Pages

Tuesday, May 5, 2009

Facebook ගැන වැදගත් නමුත් නොවැදගත් සටහනක්

Facebook පිළිබඳව බොහෝ දෙනා කතා කරනු පෙනේ. ඇතැමුන් ඊට දැවැන්ත විවේචන එල්ල කරනු මම දැක ඇත්තෙමි. ඒවායේ සත්‍යතාවක් ද ඇත, එසේම අසත්‍ය යම් ප්‍රමාණයක් ද ඇත. ඒ මට හිතෙන හැටියට ය. මේ ලිපිය ලිවීමේදී මගේ අරමුණ ඒ කිසිවෙකුට පිළිතුරක් සැපයීම වත් කිසිවෙකු සමඟ උණුසුම් සංවාදයකට පිවිසීම වත් නොවේ. නිකම්ම නිකන් Facebook ගැන මගේ අදහස පැහැදිලි කිරීම ය. එය නොවැදගත් ලෙස සලකා බැහැර කිරීමේ පූර්ණ අයිතිය පාඨකයා සතු ය.

Facebook හි පදනම, නැතහොත් අරමුණ කියා කියනුයේ social networking ය. එනම් සමාජයේ සෑම තරාතිරමකම කෙනෙකුට තමන්ගේ හඬට තැනක් ලබාදීම ය. නැතිනම් 'මම' කියා කෙනෙකු ඉන්නා බව අන්‍යයන්ට සිහිපත් කිරීම ය. ඇයි 'මම' ඉන්නා බව පෙන්නන්නට මේතරම් අවශ්‍ය? හේතුව මිනිසා යනු සමාජ සත්ත්වයෙකු වීම ය. කලාතුරකින් හමුවන කෙනෙකු හැර සාතිශය බහුතරයක් වූ මිනිසුන් තමා සිටිනා බව හැමෝටම ඇඟවීමට කැමති ය. ඇතැම් සත්ත්වයන් අතර ද මේ ලක්ෂණය පැහැදිලිවම දක්නට ලැබේ.
එහෙයින් එසේ නොකරන මිනිසෙකු සිටී නම් ඔහු,
  1. සමාජ භීතිකාවකින් පෙළෙන්නෙකි.
  2. ආගමික හෝ අධ්‍යාත්මික හේතුවක් නිසා සමාජයෙන් වෙන්ව විසීමට උත්සාහ ගන්නෙකි. (උදාහරණයක් ලෙස බුදු දහමේ එන පරිදි ගිහි ගෙයින් අභිනිෂ්ක්‍රමණය කළ අයෙකි. දැන් නම් ඇතැම් ස්වාමීන්වහන්සේලාත් facebook අඩවි පවත්වාගෙන යනු පෙනේ. එය වෙනම කතාවකි. මා මෙම සටහන ලියන්නේ, කියවන කිසිවෙකුත් අභිනිෂ්ක්‍රමණය කළ අයෙකු නොවේය යන උපකල්පනයේ පිහිටා ය)
ඉහත සඳහන් දෙයාකාරයට අයත් නොවන සෑම සියලු කෙනෙකු දැනුවත්ව හෝ නොදැනුවත්ව උත්සාහ කරනුයේ තමන්ට, තමන්ගේ මතයට ආකර්ෂණයක් ගොඩනගාගැනීමට ය.

නමුත් නූතන සමාජය තුළ එය සිදුවනුයේ තරමක් වෙනස් ආකාරයට ය. මන්ද අධ්‍යාපනයේ යෙදෙන්නන් නිවසින් පන්තියටත් පන්තියෙන් නිවසටත් සීමා වෙලා ය. රැකියාවේ යෙදෙන්නන් කාර්යාලයේ බිත්ති හතරට සීමා වෙලා ය. අතීතයේ මෙන් තම මිතුරු සමාගමයේ වෙසෙමින් ඒ තුල ඉස්මතු වීම අපහසු කටයුත්තක් වී තිබේ. Social networking නම් සංකල්පය එන්නේ ඒ අඩුව පිරවීමට ය.

දැන් පවතින ප්‍රවණතාවය අනුව ශ්‍රී ලංකාව තුළ social networking වෙනුවට facebooking යන වදන භාවිත කළත් ගැටලුවක් නැත. මන්ද hi5, My Space වැනි අනෙකුත් social networking අඩවි පාගාගෙන facebook ගොස් ඇත්තේ ඒවාට ළං වීමට වත් නොහැකි ඉසව්වකට ය.

