Pages

Friday, June 26, 2009

බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කොටස)

තර්කය 2: බුදු දහම මැවුම්කාර දෙවියන් පිළිබඳ සංකල්පය පිළි නොගනී. එම නිසා එයට විශ්වය ශුන්‍යත්වයකින් ආරම්භ වූයේ කෙසේ දැයි යන්න ගැන නිසි පිළිතුරක් දිය නොහැක.

මගේ පිළිතුර: බුදු දහම තුළ විශ්වයෙහි පැවැත්ම පිළිබඳ ස්ථාවර මතයක් තිබේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි විශ්වයට ආරම්භයක් හෝ අවසානයක් නැත. විශ්වය කාලයක් පිම්බීමට (Expansion) භාජනය වන අතර තවත් කාලයක් හැකිළීමට (Contraction) භාජනය වේ. මෙම ක්‍රියාවලිය චක්‍රයක් මෙන් නැවත නැවත අවසානයක් නැතිව සිදුවේ. අවසානයක් නැති බැවින් ආරම්භයක් ගැන ද කතා කිරීම නිශ්ඵල ය.

නූතන විශ්ව න්‍යායවේදය (Cosmology)ට අනුව විශ්වය යනු පිම්බීමකට ලක් වෙමින් පවතින පද්ධතියකි. මෙය සොයාගැනීමට පදනම වැටුණේ 1915-1918 අතර කාලයේ එඩ්වින් හබල් ඇතුලු විද්‍යාඥයින් සොයාගන්නට යෙදුණු විශ්වයේ ඈත මන්දාකිණි වල රක්ත විස්ථාපනය (Red Shift)යි. එමගින් එම මන්දාකිණි නිරන්තරයෙන්ම අපෙන් ඈත් වෙමින් පවතින බව නිගමනය කළ හැකි විය. ඒ අනුව නොවැරදීම විද්‍යාඥයන්ට තේරුම්ගත හැකි වූයේ අප ජීවත් වන විශ්වය පිම්බීමකට ලක් වන බවයි.

යමක් පිම්බීමකට ලක්වන බව කී සැණින් ඔබේ සිහියට ආ යුතු සරලම කරුණ වන්නේ එය යම් දිනෙක ඉතා කුඩා දෙයක්ව පැවතී පිම්බීමට ලක් වීමට පටන්ගත් බවයි. විද්‍යාඥයෝ ද එම කරුණ සැළකිල්ලට ගත්හ. විශ්වය යම් දිනෙක ඒකීයත්වයකින්/ශූන්‍යත්වකකින් (Singularity/Nothingness) පටන්ගෙන ප්‍රසාරණයට ලක්වෙමින් අද දක්වා පැවත එන බව විද්‍යාඥයෝ නිර්ණය කළ හ. නූතන විද්‍යාව එල්ල කරන අභියෝග හමුවේ අන්ත අසරණව සිටින පුහු දේව වාදීන්ට මෙය අනගි අවස්ථාවක් විය. ඔවුහු මේ ශූන්‍යත්වයකින් විශ්වය ආරම්භ වීමේ න්‍යායට දෙවියන් වහන්සේ ද ඈඳා ගත්හ. ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මඟුල් ලු කියන්නේ මෙවැනි දේටයි!

තම දේව දර්ශනයන්හි අහළකවත් නොතිබූ සංකල්පයක් තමන්ට වාසිදායක වන විට තමන්ගේ කරගැනීමට මොවුහු දැඩි වෙහෙසක් ගනිති. මොවුන් කියන්නේ ශූන්‍යත්වයකින් විශ්වය ප්‍රසාරණය වීම ඇරඹුවේ දෙවියන් වහන්සේ ලු! මොවුන්ගේ හාස්‍යජනක තර්කය මඳකට පසෙකින් තබා නැවතත් විද්‍යාත්මක කරුණු වෙත යොමු වෙමු.

