැයි මට වැ‍ටහෙන්නේ නැත.

අවබෝධ කර ගත යුතු අනෙක් කරුණ වන්නේ විරුද්ධ අදහස් සෑම විටම ඩොලර් ප්ලෑන් හෝ අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ නොවන බවයි.

Chamitha said...

1. අවුරුදු 30ක ශාපයේ අවසානය සති 2ක් සැමරීම වැරදිද?
2. 280 000ක් පිරිසට ආහාර පාන ඇතුලු අනෙක් අවශ්‍යතා සැපිරීම සුලු පටු කරුණක් නොවෙයි. අනෙක් අතට බැන් කී මූන් ම පවසා තිබෙනවා කඳවුරු වල තත්ත්වය ඔහුගේ සංචාරයෙන් පසුව වඩාත් දියුණු වී ඇති බව. (http://www.youtube.com/watch?v=k8EvILJ-wK4&) ඒක නිසා දැන්ම බණින එක වැරදියි.

Anonymous said...

ශාපය ඉවර කිරීමට අනුගමනය කල යුද්ධයේ අනාථයින් එසේ සිටිද්දී තව කල් යනවා කියමින් හිත හදාගෙන පාටි දාන එක ප්‍රසාදය පළ වේ. නමුත් සාමාන්‍ය ජනයාට බෝම්බ දැමූ පසු පාටි දාන දෙමළ සිසුවන් ගැන අප්‍රසාදය පළ වේ. ඒ අතින් ඔවුන්ගේත් අපගේත් වෙනස කුමක්ද?

Chamitha said...

ඒ වෙනස ඔබේ ප්‍රශ්නයෙහිම තිබේ:-)

අප පාටි දාන්නේ (සමරන්නේ) මිනිසුන් බේරාගෙන රටත් බේරාගැනීමේ සතුටට ය. බෝම්බ දැමීම සම්බන්ධයෙන් ඒ දෙමළ ශිෂ්‍යයා (ඔබ කියන අන්දමට) පාටි දමන්නේ මිනිසුන් මරා රටත් වැනසීමේ සතුටට ය...

Anonymous said...

කොතෙක් කීවත් ඔබ විශ්වාස කරන්නේ යුද්ධය ඉතාම මානුෂික ආකාරයකින් සිදු වුන බවයි. ඔබේ එම විශවාසය මට හුදෙක් සත්‍ය තමා විසින්ම ප්‍රතික්ෂේප කිරීමකි. දෙමළ සිසුවා පාටි දාන්නේ ඔවුන්ගේ හේතුව සඳහා තවත් පියවරක් තැබීම නිසාය. එහිදී මිනිසුන් මැරුණා යන කාරණය මානුෂික ආකාරයෙන් ඉවත් වී ඇත (dehumanized). අප පාටි දාන්නේ "රට බේරා ගත්තා" යැයි කියමිනි. එහිදී මැරුණ මිනිසුන් ප්‍රමාණය අපට වැඩක් නැත. ඒ හේතුව (cause) නිසා ඔවුන්ගේ මරණය සාධාරණීකරණය වී ඇති බැවිනි. එම නිසා දෙපැත්තෙන්ම සිදු වන්නේ මිනිසුන් මැරීම කුමන හෝ හේතුවක් මත සාධාරණීකරණය කර පාටි දැමීමකි.

දින ගණනක් නැවත නැවත කරන සැමරුම් වලින් කී දාහකට වේලක් කන්න දිය හැකිද? නැත්නම් ඊට වැඩිය වටින්නේ සැමරීමද? ඔබට දැනටම රට බේරී ඇත. මා හ‍ට තවම රට බේරී නැත. රට බේරා ගැනීම සඳහා පියවර ගැනීමට අවස්ථාවක් ලැබුනා පමණි. අප එම අවස්ථාව ජවුසන් නටමින් නාස්ති කරමින් සිටිමු.

තව එකක්. යුද්ධයෙන් සිවිල් වැසියන් මැරුණේ නැතැයි ඔබ විශ්වාස කරනවානම් මම තව දුරටත් උත්තර නොදී ඉන්නම්.

Chamitha said...

:-)

යුද්ධයේදී සිවිල් ජනතාව මියගිය බව මම පිළිගනිමි. ඉන් අති බහුතරයකට වගකිව යුතු වන්නේ LTTEය යි. ඒ පිළිබඳව සැකයක් තිබිය නොහැක. නමුත් ඒ අතරම හමුදාව අතින් ද සිවිල් වැසියන් මිය ගියා විය හැක. යුද්ධයක ස්වභාවය එයයි. යුද්ධයකට එළඹුනායින් පසුව හැමෝටම වැදගත් වන්නේ ජයග්‍රහණයයි. ඊට යම් මිලක් ගෙවීමට සිදු වේ. එම මිල ගෙවා දැන් අප ජයගෙන අවසන් ය. කිසිවෙකුටත් එය නැතැයි කිව නොහැක.

