Pages

Friday, June 26, 2009

බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොටස)

මාගේ කලින් ලිපියට එල්ල වූ විවේචන, චෝදනා හා ප්‍රශංසා විමසා බැලූ කල අද සමාජය මෙම ආගම/දර්ශනය යන සංකල්පය තුළ වැටී සිටින්නා වූ මහා වියවුල මොනවට පැහැදිලි වේ. ආගම/දර්ශනය පිළිබඳ නූතන සමාජයේ දැක්ම අරභයා ලිපියක් ලිවීම අනාගතයට ඉතිරි කරන අතර පළමුව ඊටත් වඩා වැදගත් කර්තව්‍යයකට අත ගැසීමට මම සූදානම් වෙමි. මාගේ පළමු ලිපිය කියවූ එක්තරා සොහොයුරෙක් මට වැදගත් කතාවක් කීවේ ය. එනම් "ඔබ අනෙකුත් ආගම් වල මූලාරම්භය/පැවැත්ම පිළිබඳව චෝදනා මුඛයෙන් කතා කළ ද ඔබ පිළිගන්නා බුදු දහම ද පිටතට පෙනෙන තරම් සුපිරිසිදු හා අංග සම්පූර්ණ දහමක් නොවේ."

පළමුව සඳහන් කළ යුතු කරුණ නම් උක්ත සඳහන් ලිපිය මාගේම නිර්මාණයක් නොවන අතර එය බටහිර විචාරකයන් විසින්ම කිතු දහමට එල්ල කළ අභියෝගයක් පමණක් බවයි. දෙවන කරුණ නම් "මොනවද මේ බුදු දහමට එල්ල වන චෝදනා?" යන
ගැටලුවයි. උක්ත සඳහන් සොයුරාගෙන් ඊට නිසි පිළිතුරක් නොලැබුණෙන් කුතුහලයෙන් දිරිගත් මම එය තනිවම එය සොයාබැලීමට පියවර ගතිමි. ඒ අනුව විවිධ වෙබ් අඩවි පරීක්ෂා කරමින් ගිය මට විවිධාකාර පුද්ගලයන් විසින් බුදු දහම අරභයා ඉදිරිපත් කළ චෝදනා, මතවාද දක්නට ලැබුණි. ඉන් බොහෝමයක් එල්ල වී තිබුණේ අන්‍යාගමිකයන්, විශේෂයෙන්ම ඉස්ලාම් මූලධර්මවාදීන් අතරිනි. මෙම ඇතැම් කරුණු වල කිසිදු සත්‍යතාවක් නොමැති අතර බොහෝ ඒවා නූතන විද්‍යාව හමුවේ බුදු දහමට හිමිව ඇති අග්‍රගණ්‍ය ස්ථානය දැක ඒ කෙරෙහි ද්වේශයෙන් ගොතන ලද බව මාගේ අදහසයි. එම තර්ක අතර එකක් හෝ දෙකක් යම්තාක් දුරකට සාධාරණ ඒවා ලෙස ද මම දුටිමි.

ඇතැමුන් තම ආගම/දර්ශනයට එල්ල වන චෝදනා හමුවේ බියෙන් සැලෙන හෝ "ආගම/දහමේ අරමුණ වෙනත් එකක්, අපට ඔය විවේචනයන්ට පිළිතුරු සැපයීමේ අවශ්‍යතාවක් නැහැ" කියා මඟහැර යන තත්ත්වයක් තුළ මෙම චෝදනාවන්හි ඇත්ත නැත්ත පිළිබඳව මගේ අදහස ලියා තැබීම යෙහෙකැ යි සිතුණි. ඊට හේතුව නම් අනාගතයේ ඉතිරි වන්නේ තර්ජනයන්ට මුහුණදිය හැකි දර්ශනයන් පමණක් බවට ලකුණු නූතන සමාජය අධ්‍යයනය කිරීමෙන් ඉඳුරා පසක් වන බැවිනි. එසේම ජීව විද්‍යාවේ එන "උචිතෝන්නතිය" - Survival of the Fittest - නැමැති සංකල්පය ආගම/දහම කෙරෙහිත් එක ලෙස සත්‍ය වන බව මම තරයේ විශ්වාස කරමි!
බුදු දහම තරයේ විවේචනය කර තිබූ ස්ථාන ලෙස "අද්නන් ඔක්ටාර්" හෙවත් "හරුන් යහා" විසින් රචිත "Islam and Buddhism" නම් ග්‍රන්ථයත් තවත් වෙබ් අඩවි කිහිපයකුත් මම හඳුනාගතිමි. ඊට අමතරව තවත් විවේචන වූ අතර ඒවායේ එන බොහෝ කරුණු එකම ආකාරයේ ඒවා බව විශ්ලේෂනයෙන් පැහැදිලි වේ. ඒවාට තම දැනුම් ප්‍රමාණයෙන් පිළිතුරු සැපයීම මාගේ වගකීමකැයි සිතේ. මෙතැනින් පසුව මෙම ලිපි පෙළේ එන්නේ ඔවුන් ගෙන එන තර්කත් ඒවාට මා ඉදිරිපත් කරන පිළිතුරුත් වේ.