විශ්වය ශුන්‍යත්වයකින් ආරම්භ වීම හෙවත් මහා පිපුරුම් වාදය (Big Bang Theory) නූතන විශ්ව න්‍යායවේදයේ එන වැදගත්ම සංකල්පයයි. නමුත් එය සර්ව සම්පූර්ණ න්‍යායක් නොවේ. තවත් විශාල වැඩ කොටසක් සම්පූර්ණ කිරීමට ඉතිරි වී තිබේ. එමෙන්ම නූතන විශ්ව න්‍යාය විද්‍යාඥයන්ගෙන් අති බහුතරයක් මෙම න්‍යායෙහි යම් වැරැද්දක් ඇති බව පිළිගනිති. ඊට මූලිකම හේතුව නම් විශ්වය නිර්මාණය වන පිපුරුම සිදුවීමට පෙර පැවති අධි ශක්ති, අධි ඝනත්ව (Ultra high energy ultra high dense) අවස්ථාවයි. සරලව කිවහොත් විශ්වය පිපිරෙන මොහොතේ විශ්වයේ ශක්ති ඝනත්වය සහ උෂ්ණත්වය අනන්තයකි. මෙවන් අවස්ථාවක් ස්වභාවයේ පැවතීම ඉතාම උගහට බව විද්‍යාඥයෝ එකහෙළා පිළිගනිති. එමෙන්ම ඔවුන් අවුලෙන් අවුලට හෙළන ප්‍රධානතම කරුණ නම් මෙම න්‍යායේ ඇති පරීක්ෂා කළ නොහැකි ස්වභාවයයි. නූතව විද්‍යාවෙහි අනිවාර්ය අංගය නම් පරීක්ෂාවයි (Testing). සැකෙවින් කිවහොත් යම් න්‍යායකට පිළිගැනීමක් ලැබෙන්නේ එමගින් කරනු ලබන පෙරැයීමක් (Assumption) පරීක්ෂණයකින් සත්‍ය වුවහොත් පමණි. එතෙක්, කොතරම් ප්‍රබල මතයකට වුවත් පිළිගැනීමක් ලැබෙන්නේ නැත. මහා පිපිරුම් වාදයට පිළිගැනීමක් ලැබීමට එහි පෙරැයීම් 2ක් නිවැරදි වීම හේතු විය. ඒවා නම් ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය (Cosmic Microwave Background Radiation) සහ මහා පිපිරුම් නියුක්ලියෝසංස්ලේශනය (Big Bang Nucleosynthesis) යන ඒවායි. මහා පිපුරුම් නියුක්ලොයෝසංස්ලේශනය සිදු වූයේ මහා පිපුරුමෙන් මිනිත්තු 3ත් 20ත් අතර කාලයේදී ය. එහිදී ප්‍රාථමික හයිඩ්‍රජන්-1 (ප්‍රෝටෝන එකක් පමණක් ඇති හයිඩ්‍රජන් පරමාණු) විලයනයට භාජනයවීමෙන් වඩා බරැති පරමාණු නිර්මාණය වේ. එමගින් පෙරැයන ආකාරයට මුල් විශ්වයේ ස්කන්ධයෙන් 75%ක් හයිඩ්‍රජන්-1 ද, 25%ක් පමණ හීලියම්-4 ද, 0.01%ක් ඩියුටීරියම් (හයිඩ්‍රජන්-2) ද, 10-10%ක් වෙනත් පරමාණු (ලිතියම්, බෙරිලියම් වැනි) තිබිය යුතුය. මීට හරියටම සමාන නොවන නමුත් ආසන්න වශයෙන් සමාන ප්‍රතිශත වලින් නූතන විශ්වයේ පදාර්ථයන් පවතින බව පර්යේෂණයන්ගෙන් හෙළි වී ඇත. නමුත් මෙය මහා පිපුරුම සිදුවූ බවට අවසාන සාක්ෂිය නොවේ. වක්‍රාකාරයෙන් ඊට අනුබල දීමක් පමණි මින් සිදුවන්නේ. අනෙක් සාධකය නම් පසුබිම් විකිරණයයි. මහා පිපිරුමෙන් වසර 380 000ක් ගතවන තැන, විශ්වයේ ඝනත්වය අඩුවීම නිසා ආලෝක ෆෝටෝන වලට ආසන්නව ඇති පරමාණු වල න්‍යෂ්ටික බලපෑම් (Strong and Weak Nuclear Forces) වලින් තොරව නිදහසේ ගමන්කිරීමට හැකියාව ලැබෙන බව මින් කියැවේ. එනම් විශ්වය විද්‍යුත් චුම්බක තරාංග වලට පාරදෘශ්‍ය (Transparent) වන්නේ මේ අවධියෙන් පසුවයි. විශ්වය ඇතිවීමට වසර 380 000 කට පෙර කාලයේ විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රගමනයට (Progression) නිදහසක් නොතිබූ නිසා අද පවත්නා කිසිදු දුරේක්ෂ වර්ගයකින් ඊට පෙර කාල පරිච්ඡේදය ගැන කරුණු සෙවූම විද්‍යාඥය
න්ට කළ නොහැක. මහා පිපුරුම් වාදයේ වාසියට තිබෙන කරුණම එය නිවැරදි න්‍යායක් ලෙස ස්ථාපිත වීමට එරෙහිව කටයුතු කරන්නේ මේ ආකාරයෙනි.