Facebook යනු කිසිවෙකු විසින් වත් භාවිතා නොකළ යුතු වෙබ් අඩවියක් ලෙසට ඇතැමුන් වර්ගීකරණය කරන්නේ මෙවැනි සන්දර්භයක් තුළ ය. මා දකින ආකාරය ඔවුන්ගේ තර්කයට පදනම් වන හේතු කාරණා 2කි.
  1. එය භාවිතය කෙනෙකුට පහසුවෙන් ගැලවිය නොහැකි ඇබ්බැහියකට හේතු වේ.
  2. එය නොදැනුවත්වම තමාගේ පෞද්ගලිකත්වයට මහත් බලපෑමක් එල්ල කරයි.
කරුණු 2ම සත්‍ය ය. ඒ පිළිබඳ සැකයක් නැත. නමුත් ගැටලුව වන්නේ එම කරුණුද්විත්වය facebook භාවිතයෙන් ඉවත් කිරීමට තරම් හේතු පාදක වේද යන්නයි.

පළමුව මුල් කරුණ සලකා බලමු. කෙතරම් ආකර්ෂණීය දෙයක් වුවත් ඒ වෙනුවෙන් පණ දීමට තරම් ඇබ්බැහි වීමට කිසිවෙකුට අයිතියක් නැත. Facebook සම්බන්ධයෙන් කතා කළහොත්, මිතුරන් සමඟ සම්බන්ධ වීමට පෙර තම ජීවිතය ගොඩනගාගැනීමේ වගකීම තම තමන්ට පැවරේ. එහෙයින් විභාග අතපසු කරගෙන, වැදගත් කටයුතු පසුවට දමා facebook හි එල්ලී සිටීමේ කිසිදු අවශ්‍යතාවක් කෙනෙකුට පැන නොනැගේ. එසේ ස්වයං විනයක් පවත්වාගැනීමට අපහසු නම් පමණක් ඔහු හෝ ඇය තම ගිණුම අවලංගු කළාට වරදක් නැත.

පෞද්ගලිකත්වය සම්බන්ධ ගැටලුව තරමක් සංකීර්ණ ය. මන්ද එය භාවිතා කරන පුද්ගලයා මත ද රඳා පවතින බැවිනි. අවුරුදු 20ක 25ක තරුණයෙකුගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවහොත් එහි ගැටලුවක් ඇත්තේම නැත. ඔබ එය වැඩි වශයෙන් භාවිතා කරන තරමට සිදුවන්නේ ඔබ මිතුරන් වශයෙන් එක් කරගෙන ඇති පුද්ගලයන් කැලට වැඩි වැඩියෙන් නිරාවරණය වීම ය. එය ඇතැමුන් කියන තරමටම නරක දෙයක් ද? මට නම් සිතෙන ආකාරයට එහි කිසිදු වැරැද්දක් නැත. ලෝකයෙන්ම සඟවාගෙන සිටීමට තරම් ඔබට ඇති පෞද්ගලිකත්වය කුමක්ද? ඔබ ඔබේ පෞද්ගලිකත්වය සුරැකිව තබාගැනීමේ අරමුණින් facebook තුලින් ඉවත් වේ නම් ඉන් පැහැදිලි වන්නේ ඔබට ලෝකයෙන් සඟවාගෙන සිටීමට අවශ්‍ය යමක් ඇති බව ය.
නැතිනම් කුහකත්වය ය. ලෝකයට තමාගේ සැබෑ ස්වභාවය නොපෙන්වා අර්ධයක් වසාගෙන සිටීම 'පෞද්ගලිකත්වය' යැයි යමෙකු අර්ථදක්වයි නම් එවැන්නෙකුට උචිතම කාර්යය තම facebook ගිණුම වසා දැමීම විය හැක.