තර්කය 1: වර්තමානයේ ඇති බුදු දහම, බුදුන් වහන්සේ විසින් දේශිත නියම බුදු දහම නොවේ. එය කාලයත් සමඟ විවිධ වෙනස්කම් වලට භාජනය වී ඇත. එසේම බුදු දහම ග්‍රන්ථාරූඪ කිරීම සිදු වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 400 කට පමණ පසුව වන අතර එම කාලය තුළ බුදු දහම විකාශනය වූයේ මුඛ පරම්පරාගතව ය. එබැවින් වත්මන් බුදු දහම පිළිගත නොහැක.

මගේ පිළිතුර: බුදු දහම විවේචනය කරන සෑම පුද්ගලයෙකුගේ ම, පොතකම ප්‍රධාන තර්කය වන්නේ මෙයයි. නමුත් එයට මුලින්ම පිළිතුරු දීමට මා පසුබට නොවන්නේ ඊට නිවැරදි පිළිතුරක් බුදු සමය තුළ ඇති නිසා ය.

සම්බුද්ධ පරිනිර්වාණය සිදුවී අවසාන වනවිට මේ තත්ත්වය එවකට වැඩසිටි ප්‍රධානතම ථෙරවරුන් වන ශාරිපුත්‍ර, මහා කාශ්‍යප, ආනන්ද, අනුරුද්ධ, උපාලි යන රහතන් වහන්සේලා තේරුම් ගත්හ. කිසිදු දහමකට කාලයත් සමඟ එය මුලින් පැවති සුපිරිසිදු තත්ත්වයේ ම පැවතිය නොහැක. මන්ද විවිධ පුද්ගලයින් ඊට තමතමන්ගේ මතවාද එක් කරන බැවිනි. මේ ගැටලුවට එම මහ ථෙරවරු අපූරු ප්‍රතිකර්මයක් යෙදුවෝ ය. එනම් කාලයෙන් කාලයට, එවිට ලෝකයේ සිටින ප්‍රධානතම ථෙරවරුන් එක්ව ධර්මය සාකච්ඡා කිරීම යි. "ධර්ම සංගායනා" නැතහොත් "ධර්ම සංගීති" යනුවෙන් හැඳින්වෙන්නේ මේවායි. ගත වූ වසර 2553 තුළ පැවති ප්‍රධාන ධර්ම සංගායනා ගණන 6කි. ඒවා නම්,
  1. සම්බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කට පසුව අජාසත් රජුගේ අනුග්‍රගයෙන් දඹදිව රජගහ නුවර පැවති ප්‍රථම මහා ධර්ම සංගානයාව.
  2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් හරියටම වසර 100කට පසුව කාලාශෝක රජුගේ අනුග්‍රහයෙන් දඹදිව විශාලා මහනුවර පැවති දෙවන මහා ධර්ම සංගායනාව.
  3. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 283 කට පසුව ධර්මාශෝක රජුගේ අනුග්‍රහයෙන් දඹදිව පාටලීපුත්‍රයේ පැවති තෙවන මහා ධර්ම සංගායනාව.
  4. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 400 කට පසුව වළගම්බා රජුගේ අනුග්‍රහයෙන් මාතලේ අලුවිහාරයේ පැවති සිව්වන මහා ධර්ම සංගායනාව. බුදු දහම ග්‍රන්ථාරූඪ කෙරුණේ මෙහිදී ය.
  5. මහා පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහයෙන් ක්‍රි.ව. 1151 දී පැවති ධර්ම සංගායනාව. මෙය ප්‍රධාන ධර්ම සංගායනා අතරට නොගැණේ.
  6. ක්‍රි.ව.1871දී බුරුමයේ මින්ඩොන් මහ රජුගේ අනුග්‍රහයෙන් බුරුමයේ මැණ්ඩලේ හි පැවති පස්වන මහා ධර්ම සංගායනාව.
  7. ක්‍රි. ව. 1954දී බුරුම රජයේ අග්‍රාමාත්‍ය යූ නූ ගේ ආරාධනයෙන් රැන්ගුන් හි කාබා ආයේ හි පැවති සයවන මහා ධර්ම සංගායනාව.
බොහෝ දෙනා සිතා සිටින්නේ ධර්ම සංගීතියක් යනු භික්ෂූන් වහන්සේලා සමූහයක් එක්ව ධර්මය සඣ්ඣායනා කරන අවස්ථාවක් කියා ය. මෙය මුළුමනින්ම වැරදි මතයකි. ධර්ම සංගීතියකදී සිදුවන්නේ එවකට පැවතගෙන එන ධර්මයේ (සූත්‍ර, විනය, අභිධර්ම පිටක වල) වචනයෙන් වචනය ගෙන සාකච්ඡා කිරීමයි. එහිදී එම ථෙරවරුන් අතර එම වචනයන්හි තේරුම් පිළිබඳව වාද විවාද ඇතිවේ. බොහෝ වචන පිළිබඳව සැක මතු නොවුණද සියලු දෙනාට එක සේ එකඟවිය නොහැකි ස්ථානයක් වෙතොත් ඒ ගැන ඉතා ගැඹුරට සාකච්ඡා වීම සිදුවේ. සංගායනාව අවසන් වන්නේ සෑම වචනයක් පිළිබඳව ම පොදු එකඟතාවක් ථෙරවරුන් අතර ඇති වූ විට පමණි.