විශ්වය බිහි වූ මුල් අවධියේ තත්ත්වයන් පෘථිවිය මත නිර්මාණය කිරීමට ද විද්‍යාඥයෝ උත්සාහ දරති. ඊට ඔවුන් භාවිතා කරන්නේ අංශු ත්වරකයි (Particle Accelerators). නමුත් එම අවස්ථාවේ පැවති අවකාශයේ ශක්තිය කිසිදු අංශු ත්වරකයකින් නිපදවිය හැකි ශක්තියකට වඩා ඉතා ඉහළ අගයක් ගනී. උදාහරණයක් වශයෙන් අද ලෝකයේ ඇති ශක්තිය ඉහළම අංශු ත්වරකය න්‍යෂ්ටික පර්යේෂණය පිළිබඳ යුරෝපා ආයතනය (Organisation Européen pour la Recherche Nucléaire) හෙවත් CERN ට අයත් Large Hadron Collider (LHC) වේ. එහි ශක්තිය වන 7 TeV කින් විශ්වයේ මුල් තත්පර කිහිපය තුළ පැවති අධි ශක්ති අවස්ථාවන්හි ආසන්නයට වත් යා නොහැක. මේ අනුව පැහැදිලි වන්නේ විශ්වය පිළිබඳ නූතන විද්‍යාතමක මතය සර්ව සම්පූර්ණත්වයට බොහෝ මෙපිටින් පවතින බව ය.

නමුත් 2007 තරම් මෑත කාල
යකදී මෙම ක්ෂේත්‍රය සම්බන්ධ නවතම විද්‍යාත්මක මත කරළියට ඒමට පටන් ගැනුණි. ඒ පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේ (Pennsylvania State University) මහාචාර්ය මාටින් බොජොවාල්ඩ් (Martin Bojowald) ඉදිරිපත්කළ මහා පොළාපැනුම් න්‍යායේ (Big Bounse Theory) නවතම විවරණය සමඟිනි. විශ්වක කාලයක් තිස්සේ ප්‍රසාරණයට ලක්ව නැවත සංකෝචනය වන බව බටහිර විද්‍යාඥයන් සිතා සිටියේ මීට බොහෝ කාලයකට පෙර සිට ය. නමුත් ඊට එරෙහිවන ගැටලු රාශියක් තිබුණු නිසා මේ මතය කාලයක් තිස්සේ පසුගාමී තත්ත්වයක පැවතිණි. නමුත් දැනට වසර 2කට පමණ පෙර සිට මෙය නැවතත් පෙරළිකාර මතයක් ලෙස පර්යේෂණ ක්ෂේත්‍රයට පැමිණ තිබේ. මහා පොළාපැනුම් න්‍යාය පදනම් වී ඇත්තේ 1986 දී පෙන්සිල්වේනියා රාජ්‍ය සරසවියේම මහාචාර්ය ඇබේ අෂ්ටෙකාර් (Abhey Ashtekar) විසින් ඉදිරිපත් කළ වළලු ක්වොන්ටම් ගුරුත්ව න්‍යාය (Loop Quantum Gravity) මතයි.