නමුත් මෙය කියවන ඔබත් ලියන මමත් අන්තර්ජාලයේ කොටස්කරුවෝ වෙමු. ඔබේත් මාගේත් ජීවිතයෙන් යම් කොටසක් ඒ වෙනුවෙන් කැපකර අවසන් ය. අපගේ පෞද්ගලිකත්වයෙන් ද කොටසක් ඊට අන්තර්ගත ය. පෞද්ගලික තොරතුරු සියල්ල අතහැරියත් කෙනෙකුගේ අදහස් හා සංකල්පයන් ද අයත් වනුයේ
ඔහුගේ පෞද්ගලිකත්වයට ය. ඔබ බ්ලොග්කරුවෙකු ලෙස සැලකුවොත් ඔබ යම් කරුණක් ගැන සිතන ආකාරය ඔබේ සටහන කියවන සැවොම දකිති. ඉන් යම් අදහසක් ඔවුහු ඔබ පිළිබඳව ඇතිකරගනිති. එය ඔබට වැලැක්විය නොහැක. එහි වැරැද්දක් තිබේද? අවශ්‍ය නම් ඔබ ගැන අදහසක් ඇති කරගැනීම ඔබ පාරේ ඇවිද යන ආකාරයෙන් වුවද කළ හැක. ඒ ගැන 'ඔබ' එතරම් වද විය යුතු නැත. ඊට වඩා වද විය යුතු ගැටලු ජීවිතයේ නැතිද? බුදුරජාණන්වහන්සේ වැනි කෙනෙකු ගැනත් වැරදි මතවාද පළවූ එකේ අප ගැන කුමන කතාද?

Facebook හරහා ඔබගේ නියම ස්වභාවය ලෝකයාට හෙළි විය හැකි ප්‍රධාන ආකාර 3කි.
  1. ඔබේ පෞද්ගලික තොරතුරු
  2. ඔබගේ ඡායාරූප
  3. විවිධ ස්ථාන වල ඔබ යොදන කමෙන්ට්ස්
විශේෂයෙන්ම කමෙන්ට්ස් හරහා ඔබ පිළිබඳව ඉතාමත් නිවැරදි අවබෝධයක් කෙනෙකුට ලැබිය හැකිය. මා හට ද එවන් දෑ සිදුවී ඇත. මාගේ ඥාති සොහොයුරියකට මා ගැන හොඳ අවබෝධයක් ඡායාරූප වලට යොදන ලද කමෙන්ට්ස් හරහා ලබාගත හැකි විය. නමුත් ඒ තුළින් සිදුවූයේ මාගේ 'ප්‍රතිරූපය' විනාශ වීම නොව අප තව දුරටත් සමීප වීම පමණි. මා සිතන ආකාරයට බොරු 'ප්‍රතිරූපයක්' මවාගෙන සිටීමට වඩා තම සැබෑ ස්වරූපයෙන් සමාජයේ ජීවත් වීම වටනේය. එයාකාරයට ලෝකය ඇසුරු කිරීම හරහා සිදුවනුයේ ලෝකයට තමා වඩ වඩාත් විවෘත පුද්ගලයෙකු බවට පත්වීම ය. අනෙක් අතට කෙතරම් සැඟවීමට උත්සාහ දැරුවත් එය ඉස්මතු වන දිනයක් එළඹිය හැක.

නමුත් ඔබ ඔබේ පෞද්ගලිකත්වය පිළිබඳව තවමත් සැලකිලිමත් වේ නම් ද facebook තුල ඔබ පළ කරන ඡායාරූප හෝ වෙනත් දෑ යමෙකුට නොපෙන්වා සිටීමට අවශ්‍ය නම් ද කළ යුත්තේ privacy settings අවශ්‍ය පරිදි සකසා ගැනීම පමණි. එහෙත් තාක්ෂණික අඩුලුහුඬුකම් උපයෝගී කරගෙන කෙනෙකු එය සොරාගැනීමේ අවදානමක් පවතී නම් කළ යුත්තේ එවන් සංවේදී දෑ පළ නොකර සිටීමය. උදාහරණයක් ලෙස relationship status එක පළ නොකර සිටීමෙන් කිසිවෙකුටත් අවැඩක් සිදු නොවන බව මම සිතමි.

තවත් අපූරු කරුණු ඇතැම්හු ඉස්මතු කරති. එක් අදහසක් නම් තමන් පෞද්ගලිකව දැන හඳුනන පුද්ගලයන් හැර අනෙකුත් අය මිතුරන් ලෙස එක් කරගැනීම අවශ්‍ය නොවන බව ය. මගේ අදහසට අනුව එය මුලුමනින්ම වැරදි සංකල්පයකි. Facebook හරහා දැන හඳුනාගෙ සැබෑ ජීවිතයේ මගේ මිතුරන් වූ පුද්ගලයන් ගණන 50කට නොඅඩු බව මාගේ හැඟීමයි. ඇතැමුන් facebook තුලින් හඳුනා නොගන්නට ඔවුන් කිසි දිනෙක දැන ගැනීමට වත් නොලැබෙන බව මගේ විශ්වාසයයි.
නමුත් මිතුරන් ලෙස එක් කරගත් පුද්ගලයන් කළණ මිතුරන්, පාප මිත්‍රයන් හෝ වැඩකට නැති මිත්‍රයන් ලෙස වෙන් කර තැබීමේ නොහැකියාව හි ඇති අඩුපාඩුවක් විය හැක. එසේ වුවද වැඩකට නැතැයි ලෙස සලකා මුලින් එක් කර අවසානයේ කළණ මිත්‍රයන් වූ පුද්ගලයන් සුළු පටු නොවන සංඛ්‍යාවක් සිටින මම උක්ත මතවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමි.