මීළඟ ප්‍රශ්නය 'හේතුව' යි. දෙමළ ජනයාට අතීතයේදී අසාධාරණයක් වූ බව ඇත්තකි. එය රජයන් පිළිගෙන තිබේ. නමුත් පිළිගන්නා විට පමා වී වැඩිය. ඒ වනවිට ඊට එරෙහිව පිරිසක් ත්‍රස්තවාදය අවිය කරගෙන හමාර ය. ඔවුන් තමන්ට එරෙහි පිරිස මරාගෙන මරාගෙන ගියා මිස වැරැද්ද නිවැරදි කිරීමට රටේ පරිපාලනයට ඉඩ දුන්නේ නැත. ඉතින් කුමක් කරන්නද, ඒ පිරිස විනාශ නොකරනු මිස?

ත්‍රස්තවාදය අවිය කරගැනීමෙන් පසුව ඔවුනට 'හේතුව' අමතක විය. අවසාන කාලය වනවිට ඔවුනට සාමාන්‍ය දෙමළ ජනයා වෙනුවෙන් නියෝජනය කරන්නට 'හේතුවක්' නොතිබූ බව පැහැදිලි වන හොඳම නිදසුන නම්, පැවති ඉන්දියානු මහ මැතිවරණයයි. ත්‍රස්තවාදයට අහිංසක දෙමළ වැසියා විරුද්ධ බව ඉන් මනාව පැහැදිලි විය. අප ලැබූ යුද ජයග්‍රහණයටත් වඩා වැදගත් ජයග්‍රහණය එයයි.

ඔබ කියන ආකාරයට අවසාන මොහොතේත් යමෙකු (දෙමළ ශිෂ්‍යයෙකු වේවා වෙනත් අයෙකු වේවා) ඔහුගේ 'හේතුව' වෙනුවෙන් LTTEයේ ක්‍රියාවන් අගය කරමින් පාටි දැම්මා නම් ඉන් පැහැදිලි වන්නේ ඔහුගේ 'හේතුව', ඔහුගේ ලේ බීමේ ආශාව මිස වෙන කිසිවක් නොවන බවයි...

Chamitha said...

අපේ සැමරුම ගැනත් වචනයක්.

යුද්ධය අවසානයේ අපේ ගෙවල් වල රතිඤ්ඤාවක් පත්තු කළේ, කිරිබතක් පිසුවේ ජනතාවගේ හදවතේ ගැඹුරින් නැග ආ ප්‍රීති ප්‍රමෝදය නිසයි. ඒ හැඟීම අසමසම ය. ඔබ අවුරුදු 30ක් ප්‍රාර්ථනා කළ යමක් ඉටු වූ මොහොතේ දැනෙන හැඟීම වචනයෙන් විස්තර කළ හැකිද? යුද්ධය අවසාන වූ බව තවමත් විශ්වාස කළ නොහැකි වැඩිහිටියන් අප අතර කොතෙකුත් වෙසෙති. ඒ ඔවුන් මෙම ගැටලුව ඇදී ගිය ආකාරය අනුව එය කිසිදා අවසාන නොවන්නක් බව තරයේ විශ්වාස කළ බැවිනි.

ඉතින් එවැනි සමාජයක පවස සංසිඳුවීමට සති 2ක සැමරුම වැරැද්දක්ද?

ඒ අතරම දෙමළ ජනයා තුල පැවති 'සැකය' හා 'අවිනිශ්චිතභාවය' තුරන් කිරීමට තව බොහෝ දෑ කළ යුතු බව සත්‍යයකි. අඩු තරමින් රටේ ජනාධිපතිවරයා දෙමළ භාෂාව ඉගෙනගෙන, දෙමළෙන් ඇමතීම හොඳ ආරම්භයක් නොවේද? මේ රටේ කලින් සිටි කිසිම නායකයෙකුට එවැන්නක් කළ නොහැකි විය, එවැන්නකට අවශ්‍යතාවක් ද නොවීය. එබැවින් මගේ අදහස මේ මොහොතේ ධනාත්මකව සිතීම වැදගත් ය. "ඔබේ යුද්ධය අවසන්, මගේ යුද්ධය අවසන් නැහැ" වැනි ඍණාත්මක ආකල්ප මඳකට හෝ පසෙකලා වඩා හරවත් යමක් අපෙන් රටට දායක කළ හැකි නම් වඩාත්ම වැදගත් වන්නේ එයයි.