මේ ආකාරයේ විශ්වය පිළිබඳ චක්‍රීය ආකෘති වලට නූතන තාරකා භෞතික විද්‍යාඥයන් හා විශ්ව න්‍යායවේදීන් මේ වනවිට වැඩි තැනක් දෙමින් සිටිති. ඊට ඇත්තේ එකම එක හේතුව නම් විශ්වය ආරම්භ වීමට පෙර පැවතියේ කුමක්දැයි යන ද්විකෝටිකයට (Dilemma) පිළිගත හැකි පිළිතුරක් කිසිවෙකුට සැපයිය නොහැකි වී ඇති බැවිනි. එසේම විශ්වයට නිශ්චිත ආරම්භයක් පැවති අතර යම් දිනෙක එය අවසාන වනු ඇත යන මතය කිසිසේත් බුද්ධිගෝචර නොවේ. අනෙක් ප්‍රතිවිරෝධතාව නම් කාලයයි. කාලය හා අවකාශය නම් සංකල්ප වල සබැඳියාව ගැන ද මෙම පුහු දේව වාදීන්ට දිය හැකි පිළිතුරක් නැත. විශ්වය තුළ කාලය ආරම්භ වීද යන්න හා අවකාශය මගින් කාලය සීමා වීද යන්න 1781දී පළ කළ 'ශුද්ධ හේතුව පිළිබඳ විවේචන' (Critique of Pure Reason) යන ග්‍රන්ථය තුළින් සුප්‍රකට දාර්ශනික ඉම්මෑනුවල් කාන්ට් (Immanuel Kant) විමසූ පැනයන් ය. මේවාට නිසි පිළිතුරු කිසිදු දේවවාදී ආගමක් තුළ නැත. ඔවුන්ට සැමවිටම එසවීමට ඇත්තේ "දේව භාෂිතය ප්‍රශ්න නොකරනු!", යන තර්ජනාංගුලිය පමණි.

වරක් එක්තරා පුද්ගලයෙක් "විශ්වය නිර්මාණය කිරීමට පෙර දෙවියන් වහන්සේ කරමින් සිටියේ කුමක්දැ"යි පූජකයෙකුගෙන් ඇසුවේ ය. පූජකයාගේ ක්ෂණික පිළිතුර වූයේ "ඔය ආකාරයේ ප්‍රශ්න අසන්නන් යැවීමට දෙවියන් වහන්සේ අපායක් නිර්මාණය කරමින් සිටියේ ය" යන්නයි. එම කතාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වුවද චින්තනයේ නිදහස සහ විශ්වය පිළිබඳ දේව මතය එමගින් අපූරුවට සාරාංශගතකොට දැක්වේ.

දැන් මා එම ප්‍රශ්නය අසන බැවින් ද ලොව සියලුම විද්‍යාඥයන් එම ප්‍රශ්නයම අසන බැවින් ද අප සියලුදෙනා අපායේ දොරගුලු විවර කරගෙන ඇති බවට සැකයක් නැත...!!

නවීන විද්‍යාවේ දියුණුව හමුවේ අද්නන් ඔක්ටාර් ලා අදහන දේවවාදී ආගම් වැටී සිටින මහත් අපහසුතාව පිළිබඳ අමුතුවෙන් සඳහන් කළයුතු නැත. එම ආගම් සියල්ලටම එරෙහිව නැගී සිටින එක් බලගතු පුද්ගලයෙකු සිටී. ඒ අන් කිසිවෙකු නොව චාල්ස් ඩාවින් ය. චාල්ස් ඩාවින් යන පුද්ගලයා ඉතිහාස පොතෙන් මකා දැමීම තරමට දේවවාදීන්ට ආශ්වාදය ගෙනදෙන වෙනත් කරුණක් තිබිය නොහැක. චාල්ස් ඩාවින් නම් මිනිසා තම පරිණාම වාදය තුළින් දේවවාදයට එල්ල කළේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මරු පහරකි.

දෙවියන් වහන්සේ නිර්මාණය කළ සත්ත්වයා ස්වභාව ධර්මය මගින් විනාශකර දමන්නේ ඇයිදැයි යන පැනයට කිසිදු සාර්ථක පිළිතුරක් තවමත් ලැබී නැත. එපමණක් නොව බයිබලයට අනුව පෘථිවියේ වයස වසර 10 000ක් පමණි. ඊට අනුව පුරාණ පලස්තීනයේ 'ජෙරිකෝ' (Jericho) ග්‍රාමයට පෙර මිනිස් හෝ සත්ත්ව ප්‍රජාවක් පැවතී නැත.