අවසාන වශයෙන් social networking හෙවත් facebooking හි මා දකින වැදගත්ම ලක්ෂණය වන්නේ එහි පවතින සජීවී ස්වභාවයයි. ඔබට විදේශයක සිටින ඔබේ මිත්‍රයෙකුට ඊමේල් පණිවිඩයක් යැවීමෙන් ලැබෙනවාට වැඩි හැඟීමක් wall කමෙන්ට් එකක්, photo කමෙන්ට් එකක් දැමීම මගින් ලබාගත හැක. මේ හේතුව නිසාම ඇමරිකා එක්සත් ජනපදය තරම් දුර ඈත සිටින යහලුවන් නිවස අසල සිටින අයට වඩා සමීප වන අවස්ථා මා අත්දැක ඇත.

තවද තමාගේ නිර්මාණාත්මක කෞෂල්‍යය වර්ධනය කරගැනීම පිණිස facebook අඩවිය ප්‍රකාශන මාධ්‍යයක් කරගත්තවුන්ද ඇති තරම්ය. එය ඉතා සුවිශේෂී සිද්ධියක් වන්නේ අතීතයේ කවියන්, කෙටිකතාකරුවන් නොලද වරමක් අද facebook තුලින් එසේ වීමට අදහස් කරන්නන් හට උදාකර දී ඇති බැවිනි. (වැඩි විස්තර)

කෙසේ හෝ වේවා තාක්ෂණය යනු අවබෝධයෙන් පරිහරණය කළ යුතු මෙවලමකි. මන්ද යත් සමාජයේ අන් ඕනෑම තැනක මෙන් තාක්ෂණය තුල ද ස්වල්පයක් වූ 'අමන' ප්‍රජාවට ඉඩක් වෙන්වී ඇති බැවිනි. එය පහසුවෙන් වෙනස් කළ හැකි තත්ත්වයක් නොවන නිසා උපේක්ෂාවෙන් විඳදරාගත යුතු ය. නමුත් අතලොස්සකගේ බලපෑම හේතු කොටගෙන තාක්ෂණය නිවැරදිව භාවිතා කරන්නන් ද ඉන් බැහැර විය යුතු නැත.
..

4 comments:

ශාකුන්තල | Shaakunthala said...

ම්ම්ම්... 85% එකඟයි... 10% එකඟ නෑ... ඉතිරි 5% ගැන අදහසක් නෑ... :)

Chamitha said...

හෙ හේ. හැබෑව... හැමෝටම එකඟ වෙන්න බැරි කරුණුත් තියෙන්න පුලුවන්

බුද්ධික said...

අනේ මගේ කට...දී කිරට බළල්ලුත් සාක්ෂි කීවලු...මම මෙතන කියන්නෙ නෑ උඹ මොකද ඔච්චර මූණුපොතට ආලේ කියලා(දන්නෝ දනිති...බිපෙයි :P)

අන්තර්ජාලයේ කාලකණ්නි වෙන්න හොදම තැන තමා මූණුපොත(වැරදියට පාවිච්චි කරොත්)

මේ WORD VERIFICATION අට මගුල අයින් කරපන්කෝ මළ කරදරේ

Chamitha said...

මම උඹ කියන තරන් ඕකට ආලෙ නෑ බං. ඔය ලිපියෙ තියෙන්නෙ මූණු පොත් ගැන මගේ සුපිරිසිදු අදහස.:-)

"අන්තර්ජාලයේ කාලකණ්නි වෙන්න හොදම තැන තමා මූණුපොත(වැරදියට පාවිච්චි කරොත්)". ඔය වරහන් අස්සෙ දාල තියන එකෙන්ම පේනව කියන එක්කෙනාගෙත් තියන ආලෙ. ලොල්. කට බොරු කිව්වත් දිව බොරු නොකියයි.

Post a Comment

මේ ලිපිය ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ගල්, මුල්, මල් ඕන දේකට ඉඩ...
සිංහලෙන් යතුරු කරන්නට යුනිකේත එසැණින් පරිවර්තකය භාවිතා කරන්න පුළුවන්.