මේ අතරින් ඉතාම මෑතකදී බුරුමයේ පැවති සයවන මහා ධර්ම සංගායනාවේදී එසේ විවාදයට ලක් වූ කරුණු බොහොමයකි. පාරාජිකාපාලියේ වේරඤ්ජා කාණ්ඩයේ එන 'පත්ථ පත්ථ පුලකං' යන පාඨය ඉන් එකකි. එම සංගායනාවේදී ශ්‍රී ලාංකේය භික්ෂු සමාජය නියෝජනය කළ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි ඇතුලු භික්ෂු පිරිස කියා සිටියේ මෙම පාඨය නිවැරදි බවයි. නමුත් බුරුමයේ පොත්පත් වල සහ පස්වන ධර්ම සංගායනාවෙන් අනතුරුව ශිලා ලේඛනගත කළ පාරාජිකා කාණ්ඩ වල තිබුණේ 'පත්ථ පත්ථ මුලකං' කියා යි. එබැවින් මේ 'මුලකං' යන පාඨය වැරදි යැයි පිළිගැනීමට බුරුමයේ මහථෙරවරුන් කැමති වූයේ නැත. හලායුධ කෝෂාදී පැරණි සංස්කෘත ශබ්දකෝෂ වලට අනුව 'පුලාක' යනු 'යවසාල්' යන්නයි. (යවසාල් යනු අශ්වයන්ට ආහාරයට දෙන ධාන්‍ය වර්ගයකි). 'මුලක' යනු විෂ මුල් වර්ගයකි. නමුත් අවසානයේ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් ශුද්ධ මාගධී, අර්ධ මාගධී සංස්කෘත සහ ප්‍රාකෘත භාෂා වලින් උදාහරණ ගෙනහැර දක්වමින් මෙම පාඨය පැහැදිලි කිරීම නිසා සියලුම හිමිවරුන්ට, නිවැරදි කුමක්ද යන්න පිළිබඳ මනා අවබෝධයක් ලැබිණි. එම මහ ථෙරවරුන් මෙවන් සුලු කරුණු පිළිබඳව ද ඉතා ගැඹුරු ලෙස සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීම නිසා දැනට ලෝකයේ පවතින නිර්මල ථෙරවාදී ත්‍රිපිටක ග්‍රන්ථ, සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ වචන ම බවට කිසිදු සැකයකින් තොරව ඕනෑම කෙනෙකුට පිළිගත හැක....

අද්නන් ඔක්ටාර් වැනි බක පණ්ඩිතයන්ගේ නොදියුණු මොළ වලට තේරුම්ගත නොහැකි සත්‍යය එයයි...! (අවාසනාවකට මෙන් නූතන බෞද්ධයන්ගෙන් ද ඇතැමෙකු අයත් වන්නේ මෙම ගණයටම ය).