කොතරම් ආශ්චර්යයක්ද? නූතන භූ ගර්භ විද්‍යාවට අනුව පෘථිවියේ වයස අවුරුදු බිලියන 4.6කි. ඩයිනසෝරයන්ගේ පොසිල සොයාගැනීමත් සමඟ දේව වාදය තුළ ඇතිවූ වියවුල වචනයෙන් ප්‍රකාශ කළ නොහැක. නමුත් පුදුමයකට මෙන් අද්නන් ඔක්ටාර් ලා උමතුවෙන් මෙන් බොරු යැයි ඔප්පු කිරීමට සැරසෙන බුදු දහමට මේ කිසිදු චෝදනාවක් බලපාන්නේ නැත. මන්ද සමස්ත බුදු දහමම පරිණාමවාදය පිළිබඳ දහමක් බැවිනි. කාලයත් සමඟ සිදුවන වෙනස්කම් වලට අනුව සත්ත්ව වර්ගයා පරිසරයට හැඩගැසෙන හා විවිධ ව්‍යුහාත්මක වෙනස්කම් වලට භාජනය වන බව බුදු සමය පැහැදිලිවම ප්‍රකාශ කර සිටී. පෘථිවිය මත ජීවය ඇතිවීම සහ ජීවයේ විකාශනය පිළිබඳ අපූරු ඉගැන්වීමක් අග්ගඤ්ඤ සූත්‍රය විමර්ශනයෙන් දත හැකි ය. එහෙත් බුදු දහම, නූතන තාරකා ජීවවිද්‍යාවට එරෙහිව යන තවත් තැනක් ද මෙම අග්ගඤ්ඤ සූත්‍රයෙහි අඩංගු ය.

මෙම කරුණ බුදු දහම විවේචනය කරන ඇත්තන්ගේ උකුසු ඇස් වලින් ගිලිහී ගොස් තිබුණත් ලිපියේ මධ්‍යස්ථභාවය තකා එය ද මම විවේචන ගොන්නට එකතු කරමි.

නූතන විද්‍යාවෙන් කියවෙන්නේ පෘථිවිය මත ජීවය ඇති වූයේ ජලය, පොළොවේ ඛනිජ, විදුලි කෙටීම් යනාදී අනේකවිධ භෞතික ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ "ප්‍රාථමික සූපය" (Primordial Soup) මගින් බවයි. මෙම සූපය තුළ ජීවයට අත්‍යාවශ්‍ය වන ඇමයිනෝ අම්ල අඩංගු වූ අතර වසර බිලියනයක පමණ කාලයක් තුළ සිදු වූ අනේකවිධ ප්‍රතික්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ මුල්ල ඒක සෛලික ජීවීන් ඇති විය. නමුත් මේ සියල්ල අතරේ නූතන ජීව විද්‍යාඥයින් ඒකමතිකව පිළිගන්නා එක් කරුණක් තිබේ. එනම් අජීවී මූලද්‍රව්‍ය කිහිපයක් එකතු වී ජීවී සෛලයක් නිර්මාණය වීම ඉතාමත්ම ඉතාමත්ම අහඹු සිදුවීමක් බවයි. එපමණක් නොව මෙසේ ඉතා කලාතුරකින් බිහිවූ සෛලය සුරැකිව පැවතී ඉන් දුහිතෘ සෛලයක් බිහිවීම ඊටත් වඩා අහඹු සිදුවීමක් බවයි. මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවී ජීවී ප්‍රජාවක් බිහිවීම ඊටත් වඩා අහඹු දෙයක් වන බව කිව යුතු නොවේ. මේ සමස්ත ක්‍රියාවලියම එකවර සිදුවීමේ සම්භාවිතාව කොතරම් අඩු ද යත් එය පෘථිවිය මත සිදු වූවා යැයි පිළිගැනීම ඉතාමත් උගහට බව ඇතැම් විද්‍යාඥයෝ තර්ක
කරති. (මෙම මතයේ එක් නියමුවෙකු වන්නේ DNA අණුවේ ව්‍යුහය සොයාගැනීමට දායක වූ සුප්‍රකට විද්‍යාඥ සර් ෆ්‍රැන්සිස් ක්‍රීක් - Sir Francis Crick - ය. එසේම සුප්‍රකට තාරකා භෞතික විද්‍යාඥයන් වන ෆ්‍රෙඩ් හොයිල් - Fred Hoyle - සහ චන්ද්‍රා වික්‍රමසිංහ - Chandra Wickramasinghe - ද මේ වෙනුවෙන් පෙනී සිටිති). පෘථිවිය මත ජීවය බිහි නොවූවා නම් සිදුවිය හැකි එකම සිදුවීම වන්නේ වෙනත් ග්‍රහ වස්තුවකින් එසේ ඉතාම කලාතුරකින් බිහි වූ ජීවී සෛලයක කොටසක් පෘථිවියට පැමිණීමයි. අන්තර්තාරීය අවකාශයේ ඇති අධික දුර ප්‍රමාණයනුත් අභ්‍යාවකාශයේ රුදුරු තත්ත්වයනුත් සළකාබලන කල එසේ ජීවය පැතිරීමත් ඉතා උගහට වන බැවින් විද්‍යාඥයන් එම මතය මුළුමනින් ම පිළිගන්නේ නැත.