Anonymous said...

"අඩු තරමින් රටේ ජනාධිපතිවරයා දෙමළ භාෂාව ඉගෙනගෙන, දෙමළෙන් ඇමතීම හොඳ ආරම්භයක් නොවේද?"
මෙවැනි දෙයක් ඔබ වෙනසක් ලෙස දකිනවානම් එය ඔබේ කරැණු වටහා ගැනීමේ නොහැකියාවයි.

මනසින් ධනාත්මක වී ෆැන්ටසි තුළ ජීවත් වීමට වඩා යථා ලෝකයේ අපාය තුළ ජීවත් වීම යහපත්. එය අඩුම තර‍මේ මේ නටන ජවුසන් නැවත අපේ මූණටම පත්තු වන විට සිතට සැනසීමක් වත් ගෙන දේවි.

සත්‍ය දේශප්‍රේමී ජනතාවක් නම් මේ වන විටවත් යුද්ධයේ විපාක සුව කිරීමට යොමු විය යුතුය. නමුත් තාමත් ආතල් ගැනීම, යුධ විනාශය සුව කිරීමට වඩා වැදගත් high priority කාර්යයක් ලෙස සලකන රටක දේශප්‍රේමය සොයා ගැනීම නොමළ ගෙයකින් අබ ඇටයක් සොයා ගැනීමටත් වඩා අපහසු විය හැක.

සරලව පවසන්නේ නම් කුමන හේතුවකට හෝ සැමරීමද නැත්නම් යුධ විනාශය සුව කිරීමට යොමු වීමද වැදගත්?

මෙම ප්‍රශ්නයට සරල පිළිතුරක් දෙන්න. සිතා බලන්න. හරවත් වනු ඇත්තේ එයයි.

Chamitha said...

සිදු වූ විනාශය යළි නොවීමට කටයුතු කිරීම, නැතිනම් "තුවාල සුවපත් කිරීම" වැදගත් බව විවාදයක් නැහැ. ඒ අතරම කිරිබතක් පිස, රතිඤ්ඤාවක් දමා, මේ ජයග්‍රහණය දිනා දුන් කොල්ලන්ට සහ නායකත්වයට ආචාර කළාටත් ඇති වැරැද්දක් නැහැ.

නමුත් මට වටහාගත නොහැක්කේ ඔබ "තුවාල සුවපත් කිරීම" ගැන කීවාට එය කරන්නට යන්නේ කෙසේද යන්නයි.

මගේ මතයට අනුව "තුවාල සුවපත් කිරීම" යනු ජාතීන් අතර සැකය නැමැති බැම්ම බිඳහෙළා මිත්‍රත්වය තහවුරු කිරීමයි. ඒකට මූලික පියවර වන්නේ භාෂාවයි. ඔබ විදේශයකට ගිය විට ඔබ නොදන්නා කෙනෙකු හදිසියේ පැමිණ තම භාෂාවෙන් කතා කළ විට දැනෙන ලෙන්ගතුකම අති මහත්. ජනාධිපතිවරයා දෙමළ භාෂාවෙන් ඇමතීමේ සංකේතාත්මක වැදගත්කම එයයි. මෙවැනි "සුලු" කරුණු ගැන කලින් සැලකිලිමත් වුණා නම් මේ රට තුල මෙවන් දැවැන්ත ගැටලුවක් ඇතිවන්නේ නැහැ.

ඔබ පවසන "විපාක" සුවකරගැනීමේ මඟ තිබෙන්නේ එතැනයි. දැන් අවි වලින් කරන යුද්ධය අවසන්. දැන් තිබෙන්නේ මනෝ මූලික මෙහෙයුමයි; 'සැකය' නැමැති වෛරයේ මූල බීජය අතුගා දැමීමේ මෙහෙයුමයි. ජනධිපතිවරයා දෙමළෙන් කතා කිරීම එක් දෘෂ්ටිකෝණයකින් හාස්‍යජනක විය හැකි වුවත්, මම දකින්නේ එය මේ මනෝ මූලික මෙහෙයුමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසයි.

අවතැන් වූවන්ට සහන සැලසීමත් සමඟ, මෙවැනි මනෝ මූලික මෙහෙයුම් හරහා වෛරයේ අක්මුල් බිඳ දැමීමත් වැදගත්!

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.