ධර්ම සංගායනා යනු බෞද්ධ දර්ශනයට පමණක් ආවේණික සංකල්පයකි. වෙනත් ආගම් වල ශාස්තෘවරයන් විසින් දේශිත ධර්මය නැවත සාකච්ඡාවට වරම් නැත. එම ආගම් වල දෙවියන්ගේ ධර්මය නැවත විචාරා සිටීම මහා පවකි. නමුත් බුදුරජාණන් වහන්සේ තම ධර්මය විචාරයෙන් තොරය පිළිනොගන්නා ලෙසට සෑම බුද්ධ ශ්‍රාවකයෙකුටම දේශනා කළේ මෙසේ ය.
“මහණෙනි, දක්ෂ රන්කරුවකු උණූ කිරීමෙන් හා උරගලෙහි ඇතිල්ලීමේන් රන්වල නියම ස්භාවය දැනගන්නා පරිද්දෙන් විචාරාත්මක පරීක්ෂාවෙන් මිස මා කෙරෙහි ඇති ගෞරවය නිසා මාගේ ධර්මය පිළිනොගත යුතුය.”
බුදු දහමේ එන, විමර්ශනයේ වැදගත්කම හෙළිකරන තවත් මහඟු ධර්ම කොටසක් නම් නම් "කාලාම සූත්‍රය"යි. කාලාම නම් ජනපදයේ වැසියන් පැමිණ ඉදිරිපත් කළ ගැටලුවකට පිළිතුරක් ලෙස බුදුරජාණන්වහන්සේ මෙය දේශාකර වදාළ සේක. එම ගැටලුව මෙයයි.
"බුදුරජාණන් වහන්ස, නොයෙක් කාලයන් වල නානාප්‍රකාර ශාස්තෘන් වහන්සේලා පැමිණ අපට නානාප්‍රකාර ධර්ම දේශනා කර යති. නමුත් මෙම සිය ගණනක් වූ ධර්මයන් අතරින් නිවැරදි කුමක්දැයි අප නිර්ණය කරන්නේ කෙසේද?"
ලොව මෙතෙක් පහළ වූ අනෙක් සෑම ශාස්තෘන් වහන්සේ නමක්ම මෙවන් අවස්ථා වලදී දුන් පිළිතුර නම් තමා දේශනා කරන ධර්මය පමණක්ම නිවැරදි බවත් අනෙක් ධර්මයන්ට සවන්දීම වත් නොකරන්න යන්න ය. වෙනත් ධර්මයන්ට සවන්දීම පමණක් නොව සිතීම ද පාපයක් ලෙසයි ඔවුන් ප්‍රකාශකර සිටියේ. බුදුරජාණන්වහන්සේට ද කාලාම වැසියන් තමාට අවනත කරගනු පිණිස තම ධර්මය පමණක් නිවැරදි යැයි කියා සිටිය හැකි වුවද උන්වහන්සේ එසේ නොකළේ ය. ඒ වෙනුවට උන්වහන්සේ ඉහත පැනයට දේශනා කොට වදාළ පිළිතුර අන් සෑම ආගමික ශාස්තෘන්වහන්සේ නමකටම ආදර්ශයකි. එනම්,
කාලාමයෙනි,
යම් දහමක් ඇසූ පමණින් පිළි නොගන්න.
පරම්පරාවෙන් පැවත එන නිසා (දෙමාපිය, නෑදෑයන් ඇදහූ නිසා) පිළි නොගන්න.
පොත්පත් වල තිබූ පමණින් පිළි නොගන්න.
වඩාත් තර්කානුකූල වූ පමණින් (ප්‍රබලම තර්කය ඉදිරිපත් කළ පමණින්) පිළි නොගන්න.
නමුත්,
තම බුද්ධි ප්‍රමාණයෙන් ගැඹුරින් සළකා බලා බුද්ධියට ගෝචර වේ නම් පමණක් පිළිගන්න........
ඉදින් බුදු දහම තුළ චින්තනයට, පරීක්ෂණයට ලබාදී ඇති නිදහස ගැන තවදුරටත් කතාකරනු කිම?
නමුත් එම කරුණම සම්බන්ධයෙන් බයිබලයේ එන පාඨය මෙයයි.
"යමක් ඒ (බයිබලයේ) වචන වලට යමක් එකතු කරන්නේ නම් දෙවියන් වහන්සේ, මේ පොතෙහි (බයිබලයේ) එන පීඩා ඔහුට එකතු කරන සේක. යමෙක් මේ අනාගත වාක්‍ය පොතේ වචන වලින් යමක් අහක් කරන්නේ නම් මේ පොතෙහි ලියා තිබෙන ජීවන වෘක්ෂයෙන් ද, ශුද්ධ නුවරින් ද, දෙවියන් වහන්සේ ඔහුගේ කොටස අහක් කරන සේක."
-ශුද්ධ වූ යොහාන්. හෙළිදරව්ව 22:18
පවතින ධර්මය නිවැරදි දැයි සෙවීම මේ අනුව කිතු දහමට අනුව සපුරා තහනම් වේ. මන්ද වැරදි මතවාද ඉවත්කිරීමෙනුත්, කාලයත් සමඟ මුල් දහමෙන් හැලී ගිය මතවාද යළි එක් කිරීමෙනුත් තොරව ධර්මය විචාරා සිටීමේ කිසිදු හැකියාවක් නැති බැවිනි. මේ සඳහන් කළේ කිතු දහම පිළිබඳවයි. කිතු දහමේ නිදහස් චින්තනයට යම් හෝ ඉඩක් තිබේ ද අද්නන් ඔක්ටාර් ලා අදහන ඉස්ලාම් දහමේ ධර්ම විචාරයට ඉන් දශමයක වත් ඉඩකඩක් නොමැති බව ඔබ නොදන්නේ යැයි මම නොසිතමි. මන්ද යත් ඉස්ලාම් දමට අනුව ශුද්ධ වූ කුරාණය පරීක්ෂාවට භාජනය කිරීම මරණීය දණ්ඩනය හිමිවන වරදක් බැවිනි. පහත දැක්වෙනුයේ ඉස්ලාම් දහම විශ්වාස නොකරන සියලු දෙනාට එරෙහිව සටන්වැද දඬුවම් දෙන ලෙස ශුද්ධ වූ කුරාණය නියෝග කරන පාඨයයි.

009.012
YUSUFALI: But if they violate their oaths after their covenant, and taunt you for your Faith,- fight ye the chiefs of Unfaith: for their oaths are nothing to them: that thus they may be restrained.
PICKTHAL: And if they break their pledges after their treaty (hath been m
ade with you) and assail your religion, then fight the heads of disbelief - Lo! they have no binding oaths - in order that they may desist.
SHAKIR: And if they break their oaths after their agreement and (openly) revile your religion, then fight the leaders of unbelief-- surely their oaths are nothing-- so that they may desist.

009.013
YUSUFALI: Will ye not fight people who violated their oaths, plotted to expel the Messenger, and took the aggressive by being the first (to assault) you? Do ye fear them? Nay, it is Allah Whom ye should more justly fear, if ye believe!
PICKTHAL: Will ye not fight a folk who broke their solemn pledges, and purposed to drive out the messenger and did attack you first? What! Fear ye them? Now Allah hath more right that ye should fear Him, if ye are believers
SHAKIR: What! will you not fight a people who broke their oaths and aimed at the expulsion of the Messenger, and they attacked you first; do you fear them? But Allah is most deserving that you should fear Him, if you are believers.