නමුත් බුදු දහමේ එන අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පෘථිවියට ජීවිය පැමිණියේ පිටත ග්‍රහ වස්තුවකිනි. මෙය බුදු දහම නූතන විද්‍යාවට එරෙහි වන තවත් තැනකි. නමුත් විද්‍යාඥයන් එම මතය බැහැර කරන්නේ ද නැත. ඒ සඳහා තාරකා ජීව විද්‍යාඥයෝ අදත් වෙහෙසෙමින් සිටිති. ඒ සඳහා වන මූලිකම ක්‍රමවේදය වන්නේ පෘථිවිය මතට කඩා වැටුණු ග්‍රහක කොටස් අධ්‍යයනයයි. එසේම පෘථිවිය මත ඇති විවිධ ජීවී සෛල අභ්‍යාපකාශයේ තත්ත්වයන්ට ලක් කර ඒවායේ පැවැත්මේ හැකියාව ද විශ්ලේෂනය කර ඇත. ජපානයේදී කළ පර්යේෂණයන්ට අනුව ඇතැම් බැසිලස් ඒක සෛලික ජීවීන්ට අභ්‍යාවකාශයේ ඇති නිර්වායු, අධි විකිරණ තත්ත්වයන් යටතේ පවා වසර 250කට ද අධික කාලයක් නොමැරී පැවැත්මේ හැකියාව ඇති බව තහවුරු වී ඇත. මේ පිළිබඳව නූතන අධ්‍යයනයන් විශිෂ්ට ප්‍රතිඵල අත්කර දී ඇත. (
වැඩිදුර කියවීම්: Tough Earth bug may be from Mars - New Scientist, Sugar-Packing Asteroids May Have Seeded Life on Earth - Space.com)

මෙම පැනයටත් සාර්ථක පිළිතුරක් මෙහි ඇතැයි මම විශ්වාස කරමි. විද්‍යාත්මක සොයාගැනීම් භාවිත කොට බුදු දහම විවේචනය කිරීමට යාම මෙම විවේචකයන් කරගන්නා විශාලතම මෝඩකමයි. මන්ද යත් විද්‍යාතමක සොයාගැනීම් අති බහුතරයක් බුදු දහමේ වාසියට දැනටමත් හැරී ඇති බැවිනි. සාපේක්ෂතා වාදය හා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව යනු එන් දෙකක් පමණි. සාපේක්ෂතාවාදය, බුදු දහම සමඟ බැඳෙන අයුරු මගේ මෙම ලිපියේ
සටහන් වී ඇත.

නූතන විද්‍යාව මේ ආකාරයට දිගින් දිගටම බුදු දහමේ සත්‍යතාව තහවුරු කරන ආකාරය උක්ත සඳහන් කළ දේව වාදීන් දකින්නේ මහත් ඊර්ෂ්‍යාවෙනි. බුදු දහමට පහර ගැසීමට සෑම දේවවාදියෙකුම අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටින්නේ මේ නිසා ය. නමුත් ඒ සඳහා අද්නන් ඔක්ටාර් වැන්නවුන්ගේ බුද්ධිය මෝරා මදි ය. පුදුමයකට මෙන් 16 වැනි බෙනබික්ට් පාප් වහන්සේ වීමට පෙර ජෝෂප් රැට්සිඟර් කාඩිනල් තුමා ද අපූරු කතාවක් කීවෝ ය. එනම් කිතු දහමේ ප්‍රබලතම ප්‍රතිවාදියා ලෙසට සමාජවාදයට අත්ව තිබූ තැන නුදුරු අනාගතයේදී ම බුදු දහම හිමිකරගනු ඇතිය යන්නයි.



- බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (දෙවන කොටස) සමාප්තයි -

මීළඟ ලිපිය : බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (තෙවන කොටස)
කලින් ලිපිය: බුදු දහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත (පළමු කොටස)

9 comments:

Anonymous said...

ආගම් අතර සිදුවන සටන් පිලිගත නොහැකිය... ආගම දහම් තුලින් සිදු කළ යුත්තේ එම ආගම අදහන මිනිස් කොට්ටාශය නිසි මගට යොමු කරවීමය... එක් ආගමක් අදහන කොටසක් වෙනත් ආගමකට පහර ගැසීම සිදු නොකල යුත්තකි... එසේ වුවහොත් වන්නේ උඩ බලාගෙන කෙල ගැසීම හා සමාන දෙයකි... නමුත් මෙසේ එල්ලවන චෝදනා වලට නිවරදි පිලිතුරු දීම සිදු කල යුත්තකි..පහරදීම හා පිලිතුරු දීම පිලිබදව වෙනස අප මැනැවින් වටහා ගත යුතුයි... එය එම ආගමේ උන්නතිය පැවත්මට ඉවහල් වන්නකි....බුදු දහමට එදා මෙදා තුර එල්ල වූ අපහාස තවමත් ඉවර වී නොමැත... නමුත් බුදුදහම නැසීගොස් නොමැත...මක් නිසාද යත් එය ගොඩ නැගී තිබෙන්නේ මිනිස් වර්ගයාට පිලිගත හැකි පදනමක සිට වීමය...බුදු රදුන් දේශනා කල ලෙස බුදු දහම කවදා හෝ නැසී යන්නේ නැත... එය යටපත් වනවා පමනකි... තවත් බුදු කෙනෙකුගේ පහල වීමත් සමගම එය නැවතත් මිනිස් වර්ගයාට ආලෝකයක් වෙමින් ලොවම ඒකාලෝක කරාවී... මේ ලිපිය විග්‍රහාත්මක ලිපියක්.. මනා ලෙස අධ්‍යනයකින් පසු මෙවන් දෙයක් පාඨක යන් හට ලබා දීමට ඔබ ගත් වෙහෙස පැසසිය යුතුයි...

Chamitha said...

බොහොම ස්තූතියි. මම තාමත් අධ්‍යයනය කරනවා:)

Anonymous said...

ප්‍රාථමික ඇමිනෝ අම්ල එකතු වී aggregations සෑදීම අහඹු වන ආකාරයටම අති විශාල ගනනක් වූ පරිණාමීය ක්‍රියාවලියෙන් දෙපයින් සිටගත් වානරයෙකු ඇති වීමද අහඹු වේ. විශ්මය ජනක වේ. නමුත් කිසිම දාක සිදු විය නොහැකි ලෙසට ඉවත දැමීමට නොහැක.

මෙහි ඇති විශ්මය ජනක බව නිසාම පුරාණ මිනිසුන් දෙවියන් පිළිබඳ ඇදහීමට පටන් ගත්තා ද විය හැක. උදාහරණයක් වශයෙන් ගිනි දෙවියන්, වැස්ස වලාහකයින්, අකුණු දෙවියන් දැන් කාටූන් වීර චරිත පමණක් බවට පත්වී ඇත. අකුණ දෙවියන්ගේ වැඩක් ලෙස සිතන්නට ඇත්තේ අකුණක් ඇති වන ආකාරය පිළිබඳ නොදැනුවත් කම නිසාය.

එලෙසින්ම අපව (=අප හා වටපිටාව) වැඩි වැඩියෙන් තේරුම් ගන්නා විට දැනට දෙවියන්ගේ වැඩ ලෙස සිතා සිටින දේ ද කුමන හෝ විද්‍යාවකින් පැහැදිලි කරනු ඇත. එවිට දේවාගම් මෙන්ම දැන් පන්සල් වලට රිංගා ඇති දෙවියන් ද කාටූන් වීරයින් පමණක් වීම නැවැත්විය නොහැක.

Chamitha said...