009.014
YUSUFALI: Fight them, and Allah will punish them by your hands, cover them with shame, help you (to victory) over them, heal the breasts of Believers,
PICKTHAL: Fight them! Allah will chastise them at your hands, and He will lay them low and give you victory over them, and He will heal the breasts of folk who are believers.
SHAKIR: Fight them, Allah will punish them by your hands and bring them to disgrace, and assist you against them and heal the hearts of a believing people.

Al-Qu'ran 9:12, 9:13, 9:14

එබැවින් වසර දහස් ගණනක් තිස්සේ එම ආගම් වලට එකතු වූ දුර්මත ඉවත් කිරීමේ කිසිදු හැකියාවක්, එම දහම් වල මූලික නීති බිඳදැමීමෙන් තොරව සිදුකළ නොහැක. එබැවින් එවන් මත දරා සිටින්නෙකු චින්තනයේ නිදහස ගැන කතාකිරීම පවා හාස්‍යජනක වේ.

ඔවුන්ගේ අනෙක් තර්කය නම් වසර 400ක් යනතුරු ධර්මය පැවතීගෙන ආවේ මුඛ පරම්පරාගතව බවත් එම කාලය තුළ ධර්මය විකෘති වලට ලක් වූ බවත් ය.

වළගම්බා රජ සමයේ 'බැමිණිතියාසාය' පැමිණ බුදු දහමේ මුඛ පරම්පරාගත ආචාර්ය පරම්පරාවන්හි පැවැත්මට තර්ජනයක් එල්ල වනතුරු කිසිවෙකුත් බුදුදහම ලේඛනගත නොකළ බව සත්‍යයකි. ඔහු කියන හාස්‍යය උපදවනසුලු කතාව නම් බුදුන් වහන්සේ තම ධර්මයෙන් බිඳක් වත් ලියා නොතැබූ බවයි. තවද එම කාලයේ විසූ කිසිවෙකුත් ධර්මය ලියා තැබුවේ නැති ලු. කොතරම් පුදුමයක් ද? මෙතරම් ජනාදරයට ලක් වූ ශාස්තෘන් වහන්සේ නමකටත් තමා යන යන තැන පසුපසින් ගොස් දේශනා කරන සියල්ල ලියා තැබීමට පෞද්ගලික ලේකම්වරයෙකු නොසිටි හැටි...!!

ලොව කිසිදු ශාස්තෘන්වහන්සේ නමක් තම ධර්මය ලියා නොතැබූ බව මේ තැනැත්තා දන්නේ නැත. සෑම ශාස්තෘන් වහන්සේ නමකගේම ධර්මය ග්‍රන්ථාරූඪ වූයේ උන්වහන්සේලාගේ මරණින් පසුව ය. උදාහරණයක් වශයෙන් බයිබලයේ ශුභාරංචිකරුවන් (Gospels) වන මාක්, ලූක්, මැතිව් සහ ජෝන් තම සටහන් තබන්නට පටන්ගන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් වසර 35 ත් 65 ත් අතර කාලයේ ය. එපමණක් නොව, ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුරාණය පවා ලියැවෙන්නේ මොහොමඩ් නබිතුමාගේ මරණින් පසුවයි. නබිතුමා පවා තම අනුගාමිකයන්ට අදහස් ප්‍රකාශ කළේ වචනයෙන් විනා ලේඛනයෙන් නොවේ. (නබිතුමා ක්‍රි.ව. 632 දී මියගිය අතර කුරාණය ලියැවෙන්නේ ක්‍රි.ව. 633 දී ය. නමුත් එය ඉස්ලාම් භක්තිකයන්ගේ භාවිතයට ගැණෙන්නේ ක්‍රි.ව. 653 තරම් පසු කාලයක ය).

දැන් කෙනෙකුට තවත් ගැටලුවක් පැන නැගිය හැක. බුදු දහම ග්‍රන්ථාරූඪ කිරීමට වසර 400ක් තරම් කාලයක් ගත වූයේ ඇයි? ඊට හේතුව නම් බුදු සමය බිහිවන ඉන්දියාවේ ලේඛන කලාව එතරම් ප්‍රචලිතව නොපැවතීමයි. එබැවින් එම සමාජ ක්‍රමයේ නොතිබූ යමක් හඳුන්වා දෙමින් බුදු දහම ලේඛනගත කිරීමට මහරහත් ථෙරවරුන්ට හැකියාවක් තිබුණේ නැත. නමුත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු එළඹෙන කාලයේදී ලේඛන කලාව ප්‍රචලිත වේ. පුරාතන ග්‍රීසියේ ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැනි සුප්‍රකට ලේඛකයන් පහළ වේ. එය ලෝකයේ සෑම දෙසට ම පැතිරගොස් ක්‍රි.ව. යුගය වන විට ආගමික ග්‍රන්ථ ද බිහිවේ. බුදු දහම මෙන්ම කිතු දහම ද ග්‍රන්ථාරූඪ වන්නේ එකම කාල පරිච්ඡේදයක ය. (එනම් ක්‍රි.ව 65-100 අතරයි. වළගම්බා රජු රාජ්‍යත්වයට පැමිණෙන්නේ ක්‍රි.ව. 66 දී ය). ඊට කලින් ද බුදු දහමේ ඇතැම් කොටස් ශිලා ලේඛනගත කර තිබූ බව සළකනු මැනවි.

නමුත් රචනා කිරීමෙන් පසුව ත්‍රිපිටකය හැරුණු විට එකම ආගමික ග්‍රන්ථයක් වත් නැවත සංශෝධනය කර නැත. මනාව ලියූ ග්‍රන්ථයක් නැවත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව කුමක් දැයි මෙහිදී කෙනෙකුට ගැටලුවක් පැන නැගිය හැක. ඊට හේතුව මෙයයි. මෙම ග්‍රන්ථ ලියවෙන අවධිය වන විට මුද්‍රණ යන්ත්‍ර බිහි වී තිබුණේ නැත. එබැවින් එකම ග්‍රන්ථයක් වෙනත් තැනකට පිටපත් කිරීම සිදුකළ යුතු වූවා නම් එය සිදුකළ යුතු වූයේ අතිනි. එසේම එකම ග්‍රන්ථයක එක් පිටපතක් පමණක් තිබීමත් ආරක්ෂා සහිත නොවේ. එබැවින් අඩුතරමින් පිටපත් 5ක් වත් තබාගැනීමට සිදු වූවාට සැකයක් නැත. මේ සියල්ල පිටපත් කිරීම සිදුකළයුතු වූයේ අතිනි. ඉදින් ත්‍රිපිටකය, බයිබලය, කුරාණය වැනි දැවැන්ත ග්‍රන්ථ වල අත් පිටපත් ලිවීමේදී කොතරම් වැරදි සිදුවන්නට ඇත්ද?

එම පිටපත් කිරීමේ දෝෂ කාලයත් සමඟ නිවැරදි කිරීම හෝ විනාශ වී ගිය ලේඛන කොටස් නැවත පිරවීම බයිබලය හා කුරාණය විෂයෙහ් සිදු වී නැත. මේ පිළිබඳ ප්‍රබල විවේචන මතුවී තිබේ.
එපමණක් ද නොවේ. බයිබලයේ හා කුරාණයේ එන ඇතැම් කරුණු වල සමාජමය නොගැළපීම් රාශියක් ඉතිහාසඥයන් විසින් හඳුනාගෙන ඇත. බයිබලයේ එන නොගැළපීම් දෙකක් මෙසේ සඳහන් කළ හැක.
  1. ශුභාරංචිකරුවන් සමහර ප්‍රකාශ කරන්නේ ජේසුස් වහන්සේ ජීවත් වූ පලස්තීනයේ භූගෝලීය කරුණු පිළිබඳව හෝ දැනීමකින් තොරවය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තීර් (Tyre) වලින් පිටත්ව සිඩෝනය (Sidon) හරහා දෙකපොලිසයේ (Decapolis) සීමා මැදින් ගැලීලිහි මුහුද (Sea of Galilee) ළඟට ගමන් කළ බව මාක් කියයි. (මාක් 7.31)*1*. ජේසුස් වහන්සේ ජීවත් වූ කාලයේ සිඩෝනය හරහා ගැලීලි දක්වා ගමන් මාවතක් තිබී නැත. තත් කාලීන පලස්තීන සිතියම පරීක්ෂාකරන විට මාක් පවසන යේසුස් වහන්සේගේ ගමන වටෙන් නහය ඇල්ලීමකට සමාන බව පෙනේ.
  2. මාක්ට භූගෝලීය කරුණු පමණක් නොව යුදෙව් නීතිය ගැන හෝ දැනුමක් නොවූ බව පැහැදිලි වන අවස්ථා බයිබලයේ තිබේ. “කාන්තාවක් තම ස්වාමියාගෙන් දික්කසාද වී වෙනත් පුරුෂයකු සමඟ විවාහ වුවහොත් ඇය පරදාර සේවනය කල තැනැත්තියක ලෙස වරදකාරියක වේ” යයි මාක් කියයි. (මාක් 10.12)*2*. මෙය යුදෙව් සමාජයේ ජීවත් නොවූ අයකු කළ ප්‍රකාශයකි. යුදෙව් සමාජයේ කාන්තාවන්ට දික්කසාද වීමට පවා හැකියාවක් නොවිණි!
(වැඩිදුර කියවීම්: Biblical Criticism , Criticism of the Qur'an, යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ)

නමුත් ත්‍රිපිටකය කාලයෙන් කාලයට සංස්කරණය වූ නිසා පිටපත් කිරීම් වලදී වැරදුණු තැන් සොයාගැනීමට හැකියාව ලැබිණි. ඊට හොඳම උදාහරණය නම් මා කලින් සඳහන් කළ සයවන ධර්ම සංගායනාවේදී ඇති වූ 'පුලක' යන වචනය සම්බන්ධ ගැටලුවයි. මෙම වචනය සම්බන්ධ ගැටලුව නිර්මාණය වූයේ ඉන් බොහෝ කලකට පෙර ලංකාවෙන් බුරුමයට උපසම්පදාව ගෙනයද්දී ඡ්ප්පද (ඡප්පට) තෙරුන් ප්‍රධාන සංඝයාවහන්සේ ලංකාවේ පුස්කොළ පොත්වලින් පිටපත් කරගෙන ගිය පෙළ අටුවා ටීකා යනාදියෙහි සිදු වූ අත්වැරදීම් වලින්. කාලයකට පසුව හෝ ඒවා නිවැරදි නොකරන්නට එම වැරදි තවමත් ත්‍රිපිටක ධර්මයෙහි පවතිනවා නොවේද? එසේ නම් සියවස් ගණනාවක් විමසීමකින් තොරව පිටපත් වෙමින් එන ග්‍රන්ථ වල තත්ත්වය කෙබඳු වනු ඇත්ද?