@ චමිල: ඔව් එය සිදුවිය නොහැක්කක් නොවෙයි තමයි. නමුත් මෙතන තියෙන්නේ සම්භාවිතාව පිළිබඳ ප්‍රශ්නයක් නේද? Panspermia මතවාදයට පක්ෂව අදහස් පළකරන විද්‍යාඥයන් කියන්නේ සම්භාවිතා සාධක සැළකිල්ලට ගත්තහම පෘථිවිය බිහිවෙලා අවුරුදු බිලියනයක් ඇතුළත බාහිර උදව්වක් නැතුව "ප්‍රාථමික සූපය" හරහා ජීවය බිහි වීමේ සම්භාවිතාව ඉතාම අඩු බවයි.

විශේෂයෙන්ම Professor Francis Crick නම් කියන්නේ විශ්වයේ හැම තැනම ජීවය පතුරුවමින් යන බුද්ධිමත් ජීවී විශේෂයක් පෘථිවියටත් ජීවය විසි කරලා ගියා වියහැකි බවයි.

"A second prominent proponent of panspermia was the late Nobel prize winner Professor Francis Crick, OM FRS, who along with Leslie Orgel proposed the theory of directed panspermia in 1973. This suggests that the seeds of life may have been purposely spread by an advanced extraterrestrial civilization. Crick argues that small grains containing DNA, or the building blocks of life, fired randomly in all directions is the best, most cost effective strategy for seeding life on a compatible planet at some time in the future. The strategy might have been pursued by a civilization facing catastrophic annihilation, or hoping to terraform planets for later colonization."
Source - Wikipedia

ඒ කතාව නම් අග්ගඤ්ඤ සූත්‍රයේ එන කතාවට ඉතාමත්ම සමානයි. කොහොමත් ඉතින් තවම කාටවත් අවසන් නිගමනයකට එන්න කල් වැඩියි.

Narada said...

තව ඌණ පුර්නයක් එකතු කරන්න මම කැමතියි, තවම විද්‍යාව අනුව ජිවීයේ ආර්ම්භය හා වෙනත් ලෝවක් හෝ කෂිරපථයක ජිවීතයක් ගැන මතයක් නැති විටදී බුදු දහමේ දැක්වෙන්නේ ජිවීය මුලින් ඇති බාහිරව ඇති වී පරිණාමය වුවෙක් බවයි. අනිත් කාරණය දීව්‍ය ලෝක සංකල්පය හා ආයුෂ ප්‍රමාණය. බ්‍රහස්පති වල අවුරුද්දක් කියන්නේ අපේ වසර ගණනාවක්, ඒත් පෘථිවි වැසියාට අනුව එය වසර විසි ගණනක් කොහේදෝ ගණනාවක්. ඉතිං මිත්‍රයා ඒ අනුව වෙනත් ක්ෂිර පථයක සිටිනා ජිවීන්ගේ ආයුෂ ගැන කීම අවශ්‍ය නෑ නේද? ප්‍ෘථිවිය හිරැ වටේ කැරකෙන බවත් අප ග්‍රහ ලෝකය හැරෙන්න තව දේද ඇති බවත් ඒවාද (නම මතක නෑ) වටේ කැරකෙන බවක් කීවේද කලු කුහර ගැනද අදහසක් සුත්‍ර මඟින් කියැවෙන්නේද ලියැවෙන්නේද විද්‍යාඥයන් සිතන්නටත් පෙර නේද?

කාර්්‍යබහුලත්වය අස්සේ කියවන නිසාත් තවත් කොටස් තබෙන නිසාත් කරැණු නෙවීමට හා සත්‍යතාවය ගැන සිතන්නට කාලය මදීය. කරුණාකර හැකි නම් මගේ ප්‍රතිචාරය සම්පුරුන කරනු මැනැවි!

Anonymous said...

a great letter written by doing some serious research..you deserve a huge compliment for that brother...

Anonymous said...

I would like to know what you all think about the buddhist monks of Srilanka not rising from their seats when the "national anthem" is playing?

Chamitha said...

@ Anonymous: Thanks:)

Well, do other religious priests rise from their seats when national anthem is playing? (I don't remember actually:) ). I think it is not necessary for any priest, because they do not represent any single country, but stand for a higher purpose.....

Thisara-mx said...

niyama post ekak

mata mehema ekak hambuna net eke thibila
අග්ගඤ්ඤ සූත්‍රය හා විද්‍යාව
http://pasanrahula.blogspot.com/2014/05/01.html

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.