මම සිතෙන හැටියට බුදු දහමට එරෙහිව එල්ල වූ ප්‍රධානතම විවේචනයට සාර්ථක පිළිතුරක් මෙතැන තිබේ. (ඔබට මුල් පැනය කුමක්දැ යි මතක නැතිනම් නැවත කියවා බැලීම යෙහෙකි). අවසාන වශයෙන් කීමට තිබෙන්නේ මෙවන් අභියෝග හමුවේ බුදු දහම සලිත නොවන අතර මතුවන සෑම ගැටලුවකට ම පිළිතුරක් බුදු දහම තුළ ම ගැබ්ව තිබෙන බවයි. එසේම මෙවන් ගැටලු වලට බෞද්ධයන් වන අප පිළිතුරු දීමට යන විට නිතැතින්ම සිදුවන්නේ ගැටලුව බූමරංගයක් මෙන් කැරකී උක්ත විවේචකයන්ගේ ම ආගම් වල සාධාරණත්වය ප්‍රශ්නාර්ථයකට ලක් කිරීම සිහිපත් කර සිටීම වටී.


- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොටස) සමාප්තයි -

මීළඟ ලිපිය: බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කොටස)

8 comments:

panhida said...

බුදු රදුන් දේශනා කල දහමේ ඇතැම් කරුනු විද්‍යාත්මක ඔප්පු කරලා තිබෙනවා. ඉතින් එසේ නොකල කරුනු බොරු කියා අපට පවසන්නට බැහැ... එසේම තර්කානුකූල ලෙස මැදිහත්ව මේ දෙස බැලීම වැදගත්... යම් යම් ආගම් තුල එම ආගම ප්‍රශ්ණ කිරීම, අභියෝගයට ලක් කිරීම කල නොහැකියි.. නමුත් බුදු දහමේදි එය වෙනස් වනවා... ඔබ ඉහත පැවසූ කාලාම සූත්‍රයේ එය නිරවුල්ව පැවැසෙනවා.... ඔබ මේ ගෙන එන්නේ පුලුල් කතිකාවක්.... බුදු දහම එදා මෙදා තුර චෝදනා , අපහාස වල ලක්වී මනා සේ ඔපමට්ටම් වී ඇති බවයි මාගේ හැගීම...

Mahaveera said...

මේක මාතෘකාවට කෙලින්ම අදාල නැතත් මටත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා, මෙච්චර උත්තරීතර උතූම් ආගමක් අදහන ශ්‍රී ලාංකික බහුතරය පිලිබද. අද අපි පාරකට බැස්සොත් කීයෙන් කීදෙනාද මාර්ග නීති ගරු කරලා පාරක යන්නේ. පොඩ්ඩ බැරි වුනොත් පොලු අතට අරගෙන ගහගන්න එනවා. ත්‍රී රෝද රථ රියදුරන්, පෞද්ගලික බස් රථ රියදුරන් මතු නොව සමස්ථයක් වශයෙන් බහුතරය මේ වගේ. සරලවම කිව්වොත් බහුතරය පොඩ්ඩක්වත් නීතිගරුක, විනයක් ඇති ආචාරශීලී අය නෙමෙයි, හරියට අප්‍රිකාවෙ කැලෑ වල ඉන්න ගෝත්‍රික ජනකොට්ඨාශයක් වගේ.
නමුත් නෝර්වේ, ජර්මනි වගේ දේවවාදී මිත්‍යා දෘෂ්ටික බහුතරයක් ඉන්න රට වල මේ තත්වය නැහැ. මේ තත්වයට හේතුව කුමක්ද? සමහර විට ලංකාවේ මේ තත්වය බටහිර ක්‍රිස්තියානීන් විසින් ඇතිකල දෙයක් වෙන්නත් පුලුවනි.

chamila_dealwis said...

කියවන්න වැඩි වෙලාවක් නැති වුනාට උඩින් පල්ලෙන් කියෙව්වා. ඉතාම වටිනා ලිපියක්.

මහාවීර,
ආගමක් සහ එය අදහන මිනිසුන් වියුක්ත වෙන්න ඕනේ. මිනිසුන්ගේ හැසිරීම් වලින් ආගම මනිනවානම් මුලින්ම උපකල්පනය කරන්න ඕනේ ඒ මිනිසුන් ආගම 100%ක් අනුගමනය කරන බව.

Chamitha said...

@ පන්හිඳ: ආගම/දර්ශනය පිළිබඳ එවැනි කතිකාවක් නොමැති ඵල විපාක තමයි අද ලෝකය අත්විඳින්නේ!

@ මහාවීර: එවැනි හැසිරීම් වලට හේතුව ආගම ධර්මය කියා කියන්න බෑ. ඔබ කියන ආකාරයේ හැසිරීම් තුන්වන ලෝකයේ රටවල් හැම එකේම වගේ තියනවා. ඉන්දියාව ගත්තොත් එහි තත්ත්වය ඉතාම දරුණුයි. 'පොලු අතට ගැනීම' ගැන කතා කළොත් බ්‍රසීලය වගේ දකුණු ඇමරිකානු රටවල් වලත්, නැගෙනහිර යුරෝපයේත් ඒ වගේමයි. ඇමරිකා එක්සත් ජනපදයේ වුණත් මුඩුක්කු ආශ්‍රිත ප්‍රදේශ වල මිනිස්සුන්ගෙ 'නහය ළඟින් මැස්සා යන්න බැරි' තත්ත්වයක් තියෙන්නෙ. මම නම් හිතන්නෙ මිනිස්සුන්ගෙ ඔය වගේ හැසිරීම් වලට මූලික හේතුව අදහන ආගමට වඩා ආර්ථික තත්ත්වය.

ජර්මනිය, නෝර්වේ වගේ රටවල් වල ආර්ථික වශයෙන් ඉතා නොදියුණු ප්‍රදේශ අවම රටවල ඔය කියන ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා නැති තරම් වීමත්, ඇමරිකා එක්සත් ජනපදය වගේ සංවර්ධනයේ විෂමතාවක් තියන නමුත් සංවර්ධිත යැයි සැළකෙන රටවල ප්‍රචණ්ඩත්වය ඉතා දරුණු ලෙස තිබීමත් නිසා කලින් කිව්ව කතාව තහවුරු වෙනවා, මම හිතන හැටියට.

@ චමිල: ඉඩකඩක් ලැබුණු වෙලාවක හොඳට කියවන්න. ඔබේ අදහසත් කියන්න පුලුවන් නම් බොහොම හොඳයි:)
ඔබ කියන කතාව ඇත්ත. කිසිම සමාජයක ආගම /ධර්මය 100%ක් අනුගමනය කරන මිනිසුන් නැති (අද සමාජයේ කොහොමත් නැති තරම්) නිසා ආගම පදනම් කරගෙන සමාජ ගැටලු සංසන්දනය කිරීම අපහසුයි. ඒ වෙනුවට උනන්දුවක් තිබෙන කිහිපදෙනාට කළ හැක්කේ ආගම් වන හරයන් පිළිබඳ අධ්‍යයනයක යෙදීම පමණයි.

-බිன்ku- said...

මහාවීර, ඊට හේතු වන්නේ ආගම හෝ එවැනි කරුණු නම් එය දුර්වල මතයක්. මේවාට හේතු වෙන්නේ ආර්ථික තත්වය මුල් ගෙන සැලකුවත් අධ්‍යාපන, පාරිසරික, මතවාද හා දේශපාලනික කරුණු නිසා. මේවා ගැන සලකන්න කලිං ඔබ කී රටවල්ම ගනිමු. ජර්මනියේ ඇතැම් කාලවලදී ගැටුම්කාරිමට තත්වයන් තිබ්බා, ඒ ගැන Paul Cookeගේ Germany Monitor කියවන්න. එඋතුරු ජර්මනිය ආර්ථිකමය දියුණු වුණාට ගැටලුමය ත්වයන් තියෙනවා. ඇමෙරිකා‍වේ දියුණු ප්‍රදේශ වල තත්වයන් යම් දුරට හොඳ වුවත් එහි ගාමීය හා නුගත් අය වෙසෙන තැන් දැක්කාම අපේ කිරුලපණට මාලිගාවත්තට වඩා දරුණු බව පෙනෙවි. මා වෙසෙන කැනඩායවත් එහෙමයි (ඇමෙරිකාව නරම් නො වුණත් එහෙමයි ( විශේෂයෙන්ම Toronto වල ඇතැම් ප්‍රදේශ වලදී ). නාගරික තැන් වල දේවස්ථාන බහුල නොවුවත් ඒවාට සාපේක්ෂව ඒ තැන් වල බහුලයි, මන්ද කියා හරියම නොදතත් ඒ නැත් වල සිදු වන ජවාරම් හෝ ඒවා කරන අයගේ නාමයන් දිනා ගන්නට කරන්නක් වෙන්න ඇති. නමුත් අවංකවම ලංකාවට වඩා බහුලව බහුතරයක් නිතීගරුකයි, ඒ ඒ ඒ රටවල නිතීමය තත්වයන්, පහසුකම් හා දේශපාලනීක සබැදියාව නිසායි. ඒත් අපේ රටවල? ඒ අඩුපාඩුයි වැදගත් වෙන්නේ. අතවශ්‍ය නොවන දේ අතවශ්‍ය කර ගැනීම හා සුද්දා එතරම් නොතකන දේ අපි ළඟා ගැනීමත් එකක්.

චමිත, නියම ලිපියක්. බුද්ධාගමට දොස් දේවාල තියන අයටත් දොස් දේවාල තියමින් තමාද ඒ ගොඩට වැටෙන අයගේ ක්‍රියා කලප අනුව (කණගාටුවට බිලෝගාවකාශයේ එවැනි තත්වයක් තිබ්බා) ඔබ ආදර්ශයක්. සුභ පැතුම්!

Wiz Kun said...

Please publish an English translation of this article as well, so that so many people including Harun Yaha can read and understand this wonderful article.

Chamitha said...

@ Binku: Thanks a lot:)

@ Wiz Kun: Thanks! Yeah, I will do it.

Anonymous said...

Keep it up buddy...really important & valuable article.

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.